-Colombo, October 31, 2023-
ඊශ්‍රායල සහ එක්සත් ජනපද යුධ යන්ත්‍රණය මගින් පලස්තීන ගාසා තීරය ඉවක් බවක් නොමැතිව විනාශ කරමින් සෑම විනාඩි 15කට වරක්ම කුඩා දරුවෙකු මරා දමමින් සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි, ජීවිත බේරා ගැනීමටත් ආහාර සහ වෛද්‍ය ආධාර රථ පෙළ පලස්තීන ජනතාව වෙත ළඟා වීමටත් වහා සටන් විරාමයක අවශ්‍යතාවය අවධාරණය කරමු.
පලස්තීනයේ අමානුෂික තත්ත්වය ඇති කළේ 1917 ට පෙර සහ වඩාත් නිවැරදිව කිවහොත් 1948ට පෙර පලස්තීනයේ ජීවත් වූ ජනතාව නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව විසිනි. බ්‍රිතාන්‍යයේ කුප්‍රකට බෙදා වෙන්කර පාලනය කිරීමේ ප‍්‍රතිපත්තිය හේතුවෙන් ඇති වූ ගැටුම්කාරී තත්වයන්ට විසඳුමක් ලෙස ඊශ්‍රායලය සහ පලස්තීනය නමින් වෙනම රාජ්‍ය දෙකක් පිහිටුවීමට එහි යෝජනාවෙන් පොරොන්දු විය. කෙසේ වෙතත්, වසර 75 ක් ගතවී ඇතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ පොරොන්දුව ඉටු කර නොමැත. මෙම බරපතළ වගකීම් විරහිතභාවය සහ අධිරාජ්‍යවාදී දේශපාලනය හේතුවෙන් පලස්තීන ජනතාවගේ මෙන්ම ඊශ්‍රායල ජනතාවගේද පරම්පරා ගණනාවක් අපමණ වේදනාවන්ට සහ දුෂ්කරතාවලට ගොදුරු වී ඇත. ඒ නිසාම මේ ලේ වැකි අර්බුදයට එකම විසඳුම ලෙස අපි අවධාරණය කරන්නේ පලස්තීන සහ ඊශ්‍රායල රජයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 136කට වැඩි ප්‍රමාණයක් එකඟ වූ පරිදි ස්වාධීන පලස්තීනයක් ස්ථාපිත කිරීමය.
යුධකාමීන්ගේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී රූකඩ රාජ්‍යයන්ගේ කුඩා කණ්ඩායමක හුදකලා විරෝධය මැද ක්ෂණික සටන් විරාමයක් සඳහා වූ එක්සත් ජාතීන්ගේ යෝජනාව 120ක් පමණ වූ ලෝකයේ අතිමහත් බහුතරයක් රටවල් විසින් අනුමත කරනු ලැබීම අපි අගය කරමු. ඒ අතරම නිව්යෝර්ක්හිදී යෝජනා සම්මත වුවද ඒ කිසිවක් ගාසාහි ක්‍රියාවේ නොයෙදවෙනතාක් මුළුමනින්ම නිෂ්ඵල බවද ප්‍රකාශ කළ යුතුව තිබේ. වසර 30ක කාලයක් පුරා එක්සත් ජාතීන් පදනම් කරගත් ලෝක රටාව දුර්වල කර විනාශ කළා වූ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය හේතුවෙන් එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැති හුදු හඬක් පමණක් බවට පත්වී ඇති බව මෙයින් නැවත වරක් පෙනී යයි. එක්සත් ජාතීන් පදනම් කරගත් රටාව විනාශ කරනු ලැබ ඇත්තේ නේටෝව ප්‍රමුඛ කර ගත්, නීති රීති මොනවාදැයි කිසිවෙකු නොදන්නා, ඊනියා ‘නීතිරීති පදනම් කරගත් ජාත්‍යන්තර පරිපාටිය’ මගින් එය ප්‍රතිස්ථාපනය කරන බව කියමිනි. මෙම තත්වය, එක්සත් ජාතීන්ගේ ක්‍රමය (සැබැවින්ම එහිද බොහෝ දෝෂ ඇත) විනාශ කිරීමේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය පරාජය කිරීමට එකමුතු වන ලෙසට අධිරාජ්‍යවාදී නොවන ස්වෛරී රටවල් සියල්ල වෙත කෙරෙන හඬනැගීමකි.
එසේම, වත්මන් ගැටුම රික්තකයක් තුළ ඇති වූවක් නොවන බව ප්‍රකාශ කරන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අගය කිරීමටද අපි මෙය අවස්ථාවක් කර ගනිමු. එම ප්‍රකාශය ගැටලුවේ මූල හේතුව ආමන්ත්‍රණය කර පලස්තීනුවන්ගේ නිදහස සඳහා වන ප්‍රයත්නයට ස්ථිර විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
මනුෂ්‍යත්වයට දැවැන්ත සදාචාර බලයක් ලබා දෙමින්, පලස්තීන ජනතාව උදෙසා සහයෝගීතාවය පළ කිරීම වෙනුවෙන් ලෝකයේ සියලු මහද්වීප නියෝජනය කරන බ්‍රසීලයේ, වොෂින්ටනයේ, ලන්ඩනයේ, රෝමයේ, දකුණු අප්‍රිකාවේ, කේරළයේ, මැලේසියාවේ, ඕස්ට්‍රේලියාවේ මිලියන සියගණනක් ජනයාට අපි අපගේ ගෞරවය හා උපහාරය පුද කිරීමට කැමැත්තෙමු. පලස්තීන ජනතාවට සහයෝගීතාවය පළ කරන ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත යුදෙව් ජනතාවගේ නිර්භීත හා මානුෂීය ප්‍රතිපත්තියටත්, දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව යුරෝපයේ ප්‍රගතිශීලී ජනතාව විසින් භාවිතා කරන ලද නිර්භීත සටන් පාඨයක් වන ‘මගේ නමින් නොවේ’ යනුවෙන් ඊශ්‍රායල රජයට කියා සිටීම පිළිබඳවත් අපි අගය කිරීමට කැමැත්තෙමු.
මෙම තත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි,
1. වහාම සටන් විරාමයක් ඇති කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ යෝජනාවටත්,
2. 21 වැනි සියවසේ ඉතාමත් ම්ලේච්ඡ යුද්ධය නැවැත්වීමේ ක්ෂණික පියවරක් ලෙස දෙපාර්ශවයේම සියලුම සිරකරුවන් සහ ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම සඳහාත් සහයෝගය පළ කරමු.
අවසාන වශයෙන්, පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ සාමය ස්ථාපිත කිරීමට ඇති එකම ක්‍රමය, නිදහස්, ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම අර්ථ ගැන්වෙන ද්වි රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම බව අපි අවධාරණය කරනු කැමැත්තෙමු. ආසියාවේ අවසාන යටත්විජිතය අවසන් කර ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ජනතාව සාමකාමීව එකට ජීවත් වීමට සැලැස්විය හැකි වනු ඇත්තේ එසේ කිරීමෙන් පමණි.
ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුව
ජනතා විමුක්ති පෙරමුණ
2023.10.31