(-ජාතික ජන බලවේගයේ අනුරාධපුරය ගොවි රැලිය – බුල්නෑව – 2024.07.30-)
ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන රට අලුත් මාවතකට හරවන පළමු ඡන්දය සැප්තැම්බර් 21 දින එළඹීමට නියමිත වනවා. ඔබ දීර්ඝ කාලයක් ඡන්ද දීලා නායකයන් ගෙනාවා. ආණ්ඩු හැදුවා. රට උඩට ආවාද? රටේ ආර්ථිකය දියුණු වුණාද? සෑම අතින්ම රට පහළට වැටුණා. දශක කිහිපයකට පෙර අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටි රටක්. නමුත් මේ පාලක කණ්ඩායමට අපේ රට හදන සැලැස්මක් තිබුනේ නැහැ. අපේ රට පොහොසත් කරන්න, ජනතාව පොහොසත් කරන්න පාලකයන්ට ඕනෑකමක් තිබුණේ නැහැ. ජනතාව දුප්පත් වුණාම ඡන්දෙ කාලෙට හාල් කිලෝ 20ක් දීල, තහඩු ටිකක් දීල, සිල් රෙදි දීලා, රස්සාවක් දීලා ඡන්දෙ ගන්න පුළුවන්. රටේ ජනතාව පොහොසත් වුණොත් ඒගොල්ලන්ගේ දේශපාලනය ඉවර වෙනවා. ජනතාව පොහොසත් වුණොත් දේශපාලකයා පස්සේ යන්නෙ නැහැ. රට වැටුණට ඒගොල්ලන්ගේ පවුල් වැටුණේ නැහැ. ඒ ගොල්ලෝ පොහොසත් වුණේ රස්සාවල් කරලා නොවෙයි; දේශපාලනය කරලා; ධනය පොදි ගහලා. මේ රට මෙච්චර කාලයක් පාලනය කළේ රටේ උඩින් හිටිය අය. සේනානායක බෝතලේ වලව්ව, බණ්ඩාරනායක හොරගොල්ල වලව්ව, ජේ.ආර්.ලා, රනිල්ලා, කොල්ලුපිටිය වලව්ව, රාජපක්ෂලා හම්බන්තොට මැදමුලන. අවුරුදු 76ක් මේ ගොල්ලන් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. ලංකාවේ මුළු දේශපාලනයම පවුල් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් රට වැට්ටුවා.
පාර්ලිමේන්තුවේ නිතරම කියන්නේ ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක් කියලා. මහ බැංකුවේ කෝටි 1100ක් සීනි බදු වංචාව කෝටි 1500ක් පොල්තෙල් බදු වංචාව කෝටි 350යි. වීසා වංචාව ඩොලර් කෝටි 104යි. පාලකයන්ගේ ගජ මිතුරන්ට සල්ලි පොදි ගහගන්න ඉඩ දෙනවා. ඒගොල්ලන්ගේ ආණ්ඩු නිසා. මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරනවා. ජනතාව ගන්න සීනි ටිකට, බෙහෙත් ටිකට, මිලදී ගන්න සෑම බඩුවකටම බද්දක් ගෙවන්න ඕනෑ. අර්ජුන් ඇලෝසියස් අරක්කුවලින් බදු අරගෙන තියෙනවා. ඒත් ආණ්ඩුවට ගෙවලා නැහැ. වයඹ අරක්කු ජොන්ස්ටන්ගේ. ආණ්ඩුවට බදු ගෙවලා නැහැ. දයා ගමගේ මහජන බැංකුවෙන් ණය අරගෙන ගෙවන්නේ නැහැ. ඒවා බොල් ණය හැටියට කපා හරිනවා. කෝටි 50කට වැඩියි. හැබැයි ජනතාවට සහනාධාර දෙන්න බැහැ කියනවා. රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන්කර ගන්නවා. බාර් ලයිසන් බෙදා ගන්නවා. කෝටි තුන ගානේ විකුණනවා. පෙට්‍රල් ෂෙඩ් ලයිසන් විකුණනවා. මේවා ඒගොල්ලන්ගේ ආණ්ඩු. ජනතාව මාරුවෙන් මාරුවට ඡන්දෙ දුන්නාට, ආණ්ඩු ගෙනාවාට හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩු.
අපේ රටේ එකින් එක පැටලුණු නූල් බෝලයක් වගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඉතා සංයමයෙන්, වැඩපිළිවෙළක් සහිතව ක්‍රමානුකූලව පියවරෙන් පියවර විසඳිය යුතුයි. මේ රට ලෝකයේ සාර්ථකම රාජ්‍යය බවට පරිවර්තනය කරනවා සහතිකයි. රටක් හදන්න ජනතාවට කන්න දෙන්න ඕනෑ. රනිල්ගේ ආර්ථිකය ප්‍රස්ථාරවලින් උඩට ගිහිල්ලා. ඒත් ජනතාවට කන්න නැහැ; ලෙඩට බෙහෙත් නැහැ; දරුවාට උගන්වන්න විදිහක් නැහැ. සෑම පුරවැසියාටම ආහාර දීමේ වගකීම අපි බාර ගන්නවා. සහනාධාර නරක දෙයක් නොවෙයි. සමහරු කියනවා සහනාධාර ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල්වල සහනාධාර දෙනවා. තරුණයෙක් රැකියාවක් ලබාගන්න තත්වයට වර්ධනය වුණාම රස්සාවක් සොයා ගන්නා තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් කෙනෙක්ගෙ කරමින් ඉන්න රස්සාව අහිමි වුණොත් අලුතින් රස්සාවක් ලැබෙන තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් අලුතින් විවාහ වූ දෙන්නෙකුට ඉන්න ගෙයක් නැතිනම්, නගර සභාවෙන් ගෙයක් දෙනවා. ආබාධිත දරුවෙක් ගෙවල්වල ඉන්නවා නම්, අම්ම රැකියාවක් කරන්න ඕන නැහැ සම්මත වැටුප අම්මාට ගෙවනවා. ලෝකය එහෙමයි මිනිස්සුන්ව බලා ගන්නේ. කොවිඩ් වසංගත වෙලාවේ ව්‍යාපාර කඩා වැටුණා. ව්‍යාපාරයේ වැඩ කරන අයට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා. ආණ්ඩු ව්‍යාපාර රැකගත්තේ එහෙම. රස්සාවල් අහිමි වුණා. එයා ලැබූ වැටුපට සරිලන වැටුපක් ගෙව්වා. නිවාස කුලිය ගෙව්වා. අපේ ආණ්ඩු මිනිස්සු බලා ගන්න ආණ්ඩු නෙවෙයි. ඒගොල්ලන් හැදෙන ආණ්ඩු.
අපි හදන්නේ මිනිස්සුන්ව බලා ගන්න ආණ්ඩුවක්. පුරවැසියාට කන්න නැතිනම් ආණ්ඩු හදලා වැඩක් නැහැ. දරුවන්ට ආහාර වේල, ගැබිණි මව්වරුන්ට ආහාර, පුරවැසියන්ට තමන්ගේ ආහාර ලබාදෙන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ග්‍රාමීය ජනතාවට තමන්ගේ ජීවන රටාවෙන් එළියට එන්න තිබෙන එකම පාර අධ්‍යාපනයයි. අද දෙමව්පියන්ට බරක් වෙලා තිබෙන අධ්‍යාපනය දෙමව්පියන්ගෙන් නිදහස් කරගෙන, රජයේ වගකීමක් බවට පත්කරනවා. දුප්පත්කම කියන්නේ සල්ලි නැතිකම පමණක්ම නොවෙයි. නූගත්කම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, අපරාධවල නියැලීම, දුප්පත්කමේම වෙනත් ඵල විපාකයක්. අපි හදනවා සැලැස්මක්. එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න බැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිලධාරීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පත්කර, ඉස්කෝල හත-අටක් බාර දෙනවා. එක දරුවෙක් දවස් තුනක් නොකඩවා පාසලට ආවේ නැතිනම් නිලධාරියා ඒ දරුවාගේ ගෙදර යන්න ඕනෑ. ඒ හේතුව අනුව අවශ්‍ය පියවර ගන්න ඕනෑ. අපි අධ්‍යාපනය අලුත් පරිවර්තනයක් ඇති කරනවා. සෑම වෘත්තියක්ම ගෞරවයට ලක්වෙන, වෘත්තිමයභාවය දෙන වෘත්තියක් කරනවා. වෘත්තිමයභාවය දෙන හොඳ වෘත්තිමය ආයතන ලෝකයේ තිබෙනවා. පුහුණු කරනවා. හැම වෘත්තියකටම හොඳ ආදායම් මාර්ගයක් ඕනෑ.
අපේ රටේ ගොවිතැනට ගරුත්වයක් නැහැ. ලෝකයේ ‘ෆාමර්’ කිවුවම ලොකු බලයක්, ගරුත්වයක් තිබෙනවා. ලෝකයේ සමහර රටවල්වල ගොවිපොළ අක්කර 25ට අඩුවෙන්න බැහැ. ලෝකයේ රටවල්වල වෙනම සුපර් මාර්කට් තිබෙනවා. කොරියාවෙ තමන් නිෂ්පාදනය කළ දේවල් ගෙනත් තමන්ම විකුණනවා. මිල අධිකයි. එයාලට ගෞරවයක් දෙනවා. අපේ ගොවියා අස්වැන්න නෙළන කාලෙ වෙනකොට කුඹුර දිහා බලලා කියනවා මේ සැරේ අස්වැන්න සරුයි කියලා. අස්වැන්න නෙළලා කමතෙම විකුණනවා. විකුණලා පොලී මුදලාලිට, කඩේ මුදලාලිට, කෘමිනාශක කඩේ මුදලාලිට, උකස් කඩේ මුදලාලිට බෙදනවා. අතේ සොච්චමක් ඉතිරි වෙනවා. ගොවි ජනතාව විශාල බරකින් මිරිකිලා ඉන්නේ. අපිට කියන්න බැහැ, ගොවියට සමාජ පිළිගැනීමක්, ගෞරවයක් තිබෙනවා කියලා. ගොවි තාත්තාට කියන්න හිතෙන්නේ නැහැ, ‘පුතේ උඹත් ගොවිතැන් කරපන්’ කියලා. ‘මම විඳින දුක මගේ දරුවට අත්පත් කර දෙන්නෙ නැහැ’ කියන එක තමයි ඒ තාත්තා හිතන්නේ. ගොවිතැන අවශ්‍යයි. ඒක ලාභදායී, ආදායමක් සහිත වෘත්තියක් බවට පත් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, කෘෂිකර්මාන්තය වටිනාකම් සහිත වෘත්තියක් බවට පරිවර්තනය කරනවා. ලෝකෙ හැමතැනම කෘෂිකර්මාන්තයට සහනාධාර දෙනවා. සහනාධාර කියන්නේ නිෂ්පාදන සහනාධාර. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විදුලිය, ඉන්ධන සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. කෘමිනාශක නොමිලේ දෙනවා. බීජ සහනාධාර මිලකට දෙනවා. ඉන්දියාවේ ගොවියාට ළුෑණු කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම අඩුයි. ඉන්දියාවේ ගොවියා තාක්ෂණය යොදාගෙන ඵලදායීතාවය වැඩි කරගෙන තිබෙනවා. අපි තෙල්, පොහොර, බෙහෙත් ගහන්නේ වැඩි මිලට. අපේ නිෂ්පාදන වියදම වැඩියි. සහනාධාර, නව තාක්ෂණය හරහා ඵලදායීතාව වැඩි කිරීමෙන් තොරව අපේ රටේ කෘෂිකර්මාන්තය ඉස්සරහට යන්න බැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය සහනාධාර, ඵලදායීතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ, සිදුකරනවා.
විසිවන සියවසේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යෙදවුම් සොයා ගත්තා. වැඩි ඵලදාවක් දෙන දෙමුහුන් බීජ නිෂ්පාදනය කළා. වැඩිදියුණු කළ බීජ සොයා ගත්තා. කෘෂිකර්මාන්තයට තාක්ෂණය එකතු කළා. ඒනිසා ඵලදායීතාවය වැඩි වුණා. ඒ වගේම මිනිසුන්ගේ ආයු කාලය වැඩි වුණේ විසිවන සියවසේ. බෙහෙත් සොයා ගත්තා. ඔපරේෂන් සොයා ගත්තා. හදවත් බද්ධ කිරීම්, අතපය බද්ධ කිරීම් සොයා ගත්තා. සමහර වසංගත රෝග පාලනය කළා, සමහර වසංගත රෝග මුළුමනින්ම තුරන් කළා. විද්‍යාවේ ජයග්‍රහණ විශාල ලෙස උකහා ගත්තා. අද දියුණු වී තිබෙන ආසියාතික රටවල් දියුණුව ලබා ගත්තේ විසිවන සියවසේ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමෙන්. අපි ඒ බීජ ගෙනත් වගා කරනවා. නිෂ්පාදනය කිරීම සඳහා අපේ පෙළඹුම අඩු වුණා. බහුජාතික සමාගම් විසින් අලුත් තාක්ෂණයෙන් බීජ නිෂ්පාදනය කරනවා. ඩුබායි වට්ටක්කා කොළයක් ගානේ ගෙඩි හැදෙනවා. විද්‍යාවේ අලුත් පර්යේෂණ විසින් අලුත් බීජ නිෂ්පාදනය කරනවා. අපි පර්යේෂණ ආයතන, ගොවිපොළවල් වහනවා. අර ගොල්ලන් හදපු බීජ වැඩි ගාණට ගෙනැත් ගොවියන්ට දෙනවා. ලෝකයේ ඇතිවූ විද්‍යාවේ හා තාක්ෂණයේ වෙනස්කම් විසින් අපටත් ඒවා හදන්න තිබුණා. අපි වැටුණා. ඒගොල්ලෝ නැග්ගා. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න අලුත් පර්යේෂණ අවශ්‍යයි. අලුත් දේවල් සොයා ගන්න අවශ්‍යයි. නව වගා ග්‍රම අවශ්‍යයි. අලුත් බීජ අවශ්‍යයි.
පර්යේෂණ හා සංවර්ධනය විසින් සොයා ගන්නා ලද නව නිමැවුම් විසින් තමයි අද ලෝකයේ ආර්ථිකය හදාගෙන තිබෙන්නේ. මේ තාක්ෂණය, විද්‍යාව වැදගත්. ඒවායින් සිදුවන පර්යේෂණ තුළින් තමයි අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ලෝකය පුරා විහිදිලා ඉන්න ශ්‍රී ලාංකේය විද්‍යාඥයනුත් ලංකාවේ සිටින විද්‍යාඥයනුත් එකතු කරලා අපේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන අපි ඉදිරිපත් කළා. ඒකේ ප්‍රධානියෙක් තමයි අපේ පොස්පේට්වලින් පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කළ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. එතුමා අපේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියෙක්. අපි මේ පොහොර කන්ද පස් විදිහට විකුණනවා වෙනුවට ගොවි ජනතාවට පොහොර ලබාදීම සඳහා කටයුතු කරනවා. අමු පස් විකුණනවා වෙනුවට, දියුණු කරන ලද පොහොර පිටරට විකුණුවාට කමක් නැහැ. ඒ විතරක් නොවෙයි, ලංකාවේ පස පිළිබඳ පර්යේෂණ කරන ප්‍රධානම විද්‍යාඥයා පේරාදෙණියේ මහාචාර්යතුමා, එතුමා ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදමින් අපිත් එක්ක සමීපව වැඩකරනවා. අපි පසේ ඇතිවෙන සංයුතිය පරීක්ෂා කර බලා, වගාවන් සහ වෙනස් කිරීම සඳහා අපි යෙදවුම් හඳුන්වා දෙනවා.
අපි නෙළාගන්න අස්වැන්න කල්තියා ගන්නේ කොහොමද කියන එක ගැන පර්යේෂණ අවශ්‍යයි. තායිලන්තයේ, ජපානයේ එළවළු, පලතුරු කල්තබා ගැනීමේ ක්‍රම තිබෙනවා. එයාර් පෝර්ට්වල එයාලගේ වෙනම සෙන්ටර් තිබෙනවා. අඹ, වරකා, මොර, අන්නාසි, එළවළු කල්තබා ගන්න විදිහක් තිබෙනවා. අවරුදු 76ක් මේ පාලකයෝ මේ රට පාලනය කළා. අද වට්ටක්කා නෙළනවා, දඹුල්ලට ගෙනියනවා, විකුණන්න බැරිවුණොත් අලින්ට කන්න දානවා. එක්කෝ අලියා කොටුවෙන් කනවා, නැත්නම් දඹුල්ලෙන් කනවා. දෙකම එකයි. අපේ පාලකයන් ලැජ්ජා වෙන්න ඕනෑ. මේ කෘෂිකර්මාන්තය අපි වැඩිදියුණු කළ කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කරනවා. ගොවි ජනතාවගේ ආදායම් මාර්ගය වැඩිවෙන, බලය වැඩිවෙන, ගොවි ජනතාවට සමාජ වටිනාකම හැදෙන නව කෘෂිකර්මාන්තයක් ජාතික ජන බලවේගය ඇති කරනවා. ඒක කරන්න ජාතික ජන බලවේගයේ අපිට තරම් වගකීමක් වෙන කිසිවෙකුටත් නැහැ. ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ උඩ ඉන්න අයට. අපි හදන්නේ පොදු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ.
අපි ජනාධිපතිකම් නළලේ කොටාගෙන ආව අය නොවෙයි. අපි පොදු ජනතාවත් එක්ක දේශපාලනය කරලා, ඒ ජනතාවත් එක්ක ජීවත්වෙලා, ජනතාවගේ වේදනාව, දුක, අත්විඳපු මිනිස්සු. ඒ නිසා අපට අවශ්‍යයි, මේ රට වෙනස් කරන්න. වෙනස් කළ යුතුමයි. කොච්චර වුවමනාව තිබුනත් අවස්ථාව එනකම් එක කරන්න බැහැ. මේ සැරේ වෙනස් කිරීමට අවශ්‍ය වන අවස්ථාව උදාවෙලා තිබෙනවා. සෑම සමීක්ෂණ වාර්තාවකින්ම පෙන්වන්නේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගය බවයි. මේ වෙලාව තමයි වෙලාව. මේ සැරේ එකක්වත් වරද්දන්නේ නැතිව ජාතික ජන බලවේගයට හරවමු. අපිට දිනන්න පුළුවන් ඡන්දයක් මේක. ජයග්‍රහණය කළ යුතුම ඡන්දය තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 දින පැවැත්වෙන්නේ. අපි අපේ වැඩකොටස අපි කරන්නම්. මහන්සි වෙන්නම්, කතා කරන්නම්. සැලසුම් හදන්නම්. හැබැයි ජයග්‍රහණයේ ප්‍රධානම වැඩ කොටස තිබෙන්නේ ඔබලා අතේ. ඡන්ද තියෙන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතිරෙ ගහලා පිරවීමට අවශ්‍ය සැලසුම හදන්න ඕනෑ. ගමේ මෙහෙයුම් කමිටු තව ලොකු කරන්න. හැම ගෙදරකටම යන්න. හැම ඥාතියාම හමුවෙන්න. යූ.එන්.පී., ශ්‍රී ලංකා, තරහා මරහා ඉවත් කරන්න. ඒගොල්ලෝ බලය වෙනුවෙන්, ඇමතිකම් වෙනුවෙන්, වරප්‍රසාද වෙනුවෙන්, ඕන තරම් එහෙට මෙහෙට පනිනවා. සජිත් එක්ක සන්ධානෙ හදන්න යන මැති ඇමතිවරු ගොඩක් අපිත් එක්ක එකතු වෙන්න කතා කළා. අපි කිවුවා ඕගොල්ලන්ගේ පැටිකිරිය එතරම් හොඳ නැහැ. ඔයගොල්ලෝ එළියේ ඉඳගෙන අපට සහයෝගය දෙන්න, කියලා. මේ රට විනාශ කරන්න භාජනය වුණු, වැරදි තීන්දුවලට අත උස්සපු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති බව සහතික කරනවා.
අපට ඕනෙ වෙන දේශපාලනයක්. හොරු එපානෙ. ගන්නේ නැහැ මතක තබා ගන්න. සජිත් පේමදාසට ආර්ථිකයේ ප්‍රධාන කෙනෙක් නාලක ගොඩහේවා. අපට නම් කොටස් වෙළඳපොළේ සල්ලි නැතිකරපු, ගිනිගත්ත නැවෙන් ලංකාවට ලැබිය යුතු වන්දිය අහිමි කළ කෙනා නාලක ගොඩහේවා. අපි අලුත් ගමනක් පටන් ගනිමු. මේ රට නව දිසාවකට ගෙනියමු. පවුල් කිහිපයක් අත තිබුණු රටේ දේශපාලනය, නව පරම්පරාවක් අතට, අලුත් බලවේගයක් අතට මාරු කරමු. අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. ඒ වෙනුවෙන් ඔබ, හැමදෙනත් එක්කම කතා කරන්න. හැම ඥාතියත් එක්කම කතා කරන්න. අපෙ පක්ෂයේ හිටපු පරණ කෙනා, අමාරුම කාලෙ අල්ලගෙන හිටපු කෙනා, යූ.එන්.පී, ශ්‍රී ලංකා පක්ෂ පාට අමතක කර හැමකෙනාම එකතු කර ගනිමු. මේ වෙලාවෙදි ඔක්කොම එක සමානයි. ඒ හැම කෙනාම එකට හිට ගැනීම පිළිබඳව ගෞරවය දෙන්න ඕනෑ. නායකත්වය දෙන්න ඕනෑ. වැඩවලට සම්බන්ධ කර ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්, රට වෙනස් කරන ආණ්ඩුවක් හදමු. ඒ වෙනුවෙන් සියලු දෙනා මැදිහත් වෙන්න.
“මාලිමාවට කතිරය ගහලා මෙතෙක් ජීවිතයේ වැරදුණු තැන් හදාගනිමු”
-නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති, නිවන්තක චේතිය රජමහා විහාරයේ විහාරාධිපති ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය රත්ගම සමිත හිමි-
අපි මෙතෙක් කල් දුක නමැති දායාදය තියාගෙන හිටියත් එය වෙනස් කිරීමේ අවස්ථාවක් ලබන මස 21 වැනි දිනට පැමිණෙමින් තිබෙනවා. මෙතෙක් කලක් පක්ෂ දෙකකට ඡන්දය දෙමින් ඔවුන් රජ කර අපිව අසරණ කෙරෙව්වා. මේ අසරණභාවය අපට උරුම නැහැ. රටේ සමස්ත ජනගහනයෙන් 70%ක් පමණ නියැලී සිටින ගොවිතැනේ අපේ මුතුන් මිත්තන් නියැලී සිටියේ බොහොම ආදරයෙන් කැමැත්තෙනුයි. නමුත් ගොවි ජනතාවටත් සුව පහසු නිවාස, හොඳ අධ්‍යාපනයක් ආදී වෙනත් පහසුකම් අවශ්‍යයි. නමුත් හැදාමත් ණයකාරයන් ලෙස සිටීමට සිදුවී තිබීම නිසා තරුණයන් ගොවි තැනෙන් ඈත් වූවා.
ඒ ප්‍රතිවිපාකය ඇති වුණේ මෙතනට පැමිණ සිටින වැඩි පිරිසක් පොහොට්ටුවට, අලියට නැත්නම් ටෙලිෆෝනයට කතිරය ගැසීම නිසයි. මමත් එහෙම කෙනෙක් තමයි. මෙතෙක් කල් අපි බොරුවකට හසුවී සිටින බව තේරුම් අරගෙන එයින් මිදීම කළ යුතුයි නේද? අපිව අන්දලා අපේ ඡන්දය බොරුවෙන් තක්කඩිකමෙන් ලබාගෙන ඔවුන් අපිව මංකොල්ලකෑවා. ඒ මංකොල්ලකෑම නතර කරන්නට ආදරණීය අම්මලා, තාත්තලා වගේම අපි හැමෝටම සුවිශේෂී වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා බොහොමයක් පෙළගැසී සිටිනවා. සැප්තැම්බර් 21දා මාලිමාවට කතිරය ගහලා මෙතෙක් ජීවිතයේ වැරදුණු තැන් හදාගන්නට අපේ වගකීම ඉටුකරමු. ශක්තිමත් ගොවි පරපුරක් අනාගතයේදී ඇතිකර ගන්නට පෙළ ගැසෙමු කියා ආරාධනා කරනවා.
“මේ දවස්වල ගොවීන්ට උපදෙස් දෙන්නේ අනුර කුමාර බීජය රෝපණය කරන්න කියලයි”
-ගල්නෑව ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්. වන්නිනායක-
අද වෙනකොට ගොවීන් මුහණ දී සිටින්නේ ඉතාමත් ශෝචනීය තත්වයකටයි. මේ දක්වා නියැලී සිටි වෙනත් දේශපාලන ධාරාවකින් ඉවත් වී පැමිණියේ ඒ තත්වයෙන් මිදීමේ හොඳම තෝතැන්න ජාතික ජන බලවේගය බව තේරුම් ගත් නිසයි. සමස්ත ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්නයි, ජාතික ජන බලවේගය සමග එක්වූයේ. ලංකාවේ පළමුවැනි මහවැලි ව්‍යාපාරය එච් කලාපයයි. කන්න වගාවට ගොවිතැන් කරනවා වෙනුවට සමස්ත ගොවියන් සියලු දෙනාම අවුරුද්දේ 365 දවසේම වාණිජ වගාවන් සිදුකරනවා. එච් කලාපයේ නිසි ආකාරයෙන් වැවෙන්නේ නැත්තේ කැරට් සහ බීට් විතරයි.
අපේ සමස්ත ගොවි ප්‍රජාවම ධෛර්යයෙන් ගොවිතැන් කටයුතුවල නියැලී සිටියත් විශේෂයෙන් ආනයනය කරන බීජ ඉතා ඉහළ මිලක් දී ප්‍රමිතියක් නැති තත්වයෙන් ලබාගත යුතු වී තිබෙනවා. තක්කාලි බීජ කිලෝ එකක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ හයයි. හොඳම මාළු මිරිස් ඇට කිලෝ එකක මිල ලක්ෂ පහ හමාරක් විතර වෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා බීජ මිල ගණන් ගැන දන්නවාද කියලත් සැකයි. අපේ රටට බීජ ගේන්න මේතරම් විශාල මුදලක් යනවාද කියලා හොයලා බලන්න ඕනෑ. සාධාරණ මිලකට බීජ ටික ලබාදෙන්න ඕනෑ. අපේ රටේ බීජ නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන් ඕනෑ තරම් ඉන්නවා. අපේ රටේ අනාගත පරම්පරාවට මේ තත්වය උදාකර නොදී නැවක් පමණ සල්ලි වියදම් කර බීජ ගෙන්වනවා වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කර ගත යුතුයි. ඒ වෙනුවෙන් මම මේ දවස්වල සියලුම ගොවීන්ට උපදෙස් දෙන්නේ අනුර කුමාර බීජය රෝපණය කරන්න කියලයි. සැප්තැම්බර් 21 ඒ බීජය වපුරලා අනාගතය සාර්ථක කරගමු කියලා ඉල්ලා සිටිනවා.
“ගොවි අම්මා තාත්තා මාලිමාවට කතිරය ගැසීමේ යුග මෙහෙවර ඉටුකරන බව විශ්වාසයි”
-රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර-
අපි මේ රැලියට ආවේ ඔබ සියලු දෙනාට ආදරය සහ මනුෂ්‍යත්වය ප්‍රකාශ කරන්න. මමත් ඔබ වගේම වැව් බැඳි රටේ ඉපදුණු අයෙක්. අපේ ආදරණීය ගොවි අම්මා තාත්තලාගේ ජීවිත ගැන මම අමුතුවෙන් කතා කරන්නේ නැහැ. පස්වන සියවසේ ධාතුසේන රජතුමා ඉදිකළ වාරි කර්මාන්තයෙන් තවමත් රටට සේවය කරනවා. මේ බිමේ ජීවත්වෙන ගොවි අම්මා තාත්තා තමන්ගේ වගකීම සහ යුතුකම ඉහළින්ම ඉටුකරන්න ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙයි කියා විශ්වාස කරනවා. සැප්තැම්බර් 21දාට යෙදෙන සුබ මොහොතින් ගොවි අම්මා තාත්තාගේ යුග මෙහෙවර ජාතික ජන බලවේගයට කතිරය ගැසීමෙන් ඉටුකරන බව විශ්වාසයි.
කලාවැව සහ බළලු වැව් දෙකේ තිබූ ඥාතිත්වය ගැන කවි පවා ලියැවී තිබුණා. මනුෂ්‍යත්වයෙන් සපිරි අව්‍යාජ ආදරණීය හැඟීමක් ලබාදෙන ජන ශ්‍රැති නිර්මාණය වී තිබුණා. අද ඔබට එවැනි නිර්මාණ සිදුකළ හැකි නිදහස් සමාජ වාතාවරණයක් ඇතිකර තිබෙනවාද? අපිට අහිමි වී ගිය ඒ ජීවිතය යළි ගොඩනගාගැනීම සඳහා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමේ පුනරුද යුගය ආරම්භ කිරීමට ඔබගේ ඡන්දය ලබාදී ඓතිහාසික වගකීම ඉටුකරමු කියන අනෙක් පණිවිඩය අවධාරණය කරනවා.
“ගොවියා කරදරයක් ලෙස සැලකූ පාලකයින්ගේ යුගය හමාර කරමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-
මේ රටේ දේශපාලනය වෙනස් වී තිබෙන ආකරය පිළිබඳව වැඩිහිටි ගොවි අම්මා තාත්තලාටත් අපි හැමෝටමත් හොඳ අවබෝධයක් තිබෙනවා. රනිල්ලා – රාජපක්ෂලා එකතු වී 2022 මැයි මාසයෙන් පසුව ගෙනගිය පාලනය සම්බන්ධයෙන් දැන් ඔවුන් දෙකට බෙදී, ප්‍රහාර එල්ල කර ගන්නවා. අද මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ 2022 මැයි මාසයේ 09වැනිදා ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහර දෙන්න දියත් කළ කුමන්ත්‍රණයට සමාන කුමන්ත්‍රණයක් 29 වැනිදා සවස පොහොට්ටුවේ පිරිසක් සිදුකළ බවයි. අපේ රටේ ජනතාව මේ කරුණු හොඳින් අවබෝධ කර ගෙන සැප්තැම්බර් 21දා පුනරුද යුගයට මුල පුරමින් අනුර කුමාර සහෝදරයා තෝරා පත්කර ගනිමු. අද වෙන කොට ගොවි බිමේ අසරණ වී සිටි ගොවියාට අවශ්‍ය බීජ, පොහොර, වතුර ලබාදී ශක්තිමත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නවා.
අපේ ආදරණීය අම්මා තාත්තලාගේ වෛද්‍ය වාර්තා තුනක් අරගෙන බැලුවොත් එක් අයෙක් වගුගඩු රෝගයෙන් පෙළෙන, බරපතළ ප්‍රශ්නයක් අනුරාධපුරේ තිබෙනවා. වැව් බැඳි රටේ මිනිසුන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්නත් මෙතෙක් සිටි පාලකයන් අසමත් වී තිබෙනවා. මහා රත්තරං පොළොවක් උඩ ඉන්න අපි එළවළු ටික පලතුරු ටික පිටරටින් ගෙන්වන්න පුරුදු වෙලා තිබෙනවා. අපේ ගොවියට බීජ ටික, පොහොර ටික ලබා දීලා, නව තාක්ෂණය හඳුන්වාදී කෘෂිකර්මාන්තයේ පිරිවැය අඩු කර, ගොවියාගේ ආදායම් වැඩි කළ යුතුයි. මේ පාලකයන් ගොවි අම්මා තාත්තා එක්ක ඒ කරුණු සාකච්ඡා නොකර වැව් සොරොව්වෙන් එන වතුර ටිකට මීටරයක් සවි කර, වතුර විකුණන්න සූදානම් වෙනවා. අවුැදු 2400කට වඩා පරණ පණ්ඩුකාභය රජු සැදූ පළමුවැනි වැවේ සිට මහා වාරි කර්මාන්තයකට මුල පුරා ලංකාව වාරි ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. එවැනි බිමක ජීවත් වෙන අනුරාධපුරයේ ගොවි අම්මා තාත්තාගේ නිෂ්පාදන ලෝකයත් සම්බන්ධ කරන්න මේ පාලකයන් කටයුතු කළේ නැහැ.
රනිල් වික්‍රමසිංහලාට ගොවියා තවත් කරදරයක් විතරයි. පසුගිය මැතිවරණ කාලයේ බැසිල් ඇවිත් කීවේ වහින කාලයට වට්ටක්කා ඇට ටිකක් විසිකරලා එන කම්මැලි ගොවියන් අස්වැන්න නෙළන කාලයට ඇවිත් කියනවා වට්ටක්කා ගණන් නැහැ කියලා. එහෙම කියලා ආණ්ඩුවට කරදර කරනවා කිවුවා. ඒ ගොවිතැන ගැන දන්නේ නැතිව කියූ කතා. එවැනි පාලකයන් තමයි වසර 76ක් මේ රට පාලනය කළේ. මේ සියලු තත්වයන් වෙනස් කර ගන්න තව දවස් 45ක විතර කාලයක් අපි හැමෝටම තිබෙනවා. හේනේ කුඹුරේ වැඩකරන ගමන් හමුවෙන හැමදෙනා එක්කම කතා කරමින් පුනරුදයේ ජයග්‍රහණය සඳහා පළමුවැනි පියවර ලෙස ලබන 21දා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිකමට තෝරා පත්කර ගනිමු. ඒ වෙනුවෙන් මහා ජන බලවේගය ගොඩනඟමු.
“කෘෂි වෙළපොළේ විකෘතිය අවසන් කරන විද්‍යානුකූල සැලැස්මක් ඇති මාලිමාව සමග එකතුවෙන්න”
-සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න-
මම මෙතනදී විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසට උත්තරයක් දෙන්න ඕනෑ. ඔහු මේ ප්‍රදේශයට ඇවිත් මොරගහකන්ද ජලාශයේ ජලය යොදා ගනිමින් පානීය ජලය සහ වගා ජලය යන ප්‍රශ්න දෙකම පියාණන්ගේ සූත්‍රයට අනුව විසඳන බව කීවා. මාධ්‍යවලත් ලොකු ප්‍රචාරයක් දී තිබුණා. මොරගහකන්ද ජලාශයේ ඝන මීටර් දස ලක්ෂ 557ක් අල්ලනවා. කළු ගඟ ව්‍යාපෘතියේ ඝන මීටර් දස ලක්ෂ 248ක් අල්ලනවා. ඒ අනුව සමස්ත මොරගහකන්ද ව්‍යාපෘතියේම ජල ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 805යි. මේ ව්‍යාපෘතියෙන් සාර්ථක ලෙස වාරි ජලය ලබා දෙන්න නම්, ඝන මීටර් දස ලක්ෂ 1455ක් පවතින්න ඕනෑ. මේ ව්‍යාපෘතියට තවත් ජලය ඝන මීටර් දස ලක්ෂ 650ක් අවශ්‍යයි. ඒ නැති නිසා මේ ව්‍යාපෘතිය දැනටමත් අසාර්ථකයි. මේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා හැටියට උමා ඔයේ ජලය ගෙන එන්න සැලැස්මකුත් තිබෙනවා. ඒ සියල්ල යෝජනා පමණයි. මේ ව්‍යාපෘතියට අදාළව දැනට තිබෙන සැලසුම් ගැන විස්තර සජිත් මෙහෙට ඇවිත් එයාගේ සැලැස්මක් හැටියට හඳුන්වාදී වාරි ජල ප්‍රශ්නය සහ පානීය ජල ප්‍රශ්නය එකවර විසඳන බව කියනවා. සජිත් මහත්තයෝ ඔය කතාව ඔයා මෙහෙට ඇවිත් කියන්න ඕන නැහැ.
ගොවි ජනතාව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා. ඡන්දෙ බලාගෙන පූච්චානම් කතා කියන්න එපා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වෙන් කළ සල්ලි හොරා කෑවා. හොරකම් කළ සල්ලි හරියට පාවිච්චි කළා නම්, මේ යෝජනා ක්‍රමය වර්තමානය වෙනකොට ඉවර කරන්න තිබුණා. රජරට ගොවියා මුහුණ දෙන ජල ප්‍රශ්නය නිසා වී වගාවට, ගොඩ බෝගවලට වතුර දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ. අපේ රටේ භූගත ජලය ඝන මීටර් මිලියන 55ක් පමණ තිබෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අවුරුද්දකට වැස්සෙන් ජලය ඝන මීටර් මිලියන 130,000ක් ලැබෙනවා. අපේ පොළොවේ අවුරුද්දකට එකතු වෙන සම්පූර්ණ වතුර ප්‍රමාණය ඝන මීටර් මිලියන 196,000ක් බව ගණන් බලා තිබෙනවා. මේ දැවැන්ත වතුර ප්‍රමාණයෙන් අපි අවුරුද්දකට ප්‍රයෝජනයට ගන්නේ ඝන මීටර් මිලියන 13,000යි. ඒ 13,000න් කොටසක් තමයි වැව් බැඳි රාජ්‍යයේ වැව්වල ගබඩාකරගෙන තිබෙන්නේ. අපේ මුතුන් මිත්තෝ එදා හිටි ජනගහනයට සාපේක්ෂව, වගා කළ ප්‍රමාණයට සාපේක්ෂව එදා තිබුණු තාක්ෂණික දැනුම අනුව ඒ වතුර ටික කළමනාකරණය කර ගත්තා. කලා වැවේ සිට තිසා වැවට වතුර ගෙන යන සැතැප්මකට අඟලක බැස්ම සහිත තාක්ෂණය ක්‍රියාත්මක කළා.
එදාට වැඩිය අද තාක්ෂණය විශාල වශයෙන් ඉදිරියට ඇවිත්, ජනගහනය වැඩි වී භූමියෙන් වැඩි අස්වැන්නක් නෙළා ගත හැකි ක්‍රමවලට යන්න ඕනෑ. අපට වතුර තියෙනවා. ඒ වතුර ටික නිසි ලෙස කළමනාකරණය කර, වැඩිපුර තිබෙන තැනින් හිඟ තැනට ලබාදෙන්න ඕනෑ. යල, මහ පමණක් නොවෙයි, අතර මැදි කන්නයක් වගාකරන තත්වයට දිගු කාලීනව එන්න ඕනෑ. මේ කලාපයේ 50%කට ආසන්න ප්‍රමාණයක් මහ කන්නය පමණක් වගා කර, යල කන්නය අත්හරිනවා. අපේ පාලනයක් යටතේ ජල ප්‍රශ්නය විසඳීමේ වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. අපි සියලු දෙනා පැමිණ සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකටයි. මේ දක්වා පිල්වලට බෙදී ඡන්දය දුන් අති බහුතරයක් ජනතාව මාලිමාවට ඡන්දය දෙන්න පෙළගැසී සිටිනවා. ඉතාමත්ම දුෂ්කර කටුක ජීවිත ගතකරන ගොවීන් හමුවෙන්න මැදවච්චියෙන් එහා තිබෙන ගලෙන්බිඳුණු වැව ගම්මානයට පවා අපි ගියා. ඒ ගමට යා හැක්කේ පයින් විතරයි. ඒ මිනිසුන් ඇවිත් ඉතාමත්ම ආදරයෙන් අපිව වැළඳ ගත්තා. ඒ අයගේ ගොවි බිම් සාර්ථක වී අස්වැන්නෙන් පිරිලා. ඒත් විකුණා ගන්න බැහැ. අපි එතන ඉඳලාම කොළඹට කතා කරන කොට, බටු කිලෝ එකක මිල රුපියල් 400කට කිට්ටුයි. ඒ ගොවීන්ට විකුණ ගන්න බැරිවයි ඉන්නේ. මේ විකෘතිය වෙනස් කරන්න විද්‍යානුකූල සැලැස්මක් තිබෙන මාලිමාව සමග එකතුවෙන හෘදය සාක්ෂිය අප වටා එකතු වී සිටිනවා. ගොවි අම්මා, තාත්තාගේ හදවත දැනෙන කෘෂිකර්මාන්තය පිළිබඳව මනා දැනුමක් තිබෙන ආදරණීය නායකයා වෙනුවෙන් ලබන සැප්තැම්බර් 21දා තමන්ගේ ඡන්ද පෙට්ටිවල 75%න් එහා මාලිමාව වෙනුවෙන් පුරවා ජයග්‍රහණය කරවන්න.