(-අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි වාර්ෂික මහා සමුළුව – 2024.09.08 – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය-)
ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා. මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා. වසන්ත සහෝදරයා සහ මහින්ද ජයසිංහ සහෝදරයා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බවට පසුගිය 06 වැනිදා ප්‍රචාරයක් දියත් කර තිබුණා. අධිකරණ නියෝගයක් විකෘති කිරීම පිළිබඳව අධිකරණයක නඩු පවරන්න පුළුවන්. මේ වන විට අපට එන්තරවාසි යැවීම සහ පැමිණිලි කිරීම් කිසිම අඩුවක් නැතිව කරන්න සිදු වී තිබෙනවා. අධිකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව නීතිඥ මහත්වරුන්ගේ කෝට් එක පවා ගලවන්න පුළුවන්. අපි අධිකරණය ඉදිරියේ ඒ සියලු ක්‍රියාමාර්ග ගන්නවා. දේශපාලන වේදිකාවේ මේ විකෘති කිරීම් සහ අසත්‍ය ප්‍රචාර දියත් කිරීම් දැන්වත් නතර කරන්න ඕනෑ. රාවුෆ් හකීම්, තිස්ස අත්තනායක වැනි අයටත් එන්තරවාසි යවා තිබෙනවා. තිස්ස අත්තනායක සමාව ගත්තත්, නඩු පැවරිය යුතු තත්වයක කූට ලේඛන හැදීමටම උපන්නෙක් බවට පත් වී සිටිනවා. ඒ වාගේම රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් කියනවා, මම දෙමළ ජනතාවට තර්ජනය කළාලු. ඒ ගැන සමාව ගන්නලු. මම රනිල් වික්‍රමසිංහට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා කැත විදියට දේශපාලනයේ දී ජාතිවාදය වපුරන්න උත්සාහ කරන්න එපා” කියලා. හැබැයි, මම එයට උත්තර දෙන්නත් පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා නිවැරදි උත්තරය දී තිබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා, දැන් රනිල් ඔයා සමාව ගන්න.
රට තුළ එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරීමට, එකිනෙකා විරසක කිරීමට දරන උත්සාහයන් දැන් අහෝසියි. නමුත්, රනිල් වික්‍රමසිංහලා තාමත් පරණ බඩු කඩෙන් බඩු ගන්නේ. රනිල් වික්‍රමසිංහ මෑත අවස්ථා ගණනාවකදීම “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” යනුවෙන් කියා තිබෙනවා. ඔය ‘ශේප’ වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපත් එක්ක ‘ශේප්’ වෙන්න බැහැ. මහ බැංකුවේ වංචාව පිළිබඳව පරික්‍ෂණ කරනවා. ඒ වාගේම ඔයාගේ කාලයේ බාර් ලයිෂන් දීපු විදිය හොයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව සතු ඉඩම් යාළුවන්ට බෙදපු විදිය හොයනවා. ඒ වාගේම වංචනිකයන්, දූෂිතයන් ආරක්‍ෂා කළ ආකාරය ගැන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී පරීක්‍ෂණ කරනවා. ඔය අතරේ තවත් අවලාද නඟමින්, ජාතික ජන බලවේගය බලයට ආවොත්, 22 වැනිදා කලබල ඇති වෙයි කියලත් ප්‍රචාර යවනවා.
ජයග්‍රහණය කළාම පරාජිතයන්ට හිංසා කිරීමේ ඉතිහාසයක් තිබෙන්නේ ඔවුන්ටයි. විශේෂයෙන්ම 1977 සිට රනිල් වික්‍රමසිංහලාටයි. එදා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සති දෙකක් පොලිසිය ස්ථානවලට සීමා කර විරුද්ධ පාක්‍ෂිකයන්ට පහර දෙන්න, ගෙවල් ගිනි තියන්න, වෙඩි තියන්න ඉඩ සලසා දුන්නා. ඒ කාලයේ කිවුවේ, සති දෙකක් පොලිසියට නිවාඩු දුන්නා කියලයි. නමුත්, ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලත් අපි උගන්වනවා. සැප්තැම්බර් 23 වැනිදා සිට හැම පක්‍ෂයකම පාක්‍ෂිකයන් හමු වී වෙනස් වෙන්න අපි ආරාධනා කරනවා. නමුත්, වෙනස් වෙන්න අකැමැති නම්, ඔවුන්ට කැමැති දේශපාලන ව්‍යාපාරයක දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. සැප්තැම්බර් 21දා දක්වා පක්‍ෂවලට බෙදිලා, අපි වැඩ කරයි. නමුත්, සැප්තැම්බර් 21න් පසුව මේ රට ගොඩනැඟීම සඳහා අපට ඡන්දය නොදුන් ඡන්දදායකයාත් එකතු කරගෙනයි මේ රට ගොඩනඟන්නේ. ඒ නිසා අපේ ජයග්‍රහණයෙන් පසුව අනෙක් පාක්‍ෂිකයන්ට නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ පාලනය ඉඩ දෙන්නේ නැහැ.
කලින් කිවුවේ, සියයට තුනක් තියාගෙන දිනන්නේ කොහොමද කියලා. දැන් සජිත්ට කතිරය ගහලා අපව පරාද කරන්න බැහැ කියලා රනිල් කියනවා. සජිත් කියන්නේ, රනිල්ට කතිරය ගහලා අපව පරාජය කරන්න බැහැ කියලා. අද මේ රටේ ජනතාව කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න පෙළගැසී සිටිනවා. ඒ නිසා ඔවුනුත් අපේ ජයග්‍රහණය පිළිගෙන ඉවරයි. අලුතින් කියන්නේ, දිනුවත්, මාස හයක් යන්න බැහැ කියලයි. ඔවුන්ගේ ප්‍රචාරවල මුලින්ම “මාලිමාවට දිනන්න බැහැ” කියලා කිවුවා. ඊළඟට “මාලිමාව දිනුවොත්…” කියලා කිවුවා. දැන් කියන්නේ, “මාලිමාව දිනුවාම මාස හයක් යන්න බැහැ” කියලා. මේ වෙනස පිළිබඳව ගැඹුරු සහ විශාල බලාපොරොත්තුවකින් අප දීර්ඝ කාලයක් අධිෂ්ඨානශීලීව සිටිමින්, විශාල බලවේග ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. ඒ වාගේම ශක්තිමත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. අපි මේ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ මාස හයෙන් යන්නද? මේ ජයග්‍රහණයෙන් ලංකා ඉතිහාසයේ දිර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව සහතිකයි.
මෙතැනට එකතු වී සිටින්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අයයි. ලංකාවේ ශක්තිමත්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය අන්තර් සමාගම් සේවක සංගමය බව කවුරුත් දන්නවා. ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පෞද්ගලික අංශය කඩාකප්පල් කරන්න උත්සාහ කරන බවට ප්‍රචාර යවනවා. ජාතික ජන බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති වැඩ කරන සෑම තැනකම ඉතාමත් සාමකාමීව කටයුතු කරන බව සතුටින් කියන්න ඕනෑ, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ වැඩිම වැටුප් ලබන ආයතන අන්තර් සමාගම් සේවක සංගමය පවතින ආයතනයි. වැඩිම බෝනස් ප්‍රමාණයක් සේවකයින්ට ලැබෙන්නේ, වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙන්නේ එම ආයතනවලින්. ජාතික ආර්ථිකයට පෞද්ගලික අංශය ශක්තිමත්ව දායක කර ගනිමින්, ඔවුන් ලබා ගන්නා ආදායමෙන් සාධාරණ පංගුවක් එම සේවක, සේවිකාවන්ට ලබා දීම අපේ ප්‍රතිපත්තියයි.
පෞද්ගලික අංශයේ දියුණුව සඳහා මේ වන විටත් යම් බාධාවන් තිබෙනවා නම්, ඒ ගැටලු විසඳා දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වයක් දී කටයුතු කරනවා. නමුත්, ලාභයෙන් සාධාරණ පංගුවක් වැඩ කරන ජනතාව වෙත ප්‍රතිලාභ ලෙස ලබා දෙන්න ඕනෑ. එය වැරැදි ද? එම ආයතන බිඳවැට්ටීමක් වෙනවා ද? කිසිසේත්ම නැහැ. කර්මාන්තකරුවන් වාගේම එම සේවක, සේවිකාවන් යන දෙපාර්ශ්වයෙන්ම ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. දශක එකහමාරක සිට ගොඩනැඟී තිබෙන ‘මෑන්පවර් ඒජන්සි’ හරහා රැකියා ලබා දීම නූතන වහල් වෙළෙඳාම හා සමානයි. එම ආකෘතිය තවදුරටත් පවත්වාගෙන නොයා යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ වාගේම මාස හයකට වරක්වත් ජීවන අංකයට අනුව වැටුප් වර්ධක ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ආර්ථිකය ස්ථාවර නම්, භාණ්ඩ හා සේවා මිල නිරන්තර උච්චාවචනයන්ට ලක් වෙන්නේ නැහැ. ආර්ථිකයේ පවතින අස්ථාවරභාවය ස්ථාවර වැටුපක් ගන්නා අයට දැඩි පීඩාවක් එල්ල කර තිබෙනවා. ඒ නිසා ඒ අය රැකබලා ගැනීමේ ක්‍රියාමාර්ග අපි ප්‍රමුඛත්වයේ ලා ගන්නවා. ධීවර, ගොවි, කර්මාන්ත, වතු සේවය වාගේම රාජ්‍ය සේවය යන සියලුම අංශවල ධනය නිෂ්පාදනය කරන පිරිස්වලට ජීවිතයේ අවසානය දක්වා එකලෙසම වැඩ කළ නොහැකියි. හැම දෙනාටම සාධාරණ, තෘප්තිමත් විශ්‍රාම කාලයක් තිබිය යුතුයි. නමුත්, අපේ රටේ බොහෝ දෙනාට තිබෙන්නේ කලකිරුණු, ආහාර ලබාගත නොහැකි, ඖෂධ ලබාගත නොහැකි කටුක ජීවිතයි. ඒ නිසා සියලුම දෙනාට සහභාගි විය හැකි දායක විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමයක් සකසනවා. රාජ්‍ය අංශයේ සිදු කළ යුතු වැඩ කොටස සහ පෞද්ගලික අංශයේ වැඩ කොටස ඉතා හොඳින් අප තේරුම්ගෙන සිටිනවා. පෞද්ගලික අංශයේ කාර්යභාරය සාර්ථක කර ගැනීමේදී එම සේවක, සේවිකාවන් විශාලතම කාර්යභාරය සිදු කරනවා. ඔවුන්ව රැකබලා ගන්නා, ඔවුන්ව සුරක්‍ෂිත කරන ආණ්ඩුව පිහිටුවන්නේ ජාතික ජන බලවේගයයි.
සැප්තැම්බර් 21 වැනිදා ගොඩනැඟෙන ආණ්ඩුව අනෙකුත් හැම ආණ්ඩුවකටම වඩා වෙනස් වන්නේ ඒ නිසයි. මෙතෙක් පැවැතුණේ, වැඩකරන ජනතාවගේම ශ්‍රමයෙන් ගොඩනැඟුණු සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑ ආණ්ඩුයි. කඩාවැටෙන ආයතනවල, කඩාවැටෙන සමාගම්වල ආයෝජනය කර කෝටි දහස් ගණනක පාඩු සිදු කළා. නමුත්, ආයෝජනය කළ ඩීල්කරුවන් තමන් අතරේ විශාල මුදල් ප්‍රමාණයක් බෙදා ගත්තා. අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනා පනතට විරුද්ධව උද්ඝෝෂණය කළ සේවක, සේවිකාවන්ට වෙඩි තැබුවා. විශාල පිරිසක් තුවාල වී ආබාධිත බවටත් පත් වුණා. පසුගියදා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැඩිම හානිය සේවක අර්ථසාධක අරමුදලට සිදු කළා. පාලකයන් වැඩ කරන ජනතාව ගැන කල්පනා කරනවා වෙනුවට ඔවුන්ට එරෙහිව හැම වෙලාවේම තීන්දු ගත්තා. එයට වෙනස්ව වැඩ කරන ජනතාව ගැන කල්පනා කරලා තීන්දු ගන්න ආණ්ඩුවක් ගොඩනඟනවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය සිදු කරමින්, ලංකාවේ අනාගතය ගොඩනඟන ආණ්ඩුවක් ගොඩනැඟීම සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ කරනවා. එම ජයග්‍රහණය තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් සියලු දෙනාම ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.
“ඉදිරි දිනවලදී වැඩබිමේදීත් මඟතොටේදීත් ඔබට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා”
-අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ-
අන්තර් සමාගම් සේවක සංගමයේ ආරම්භක සාමාජිකයන් මේ වේදිකාවේ ඉන්නවා. ඒ වාගේම අලුතින් එක් වුණු සහෝදර, සහෝදරියන් ඉන්නවා. 25 වැනි සංවත්සරයට ඔබ සහභාගි වන්නේ බොහොම දුෂ්කර ඉතිහාසයක ගමන් මඟකින් පසුව ගෞරවයකින් සහ අභිමානයකින් යුතුවයි. 1998-1999 වාගේ කාලයේ අපට පැවරුණේ බොහොමයක් වසා දැමුණු ආයතනවල කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණවල කටයුතු කිරීමයි. නමුත්, ඉන් පසුව ක්‍රමයෙන් ස්ථාවර වෙමින්, වැඩ කරන ජනතාවට හොඳ සංස්කෘතික ජීවිතයක් දිනාගැනීම වෙනුවෙන් පවා විවිධ කටයුතු සිදු කළා. මහා දැවැන්ත සටන් බිම් අපට ගෙවී ගිය වසර විසිපහ තුළ ලැබී තිබුණා. අර්ථසාධක අරමුදල කොල්ලකන්න මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව උත්සාහ කළ අවස්ථාවේ එම අරමුදල බේරා ගැනීම සටනේ ඉදිරියෙන්ම සිටියේ අන්තර් සමාගම් සේවක සංගමයයි. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2015 මහ බැංකු බැඳුම්කර කොල්ලයට සේවක අර්ථසාධක අරමුදල යොදා ගත්තා. එදත් ඊට විරුද්ධව මහ බැංකුව වට කරමින්, උද්ඝෝෂණය කළේ අන්තර් සමාගම් සේවක සංගමයයි. ඒ වාගේම 2022 මහජන අරගලයට වාගේම මැයි මාසයේ අට වැනිදා හර්තාල් ව්‍යාපාරයටත් සාර්ථකම දායකත්වයක් ලබා දී, ඒ අභිමානයෙන් යුතුව මේ සමුළුවට සහභාගි වෙනවා.
මේ රටේ දැවැන්ත සමාජ පරිවර්තනයක් සිදු කිරීමේ කඩඉමට පැමිණ සිටින අවස්ථාවේ අපේ රටේ ආර්ථිකයේ වැඩිම පංගුව දරන පෞද්ගලික අංශය නියෝජනය කරමින්, මේ වැඩකරන ජනතාව පෙළගැසී සිටිනවා. මහා සමාජ ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟී තිබෙන ජාතික ජන බලවේගයේ තවත් විශාල කාර්යභාරයක් පෞද්ගලික අංශයේ සියලුම දෙනාට පැවරී තිබෙනවා. මෙතෙක් ඒ සඳහා සහභාගි නොවූ සියලු දෙනා ඒකරාශී කර ගැනීමේ වගකීමත් අප හැම දෙනාටම පැවරී තිබෙනවා. අපේ වැටුප් ගැන සාකච්ඡා කරනවා වාගේම ලෝකය ඉදිරියේ බංකොළොත් කර තිබෙන මේ රට ගොඩනැඟීමේ කටයුතු වෙනුවෙන් වගකීම් දරන්නත් සිදු වෙනවා. ලෝකයේ වැඩ දිනය පැය අට වෙනුවට පැය හයක් දක්වා අඩු වී තිබියෙදී, අද අපට සතුට අහිමි වූ, හැමදාමත් දුක් විඳින මිනිසුන් ලෙස ජීවත් වීමට සිදු වී තිබෙනවා. ඒ යුගය නිමා කළ යුතුයි. ඒ වෙනුවෙන් වැඩකරන ජනතාව, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් සියලුම දෙනා අද එකමිටට එකතු වී සිටිනවා. මේ සමුළුවෙන් පිට වී යන ඔබට ඉදිරි දින කිහිපයේ දී වැඩබිමේදී වාගේම කඩපිලේදීත්, මඟතොටේදීත් විශාල කාර්යභාරයක් මේ සමාජය වෙනුවෙන් පැවරී තිබෙනවා. ලබන 21 වැනි දින පවත්වන ජනාධිපතිවරණයේදී වැඩ කරන පංතියේ සමගිය සහ ශක්තිය යොදවමින්, අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවා රට ගොඩනැඟීමේ කාර්යභාරයට මූලික දායකත්වය ලබා දෙමු.
“මැතිවරණ දිනය කියන්නේ ප්‍රගතිශීලී ජනයාට ජය ගැනීමට ඉඩ නොදුන් භූමිය ජය ගැනීමේ දිනයයි”
-ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත-
ලංකාවේ අරගල බිමේ සිටින සටන්කාමීම කණ්ඩායම අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජික, සාමාජිකාවනුයි. රාජ්‍ය අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ වාගේම සමස්ත වැඩ කරන ජනතාවගෙන් අපි මාස දෙකකට පමණ පෙර අයිතිවාසිකම් දිනාගැනීම වැඩ වර්ජන නොකර ඉමු කියලා ඉල්ලීමක් කළා. ඒ සම්බන්ධයෙන් විවේචනත් තිබුණා. නමුත්, ඒ ඉල්ලීමට එකඟව ඉහළම ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, ශිෂ්‍ය ව්‍යාපාරයේ වාගේම ගොවිබිම්වල ඇතුළු සියලු අරගල එක අරගලයකට යොමු කර තිබෙනවා. ඒ අරගලය මැතිවරණ භූමියේ අරගලයයි. මෙතෙක් අපේ රටේ පීඩිත සහ ප්‍රගතිශීලී ජනතාවට මැතිවරණ අරගල භූමිය ජය ගන්න බැරි වුණා. දැන් ලංකාවේ පීඩිත පංතියත් එක්ක ප්‍රගතිශීලී ජනතාවත් එකතු වී ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී මැතිවරණ සටන් භූමියේ සටන් කරමින් ඉන්නවා. 2023 මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැම්මෙත් ඒ සටන් භූමියේ සාර්ථකත්වය නිසයි. ඔවුන් මැතිවරණය කල් දැම්මත්, අපි මැතිවරණ අරගලය දිගටම අරගෙන ආවා. සැප්තැම්බර් 21 කතිර අරගලයෙන් අපි ජයග්‍රහණය කරන බවට මේ රටේ විතරක් නොවෙයි, ලෝකයම පිළිගෙන අවසන්. අවුරුදු සිය ගණනකට පසුව ලංකාවේ ප්‍රගතිශීලී ජනයා ජයග්‍රහණය කිරීම ආරම්භ කරන දිනය සැප්තැම්බර් 21 වැනිදා. පීඩිත සහ ප්‍රගතිශීලී ජනයාගේ අතීතයේ තිබුණු ව්‍යාපාර මේ ජයග්‍රහණය ලබා ගැනීමට උත්සාහ කළත්, එයට ඉඩ දුන්නේ නැහැ. 1964දී ‘ඉල්ලීම් 21 ව්‍යාපාරය’ කියලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආවා. පීඩිත සහ ප්‍රගතිශීලී ජනතාව එය වටා එකතු වුණා. නමුත්, ඇමැතිකම් තුනක් සහ නියෝජ්‍ය ඇමැතිකම් දෙකක් ඒ අරගලයේ නායකයන්ට ලබා දීම නිසා ඒ සටන පාවා දුන්නා.
මැතිවරණ දිනය කියන්නේ මේ රටේ මෙතෙක් පීඩිත සහ ප්‍රගතිශීලී ජනයාට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදුන් භූමිය ජය ගැනීමේ දිනයයි. ජනාධිපතිවරණය කල් දාන්නත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉදිරිපත් කළ අයට දඩ ගසා හරවා යැව්වා. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගේන්නත් උත්සාහ කළා. ඒත්, බැරි වුණා. ඔවුන් දැන් ගෙන යන මඩ සහ අවලාද ව්‍යාපාරය නිසා ඒ සියලු දෙනාම පරාජය වී සිටින බව කාටත් පැහැදිලියි. අපේ ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඒ ලෙවල් විභාගය කල් යන බවට අලුත්ම මඩ ප්‍රචාරය වී තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට ඒ ලෙවල් විභාගයට කිසිම බාධාවක් නැතිව නියමිත දිනයට පවත්වන බව අප සිසු දරුවන්ටත්, දෙමවුපියන්ටත් අවධාරණයෙන් කියනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියට වෙනදා වාගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි. ඔය වාගේ ලාල් කාන්තව අත්අඩංගුවට ගන්නවා, වසන්ත සමරසිංහව අත්අඩංගුවට ගන්නවා කියන ප්‍රචාර යැවුවා. සහෝදර, සහෝදරියන්ට ආයතනවල හැමදාම දුක් විඳින්න පුළුවන් නම්, අපට ඔය කූඩුවේ දුක් විඳින එක මහ ලොකු වැඩක් නොවෙයි. රනිල්ලා එක්ක, සජිත්ලා එක්ක, නාමල්ලා එක්ක මහජනතාව නැහැ. මාලිමාවට අත තියන්න කවුරුත් එන්නේ නැහැ, මඩ, අවලාද යවනවා විතරයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික හරය, මානව සම්පත දියුණු කිරීමට බාධාවක් තිබෙන සියලු කොන්දේසි ඉවත් කිරීම සහ සියලු දෙනාම ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම කියන ප්‍රධාන කරුණු දෙකයි. ආර්ථිකයට සම්බන්ධ වීමෙන් තමන්ගේ සාධාරණ පංගුව ලබා දීම සහතික කළ යුතුයි. මේ දක්වා අපේ සාධාරණ පංගුව නොලැබුණේ, පීඩිත සහ ප්‍රගතිශීලී පාලනයක් මෙතෙක් ඉතිහාසයේ නොතිබුණු නිසයි. තිබුණේ, පීඩක පංතියේ සහ ප්‍රතිගාමී බලවේගවල පාලනයක්. අපි ආර්ථිකයට සම්බන්ධ වුණාට සාධාරණ පංගුව අපට නොලැබුණේ, ඒ පිරිස කොල්ලකෑ නිසයි. සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද පොළේදී මාලිමාව ඉදිරියේ කතිරය ගහන්නේ අපේ සාධාරණ පංගුව ලබා ගැනීමේ පාලනයක් වෙනුවෙන්. මෙතෙක් කළේ පීඩකයා සහ ප්‍රතිගාමියා බලයට එන්න කතිරය ගහලා, පහුවදා ඉඳලා අපට ලැබිය යුතු සාධාරණ පංගුව ඉල්ලා සිටීමයි. එක ඡන්දයක් අහක දාන්න නොදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඉදිරි සති දෙකේ පෙළගැසෙමු.
“වහල් ශ්‍රමය වෙනුවට දියුණු සංස්කෘතික මිනිසෙක් බිහි කිරීමේ හැකියාව ඔබට තිබෙනවා”
-ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපලේකම් අනූප නන්දිම-
ලංකා බැංකු සේවක සංගමය දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිතියක් නොවුණාට අවුරුදු අසූවක් පරණ වාමාංශික ඌරුවක් තිබෙනවා. අපේ සංගමයේ සාමාජිකයන් සහ නිලධාරීන් සියලු දෙනා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ජනතාවගේ දරුවන්. අනෙක් පැත්තෙන් අපි හැමෝම ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සාමාජිකයන්. ඒ වාගේම අපි හැමෝම එක්ව වැඩ කළ අවස්ථා බොහොමයක් තිබෙනවා. 2011දී සේවක අර්ථසාධක අරමුදල ආණ්ඩුවට පවරා ගැනීමේ උත්සාහයේ දී අපි සියලු දෙනා එක්ව සටන් කළා. රොෂේන් චානක සහෝදරයාගේ ජීවිතය අහිමි වුණත්, ඒ මුග්ධ පාලනය ඉවත් කිරීමට සමත් වූවා. 1980න් පසුව සිදු කළ දීපව්‍යාප්ත සාර්ථකම වැඩ වර්ජනය 2022 අප්‍රේල් 08 වැනි දින සිදු කළා වාගේම 1953 අගෝස්තු හර්තාලයෙන් පසුව 2022 මැයි 06 වැනි දින විශාලම හර්තාලය සිදු කළා. ඒ වාගේම 2023 ජූලි 25 වැනිදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නමින් ඊ.පී.එෆ්. එක කොල්ලකෑමට කළ උත්සාහයට විරුද්ධව අපි සියලු දෙනා ඒකාබද්ධව අරගල කළා. අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරමින්, මෙතැනට ප්‍රමාණාත්මකව යම් පිරිසක් සහභාගී වුවත්, ගුණාත්මකව කොතරම් පැතිරී තිබේ දැයි අපි දන්නවා. බැංකු 18ක වෘත්තීය සමිති එක් කරමින්, ලංකා බැංකු සේවක සංගමය පිහිටුවා තිබෙනවා. අපේ 27,000ක සාමාජිකත්වය සමඟ අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි සංවත්සරයට ශුභාශිංසන පිරිනමනවා. වහල් ශ්‍රමය වෙනුවට වඩා දියුණු සංස්කෘතික මිනිසෙක් බිහි කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටයි. ඒ සඳහා ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.