Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“වට්ටපු රට ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්න අපට අවශ්‍යයි” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

(ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.23)

Gahanu-Api-Puththalama

මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරාගෙන අපේ රටට අලුත් පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු සහිතව වැඩකරන පිරිසක්. ඒ නිසා අපි කාන්තාවන් බලවේගයක් ලෙස එකතු කරන්න “ගැහැනු අපි එක මිටට” කාන්තා සමුළු පවත්වමින් යනවා. මේක කාන්තාවන් එකතු වෙලා තමන්ගෙ ධෛර්යය, ශක්තිය පෙන්වමින් මුළු රටම පෙළගස්වමින් යන වෙලාවක්. ඒ වෙලාවෙ පුත්තලම වගේ දිස්ත්‍රික්කයක මෙතරම් විශාල පිරිසක් එකතු කර ගන්න ලැබීම රටම ජයග්‍රහණය කරන කොට ඒ සමගින් පුත්තලමත් එකතු වෙන්න ලැහැස්තියි කියන එක, පුත්තලමේ ගැහැනුත් ජයග්‍රහණය සඳහා පෙළගැහෙන්න සූදානම් කියන එක පෙන්වා දී තිබෙනවා.
අපි මේ අවුරුද්දේ රටේ පාලනයේ වෙනසක් කරන්න යනවා. අලුත් ආණ්ඩුවක් හදන්න. මේ අලුත් ආණ්ඩුවක් විතරක් නොවෙයි අපි හදන්න යන්නේ. මීට ප්‍රථමත් ආණ්ඩු හැදුවා. ඒවා අලුත් ආණ්ඩු වුණාට අපේ රටට අලුත් වුණේ නැහැ. අපේ ජීවිත අලුත් කළේ නැහැ. මේ අපි හදන්න යන්නේ අලුත් ආණ්ඩුවක් විතරක් නොවෙයි. අපට ඕන වෙලා තිබෙනවා අපි ඔකකෝම එකතු වෙලා මේ වට්ටපු රට ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්න. ජනතාව ඒකරාශී කරගෙන ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවනයක් කරා මේ රට වෙනස් කිරීම සඳහා ගමනක යන්න. අපි විශාල කර්යභාරයක් පවරාගෙන තිබෙනවා. මේ වෙන්න යන්නේ සරල වෙනසක් නොවෙයි; අපේ ආර්ථිකයේ, සමාජයේ සහ ජීවිතයේ විශාල ගුණාත්මක වෙනසක්.

අපේ රටේ ගැහැනු බලවේගයක් ලෙස එකතු කරන්නේ ඡන්දෙ ගන්න විතරක් නොවෙයි. මෙතෙක් කල් අපේ රටේ කාන්තාවෝ පාවිච්චි කළේ ඡන්දෙ ගන්න විතරයි. මේ එකතු කරන්නේ, ඡන්දෙ අරගෙන ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව එක්ක අත්වැල් බැඳගෙන වඩා සාධාරණ සමාජයක් නිර්මාණය කරන්නයි; ගැහැනුන්ට ආරක්ෂාව තිබෙන, ගැහැනුන් හැකියාවන් පිළිබඳ ඇගයීමක් තිබෙන, ගැහැනුන්ට ගරුත්වය තිබෙන අපි හැමෝටම මනුෂ්‍යයන් ලෙස ජීවත් විය හැකි අලුත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා කාන්තාව සක්‍රීයව දායක කර ගන්නයි. අපේ රටේ වට්ටපු ආර්ථිකයක් තිබෙනවා ගොඩගන්න. අවුරුදු 76ක් තිස්සේ අපේ රට වට්ටලා තිබෙන්නේ. අපි මුහුණපාන ප්‍රශ්නවලට ආරම්භක හේතුව ඒක. 2022 අප්‍රෙල් මාසෙ ආණ්ඩුව නිල වශයෙන් ලංකාව බංකොලොත් කළා. අපේ රට ගෙවා ගන්න බැරිතරම් ණය කන්දක හිරකළා. තාමත් අපි ණය ගෙවන්නේ නැතිව ජීවත් වෙනවා. මේ දවස්වල පොඩි සහනයක් වගේ දැනෙන්නේ ආණ්ඩුව ණය නොගෙවීම නිසා ඇති තත්වයයි.

මීට වසර දෙකකට කලින් ෂෙඩ්වල තෙල් තිබුණේ නැහැ. අවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. නිෂ්පාදනය කරන්නේ නැහැ. ණයට කාල ජීවත් වුණේ. අතේ ඩොලර් ටිකක් තියෙනවා. ණය ගෙවන්නයි බඩු ගේන්නයි දෙකම කරන්න බැරිව ගියා. 2022 කාලේ තෙල් නැව මුහුදේ තිබෙනවා. තෙල් ටික බාගන්න ආණ්ඩුව ඩොලර් 300ක් 400ක් සොයා ගන්නකම් නැව මුහුදේ තියාගෙන ඉන්නවා. වාහන තිබෙන අය ෂෙඩ් එක ළඟ පෝලිමේ ඉන්නවා. ඊට පස්සේ ආණ්ඩුව තීරණය කළා රට බංකොලොත් කියා ප්‍රකාශ කොට ණය නොගෙවා ඉන්න. ඒ නිසා අතේ තිබෙන ඩොලර් ටිකෙන් බඩු ටිකක් ගේන්න පුළුවන්. හැබැයි අපි ඊළඟ මාසෙ ඉඳලා ණය ගෙවන්න පටන් ගන්න ඕනෑ. බන්දුල ගුණවර්ධන මහතාම කිවුවා ආයි ණය ගෙවන්න පටන් ගත්තාම මේ තියෙන සනීපෙ නැතිවෙනවා කියලා. තියෙන සල්ලි ටික ණය ගෙවන්නයි, බඩු ගේන්නයි දෙකටම මදි. මේ විදිහට තවදුරටත් යන්න බැහැ.

මේක වෙනස් කරන්න ඕනෑ. අපට ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් ඕනෑ. ඒකට බලවේගයක් ලෙස කාන්තාවෝ දායක කර ගන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. දැනටමත් අපේ ආර්ථිකයේ විශාල පංගුවක් උපයන්නේ කාන්තාවෝ. එසේ වුවත් එයාලට සමාජ ඇගයීම, සමාජ අවධානය යොමු වී නැහැ. අඩුතරමින් සමාජය එය පිළිඅරගෙන නැහැ. තේ ගස්වල දළු නෙළලා, රබර් කට්ටියේ කිරි කපලා, මැදපෙරදිග රස්සා කරලා, ඇඟලුම් කම්හලේ වැඩකරලා, උපයන ඩොලර් ටික පාලකයෝ කණ්ඩායමක් නාස්ති කරලා තියෙනවා. මහන්සි වුණු ජනතාව දුකට පත්වෙලා තිබෙනවා. ඒක වෙනස් කරන්න, ආණ්ඩුවක් වෙනස් කරන්න අපි හදන්නේ. අපි මේ කතාකරන්නේ අවුරුදු 76කට පස්සේ අපේ ඉතිහාසය වෙනස් කරලා, ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමේ අභියස සිටගෙනයි. ආණ්ඩුවක් හදන එක විතරක් නොවෙයි ඔබ සියලු දෙනා ඒ ආණ්ඩුවත් එක්ක රට හදන්න එකතුවෙන කොටස්කාරයෝ. අපේ ජීවිත කාලය තුළ අපේ දුක නිමාකරලා රට ගොඩගැනීමේ කාර්යයකට අපි සියලු දෙනාටම සජීවීව සම්බන්ධ වෙන්න ලැබීමම අපේ ජීවිතයට ලැබුණු එක්තරා භාග්‍යයක්.

Gahanu-Api-Puththalama

මේ දිනවල ප්‍රවෘත්තියක් යනවා ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් තියන්න ඕනෑ කියලා. පසුගිය 05දා බැසිල් රාජපක්ෂ ලංකාවට ආවා. මේ ආවේ රටේ මිනිස්සුන්ට අමාරුයි රට බේරා ගන්නද? පසුගිය කාලයේ ආණ්ඩුව විදුලි ගාස්තු වැඩිකරලා, තෙල් මිල වැඩි කරලා, වැට් එක වැඩි කළා, බදු වැඩි කළා, බඩුමිල වැඩිවුණා කාන්තාවන්ට විශාල දුෂ්කරතාවයක් හැදුවා. ඒ වෙලාවේ බැසිල්ලා ආවේ නැහැ. මේ වෙලාවේ බැසිල් ආවේ රාජපක්ෂ පවුල බේරාගන්න. රාජපක්ෂ පවුලේ ඔටුනු ගැලවෙන්න යන්නේ. සිංහාසනයෙන් බහින්න සිදුවෙලා තිබෙනවා. බලය අත්හැරපු ගමන් යන්න වෙන්නේ මහඋළු ගෙදර යන්න වෙන බව දන්නවා. දැන් පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මනින් තියන්න යෝජනා කරනවා. මේ ජනතාවට ආදරයෙන් ගේන යෝජනා නොවෙයි. ව්‍යවස්ථානුකූලව මහ මැතිවරණය තියන්න ඕනෙ ලබන අවුරුද්දේ. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 17ට කලින් සැප්තැම්බර් මාසේ 17ට පස්සේ සෙනසුරාදාවක අපේ රටේ ජනාධිපතිවරණය තියන්න ඕනෑ. රටේ කරන ලද සමීක්ෂණ වාර්තා, ජනතා ප්‍රතිචාර සියල්ල ගත්විට ඉර හඳ වගේ පැහැදිලියි, ජාතික ජන බලවේගයේ අපේක්ෂක, අනුර දිසානායක සහෝදරයා දිනවන්න අපේ රටේ ජනතාව පෙළ ගැසී ඉන්නවා කියන එක. ඒක වළක්වන්න බැරි නිසා මන්ත්‍රීකම් ටිකක්වත් බේරා ගන්න මහ ඡන්දය තියන්න යෝජනා කරනවා. ජනාධිපතිවරණයේදී එයාලට ඉල්ලන්න අපේක්ෂකයෙක්වත් නැහැ. රටක් වැටිලා, ආර්ථිකය සමතලා වෙලා, ණය බරින් මිරිකිලා, ජනතාවට තුන්වේල කන්න බැරිවෙලා, බදු මිල වැඩිවෙලා, දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බැරිවෙලා, රට පුරා විෂ මත්ද්‍රව්‍ය පැතිරිලා, අපරාධ පැතිරිලා, ඒක බේරා ගන්න උත්සාහ කරන්නේ නැතිව තමන්ගෙන් ගිලිහෙන්න යන පාලනය බේරා ගන්න දඟලනවා.

අපේ පාලකයෝ හැමදාම හිතුවෙත් දැන් හිතන්නෙත් ජනතාවගේ බඩ ගැන නොවෙයි තමන් ගැන. මෙයාලා මේතරම් බලයට කෑදර ඇයි? ඒ ගොල්ලන්ට බලය කියන්නේ ධනය. එයාලා බලය පාවිච්චි කරලා තමයි ධනය උත්පාදනය කරන්නේ. ඡන්ද කාලයේදි අර එකතු කරපු ධනය ටිකක් වියදම් කරලා ආයිමත් බලය ගන්නවා. සජිත් පේමදාස මේ දවස්වල හට් ගහලා හාල් මිටි පේන්න තියනවා. හරියට සත්තු දඩයම් කරන්න තියෙනවා වගේ. කුරුල්ලා අල්ල ගන්න උගුල අටවලා ඒකට වී ටිකක් දාලා තියනවා වගේ හාල් මිටි පේන්න තියලා. පස්දෙනෙක් ඉන්න ගෙදරකට දවස් 05ක් කන්න හාල් කිලෝ 10ක් දීලා, ඒගොල්ලෝ අවුරුදු පහකට රට ඉල්ලා ගන්නවා. ඒ අවුරුදු පහේම ජනතාව බැන බැන හූල්ල හූල්ල ඉන්නවා. අපි ඒක වෙනස් කරන්න ඕනෙ නැද්ද? අපි කියන්න ඕනෑ ඒ ඉතිහාසය ඉවරයි, මාලිමාව දිනවලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා. අපේ මහජන මුදල්වලින් දෙන ඒවා ගන්න. හැබැයි වැරදි දේශපාලන තීන්දුවක් ගන්න එපා. එයාලා හැමදාම ජනතාව දුප්පත්කමේ තියලා, මානසිකව අපව වට්ටලා ඒ දුප්පත්කම පාවිච්චි කරනවා ඡන්දෙ ගන්න. මේක සමාජයට කර තිබෙන අපරාධයක්. මේ අපරාධයෙන් අපි සමාජය ගලවා ගන්න ඕනෑ.

මේ පාලකයෝ රට හදන අයවත් ජනතාවගේ හැඟීම් තේරුම් ගන්නා අයවත් නොවෙයි; නිර්වින්දනය කළ කට්ටියක්. අපේ රටේ ජනතාව පාරට බැස්සා, විශාල උද්ඝෝණයක් තිබ්බා මේ පාලනයට එරෙහිව. ජනාධිපතිවරයා එළවා දමන මට්ටමේ උද්ඝෝෂණයක්. ඒ අරගලයේ තිබුණු එක කරුණක් තමයි, මේ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියන එක. වංචා, දූෂණ, හොරකම නවත්වන්න කියන එක තිබුණා. දේශපාලකයා වරප්‍රසාද ගන්න එක වැරදියි කියන එක තිබුණා. මහජන මුදල් නාස්ති කරන එක වැරදියි කියන මතයක් තිබුණා. මහජනතාවගේ දැවැන්ත නැගිටීමක් වුණාට පසුව වත් මේ ගොල්ලෝ පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවක් තිබෙනවා. ඒකෙන් කරන්නේ රාජ්‍ය ආයතනවල ගිණුම් පරීක්ෂා කරලා, එවායේ වංචා, දූෂණ පිළිබඳව සොයා ගන්න. රනිල් – රාජපක්ෂලාගේ ආණ්ඩුව ඒ කොප් සභාවේ සභාපතිකමට රෝහිත අබේගුණවර්ධන පත් කළා. රෝහිතට නඩුවක් තිබුණා. රුපියල් කෝටි 45ක වත්කම් තිබෙනවා, උපයාගත් ක්‍රමය කියාදෙන්න තේරෙන්නේ නැහැ. ඒක උපයා ගත්තේ කෙසේද කියා දැනගන්න නඩුවක් දමා තිබුණා. නඩුව පැවරීමේ තිබූ දුර්වලතා නිසා නඩුව ඉවත දැමුණා. ඒ රෝහිත හොරු අල්ලන එකේ සභාපති. අද හොරු කෝප් කමිටුව අල්ලගෙන. කෝප් කමිටුවට රෝහිත වගේ කෙනෙක් දාන එක වැරදි බව රනිල්ට දැනෙන්නේ නැතිනම්, ජනතා මතයට අභියෝග කරනවා නම්, ඒ ගොල්ලෝ කවදාවත් ජනතාව ගැන හිතන්නේ නැහැ. ඊයේ පුවත්පතක ප්‍රවෘත්තියක් තියෙනවා සීනෝර් එකේ සභාපති ඉල්ලා අස්වෙලා, කියලා. ඒකට හේතුව රාජ්‍ය ඇමති පියල් නිශාන්ත එයාට බල කරනවාලු සල්ලි ඉල්ලලා. පියල් නිශාන්තට බඩු බෙදන්න සීනෝර් එකේ සභාපතිට කියනවාලු මුදල් වෙන්කර දෙන්න කියලා. ඒගොල්ලෝ තාමත් දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගන්නේ නැහැ.

Gahanu-Api-Puththalama

අපේ රට මෙතනට වට්ටපු ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් අපට නිෂ්පාදන ආර්ථිකයක් හැදුවේ නැහැ. දෙක තමයි, මේ වංචා, දූෂණ හොරකමෙන් පිරුණු සංස්කෘතිය. මේ කරුණු දෙක වෙනස් නොකර මේ රට ගොඩනඟන්න බැහැ. අපේ රට හදනවා නම් ගොඩාක් සම්පත් තිබෙන රටක්. විශාල මහ මුහුදක්, ලස්සන වෙරළක්, තිබෙනවා. අද ධීවරයාගේ බෝට්ටු තිබෙන්නේ මුහුදේ නොවෙයි. ගොඩබිමේ. බෝට්ටුවක් දියත් කරන්න බැහැ. තෙල් මිල, භාණ්ඩ මිල වැඩියි. ඒ නිසා ධීවර කර්මාන්තය වැටිලා තිබෙන්නේ. මේ පැත්තේ ඉස්සෝ කර්මාන්තය කරනවා. ඒක ඩොලර් උපයන්න හැකි සම්පතක්. ඒක මෙහේ අය කරන්නේ බැංකු ණය අරගෙන. ආණ්ඩුව කරන්නේ ජාවාරම්කරුවන් අල්ලගෙන විදේශවලින් ලාබෙට ඉස්සෝ ගෙන්වනවා. ඒ ගෙනාපු ගමන් මෙතන කර්මාන්තය කඩා වැටෙනවා. රට ගොඩනගන්න කර්මාන්ත ගොඩනගන්නේ නැතිව මේ රට කොමිස්වලට ලාබෙට රටින් භාණ්ඩ ගෙනාව රටක්. ලංකාවේ බිත්තර නිෂ්පාදනය කඩා වැටෙන කොට ආණ්ඩුව මැදිහත්වෙලා එය නඟා සිටුවනවා වෙනුවට ඉන්දියාවෙන් බිත්තර ගෙනාවා. දවසකට බිත්තර මිලියනයක් ගේනවා. භාණ්ඩ ගේන්න ඩොලර් නැහැයි කියමින් ඕනෑ නැති ඒවට ඩොලර් වියදම් කරනවා. දවසකට මිලියනයක් ගේනවා නම්, එක බිත්තරයකින් ඉන්දියන් රුපියල් එකක් කොමිස් ලෙස තියා ගත්තොත් දවසකට ලංකාවෙ රුපියල් ලක්ෂ 25ක් -30ක්. ඒ ගොල්ලෝ තමන් හම්බකර ගැනීම අරමුණු කරගෙන නිෂ්පාදනය කඩා වට්ටවනවා.

අපි මේ රට හදන්න නම් නිෂ්පාදනය වැඩිකරන්න ඕනෑ. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර කර්මාන්තය මේ හැම එකකටම අත දීලා, ඒවා ශක්තිමත් කරලා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමෙන් තොරව මේ රට ගොඩගන්න බැහැ. මේ සහෝදරියෝ ඒ ආර්ථිකයේ ශක්තිමත් බලවේගයක් වෙන්න ඕනෑ. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ අපි හැමෝටම සමානව බෙදෙන්න ඕනෑ. ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද? රටට ශක්තිමත් ආර්ථිකයක් හැදුවාම, ආණ්ඩුවට සල්ලි තිබෙනවා නම්, ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෙ අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන්කරන්න. අපේ සහෝදර සහෝදරියන් විශාල උද්ඝෝෂණයක් කළා අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 5%ක් වෙන් කරපල්ලා කියලා. අධ්‍යාපනයට ආණ්ඩුව මුදල් වෙන් කළාම දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපනයට දරන බර අඩුවෙනවා. ඒක දෙමව්පියන්ට සහනයක්. ගෙවල් ළඟම තියෙන පාසල පහසුකම් සහිත පාසලක් බවට පත් කළාම දරුවා දුර ඉස්කෝලෙකට යවන්න ඕනෑ වෙන්නෙ නැහැ. දරුවන්ට නිදහස් කාලයක් එනවා. දරුවන් පීඩාවකින් තොරව ඉගෙන ගන්නවා. ආණ්ඩුවට සල්ලි තියෙනවා නම් අපි සෞඛ්‍ය සේවයට මුදල් වෙන්කරනවා. අපේ ජීවිතයේ වැඩිම බරක් දරන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට. ආණ්ඩුවේ රෝහලේ බෙහෙත් ටික තිබෙනවා නම්, පරීක්ෂණ ටික රෝහලේ කරනවා නම් ඒක සහනයක්. අපේ ප්‍රතිපත්තිය නීරෝගී පරපුරක් හදන එක. ලෙඩ හැදෙන්න ඇරලා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක ජාවාරමක්. ආර්ථිකය හදලා ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව ජනතාවට ලැබෙන්න ඕනෑ. කාන්තාවන්ට ඒ ප්‍රතිලාභ එන්න ඕනෑ.

ඒ වගේම වංචාව, දූෂණය, හොරකම නවත්වන්න ඕනෑ. පුත්තලමෙ හැමදාම දේශපාලන චණ්ඩියෙක් ඉන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කරලා ජනතාව යටකරගෙන, පීඩාවට පත්කරමින්, ඉඩම් කොල්ලකමින් ඉන්නේ. ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. කිසිම ජනතාවක් දේශපාලකයන්ට බයේ ජීවත් වෙන්න ඕනෙ නැහැ. දේශපාලකයෝ ඉන්න ඕනෑ, ස්වේච්ඡාවෙන් ජනතාවත් එක්ක රට හදන්න වැඩකරන්න. මේ සහෝදරියන් කිසිවෙක් තමන්ට කිසිවක් බලාපොරොත්තුවෙන් වැඩකරන අය නොවෙයි. ස්වේච්ඡාවෙන් වැඩ කරන, මහජන සේවකයන් නිර්මාණය කරනවා නම්, ඒ නිර්මාණය කළ හැකි, ආර්ශයන් දෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. ගමක පොඩි පාරක් කාපට් කර හදනවා. පාර හදන්න ලක්ෂ 05ක් වියදම් වෙනවා. විවෘත කරන උත්සවයට ලක්ෂ 10ක් වියදම් කරනවා. පාර විවෘත කරන්න ඇමතියෙක් එන්න ඕනෙද? ඒක වෙනස් කරන්න ඕනෑ. පාර හදා ඉවර අවසන් බව ඉංජිනේරුවන් තහවුරු කළාට පස්සේ ඒකෙ යන්න තියෙන්නේ. පැල හිටවන්න ඇමතිවරු ඇවිත් කරන නාස්තිකාර වැඩ, විච්චූරණ නවත්වන්න ඕනෑ. නාස්තිකාර දේශපාලනය නතර කරලා අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්න ඕනෑ.

Gahanu-Api-Puththalama

අපේ ආර්ථිකය වට්ටලා විතරක් නොවෙයි සමාජයත් පිරිහිලා. සමාජය තුළ අපට ආරක්ෂාව නැහැ. පාසල් ගාව මත්ද්‍රව්‍ය විකුණනවා. දරුවෙක් පාරක තනිවම යවන්න බයයි. මිනිස්සු ළඟ සහකම්පනය නැහැ. හිරිවට්ටපු සමාජයක අපි ජීවත් වෙන්නේ. මෙතන තිබෙන විනය, සාමූහිකත්වය, ආරක්ෂාව සමාජයට අවශ්‍යයි. හැමෝගෙම මානව ගරුත්වය රැකෙන්න ඕනෑ. සාමූහිකත්වය තියෙන්න ඕනෑ. යුක්තිය මෙහෙයුමේ කාන්තාවන්ට හිරිහැර කරන අය අල්ලන්න පොලීසිය දැම්මා. එහෙම සමාජයක් හදන්න බැහැ. අධ්‍යාපනයේ සිට සමාජය හදන්න ඕනෑ. කාන්තාවන්ට ගරුත්වය හදන්න ඕනෑ. සියලුම මිනිස්සුන්ගේ හැඟීම් හදන්න ඕනෑ. එකිනෙකා රැකබලා ගැනීමේ මානුෂිකත්වය හැදෙන්න ඕනෑ. පවුල ඇතුලේ, පන්සලේ, පල්ලියේ හැදෙන්න ඕනෑ. එතකොට තමයි සමාජයකට ආරක්ෂාව තිබෙන්නේ. සමාජය ආරක්ෂා කරන්න පොලීසිය, හමුදාව දාලා නම් ඒ සමාජය අනාරක්ෂිත සමාජයක්. කාටවත් තමන්ගේ රැකියාව තෘප්තියෙන් කරන්න බැරිකොට තිබෙනවා. අපට මිනිසුන් සතුටින් ජීවත් වෙන සමාජයක් ඕනෑ.

අපේ ජීවිත කාලය තුළදී “වට්ටපු රට හැදුවා” කියන්න පුළුවන් නම් ඒතරම් සතුටක් වෙන නැහැ. අපට ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. සමහරු කියා තිබෙනවා නොදන්න ඒවා අත්හදා බලන්න මේ කාලය නොවෙයි කියා. දැන් තමයි කාලය අලුත් අත්හදා බැලීම් කරන්න. ලෝකේ හැමදාම ඉස්සරහට ගිහින් තිබෙන්නේ ඒවායින්. අපිව අත්හදා බලන්න දෙයක් නැහැ. කාලයක් තිස්සේ අපව දන්නා අය. දේශපාලනය ඇතුලේ ගෞරවයක් රැකගත්ත අය. සල්ලිවලට තනතුරුවලට තමන්ගේ දේශපාලනය විකුණපු නැති අය. අමාරුකම් මැද්දේ, ස්ථාවරව ප්‍රතිපත්තියක් මත එකදිගට වැඩකරපු අය. කවදා හෝ දවසක අපේ රටේ ජනතාව සත්‍යය තේරුම් අරගෙන පැරණි පක්ෂ පැත්තක දාලා අපි සමග ධෛර්යයෙන් විශ්වාසයෙන් අත්වැල් බැඳගන්නවා කියන විශ්වාසය හිතේ තබාගෙන, 3%ට බහිද්දිත් සටන අත්නොහැර හිටපු මිනිස්සු මෙතන ඉන්නේ. ඒ නිසා අපව අත්හදා බලන්න දෙයක් නැහැ. සමුපකාර ඡන්ද හැම එකක්ම දිනමින් ඉන්නේ. ඒ, ජනතාව මාලිමාව ගැන විශ්වාසයෙන් සිටින නිසයි. ඒ ගොල්ලන්ගේ කාලය අවසානයි. ජනතාම අධිෂ්ඨානශීලීව තීන්දුවක් අරගෙන තිබෙනවා. බඩු බෙදලා, ඡන්ද මාරු කරලා ජනතාව ගත්ත තීන්දු වෙනස් කරන්න බැහැ. කටුක වේදනාවලින් පන්නරය ලබපු ජනතාවක්. අපි මාලිමාව සමග එකතුවෙලා රට හදන්න ලැහැස්තියි, ඒකට ගැහැනු අපිත් එක මිටට ඉන්නවා කියන තීන්දුව අරගෙන තිබෙනවා.

අපි කවුරුත් එකතු වෙලා වට්ටපු රට ගොඩගන්න මහන්සියෙන් වැඩකරමු. සිංහල, දෙමළ, මුස්ලිම්, ගොවි, ධීවර, වැඩකරන ජනයා, ව්‍යාපාරික ප්‍රජාව, කර්මාන්තකරුවා මේ සෑම බලවේගයක්ම එකතු කරගෙන මහා දැවැන්ත මහජන ව්‍යාපාරයක් හදමු. අපට ජාතික පුනර්ජීවන සටනක් තිබෙනවා. අපි තව තවත් ජනතාව දැනුවත් කරමු. අපි කවුරුත් එකතු වෙලා සතුරන්ට පරද්දන්න බැරි දැවැන්ත බලවේගයක් සහිත ආණ්ඩුවක් අපි හදමු. දරුවන් වෙනුවෙන්, මේ රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. ඒ සඳහා ධෛර්යයෙන් පෙළගැසෙමු කියා ආරාධනා කරනවා.

Gahanu-Api-Puththalama

“කාන්තාවන් එක මිටට එකතු වී සිටින්නේ අනාගත පරපුරට දුක උරුමකර දීම වැළැක්වීමේ අරමුණින්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය චන්දන අබේරත්න-

අපේ ඉතිහාසයේ අවුරුදු දෙදහස් පන්සියයක කාල පරාසය තුළ සිදුවූ බරපතළ අවනඩුවක් නිරවුල් කිරීමේ අවස්ථාවක් හැටියට මම දකිනවා. ලංකාවේ ආර්ය ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ මේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. ශිෂ්ටාචාරය ආරම්භ වුණේම ගැහැනියට අවනඩුවක් ඉතිරි කරලා. ශිෂ්ටාචාරය ආරම්භ කිරීම සඳහා ප්‍රවේශයක් දුන්නු කුවේණියට අවසානයේ සමාජයෙන් පිටුවහල් වෙන්නට සිදුවුණා. දස දහස් ගණනක් වූ කාන්තාවන්ගෙන් ඒ අඳෝනාව තාමත් ඇහෙනවා. ධීවර සහෝදරියගෙන්, ගොවි සහෝදරියගෙන්, කම්කරු සහෝදරියන්ගේ ලතෝනිය එදාටත් වඩා වැඩියෙන් අද ඇහෙනවා. ප්‍රමාණවත් ආහාරයක් නොමැතිවීමෙන්, ජීවත් වෙන්න නිවසක් නැතිවීමෙන් නගන ලතෝනිය සෑම තැනකින්ම ඇහෙනවා. දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්නේ කොහොමද කියන ලතෝනිය වැඩිපුර ඇහෙන්නේ අපේ අම්මලාගෙන්, සහෝදරියන්ගෙන්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු දරුවා ගලවා ගන්නේ කොහොමද, මේ සියලු දුක් අඳෝනාවන් සෝදා හැරීමේත් මේ සියලු දුක්ඛ දෝමනස්සයන් අනාගත පරම්පරාවට උරුමකර දීම වැළැක්වීමේත් උත්තුංග අරමුණෙන් මේ “ගැහැනු අපි එක මිටට” එකතු වී සිටිනවා.

එදා පිටමං කළ ජීවහත්ත දිසාල වගේ දරුවෝ අධ්‍යාපනයෙන් පිටමංකළ දරුවෝ මේ දිස්ත්‍රික්කයේ ඉන්නවා. හරිහමන් ආහාරයක්, ඇඳුමක්, බේත්හේත්, රැකවරණයක් නැති දරුවෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. ඔවුන්ට සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කිරීමේ ගමනේදී ආණ්ඩු මාරු කිරීමෙන් හෝ නායකයන් පත්කිරීමෙන් පමණක් වැඩක් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ රටට නායකත්වය දෙන්නේ හුදු ආණ්ඩු වෙනසක් කිරීමේ අරමුණෙන් පමණක් නොවෙයි; මේ රටේ දුක්විඳින ගැහැනියගේ දුවා දරුවන්ගේ සියලු පුරවැසියන්ගේ ජීවිත වඩා යහපත් බවට පත්කිරීමේ දැවැන්ත අභියෝගය දිනීමටයි; මේ රටට හෙට දවසේ කඳුළ වෙනුවට සිනහවක් උරුමකිරීමේ අරමුණිනුයි. මෙතනට පැමිණ සිටින ඔබ හැමෝම ජයග්‍රහණය ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙතැන් සිට දැනට කරන කටයුතු තවත් වේගවත් කරන්න. ඒ වේගවත් කිරීම තුළින් අපේ දරුවන්ට, රටට සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමට සියලු දෙනාම අත්වැල් බැඳගනිමු.

Gahanu-Api-Puththalama

“අපි ඉන්නේ තවදුරටත් මේ ක්‍රමය ඉවසන්නේ නැහැ කියන තීන්දුව අරගෙනයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-

මාතරින් පටන් ගත් “ගැහැනු අපි එක මිටට” සමුළු මගින් ලංකාව පුරා අලුත් දේශපාලන සංස්කෘතියක් අපට හඳුන්වාදීමට හැකි වුණා. අද අපේ රටට අවශ්‍ය වන පරිවර්තනයේ නායකත්වය ගන්න මේ රටේ ගැහැනුන් සූදානම් කියන එක ඔබ පෙන්වා තිබෙවා. මේ වන විටත් ලබා තිබෙන ජයග්‍රහණය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මහාචාර්ය චන්දන අබේරත්න කිවුව, අදටත් තිබෙන කුවේණියගේ ලතෝනිය ඉවර කරන බවට අපි ප්‍රතිඥා දෙනවා. ලංකාවේ පළවෙනි පාලකයා බිහි කළ ගැහැනිය, කුවේණියටත් අපි සාධාරණය ඉටුකරන්න සූදානම්.

අපේ ජීවිතයට අර්ථයක් ගෙනදෙන්නෙත්, වටිනාකමක් දෙන්නෙත් අපි අතර තිබෙන සම්බන්ධතා. අපේ පවුල තුළ, අපේ සේවය කරන ස්ථානයේ, ගමේ තිබෙන සම්බන්ධතා, ඒ මානුෂීය බැඳීම්, මානුෂීය සම්බන්ධතා අපිට අතිශයින්ම වැදගත්. ඒ තුළින් තමයි අපට ආරක්ෂාවත්, සුරක්ෂිතතාවයත් දැනෙන්නේ. අද සමාජය තුළ තිබෙන ලොකුම ඛේදවාචකය ඒ සුරක්ෂිතතාවය නැති වීමයි. ආර්ථික අතින්, අධ්‍යාත්මික පැත්තෙන් සෑම පැත්තකින්ම අපි අනාරක්ෂිතයි. අපි අතර තිබෙන මානුෂීය සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය රැකගන්න අපහසු වෙලා තිබීම ඒ අනාරක්ෂිතභාවයට ප්‍රධාන හේතුවයි. අද අපි අරගල කරන්නේ හුස්ම අරගෙන එදිනෙදා ජීවිතය කොහොම හරි ගැටගහගෙන ජීවත් වෙන්න. එදාවේල කාල ඉන්න. ඒක නෙවෙයි ජීවිතය. ජීවිතයට ඊට වඩා පුළුල් අර්ථයක් තිබෙනවා. වටිනාකමක් තිබෙනවා. අපි අරගල කළ යුත්තේ අපිට මනුෂ්‍යත්වයෙන් අපට ලැබෙන්න පුළුවන් උපරිම දේ ලබාගන්න. අප වටා තිබෙන සම්බන්ධතාවල ගුණාත්මකභාවය දියුණු කරන්න. ගැහැනු අපි තමයි ලෝකයට ජීවය ලබාදෙන්නේ. අපි තමයි ඊළඟ පරපුර බිහිකරන්නේත් හා රැකගන්නේත්. ඒක අද විශාල අරගලයක් බවට පත්වෙලා තිබෙනවා. අපි ආදරය කරන අපේ දරුවන්, පවුලේ සාමාජිකයන්, යහළුවන් අපට රැකගන්න අමාරුවෙලා තිබෙනවා. සුරක්ෂිතභව තහවුරු කරන්න අමාරු වෙලා තිබෙනවා. එතන තමයි අපේ අඳෝනාව තිබෙන්නේ. එතන තමයි අපේ ජීවිත පීඩාවට පත්කර තිබෙන්නේ. ස්වභාවයෙන්ම අපට එන ඒ සුරක්ෂිතතාවය අපට ආදරය කරන අයට ලබාදෙන්න බැරිවුණා. ඒ බැරිකර තිබෙන්නේ අපේ වරදකින් නොවෙයි. අද තිබෙන මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ ඒ මූලික දේවල් ලබා ගැනීමත් අපේ ජීවිතවල සුරක්ෂිතභාවය ලබාගැනීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් බවට පත්කර තිබෙනවා. ඒ සියලු වගකීම් අප මත පවරා තිබෙනවා. ඒ සියලු වගකීම් බරක් ලෙස අපට දැනෙන්න සලස්වා තිබෙනවා. ඒක තමයි අපි වෙනස් කළ යුත්තේ.

අපට ජීවත් වෙන්න ආහාර සුරක්ෂිතතාවය, තිබෙන්න ඕනෑ. වේල් තුනක් හොඳින් කන්න තියෙන්න ඕනෑ. අපේ දරුවන්ට හොඳට අධ්‍යාපනය ලබාදෙන්න තිබෙන්න ඕනෑ. පාසලේ දරුවා ගෙදර එන තෙක් ආරක්ෂා වෙන බවට තහවුරුවක් තිබෙන්න ඕනෑ. අධ්‍යාපනය නිමාවෙන කොට දරුවාට අවශ්‍ය කුසලතා, වටිනාකම් ලැබී තිබෙන බවට, ඉස්පිරිතාලෙකට ගියාම එහි බෙහෙත්වල ගුණාත්මකභාවය, තහවුරුවී තිබෙන බවට, රැකියාවක් කරන කොට එයින් ජීවත් විය හැකි මුදලක් ලැබෙන බවට විශ්වාසයක් තිබෙන්නෙ ඕනෑ. ඒ කිසිවක් අපට ඉතිරි කර නැහැ. අපි වෙනස් කළ යුත්තේ ඒකයි. අපේ මූලික අවශ්‍යතා මෙතරම් අපහසු කර, පීඩාකාරී ලෙස අපට බරක් බවට පත්කරපු ඒ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒක වෙනස් කරන්න දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි කියන එක අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා තමයි කවදාවත් දේශපාලන රැස්වීමකට ආපු නැති හා දේශපාලන රැස්වීමක කතා කරන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැති මම, ඔබ සියලු දෙනාම වගේ මේ විදිහට ක්‍රියාකාරීව ඉන්නේ. අපි ඉන්නේ තවදුරටත් මේ ක්‍රමය ඉවසන්නේ නැහැ කියන තීන්දුව අරගෙනයි. අපි ඒක වෙනස් කරනවා.

Gahanu-Api-Puththalama

මැතිවරණයකට ඉදිරිපත් වෙලා ඔළුගෙඩි මාරුවක් කරන එක විතරක් නොවෙයි. අපිත් වෙනස් වෙන්න ඕනෙ. අපි තුළ තිබෙන ශක්තිය අපි තේරුම් ගන්න ඕනෑ. මේ ක්‍රමය වෙනස් කරන්න නම් අපිත් මේකට මැදිහත් විය යුතුයි. ඔබ අපි මෙතනට එක්කාසු වුණෙත්, මේ වේදිකාව කාන්තාවන්ගෙන් පුරවන්න හැකි වුණෙත් අහම්බයකින් නොවෙයි. ඔබ හැමෝගෙම විශාල කැපකිරීමක් කරලා, වැඩකොටසක ප්‍රතිඵලයක් නිසා තමයි අප මේ විදිහට සමරන්නේ. මේ වැඩේ අදින් ඉවර වෙන්නේ නැහැ. අපි කරන සෑම වැඩකටයුතුවලට අමතරව මේ දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම සහෝදරියන් හමු වී මේ පණිවිඩය ගෙනියන්න ඕනෑ. මේ සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාවය අපි කතා කරන්න ඕනෑ. මේ සමාජය වෙනස් කිරීමට අපි තුළ තිබෙන ශක්තියත්, හැකියාවත් එළියට ගන්න ඕනෑ.

ලන්ඩන්වලත් අපි සම්මන්ත්‍රණයක් තිබ්බා. අපේ සහෝදරියන් සිය ගණනක් ඇවිත් හිටියා. එදා ඒ සහෝදරියන්ට ඒ සම්මන්ත්‍රණයට සහභාගි වෙන්න එයට සහායක් හැටියට සහෝදරවරු ළමයි බලාගන්න ඩේකෙයාර් එකක් එතන ශාලාවෙම ලැහැස්ති කර තිබුණා. නෝනලාට රැස්වීමට යන්න කියලා එදා දරුවන් බලාගත්තේ මහත්තුරු. එවැනි ඩේකෙයාර් එකක් දවසකට හෝ දාගන්න ගොඩක් වෙහෙසෙන්න ඕනෑ. ඒක පුරුදු වුණු අයට පමණයි ඒක කළ හැක්කේ. එතන සිටි වෛද්‍යවරුන් පවා ඉදිරිපත් වුණා දරුවන් බලාගන්න. අද අපේ සහෝදරවරු පිළිඅරගෙන තිබෙනවා, අපට සහයෝගය දක්වමින් ඉන්නවා අපේ සමාජ වගකීම්, අපේ දේශපාලන වගකීම් ඉෂ්ට කරන්න. මෙතෙක් කල් ඇදගෙන ගිය බර බෙදා ගන්න අපට සහයෝගය දක්වන්න අපේ සහෝදරවරු ඉදිරිපත් වෙමින් යනවා. අපේ කාන්තා සභාවකදි අපේ සහෝදරවරු සංග්‍රහ කටයුතු කරනවා. වෙනස දැන්මම සිදුවෙමින් යනවා. පොදු අරමුණකට අපි එකතු වුණොත් සමාජය මීට වඩා හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියන සාමූහික හැඟීම, අරමුණ අපි සියලු දෙනා තුළ තිබෙනවා. අපි සියලු දෙනාටම එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් කියල අපි ඔප්පු කර තිබෙනවා. ජයග්‍රහණ රාශියක් දැනටමත් අපි ලබාගෙන තිබෙනවා. ඉදිරියටත් ලබා ගන්නවා. මේ රට අපි වෙනස් කරනවා. මේ රට මානුෂීය, සාධාරණ තැනක් බවට පත් කරන්න ඉදිරිපත් වෙනවා.

Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama
Gahanu-Api-Puththalama