Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ගමේ තරුණයින් ව්‍යවසායකින් බවට පත් කරන්නත් ගම දියුණු කරන්නත් අපිට හොඳ ආර්ථික සැලැස්මක් තිබෙනවා. ගොවි ජනතාවට මානසික සුවයක් සහිත සැබෑ ජීවිතයක් අත්කර දීම අපේ අරමුණයි…” -ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක-

(-මාලිමාවේ සූරියවැව ගොවි රැලිය – 2024.07.02-)

Govi-Rally-Sooriyawewa

මෙතනට රැස්වෙලා ඉන්න ගොවි ජනතාව උද්ඝෝෂණ ඇතුළු විවිධ සටන්වල නිරත වෙලා තිබෙනවා. පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ තකතීරු තීන්දුවක් ගත්තා. ගොවිතැන සඳහා ලබා දෙන රසායනික පොහොර නතර කරන්න තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගන්නකොට, මහින්ද අමරවීරලා, නාමල් රාජපක්ෂලා කැබිනට් ඇමතිවරු. මහින්ද රාජපක්ෂ අගමැති. ගොවියන්ට සිදුවුණා පොහොර ලබා දියල්ලා කියලා උද්ඝෝෂණ කරන්න. ඒ විතරක් නෙවෙයි චන්ද්‍රිකා වැවෙන් වතුර නිදහස් කරන එක නතර කළා ගොවිබිම් විනාශ වෙන්න ඉඩහැරියා. ගොවියන්ට සිදුවුණා උද්ඝෝෂණය කරල වතුර ලබාගන්න. අලි ගම්වදින එක නවත්වලා දෙන්න කියලා සූරියවැව මයුරපුර ප්‍රදේශයේ ජනතාවට දිගුකාලයක් උපවාසයක් කරන්න සිදුවුණා. තමන්ගේ ගොවිතැන, දේපළ, නිවාස, විනාශ වෙනකෙට ජනතාවට ඒවට උත්තර ලබාදෙන්න කියලා පාරට බහින්න සිදුවුණා. වී ටිකට සාධාරණ මිලක් ඉල්ලලා පාරට බහින්න සිදුවෙලා තිබෙනවා. අපි මේ ගොවි අම්මලාට, තාත්තලාට ආරාධනා කරන්න ආවේ තමන්ගේ උවමනාවන් ලබාදෙන්න කියලා පාරට බැහැලා, උද්ඝෝෂණය කරන යුගය අවසන් කරලා ගොවි ජනතාවක් නියෝජනය කරන අලුත් ආණ්ඩුවක් හදා ගමු කියන්න. ගම්වල ජනතාවගේ ප්‍රශ්න ගැන, ආර්ථිකය ගැන, කෘෂිකර්මාන්තය ගැන, කල්පනා කරන නව ආණ්ඩුවක් හදාගන්න ඕනෑකම තිබෙනවා. ඒ ආණ්ඩුව හදන්න ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. අපි මේ සැරේ ආවේ පාර්ලිමේන්තුවේ අපේ ගාන වැඩිකරන්න කියලා ඉල්ලන්න නොවෙයි. අවුරුදු 76 වසරකට පස්සේ පොදු ජනයාගේ ආණ්ඩුවක් හදන්න එකතුවෙමු කියලා ආරාධනා කරන්නයි අපි ආවේ.

මීට කලින් අපි විවිධ පක්ෂවලට බෙදිලා ඉන්න ඇති. ඒ ඉතිහාසය. අපි ප්‍රශ්න හමුවේ විඳවන කොට යූ.එන්.පී. ශ්‍රීලංකා, ජේ.වී.පී. බේදයක් නැහැ. හැමෝම විඳවනවා. ආණ්ඩුව අපිව පක්ෂ වශයෙන් බෙදනවා. ගම්වල ඒ බෙදුණු යුගය අවසන් කරලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න එකතු වෙමු. රටේ සාමාන්‍ය ජනයා අලුත් බලාපොරොත්තුවක් එක්ක පෙළ ගැහිලා ඉන්නවා. ජනතාව පාරම්පරික යූ.එන්.පී. ශ්‍රීලංකා, පක්ෂ පාට අතහැරලා මාලිමාව තෝරා ගන්නකොට ඒගොල්ලොත් උඩින් එකතු වෙනවා. කවදහරි හිතුවද කිසි දවසක මහින්ද අමරවීරයි, රනිලුයි එකම වේදිකාවක හමුවෙයි කියලා. ඉස්සර මහින්ද අමරවීර කතා කළේ රනිල්ට විරුද්ධව. දැන් දෙන්නම එකම වේදිකාවක. ඔයගොල්ලන් හිතුවද මහින්ද රාජපක්ෂයි, රනිල් වික්‍රමසිංහයි එකම ආණ්ඩුවක හම්බවෙයි කියලා. ඒ ගොල්ලෝ එකතු වෙනවා. මෙතන ඉන්න අම්මලා, තාත්තලා හිතුවද, රනිල් වික්‍රමසිංහ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණවීර, රනිල් හිරේ දානකල් නින්ද යන්නේ නෑ කියපු මහින්දානන්ද අලුත්ගමගේ, ලක්ෂ්මන් යාපා, මහින්ද අමරවීර, නාමල් රාජපක්ෂ එක වේදිකාවක, එක ආණ්ඩුවක දකින්න ලැබෙයි කියලා. ගම්වල ජනතාව මාලිමාව වටා එකතු වෙනකොට ඒ ගොල්ලන් මාලිමාවට මුහුණ දීම සඳහා උඩින් එකතු වෙනවා. පසුගිය දවසක අම්බලන්තොට රනිල් වික්‍රමසිංහගේ රැස්වීමක් තිබ්බා; පොහොට්ටුවෙන් බාගයකට වැඩිය ඒ වේදිකාවේ. මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලංසා ඒ වේදිකාවේ. මීට අවුරුදු තුනකට, හතරකට ඉස්සර කිව්වේ “හරියන්නේ නෑ. හම්බන්තොට වරාය වික්කේ රනිල්. රට විනාශ කරන්නේ රනිල් තමයි රනිල්ගෙන් රට බේරගන්න ඕන” කියලා. ඒ කිව්ව කටින්ම අද කියන්නේ “රට හදන්නේ රනිල් තමයි” කියලා. ඇයි ඒ? ඒගොල්ලන්ට බේරෙන්න ඕනෑ වෙලා තිබෙනවා.

අවුරුදු 76කට පස්සේ ලංකාවේ පළමුවැනි වතාවට පොදු ජනතාවගේ දේශපාලන ව්‍යාපාරයක් බලය ගන්න හදනවා. ඒගොල්ලන් බයවෙලා. ඒගොල්ලන්ගේ සියලු සතුරුකම්, පරණ තරහා මරහා, මතවාද සියල්ල පැත්තකින් තියලා එකට එකතුවෙනවා. ඒ ගොල්ලන් අත තිබෙන බලය පොදු ජනතාවගේ අතට මාරුවෙන එක වළක්වන්න නම් එයාලා එකට එකතු වෙන්න ඕන. දැන් ස.ජ.බ. රාජිත සේනාරත්න ඇතුළු පහළොස් දෙනෙකුගේ කණ්ඩායමකුත් මේ ළඟදි කබීර් හසීම්ගේ ගෙදර සාකච්ඡාවක් කරලා. මේ බව රාජිත රූපවාහිනී සාකච්ඡාවකදී කියනවා. සජබ කට්ටිය රනිල්ට එකතු වුණේ නැතිනම් ජේ.වී.පී. එක බලයට එනවා කියලා කතාවෙනවා. ජවිපෙ බලයට එන එක වළක්වන්නයි මේ එකතු වෙන්නේ. රනිල් හරි සජිත් හරි දිනනවා නම් එයාලට එකතු වෙන්න ඕන කමක් නැහැ. මේ ඔක්කෝටම එකතු වෙන්න බලකරන්නේ ඇයි? මාලිමාවේ ජයග්‍රහණය පේන්න තිබෙන නිසා. උඩ ඉන්න දූෂිත, ප්‍රභූ පැළැන්තියේ බලය තියාගන්න එකට එකතු වෙනවා.

Govi-Rally-Sooriyawewa

එහෙනම් අපි මොකක්ද කරන්න ඕනැ; ඒකට මුහණ දෙන්න ගම්වල අපිත් පරණ කෝන්තර, වෙනස්කම් අමතක කරලා එකතු වෙන්න ඕනෑ. මේ සූරියවැවෙන් ලොකු ජයග්‍රහණයක් ගන්න ඕනෑ. මම ඕගොල්ලන්ගෙන් අහන්නේ,“ජීවිතේ ඇතිවෙලා නැද්ද?” දැන්නම් “හොඳටම ඇතිවෙලා” කියලා කොච්චර නම් හිතිලා ඇද්ද? වහ ටිකක්වත් කනවා කියලා හිතෙන වාර අනන්තයි. ජීවිතේ ගැන කළකිරිලා, එපා වෙලා තිබෙන්නේ. මොන කරුමයක්ද මේ කියලා හිතෙන වාර අනන්තයි. ඒ ගොල්ලන් එහෙම කල්පනා කරනවාද? තව අවුරුද්දක්වත් වැඩිපුර ඉන්න තමයි බලන්නේ. ඒ ගොල්ලන්ට ජීවිතය අත්හරින්න තරම් කරදරයක් නැහැ. රටේ ජනතාවට තෙල්, ලයිට්, ගෑස්, රස්සා, නැතිවෙන කොටත් එයාලට ඒ සියල්ලම තියෙනවා. ඒ ගොල්ලන්ට වාහන, ඉඩම් තිබෙනවා. ඒගොල්ලන්ගේ දරුවන්ට ඇමති තනතුරු තිබෙනවා. ගමේ ජනතාවට ගෙයක් නැති වුණාට එයාලට ගෙවල් හත, අට තියෙනවා. ඒ ගොල්ලන්ට තව තව ජීවිතේ ගැන තිබෙන බැඳීම වැඩියි. ගම්වල අයට ගෙයක් හදා ගන්න, දරුවන්ට උගන්වන්න, රස්සාවක් හොයාගන්න බොහොම අමාරුයි. ගොවිතැන් කරලා නෙලාගන්න අස්වැන්නෙන් ජීවිතය ගෙවා ගන්නේ බොහොම අමාරුවෙන්. ගමේ ජනතාව විඳවනවා. මෙහෙම වුණේ ඇයි?

අපේ රට පාලනය කළේ උඩ ඉන්න දූෂිත, ප්‍රභූ කණ්ඩායමක එකතුවක්. ඉස්සරහටත් රට පාලනය කරන්න හදන්නෙත් එයාලා. ඩී.එස්. සේනානායක එයාගේ පුතා, බණ්ඩාරනායක පවුල, ජේආර්ගේ පරම්පරාව, මහින්දගේ පරම්පරාව, පේමදාස අතීතයේ රට පාලනය කළා. අනාගතෙත් රට පාලනය කරන්න හදන්නේ ඒගොල්ලන්ගේ පරම්පරාව. අවුරුදු 76ක් මේ පවුල් කිහිපයක් අතේ තමයි බලය තිබුණේ. ඒගොල්ලන් ඥාතීන්ට, චෞර ව්‍යාපාරිකයන්ට, පාතාලයට සලකනවා. ගමේ ජනතාව හැමදාමත් හූල්ලමින් ඉන්නවා. අපිට දැන් අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මේ දූෂිත, චෞර ප්‍රභූ පැළැන්තියෙන් පොදු ජනතාව අතට බලය මාරුකර ගන්න. මාලිමාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත, විනාශකාරී කණ්ඩායම එළවනවා. ඊළඟට පළාත් සභා, ප්‍රාදේශීය සභා ඡන්දවලින් අලුත් කණ්ඩායමක් අතට රටේ බලය මාරු වෙනවා.

අපට බලය අවශ්‍ය ඇයි? අපට පෞද්ගලික අවශ්‍යතාවයන් නැහැ. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල කිසිවෙක් ඉඩම් අල්ලා ගන්න, හෝටල් ගන්න, ගල් මෝල් දාන්න, වැලි කපන්න, බහුදින යාත්‍රා දාන්න, බාර් දාන්න, පෙට්ට්‍රල් ෂෙඩ් දාන්න එන්නේ නැහැ. හෝටල් දාන්න ඕන හෝටල් කර්මාන්ත කරන අය. වගා කරන්න ඕන ගොවිතැන් කරන අය. පෙට්‍රල් ෂෙඩ් දාන්න ඕන ව්‍යාපාරිකයන්. පතල් කපන්න ඕන මැණික් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයෝ. අපිට බාර් දාන්න ඕන නැහැ. රට ගොඩදාන්න අපි හොඳ සැලැස්මක් හදනවා. ඒ වගේම අපි හැරමිටියෙන් යනකම් ඉන්නෙත් නැහැ. අපි නියමිත කාලෙට අපේ අතේ තිබෙන බලය නව තරුණ පරම්පරාවක් අතට බාරදීලා එයාලා රට කරන හැටි බලාගෙන ඉන්නවා. ඒත් එයාලා මේක දාලා යන්න කැමති නැහැ. ඇවිදගන්නත් බැරි තත්වයේ ඉඳගෙන පවුල් අත බලය තියා ගන්න උත්සාහ කරනවා. ප්‍රභූ පාලකයන් අතින් පොදු ජනතාව අතට බලය ගන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. මේ වෙලාව අත්හරින්න එපා. ඔබ කරන්න ඕන ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට ගහන කතිරවලින් පුරවන එකයි.

Govi-Rally-Sooriyawewa

අපි රටේ ප්‍රශ්න එකින් එක විසඳනවා. රට ගොඩනගලා ප්‍රශ්න විසඳනකම් සෑම පුරවැසියෙකුගේම ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සහතික කරනවා. ලෝකයේ හැම රටකම ආර්ථිකයෙන් පිටමං කරන ජනතාවක් ඉන්නවා. අන්න ඒ ජීවත් වෙන්න අමාරු ජන කොට්ඨාසය රැකබලා ගැනීම තමයි ආණ්ඩුවක වගකීම. ජනතාවට කන්න නැත්නම්, දරුවන් පාසල් යවන්න පහුකම් නැත්නම් සහනාධාර දෙන්න ඕනෑ. ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැත්නම්, බෙහෙත් ටික ඉස්පිරිතාලෙට එවන්න ඕනෑ. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්. සල්ලි නැහැ කියන්නේ බොරු, රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා කෝටි 875ක් වෙන්කර ගත්තා. මේ මාස දෙකෙන් ගෙදර යන්න ඉන්න කෙනා. සජබෙන් ආණ්ඩුවට ගන්න පුළුවන් කියන අයට සංවර්ධන වැඩවලට කියලා කෝටි 120ක් බෙදල දුන්නා. මීට කලින් රට යන්න මදි කියලා තවත් ලක්ෂ 2000ක් වෙන්කර ගත්තා. හැබැයි ඉස්පිරිතාලෙට බෙහෙත් ගේන්න සල්ලි නැහැයි කියනවා.
හම්බන්තොට රෝහලට ඕස්ටේ්‍රලියානු සමාගමකින් වෛද්‍ය උපකරණ සපයනවා. ඒ රටේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඒ ගැන පරීක්ෂණයක් කළා. ඒකෙන් හෙළි වුණා ඕස්ට්‍රේලියානු සමාගම හම්බන්තොට රෝහලට උපකරණ ලබාදීමේදී පගාවක් දීලා තියෙනවා කියලා. පගාව දීපු කෙනා හිරේ. පගා ගත්තු මෙහේ කෙනා පාර්ලිමේන්තුවේ. ඒ ගනුදෙනු බේරගන්න පුළුවන් වෙන්නේ මාලිමාවේ ආණ්ඩුවකින් විතරයි. ඒ නිසා හොරකම් කරපු පගා ගහපු ජනතාවගේ බදු මුදල් ආපහු ගන්න අපි වැඩ කරනවා.

කොවිඩ් වසංගතයෙන් පස්සේ ලෝකයේ හැම රටක්ම කෘෂිකර්මාන්තය ගැන වැඩි අවධානයක් යොදවනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන වැඩක් තමයි රටට අවශ්‍යවන ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සැලැස්ම ක්‍රියාත්මක කරන එක. කෘෂි නිෂ්පාදන, කිරි නිෂ්පාදන, මස් නිෂ්පාදන, මාළු නිෂ්පාදන සියල්ලෙන් අපි ස්වයං පෝෂිත විය යුතුයි. රට වටේ අටගුණයක මහ මුහුද; ඒ වගේම රට මැද සාගර වගේ වැව්. අපිට හොඳ මත්ස්‍ය අස්වැන්නක් නෙළන්න පුළුවන් විදිහට මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ඒ ක්ෂේත්‍රයට අලුත් තාක්ෂණය එකතු කරන්න ඕනෑ. ඉන්දියාවේ ධීවරයාට උදේට ෆෝන් එකට තොරතුරු එනවා අද මාළු ගැවසෙන්නේ කොයි පැත්තේද කියලා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මාළු වැඩියෙන් සැරිසරන ප්‍රදේශ හඳුනාගන්න තාක්ෂණය යොදාගෙන තිබෙනවා. අපි ඉමක් කොනක් නෙපෙනෙන මහ මුහුදේ ඔහේ සැරි සරනවා. එහෙම මාළු අල්ලන එක ලාභ වෙන්නේ නැහැ.

අපේ රටේ දරුවන්ගේ පෝෂණ ඌනතාවය ප්‍රධාන ප්‍රශ්නයක්. අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මත්ස්‍ය කර්මාන්තය දියුණු කළොත් ප්‍රෝටීන් ඌනතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ලංකාවට එන බිත්තරවලට වඩා කුලියාපිටියේ බිත්තර හම්බන්තොටට එනකොට මිලෙන් වැඩියි. එහෙම වෙන්නේ කොහොමද? අපේ නිෂ්පාදන පිරිවැය වැඩියි. එයාලා කුකුලන්ට දෙන්නේ එයාලා හදාගන්න බඩ ඉරිඟු. කුකුල් කූඩුවලට ගහන්නේ එයාලා හදා ගන්නා දැල, වහලෙට දාන්නේ එහේ හදාගන්න තහඩුව. කුකුලන්ට ගහන්නේ එහේ හදාගන්න ඉන්ජෙක්ෂන් එක. අපි කරන්නේ කුකුලට අවශ්‍ය සියල්ලම ඉන්දියාවෙන් ගෙන්වනවා. එතකොට බිත්තර මිල ඉහළයි. එහෙම නම් අපි ඒ කර්මාන්තය දියුණු කරන්න ඕනෑ. බිත්තර, මස් නිෂ්පාදන කර්මාන්තකරුවාගේ පිරිවැය අඩුකරන්න ඕනෑ. ඒ කර්මාන්තයට තරුණ පරම්පරාවට එන්න කියන්න ඕනෑ. ගමේ අලුත් ව්‍යවසායකයන් හදන්න පුළුවන්. එතකොට ගමේ තවත් කර්මාන්ත, අලුත් රැකියා හැදෙනවා. ඉන්දියාවෙන් බිත්තර ගේන එකෙන් හැදෙන්නේ ඉන්දියාවේ ආර්ථිකය. අපේ ගමේ ආර්ථිකය හැදෙන්නේ නැහැ.

Govi-Rally-Sooriyawewa

කිරි නිෂ්පාදනය ඉතා හොඳින් දියුණු කරන්න පුළුවන්. අපේ රටේ ඕනෑම කලාපයක සත්තු ඇති කරන්න පුළුවන්. හම්බන්තොට, අම්පාර, මොණරාගල ඉන්දියාවේ, පාකිස්ථානයේ ඉන්න මූරා වර්ගයේ හරක් හදන්න පුළුවන්. නාරම්මල, නාඋල, මාතලේ ප්‍රදේශවල මැදි කලාපෙට ගැලපෙන සත්තු හදන්න පුළුවන්. නුවරඑළිය, බණ්ඩාරවෙල පැතිවල නවසීලන්තයේ, ඕස්ටේ්‍රලියාවේ හැදෙන ෆර්සියන් වර්ගයේ හරක් හදන්න පුළුවන්. අපේ රටේ කිරි නිෂ්පාදනය දිරි ගන්වන සැලැස්මක් හදන්න ඕන. හොඳ සතෙක්ගෙන් කිරි ලීටර් 20ක් 30ක් දවසට දෙපාරකට ගන්න පුළුවන්. කිරි නිෂ්පාදනයෙන් යෝගට්, අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන්න පුළුවන්. ගමේ ආර්ථිකය එහෙම දියුණු කරන්න පුළුවන්. ගමේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න අලුත් තාක්ෂණය, වැඩි අස්වැන්නක් දෙන බීජ ප්‍රභේද, ගේන්න ඕනෑ. කෘෂි නිෂ්පාදනයට හොඳ සැලැස්මක් තිබෙන්න ඕනෑ. කෘෂිකර්මාන්තය ගෞරවණීය රැකියාවක් බවට පත්කරන්න ඕනෑ. ණය නැති, ආදායම් මාර්ගයක් තිබෙන, සතුටක් තිබෙන, ජීවිතයක් තිබෙන පුරවැසියෙක් බවට අපේ රටේ ගොවියා පත්කරන්න ඕනෑ. තාත්තා ගොවියා, පුතත් ගොවියා, පුතාගේ පුතත් ගොවියෙක් වෙන්න ඕනෑ නැහැ. අපේ දරුවන්ට පරම්පරාවෙන් උරුමවන රස්සාවෙන් ඔවුන් එළියට ගන්න ඕනෑ. අපේ ගොවියා ණය උගුලක හිරවෙලා. ඒ ණය උගුලෙන් ගලවා ගන්න අපි වැඩපිළිවෙළක් හදනවා. ගම්වල අලුත් පරම්පරාවට අලුත් අවස්ථා ලබාදෙන ආර්ථිකයක් හදනවා.

ගම්වල දරුවන්ට මේ විෂම චක්‍රයෙන් ගොඩ එන්න තිබෙන එකම පාර අධ්‍යාපනයයි. මේ පාසල්වල පහසුකම් වැඩි දියුණු කරන්න ඕනෑ. පාසල් විෂයන් වෙනසකට භාජනය කරනවා. ලෝකයේ ඕනෑම වෘත්තියකට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ සෑම පාසලකම අපි බිහිකරනවා. එතකොට දරුවා තාත්තා හිටපු ලෝකයෙන් එළියට එනවා. මේ විදිහට අවුරුදු කිහිපයක් වැඩ කළොත් අපිට ඇත්ත ජීවිතයක් ලබාගන්න ආර්ථිකයක්, සමාජයක් නිර්මාණය කරගන්න පුළුවන්. පවුලේ අය එකට සතුටින් ඉන්න, විනෝදයෙන් ඉන්න ජීවිතයක් අද අපට නැහැ. ජීවිතේ ගත කරන්නේ නිරන්තර වැඩවල හිරවෙලා, පීඩනය වැඩිවෙලා. අපේ ගම්වල ජීවිත එහෙම තමයි. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිත එහෙම වෙලා නැහැ. එයාලට වෙනම ලයිෆ් එකක් තියෙනවා.

අපේ හැම පවුලකටම හොඳ ආදායම් මාර්ගයක් සහිත ආර්ථිකයක්, දරුවාට හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හොඳ සෞඛ්‍ය සේවයක්, නොතෙමී ඉන්න හොඳ වාතාශ්‍රය සහිත නිවසක්, මානසික සුවයක්, මානසික නිදහසක් අවශ්‍යයි. ඒ අද මිනිස්සු විශාල ආතතියකින් ජීවත් වෙන්නේ. දවල්ට කෑවොත් රෑට කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. දරුවට ඉගැන්නුවා, රස්සාවක් නැහැ කියලා කල්පනා කරනවා. දරුවා ගමනක් ගියොත් ගෙදර එනකම් කල්පනා කරනවා. කුඩු හැමතැනම, කොල්ලා ඒකට ගොදුරු වෙයිද කියලා කල්පනා කරනවා. 76 අවුරුද්දක් අපට ජීවිතය අහිමිකර තිබෙනවා. පොදු ජනතාවට හොඳ ජීවිතයක් ලබාගැනීම වෙනුවෙන් අපි පොදු ජනයාගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපේ අපේක්ෂාව පොදු ජනතාවට වඩා හොඳ ජීවිතයක් උරුමකර දීමයි. අපි අලුත් ආණ්ඩුවක් හදමු. ඔබගේ උද්යෝගය, ඔබගේ ප්‍රබෝදය අපිට ධෛර්යක් ගෙනත් දෙනවා. සහතික වශයෙන් මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරන්න පුළුවන් කියලා අපි දැඩි විශ්වාසයක් තිබෙනවා.