Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජනපති සහ ජර්මානු තානාපතිවරයා අතර හමුවක්

(-Colombo, October 09, 2024-)

සංවර්ධන හා වෙළඳ කටයුතු සඳහා ජර්මනියේ සහාය තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කළ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබීය.

German Ambassador And The Team Discuss With The President Dissanayake

ස්ථිර පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජර්මනිය කැපවී සිටින බව තානාපති ෆෙලික්ස් නියුමන් මහතා මෙම හමුවේදී ප්‍රකාශ කළේය.

ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව ද අන්‍යෝන්‍ය අවශ්‍යතා පදනම් කොට ගනිමින් එම සහයෝගීතාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා තමන් විසින් නියෝජනය කෙරෙන ජර්මනිය දක්වන උනන්දුව පිළිබඳව ද මෙම හමුවේ දී තානාපති නියුමාන් මහතා විසින් විශේෂයෙන් අවධාරණය කරන ලදී.

German Ambassador Chat With President Dissanayake

මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ජර්මනියේ වසර 70 ක පළපුරුද්ද පිළිබඳව අවධාරණය කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සිය සහය ලබා දෙන බවටද සහතික විය.

තවද, ශ්‍රී ලාංකේය තාක්‍ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන කටුබැද්ද සහ කිලිනොච්චි ජර්මානු කාර්මික විද්‍යාල දෙකෙහි මෙහෙයුම් තව දුරටත් වැඩිදියුණු කිරීම සඳහා ජර්මානු සහාය ලබා දෙන බව ද තානාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සහයෝගය ලබා දීමට ජර්මනිය සූදානම් බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

German Ambassador And President Dissanayake

එසේම ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව අනුව ශ්‍රී ලංකාව සඳහා අගනා අවස්ථාවක් ලබා ගත හැකි ඉන්දීය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නියෝජනය කිරීම සඳහා උනන්දු වන ලෙස ද තානාපති නියුමන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිරිමත් කළේය.

මීට අමතරව, තානාපති නියුමන් මහතා විසින් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර වෙළෙඳ සබඳතා පිළිබඳ තව දුරටත් අවධානය යොමු කරනු ලැබූ අතර එම අවස්ථා සොයා ගනිමින් ජර්මානු ශ්‍රම වෙළඳපොළ වෙත පිවිසීම සඳහා උත්සාහ කරන ලෙස ද ශ්‍රී ලංකාවට ඇරයුම් කරන ලදී.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා ජර්මනියේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව අවධාරණය තානාපතිවරයා දෙරට අතර ඇති ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා මෙහිදී තවදුරටත් තහවුරු කරනු ලැබීය.