“රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න සල්ලි නැති නිසා ආණ්ඩුව රජයේ සේවකයන් අවුරුදු පනස් පහෙන් විශ්‍රාම ගන්වන්න හදනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා වයස අවුරුදු අසූව වෙලත් නැවත නැඟිටින්න හදනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ජාතික ජන බලවේගයේ කොස්ගොඩ මහපිටිය කොට්ඨාස සභාව පිහිටුවීම නිමිත්තෙන් පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවැසීය.
මහපිටිය කොට්ඨාස සභාවේ සභාපති සූපවේදී රසංග ද සොයිසාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජනහමුව තවදුරටත් ඇමැතූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
“ජනතාව මෙතෙක් විශ්වාස කළ දේශපාලන පක්ෂ පැත්තකට දාලා ජාතික ජන බලවේගය වටා එකතු වෙනවා. ඒ අතරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආපසු නැඟිටින්න හදනවා. නමුත් වර්තමානයේ ජනතාව විශ්වාස කරන එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගයයි. ඒ අනුව ඊළඟ එන මැතිවරණයේදී අපි ආණ්ඩුවක් පිහිටුවනවා.
අද ජනතාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණපාල තිබෙනවා. ජීවත් වෙන්න බැහැ. හෙට මොනවා වේද කියලා ජනතාව බයෙන් ඉන්නේ. අරලගංවිල ගම් අටක පාසල් අටක් වහලා. ව්‍යාපාර කඩා වැටිලා. පන්සලේ හාමුදුරුවන්ට දානෙ ටික නෑ. ලයිට් බිල ගෙවා ගන්න බෑ. තෙල් මිල වැඩි වුණා. තෙල් පෝලිම් රට පුරා ඇති වුණා. නමුත් ආණ්ඩුවේ නායකයන්ට බලය අත්හරින්න බැරිවුණා. ඒ නිසයි ජනතාව තමන් පත් කරපු ජනාධිපති, අගමැති එළවන්න පාරට බැස්සේ. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කරන්නේ ජනතාවගෙන් සියයට දහයක් බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. අවුරුදු හතළිස් පහටම කවදාවත් පරාජය නොවුණු රනිල් ගියවර පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවට ලැබුණු මන්ත්‍රි ධුරයෙන්. රනිල් වික්‍රමසිංහ පත් කළේ රාජපක්ෂවරු බේරා ගන්නයි. දැන් එයා කරන්නේ රාජපක්ෂලාගේ ආණ්ඩුව ආරක්ෂා කරන එකයි., අරගල කරපු අය අත්අඩංගුවට ගැනීම සහ බදු බර පැටවීමයි.
සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් ඇති කළා. තව වටයකින් විදුලි ගාස්තු වැඩි වෙනවා. අද අපට සමාජ ආරක්ෂාවක් තිබෙනවාද? හොරු වැඩි වෙලා. පාර අයිනේ තියාගෙන විකුණන අයටත් බද්දක් ගහන්න හදනවා.
සපත්තු දෙකක් ගන්නත් ලීස් එකක් දමන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මේ ප්‍රශ්න විසඳගන්නවා කිව්වත් ඩොලර් මිලියන තුන්සිය හැටයි දෙන්නේ. පසුගිය කාලයේ ණයට කෑම නිසයි මේ අර්බුදයට හේතුව. චීනෙන් ණයට අරගෙන කුලුනක් හැදුවා. ඒක විවෘත කරද්දී රුපියල් කෝටි දෙසීයක් අතුරුදන් වී ඇති බව කිව්වා. මාටියා ගහලා හදපු නිසා මාටියා කුලුන කියලයි එයට කියන්නේ. එය විවෘත කළ විට බලන්න ගිය කාන්තාවක් කිව්වේ මහින්ද මහත්තයා නිවන් දකින්න ඕන කියලයි. අපි කියන්නෙත් මහින්ද නිවන් දකින්න ඕන බවයි. මොකද නැවත ඉපදුණොත් හොරකම් කරනවා.
හොඳම විසඳුම ජනතා බලය පෙන්නලා ඉක්මනින් මැතිවරණයක් අරගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමයි.”
අහුන්ගල්ල _ ඒ. සිවනෙත්ති