(ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.04.07)
මහා මැතිවරණයක් පවත්වනවාද? ජනාධිපතිවරණයක් පවත්වනවාද කියලා සංවාදයක් ජනගත කර තිබෙනවා. රාජපක්‍ෂලාගේ කණ්ඩායම මේ රටේ ජනතාවගේ විශාලම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන බලයට ඇවිත්, අද වෙන කොට ජනාධිපතිවරණයකදී ඉදිරිපත් කරන්න අපේක්‍ෂකයෙක් නැතිව සිටිනවා. ජනාධිපති අපේක්‍ෂක හැටියට පවුලෙන් කෙනෙක් හොයා ගන්න බැරි වෙලා ඉන්න අතරේ පවුලෙන් පිට දෙන්න සූදානමකුත් නැහැ. ඇත්තටම පොහොට්ටුව කියන්නේ පක්‍ෂයක් නොවෙයි, සීමාසහිත පවුලේ ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයට මහා මැතිවරණයකින් මන්ත්‍රීකම් දහයක්, පහළොවක් ගන්න මුලින් මහා මැතිවරණයක් තියන්න උත්සාහ කළා. ඒක හරියන්නේ නැහැ. අපි හැම දෙනාටම රට වෙනස් කරන ජනාධිපතිවරණයක් වෙනුවෙන් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැම දෙනාම පෙළගැසී සිටිනවා. එක කාලයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජාතික සමඟියේ සංකේතයක් හැටියට තිබුණා. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව දිනවන ජනාධිපතිවරයෙක් ජාතික ජන බලවේගයෙන් පත් කර ගන්න අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වෙනවා. අපට අවශ්‍ය ආණ්ඩුවක් අටවා ගන්න, ඇමැතිකම් ගන්න නම්, ජනතාව අතරට එන්න ඕනෑ නැහැ. පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින කට්ටිය එකතු කර ගත්තා නම්, අපි මූලික වී ආණ්ඩුවක් අටවා ගන්න පුළුවන්. එහෙම හදන ආණ්ඩුවකින් රටට වැඩක් නැහැ. අපට ඕනෑ ආණ්ඩුවක් අටවන්න නොවෙයි, ජනතාවාදී පාලනයක් පිහිටුවා වට්ටපු රට ගොඩනඟන්නයි.
අපට නැති කළ අභිමානය ගොඩනඟා ජනතාවට සතුටින් සිටිය හැකි රටක් බිහි කිරීම සඳහා ජනතාවට වග වෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ. අපේ රටේ ජනගහනයෙන් ශක්තිමත්ම බලවේගය වන කාන්තාවන් එකතු කර නොගෙන රට ගොඩනඟන්න බැහැ. තේ, රබර් වතුවල වැඩ කරන්නෙත්, ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සහ මැදපෙරදිග ගෘහසේවයේ යෙදී සිටින්නෙත් කාන්තාවන්. ඔවුන් රටට විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා දෙනවා. හේනේ, කුඹුරේ වැඩ කරමින්, ගෙදර සියලු කටයුතු කරන්නෙත් කාන්තාවන්. ජාතික ජන බලවේගය කාන්තාවන් වේදිකාවේ සැරැසිල්ලක් ලෙස නොව රට දිනවීමට ඔවුන්ගේ ශක්තිය එකතු කර ගනිමින් සිටිනවා. කාන්තාවන් ලෙස ඔබ ඡන්දය පාවිච්චි කර ගොඩනඟන ආණ්ඩුවක රට හැදීමේ කටයුතුවලට ධෛර්යයෙන් මැදිහත් වෙන අධිෂ්ඨානයෙන් පෙරට එන්න ඕනෑ.
මීට ටික කලකට කලින් මහින්ද රාජපක්‍ෂත් එක්ක හිටපු කණ්ඩායම ඩලස් අලහප්පෙරුමත් එක්ක ගිහින් එයින් කොටසක් ඊයේ පෙරේදා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ගියා. ඒ අය ඔය පුටුවලින් නැඟිටලා, රනිල් වික්‍රමසිංහ එක්ක යයිද කියලා කියන්නත් බැහැ. ඔය එහෙට මෙහෙට පනින කිසිම අවස්ථාවාදියෙක් ජාතික ජන බලවේගයට ගන්නේ නැහැ. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙත් මේ දවස්වල ගිනිකෙළි. චන්ද්‍රිකා කුමාරතුංග නඩුවක් දාලා මෛත්‍රීපාල සිරිසේනගේ පක්‍ෂ සභාපතිත්වය තහනම් කළා. අපි සියලු දෙනා රටේ බලය ගන්න උත්සාහ කරන අතර, ඒ ගොල්ලෝ පක්‍ෂයේ බලය අල්ලන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුමලාගේ පිරිස ගත්ත එක්ක තිස්ස අත්තනායක දන්නේ කලින් දවසේලු. ඒවා අවස්ථාවාදී රංචුගැසීම් මිස පක්‍ෂ නොවෙයි. ජනතාව දැනුවත් කරමින්, ඒකරාශී කරන පක්‍ෂ එකයි තියෙන්නේ, ඒ ජාතික ජන බලවේගය පමණයි. ලංකාවේ දැවැන්තම මහජන ව්‍යාපාරය එයයි.
මේ දවස්වල තරගයට බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. මේ දක්වා ඡන්ද කාලයේදී ඒ ගොල්ලෝ අපායේ ඉන්ටවල් වාගේ ජනතාවට සැලැකුවේ. මේ පාරත් අපායේ ඉන්ටවල් අරගෙන රැවටෙන්න බැහැ. දැන් අපි උපාය දන්නවා, ඒ නිසා අපායේ වැටෙන්නේ නැහැ. ඡන්දේ එන නිසා පාසල් ළමුන්ට දිවා ආහාර වැඩසටහනක් පටන්ගෙන ජනාධිපති ගිහින් බත් බෙදන්නත් පටන්ගෙන තිබෙනවා. අපේ රටේ දරුවෝ උදේට කන්න නැතිව ඉස්කෝලෙට ඇවිත් කලන්තේ දාලා වැටුණා. ඒ දරුවන්ට බත් ටිකක් දෙන්න අපේ රටේ ගුරුවර, ගුරුවරියෝ ඉතිහාසයේ පළමු වතාවට බත් බැංකුවක් හැදුවා. අවුරුදු ගාණක් තිස්සේ කන්න නැතිව හිටි දරුවෝ ගැන කවුරුත් බැලුවේ නැති බව අම්මා, තාත්තා දන්නවා. දැන් අපට ඕනෑ ඡන්ද කාලෙට ඇවිත්, බත් හැන්දක් බෙදන ජනාධිපති කෙනෙක් නොවෙයි, රට හදලා, දරුවන්ට තුන්වේල කාලා ඉන්න හැකි ආර්ථිකයක් ගොඩනඟන පාලනයක්. එහෙම ජනාධිපති කෙනෙක් සහ පාලනයක් පිහිටුවන්න හැකියාව තියෙන්නේ, ජාතික ජන බලවේගයට පමණයි. රනිල් වික්‍රමසිංහ පරණ ක්‍රමයට හාල් බෙදලාත් ඡන්ද ගන්න බලනවා. රනිල් එක්ක තරගයට හාල් බෙදන්න සජිත් ප්‍රේමදාසත් ඇවිත් ඉන්නවා. සජිත් ප්‍රේමදාස අපව කොපි කරලා කාන්තා සමුළු තියන්න පටන් ගත්තා. මුලින් තියපු සමුළුවලට කාන්තාවන් ආවේ නැති නිසා හාල් මලු ගොඩ කරලා, පේන්න තියලා, කාන්තාවන් ගෙන්වා ගන්න උත්සාහ කළා. ඔවුන් බඩු බෙදීමෙන් දේශපාලනය කරන සංස්කෘතිය මෙවර අපි වෙනස් කරන්න ඕනෑ, ජනතාවගේ හෘදය සාක්‍ෂියේ ඡන්දය කිසිම භාණ්ඩයකට හුවමාරු නොකරන පාලනයක් පිහිටු වන බව අපි සහතික කරලා කියමු. හාල් කිලෝ දහයකට, පහළොවකට ආත්මය පාවා දෙන මිනිසුන් නොවන බව අපි ඔප්පු කර පෙන්වන්න ඕනෑ.
මේ දක්වා රට දුප්පත් කර ඒ දුප්පත් ජනතාවට හාල් කිලෝ පහක් දීලා ඡන්දය ගන්න උගුලක් අටවලා තියෙන්නේ. ජනතාවගෙන් කොල්ලකා ගොඩ ගහ ගත් ධනය ටිකක් යොදවා කාන්තාවන්ට සිල්රෙදිත්, පිරිමින්ට අරක්කුත් බෙදන ක්‍රමයකින් බලය අරගෙන ඊට පස්සේ ජනතාවගේ ධනය කොල්ලකනවා. ඡන්දයක් කිට්ටු වුණාම ඒ ධනයෙන් කොටසක් යොදවලා, නැවත බලය ගන්න විෂම චක්‍රයකට ගෙන යන සූදුව නවත්වන්න ඕනෑ. ලබන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයෙන් ඒ ගොල්ලන්ගේ බල සූදුව අපි අවසන් කරනවා. රනිල් වික්‍රමසිංහගේත්, මේ ආණ්ඩුවේත්, මේ ක්‍රමයේත් කල් ඉකුත් වීමේ දිනය දැන් ගහලා ඉවරයි. ඔක්තෝබර් පහ හෝ දොළොස් වැනි සෙනසුරාදා මේ ක්‍රමයේ කල් ඉකුත් වෙනවා. කල් ඉකුත්වූ සියලු දෙනා පැත්තකට දා අලුත් රටක් හදන්න හැකියාව තිබෙන පාලනයක් අප බිහි කරනවා. ත්‍රිකුණාමලයට තිබුණු විශාලතම සම්පත කන්තලේ සීනි කම්හල. ඒක වහලා දාලා සීනි පිටරටින් ගේනවා. මේ කර්මාන්ත නැවත ගොඩනඟා මහජන සහභාගිත්වය සහිත නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනෑ, ඇමැති මණ්ඩලයකට විතරක් තනිවම ආර්ථිකයක් හදන්න බැහැ. ඒකට මහජනතාවත් ඕනෑ. ඒ මහජනතාවට සාධාරණ ප්‍රතිලාභ ලැබෙන්නත් ඕනෑ. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික කණ්ඩායමේ ඉන්න එරාන් වික්‍රමරත්න රටේ දේපළ විකුණන්න ඕනෑ බව කියනවා. සජිත් ප්‍රේමදාස ළඟ ඉන්න ආර්ථික ඔස්තාද් කෙනෙක් වන එරාන් වික්‍රමරත්න කියන්නේ මැදපෙරදිග තෙල් විකුණනවා වාගේ අපත් සම්පත් විකුණන්න ඕනෑ කියලා. මැදපෙරදිග තෙල් විකුණනවා මිස තෙල් නිධිය විකුණන්නේ නැති බව එයා දන්නේ නැහැ. අපේ රටේ කිරි ගොවිපොළවලට අයිති අක්කර තිස්අටදාහක් විකුණන්න යනවා. අප කරන්නේ මේ කිරි ගොවිපොළවලින් කිරි නිෂ්පාදනය කරලා කිරි විකුණන එකයි.
අඩු ගාණේ තමන්ගේ ප්‍රතිපත්තිය ගැන අවබෝධයක් නැති මිනිසුන්ට මේ රට හදන්න බැහැ. විවාදයකට කතා කරන්නේ බොරුවට. අපි අපෙන් අනුර සහෝදරයා ඉදිරිපත් කරමින්, ඒ ගොල්ලන්ගේ සජිත්ට එන්න කියලා කීවා. සජිත් එනවා නම්, ඒ බව ලිඛිතව කියන්න. අපි ඒ විවාදයට ලෑස්තියි. එහෙම එන්නේ නැතිනම්, ඒ බවත් ලිඛිතව කියන්න. ඒ අනුව මොකද කරන්නේ කියලා අපි සලකා බලන්න ලෑස්තියි. ආර්ථික නිදහස, ස්වාධීනත්වය දිනාගැනීමේ අලුත්ම නිදහස් අරගලයක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල අයිතිය ජනතාවට තියෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් ආර්ථික ස්වාධීනත්වය දිනාගෙන ජාතික සමඟිය ඇති කරන්න ඕනෑ. අනුර සහෝදරයා යාපනයට ගිහින් කීවේ ගනුදෙනුවකට නොආ බවයි. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟා රට ගොඩනඟන්න එක් වන ලෙස සියලු දෙනාට ආරාධනා කළා. මේ දිස්ත්‍රික්කයේදී අපි කියන්නෙත් ඒ කතාවමයි. ජාතික සමඟිය තියෙන දේශපාලන සංස්කෘතියත්, හොරකම, වංචාව, දූෂණයට එරෙහි සංස්කෘතියත් අපි ගොඩනඟනවා. ඒ වාගේම හොරාකාපු ධනය සියල්ලම නැවත අත්පත් කර ගන්නවා. ඒ වාගේම මන්ත්‍රීවරයාත්, ඇමැතිවරයාත් ප්‍රභූන් නොවෙයි, මහජන සේවකයන් බවට පත් කරන සංස්කෘතියක් ගොඩනඟනවා. ඒ වාගේම කාන්තාවන්ට නිදහසේ මහමඟ යන්න පුළුවන් සමාජ සංස්කෘතියක් ගොඩනඟනවා. අඩුම තරමින් අපේ දරුවන්ටවත් මේ වැනි පීඩාවන් නොවන පාලනයක් අපි ගොඩනඟමු. අප ඉදිරියට මොන බලවේග ආවත්, ඉතිහාසය වෙනස් කරන ගැහැනු බහුතරය එකමිටට එකතු වී අලුත් පාලනයක් බිහි කරන බවට අපි අධිෂ්ඨාන කර ගනිමු. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකට එකතු වී, කාන්තාවන් ලෙස එකමිටට එකතු වී අධිෂ්ඨානයෙන් ක්‍රියා කරමු. ජනතාවාදී පාලනයක් දක්වා මොන බලවේග ආවත්, නොසැලී ඉදිරියට යමු. රට ගොඩනඟමු.
“ජනතාවාදී පාලනයක් කියන්නේ මුළු රටම ජයග්‍රහණය කරවීමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය-
ලංකාවේ සිදු වන්නේ මොනවාද කියලා මුළු ලෝකයම බලා ඉන්න මොහොතක රට තීරණාත්මකව වෙනස් කරන්න ඔබ, අපි වැනි ගැහැනුන් විශාල වැඩ කොටසක් භාරගෙන තිබෙනවා. අප භාරගෙන තිබෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම පමණක්ම නොවෙයි. ඉතිහාසය පුරාම ආණ්ඩු හැදුවේත්, ආණ්ඩු එළවලා දැම්මෙත් ගැහැනු අපි. මෙතෙක් කල් අපව ගණන් ගත්තේ මැතිවරණ කාලයේදී විතරයි. බොරු පොරොන්දුවලට රැවටිලා, ඡන්දය දීලා අපි තමයි ආණ්ඩු පිහිටුවූයේ. අවුරුදු හැත්තෑහයක් තිස්සේ තට්ටුමාරු ක්‍රමයට ඒ ගොල්ලෝ බලයට ඇවිත් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. තව සතියකින් උදා වෙන අවුරුද්ද වෙනුවෙන් 2019 ඉඳලා කෑම මේසය හදන්න ගන්න කැවිලි සඳහා අවම වියදම සියයට 126%කින් වැඩි වෙලා. මේ අවුරුද්දේදී සියයට දෙකකින් අඩු කරලා පාලකයන් ආර්ථිකය හොඳ බව කියනවා. ඇත්ත බඩු මිල මොකක්ද කියලා අපි දන්නවා. 126%ක් බඩු මිල වැඩි කරලා දැන් අඩු වූ බවට බොරු සංඛ්‍යා කියලා අපව රවට්ටන්න බැහැ. මේ පාර අපි වෙනස් වෙන්නේ ඡන්දය දීලා පැත්තකට වෙලා බලා ඉන්න නොවෙයි, රට හදන්න නායකත්වය ගන්නයි. තව දුරටත් රැවටෙන්න අප සූදානම් නැහැ. අද දළදා මාලිගාව පෙන්වන්නත්, බස්වලින් කට්ටිය ගෙන යනවාලු. ඒකෙන් පේන්නේ ගැහැනු අපට බය වෙලා තියෙන තරම. අපි තවමත් ආණ්ඩුව හදලාත් නැතිව ඒ ගොල්ලොත් වෙනස් වෙනවා නම්, ඒක හොඳ දෙයක්.
අපි මේ මැතිවරණයක් දැකලා කරන දේවල් නොවෙයි. අවුරුදු ගාණක් කල්පනා කරලා, සැලැසුම් කරලා මේ රටේ ගැහැනුන්ට බලය ලබා ගන්න දැනුවත් කිරීම් මේ කරන්නේ. රට පිළිබඳව තමන්ගේ ජීවිත පිළිබඳව තීන්දු තීරණ ගන්න හැකි සමාජයක් අපි හදනවා. ගැහැනුන්ට එකතු විය හැකි ආරක්‍ෂිත, ආදරණීය, අපට ගරු කරන අභිමානවත් ලෙස සිටිය හැකි තැනක් අපි නිර්මාණය කරනවා. මේක ක්‍රමානුකූලව යන ගමනක්. මේ ක්‍රමය වෙනස් කරන්න නම්, අනුර සහෝදරයා ජනාධිපති කර ජනතාවාදී පාලනයක් අපි පිහිටුවන්න ඕනෑ. ජනතාවාදී පාලනයක් කියන්නේ ඒ ආණ්ඩුවේ බලය අප අතට අරගෙන මාලිමාවේ අය විතරක් නොවෙයි, මුළු රටම ජයග්‍රහණය කරවීමයි. ගමේ ගැහැනුන් එකතු කරගෙන සංවිධාන පිහිටුවමින්, අපි යන්නේ නිකම් තනතුරු පිරිනමන්න නොවෙයි. අපට ඉදිරියටත් වැඩ තිබෙනවා. අප සියලු දෙනා එකතු වෙලා ජනතාවාදී පාලනයක් කියන සිහිනය හැබෑ කර ගන්න ඕනෑ. පාලකයාට බර කරගෙන තිබෙන ධනය, වරප්‍රසාද සියල්ල ජනතාවගේ පැත්තට ගන්න ඕනෑ. පාලකයාත්, පුරවැසියාත් අතර වෙනසක්, දුරස්ථභාවයක් තියෙන්න බැහැ. අපේ සල්ලි වියදම් කරමින්, ඔවුන් සුරසැප විඳින අතර, අපට දුක් විඳින්න සිදුවී තබෙන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. අපේ බදු මුදල්වලින් බලය පවත්වාගෙන යමින්, එය තමන්ගේ උරුමයක් ලෙස සලකන අය අපට විවිධ චෝදනා කරනවා. සින්දු කීවත්, නැටුවත්, කතා කළත්, හිනා වුණත් අන්වීක්‍ෂයකින් බලමින්, වැරැදි හොයනවා. මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයේ විනෝද වෙමින්, සතුටින් සිටීමේ අයිතිය අපට තිබෙනවා. අප කාගේවත් දේවල් හොරකම් කරලා නොවෙයි, සතුටු වෙන්නේ. අපි බතුයි, ලුණුයි කෑවත්, ඒක කන්නේ අභිමානයෙන්.
කාලයක් තිස්සේ අපට ප්‍රතිපත්ති නැහැ කියලා කෑගැහැව්වා. ප්‍රතිපත්ති තියෙනවා කියලා, අවුරුදු 76ක් තිස්සේ රට පාලනය කළ අය රට බංකොළොත් කරලා අපේ ප්‍රතිපත්ති කොහිද කියලා අහනවා. සතියෙන් සතියට අලුත් මාතෘකා ගෙනැවිත් පුස් වෙඩි වාගේ විනාශ වෙලා යනවා. අලුත්ම මාතෘකාව විවාදයකට එන්නලු. විවාද කරන්න අපි සූදානම්. ඒකට පිළිවෙළක්, කලාවක් තියෙනවා. ඉස්සර වෙලාම එන්නේ ජනාධිපතිවරණය. මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැති අය විවාද කරලා තේරුමක් නැහැ. අපි අපේ අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නම්. ඒ ගොල්ලන්ට ඕනෑ නම්, සජිත් ප්‍රේමදාසත්, රනිල් වික්‍රමසිංහත් ගෙනැල්ලා ජනතාව ඉදිරියේ විවාදයක් තියමු. ඒක කීවාම මුහුණ දෙන්න බැරිව යට යනවා. ඔය විවාද මාතෘකාව ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයාව යට යවන්න ඇතුළෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් හැටියටද කියලත් මම හිතනවා. මාධ්‍යවේදීන් අනුර සහෝදරයාව ප්‍රශ්න කරන විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්න කරනවා ඔබ දැක තිබෙනවාද? මාධ්‍යවේදීන් තුන්හතර දෙනා එකතු වී ප්‍රහාර එල්ල කරමින්, අනුර සහෝදරයාව ප්‍රශ්න කරනවා. සජිත් ප්‍රේමදාසව කවදාවත් එහෙම ප්‍රශ්න කරලා නැහැ. එහෙම තියෙද්දී, ඔහුගේම පක්‍ෂයේ අය ගෙන ආ විවාදය නිසා සජිත් ප්‍රේමදාසටත් ඒ ගැන කතා කරන්න සිදුවී තිබෙනවා. සමගි ජන බලවේගය කීවාට අපට කියන්න වෙන්නේ අසමගි බලවේගය කියලා. ඔවුන්ගේ නායකයාට ඔවුන් හරස් වෙනවාද කියලා මට නම සැකයි. ඒ විදියට නායකයාව අමාරුවේ දාන්න අවශ්‍ය නැහැ. ඕක සමහර විට රනිල් වික්‍රමසිංහගේ සැලැසුමක්ද දන්නෙත් නැහැ, සජිත් ප්‍රේමදාසව අමාරුවේ දාන්න. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඕනෑම කුමන්ත්‍රණයක් කර බලයේ ඉන්න සිතුවිල්ල විතරයි.
ගැහැනු අපි බලාගෙන හිටියා හොඳටෝම ඇති. අපි සියලු දෙනා එකතු වී ඉන්නේ රට හදන අරමුණින්. ඒ වෙනුවෙන් පැහැදිලි සැලැසුමක් තියෙනවා. අපි සියලු දෙනාම එකඟ වී ප්‍රතිපත්ති හදන මූලධර්ම තිබෙනවා. අපි ඉතාමත් ක්‍රමානුකූලව, එකමුතුව සාමුහික හැඟීමකින්, සාමුහික අරමුණකින් සියලු දෙනාගේම ජීවිත යහපත් කරන්න ක්‍රියා කරනවා. අපේ ශක්තිය ඒක. ඒ වෙනුවෙන් ඉවසන්න තව ටිකයි දිනයි තිබෙන්නේ. අපි මේ ගමන නවත්වන්නේ සියලු දෙනාටම සතුටෙන ජීවත් විය හැකි රටක් හැදීමෙන් පමණයි. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙමු. ගැහැනු අපි එකමිටට. ජයවේවා!