Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ජනතාවට සේවය කරන සැබෑ දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි” -ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

(-ජාතික ජන බලවේගයේ ගම්පොළ මහ රැලිය – 2024.08.21-)

Harini-At-Public-Rally-Gampola

ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයක් පමණක් නොවෙයි, ඔබේ නිර්මාණය, ඔබේ ශක්තිය, ඔබ තමයි මේකෙ අයිතිකරුවෝ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 39 දෙනාගෙන් අනුර සහෝදරයාව ඉහළින්ම ඔසවා තැබුවේ ඔබයි. ඉතිහාසයේ පුළුල්ම ජනතා බලවේගය තමයි ජාතික ජන බලවේගය. ඒ ජනතා බලවේගය තමයි ලබන 21වැනිදාට ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ.

මේ වෙනකොට අපේ රටේ දේශපාලන භූමිය කඳවුරු දෙකකට බෙදිලා තිබෙන බව පැහැදිලියි. එක පැත්තකින් රට හදන්න ගොඩනඟන්න හෘදය සාක්ෂියක් තිබෙන අය එකතුවෙලා ඉන්න ජාතික ජන බලවේගය. අනෙක් පැත්තෙන් මාලිමාවට එරෙහිව එකතු වෙලා ඉන්න කඳවුර. ඒ ගොල්ලන්ගේ එකම ඉලක්කය මැලිමාවේ ජයග්‍රහණය වළක්වන එක. ඒක කරන්න කීයටවත් බැහැ. මොකද ජනතාව ඉන්නේ මාලිමාවත් එක්ක. ඔබ මේ දිනවල දකිනවා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන පැනිලි. කාගෙ හරි නමක් කිවුවොත් එයා කොයි පැත්තෙද ඉන්නේ කියල ගොඩක් වෙලා කල්පනා කරන්න අපිට සිද්ධ වෙලා. ඔවුන් ප්‍රතිපත්තියක් නැති ගෞරවයක් නැති, තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකයින්ට ගරු කරන්නේ නැති ඉතාම පටු පෞද්ගලික වුවමනා වෙනුවෙන් කටයුතු කරන පිරිසක්. බලය වෙනුවෙන් සියල්ල පාවා දෙන්න ඔවුන් සූදානම්. මාලිමාවේ ආණ්ඩුවකින් අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. මේ විදියට ජනමතයට පයින් ගහලා පක්ෂ මාරුකරනවා, නම් ඒ අයගේ මන්ත්‍රීකම අහෝසි කරන්න. ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ මොකටද? කාව නියෝජනය කරන්නද කියන එකත් දැන් ඔවුන්ට අමතක වෙලා. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටිලා තිබෙන්නේ මෙවැනි දූෂිත ප්‍රතිපත්ති රහිත දේශපාලකයන් නිසා. අද වැඩිහිටියෝ බඩ ගින්නේ. ළමයි බඩ ගින්නේ. තරුණ තරුණියෝ රට දාලා යනවා.

Crowd-At-Public-Rally-Gampola

ජීවත් වෙන්න තිබෙන සියලු අවස්ථා අපෙන් උදුරාගෙන මනුෂ්‍යත්වය පවා අපිට අහිමි කරලා. ගෙයි සාලෙ පින්තූර තියෙනවා. පවුලෙ කට්ටිය ඔක්කෝම හිනාවෙලා ඉන්න. හැබැයි ගෙදර නැහැ. අම්මයි තාත්තයි පින්තූර දිහා බලාගෙන ඉන්නවා. ළමයි රට දාලා ගිහිල්ලා. ඔවුන්ට එහෙම යන්න වෙලා තිබෙන්නේ මේ දූෂිත පාලන ක්‍රමය නිසා. මේක අපි වෙනස් කරන්න ඕනෑ. දේශපාලනය කියන්නේ ජනතා සේවයක්; ව්‍යාපාරයක් නොවෙයි. දූෂිත, දූෂණයට එරෙහි හරියටම නීතිය ක්‍රියාත්මක කරන, ජනතාවට සේවය කරන සැබෑ දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි පිහිටුවා ගත යුත්තේ. එවැනි අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ අදූෂිත නායකත්වයකට පමණයි. අනුර කුමාර දිසානායක කියන්නේ අන්න එවැනි අදූෂිත නායකයෙක්. මේ රටේ ජනතාවගේ ජීවිත හොඳින්ම තේරුම් ගත් කෙනෙක් කුඩා වයසේ සිටම මේ රටේ ජනතාට වෙලා තිබෙන අසාධාරණකම්, අසමාන සැලකිලි හොඳින් දන්න කෙනෙක්; අත්වින්ද කෙනෙක්. ඔහු අවුරුදු 30ටත් වඩා වැඩි කාලයක් මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න කැප වුණු කෙනෙක්. අවුරුදු 20කට එහා සිට ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සටන් කළ කෙනෙක්. එතෙක් කල් දේශපාලනයේ ඉඳලා ඔහුට විරුද්ධව කිසිම චෝදනාවක් කිසිවෙකුට එල්ල කරන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා හතුරන් කරන්නේ ඔහුට විරුද්ධව බොරු අවලාද මඩ ගසා දමන එක පමණයි. දූෂිතයන් ඔහුට බයයි. මොකද? පාර්ලිමේන්තුව තුළ ඔහු තමයි දූෂිතයන්ව නිර්භයවම හෙළිදරව් කළේ. ඔහු තමයි අපි වගේ ව්‍යාපාරයකට ඉන්න පුළුවන් හොඳම නායකයා. ඒ නිසා තමයි ඔහු අද වන විට ජනතාවගේ හදවත්වල ඉන්න නායකයා බවටත් පත්වෙලා තිබෙන්නේ. සැප්තැම්බර් 21 උදෙන්ම ගිහිල්ලා ඔබේ වටිනා ඡන්දය, ඔබ අපි ප්‍රාර්ථනා කරන වෙනස වෙනුවෙන් පාවිච්චි කරන බව අපට විශ්වාසයි. මේ අවලාදවලින් මඩවලින් ඒක වෙනස් කරන්න බැහැ.

මේ රට හදන්න පුළුවන්. මේක නැති කරලා තියෙන්නේ මේ රටේ ජනතාව නොවෙයි. මේ ත්‍රාඩ දේශපාලුවන් හා දේශපාලනය විසින්. අපේ වගකීම තමයි මේක වෙනස් කරන එක. අන්න ඒ වෙනුවෙන් අපි සූදානම් වෙමු. ඒ සඳහා පළමු පියවර සැප්තැම්බර් 21 ගනිමු. මේ රටේ පළමු වතාවට රටේ ජනතාව සැබෑ ලෙසම නියෝජනය කරන පාලනයක් හා නායකයෙකු පත්කර ගනිමු.

Jagath-Manuwarna-Public-Rally-Gampola

“ඡන්දෙ ගත්තු නායකයො වාසි බලාගෙන පැන්නට ජනතාව ඉන්නෙ මාලිමාව එක්ක”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රවීණ සිනමාවේදී ජගත් මනුවර්ණ-

පලනි දිගම්බරන් සහ වේළුකුමාර් අතර වලිය කවුරුත් දකින්න ඇති. වේළුකුමාර් නුවරින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. දිගම්බරන් නුවරඑළියෙන් තේරී පත් වී සජිත් එක්ක ඉන්නවා. වතුකරයේ ඉන්න තේ වතුවල අව්-වැසි නොබලා ශ්‍රමය වගුරුවන අම්මලා, තාත්තලාගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තු ගිහින් ඒ ඡන්ද ටික ගෙඩි පිටින් කාලයෙන් කාලයට විකුණා තමන්ගේ සාක්කුව තර කර ගන්නා පිරිසගේ ක්‍රියාකලාපය දැන් පැහැදිලියි. ඡන්දය කිට්ටු වෙද්දී, වතුකරයේ ජනතාවගේ දවසක පඩිය රුපියල් එක්දහස්හත්සීයක් කරන බවට නැවත කියවමින් එන අතිශය මුග්ධ අය, චණ්ඩිකමින් තමන්ගේ දේශපාලනය කරන්න එනවා. වේළුකුමාර්, දිගම්බරන්ට කීවේ කුඩු දිගා කියලා. අපි දන්නේ නැහැ කුඩු ගහනවා ද? කුඩු විකුණනවා ද කියලා. හැබැයි, එයාගේ යාළුවා වේළුකුමාර් තමයි, කිවුවේ. දිගම්බරන් වේළුකුමාර්ට කියනවා බාර් කුමාර් කියලා. මෙච්චර කාලයක් ඒ ගොල්ලන් දේශපාලනය ගෙන ගිය ආකාරයත්, ලබා ගත් ජනවරමට කළේ මොනවා දැයි ඉතාමත් පැහැදිලියි.

අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව, ඉවසීමෙන් ජාතික ජන බලවේගයේ දේශපාලනය කරගෙන ඇවිත් ඉන්නේ. මේ වන විට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියන එක රටේම ජනතාවට පැහැදිලියි. ඊයේ, පෙරේදා පිල් පැන්න චරිත හේරත්ලා, නාමල් රාජපක්‍ෂලා දළදා මාලිගාව වටේ රේස් පදින කාලයේ නිහඬව ඉඳලා අපේ පාලනයක් යටතේ පෙරහැර තහනම් කරන බව කියනවා. නැවත වතාවක් රට, ජාතිය අනතුරේ බව කියලා බිල්ලන් මවලා ඉදිරියට එන්න බැහැ. නාලක ගොඩහේවාලා, චරිත හේරත්ලා, චන්න ජයසුමනලා, විමල් වීරවංශලා, නාමල් රාජපක්‍ෂලා එක්ක එකතු වී මුස්ලිම් ජනතාව වෛරක්කාරයන් බවට පත් කරන ප්‍රචාර හැදුවා. දොස්තර සාෆි මවුවරුන් දහස් ගණනක් වඳ කළ බවට කතා හැදුවා. චන්න ජයසුමනලා තව දුරටත් ජාතිවාදය වපුරලා, අවසානයේ පාස්කු ප්‍රහාරය එල්ල කර 2019 ජනාධිපතිවරණයට පාර කපා ගත්තා. නුවර දිස්ත්‍රික්කයෙන් ලොහාන් රත්වත්තලා, මහින්දානන්ද අලුත්ගමගේලා, දිලුම් අමුණුගමලා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යැව්වා. ඒ අය අද වාසි පැති බලලා පැනලා. නමුත්, ඔවුන්ට ඡන්දය දුන් ජනතාව අද ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. දැන් ඉන්නේ තව දුරටත් ඔවුන්ගේ උප්පරවැට්ටිවලට හසු නොවන ජනතාවක්.

SM-Pasmin-Gampola-Public-Rally

“දේශීය වගාකරුවන් ආරක්ෂා කරගන්න අනුර සහෝදරයා දිනවන්න”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එස්.එම්. පස්මින්-

අපේ ප්‍රදේශයට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන කුළුබඩු ගැන කෙටියෙන් අදහස් දක්වන්න මම කල්පනා කරනවා. යන යකා කඩාගෙන යනවා වාගේ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ දුවෙක් ගම්මිරිස් සහ කරුංකා කන්ටේනර් ගණන් ගෙනැවිත් තිබෙනවා. ගම්පොළ ආසනය කියන්නේ ගම්මිරිස්, කරාබුනැටි, කරුංකා බහුලව තිබෙන ප්‍රදේශයක්. ගම්මිරිස් මිල රුපියල් 2300, 2400 දක්වා ඉහළ ගියා. කරුංකා රුපියල් 1300ට ගියා. අද වෙන කොට රුපියල් 750ට වැටිලා. ගම්මිරිස් රුපියල් 1200ට වැටිලා. ඒකට හේතුව බැඳුම්කර කොල්ලයට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරයකුගේ දුවෙක් මේ කුළුබඩු ගෙන්වීමයි. ගම්මිරිස් ප්‍රතිඅපනයනය නවත්වා දේශීය වගාකරුවන් ආරක්‍ෂා කිරීමට මාලිමා රජයක් යටතේ කටයුතු කරනවා. එහි ආරම්භක පියවර ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීමට අපි හැම දෙනාම කැප වී කටයුතු කරනවා.

Thushari-Jayasinghe-Gampola-Public-Rally

“අපි මෙතෙක් කල් දැකපු සිහිනය යථාර්ථයක් කර ගන්න දිනය අතළඟයි”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ තුෂාරි ජයසිංහ-

පසුගිය මැතිවරණයේ දී ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කර යැවූ මන්ත්‍රීවරු අද ඉන්නේ ඔබ තෝරා යැවූ පිලේම ද? පිල් පනිමින්, අද ඔවුන් ඉන්නේ කොතැන ද කියලා හිතා ගන්න බැහැ. පිල් පනිමින්, ඔවුන් කෙළිදෙලෙන් ඉන්න අතර, ඡන්දය දුන් අපේ ජීවිත ගෙන යන්න බැරි තත්වයට ඇද දමා තිබෙනවා. මේ තත්වයට තිත තියන දවස ලබන 21 වැනිදා මුළු ශ්‍රී ලංකාවම එකතු වී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීමෙන් ආරම්භ කරනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳගෙන සිටින සියලුම දෙනාගේ මුහුණුවල ප්‍රබෝධය අපට දකින්න පුළුවන්. අපි මෙතෙක් කල් දැකපු සිහිනය යථාර්ථයක් කර ගන්න දිනය අතළඟයි සහෝදර, සහෝදරියනි. මේ රටේ ජනතාවගේ දුක හඳුනන, ජනතාව අතරින් සියලු දෙනා එකාවන්ව සලකන අපේ නායකයා තෝරා ගන්නා දිනය ඉතාම ආසන්නයි. ඉදිරි දින කිහිපයේ දී තව දුරටත් ජනතාව මාලිමාව වටා එක්රැස් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

Dr-Sivaprakash-Gampola-Public-Rally

“යා යුත්තේ කොහේද කියන එක කඳුකර ජනතාවට දැන් හොඳටම පැහැදිලියි”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය සිවප්‍රකාශන්-

කඳුකර ජනතාව නියෝජනය කරමින්, මේ දක්වා තෝරා යැවූ මන්ත්‍රීවරු ගැන අදහසක් දිගම්බරන් සහ වේළුකුමාර් අතරේ ඇති වුණු ගුටිබැට හුවමාරුවෙන් තේරුම් ගන්න පුළුවන්. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකුට වෙන කොහෙවත් නොගිහින්, ඔවුන්ගේ සටන් රූපගත කරන්න පුළුවන්.

කඳුකර ජනතාවට දැන් හොඳටම පැහැදිලියි කොහෙට ද යන්න ඕනෑ කියලා. මොනවා ද කරන්න ඕනෑ කියලා. මහනුවර දිස්ත්‍රික්කය විශේෂයි. මේ දිස්ත්‍රික්කයේ කඳුකර ජනතාව සහ මුස්ලිම් ජනතාව සියයට පණහට වැඩියෙන් දැන් තෝරාගෙන ඉන්නේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාවයි. අපට ජය නියතයි. අපේ අනාගත ජනාධිපතිතුමා සාමාන්‍ය ජනතාව අතරින් ආව අනුර කුමාර දිසානායකයි. ජාතික ජන බලවේගය කියන්නේ අපේ පක්‍ෂයක් නොවෙයි, මහජනතාවගේ පක්‍ෂයක්. මහජනතාව මේ ඡන්දයෙන් දිනන එක ස්ථිරයි. මෙතැන වැඩිපුර ඉන්න සිංහල සහෝදරවරුන් ඉදිරිපත් වී දෙමළ, මුස්ලිම් සහෝදර සහෝදරවරියන්ට මාලිමා ලකුණ ගැන කියලා දෙන්න. දිශාව පෙන්වන මාලිමාව ගැන හැම දෙනාටම පැහැදිලි කර දෙන්න. රට වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් කරන ලොකුම මෙහෙය මේ අවබෝධය ලබා දීමයි. මහනුවර දී සියයට හැත්තෑවකට වඩා ඡන්දය ලබාගෙන මාලිමාව ජයග්‍රහණය කරනවාමයි.

Sampath-Kotuwegoda-Public-Rally-Gampola

“මුළු රටේම පවතින අන්ධකාරය තුළින් ජාතික ජන බලවේගයේ දීප්තිමත් ආලෝකය දැක්කා”
-විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ-

මම ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා උසස් පෙළ ඉගෙන ගන්න අවධියේ යුද හමුදාවට බැඳී වසර 36ක් සේවය කර 2021 දී මේජර් ජෙනරාල්වරයකු වශයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වී විශ්‍රාම ගත්තා. අවුරුදු 36 සේවා කාලයෙන් අවුරුදු 26ක්ම සිටියේ යුදබිමේ. යුද්ධය නිම කිරීම නිසා සිංහල සහ දෙමළ සහෝදරයෝ දෙගොල්ලම මැරෙන එක නතර කරන්න හැකි වුණා. යුද්ධය නිම කිරීමෙන් පසු උතුර සහ නැඟෙනහිර ගොඩනැඟීමේ කටයුතුවලට සක්‍රියව සහභාගි වුණා. මම විශ්‍රාම ගිය පසු 2022 අප්‍රේල් 12වැනිදා මේ රට බංකොළොත් කියලා ප්‍රකාශයට පත් කළා. ගුවන් යානයක් කඩාගෙන වැටෙනවා වාගේ කඩාගෙන වැටුණේ නැහැ. පාලකයන් කිසි කෙනෙක් මේ විදියට කඩාගෙන වැටෙන බව දන්නේ නැද්ද? රට බංකොළොත් කීවාම අපි මවිතයට පත් වුණා. තිස් වසරක් යුද්ධය වෙනුවෙන් අධික වියදම් දැරූ රට බංකොළොත් වෙන්නේ යුද්ධය අවසන් කර අවුරුදු 12කට වැඩිය ගත වූ පසුවයි.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන ජර්මානු ජාතික නාට්‍යකරුවා කීවේ, “යුද්ධය ඉවරයි, සාමය එනවා, පරිස්සම් වෙයල්ලා” කියලයි. ඇත්තටම පරිස්සම් වෙන්න ඕනෑ යුද්ධයෙන්. නමුත්, බ්‍රෙෂ්ට් කියන්නේ “සාමය එනවා, පරිස්සම් වෙයල්ලා” කියලා. යුද්ධය ඉවර වී සාමය ආවාට පස්සේ කොල්ලකාරී පාලකයන් යුද ජයග්‍රහණයේ ආකර්ෂණයට මුවා වී වේගයෙන් රට කොල්ලකන්න පටන් ගත්තා. ඉංග්‍රීසින් මේ රට පාලනය කරමින්, කොල්ලකෑම් සිදු කළත්, අපට රට භාර දෙන වෙලාවේ භාණ්ඩාගාරයේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගියා. 1950 දී එංගලන්තයට පවුම් මිලියන 50ක ණයක් දෙන්න තරම් පොහොසත් භාණ්ඩාගාරයක් තිබුණා. යුද්ධය අවසන් වූ පසු මුළු රට ම අන්ධකාරයේ හෙළුවත්, ඒ අඳුර තුළින් ජාතික ජන බලවේගයේ අලෝකය අප සියලු දෙනාටම දැකගන්න ලැබුණා. මටත් ජාතික ජන බලවේගයේ ආලෝකය දැකගන්න ලැබුණේ මේ පාලකයන් රට අන්ධකාරයේ හෙළුවාට පසුවයි. ඔවුන්ගේ දේශපාලනය කෙතරම් දීප්තිමත් ද කියලා දැකගන්න ලැබුණා. මෙතෙක් සිටි පාලකයන් මේ රට තුළ ගොඩනැඟූ දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කර අදූෂිත, රටට ආදරය කරන ජනතාවාදී මාලිමාවේ දේශපාලනඥයන් සමඟ විශ්‍රාමික අපත් එකතු වී සිටිනවා. 50,000කට අධික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ‘අදිටන’ වටා සංවිධානය වී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවා, රට පුනරුද යුගයක් කරා ගෙන යන්න කැප වී ක්‍රියා කරනවා.

Muneer-Mulaffar-At-Public-Rally-Gampola

“මඩ අවලාදවලට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවකුත් රැවටෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්-

අද මධ්‍යම කඳුකරයත්, ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පොළ දී මුළු රටටම ලබා දී තිබෙනවා. වෙනදා දකුණ, උතුරට එරෙහිව ඡන්ද පාවිච්චි කළා. ඒ වාගේම උතුර, දකුණට එරෙහිව ඡන්ද පාවිච්චි කළා. නමුත්, මෙවර ඡන්දය පාවිච්චි කරන්නේ කිසිවකුට එරෙහිව නොවෙයි. මේ රට විනාශ කළ හොරුන්ට එරෙහිව රටේ සියලුම ජනතාව උතුර, දකුණ එකට හිටගෙන පෙළගැසී සිටින බවයි අද මෙතැන දී ලබා දී තිබෙන පණිවුඩය. රටේ සියලුම දෙනා පවසන්නේ මෙතෙක් පැවැති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කඩඉම ලෙස සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරා පත් කර ගන්නා බවයි. ඉස්සර රජාගෙන් රජාට, ඊට පස්සේ හොරාගෙන් හොරාට මාරු වුණු බලය මෙවර හොරාගෙන් ජනතාව අතට රැගෙන එන බව සමාජ මාධ්‍ය පණිවුඩයක සඳහන් වෙනවා. මේ නිසා සමහරු කලබල වෙලා. අපි කතා කරන දේවල පුංචි පුංචි කෑලි අරගෙන මඩ ගහන්න පටන්ගෙන තිබෙනවා. ගිය ජනාධිපතිවරණයටත් පෙර කළ කතාවක කොටස් මේ වෙනුවෙන් යොදා ගන්නවා. මේ ප්‍රචාරවලට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවකුත් රැවටෙන්නේ නැති බව ගම්පොළ නගරයේ දීත් තහවුරු වී තිබෙනවා. එළැඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් තව තවත් ධෛර්යයවත් වෙමින් රොද බඳිමු කියන ආරාධනය මම ඔබ සැම ඉදිරියේ තබනවා.

Liyanage-Amarakeerthi-Gampola-Public-Rally

“සෑම දෙනා තුළම සිටින ප්‍රබෝධවත් මිනිසා අවදි කරමින් ජාතික ජන බලවේගය දිනවමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති-

මෙතෙක් ඇදහැලුණු වැස්ස තුරල් වුණා. කුඩ ඉහළාගෙන් සිටි අත් දෙක දැන් නිදහස්. අනුර සහෝදරයා තව ටිකකින් එනවා. මේ වේදිකාවේ සිට හාත්පස බලන විට ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් රාජකාරියේ නියැළී සිටින බොහෝ දෙනකු දැකගන්න පුළුවන්. ඔවුන් අද ආරක්‍ෂාව සපයන්නේ සැප්තැම්බර් 22වැනිදා මේ රටේ නියත වශයෙන්ම ජනාධිපති ලෙස තේරී පත් වන අනුර කුමාර සහෝදරයාගේ රැලියට බව සඳහන් කරන්න ඕනෑ. ගම්පොළ ආසනය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 107,000ක් වෙනවා. එයින් ලක්‍ෂයක් අනුර සහෝදරයාට ලබා දීමේ අභියෝගය අපි කවුරුත් එකතු වී භාර ගනිමු. ජාතික ජන බලවේගය කියන්නේ අභියෝගවලට මුහුණ දෙන්න බය නැති, සහෝදර ජනතාව බලමුළු ගන්වන්න බය නැති බලවේගයක්.

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ලංකාව නිදහස් වුණාට පසු මෙතෙක් සිටි පාලකයන් රට විනාශ කළ පසුව නැවත මේ රට ගොඩනැඟීමේ පරිවර්තන යුගයකට අප පැමිණ සිටිනවා. ඒ වෙනුවෙන් අපේ පංතියේ, අපේ සහෝදරයෙක්, නිදහස් අධ්‍යාපන පද්ධතියෙන් බිහි වුණු බුද්ධිමතෙක් මේ රටේ ජනාධිපති බවට අපි හැමෝම එකතු වී පත් කර ගන්නවා. අපි ඉන්නේ, මේ රටේ සෑම ජනතාව තුළම සිටින ප්‍රබෝධවත් මිනිසා අවදි කරමින්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමේ අබිමුවයි. ජාතික ජන බලවේගය විසින් අපි හැමෝම තුළ නිදහස්කාමී මනුෂ්‍යයෙක් නිර්මාණය කර තිබෙනවා. මේ දුෂ්කර ඉනිමඟ මේ දක්වා පැමිණ සැප්තැම්බර් 21වැනිදා අපේම ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගන්න පෙළගැසෙමු. අප ඇතුළේ සිටින දීනයා, පරාජිතයා, අසරණයා ඉවතට ඇදදමා පුනරුද යුගයේ ධෛර්යවන්ත මිනිසකු ලෙස සාමුහිකව ආත්ම ශක්තියෙන් නැඟිටිමු.