(රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.03)
අපට දැන් ප්‍රධාන වැඩකොටස් දෙකක් තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක මේ රට හැදීම. දීර්ඝ කාලයක් මේ රටේ පාලකයන්, දේශපාලන අධිකාරිය විසින් අපේ රටට උරුමකර දී තිබෙන්නේ විනාශකාරී තත්වයක්. ඔවුන් බලයේ හිටියොත් අපට ඉතිරි කරන්නේ විනාශකාරී අනාගතයක්. එය තවදුරටත් අත්හදා බලන්න වුවමනා නැහැ. අපි හැමෝම පොරබදන්න ඕනෑ සුබදායී අනාගතයක් වෙනුවෙන්. ඒ සඳහා මෙතක් ගමන් කළ දේශපාලන මාවත වෙනුවට නව දේශපාලන ගමන් මාවතකට අවතීර්ණ කළ යුතුමයි. අපි බලය ලබාගත යුතුමයි. මේ අවුරුද්දේ ඔක්තෝබර් අවසන් වෙන විට ලංකාවේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්. දැන් ඡන්දේ පැවැත්වීම ගැන අවිනිශ්චිතව සිතන්නේ ඇයි? පළමුවෙනි වතාවට රටේ ‘බලය’ උඩ ඉන්න දූෂිත ප්‍රභූ තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට මාරුවීමට නියමිතව තිබෙන නිසා. ඒගොල්ලෝ මෙතෙක් ඡන්දේ කල්දැම්මේ බලය එයාලට අහිමිවෙයි කියන බයට. මේ එකතුවෙලා ඉන්න ගැහැනු දකින කොට දැන් ඡන්දේ කල්දාන්න කොහොමත් බයයි.
ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන ජනතාවගේ සැඩපහර විශාලයි. ඒ නිසා නයි මුගටි එකට එකතු වෙමින් ඉන්නවා. හැමෝම එකතු වෙලා අවලාද අසත්‍ය චෝදනා එල්ල කරනවා. රනිල් වික්‍රමසිංහ එයාගේ ප්‍රචාරක සැලැස්ම සැලසුම් කර තිබෙනවා. ඒ සැලසුමට ලංකාවේ තිබෙන ප්‍රචාරක ආයතන තුනක් තෝරාගෙන තිබෙනවා. ඒ ප්‍රචාරක සැලැස්මේ තිබෙන්නේ අපි ගැන කියන්න. අපි ගැන කියන කෑල්ල හදන්න දීලා තිබෙන්නේ අපේ කෙනෙකුට. රනිල් වික්‍රමසිංහ හදන ප්‍රචාරක දැන්වීම්වල කරුණු තුනක් තිබෙනවා. එකක් 88-89 හා මැයි මාසයේ 09 සිදුවීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ප්‍රචණ්ඩකාරී ඉතිහාසය අත්හැර නොමැති බවට ප්‍රචාරයක් හදන එක. මැයි මාසයේ 09දා ගිනිතැබීම්වලට සම්බන්ධ වූවන්ගේ නාම ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඒ නාම ලේඛනයේ තිබෙනවා ඒ හවුල් වූ අයගේ දේශපාලන සබඳතාවය. වැඩිම සම්බන්ධතා තිබෙන්නේ පොහොට්ටුවේ අයට. මේ හදන්නේ නැවත අතීතයක් අවුස්සලා ජවිපෙ ගැන බියජනක චිත්‍රයක් හදන්න.
ඒ වගේම මේය අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. දැනට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරු පස්දෙනාම ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියට විරුද්ධව වැඩ කරපු අය. පස්දෙනාම අධිකරණයෙන් වැරදිකරුවන් වී තිබෙනවා. පාර්ලිමේන්තුව අසල තිබෙන ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තමන්ගේ මිතුරෙකුට දීම සම්බන්ධව අධිකරණයෙන් වැරදිකරු වී චන්ද්‍රිකාට දඩයකුත් ගැහුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්ථිකය බංකොලොත් කර කඩා වැට්ටවීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළා “ආර්ථික ඝාතකයෝ” කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාවෙන් එයාට බලයක් නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් හත්දෙනෙක් තීන්දු කළා එය ව්‍යවස්ථාවට පටහැණි බවට. ඊළඟට පාස්කු ප්‍රහාරයේදී ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවරී තිබෙන වගකීම ඉටුකිරීමට අසමත් වූ නිසා, එම වරදට දශලක්ෂ සියයක (කෝටි 10ක) වන්දියක් නියම කළා. මෛත්‍රීපාල සිරිසේන තමන් කැබිනට් මණ්ඩලයේ ඉන්න අතරෙ තමන් විශ්‍රාම යනකොට තමන්ට වුවමනා ගේ කැබිනට් මණ්ඩලයේ තමන්ම ඉඳගෙන අනුමත කරගත්තා. ඒවට රනිල් වික්‍රමසිංහ අත ඉස්සුවා. සජිත් අත ඉස්සුවා. මෛත්‍රීපාල සිරිසේනට විශ්‍රාම ගොස් ඉන්න කොළඹ වටිනාම විශාල ගෙයක් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා ඒ ගේ එයාට අයිති නැහැ කියලා. නිවසෙන් එළියට ඇදල දැම්මා. ලැජ්ජා නෑ මේ අයට. ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයා පත් කළා. එම පත්කිරීම ව්‍යවස්ථා විරෝධියි. ව්‍යවස්ථා සභාවේ පස්දෙනෙක් අනුමත කරන්න ඕනෑ. ව්‍යවස්ථා සභාවේ හතර දෙනෙක් අනුමත කළා. දෙන්නෙක් විරුද්ධ වුණා. දෙන්නෙක් නිහඬව හිටියා. ඡන්ද ප්‍රමාණය සමාන වුණොත් කථානායකවරයාට තීරක ඡන්දයක් තිබෙනවා පාවිච්චි කිරීමට. මෙතන ඡන්ද සම නැහැ. නමුත් කළේ කථානායකවරයා පක්ෂ බවට ඡන්දයක් දී පොලිස්පති පත් කළා. මේ පත්කිරීම ව්‍යවස්ථාවට පටහැණියි. මහ දවල් අමු අමුවේ ඒ විදියට නීති කඩන, ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන අය ප්‍රකාශ කරනවා, “ජාතික ජන බලවේගය ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි” කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කඩන්නේ, මහා පරිමාණ අපරාධකාරයෝ, දූෂිතයෝ ආරක්ෂා කරන්නේ ඒගොල්ලෝ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක සැලැස්ම තුළ තිබෙනවා, ජාතික ජන බලවේගය පිළිබඳ ජනතාව බියවැද්දීම.
එයාගේ සැලැස්මේ දෙවැන්න ලෙස තිබෙන්නේ ජනතාව රැවැට්ටීමට ගන්න උත්සාහයක්. “මේ රට කඩා වැටී තිබෙන වෙලාවක්. මේ වෙලාව අලුත් අය ගෙනැවිත් අත්හදා බලන්න හොඳ වෙලාවක් නොවෙයි. අමාරු වෙලාවක්.” ඒ කියන්නේ පුරුදු අය වුණු රනිල්ලාටම දෙන්න කියන එකට මතයක් ගොඩනැගීම. ඒ ගොල්ලෝ කවුද? මේ ආර්ථිකය වට්ටපු අය. අපේ රටේ ඩොලර් හිඟයක් ඇතිකරපු, නිෂ්පාදනය කඩා වට්ටපු අය. ඇඹිලිපිටියේ දශක ගණනාවක් පැරණි කඩදාසි කම්හලට ඉතා හොඳ මාර්කට් එකක් හදා තිබුණා නම් අද ලෝකයේ දියුණුතම ෆැක්ටරියක් වෙන්න තිබුණා. රනිල් වික්‍රමසිංහගේ බියගම ආසනයේ පොහොර ෆැක්ටරිය තිබුණා. 1982 යුරියා මෙට්්‍රක් ටොන් 50,000ක් පාකිස්ථානයට විකුණුවා. අද වගාවන්ට මේ පොහොර ප්‍රශ්නය කොතරම් බලපානවාද? ඒ ෆැක්ටරි විනාශ කළා මේ රනිල් වික්‍රමසිංහලා. හිඟුරාන, කන්තලේ සීනි ෆැක්ටරි තිබුණා. තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ රෙදිකම්හල් තිබුණා. ඒව විකුණලා වහලා දැම්මා. මේ ආර්ථිකය හදපු අය නොවෙයි. ආර්ථිකය කාබාසිනියා කරපු අය. ලෝකේ කොහේවත් රටක් වට්ටපු අය රටක් ගොඩ අරගෙන නැහැ. රටවල් ගොඩනගලා තියෙන්නේ රට වට්ටපු අය පලවා හැරලා අලුත් කණ්ඩායමක් බලය අරගෙන.
රනිල්ගේ කැම්පේන් එකේ අනෙක් තර්කය තමයි, 3% කොහොමද 51% වෙන්නේ කියන ගණිතය. ගණිතය අනුව නම් හිතන්නවත් බැහැ තමයි. එහෙත් දේශපාලනය කියන්නේ ගණිතය නෙවෙයි. ගණිතය අනුව නම් 69 ලක්ෂයක් ගත්ත ගෝඨාභය තවත් ජනාධිපති වෙලා ඉන්න ඕනෑ. තුනෙන් දෙකක් ගත් මහින්ද රාජපක්ෂ තවත් අගමැති වෙලා ඉන්න ඕනෑ. දේශපාලනය කියන්නේ සමාජ විද්‍යාව. මිනිස්සු කොහොමද නැගිටින්නේ? ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද? ප්‍රශ්න දරාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අද රට පුරා තිබෙන හඬ “මේ රට විනාශ කළ පාලකයන් පළවා හරින්න ඕනෑ” කියන හඬ; ඒක ගණිතය නොවෙයි. සමාජ විද්‍යාව. මිනිස්සු සිතන මතන ආකරය වෙනස් වෙලා තිබෙනවා. එළඹෙන මැතිවරණයේදී ගණිත විද්‍යාවෙන් විතරක් නොවෙයි, සමාජ විද්‍යාවෙනුත් ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය බව පැහැදිලියි.
ඒගොල්ලෝ අපට විරුද්ධව එකතු වෙනවා. ඒගොල්ලන්ගේ සල්ලි යොදවලා, රූපවාහිනීවල, පත්තරවල දැන්වීම් දාලා මේ කිවුව වර්ගයේ ප්‍රචාරක සැලසුමක් හදා තිබෙනවා. ඒ වගේම විවිධ පන්නයේ අවලාද ගහනවා. එවැනි කිසිදු අවලාදයකට පිළිතුරු දෙන්න අපි අපේ කාලය මිඩංගු කරන්නේ නැහැ. අවලාද, මඩ ගහලා ජාතික ජන බලවේගය දුර්වල කරන්න තිබූ කාලය පැනලා ඉවරයි. අපට එරෙහිව සියල්ල සැලසුම් කර තිබෙනවා. නමුත් අසාර්ථකයි. අපි, බලය අත්පත් කර ගැනීම සඳහා අපේ ගමන අපි යමු. ඒකේ ප්‍රධානම කොටසක්, අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් තමයි කාන්තාවන්ගේ අවදිවීම. දෙසැම්බර් 30වැනිදා එතෙක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට දැවැන්තම කාන්තා නැගිටීම මාතරදී පෙන්නුවා. එගොල්ලන් වැඩියෙන් කලබල වුණේ ඒකට. ඒගොල්ලන් හිතුවා දේශපාලනය පිරිමින්ගේ වැඩක් කියලා. ඔවුන් සිතුවේ කාන්තාවන් සක්‍රීයව දේශපාලනයට එන්නේ නැහැ, දේශපාලනය තමන්ගේ භූමිකාවක් ලෙස තේරුම් ගන්නේ නැහැ කියලා. කාන්තාව හැම වෙලාවෙම පිරිමි පාර්ශ්වය දේශපාලනයේ තියලා කාන්තාව නිහඬව සිටියා. ඒ ගොල්ලන් හැමදාම හිතුවා අපේ ගැහැනුන් පීඩාවට පත්කරලා, අසරණභාවයට පත්කරලා, ඒ අසරණභාවයෙන් මිදෙන්න මොනවා හෝ දීලා හරවා ගන්න පුළුවන් වෙයි කියා.
රනිල් වික්‍රමසිංහගේ අලුත් වැඩපිළිවෙළ තමයි අස්වැසුම, හාල් කිලේ 20ක්, ඉඩම්වලට ඔප්පු දීලා ජනතාව රැවැට්ටීම. මේ ගණන් හදන්නේ පැරණි ජනතාව ගැන හිතලා. අද ඉන්නේ අලුත් ජනතාවක්. ලෝක ඉතිහාසයේ මෑත කාලයේ ජනතාව පාරට ඇවිත් මාස හත අටකට වැඩි කාලයක් අඛණ්ඩව උද්ඝෝෂණය කරලා, රත්නපුර, මාතර, අනුරාධපුර, ගෝල්ෆේස් පිටියේ රටපුරාම ජනතාව එළියට බැහැලා පාලකයා පළවා හැරියා. දැන් ඉන්නේ ලෝක ඉතිහාසයේ වාර්තාවක් තැබූ ජනතාවක්. රනිල් වික්‍රමසිංහලා තේරුම් ගන්න ඕනෑ එදා හිටපු ජනතාව නොවෙයි අද ඉන්නේ කියලා.
ඔබ කොතරම් ඉවසුවාද? තවදුරටත් අපේ රටේ ගැහැනිය මේ අසාධාරණය, අයුක්තිසහගත තත්වය ඉවසිය යුතු නැහැ. නැතිබැරිකම ඉවසිය යුතු නැහැ. දැන් ඉවසීමේ සීමාව පැනලා තිබෙන්නේ. ජාතික ජන බලවේගය සැලසුම් කර තිබෙනවා මේ පීඩාවට පත්වූ කාන්තාවන් එකට ඒකාබද්ධ කරලා, අපේ රට අලුත් දිසාවකට ගෙනයාමේ මාවත නිර්මාණය කරන්න. මෙහි ප්‍රධානම පංගුකරුවන් වන්නේ ඔබ. ලංකාවේ ගැහැනිය සක්‍රීයවම දේශපාලනයට ඇවිත් තිබෙනවා. ඒ ඇවිත් තිබෙන්නේ ජාතික ජන බලවේගය සමග.
තව මාස හතයි තිබෙන්නේ. හමුවෙන හැමෝටම කතා කරන්න. දැනුවත් කරන්න. ඔබ මොනතරම් ප්‍රමාණයකට ගමේ සක්‍රීය වෙනවාද? ඔබ තව කෙනෙක් දිනාගන්න උත්සාහ කරනවාද? ඒ ප්‍රමාණයටයි අපි ජයග්‍රහණයට කිට්ටු කරන්නේ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ වැඩිම පංගුව රඳා පවතින්නේ ඔබගේ මැදිහත්වීම සහ ඔබගේ සක්‍රීය දායකත්වය මත. සාඩම්බර කොටස්කරුවෙක්, ධෛර්යවන්ත ගැහැනියක්, අත්නොහරින කෙනෙක් බවට පත්වෙන්න. අපට මේ ජයග්‍රහණය අත්පත් කර ගත හැකියි. ඔබ මැදිහත් වන ප්‍රමාණයට ඔක්තෝබර් මස තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.
ඊට පස්සේ මේ රට හදන්න ඕනෑ. පළමුවෙන්ම පුරවැසියන්ගේ ආහාර ප්‍රශ්නය විසඳන්න ඕනෑ. ජනතාවගේ ආහාර අවශ්‍යතාවයට විසඳුම් දෙන්න ඕනෑ. එතකොට සහනාධාර ගැන අහනවා. මතයක් හදනවා සහනාධාර නරක දෙයක් කියලා. ලෝකයේ සෑම රටකම සහනාධාර දෙනවා. ප්‍රංශයේ, එංගලන්තයේ අපට වඩා සහනාධාර දෙනවා. ලෝකයේ සෑම රටකම ආර්ථිකයක් එක්ක ගැට නොගැසුණු දිළිඳු ප්‍රජාවක් ඉන්නවා. ඒ අයට සහනාධාර දෙන්න ඕනෑ. හැබැයි සහනාධාරවල හිර කරන්න නොවෙයි.
අපි ආණ්ඩුව ගත් විගසම දරුවාගේ අධ්‍යාපනය සහතික කරනවා. අධ්‍යාපනයය ලබාදීම ආරම්භයේ සිටම ගුරුවරු, පාසල් උපකරණ, අභ්‍යාස පොත්, දුප්පත් පාසල්වලට දිවා ආහාර වේලක් ලබාදීම අපි සැලසුම් කරනවා. රනිල් කියන විදියට 2015 ඉපදුන දරුවට පළමු වසරට ඇතුළත් වෙන්න 2048 වෙනකල් ඉන්න කියනවද? ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සපයන්න අවශ්‍යයි. ඔපරේෂන් එකක් කරන්න බලන් ඉන්න රෝගියාට 2024 වෙනකල් ඉන්න කියන්න පුළුවන්ද. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ එහෙම. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍යය අපේ පාලනයකදී කඩිනම් සහන ලෙස ලබාදෙන බවට තහවුරු කරනවා. මේ අවශ්‍යතා තහවුරු නොකර රටක් ගොඩගත නොහැකියි. රනිල් ආර්ථිකය හැදුවා කියනවා. කන්න බොන්න නැතුව බෙහෙත් ටික නැතුව දරුවට අධ්‍යාපනය නැතුව ගොඩදාපු ආර්ථිකය මොකක්ද? මේවාට මුදල් හොයාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති. මුදල් හොයාගන්න විදිය අපි කියන්නම්. අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කළා. එහි නීතිවල, කාර්ය මණ්ඩලයේ, තාක්ෂණයේ වෙනස්කම් කරන්න තිබෙනවා. මේ වෙනස්කම් කළහොත් දැන් ලබන ආදායම දෙගුණයකින් වැඩි කළ හැකිව තිබෙනවා. කස්ටම් එකේ, සුරාබදු එකේ ආදායම් වැඩි කළ හැකියි. ජොන්ස්ටන්, දයා ගමගේ, ඇලෝසියස් මහ බැංකුවට පොලු තියපු අය. මේ ධනය එකතු කරගත හැකියි. මේ ආදායම් හරහා පුරවැසියන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය අපි තහවුරු කරනවා.
ආහාර පාන අධ්‍යාපනය සෞඛ්‍ය විතරක් නෙවෙයි සමාජ සුරක්ෂිතතාවය, මානසික සුවය, රස වින්දනය ජනතාවට අවශ්‍යයි. ගෙදර අය එකට ඉඳගෙන දවසකට එක කෑම වේලක් හරි රසවිඳින්න ඕන නැද්ද? එහෙම ජීවිතයක් අපිට අවශ්‍ය නැද්ද? එවැනි සතුටින් ඉන්න ජනතාවක්, රටක් ගොඩනගන්න නව ආර්ථික සැලැස්මක් අපට ඕනෑ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාරවත් මහ පොළොවක් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් පෝෂණය කළ හැකි ප්‍රදේශයක්. අපි ගොවියාගේ ජීවිතය උසස් කිරීම සඳහා වූ අටවැදෑරුම් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදා තිබෙනවා. රත්නපුරයේ සම්පතක් වන මැණික් අගය එකතු කළ වටිනා සම්පතක් බවට පත් කිරීමට අපි සැලසුම් හදා තිබෙනවා. විශාල වශයෙන් ඇති තේ වගාව, ඒ සමග ජීවත්වන ජන ප්‍රජාව ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය, නාවික කර්මාන්තය, නාවික කර්මාන්තයත් එක්ක ගොඩනැගෙන මැරයන් සර්විස් එක දියණු කරන්න අපි සැලසුම් සකස්කොට තිබෙනවා.
මේ සමාජයත් ආර්ථිකයත් නව පරිවර්තනයකට ලක් කිරීම සඳහා නව ආර්ථික වැඩ පිළිවෙළකට අපි අවතීර්ණ වෙන්න ඕනෑ. අපිට ඒ සඳහා පියවරයන් දෙකක් තිබෙනවා. පළමුව බලය ලබාගැනීම. බලය ලබාගත්තාට පසුව අපි සියල්ලන්ම එකතු වෙලා මේ රට ගොඩනැගීම. ගම්වල සිංහල, මුස්ලිම්, දෙමළ බෙදීම් තියා ගන්න එපා. කොළ පාට, නිල් පාට, රතු පාට බෙදීම් තියා ගන්න එපා. සමස්ත සමාජයම එකතු කර නව පරිවර්තනයට උර දෙමු. ඒ සඳහා ඔබ මැදිහත්වෙන්න.
“දේශපාලනයට මැදිහත් නොවීමේ දඬුවම තක්කඩියන්ගෙන් පාලනය වීමට සිදුවීමයි”
-ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි-
පැමිණ සිටින ඔබ සියලු දෙනාම රැගෙන විත් තිබෙන්නේ එකම එක බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් විතරයි. ඔබේ අසමසම ශක්තිය, කැපවීම, දරුවන්ගේ අනාගතය ගැන දකින සිහින සියල්ලම එක්කයි. දරුවන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් තැනීමයි. එය රට හදන වැඩ බිමයි. ‘ගැහැනු අපි එක මිටට’ ජාතික ජන බලවේගයේ කාන්තා එකතුවයි. දශක හතහමාරක් අපි මේ ගත කරමින් ඉන්නේ, දේශපාලන නියෝජිතයන් මේ රට දේශපාලනිකව දූෂණය කරලා, අර්බුද නිර්මාණය කරලා, ඒ අර්බුද නිර්මාණය කළ දෑතින්ම අර්බුදයට විසඳුම් සොයන බවට ඡන්ද පොරොන්දු ඔබේ දෙපාමුලට ගෙනැවිත් තිබෙන කාලයක. ගැහැනු අපි ඉතාමත් පරෙස්සම් විය යුතු කාලයක්. අපේ අතීතය මතක නම් ගැහැනුන් අපි කොන්දේසි විරහිතව දේශපාලන නායකයන්ගේ මැතිවරණ පොරොන්දුවලට පහසුවෙන්ම රැවටුණා. ඔවුන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වුණා. කතිරයක් වෙනුවෙන් මේ රටේ කාන්තාව පාවිච්චි වුණු ඒ මුස්පේන්තු අඳුරු යුගය නිමා කළ යුතු බව අප හදවතේම කිඳා බැස තිබුණත්, අපට හඬක් නඟන්න හයියක් තිබුණේ නැහැ. ඒ මොකද, අපේ රටේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් ඒ වෙනුවෙන් වැඩබිම හැදුවේ නැහැ. නමුත් ඉතිහාසයේ පළමුවෙනි වතාවට මේ රටේ ජනතාවාදී ජාතික ව්‍යාපාරයක් මේ රටේ ගැහැනුන්ට දේශපාලනිකව නැගී සිටින්න හයිය ලබාදී තිබෙනවා. ඒ ජාතික ජන බලවේගය පමණයි. මේ වැඩ බිමට එකතු වුණු අත්වැල් බැඳගත් සියලු ගැහැනුන් මේ රටේ ඉතිහාස කතාව වෙනස් කරනවා කියන එක ඉර හඳ සේම විශ්වාසයි.
කමලා හැරිස් ඉන්දියාවෙන් අමෙරිකාවට ගිහිල්ලා අමරිකාවේ උප ජනාධිපතිනිය බවට පත්වෙනවා. ඉතාලියේ සෝනියා රජිව්ගේ පෙම්වතිය වී ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂයේ නායිකාව බවට පත්වෙනවා. ඒ කාන්තාවන් අපි වගේ සාමාන්‍ය පවුල්වල කාන්තාවන්. නමුත් ලංකාවේ තත්වය මොකක්ද? ලෝකයේ පළමුවැනි අගමැතිනිය ලංකාවෙන් බිහිවුණා. ඒ අගමැතිනියගේ දියණිය ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපතිවරිය බවට පත්වුණා. නමුත් ඒ හැරුණාම අනෙක් සියලුම ගැහැනුන්ගේ අතපය හතර දේශපාලනිකව බැඳලා දැම්මා. මහපොළොවේ සියලුම ගැහැනුන්ගේ තටු ටික කපලා දැම්මා. අපට දේශපාලනිකව නැගී සිටින්න අවස්ථාවක් උදාවුණේ නැහැ. ඔවුන්ට පමණක් දේශපාලනික හයිය ලැබුණේ පිය උරුමයෙන් සහ සැමියාගෙන් ලැබුණු හයියක් නිසා.
මේ රටේ දරු සෙනෙහසින් පිරුණු අම්මලා ලක්ෂ සංඛ්‍යාවක් කිලෝ මීටර් දහස් ගණන් ඈත රටවල්වලට ගිහිල්ලා සමහරු නැවත එන්නේ මළ සිරුරු ලෙසට නම්, ඒකද අපි දේශපාලනය හරහා කාන්තාවන් විදිහට කතිරයක් ගහලා අවුරුදු 75ක් බලාපොරොත්තු වුණේ? මේ ප්‍රශ්නයට අපි විසඳුම් සෙවිය යුතුමයි. ඒ වෙනුවෙන් ඔබ දේශපාලනිකව ශක්තිමත් විය යුතුමයි. ඔබ දේශපාලනයට මැදිහත් නොවෙන්නේ නම් ඔබට ලැබෙන දඬුවම තක්කඩියන්ගෙන් පාලනය වීමට සිදුවීමයි. ගැහැනුන් විදිහට දේශපාලනයට අපි මැදිහත් නොවුණු නිසා මේ දක්වා තක්කඩියන්ගෙන් පාලනය වෙනවා. ඒ තක්කඩියන්ට ගෙදර යන්න කාලය ඉක්මනින් ළඟා වෙන බව ඔවුන් සිතිය යුතුයි. මැණික්වලට ප්‍රසිද්ධ රත්නපුරයේ මැණික් ගරන වට්ටියට හිමිකරුවා ළං වෙද්දී වාසනාව අවාසනාව මත මැණික් ලැබෙන නොලැබෙන බව කියනවා. නමුත් අත දරුවන්ගේ අනාගතය වාසනාව අවාසනාව මත තීරණය වන නොදියුණු ප්‍රාථමික මට්ටමක නොවෙයි අප ජීවත් වෙන්නේ. නිසි කලට අවශ්‍ය දැනුම දරුවන්ට ලැබෙන්නේ නැහැ. අපි අපේ ඡන්දය දීලා දරුවන්ට බලාපොරොත්තු වුණු අනාගතය ඒකද?
ජනාධිපති වෙනස් වුණා, අගමැති වෙනස් වුණා, ඇමතිවරු වෙනස් වුණා වගේම ජාතික අධ්‍යාපන ආයතනය ආණ්ඩු මාරුවෙන ආකාරයට අධ්‍යාපනය වෙනස් කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. ස්මාර්ට් ක්ලාස්රූම්, කෘත්‍රිම බුද්ධිය ගැන ඔවුන් කතා කළත් නිසි කලට පෙළපොත් ටිකවත් අපේ දරුවන්ට ලබාදෙන්න ඔවුන් අසමත් වී සිටිනවා. හොඳම දේ දරුවන්ටයි කියලා වී.අයි. ලෙනින් ප්‍රකාශ කළත් මේ රටේ හොඳම දේ ලැබෙන්නේ පාලකයන්ගේ දරුවන්ට පමණයි. අපිත් අපේ රටේ දරුවන් වෙනුවෙන් මේ තත්වය වෙනස් කර, හොඳම දේ ලබාදෙන පාලනයක් පිහිටු විය යුතුයි. රටේ හැම පාසලකටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන සමාන පහසුකම් ලබාදීමට අපි ප්‍රමුඛත්වය දී තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල බවට පත්කිරීම සිහිනයක් නොවී යථාර්ථයක් කිරීම තව මාස අටකින් ආරම්භ කරනවා. ගැහැනු අපේ ප්‍රශ්න විසඳන්න පටන් ගන්නේ එතනින්. ජාතික ජන බලවේගයේ ගැහැනු 2023 දෙසැම්බර් 30 දා සිට මාතරින් පටන්ගෙන ලක්ෂ ගණනින් එක මිටට එකතු වී මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වඩ වඩාත් පෙළගැසී සිටිනවා. අනෙක් දේශපාලන ව්‍යාපාරවල ප්‍රථම රාජකාරිය බවට පත්කර ගෙන තිබෙන්නේ අපට අවලාද නැගීම සහ මඩ ගැසීමයි. අපිට එවැනි වෛරී චේතනා නැහැ. අපේ පැය 24 ගෙවෙන්නේ මේ රටේ දරුවන්ට හොඳම දේ, ගුණාත්මකම දේ ලබාදෙන පාලනයක් පිහිටුවීමට.
සිහින සැදුවෝ අපියි දිනනා හෙටට
බලව් නැග එන ගැහැනු අපි එක මිටට
සියලුම ගැහැනුන්ට යෝධ බලය, යෝධ සවිය ලැබේවා! මව්බිමට ජයවේවා!!
“පාලකයින්ගේ සුරසැප විඳින දේශපාලනය රකින්න ජනතාව සූදානම් නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-
ජාතික සමගිය ගොඩනැගිය හැකි, සිංහල, දෙමළ, මුස්ලිම් හැමටම සාධාරණ සමාජයක් පිහිටුවිය හැකි එකම වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාවයි. අපේ රට ආර්ථික, දේශපාලනික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් විශාල පරිහානියකට පත්කර අපේ ජීවිත සුනුවිසුණු කර දමන්නට ගෙවුණු වසර 76 රට පාලනය කළ අය ක්‍රියාකර තිබෙනවා. සුනුවිසුණු වී, බලාපොරොත්තු විරහිත අපේ ජීවිත තවදුරටත් ඒ ලෙස යාමට දිය නොහැකි බව අධිෂ්ඨානය කරගත් අපි ගමින් ගමට ගොස් ගෙයින් ගෙයට ගොස් කාන්තා සභා පිහිටුවා නව පුනරුදයක් සඳහා කාන්තාවන් පෙළගැස්වූවා. ඔවුන් මේ එකතු වී සිටින්නේ වෙනත් දේශපාලන පක්ෂවල මෙන් බලය වෙනුවෙන්, තනතුරු වෙනුවෙන්, වරප්‍රසාද හෝ එදා වේලට හමුවෙන මුදලක් වෙනුවෙන් නොවෙයි. අපේ දරුවන්ට සතුටින්, හොඳින් ජීවත් විය හැකි රටක් පිහිටුවීම සඳහා එකතු වුණු බලවේගයක් මේ ඉන්නේ. අපි හැමදෙනාටම එකාවන්ව සිනාසිය හැකි රටක් ගොඩනඟා, ජයග්‍රාහී හෙටක් ලබාදෙන බවට විශ්වාසය ගොඩනඟා අවසන්. මෙතෙක් රට පාලනය කළ කඳවුර සලිත වෙන ආකාරයේ පෙළගැස්මක් අප වටා තිබෙනවා. අපට අවලාද නගන්නේ, අපවාද නගන්නේ මේ ජන බලය දැකලයි.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබූ පුද්ගලයෙක් පොලිස්පති ලෙස පත්කිරීමට ක්‍රියාකර තිබෙනවා. එවැනි පොලිස්පතිවරයෙකු යටතේ නිීතිය හා සාමය ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ දරුවන්ට, ජනතාවට යුක්තිය නිර්මාණය වෙන්නේ නැහැ. නීතිගරුක දේශයක් නිර්මාණය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණක් බව පැහැදිලි වී තිබෙනවා.මේ රටේ ජනතාව සබුද්ධික දේශපාලනයකට යොමු කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. සමාජයේ වගේම දේශපාලන පක්ෂයකත් නායකයාගේ පටන් පහළ දක්වා සමාජ සංස්කෘතික විනයක් තිබෙන්නේ ඕනෑ. ආචාරධාර්මික ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. වතුකරය ගත්තත් උතුරු – නැගෙනහිර ගත්තත් කොළඹ, තිහාරිය, හම්බන්තොට ගත්තත් ඕනෑම ප්‍රදේශයක ජීවත් වෙන මිනිසුන්ට සතුටින් නිදහසේ ජීවත් වීමේ අයිතිය තිබෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් නිවහල් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි.
අලුතින් හිරු පායන රටක් එළඹෙන ජනාධිපතිවරයෙන් පසුව අපි සාමූහිකව එක්වී ගොඩනඟන බව සහතික කරනවා. පසුගිය වසරට වඩා මේ වසරේ දරිද්‍රතාවය 27%කින් ඉහළ නංවා තිබෙනවා. ලංකාවේ සෑම පවුල්වලින්ම 2/3ක් පසුගිය වසරට වඩා මේ වසරේ ආදායම් බිඳවැටී තිබෙනවා. මේ ප්‍රශ්නවලට උත්තරයක් දෙන්න පාලකයන්ට බැහැ. ලක්ෂ 16ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන් අස්වැසුම තුළදී ලක්ෂ 24ක් වී තිබෙන්නේ ඒ නොහැකිකම ඔප්පු කරමිනුයි. සහනාධාර ලැබිය යුතු මට්ටමට ජනතාවගේ ආදායම් පහත දමා, බදුබර පැටවූ පාලකයින්ගේ සුරසැප විඳින දේශපාලන කඳවුර රකින්න සූදානම් නැති බව ජනතාව ඔප්පුකර තිබෙනවා. අපි සියලු දෙනාටම සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව එකාවන්ව ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න එකාවන්ව එකතු වෙමු.
“මම ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩවුනේ ඇයි?” -හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිනී පෙරියසාමි දයාබරී මහත්මියගේ කතාවේ සිංහල පරිවර්තනය-
සියලු දෙනාටම ආයුබෝවන් ! සහෝදර සහෝදරියනි,
අපි මේ සමුළුවට සහභාගී වෙන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් ලෙසයි. එයිනුත් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 56%ක් වන්නේ කාන්තාවන්. ඒ නිසා ඔබට හිතා ගන්න පුළුවන් පාලනය තීරණය කිරීමේදී 56%ක් වූ කාන්තාවන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිව තිබෙනවා කියලා. එමෙන්ම යහපාලනයක් බිහිකිරීමේ කොටස්කරුවන් හැටියට කාන්තාවන්ගේ භූමිකාව ඉතාම වැදගත් වෙනවා. ඒ අනුව අපි මෙම සමුළුවේදී එකතු වී අපේ අනාගතය සමෘද්ධිමත් කිරීමට අධිටන් කර ගන්නට ඕනෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම එකාමෙන් සටන් වදිමු කියලා මම යෝජනා කරනවා.
ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාති, ආගම්, කුල මල භේදවලින් තොරව එකා මෙන් අපට ජීවත් වෙන්නට පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. කාන්තාවන් ගෙදර වැඩකරනවා, පිටරට වැඩ කරනවා, කාර්යාලවල වැඩ කරනවා, හැමතැනම කාන්තාවන් වැඩ කරනවා. එමෙන්ම මේ රටට විශාල ආදායමක් උපයාදීමට 52%ක් වූ කාන්තාවන් වෙහෙස දරනවා. එසේ දායකත්වයක් ලබාදෙන කාන්තාවන් හැටියට අපි මොනතරම් දුක් පීඩා විඳිනවාද? අපි හැමෝම දන්නවා පසුගිය කාලයේදිත් දැනුත් අපි බොහෝ පිරිසකට එක් වේලක් හෝ නොකා ජීවත්වීමට සිදුවී තිබෙනවා. දරුවන්ට තුන්වේලම කෑම දෙන්නට තමන්ගේ කෑම වේලක් කැපකරන කාන්තාවන් බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. ඔවුන් විඳින දුක් වේදනා පිටතට අනාවරණය කර ගැනීමට නොහැකිව ඔවුන් ලත වෙනවා. තමන්ගේ දරුවට කෑම වේලක් දෙන්න බැරිවෙන කාන්තාවගේ හිතේ පීඩාව ගැන ඔබට හිතාගන්න පුළුවන්. එනිසා කාන්තාවන් වන අපි හැමෝම එකතු වෙන්නට ඕනෑ. එලෙස එකතු වෙන කාන්තාවන්ට අතහිත දිය හැකි එකම පක්ෂය ජාතික ජන බලවේගය කියා පැහැදිලිවම මට සඳහන් කළ හැකියි.
ඊළඟට, මේ රටේ ආර්ථිකය ඉතාම අර්බුදකාරී තත්වයකයි පවතින්නේ. ආර්ථික අර්බුදය වක්‍රව කියාපාන්නේ ආහාර හිඟය පිළිබඳවයි. හොඳ ආහාර වේලක් යනු කළල අවස්ථාවේ සිටම දරුවාගේ වැඩීමට අත්‍යවශ්‍ය සාධකයක්. දරුවන් හොඳට වැඩී අධ්‍යාපනය ලබා වැඩිවියට පත්වී හොඳ රැකියාවක් සොයාගෙන යහපත් ජීවන මට්ටමක් පවත්වාගෙන යන්න ආහාර ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. දරුවාට ආහාර හිඟයක් ඇති වුවහොත් මානසික වර්ධනය සහ කායික වර්ධනය එයින් අඩාල වෙනවා. එමෙන්ම වැඩෙන දරුවන්ට මන්දපෝෂණය ඇති වුවහොත් එයින් ඔවුන්ගේ අනාගතයට බලපෑම් ඇති වෙනවා. ටිකක් හිතලා බලන්න එවැනි තත්වයක් දිගින් දිගටම පැවතිය හොත් අනාගතයේ අපට ඉතිරිවන සමාජය කෙබඳු වේවිද? මේවාට අපිට ඉඩ දෙන්න බැහැ. මේ තත්වය අපි වෙනස් කළ යුතුමයි. එම තත්වය උදාකරන්නට අපට ආධාර අනුබල දෙන එකම පක්ෂය ජාතික ජන බලවේගය කියා විශ්වාස කරමින් අපි හැමෝම එය වටා පොදිබැඳ ඉන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ වේදිකාවට ගොඩවුණේ.
ඊළඟට මම සඳහන් කරන්න ඕනෑ, අල්ලස, දූෂණය පිළිබඳව. ඒවා නැති එකම පක්ෂය ජාතික ජන බලවේගය නිසා තමයි අපි මේ පක්ෂයට එකතු වුණේ. අල්ලස, දූෂණ, හොරකම නැති එකම පක්ෂය හැටියට අපි පිළිගන්නේ ජාතික ජන බලවේගයයි. එමනිසා අපි හැමෝම එකතු වෙලා මේ පක්ෂය ගොඩනගාගෙන අපේ ඉදිරි අනාගතය ශක්තිමත් කර ගිනිමුයි කියා මම යෝජනා කරනවා.
ඊළඟට අධ්‍යාපනය ගැන සඳහන් කරනවා නම්, අධ්‍යාපනයේ සමාන අවස්ථාව හැමෝටම ලැබිය යුතුයි. සමහර තැන්වල අධ්‍යාපනය සඳහා සියලුම පහසුකම් ලබාදෙනවා. නමුත් බොහෝ ප්‍රදේශවල පවතින්නේ දුෂ්කර තත්වයක්. අධ්‍යාපනයේ අසමානකම් පවතින අවස්ථාවේදී මුළු දිවයිනේම දරුවන් එකම ප්‍රශ්න පත්‍රයටයි පිළිතුරු ලබාදිය යුත්තේ. එසේනම් එහි අසාධාරණයක් පවතිනවා. අප පක්ෂයේ පාලනයක් තුළ මෙම අසමානකම් දුරුවන බවට විශ්වාසය පවතිනවා.
අපි වතුකරයේ පිරිස සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අය හැටියට පීඩාවට පත්වූ දමිළ ජන කොටසක්. වෛද්‍යවරියක් ලෙස 1979 මට මුලින්ම රත්නපුර දිස්ත්‍රික්කයට පත්වීම ලැබුණා. 1983 ජාතිවාදී අරගල හේතුවෙන් අපේ අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටුණා. මෙතන දමිළ ගුරුවරුන් රැස්වී ඉන්නවා ඇති. මම සඳහන් කරන 1983 ජාතිවාදී අරගල සමයෙන් පසුව දමිළ අධ්‍යාපනයේ සීඝ්‍ර කඩා වැටීමක් ඇති වුණා. දමිළ සමාජය ඒ ජාතිවාදී අරගලය හේතුවෙන් බොහෝ සේ පීඩාවට පත්වුණා. අප පක්ෂයේ පාලනයක් තුළ අපි හැමෝම මෙවැනි තත්වයක් ඇති වීමට ඉඩ නොදී එක මවකගේ දරුවන් මෙන් ජීවත් වීමට අවකාශය ඇතිකර ගනිමු. ඒ වෙනුවෙන් දමිළ ජනතාවගේ සහයෝගය මෙම පක්ෂය වෙනුවෙන් ලබාදෙන ලෙස මම මේ අවස්ථාවේදී කාරුණිකව ඉල්ලා සිටිනවා.
පසුගිය වසර 75 තුළම මාරුවෙන් මාරුවට පත්වුණේ එකම ප්‍රතිපත්තිය අනුගමනය කළ ආණ්ඩුයි. විකල්ප ප්‍රතිපත්තියක් ඇති රජයක් පත්වුණේ නැහැ. අපි මේ අවස්ථාවේදී විකල්ප ප්‍රතිපත්තියක් සොයා ගන්නට ඕනෑ. එවැනි ප්‍රතිපත්තියක් තිබෙන එකම පක්ෂය මාලිමාව පමණක් නිසා අපි සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න ඕනෑ.
මම අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් හැටියට අවුරුදු 25ක කාලයක් රාජකාරි ඉටුකර තිබෙනවා. බොහෝ අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබෙනවා. අපි හැමෝගෙම සිරුරු එකම පාටයි. සිරුරේ ජාතීන් අනුව වෙනසක් මම දුටුවේ නැහැ. රුධිරය ගැන කතා කරනවා නම්, දමිළ අයගේ රුධිරය සිංහල උදවියටත් සිංහල අයගේ රුධිරය මුස්ලිම්වරුන්ටත් ලබාදෙන්නට පුළුවන්. ඒ නිසා අපි හැමෝම එකම වර්ගයක්. ඒ ශ්‍රී ලාංකික වර්ගයයි. එම නිසා එකම ප්‍රතිපත්තියක් යටතේ අපි එකාමෙන් කටයුතු කරමුයි කියා ඉල්ලා සිටිනවා. එමෙන්ම අපේ රටේ බොහෝ අය රට අතහැර විදේශ රටවල්වලට යනවා. අපි පිටරට ගියාට කවදා හරි නැවත එන්නට අපිට රටක් ඉතිරිවෙලා තිබෙන්නට ඕනෑ. දැන් අපි විදෙස් රටකට ගිහින් “අපි පැමිණියේ ශ්‍රී ලංකාවේ සිටයි” කියා කිව්වොත්, ඔවුන් අප දෙස බලන්නේ අවඥා සහගතවයි. මෙම තත්වය වෙනස් වෙන්නට ඕනෑ. අපි හැමෝම එකාමෙන් මේ රට තුළ ජීවත් වෙන්නට ඕනෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම කටයුතු කරමුයි කියා ඉල්ලා සිටිනවා. අපේ රට දිනේවා! සියලුම ජාතීන් දිනේවා! අපේ පක්ෂය දිනේවා!