Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අනාගතය පිළිබඳ සුබ සිහින ගේන නව ජනතා පිබිදීමක් අවශ්‍යයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, January 28, 2024-

(ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික් කාන්තා සමුළුව)

ප්‍රවෘත්ති බැලුවාම අපිට පේන්නේ අපි ගැන ඒ ගොල්ලෝ කරන කතා. අපේ පාලනයක් යටතේ අපි කරන දේවල් ගැන කියන්නෙත් ඒ ගොල්ලෝ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇවිත් අපි එක්ක කතා කළ දේවල් ගැන කියන්නෙත් ඒ ගොල්ලෝ. ඔවුන්ගේ තැතිගැන්ම සහ බිය මේවාගෙන් පැහැදිලියි. ඊට අමතරව අවලාද, අසත්‍ය තොරතුරු, සමහර අයගේ තර්ජන වගේ ගොඩක් දේවල් තිබෙනවා. අද ඉඳන් ඒවා තවත් වැඩිවෙයි. කළුතර දිස්ත්‍රික්කයෙන් එකතු වී සිටින කාන්තා ජන ගඟ දිහා බැලුවාම ඔවුන් තවත් භීතියට පත්වෙනවා, අවලාද ගහනවා. අපේ රටේ වංචාවේ කෙළ පැමිණි, අපරාධවල ආරක්ෂකයන් වූ, මහජනයාගේ ධනය ප්‍රකෝටි ගණන් සොරකම් කර, ඒ හා බැඳුණු පාතාලයක් නිර්මාණය කළ, ඒ හා බැඳුණු චෞර වළල්ලක් නිර්මාණය කළ අපේ රටේ දුෂ්ටතම කඳවුරට විරුද්ධවයි අපි මේ දේශපාලන පෙළගැස්ම ඇතිකර තිබෙන්නේ. රට විනාශ කළ, ජනතාව දුකෙන් දුකට පත් කළ, පීඩාවෙන් පීඩාවට පත් කළ, විනාශකාරී කඳවුරට එරෙහිව අපි මේ කඳවුර නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා ඔවුන් බලය නිකම්ම අත්හරින්නේ නැහැ. අපි පරාජය වූ අවස්ථාවලදී පසුදා සිටම යළිත් දේශපාලනය කරමින් ආවා. ඒ ගොල්ලන් පැරදුණොත් ඔවුන්ට සියල්ලම අහිමි වෙනවා.

ඒ නිසා අවසානය දක්වා අපේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ඔවුන් කටයුතු කරනවා. එකතු විය හැකි ඕනෑම වර්ගයේ කණ්ඩායමක් එකට වේදිකාවට නගිනවා. රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා හවුලක් නොබෝ දිනකින්ම එනවා. රනිල් වික්‍රමසිංහට එරෙහිව අවලාද නැගූවන් පවා ඒ කණ්ඩායමට එකතු වෙනවා. නැගෙමින් එන ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය පරාජය කරන්න තව සමහරක් එක වේදිකාවේ නොවුණාට වේදිකා දෙකක සිට එකම වැඩේ කරන්න පටන් ගන්නවා. ජනතාවගේ, මාතෘ භූමියේ සතුරන් තමන්ගේ එකම විරුද්ධවාදියා ලෙස ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා. ඒ සෑම තර්ජනයකින්ම, අවලාදයකින්ම, සතුරාගේ සෑම ක්‍රියාදාමයකින්ම අපිට තවත් ශක්තිය ධෛර්යය, සහ විශ්වාසය ගේනවා. මේ අවුරුද්දේ පරිවර්තනය සිදු කරන්න අපි සූදානම්. එය කළ හැකියි. අපේ රටේ කාන්තාව දේශපාලනික වශයෙන් සක්‍රීය නොවෙන තත්වයකට පත්කරන්න ඔවුන් හැමදාම කල්පනා කළා. ඒ වගේම කාන්තාවන් මුලාකරන්න රැවටීමට ලක්කරන්න පුළුවන් කියලා ඒ අය කල්පනා කළා. කාන්තාවන් දේශපාලනයෙන් නිෂ්ක්‍රීය කර, බබෙක් වඩාගෙන, මහ පොළොව ඉඳලා කාන්තාවන්ව රවටන්න පුළුවන් කියලා කල්පනා කළා. නමුත් අද ලංකා ඉතිහාසයේත් මැතිවරණ ඉතිහාසයේත් ප්‍රබලතම කාන්තා නැගිටීම ජාතික ජන බලවේගය හරහා සිදු කර තිබෙනවා.

අපේක්ෂා පෙරදැරි කරගත් මේ මුහුණුවලින් පෙන්වන්නේ අත් නොහැර ජයග්‍රහණය දක්වාම තම කාර්යභාරයට උරදෙන බවයි. බලය හුවමාරුකර ගැනීමේ ජාතික මැතිවරණයක් මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම එනවා. ආසන්න වශයෙන් මාස හතක් අටක් තුළ ගෙවෙන අපේ ජීවිත කාලයේ වැදගත්ම පරිච්ඡේදය එළඹී තිබෙනවා. අන්කවරදාටත් වඩා වැඩියෙන් අපි හැමකෙනාම ඇහුම්කන් දෙමු. අවදිවෙමු. සක්‍රීය වෙමු. සහතික වශයෙන් ජයග්‍රාහී ලෙස මේ වැඩේ නිමාකරන්න පුළුවන්. අපි දේශපාලන බලය අත්පත් කර ගැනීම අවසානය නොවෙයි. මේ රට වෙනස් කිරීමේ ආරම්භයයි. පද්ධතියම කඩා වැටුණු රටක එක, දෙකකට උත්තර සොයන්න බැහැ. සියලුම ක්ෂේත්‍රයන් නැවුම් අරමුණුවලින් පුරවාගෙන පරිවර්තනය කරන්න ඕනෑ. අලුත් සමාජ පරිවර්තනයක් ඕනෑ. ඒ පරිවර්තනය අත්පත් කර ගැනීම පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක විතරක් කාර්යභාරයක් නොවෙයි. සියලු ජනතාව එක හුස්මට එකට නැගිට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කළ යුතුයි. ඒ නිසා යළි නඟා සිටුවීම මුළු ජනතාවගේම වැඩක්. ඒ වෙනුවෙන් හැමදෙනාම අවදි කර හැමදෙනාම ක්‍රියාකළ යුතුයි. පළමුව බලය අත්පත් කරගෙන, දෙවනුව රට ගොඩනැගීම සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා වන නව ජාතික පිබිදීමක් අපට අවශ්‍යයි. අනාගතය පිළිබඳ සුබ සිහින ගේන නව ජනතා පිබිදීමක් අවශ්‍යයි.

මිනිසුන්ගේ සහකම්පනය අනෙකාට දැනුම් දිය හැකි කලාකරුවා, සාහිත්‍යවේදියා, ඉංජිනේරුවා, අධ්‍යාපනඥයා, ගොවියා, ධීවරයා ඇතුළු සියලුදෙනාගෙන් ප්‍රධානතම කොටස්කරුවා බවට අපේ රටේ කාන්තාවන් පත්වී සිටිනවා. සමාජයේ සෑම දෙනාම පීඩාවට පත්ව සිටියත් ඒ හැමදෙනාටම වඩා කාන්තාවන් පීඩාවට පත්ව සිටිනවා. මේ වෙනස ඇති කරන්න, ඔබ නැගිටින්න කියලා ආරාධනා කරන්නයි අපි ආවේ. මෙයට පෙර විවිධ දේශපාලන පක්ෂවලට ඔබ ඡන්දය දුන්නේ යහපත් අපේක්ෂාවන්ගෙන්. නමුත් ඒ අපේක්ෂාවන් මුළුමනින්ම විනාශ කළ පාලකයන් ඔවුන් වටා සිටින කුඩා වළල්ලක් වෙත සියලු ධනය ඒකරාශී කරගෙන ඔවුන්ගේ අනාගතය නිර්මාණය කර ගත්තා. පොදු ජනයා රැවටීමට ලක්කර බලය ලබාගත් ඔවුන් හැමදාමත් සමාජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳින පාලනයක් ගොඩනගුවා. අපි ආරාධනා කරන්නේ පොදු ජනයාගේ පාලනයක් පිහිටුවා සියලු දෙනාගේ මැදිහත්වීමෙන් රට ගොඩනැගීම සඳහායි. බලය ගැනීම අපේ ආරම්භය බව හොඳින් අවබෝධ කරගෙන සියලු දෙනාම වැඩි වැඩියෙන් ක්‍රියාකාරීව එක්වෙමු.

“මෙය හුදු කාන්තා සමුළුවක් පමණක් නෙවෙයි, රටේ දේශපාලන පරිවර්තනයක මුල්ගල තැබීමක්”
-කළුතර දිස්ත්‍රික් විධායක සභික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වජිරා පීරිස්-

අපි මේ සමරන්නේ තවත් එක සමුළුවක් නොවෙයි. සමස්ත රටේම කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය, එකමුතුව සහ ජයග්‍රහණය. රටේ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක මුල්ගල තැබීම විදිහටයි සලකන්නේ. අපි මුහුණදී තිබෙන්නේ විශාල ඛේදවාචකයකට. ඡන්දයක්වත් නොදී අපේ දරුවෝ මානසික ආතතියෙන් ඉන්නේ. ඒ දරුවෝ කියනවා, ගෙදර තිබෙන ප්‍රශ්න දැක්කාම, ඉස්කෝලේ යන්න සල්ලි ඉල්ලන්න, කෑම එක ඉල්ලන්න, අලුත් සපත්තු දෙකක්, බෑග් එකක්, පොතක් ඉල්ලන්න හිතෙන්නේ නැහැ කියලා. ටියුෂන් යාම අපට මග හරින්න බැරි කාරණයක් වෙලා තිබෙනවා. අද බොහෝ දෙනෙකුගේ ටියුෂන් යාම නතර වෙලා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එන්නේ නැහැ, බස් එකට, බෝඩිමට දෙන්න සල්ලි නැති නිසා. මේ දරුවෝ කාටවත් ඡන්දය දීලා නැහැ. ඒ අය විශාල මානසික පීඩනයට ලක්වෙලා. ඒ නිසාම සමහරු සියදිවි නසා ගැනීමේ තත්වයට පත්වෙලා. බැජ් එකක ළමයි 50-100ක් අතර ඉන්නවා නම් මානසික ගැටලු තියෙන දරුවෝ උපරිම 3ක් 5ක් අතර පිරිසක් ඉන්නවා. බොහොමයක් දරවෝ ප්‍රශ්න ගොන්නක් අරගෙන එනවා. ඒවාට පෞද්ගලික විසඳුම් දිය නොහැකියි. අපට කළ හැක්කේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබිය හැකි ආර්ථිකයක් මේ රටේ ගොඩනඟන එක පමණයි. මේ දරුවෝ නිසි පෝෂණයක් නැති නිසා නිතර නිතර ලෙඩ වෙනවා. කායික මෙන්ම මානසික කඩාවැටීමට ලක්වෙලා. කාන්තාවන් තමන් කරන විශාල කැපකිරීම නිසා තමයි මේ සමාජය මේ මට්ටමට රැකිලා තිබෙන්නේ.

ඇඟලුම් කර්මාන්ත ශාලාවට යන තරුණිය උදේ හතහමාරේ සිට මහ රෑ ෂිෆ්ට් එක ඉවර වෙනකම් වැඩ කරනවා. කෑම හා තේ වෙලාවටත් ශාරීරික අවශ්‍යතාවයකටත් පමණයි නැගිටින්නේ. ඒගොල්ලන් කොතරම් මහන්සියකින් වැඩ කරනවාද කියලා අපි දකිනවා. ඒ අය කරන රස්සාව නිසා තමයි අපනයනය දියුණු වෙලා තිබෙන්නේ. ඔවුන් ගේන විදේශ විනිමය නිසා තමයි මේ තරමින් හෝ මේ රට රැකිලා තිබෙන්නේ. රට හැර ගිය විදේශ ශ්‍රමිකයෝ ඔබ වෙනුවෙන් එවන මුදල් නිසා තමයි මේ තරමින් හෝ අල්ලාගෙන ඉන්නේ.

ඔබ මේ ඇවිත් තිබෙන්නේ නිවැරදිම තැනට. මේ සටන නතර කරන්න එපා. ඔබ අපිත් එක්ක හැමදාම ඉන්න. රටේ ආරක්ෂාව නැතිවුණාම, වැඩිපුරම දැනෙන්නේ කාන්තාවට. අම්මට දරුවෙක්ව එළියට යවන්න බැහැ. තාත්තට දැනෙන හැඟීම මොකක්ද? අපි කාන්තාවෝ සියලු දෙනා එකතු වෙලා ලස්සන රටක් හදමු. ජනතාව කේන්ද්‍රීය කරගත් පාලනයක් ගොඩනඟමු. ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ බලය ගන්න විතරක් නොවෙයි, රට හදන සංවර්ධන වැඩපිළිවෙළටත් ඔබ අපිත් එක්ක එකතුවෙන්න.

“නෙත් පාදන්න ඕන දරු පරම්පරාවකගේ සිත් පාරපු මේ නරුම පාලන ක්‍රමය වෙනස් කළ යුතුමයි”
-ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි-

හිරේ ඉන්න ඕන සනුහරේ බලයේ ඉන්න අසිරිමත් දේශය, ඔබයි මමයි ජීවත්වෙන මේ ශ්‍රී ලංකාවයි. නැවුම් හෙටක් ගැන බලාපොරොත්තු අත් නොහැරි ඔබ කාන්තා දේශපාලනයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළා. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ කෙස් කළඹේ සඟවාගෙන සෙංකඩගල රාජධානියට රැගෙන ආවේ කාන්තාවක්; ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ ශාඛාවක් දඹකොළ පටුනෙන් ශ්‍රී ලංකාද්වීපයට රැගෙන ආවේ කාන්තාවක්. ගෞරවණීය ඉතිහාසයක් සහිත ජනගහනයෙන් 52%ක් වූ ගැහැනුන්ට අත්විඳින්නට සිදුව ඇති ඉරණම ඉතාම කටුකයි. රට මේ විපතට පත්කළ පාලකයන්ගේ ඇස් අරවන්නට සිදුවීම අභාග්‍ය සම්පන්නයි. ඔවුන් මේ රට මෙතෙක් කාලයක් අඳුරට වට්ටපු හා තවමත් නිර්ලජ්ජිත ලෙස ඇද වට්ටන නරුම පාලකයන්. මේ ක්‍රමය අපි වෙනස් කළ යුතුමයි.
රුසියාවේ මහා ගත්කරු දොස්තොව්ස්කි වරක් කිව්වා “අන්ධකාරය වැඩිවෙන්න වැඩිවෙන්න, තාරකාවල දීප්තිය එන්න එන්නම වැඩිවෙනවා” කියලා. මේ පාලකයෝ බලහත්කාරයෙන් ජනතාව ත්‍රස්තවාදීන් බවට පත්කරන, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳින මර්දනකාරී අණපනත් අත්තනෝමතික ලෙස සම්මත කරගෙන ජනතාවගේ අයිතීන් පවා උල්ලංඝනය කරනවා.

දවස් දෙකක් කන්න ලැබුණේ නැති නිසා ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න ගෙනත් දීලා, දුක දරාගත නොහැකිව ගෙල වැලලාගෙන මිය ගිය සැමියෙකුගේ වැන්ඳඹුවක් ගැන අපට අහන්නට ලැබුණා. පුවක් කඩන්න ගහකට නැගි තරුණයෙක් සිහිනැතිව බිම වැටිලා ජීවිතක්ෂයට පත්වූ පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වෙනවා දවස් දෙකක් ඒ තරුණයාගේ කුසට ආහාරයක් ලැබිලා නැහැ කියලා. ඒ අපේ සහෝදරයෙක්. මේ ක්‍රමය නියත වශයෙන්ම වෙනස් කරන්න ඔබට, මට යුතුකමක් තිබෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් අවුරුදු 3ත් 21ත් අතර 20%ක් පමණ තමන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම නතර කර තිබෙනවා. අම්මා කෙනෙක් විදිහට හෙට දවසේ ඔබේ දරුවාට දරුවාගේ ඇස්දෙක බලාගෙන “මයෙ පුතේ උඹට හෙට ඉඳලා ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. ඒකට වියදම් කරන්න මට සල්ලි නැහැ” කියලා කියන්න සිදුවුණොත්, ඔබ ඒ වචන ගලපා ගන්නේ කොහොමද කියා හිතාගන්නවත් බැහැ. නෙත් පාදන්න ඕන දරු පරම්පරාවකගේ සිත් පාරපු මේ නරුම පාලන ක්‍රමය වෙනස් කළ යුතුමයි. ඒ සඳහා සියලු ගැහැනු එක මිටට අත්වැල් බැඳගත යුතුමයි.

“මේ රටේ අම්මාවරු දරුවන් වෙනුවෙන් මොනතරම් කඳුළු බොනවාද?”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර-

දශක පහකට ආසන්න මාගේ ජීවිත කාලය තුළ මෙතරම් විශාල කාන්තා පිරිසකට ආමන්ත්‍රණය කිරීමට ලැබුණු පළමු අවස්ථාවයි මෙයයි. කාන්තාවක් වීම තුළින් හා මෙවන් ශක්තිමත්, ප්‍රගතිශීලී ගැහැනුන් පිරිසක් ආමන්ත්‍රණය කිරීමට ලැබීම මහත් අභිමානයක්. විවිධ පාටින් පිරුණු ලස්සන මල් යායක් වගේ. ඔබට මලක් සේ පිපෙන්නට, මලක් සේ රැඳෙන්නට අවකාශය ලැබෙන රටකද ඔබ ඉපදුණේ කියලා හිතන්න. අපි හිතන්නේ ලෝකයේ කාන්තාවන් මල් වගේ කියලා. ඒ මලකට ලස්සට පිපෙන්න කොයිතරම් ආරක්ෂාවක් ඕනෙද? ඒ ආරක්ෂාව අපිට නැහැ. 1948 මේ රට විදේශ ආධිපත්‍යයෙන් මුදා ගන්නකොට ලංකාව ආසියාවේ දෙවන විශාලම ආර්ථිකය වුණා. අපිව හැඳින්වුවේ ආසියාවේ ස්විස්ටර්ලන්තය කියලා. ලස්සන රටක් ස්වයංපෝෂණය තිබූ රටක් අපේ රට. නිදහස ලබා වසර 76ක් ගෙවෙන මේ වන විට මේ රටේ ගැහැනුන්ට, දරුවන්ට මොනවද පාලකයෝ ඉතිරි කරලා ගියේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක තිබෙනවා, මේ රටේ කාන්තාවෝ 70%ක් පොදු ප්‍රවාහනය ඇතුලේ කුමන හෝ අයුරකින් හිංසනයට ලක්වෙනවා කියලා. මේ රටේ අම්මාවරු දරුවන් වෙනුවෙන් මොනතරම් කඳුළු බොනවාද කියලා පුවත්පත්වලින් ඔබ දැක ඇති. එක අම්මා කෙනෙක් දරුවාගේ අධ්‍යාපනයට වියදම් කර ගන්න නැතිව ඇගේ වකුගඩුවට මිල නියම කරන්න සූදානම් වෙනවා. දරුවාගේ පෝෂණය වෙනුවෙන් සමහර අම්මාවරු ජීවිතේ කිසිදිනෙක නොසිතූ විදිහට, දුෂ්කර කාර්යයක් වූ ශරීරය විකුණන්න සූදානම් වෙනවා. මේ ලෝකයේ නිර්මාතෘ අම්මා. දරුවන්, වැඩිහිටියන් රැක බලා ගන්නේ අම්මාවරු. ලෝකයේ දරුණුතම වේදනාව වූ ප්‍රසූත වේදනාව විඳින්නේ අම්මා. අමාරුවෙන් ලෝකයට බිහි කළ දරුවා “අම්මේ බඩගිනියි කියලා අඬනකොට” “අම්මේ මට ඉස්කෝලේ යන්න පොත් ටික නැහැයි කියලා අඬන කොට” අම්මා කෙනෙක් විදිහට ඔබ සියදහස් වතාවක් හදවතින් හඬා වැටෙනවා නේද? ඔබේ ඒ සුසුම් නිර්මාණය කළේ 76 වසරක් මේ රට පාලනය කළ පාලකයෝ.

කාන්තාවෝ විදිහට අපි හිතුවේ දේශපාලනය අපේ කාර්යයක් නොවෙයි, ඒක පිරිමියාගේ වැඩක් ලෙසයි. දේශපාලන අයිතිය ඔබට ලැබී තිබෙන අයිතියක්. ඒක පැහැර හැරිය නොහැකි සමාජ වගකීමක්. ඒ නිසයි ජාතික ජන බලවේගය කාන්තා සභා හදමින් ඔබව දැනුමෙන් සන්නද්ධ කර ස්වාධීන ගැහැනියක් ලෙස ඍජු තීරණ ගැනීමේ හැකියාව නිර්මාණය කර දෙන්නේ. 2023ට සාපේක්ෂව මේ මාසය වන විට ආදායමෙන් මාසයේ භාගයක්වත් ගෙවා ගන්න බැරි තරමට බදු පටවලා. නමුත් පඩිය සතයකින්වත් වැඩිවෙලා නැහැ. 2023 වසරේ පවුලකින් මාසයක බදු රුපියල් 25,000ක් වුණා. මේ අවුරුද්දේ රුපියල් 40,000ක් වෙනවා. මේ පල් ගොහොරුවක් වුණු ජරාජීර්ණ දේශපාලනය වෙනස් කරන ජනතාවාදී නැවුම් පරිවර්තනයක් සිදුකරන ජාතික ජන බලවේගය සමග රටේ සමස්ත කාන්තාවන් අත්වැල් බැඳගත යුතු හෝරාව පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති පවුල්වාදය, ඥාති සංග්‍රහය, දූෂණ, වංචාව, අකාර්යක්ෂමතාවය ප්‍රමුඛ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ගැහැනුන් එක මිටට එකතු විය යුතුයි. ඕනෑම අභියෝගයට මුහුණ දෙන්න ඒ තුළින් හැකියි.

“අපේ ආදරණීය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එකතු වෙමු”
-ප්‍රවීණ රංගන ශිල්පිනී නයනි මහේෂිකා-

අද මේ සමුළුවට මම ආවට කතාවක් කරන්න හිතුවේ නැහැ. නමුත් මේ කාන්තා ජවය දකිනකොට මට කතා කරන්න හිතුණා. මේ තරම් කාන්තා ශක්තියක් තිබෙනවා නම්, අපිට අපේ රට දියුණුවේ මාවතේ ගෙනියන්න කිසිදු බාධාවක් නැහැ. අපි සියලු දෙනාම එකතුවී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟමු. කලාකාරිනියක් විදිහට මෙතනට ආව මමත් මවක්, ගෘහණියක්, නැගණියක්, සහෝදරියක්. ඔබට වගේම ප්‍රශ්න මටත් තිබෙනවා. කලාකාරිනියක් කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. කලාකාරිනියක් විදිහට ඔබත් සමග එකතු වී මේ රටේ සිටින සියලුම කාන්තාවන්ට දෑත් දිගුකර ආරාධනා කරන්නේ අපේ රට ගොඩගමු කියලා. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරමු කියලා. මේ රට දියුණු කරමු කියලා. මගේ ආදරණීය දරුවන්ගේ, ඔබේ ආදරණීය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එකතු වෙමු. වැඩ කරමු. ඔබට ජයවේවා.

“නරුම පාලකයන්ට අපේ ප්‍රශ්නය තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

මේ රටේ සමාජ ආර්ථික, සංස්කෘතික සියලුම පද්ධතීන් කඩා වැට්ටීමේ ප්‍රධාන පීඩනය එල්ල වී තිබෙන්නේ ගැහැනුන්ට. අපේ දිනපතා ජීවිත තුළ අපි මේ බව අත්විඳිනවා. මේ නිසා අපිට මානසික පීඩනයට ලක්වෙලා ඉන්න සිදුවී තිබෙනවා. ජීවිත කොහොම හරි ගැටගහගෙන යන්න කවදාවත් සිතුවේ නැති තීරණ ගන්න සිදුවෙනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි නිසා කොයි දරුවාට අධ්‍යාපනය දෙන්න ඕනැද කියලා තීරණය කරන්න සිදුවී තිබෙනවා. අවුරුදු 18ට අඩුවුණත් අධ්‍යාපනය නවත්වා ආර්ථිකය වෙනුවෙන් ළමා ශ්‍රමිකයන් ලෙස යවන්න සිදුවී තිබෙනවා. ජීවත්වීමේ අරගලයට මේ තීරණය ගන්න අම්මා, තාත්තා කෙනෙකුට මොනතරම් අමාරුද? දරුවන්ගේ අධ්‍යාපනය පැත්තක තියලා සෞඛ්‍යයට වියදම් කරන්න සිදුවී තිබෙනවා. ආහාර, බෙහෙත්, අධ්‍යාපනය, ප්‍රවාහනය කියන අතිශයින්ම මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අපේ ගරුත්වයටත් හානිවෙන තීරණ ගන්න සිදුවී තිබෙනවා. මෙවැනි තත්වයකට ගැහැනුන්ව පත් කළ නරුම පාලකයන්ට අපේ ප්‍රශ්නය තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ.

අපි යෝජනා කරන පරිවර්තනය තුළ බොහෝ දේ තිබෙනවා. එයින් එකක් තමයි ගැහැනුන් දිහා බලන විදිහ සහ ආකල්ප වෙනස් කිරීම. අපේ සමාජය තුළ අපි ගන්නා තීන්දු තීරණ සියල්ලම දැඩි පරීක්ෂාවට ලක්වෙනවා. දරුවෙකුට වැරදුණොත්, සැමියා අකටයුත්තක් කළොත් ඒකටත් වගකියන්න සිදුවී තිබෙන්නේ බිරිඳට, මවට. හැම වෙලාවෙම අපි හොඳ ගැහැනුන්, අභිමානවත්, ගුණවත් ගැහැනුන් කියලා ඔප්පු කරන්න සිදුවී තිබෙනවා. සමාජය පවත්වාගෙන යාමට දරන පීඩාවට සමාන වෙහෙසක් අපේ ජීවිත පවත්වාගෙන යන්න දරන්න සිදුවී තිබෙනවා. මේ රටේ පෝෂණය කඩා වැටීමට, අනාරක්ෂිතභාවයට හේතුව දරුවන්ට හරියට කන්න දෙන්න අම්මලා දන්නේ නැති එක බව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් කීවා. ඔහුට අනුව බඩු මිල ඉහළ යාම හෝ ආර්ථිකයේ ප්‍රශ්නයක් නැහැ. ඒ මන්ත්‍රීවරයාට නම් ආහාර අනාරක්ෂිතභාවයක් කොහොත්ම නැහැ. ඔවුන් එතනදිත් වරද පටවන්නේ මව මතට, ගැහැනිය මතට.

මේ වර්ධනය වෙමින් තිබෙන ගැහැනු බලයත් එක්ක පාලකයා තුළ ඇතිවී තිබෙන බිය හැම පැත්තෙන්ම හෙළි වෙනවා. අයවැය විවාදයේ කාන්තා හා ළමා වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ අපේ ගැහැනුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක යෙදුණා. ඒ සාමකාමී උද්ඝෝෂණය අවසන් කර විසිරී යන්න ආසන්නයේ පොලීසියෙන් ජල ප්‍රහාර එල්ල කළා. ඒ සම්බන්ධයෙන් අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර එය විභාගයට ගන්නා වෙලාවේ අපේ සහෝදරියන්ගෙන් කටඋත්තර ගන්න පොලීසියෙන් කැඳවීමක් කර තිබුණා. කටඋත්තර ගන්න තරම් එතන මොකක්ද කළ වැරැද්ද? ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ අයිතිවාසිකම් භුක්ති විඳින අවස්ථාවේ මේ විදිහට කටඋත්තර අරගෙන, බාල සිල්ලර වැඩ කර අපිව නවත්වන්න බැහැ. දෙන්න ඕන කටඋත්තරේ අපි දන්නවා. මේ වගේ වැඩකරලා අපි යන ගමන අබමල් රේණුවකින් හරි නවත්වන්න බැහැ. කටඋත්තරත් දෙන්නත්, අපි බය වෙන්නේ නැහැ, උසාවියේදී අපි හම්බ වෙමු කියලා දේශබන්දු ඇතුළු අපිව නම් කළ සියලුම අයට අපි කියනවා. ජාතික ජන බලවේගයේ කාන්තාවන් තරම් පාලකයන්ව බය කර සෙලවූ වෙන කිසිම බලවේගයක් නැහැ. ගැහැනුන් දේශපාලනිකව සන්නද්ධ වෙලා තමන් වෙනුවෙන් ඉතාමත්ම හොඳ අවබෝධයක් ඇතිව මෙහෙම එකතු වූ අවස්ථාවක් මේ රටෙත් නැහැ. මම දන්නා තරමින් ලෝක ඉතිහාසයෙත් නැහැ. මේ ගැහැනුන් අපේ රටට විතරක් නොවෙයි, ලෝකයටම ආදර්ශයක් දෙනවා. ඒ ඓතිහාසික කාර්යභාරය අතට අරගෙන ඔබ සැමදෙනා ලෝකයටම ආදර්ශයක් දෙනවා. ඒ ගැන ආඩම්බරයි.

“ඉතිහාසයේ පළමුවෙනි වතාවට ජනතාව බලාගෙන සිටි ජනාධිපතිවරණයක් එනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

ජාතික ජන බලවේගය 2022 ඔක්තෝබර් මාසයේ ආසන සමුළු සංවිධානය කිරීම මාතර අකුරැස්සෙන් පටන් ගත්තා. ප්‍රතිචාර ඉතාම ඉහළයි. යුද්ධය අවසන් කරන්න කැපවුණු සහෝදර සහෝදරියන් ත්‍රිවිධ හමුදා සාමූහිකය ඔස්සේ එකතු කරන්න පටන් ගත්තා. දිස්ත්‍රික් සමුළු අවසන් කර, ඔවුන් ආසන සමුළු පවත්වමින් සිටිනවා. යුද්ධය අවසන් කළා විතරක් නොවෙයි, දූෂණය අවසන් කර, රට හදන්නත් ඒ විදිහටම දායකත්වය දෙමින් සිටිනවා. ඊළඟට පසුගිය දෙසැම්බර් 30 වැනිදා මාතර දිස්ත්‍රික්කයෙන් කාන්තා සමුළු පවත්වන්න පටන් ගත්තා. අද හයවැනි සමුළුව කළුතර කරනවා. මේවා සමුළු නොවෙයි, සුනාමි. ගැහැනු බලය සුනාමියක් ලෙස ඉස්සරහට එනවා. ඉදිරියේ බිනර පොහොයයි, වප් පොහොයයි අතරේ මේ රට වෙනස් කරන සුබ හෝරාවක් එනවා. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ජනතාව බලාගෙන සිටි ජනාධිපතිවරණයක් එනවා. අපි මේ සියලු ක්‍රියාමාර්ග සකස් කරමින් යන්නේ ඒ වෙනුවෙන්. කුරුණෑගලින් අපේ හාමුදුරුවන් වහන්සේලා එකතු වී මාලිමාවට ආශිර්වාද කරන්න පටන් ගත්තා. අනෙකුත් සියලුම වෘත්තීය ක්ෂේත්‍රත් එහෙමයි. තව ටික දවසකින් විශ්‍රාමික පොලිස් සාමූහිකය පටන් ගන්නවා. මාසයකින් විතර එන්පීපී තරුණ බලවේගය පටන් ගන්නවා. පෙරමඟ නිමිති ඉතාම සුභයි.

ජනතාවගේ පැත්තෙන් සුබනිමිත් එනකොට ඒ පැත්තෙන් සොහොන් ලකුණු පේන්න පටන්ගෙන. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන බලන්න මේ දවස්වල සමීක්ෂණයක් කරනවා. චන්ද්‍රිකා, මහින්ද, ව්‍යවස්ථාව වෙනස් කරගෙන නැවත එන්න උත්සාහ කළා. නමුත් ජනතාව ගෙදර ඇරියා. රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි සේවාවල සියලුම සමීක්ෂණ වාර්තාවලින් හෙළි කර තිබෙන්නේ මීළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයගන්නා බවයි. ඒ වගේම මාලිමාවේ ආණ්ඩුවක් පිහිටවන බවයි. මොන ඡන්දය ආවත්, මාලිමාව මේ රටේ බලය පිහිටවීම අනිවාර්යයි. සති කිහිපයකට කලින් සිංහල පත්තරයක් ලීඩ් එකෙන් ගැහුවේ “නැගීගෙන එන පක්ෂයක් කරටි කඩාගෙන එයි” කියලා. ඒගොල්ලන්ට දැනෙන්නෙත් එහෙමයි. ඒ නිසා සජිත්, රනිල්, මහින්ද, සිරිසේන වගේ ඔක්කොම ටික එකතු කරගෙන එක් කෙනෙක් හදලා පොදු අපේක්ෂකයෙක් හරි මොකක් හරි නමකින් ඡන්දයට එවන්න බලනවා. ඔය මැටි රූප ඔක්කොම එකතු වෙලා හදන්න පුළුවන් තවත් මැටි රූපයක් විතරයි. රත්තරං රූප හදන්න බැහැ. කළුතර දිස්ත්‍රික්කකයේ ගම්වලට නායකත්වය දෙන කාන්තාවන් ඔප්පු කර තිබෙන්නේ ජනාධිපතිවරණයකදී ජනතාවගේ බලය පෙන්වන බවයි. ඒ තුළින් ඔවුන්ගේ සොහොන් ලකුණු පෙන්වනවා. අපි ජනාධිපති කෙනෙක් පත්කර ගෙන ආණ්ඩුවක් හදන්නේ මේ රට හදන්න. ඔවුන් ‘රට’ කියලා කීවේ ඒ ගොල්ලන්ගේ පවුල්වලට. අපි ‘රට’ කියන්නේ මේ රටේ ජනතාවට. ඒ ජනතාවට නිදහස, ප්‍රීතිය, නිරෝගීකම, සාමය තිබෙන ජීවිතයක් ගොඩනඟන්න ඕනෑ. ඒ වෙනුවෙන් දැවැන්ත කාන්තා බලයක් ගොඩනැගී තිබෙන බව කළුතර දිස්ත්‍රික්කයෙනුත් ඔප්පු කර තිබෙනවා.