Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“බෙදන දේශපාලනය අවසන් කොට හදන දේශපාලනයක් ස්ථාපිත කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, January 14, 2024-

මේ එක්රැස්වී සිටින සහෝදරියන් කියාපාන්නේ හැප්පෙන්න විතරක් නොවෙයි, පාලකයන් පරාජයට පත්කරන්නත් සූදානම් බවයි. පාලකයා, මහජනයාව පීඩාවටත්, රැවටීමටත් භාජනය කරනවා. අනෙක් පැත්තෙන් ඒගොල්ලෝ පවුලක්, පවුල වටා ඉන්න වළල්ලක් පෝෂණය කරමින් සිටින දේශපාලනය කළා. ඒකට උදාහරණ මේ හම්බන්තොට මහපොළොවේ තිබෙනවා. ලුණුගම්වෙහෙර, අඟුණුකොලපැලැස්ස, සූරියවැව ජීවත්වන අම්මා තාත්තා පීඩාවට පත්වුණේ කොහොමද? මංතීරු හයක් තිබෙන පාරේ දරුවො දෙහිගෙඩිය, අඹ ගෙඩිය තියාගෙන සිටින දුක්ඛිත ජීවිතයට පත්වුණේ කොහොමද? මේ හම්බන්තොට, අපේ රටත් ජනතාවත් පීඩාවට පත්කරන ලද කණ්ඩායමේ නියෝජනයත් අනෙක් පැත්තෙන් පීඩාවට පත්වුණු මිනිසුන්ගේ නියෝජනයත් තිබෙනවා. 2024 තීරණාත්මක සටන ඇතිවෙන්නේ මේ කඳවුරු දෙක අතරයි. අපි මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරනවා. ඔවුන්ට තිබුණේ, ඡන්ද කාලෙදි සාරියක් බෙදන දේශපාලනයක්. ඒ බෙදීම අමුතු අකාරයක බෙදීමක්. උපාසකම්මාට සිල් රෙද්දත්, තාත්තට අරක්කු බෝතලයත් බෙදුවා. අලියා ලකුණ වෙනුවට අමරවීර ලකුණ ගහලා ගිනිපෙට්ටිත් බෙදුවා.

අපේ රටට අවශ්‍ය අලුත් දේශපාලනයක්. බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනයක්. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ටිකිරි ගිණුම්, මහන මැෂිං, පිරිත් පොත්, මළ ගෙයක් වුණොත් හාල් මිටි එවන කප්පිත්තෙක් හිටියා. මේ බෙදන දේශපාලනය නැවැත්විය යුතුයි. අපේ රටේ මිනිසුන් යාචක තත්වයට පත්කරලා, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම නැති, ගෙයක් හදාගන්න, දරුවට රස්සාව ගන්න, ආදායම් මාර්ගයක් උපයා ගන්න බැරි තත්වයක් හදලා, එයාලා උඩින් ඉඳගෙන බෙදන ‘සිටුවරු’ බවට පත්වුණා. ඒ දේශපාලනයේ අන්තිම අවස්ථාවට අපේ රට ඇවිත් තිබෙනවා. දැන් බෙදන්න එනකොට ‘හූ’ කියන තත්වයක් ඇති වෙලා. එක අමාත්‍යවරයෙක් අනුරාධපුරේ ෆිල්ටර් වගයක් බෙදන්න ගියා. මිනිස්සු ‘හූ’ කියන්න ගත්තා. මෙහෙත් පොල් පැල බෙදනකොට ගමේ ස්වාමීන් වහන්සේ කිව්වලු “බෙදන්න ඕන නම්, පන්සලේ තියල යන්න. මම බෙදන්නම්” කියලා. බෙදන දේශපාලනය රටට හෝ ජනතාවට හෝ සුගතියක් වුණේ නැහැ. පුරවැසියන් යාචකයන් බවට පත්කරලා, ඒගොල්ලන් සිටුවරු බවට පත්වෙලා ඒ අයගේ අතපල්ලෙන් වැටෙන කුමක් හෝ ලැබෙන්න කියලා දෑත් ඔසවාගෙන ඉන්න දේශපාලනයද අද අපට ඕනෑ? මේ දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදි අපේ රටත් ජනතාවත් විශාල පීඩාවකට පත්වෙලා තිබෙනවා. අනිවාර්යයෙන් 2024දි මේ බෙදන දේශපාලනය අවසන් කොට හදන දේශපාලනයක් ස්ථාපිත කරනවා. එහිදී විශාලතම ශක්‍යතාවය තිබෙන්නේ අපේ අක්කලාට, අම්මලාට, දියණියන්ට. ඒ ඇයි? අද ගමේ සක්‍රීයම සමිතියක් තිබෙනවා නම්, ඒ සමිතිය කාන්තා සමිතිය. සක්‍රීයම කාර්යභාරය කරන්නේ කාන්තාව. ඒක ඇවිස්සුණොත් නතර කරන්න බැහැ. මෙවැනි දේශපාලකයනට හොඳම පාඩම උගන්වන්නත් හැකියාව තිබෙන්නෙත් මේ රටේ කාන්තාවන්ට. මේ විනාශකාරී දේශපාලනය අවසන් කරන්න හැකියාව ඔබ තුළ ගැබ්වී තිබෙනවා. කාන්තාව තුළ තිබෙන තෙතමනය, හැඟීම, ලෙන්ගතුකම, යුතුකම ඉටුකිරීමේ වගකීම වැනි උදාර සංකල්ප ඒගොල්ලෝ තොරොම්බල් කරලා වේදිකාවේ වික්කා.

මහින්ද මහත්තයා කටුනායක ගුවන් තොටුපොළ ඉඹිනකොට ‘පපුව හෝස් ගාලා පත්තු වුණා’ කිවුවා. මේ මනුස්සයා මේ රටේ මාතෘ භූමියට මොනතරම් ආදරේද? කියලා හිතුවා. කාන්තාව තුළ තිබෙන ඒ හැඟීම එයාලා කූද්දනවා. දරුවෙක් වඩා ගත්තම “බලන්ඩකෝ පීතෘ සෙනෙහස උතුරනවා. මේ වගේ නායකයෙක් තමයි අපිට ඕනෑ” කියලා හිතුවා. එක පැත්තකින් දරුවා ඔසවා ගන්න ගමන් අනෙක් පැත්තෙන් දරුවාගේ අනාගතය විනාශ කළා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැට්ටුවා. දරුවාට රස්සාවක් නැති රටක්, ණය ගෙවාගන්න බැරි රටක්, නිර්මාණය කළා. ජනතාවගේ හිතට වඩා සමීප වචනය පාවිච්චි කර, ‘අප්පච්චි’ කියන පෝස්ටර් ගැහුවා. එදා අපි රැවටුණා. අද පේනවා අප්පච්චි කෙළපු කෙළිල්ල. එයා අප්පච්චි වුණේ, එයාගෙ දරුවන්ටයි, මැරෑටි දේශපාලකයන්ටයි, එයා වටා ඉන්න චෞර කණ්ඩායමටයි. පුරවැසියන්ට අප්පච්චි වුණේ නැහැ. අද බැරි බැරි ගානේ වේදිකාවට නගිනවා. කා වෙනුවෙන්ද? පුතා වෙනුවෙන්. පුරවැසියන් වෙනුවෙන් නෙවෙයි. මීටර් 20ක දුර පේන්නේ නැති එයා රෑ නිරීක්ෂණ චාරිකා යනවා.

ඔබ තුළ ඇති තෙතමනය, හැඟීම අපි හොඳින් දන්නවා. පොදුවේ ගත්තොත් අපේ රට කඩා වැටිලා, ආර්ථිකය විනාශ වෙලා. පොදුවේ ජනතාව පීඩාවට පත්වෙලා. ඒක ඇතුලේ වැඩිම පීඩාවට පත්වී තිබෙන්නේ කාන්තාව. අඩුම කුඩුම ඉල්ලන්න යන්නේ ගැහැනිය. හෑල්ලුවට පත්වෙන්නේ, අපහසුතාවයට පත්වෙන්නේ ඇයයි. හදාගන්න ආහාර වේලෙන් ඉතිරිවෙන කුඩා ප්‍රමාණය කන්නේ ඇය. පීඩාවට පත්වෙන්නෙ ගැහැනිය. මේ හැම කෙනෙක්ම තමන්ගේ දරුවාට උගන්වන්න මොනතරම් වෙහෙසක් දරනවාද? තම ජීවිතයෙන් වැඩිම පංගුවක් වැය කර තිබෙන්නේ දරුවන්ට උගන්වන්න. අද පාසල් පද්ධතිය කඩා වැටිලා, පාසල් උපකරණ මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. පාසලේ ආහාර වේලක් ලැබුණා නම්, ඒක ලැබෙන්නේ නැහැ. නිල ඇඳුමක් ගන්න, සපත්තු ගන්න විදිහක් නැහැ. ආණ්ඩුවේ වාර්තාවල කියනවා. පාසල් යන දරුවන්ගෙන් 54%ක් පොත් ගන්න එක හෝ උපකරණ ගන්න එක නවතා තිබෙනවා. දින පහ පාසල් යැවීමේ හැකියාවක් නැතිවෙලා. හම්බන්තොට, සූරියවැව ප්‍රදේශවල අම්මලා තමන්ගේ සියලු සබඳතා අතහැර මාතර ප්‍රදේශයේ ගෙවල් කුලියට අරගෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න විශාල වෙහෙසක් දරනවා. කාන්තාවන් විදෙස්ගත වෙන්නේ දරුවන්ට උගන්වන්න, ගෙයක් හදාගන්න. වාහනයක් ගන්න. අම්මා දුරස්වී දරුවන් තනිවුණු තැන්වල දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙලා නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක නොවුණු තැන්වල වැඩියෙන්ම පීඩාවට පත්වෙන්නේ කාන්තාව.

මහින්ද රාජපක්ෂ, නැව් නොඑන වරායක්, මැච් නොගහන පිට්ටනියක්, සම්මන්ත්‍රණ නොතබන සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. සිරගෙයක් හැදුවා සෙනග පිරිලා. පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා කාන්තාවන්ගෙන් 72%ක් කුමන හෝ ලිංගික අඩම්තේට්ටමකට ලක්වෙනවා. මේ ඛේදවාචකවල අවසන් ගොදුර බවට පත්වෙලා තිබෙන්නේ ඔබ. සමාජය වෙනස්කරන ගමනේදි සක්‍රීයව ඉදිරියට එන්න ඕනෙ ඔබ. මේ පීඩාවෙන් ගැලවෙන්න පළමුකොටම මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. කළ යුතු අවශ්‍යම දේ තමයි දේශපාලන වෙනස. දේශපාලන වෙනස සඳහා අපි බලය ගන්න ඕනෑ.

අපට නව ජාතික පිබිදීමක්, එකාග්‍රතාවයක් අවශ්‍යයි. ලෝකයේ රටවල් ජයග්‍රහණ අරගෙන නැගිටලා තිබෙනවා. ඉන්දියාව 1948දි සටන් කරලා, උද්ඝෝෂණ කරලා, උපවාස කරලා සුද්දන්ව පළවා හැරියා. ඒ ජයග්‍රහණයෙන් නැගිට්ටා. විවිධ සංස්කෘතික බෙදීම්, විවිධ භාෂා බෙදිම්, විවිධ කුල බෙදීම්, විවිධ ආගම් අදහන, රටක්. විශාල රටක් ඉන්දියාව. සුද්දට එරෙහිව සියලුදෙනා එකතු වෙලා පළවා හැරියා. සුභාෂ් චන්ද්‍රබෝස්, පාතෙල්, ගාන්ධිගේ නායකත්වයෙන් ජාතියක් ලෙස ජනතාව එකට එකතු කළා. ඒ ජයග්‍රහණයේ අවසාන ප්‍රතිඵලය අද එයාලා හඳට යනවා. එහෙත් අපට හයෙන් පස්සෙ සූරියවැවට යන්න බැහැ.

සමහර රටවල් පරාජයෙන් නැගිටලා තිබෙනවා. ජපානය දෙවන ලෝක යුද්ධයේදි ජර්මනිය පැත්තෙ හිටියේ. ජර්මනිය පරාද වුණා. ජපානය පරාජය අභියස හිටියා. ඇමෙරිකාව විසින් පරමාණු බෝම්බ ජපානයේ හිරෝෂිමා, නාගසාකිවලට දැම්මා. මිනිස් ශිෂ්ටාචාරයේ සිදුකළ දැවැන්තම ඛේදවාචකය ඒ. අදත් එහි විකෘතිමය ප්‍රතිඵල අත්විඳිනවා. ජපානය පරාජයට පත්වුණා. නමුත් එම පරාජය ඔවුන් ජයග්‍රහණයේ මාවත බවට පත්කර ගත්තා. ආසියාවේ විශාලම තාක්ෂණික රාජ්‍යය බවට පත්කරන්න එම රටේ නායකයන්ට හැකියාව ලැබුණා.

අපට එවැනි ජයග්‍රාහී ඉතිහාසයක් නැහැ. 1818 ඌව වෙල්ලස්ස නැගිටීම, 1848 මාතලේ නැගිටීම සිදුවුණා. මාතලේ නැගිටීමේදි පුරන්අප්පුට ආරක්ෂාව දුන්නේ පන්සල. කන්න බොන්න දුන්නේ පුරවැසියා. ජයග්‍රහණයෙන් කෙළවර වුණේ නැහැ. මේ නැගිටීම්වල පෙරමුණ ගත්තේ රදලයින්. බලය මාරු වුණේ මුදලිලාට. කොළඹ නගරයේ පාරවල්, ගොඩනැගිලි හදනකොට ඒවාට අමුද්‍රව්‍ය සැපයීමෙන් දියුණු වුණු අය තමයි මුදලිවරු. මේ මුදලිවරුන්ට දැක්මක් තිබුණේ නැහැ. ඒ නිසා අපට නව ජාතික පිබිදීමක් තිබුණේ නැහැ. 1505 සිට 1948 දක්වා කාලය තුළ අපේ රට කවර හෝ බටහිර රාජ්‍යයකට යටත් වෙලා තිබුණා. 1796 සිට ඉංග්‍රීසීන්ට යටත් රාජ්‍යයක් වී තිබුණා. 1815 සිට එංගලන්තයට ඍජු යටත් විජිතයක් බවට පත්වෙලා තිබුණා. 1948 අපට නිදහස ලැබුණා. නමුත් රට තුළ ජාතික පිබිදීමක් ඇති වුණේ නැහැ. සුද්දගෙ පාලනයෙන් මිදුණා. ඒත් සුද්දට නොදෙවෙනි රටක් හැදීමේ පිබිදීමක් පාලකයන්ට තිබුණේ නැහැ. 1949 පුරවැසි පනත ගෙනැවිත් වතුකර දෙමළ ජනතාව පන්නා දැමුවා. 1956 භාෂා පටලැවිල්ලක් ඇතිකර ගත්තා. 1958 සිංහල, දෙමළ කෝලාහලය ඇති වුණා. 1958 අග භාගයේදි ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගත්තා. 1970 අග භාගයේදි උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් පැන නගුණා. 2009 දක්වා උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් තිබුණා. 2019 බෝම්බ පිපිරුවා. ජාතියක් ලෙස පිබිදීමක් වෙනවා වෙනුවට, මේ මාතෘ භූමිය තුළ එකම ජන කණ්ඩාමක් අතර ගැටුම් නිර්මාණය කර ගත්තා. පාලකයා ජාතියේ, ආගමේ ආරක්ෂකයා වෙනවා. ජනතාව කුලල් කාගන්නවා. අපේ සතුරා බවට දෙමළ මිනිසාත්, මුස්ලිම් මිනිසාත් පත්කර ගත්තා. අවසානයේදි උතුරත් දකුණත් පරාදයි. ඒ නිසාම අපි යටත්, අභිමානයක් නැති ජාතියක් බවට පත්වුණා. අපි සියලුම බෙදීම් පැත්තක තබමු. ඔබ පක්ෂ, පාට බෙදාගෙන කුලල් කා ගත්තා. පාලකයා හැමදාම එකට සම්භාෂණ පැවැත්වුවා. කුලය, පක්ෂය, ජාතිය පසෙක තබමු. ගම්දනව් එකට රොද බඳිමු. ඒ කුමකටද? මාලිමාව ජයග්‍රහණය කරලා, දේශපාලන පරිවර්තනයක් කිරීමට.

අපේ ගම්වල මතයක් තිබෙනවා “කන දේකට වස දාන්න හොඳ නැහැ” කියා. හැබැයි සෞඛ්‍ය ඇමතිලා බෙහෙතට වස දානවා. දැන් හෙළිදරව් වෙලා තිබෙනවා, සමහර රෝගවලට ලබාගෙන තිබෙන ඉන්ජෙක්ෂන් එකෙන් දීලා තියෙන්නෙ වතුර. තව පරීක්ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා ඒ ඉන්ජෙක්ෂන්වල වෙනත් දිලීර වර්ගයක් තිබුණු බවට තොරතුරු. අප ගන්නා බෙහෙත්වලින් අප ලෙඩ ලබාගන්නවා. ඔබ හිතුවාද මෙහෙම පාලකයෝ ලංකාවේ අපට ලැබෙයි කියා. බෙහෙත් පෙත්තෙන් සොරකම් කරන පාලනයක්. මේ පාලකයන් පළවා හැර බලය අත්පත් කර ගැනීම අවසානය නොවෙයි. මේක වෙනස් කිරීමේ ආරම්භයයි. වැඩේ පටන් ගන්න ඕනෙ පාලකයන් පළවා හැර බලය අත්පත් කර ගැනීමේ ආරම්භයෙන්. දෙවනුව තිබෙන්නෙ මේ රට ගොඩනඟන එක.

පළමුකොට අපි පුරවැසියන්ට අවශ්‍ය මූලික දේවල් සහතික කරනවා. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍යය පහසුකම්, අපි ලබාදෙනවා. අපි ඔබ එකතු වෙලා හදමු, මේ රට. ගොවියා කුඹුරට යන්නේත්, ධීවරයා මුහුදට යන්නේත්, තමන්ට පමණක් පුද්ගලිකව යමක් ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රටේ ආර්ථිකය පෝෂණය කරනවා යන අරමුණින්. දරුවා ඉගෙන ගන්නේ, තමන්ට පමණක් පුද්ගලිකව යමක් ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි රටක් හැටියට ඉස්සරහට ගෙනයාමේ අරමුණින්. ක්‍රීඩකයා ක්‍රිකට් ගහන්නේ අයි.පී.එල්. ගහන්න බලාගෙනම නොවෙයි; රටට කීර්තිය, අභිමානය ගේනවා කියන අරමුණින්. තරුණයා නව සොයා ගැනීම් කරන්නේ තමන්ට කීර්තිය ලබාගැනීම සඳහා පමණක් නොවෙයි රාජ්‍යය ගොඩනැගීමේ අරමුණින්, දේශපාලකයා රට පාලනය කරන්නේ තමන්ට යමක් උපයා ගැනීමේ අරමුණෙන් නොවෙයි, මෙ රට කීර්තිමත් රජ්‍යයක් බවට පත්කර ගැනීමේ අරමුණෙන්. අපි හැමෝම එක අරමුණකට පොරබැදුවොත් මේ රට ගොඩනගන්න පුළුවන්. “මුහුදට එලන මා දැල වගේ, එක වීරියට ඇදලා, මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේ” අපි හැමදෙනාම එක හුස්මට වැඩ කරලා මේ රට ගොඩනගමු.

ජනාධිපතිට දහස් ගණනක ආරක්ෂාවක් ඉන්නවා. ගමේ පොලිසියේ පොලිස් මහත්තුරු දහදෙනෙක් නැහැ. ඔය ජනාධිපතිගෙ ආරක්ෂක සේවා විසුරුවා හැරලා, ගමේ පොලීසිවලට එවනවා. ජනාධිපතිවරයා ඇතුළු චෞර වළල්ල අතේ තිබෙන මේ රටට ඔරොත්තු නොදෙන වාහන, පෙල් ලීටරයට කිලෝ මීටර් තුනක් දුවන වාහන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ පාවිචචි කරන වාහනය ලක්ෂ 3000යි. රටේ සිදුකරන ඉදිකිරීම් විනිවිදභාවයෙන් සිදුකරන බව අපි පෙන්වන්නම්. මහජනයාගේ ධනය සතයක් හෝ හොරකම් නොකරන බව ඔප්පුකොට පෙන්වන්නම්. ජනතාව, ඒ දෙන ආදර්ශයත් එක්ක වැඩ කරන්න ඉදිරියට එන්න. මේ නපුරුම හා විනාශකාරී අත්දැකීම් අපේ ජීවිතවලට ගෙනත් දී තිබෙන්නේ. අපි මෙයින් පාඩමක් ඉගෙන ගනිමු. අම්මලා, අක්කලා, නංගිලා, දියණියන් වන ඔබට මේ සමාජය නිද්‍රාශීලිත්වයට පත්කරන්නත් පුළුවන්. මේ සමාජය කූද්දලා අවදි කරන්නත් පුළුවන්. අපි දෙසැම්බර්වල කාන්තා මහා සමුළු පැවැත්වීම ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂයටත් නව ජවයක් ගෙනාවා. සමාජයටත් නව බලාපොරොත්තුවක් ගෙනාවා. එ අවදි කිරීම කළේ ඔබ. මේ රට අවදි කරන නව පුනරුද යුගයේ ආරම්භය වෙනුවෙන් පෙරට එමු.

“අයින් කළ ගැහැනිය ජාතික ජන බලවේගය තුළ සමාජ කොටස්කාරියක් බවට පත්වෙලා”
-හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී රෝහිනී බණ්ඩාර-

කුස්සියට කොටුකරපු, පීඩනයට හෙළපු ගැහැනියට හෙටක් තනන්නට නිදහස් ගැහැනියක් බවට පත්කරන්න ඕනෑ කියන යෝජනාව හම්බන්තොට දිස්ත්‍රික්කයටත් අපි රැගෙන ආවා. ගෙයක් ගානේ ගොස් සහෝදරියන්ට දේශපාලනය පැහැදිලි කළා. ගැහැනියගේ පෞරුෂය ගොඩනගන ගමනට රට ගොඩනගන ගමනට අපි ඇරයුම් කළා. අම්බලන්තොට නගරයට එක්වී මේ එක හඬින් කියන්නේ රට ගොඩනගන ගමනට ඇය සූදානම් කියන පණිවිඩයයි. වසර 76ක පාලනය තුළ රට අගාධයට දැමූ මේ පාලක පංතිය ගැහැනිය කොතනද තැබුවේ. පාලකයන්ට දේශපාලනය තුළ ඇය ඡන්දදායිකාවක් පමණයි. දේශපාලන ආයතන තුළට ඇය ගෙනාවේ නැහැ. ඇයට උරුම වුණු එකම තැන කුස්සිය. ආර්ථිකයෙන්, දේශපාලනයෙන්, තීන්දු තීරණ ගන්න තැනින් ඇයව අයින් කළා. ඒ හැම තැනින්ම අයින් කළ ගැහැනිය ජාතික ජන බලවේගය ඇතුලේ පෞරුෂණීය ගැහැනියක්, සමාජ කොටස්කාරියක් බවට පත්කරන්න වැඩපිළිවෙළ අරගෙන තිබෙනවා. ඒ පරිවර්තනය වෙනුවෙන් ‘ගැහැනුන් එක මිටට’ එකතුවෙලා තිබෙනවා.

ඇකයේ නැලවෙන දරුවා අපේ. ඒ දරුවන්ගෙන් ගැලවෙන්න බැරි මව්වරු අපි. ඒ දරුවන්ට අනාගතය, අධ්‍යාපනය අහිමි කරපු, දරුවන්ගේ හීන මරපු පාලක පංතියක් ඉන්න, මේ රටට 2024 අවුරුද්දට රිදී රේඛාවක් ගේන ගැහැනු අපි. පාලක පංතිය කිව්වේ ගැහැනිය නොවටිනා කෙනෙක්, ගැහැනිය යටත් වැසියෙක් ලෙස සිටිය යුතු බවත්. ඔවුන් ‘ගැහැනියගේ නුවණ හැඳිමිටේ තරමට’ බව ඔවුන් කීවා. මේ සියල්ල පරදවමින් හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවේ ප්‍රචාරක වැඩවලදී පිරිමින්ට සමාන වැඩ කොටසක් කරන්න පුළුවන් කියන හයිය අපේ සහොදරියෝ පෙන්නුවා. එතනදි චිත්‍ර අඳින්නද, කටවුට් එක ගහන්නද, බයික් එකේ ප්‍රචාරක වැඩේ යන්නද ඒ සියල්ල සහෝදරවරුන්ට සමාන හැකියාවක් තිබෙන බව ඔප්පු කර පෙන්නුවා.

අපි මෙතෙක් කල් ගේ පිරිසිදු කළ ගැහැනියක් පමණක් නම්, 2024 අවුරුද්දේ බාරදූර කාර්යයක් පැවරී තිබෙනවා. අඳුරට හෙළපු රටට එළිය දෙන්න, මේ ජඩ දේශපාලනය මේ රටින් අතුගා දමන ගැහැනිය බවට පත්වෙනවා කියන පණිවිඩය තමයි මේ අපි දෙමින් තිබෙන්නේ.

“2024 රටේ අනාගතය අපි ලියන වසරයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

2024 කියන්නේ අපි යුග පරිවර්තනයක කරන අවුරුද්ද. මේ පුරවැසියන්ට අවශ්‍යයි තමන්ගෙ පාලකයන් එක්ක අලුත් සමාජ සම්මුතියක්, අලුත් එකඟතාවයක් ඇතිකර ගන්න. අවුරුදු 76ක් ගත වුණා කාලය තුළ අපට එකඟ වෙන්න සම්මුතියක් තිබුණේ නැහැ. අපිව පාගාගෙන පාලකයන් හිටියට, පුරවැසියන් ලෙස අපේ අයිතිවාසිකම් වෙනුවෙන් ශක්තිමත්ව සහභාගී වෙන්න පුළුවන් සමාජ සම්මුතියක් තිබුණේ නැහැ. 2024 සමාජ සම්මුතිය නිර්මාණය කරන්නේ ඔබ. මේ ඔබගේ එකතුවීම අහම්භයක් නොවෙයි. මාස ගණනක මහන්සියේ, උත්සාහයේ ප්‍රතිඵලයක්. අවුරුදු ගණනක ඉතාමත්ම අමාරු අවස්ථාවලදී හයියෙන් අල්ලාගෙන හිටපු, ඒ ඉතිහාසය නිසා තමයි අද අපට මෙහෙම එක මිටට එකතු වෙන්න හැකිවෙලා තිබෙන්නේ. ගංවතුරට, වර්ෂාවට, බඩගින්නට අපව නවත්වන්න බැරි වුණා. නිදිමරාගෙන අප කටයුතු කළා. මේ ශක්තිය තමයි මේ රට පරිවර්තනය කරන්නේ. අපි දැක්කා ඔබ, ප්‍රචාරක කටයුතුවල යෙදුණ ආකාරය. කාන්තා බල ඇණිය මෝටර් සයිකල්වලින් ගංවතුර මැද්දේ පැදගෙන යනවා දුටුවා. මේකේ තිරය පිටුපස ගොඩක් අය ඉන්නවා. එවැනි එක් චරිතයක් සමන්මලී ගුණසිංහ. ඇය වැඩිම කාලයක් තිරය පිටුපස විශාල කාර්යභාරයක් ඉටුකළා. රෝහිණී සහෝදරිය දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. ඔබ සියලු දෙනාම තවදුරටත් තිරය පිටුපස නොවෙයි ඉන්නේ. අද ඔබ තිරය කඩාගෙන එළියට ඇවිත්. විශාල බලයක් ගොඩනඟන මේ මොහොත සියලු දෙනාගේම දායකත්වය, ඔබ කරන මහන්සිය අගය කරනවා.

අතුල වෙළඳගොඩ සහෝදරයා විහාරමහා දේවිය ගැන සිහිපත් කළා. අපි ඇය මුහුදට බිලිදුන් හැටි දන්නවා. නමුත් අපි දන්නේ නැහැ ඇය මේ ගැන සිතුවේ කොහොමද කියලා. ඇයගේ අත්දැකීම මොකක්ද? ඒක කොහේවත් ලියැවී නැහැ. යසෝදරා දේවියගේ ජීවිතය ගැන අපි දන්නේ නැහැ. සිදුහත් ඇයව දාලා ගියාට පසුව ඇය ජීවත්වුණු ආකාරය, ඇය ස්වාමියා නැතිව, තනිවම රාහුල කුමාරයා ඇතිදැඩි කරන කොට ඇතිවූ ඇගේ සිතිවිලි කොහොමද කියලා අපි දන්නේ නැහැ. අද සමාජය ගත්තත් අපේ ඉතිහාසය ගැන ලියවෙන්නෙත් නැහැ. අපි ගැන කතා කරන්නෙත් නැහැ. මෙතන සිටින ඔබ සියලු දෙනාම මේ සමාජයේ වැඩකරන, සමාජ ආර්ථිකයට දායකත්වයක් දෙන අය. ඔබ සියලු දෙනාටම කියන්න කතාවක් තියෙනවා. පාසලේ උගන්වන ගුරුතුමියට තමන්ගේ පාසල් දරුවා ගැන, වර්ෂාවත් එක්ක සටන් කරන ගෙවිලියට, තම දරුවා උකුලේ තබාගෙන, උදේ සිට සවස් වනතුරු වැඩකරන අම්මට, කියන්න කතාවක් තියෙනවා. මේ කතා අපට ඇහෙන්නේ නැහැ. අපි වෙනස් කරන්න යන්නේ ඒක. මේ යුග පෙරළිය තුළ අපි සනිටුහන් කරන්නේ අපේ ඉතිහාසය ලියන යුගයක් බවට පත්කර ගන්න ඕනෑ. තවදුරටත් බලය තියෙන අයට පමණක් තමන්ගේ කතාව ලියන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒක ලියන්නෙත්, කියන්නෙත්, නිර්මාණය කරන්නෙත් අපි. මේ යුග පෙරළිය අපේ ඉතිහාසය ලියැවෙන යුගයක් බවට පත්කර ගන්න ඕනෑ. 2024 ආරම්භ කරන ප්‍රධානතම වෙනස ඒක. රටේ අනාගතය අපි ලියන වසර. ‘ගැහැනු අපි එක මිටට’ මේ විදිහට එකතු වුණාම කුමන බලවේගයකටවත් අපිව නවත්වන්න බැහැ. මේ ගමන අපි ජයග්‍රහණය දක්වා ගෙනියමු.