(-ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.30-)
ඔබේ කාගේත් තිබෙන බලාපොරොත්තුව, වසර 76ක දූෂිත දේශපාලනය පරද්දලා නව ජනතාවාදී දේශපාලනයක් මේ රටේ බිහිකර ගන්න. මේ 2024 කියන්නේ ලංකාවේ ඓතිහාසික වසරක්. අපි කවුරුත් පිළිගන්නවා විශේෂයෙන් කාන්තාවන් රට තුළත් ලෝකය තුළත් ආර්ථික ක්‍රියාවලිය තුළ සමාජීයවත් ගෘහය තුළ පෞද්ගලිකවත් විශාල වැඩ කොටසක් කරනවා. කාන්තාව විමුක්තිය ඉල්ලනවා නම් ඒ විමුක්තියේ තිඹිරිගෙය නිර්මාණය වෙලා තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළයි.
පසුගිය දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන් විවිධ දේශපාලන රැස්වීම්වලට ගෙනියන්න ඇති. ඒත් ඔබට එක වැඩක් බාර දෙන්න නැතිව ඇති. ඒ බාර නොදුන් වැඩේ තමයි අපි මේ ඔබට බාරදී තිබෙන්නේ. අද මෙතන කෑගල්ල දිස්ත්‍රික්කයේ විධායක සභාවට කාන්තාවන් 50කට වැඩි පිරිසක් තේරී පත්වුණා. කෑගල්ල වෙනුවෙන් නායකත්වය දෙන්න මේ සහෝදරියන්ට හදවතින්ම මම ශක්තිය හා ධෛර්යය, සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන් නායකත්වයෙන්. මෙතුවක් කලක් ලංකාවේ කාන්තාවන්ට දේශපාලනයේ තැනක් දී තිබුණා නම්, ඒ තාත්තා මැරුණොත් දුවට ගිය, මහත්තයා මැරුණොත් බිරිඳට ගිය වැන්දඹු දේශපාලනය තුළයි. ඒක පවුල් දේශපාලනයක්. අන්න ඒ දේශපාලනයට තිත තියලා, මේ මහපොළොවෙන් උපන් කාන්තා නායකත්වයක් හදා තිබෙන දේශපාලනයක් තිබෙනවා නම්, ඒ ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාව කියා අද ඔප්පු කර තිබෙනවා. ප්‍රශ්න තිබෙන තැනින්ම නායකයෝ එන්න ඕනෑ. කරගැටයක්වත් මතු නොවුණු, මහා ධනකුවේර පවුල්වල උපත ලබපු අයට පොදු මහ ජනතාවට සේවය ගන්න බාර දුන්නා. ඔවුන් ඔවුන්ට සේවයක් කර ගත්තා. කාන්තා හෝ පිරිමි සැබෑ නායකයෝ බිහි කරන්න ඕනෑ ජනතාව අතරිනුයි.
මේ 2024 වසරේ ඇරඹෙන්නේ මිනිස්සු ජාතික වශයෙන් එකතු වෙලා රට ගොඩනඟන්න වෙර දරන ඓතිහාසික යුගයක්. කාන්තාවෝ අද හිංසනයට, පීඩාවන්ට, නොසලකා හැරීම්වලට, අතවරවලට පත්වෙලා. ඒ පුරුෂයන් නිසාම නොවෙයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නේ නැතිව පීඩාව වෙනස් කරන්න බැහැ. අපි මේ උත්සාහ ගන්නේ එක පාලක කණ්ඩායමක් වෙනුවට තවත් එක පාලක කණ්ඩායමක් බිහිකර ගන්න නොවෙයි; පවතින ක්‍රමය වෙනුවට විකල්ප ක්‍රමයක් මේ රටට ගේන්න. මේ පවතින දේශපාලන ක්‍රමය අතුගා නව ආර්ථික ක්‍රමයක් ගොඩනඟන්න ඕනෑ. ඒකට තමයි ජාතික ජන බලවේගය මේ වෙහෙස ගන්නේ. ඒ සඳහා සෑම බලවේගයක්ම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මේ රටේ කාන්තා හිංසනය වැඩිපුරම තිබෙන්නේ ගෙවල්වල නොවෙයි. පාර්ලිමේන්තුවෙන්, ජනාධිපති මන්දිරයෙන්, අරලියගහ මන්දිරයෙන් තමයි, ඔබව හිංසනයට පත් කරන්නේ. බඩු මිල වැඩිකරන්නේ, බදු ගහන්නේ, ඉස්කාගාර ටික දාලා දෙන්නේ, කුඩු ගේන කට්ටිය බිහිවෙලා ඉන්නේ, පාතාලෙ නිර්මාණය වී තිබෙන්න් ඒ තැන්වලින් තමයි. අයුක්තිය, අසාධාරණය නිර්මාණය කරන්නේ. ජාතිවාදය, ආගම්වාදය, යුද්ධ, කලකෝලාහල නිර්මාණය කරන්නේ ඔවුනුයි. ජාතික ජන බලවේගය අතට පාලන බලය ගිය දාට ඔය හිංසනය හමාරයි. මේ රටට සහනය ගේන්න අපි සූදානම්.
කාන්තාවට සාහිත්‍ය තුළ, කලාව තුළ තැනක් දීලා තිබෙනවා. නමුත් රටේ ලෝකේ ඒ තැන දීලා නැහැ. ඒ තැන අපි දිනාගත යුතු තැනක්. ඒකට එකතු විය යුතුව තිබෙනවා. දැන් මැතිවරණය ආසන්න වෙනකොට දේශපාලන පොරපිටිය රත්වෙමින් එනවා. බඩු මලු, සල්ලි, අරක්කු බෙදනවා. ජනතාව එකතු කරලා මුලා කරනවා. ඒ ඔළුගෙඩිවලයි මේ ඔළුගෙඩිවලයි වෙනසක් තිබෙනවා. මෙතන ගැඹුරක්, බරක්, හරයක් තිබෙනවා. මේ දහස් සංඛ්‍යාත කාන්තාවන් එකතු වුණේ පොරොන්දු දීලා, බත් පැකට් දීලා, රවට්ටලා නොවෙයි. රට ගැන හිතලා ආපු ජනතාවක් මේ ඉන්නේ. මෙතන ගුණය, හරය වැඩියි. මෙවැනි ජනතාවක් අනිවාර්යයෙන් මේ රට ගොඩගන්නවා. රැවටීමෙන් තොරව, දැනුමෙන් සන්නද්ධ කරලා, අවබෝධය හදලා හදවතට හැඟීම ගෙනත් මේ රැස්කර තිබෙන්නේ. හිස්තැන්වලට මිනිස්සු එකතු වෙලා ගොඩනැගිය හැකි රටක් නැහැ.
මේ රටේ කීර්තිමත් සාහිත්‍යවේදියෙක්, ගීත රචකයෙක්, ලේඛකයෙක් වූ ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා කාන්තාවට තැන දීලා අපූරු ගීතයක් ලිව්වා. නන්දා මාලිනිය විසින් ඒ ගීතය ගැයුවා.
මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා
ලංකා ඉතිහාසය වෙනස් කරන ප්‍රබලම කොටස්කාරයෝ බවට පත්වෙන්නේ කාන්තාවන් බව මේ එකතුවෙන් පේනවා. කාන්තාවන්ගේ මේ ප්‍රබෝධමත් නැගිටීම ගැන රටේ පාලකයෝ අන්දුන් කුන්දුන් වී බලා සිටිනවා. මේ සමාජය උඩුයටිකුරු කළ හැකි සන්නිවේදන හැකියාව තිබෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ටයි. අපේ රටේ ගත්තත්, ලෝකයේ ගත්තත් ඔබ විවිධ හැකියාවන්ගෙන් යුක්ත අපතේ හැරි මානව ප්‍රාග්ධනයක්. මේ රට ඔබෙන් හොඳම ප්‍රතිඵලය ගත්තේ නැහැ. ඊළඟට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදෙන කොට ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය වාර්තා වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ. දූෂිතයෝ පැත්තකට දාලා, ගැහැනු පිරිමි එකතු වෙලා මේ රට හදමු.
මේ රට ගිලා බස්සපු රටක්. සෑහෙන්න දේවල් ගොඩගන්න තිබෙනවා. ඒකට විශාල බලයක් යොදන්න ඕනෑ. මේ රට ගොඩනගන්න ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ලංකාව විදේශිකයන්ට අවුරුදු 443ක් යටත් වෙලා හිටියා. අපේ රටේ නිදහස් ව්‍යාපාරයක් තිබුණේ නැහැ. 1948 නිදහස ගන්න කොට නිදහස් සටන් ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයක් තිබුණා. මහත්මා ගාන්ධිලා, නේරුලා, චන්ද්‍රබෝස්ලා එකතු වෙලා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙන්න දැවැන්ත පීඩනයක් ඇති කරලා නිදහස ලබා ගත්තා. 1948 අපේ රටටත් නිදහස දීලා ගියා. අවුරුදු 76ක් ගිහින් බලන කොට ලැබුණු නිදහසකුත් නැහැ, ලෝකයේ බංකොලොත් රාජ්‍යයක් ලෙස නම්කර තිබෙනවා. මේකට වගකියන්න ඕනේ අවුරුදු 76ක නිල් – කොළ පාලනය. අපේ රටේ ආර්ථිකය වැටිලා, කර්මාන්ත වැහෙනවා, ව්‍යාපාර වැහෙනවා, රැකී රක්ෂා අහිමි වෙනවා, පාලකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියට දැන් බදු ගහනවා. බඩුමිල වැඩි කරනවා. දඩ ගහනවා. රටම හිංසනයට, පීඩනයට පත්වෙමින් තිබෙනවා. මාධ්‍ය තුළ කියනවා තිබුණු වලෙන් රට ගොඩ එනවා, කියලා තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිවෙලා කියමින්, ප්‍රශ්න හංගන්න හදනවා. එදා බඩු මිලට වඩා අද බඩු මිල තුන්ගුණයකින් වැඩිවෙලා. පීඩාව හංගන්න හදනවා. තුන්වේල කන්න නැහැ මන්දපෝෂණය වැඩිවෙලා. උගත්තු, දරුවෝ රට අතහැර යනවා.
ඉතිහාසයේ බලවේග සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග විදියට බණ්ඩාරනායක මහත්තයලා එකතු කළා. අද ඒ බලවේග නැහැ. ඒ බලවේගවල හොඳම ගුණය, අවංකකම එකතු වෙලා වෙලා ඉන්නවා. පූජ්‍ය පක්ෂය එකතු වී මහා සඟ සමුළු පවත්වනවා. ගොවියෝ දැවැන්ත බලවේග ලෙසත් ඒ වගේම ධීවරයාත් විවිධ ක්ෂේත්‍රවල ඉන්න කම්කරුවෝත් ගුරුවරු, වෛද්‍යවරු, එකතු කරමින් මේ වගේ සමුළු පැවැත්වෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පිහිටුවා තිබෙනවා. ව්‍යාපාරිකයන් වගේම ත්‍රී විලර් එකමුතුවත් පිහිටුවමින් තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ගොඩනඟා තිබෙනවා. තව ටික දිනකින් ජාතික ජන බලවේගයේ පොලිස් සාමූහිකයත් පිහිටුවනවා. දැවැන්ත ව්‍යාපාරයක් වන සමෘද්ධි ව්‍යාපාරය මූලික කරගෙන සමෘද්ධි සාමූහිකය ගොඩනඟමින් යනවා. ජාතික ව්‍යාපාරයක් හැටියට සිංහල දෙමළ, මුස්ලිම් කිසිදු බේදයක් නැතිව සියලු බලවේග එකතු කරමින් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නව පුනරුදයක් ගොඩනැගීමට මේ වගේ කාන්තාවන් පෙරමුණටම ගෙනයනවා.
වැටුණු රටක් ගොඩගන්න ලේසියි. ගිලා බැස්සූ රටක් ගොඩගන්න අමාරුයි. අපි උරදීලා තිබෙන්නේ ඒ අමාරු තැනින් රට ගොඩගන්න. තවමත් අප වටා එකතු වුණු නැති අයට අපි ආදරයෙන් ආරාධනා කරනවා අපේ දරුවන් වෙනුවෙන් මේ රට ගොඩගන්න අපිත් එක්ක එකතු වෙන්න. ජාතික ජන බලවේගයෙන් දරුවන්ට රටක්, රටට හෙටක් අපි අනිවාර්යයෙන්ම ගොඩනඟනවා. නිදැල්ලේ සිටින වැරදිකරුවන්ට අධිකරණයෙන් දඬුවම් ලබාදීමට අපි ක්‍රියාකරනවා.
පැත්තෙන් පැත්ත අඳිමින් නිල්-කොළ රෙද්ද
හැත්තෑ හය වසක් රට කෙරුවා සුද්ද
කෑගලු ගැහැනු අද එක මිටකට එක්ව
මේකයි උන්ව හැඳි ගාවන අවුරුද්ද කියලා හැමෝම සූදානම් වෙන්න.
මැතිවරණ පිළිබඳව අවිනිශ්චිතතාවය ගොඩනඟමින් යනවා. මොන ප්‍රචාර ගෙනගියත් ලබන නොවැම්බර් මාසය වන විට අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරනවා. දැන් දූෂිත කණ්ඩායම් ඔක්කෝම එකට එකතු වී අපට එරෙහිව මඩ අවලාද නිර්මාණය කරනවා. අපි බලවත් වෙනකොට ජනතාවට බඩු බෙදීමත් වැඩිකරනවා. බඩු මිල පහත දානවා. මහ බැංකු වංචා බදු සල්ලි, සීනි බදු වංචා සල්ලි, ඉස්කාගාර අපි ළඟ නැහැ. ඒවාට විරුද්ධව අපි ජනතාවට දැනුම බෙදනවා.
අපි මේ ගමන ආවේ තනතුරු තානාන්තර බලාගෙන නොවෙයි. ඔවුන් වනසපු රට අපේ ජීවිත කාලය තුළදී අපේ දෑතින් අපේ දරුවන්ට ගොඩනඟා දීමේ හීනයක් අපට තිබෙනවා. දූෂිත දේශපාලනය අතුගා දමා, මේ රටට නව යුගයක් අපි ගොඩනඟනවා. ඔවුන් රටේ සම්පත් විකුණමින්, ණයට කමින්, හොරා කමින් රට විනාශ කළා. ඔබේ දිස්ත්‍රික්කය ගොඩනගන්න තිබුණු බෝගල පතල විකුණා දැම්මේ කෝටි 36.5කට. කහටගහ පතල එක්කෝටි හැටලක්ෂයකට වික්කා. රනිල්ලා අදත් විකුණනවා. කිරි මණ්ඩලයට අයිති ඉඩම් විකුණනනවා. වතුර විකුණන්න පනතක් ගෙනත් තිබෙනවා.
පවුල් පාලනය අවසන් කර, නිෂ්පාදන කර්මාන්ත මූලිකකර ගත් ආර්ථිකයක් අපි ගොඩනඟනවා. නිෂ්පාදන ආර්ථිකයක් තුළ පොදු ජනතාවගේ අත මිටට සාධාරණ ලෙස ආදායම් බෙදා දෙන්න සලස්වනවා. ජාතිවාදය, ආගම්වාදය සදහටම තිත තියනවා. රටටත් ලෝකයටත් ගැලපෙන හොඳම අධ්‍යාපනය අපේ දරුවන්ට ලබාදෙනවා. ජනාධිපතිගේ සිට දේශපාලකයන් හැටියට රටට ආදර්ශ ලබාදෙනවා. අරපිරිමැස්මෙන්, අල්පේච්ඡතාවයෙන් වැඩකර ජනතාවට ආදර්ශ ලබාදෙනවා. සියලුම මිනිසුන් එක්ව එකට පොරබදමින් නව පුනරුද යුගයකට රට ගේනවා. කලාකරුවන් ඒ වෙනුවෙන් නිර්මාණ බිහිකරාවි. රටේ ගොවියන් අලුත් තාක්ෂණය එක්ක විදේශ වෙළඳපොළටත් ගැලපෙන බෝග වගාකරාවි. ඒ වෙනුවෙන් පස්අවුරුදු සැලසුම් අපි හදනවා. ජාතික ජන බලවේගය වටා එක්රැස්වී යුක්තිය, සාධාරණත්වය, මනුෂ්‍යත්වය තිබෙන, බතබුලතින් සරුවූ, නැණ නුවණින් පොහොසත් වූ අභිමානවත් රටක් හදන්න අපි සියලු දෙනා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමු.
“ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-
අද අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිලාද කියන පාඩම් ගණනාවක් උගන්වා තිබෙනවා. මේ සමාජය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනා එකඟ වෙලා තිබෙනවා. ඔබ ඇතුළු අපි කවුරුවත් දේශපාලනය කරන්න හිතපු අය නොවෙයි. අපි මුහුණ දෙන අභියෝග, ගැටලු තනි තනිවම විසඳන්න බැහැ, අපි එකතු වෙලා උත්තර සෙවිය යුතුයි කියන තීරණයෙන් හා අධිෂ්ඨානයෙන් අපි එකතු වී සිටිනවා. අපේ ශක්තිය පිළිබඳව අපි මෙතරම් කාලයක් හිතුවේ නැහැ. අපි ඒක පළමුවැනි වතාවට මාතරින් තේරුම් ගත්තා. අපි එය මුළු ලෝකයටම පෙන්නුවා.
මේ දේශපාලන වේදිකාව මත කලාව සාහිත්‍යය, ගීත, නැටුම්, ගැයුම් ඉදිරිපත් වුණා. ගැහැනු අපේ ශක්තිය, ආදරය පෙන්නුම් කරන ගැහැනු කතා, සිංදු ලියවෙලා තිබෙනවා. වරක් පත්තිනි දේවිය හැටියටත් වරෙක කාලි දේවිය ලෙසත් ආමන්ත්‍රණය කර තිබෙනවා. කුණ්ඩලකේසි මතක් වෙලා තිබෙනවා. මේ සියල්ලම අපි ගැන කියැවුණු කතා. අපේ ශක්තියත්, ධෛර්යයත් දැනිලා වේදිකාව තුළ අදහස් ප්‍රකාශ වුණා. අපිව සාගරයක් හැටියටත් විස්තර කළා. කුණාටුවක් හැටියටත් හඳුන්වා දුන්නා. ඒක ඇත්ත. සාගරයක් තරම් ගැඹුරුයි. අපි සියලු දෙනා තුළම ඒක තිබෙනවා. ගැහැනු අප විසින් හැදුණු කුනාටුව නතර වෙන්නේ මේ රට සුද්ධ කරලා. අපි නිවාඩුවක් ගන්නේ මේ රට පරිවර්තනය කරලා. නවත්වන්නත් බැහැ. නවත්වන්නෙත් නැහැ. ඒ ශක්තිය තමයි අද මේ සමාජයට දැනෙන්නේ. අද බලයේ ඉන්න අයටත්, බලයට එන්න හදන අයටත් දැනිලා තිබෙන්නේ. සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය, අභිමානය තිබෙන කාන්තා බලය තමයි අද මේ රට හොල්ලලා තිබෙන්නේ. ගැහැනු අපි ශක්තිය එකතු කරමින් මේ රට තීරණාත්මක ලෙස වෙනස් කර ඉවරයි. ඒක අපට දේශපාලන තලයේ දැනෙනවා. අද සමාජයේ විවිධ කණ්ඩායම්, මේ සමාජ පරිවර්තනය වළක්වන්න හදන අය කලබල වෙලා තිබෙනවා. මේ නිසා අපට විවිධ ප්‍රශ්න, විවිධ කතා, විවිධ අභියෝග එල්ල කරනවා. දේශපාලන රූපවාහිනී සංවාදයකට ගියත්, වේදිකාවේත් මාතෘකාව එකයි. ඒ තමයි ජාතික ජන බලවේගය පුරවැසියන් සමග ඇති වෙමින් යන සමාජ සම්මුතිය, ගොඩනැඟෙමින් යන විශ්වාසය බිඳින්නේ කොහොමද කියන එක තමයි දේශපාලන ප්‍රතිවාදියාගේ ලොකුම අරමුණ.
ඔවුන් ප්‍රශ්න කිහිපයක් අපට එල්ල කරනවා. අපට ප්‍රතිපත්ති නැතිලු. 2019 මැතිවරණ අවස්ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව අරගෙන ඒකෙ අඩුපාඩු අපට පෙන්නුම් කරනවා. අපි කියන්නේ කලබල වෙන්න එපා. අපි මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ වුණාම, අපේ වැඩපිළිවෙළ අපි එළියට දමන්නම්. එතකොට අපි සංවාද කරමු. ජාතික ජන බලවේගය කියන්නේ දේශපාලන දර්ශනයක් මත, ඒ දර්ශනයෙන් ලබාගත් මූලධර්ම පදනම් කරගත්, ප්‍රතිපත්ති හදමින් යන ඒ ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩපිළිවෙළකුත් ජනතාවට ඉදිරිපත් කරන ව්‍යාපාරයක්. මීට පෙරත් අපි එසේ කර තිබෙනවා. මේ වතාවෙත් අපි ඒක කරනවා. අපේ වැඩපිළවෙළ තුළ වෙනස් වෙන ස්වභාවයකුත් තිබෙනවා. අද රට තුළ සමාජ තත්ත්වය තුළ ඇතිවෙලා තිබෙන කොන්දේසිවලට අනුකූලව අපේ වැඩපිළවෙළ ඉදිරිපත් කරනවා. අපි අලුත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. අපේ මූලධර්ම වෙනස් කරන්නේ කලාතුරකින්. මේ මූලධර්ම දේශපාලන දර්ශනය තුළින් ලබාගන්න නිසා අපිට මූලධර්ම වැදගත්. ඒ ගැන ලොකු විස්තරයක් නොකීවාට, එය සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය තිබෙන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් හැදෙන දේශපාලන දර්ශනයක්. ඒ අනුව තමයි අපේ ප්‍රතිපත්ති හදන්නේ. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයත්, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයත් එහි ප්‍රධානම මූල ධර්ම හැටියට අපි දකිනවා.
මේ රටේ ප්‍රතිපත්වලින් අඩුවක් නැහැ. ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයට අපට ආරාධනා කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක්, ඒකට අදාළ පාලනයක් රටේ බිහිවෙලා නැති නිසා. මේ රටේ පාලකයන්ට ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න බැහැ. ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළොත් ඒගොල්ලන්ට හොරකම් කරන්න, දූෂණයේ යෙදෙන්න, නාස්ති කරන්න බැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රතිපත්ති අදාළ නැහැ. ඔවුන් දේවල් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ හිතමිතුරු චෞර වළල්ලේ වුවමනාවට. විද්‍යාව, දත්ත, විශ්ලේෂණය, ජනතා සහභාගිත්වය තුළින් හැදුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොවෙයි. ඒ නිසා අපි හිතනවා ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න නම්, දේශපාලන වෙනසක් අවශ්‍යයි. ඒ දේශපාලන වෙනස වෙනුවෙන් තමයි මේ සියලු දෙනාම පෙළගැසෙමින් යන්නේ. ඒ දේශපාලන වෙනසට තමයි මහජන නියෝජතයනුත්, පුරවැසියනුත් අතර අලුත් සමාජ සම්මුතියක් සඳහා මේ සාකච්ඡාව ගෙනියන්නේ. මේ සියලු දෙනාම එකතු කරන්නේ. ඒ අලුත් සමාජ සම්මුතිය අනුව තමයි අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් අපි ගොඩනගන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒ දේශපාලන වෙනස සිදුවෙන්නේ නැතිව මේ රටේ තිබෙන හොඳම ප්‍රතිපත්ති ගෙනාවත් වෙනස කර ගන්න බැහැ. මේ අවුරුද්ද තුළ ප්‍රතිපත්ති අනුව ජනතාව මුල්කර ගත් ජනතාවාදී පාලනයක් පිහිටුවීමේ අරමුණ ඉටු කර ගත යුතුයි. ඔබගේ අනුමැතිය අනුව තමයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.
මේ දේශපාලනය පරිවර්තයන කිරීමට නම් අපි සියලු දෙනාගෙන් ඉටුවිය යුතු කාර්යයක් තිබෙනවා. අපිට තීරණාත්මක මැතිවරණයක් එනවා, ඒ මැතිවරණය අපි දිනනන්න ඕනෑ. ඒ වගේම ඒ ජයග්‍රහණය අපි ආරක්ෂා කර ගන්න ඕනෑ. නායක මණ්ඩලය පමණක් නොවෙයි, අප නියෝජනය කරන දේශපාලන සංස්කෘතියත්, දේශපාලන භාවිතාවත් අපි ආරක්ෂා කරන්න ඕනෑ. ඒ වෙනුවෙනුත් අපි මේ වෙලාවේ සූදානම් විය යුතුයි. මේ සමාජ පරිවර්තනය තුළ අපේ දේශපාලන සංස්කෘතියත්, දේශපාලන භාවිතයත් ප්‍රබල වෙනසකට භාජනය කරනවා. ඔබ බැලුවොත් මීට පෙර මේ රටේ සිදුවුණු සියලුම මැතිවරණවලින් පස්සේ පත්වුණු හැම ආණ්ඩුවක්ම මොකක්ද කළේ, ප්‍රතිවාදියාගෙන් පළි ගන්නවා. තමන්ට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ලංකර ගන්නවා. තමන්ට වෙනස් අදහස් දරන රාජ්‍ය නිලධාරීන් එළවා ගන්නවා. තමන්ට වැඩ කළා කියන පාක්ෂිකයන්ට වරප්‍රසාද බෙදනවා. අනෙක් අය කොන්කරනවා. එතකොට හැම මැතිවරණයක්ම අවසානයේ ආණ්ඩුවේ මුල්කාලයේ රාජ්‍ය අනුග්‍රහයෙන්ම පළිගැනීම් සිදු කරනවා. ඔය සංස්කෘතිය ක්‍රියාත්මක කරපු, ඒ සංස්කෘතිය මේ රට තුළ තහවුරු කළ අයම තමයි අපට පළිගන්නවා කියන චෝදනාව එල්ල කරන්නේ. ඒ කණ්ඩායම තුළ තමයි මැර බලය තිබෙන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කර මේ රටේ සියලුම ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද තමන්ට පක්ෂපාතී අයට පමණක් බෙදන, ඒ දේශපාලන සංස්කෘතිය ආරම්භ කළේ සහ පවත්වාගෙන ගියේ ඒ කණ්ඩායම තමයි.
අදටත් අපි ගම්වලට ගියාම, මෙවැනි සමුළු පවත්වන කොට අනෙක් පැත්තෙන් “මාලිමාවේ රැස්වීමට ගියොත් අස්වැසුම කපනවා. ඊළඟ දවසේ ට්‍රාන්සර් කරනවා” කියලා තර්ජනය කරනවා. අදටත් ඔය පණිවිඩය ඒගොල්ලෝ කියනවා. මෙවැනි දවස්වලට හදිසියේ බඩු බෙදන්න ගම්වල කට්ටිය ලැහැස්ති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මොකක්ද? ඒ ගොල්ලන්ගේ පළිගැනීමේ දේශපාලනය අදටත් කරගෙන යනවා. අදටත් ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය තුළ තිබෙන්නේ එවැනි අරමුණක්. ශිෂ්ට සම්පන්න රටක ආණ්ඩුවක් පත්වුණාම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් විතරක් නොවෙයි, මුළුරටම වෙනුවෙන්. නමුත් අවුරුදු 76ක් තුළ ආණ්ඩු පත්වුණේ ඒ ආණ්ඩු හිතවතුන් වෙනුවෙන් විතරයි. ඒ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කරනවා. අපේ ආණ්ඩුව තුළ අපි බලන්නේ නැහැ කාටද උදවු කළේ, කවුද අපට උදව් කළේ කවුද අපට ඡන්දෙ දුන්නේ, කවුද අපිත් එක්ක වැඩ කළේ, ඒ ගොල්ලන්ට විශේෂ වරප්‍රසාද නොවෙයි. ආණ්ඩුව පත්වුණාට පස්සේ සියලු දෙනාටම සාධාරණව, සියලු පුරවැසියන්ට සමානව සලකනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවුල් පසුබිම, පක්ෂපාතිත්වය අදාළ වෙන්නේ නැහැ. නීතිය කැඩුවා නම් ඒකට ක්‍රියාත්මක වෙන්න පොලීසිය, අධිකරණය තිබෙනවා. ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න අපේ ආණ්ඩුව බාධාවක් වෙන්නේ නැහැ. ඒකත් මතකයේ තබා ගන්න. මේ දවස්වල වුණත් බලයේ ඉන්න අයගේ බලපෑම මත වැරදි දේවල් කරන්න පෙළඹෙන නිලධාරීන්ට අපි කියනවා පරෙස්සම් වෙන්න. නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න. විශේෂයෙන්ම මැතිවරණ කාලය තුළ ඔවුන්ට ඕන දෙවල් කරවා ගන්න, නීති උල්ලංඝනය කරන්න විශාල බලපෑමක් නිලධාරීන්ට එල්ල වෙනවා. නමුත් රටේ නීතියට ගරු කරන්න. අලුත් දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලන පක්ෂපාතිත්වයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ගැහැනු අපට මේක අතිශයින්ම වැදගත්. ඒ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය තුළ බොහෝ විට බැට කෑවේ අපි. මේ රට ලේ විලක් බවට පත්වුණු අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒවායේ වැඩිම බලපෑම් ආවේ ගැහැනු අපට. ඒ නිසා ගැහැනු අපි විශ්වාස කරනවා මේ රටට සුවපත්වීමක් අවශ්‍යයි. මැර බලයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් පළිගැනීම නිසා දුක්වින්දා ඇති. අපේ දරුවන්, සහොදරවරුන්, සහොදරියන්, ආදරවන්තයන් නැතිවුණා හොඳටම ඇති. මේ රට ලේ හැලුවා හොඳටෝම ඇති. මේ රට සුවපත් කිරීමේ හැකියාව තිබෙන්නේ ගැහැනු අපට. ඒ නිසා අපේ නායකත්වය මේ සමාජ පරිවර්තනයට අතිශයින්ම වැදගත් වෙනවා. අපි සියලු දෙනා තුළම ඒ හැකියාව තිබෙනවා. අපි දරුවෙක් නලවන්න, වැඩිහිටියක් සනසන්න, තව කෙනෙක්ගේ දුකට ඇහුම්කන් දෙන්න, කෙනෙක් තේරුම් ගැනීමේ හැකියාව අපේ සංස්කෘතිය තුළ වැඩියෙන් ලැබී තිබෙන්නේ ගැහැනු අපටයි. අපේ සමාජ පරිවර්තනය තුළ අපේ සහෝදරවරුන් තුළත් ඒ හැකියාව වර්ධනය වෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ හැකියාව අදටත් අප තුළ තිබෙන නිසා, මේ රට සුවපත් කරන, ආදරය මත සංවිධානය වුණු ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්, සියලු දෙනා සුරැකෙන ඒ ක්‍රියාවලියට නායකත්වය ගැහැනු අපෙන් ලැබිය යුතුයි.
ඔබ මේ සම්බන්ධ වෙන සමාජ පරිවර්තනය දිහා බලන් ඉන්නෙ අපේ රටේ අය විතරක් නොවෙයි, මේකෙ බලපෑම ලෝකෙටම දැනී තිබෙනවා. මෙතරම් විශාලව දේශපාලනිකව සන්නද්ධ වුණු ගැහැනු බලවේගයක් ලෝක ඉතිහාසයේ මීට පෙර තිබී නැහැ. මේ වෙනස තීරණාත්මකයි; ඓතිහාසිකයි. ඔබ ඉතිහාසය වෙනස් කරන ඉතිහාසය අලුතින් ලියන ගැහැනුන් බවට පත්වෙලා ඉවරයි. අපි අලුතින් ලියන ඉතිහාසය තුළ නායකත්වය ගන්න දැන් අපි සූදානම් විය යුතුයි. ඒ සමාජ පරිවර්තනය ආරක්ෂා කිරීමටත් අපි ඉදිරිපත් විය යුතුයි. ඒ පරිවර්තනය කළායින් පස්සේ නිදහස්, නිවහල්, දුක නැති, අරගල කරන්න ඕන නැති සමාජයක් බිහිකරන්න අපට පුළුවන් වෙයි. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.
“අප ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක්”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර-
සමාජය නිර්මාණය කරන ඒ අභීත ගැහැනිය ඔබයි. අපි අපේ ශක්තිය හඳුනාගෙන නැහැ. කාන්තාව මේ සමාජයේ ආර්ථික ක්‍රියාවලියට විවිධ ආකාරයෙන් දායක වෙනවා. තේ දළු නෙළලා, කිරි කපලා මේ රටට ඩොලර් උපයන ගැහැනිය ඔබයි. ඈත ගමක අකුරු ලියන්න දන්නේ නැති කාන්තාව ඇඟිලි අත්සන ගහලා, තමන්ගේ පවුලේ සමීපතමයන් දාලා මැදපෙරදිග ගිහින් අපේ රටට ඩොලර් ගේනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 52%කට වඩා අපේ ආර්ථිකයට දායක වෙනවා. මේ ක්ෂුද්‍ර කර්මාන්ත ඇතුලේ අපේ කාන්තාව වැඩි පිරිසක් විශාල දායකත්වයක් දක්වනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා කාන්තාවන් විශාල පිරිසක් පීඩාවන් රැසකට මුහුණ දී තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයට විශාල ලෙස මුහුණ දෙන්නේ ඇය ව්‍යවසායිකාවක් ලෙස මේ ක්ෂේත්‍රයට දායක වෙන නිසයි. ඊට අමතරව වැටුප් ලබන කාන්තාවන් ගැන හිතුවොත් ප්‍රධාන පෙළේ රැකියාවල නියැලී ඉන්නේ 7.8%යි. රැකියා කරන කාන්තාවන්ගෙන් බහුතරය සාමාන්‍ය රැකියා කරන අයයි. හැබැයි මේ රටේ ආර්ථිකය හදන්න ඇය සුවිශාල දායකත්වයක් දක්වනවා. මේ ආර්ථිකය ගොඩනඟන්න, ඩොලර් හොයන්න දායක වෙන කාන්තාවට 76 වසර ඇතුළෙ ප්‍රති උපකාර විදිහට මේ පාලකයන්ගෙන් මොනවාද ලැබුණේ. ඔබට නිසි වැටුපක්, ඇගයීමක්, සැඳෑ සමය සතුටින් ගෙවන්න කිසියම් මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුණද, නැහැ. මේ රටේ කම්කරු නීතිය ඇතුලේ දේශපාලනඥයෝ දිනා දුන්නේ මොනවාද?
1948ට පෙර සිට කාන්තාවට ඡන්ද අයිතිය ලැබුණාට, අපෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔවුන් අපිව නියෝජනය කරන්නේ නැහැ. ඔවුන්ගේ මතය නියෝජනය කරමින් වෙනත් පැතිවලට, සල්ලිවලට විකිණෙනවා. ඔබ වෙනුවෙන් කතා කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම නම් මේ පාලන ක්‍රමය තවදුරටත් අරගෙන යන්න ඕනද? බොහෝ කාන්තාවන්ගේ අත, කණ, කර උගස් කර තිබෙන්නේ. පවුල්වලින් 35%ක් තමන්ගේ වටිනා සම්පත් උගස්කර තිබෙන්නේ. එයින් 22%ක්ම එසේ කර ඇත්තේ තමන්ගේ දරුවාට කන්න දෙන්න, දරුවා පාසල් යවන්න වැනි ප්‍රාථමික අවශ්‍යතා සපුරා ගන්න. ජනතාවගේ ප්‍රාථමික අවශ්‍යතාවත් ඉටුකර දෙන්න බැරි පාලනයක් මොකටද කියා හිතෙන්නේ නැද්ද? වසර 36ක්ම මේ රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය. ඒ ගොල්ලෝ මේ රට පාලනය කරන කොට වර්තමාන ජනාධිපතිවරයා අවස්ථා හයකදී අගමැති ධුරය දරා තිබෙනවා. නමුත් දැන් ඔහු 2048 වෙන කොට රට හදන්න ප්ලෑන් හදනවා. ඔහු ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හොබවා තිබෙනවා. ඒ අවස්ථාවල මොනවද ඔබට දුන්නේ. තවදුරටත් මොනවා හෝ කරයි කියා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
මේ දවස්වල ලස්සන කෙටි නාට්‍ය බලන්න පුළුවන්. ඔබේ දරුවගේ ආහාර වේල ඉස්කෝලෙන් හම්බවෙනවා. අම්මගේ තාත්තාගේ වැටුප එක අතකින් බදු වශයෙන් කොල්ලකමින් දේශපාලනඥයා පාසලට ඇවිත් අනෙක් අතෙන් කෑම වේල දෙන්නේ ඔබටවත්, දරුවටවත් ආදරේ හින්දා නොවෙයි; ඔවුන්ට ඡන්ද නැති හින්දයි. දරුවා බඩගින්නේ එසෙම්බ්ලියේදි කලන්තේ දාලා වැටෙද්දී, දරුවගේ බත් එකෙ මැල්ලුමයි, බතුයි තිබෙද්දී, ඔබ බත් ටිකක්, මිරිස් කුඩු ටිකක්, ලුනු ටිකක් ඉහගෙන කද්දි කිසිම දේශපාලනඥයෙකුගේ ඇස් ඇරුනේ නැහැ. ඡන්දයක් ළඟ එනකොට ඔවුන්ට දරුවන්ගේ කුසගින්න දැනෙන්න පටන් අරගෙන.
ඔබ සිතිය යුත්තේ තමන්ගේ දරුවාට පෝෂණීය ආහාර වේලක් දෙන්න පුළුවන් විදිහට අම්මගේ තාත්තාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නායකත්වයක් ගැනයි. දැන් විවිධ විදියේ සංවිධාන හැදෙමින් පවතිනවා. ඔබට සහල් කිලෝ දහය ගානේ අප්‍රේල්, මැයි මාසෙට ලැබෙන්න නියමිතයි. තව බොහෝ දේවල් ලැබේවි. ගෑස් මිල, පෙට්්‍රල් මිල අඩුවේවි. කිරිපිට මිල ඊයේ අඩු වුණා. ඔබ නොසිතන ආකාරයේ කේතුමතී සුරපුරයක් මවාවී. ඔබ රැවටුණොත් ඔබගේ දරුවාගේ අනාගතය ඔබ 76 වසරක් පුරා විඳි ජීවිතයටත් වඩා ඛේදාන්තයක් වෙනවා නොඅනුමානයි. ඒ නොමිලේ ලැබෙන සෑම දෙයක්ම ගන්න. හැබැයි ඒවා ගැන හොඳ පරීක්ෂාවෙන් ඉන්න. නැතිනම් ඔබට නොමිලේ සත්තු වත්ත බලන්න ගිය අයට වුණුදේට මුහුණ පාන්න සිදුවේවි. අනෙක ඔබ මතක තියා ගන්න ඔය නොමිලේ දෙන්නේ ඔබගේ පර්ස් එකෙන් අරගත්තු බදු සල්ලි බව. ඔබ කැමති වුණත් නැති වුණත්, වක්‍ර බදු ලෙස ඔබ 40,000කට ආසන්න මුදලක් රජයට ගෙවනවා. ඒ සල්ලිම තමයි ඔය හාල් කිලෝ දහයක් වෙලා, මහන මැෂින් එකක්, නැතිනම් පෝෂණ මල්ලක් වෙලා එන්නේ. ඒක ඔබට ගන්න අයිතියක් තිබෙනවා.
කාන්තාවන් හරිම බුද්ධිමත්. කාන්තාව වෙනස් වුණොත් අනෙක් අය වෙනස් වෙනවා වගේ නොවෙයි. මාග්‍රට් තැචර් කියනවා “ඔබට මොකක් හෝ කියන්න දෙයක් තිබෙනවා නම්, පිරිමියෙක්ට කතා කරන්න. ඔබට මොකක් හරි වැඩක් කර ගන්න තිබෙනවා නම් කාන්තාවකට කියන්න” කියලා. ඒ කාන්තාවගේ ශක්තිය හඳුනා ගත් හින්දයි ඒ විදිහේ ප්‍රකාශයක් කළේ. ඒ නිසා ඔබේ ශක්තිය ගැන ලඝු කර හිතන්න එපා. මේ රට පරිවර්තනීය වෙනසකට ගෙනියන්න ඔබේ ශක්තිය ප්‍රමාණවත්. හැබැයි තනි තනි වශයෙන් කාන්තාවන් ගත්තාම අපිට මේ සමාජය පරිවර්තනය කරන්න බලයක් නැහැ. ඔබ නීතිඥවරියක්, වෛද්‍යවරියක්, ගුරුවරියක්, ගෘහණියක් වෙන්න පුළුවන්. ගමට, සමාජයට වැඩිම වැඩිම දායකත්වය දෙන ගැහැනුන්ට, වැඩ ඇරී වැඩට යන ගැහැනුන්ට මේ රටට දැවැන්ත ශක්තියක වෙන කාන්තාවන්ට හැම කෙනෙකුටම මේ සමාජය පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසයි අපි එක මිටට කාන්තාවන් එකතු කරන්නේ. විවිධ ශක්තීන් තිබෙන කාන්තාවන් එකට එකතු වුණොත්, ඒ සියලු ශක්තීන් බලයක් විදිහට ගොඩනැගෙනවා. ඒ බලය ඕනෑම අභියෝගයට එරෙහිව නැගී සිටින්න ප්‍රමාණවත්. ජාතික ජන බලවේගය කාන්තා බලය ගොඩනගන්නේ ජයග්‍රහණය කර අපි ප්‍රාර්ථනා කරන ඒ දේශය ගොඩනඟන්නයි.
ඔබට, මට කැමති විදිහට ඇති තරම් නිෂ්පාදනය කරන්න පුළුවන් ආර්ථිකයකුයි අපි ගොඩනඟන්නේ. ඔබට කැමති විදිහට සම කොටස්කරුවන් වෙන ආර්ථිකයකුයි අපි ගොඩනඟන්නේ. ඔබ කැමති විදිහට ආර්ථිකයට ඇතුළු වෙන්න පුළුවන්, ඔබට වැඩ කරන්න පුළුවන්. හම්බකර ගන්න පුළුවන්. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අපි ඇති කරනවා. අපි හැමෝටම ආර්ථිකයේ සාධාරණ පංගුවක් ලබාදෙනවා. මෙතෙක් පැවති මේ ජරාජීර්ණ ක්‍රමය වෙනස් කරලා, ලස්සනට ජීවත් වෙන රටක් හදන්න නම්, ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගත්තා වගේම ඔබ, අප හදන ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්විය යුතුමයි. ඔබ ප්‍රාර්ථනා කරන දේශය ගොඩ නගන්න නම්, ඔබ ඡන්දය දීලා විතරක් මදි. ඔබ එහි කොටස්කරුවෙක් ලෙස එකතු වෙන්න.
අපි එකාවන්ව එකතු වෙලා වැඩකරමු. අපි සංවිධානය වෙමු. හැම කාන්තාවක්ම තමන්ගේ උපරිම දායකත්වය මේ සඳහා ලබාදෙමු. අපි අපේ ලෝකයක් ගොඩනඟමු. අපේ දරුවන්, ඔබ, අපි සතුටින් ඉන්න, ඔබට මට සමාන වටිනාකමක් හම්බවෙන ලස්සන සමාජ ක්‍රමයක් නිර්මාණය කරමු. එකිනෙකාට ගරු කරන, එකිනෙකාට ආදරය කරන ඒ ලස්සන ලෝකය නිර්මාණය කරන්න අපි දායක වෙමු. මාලිමාව දිනවලා මේ රට නැවත ගොඩනඟන ඒ කාර්යයට දායක වෙන්න කියා ඔබට ආරාධනා කරනවා.