(ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.10, හෝමාගම)
ලංකාවේ මෑත ඉතිහාසයේ දේශපාලන පරිවර්තනීය කඩඉමක් පැමිණ තිබෙනවා. ඒ නිසා පාලක කණ්ඩායම මහ මැතිවරණයක් පවත්වනවාද, ජනාධිපතිවරණයක් පවත්වනවාද යන්න ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ ජනාධිපතිවරණයක් පවත්වන්න. මහා මැතිවරණයක් පවත්වනවා නම්, අපේක්‍ෂකයෝවත් හොයා ගන්න එයාට බැහැ. රාජපක්‍ෂලා හිතන්නේ රාජපක්‍ෂලාට ජනාධිපති මැතිවරණයට අපේක්‍ෂකයෙක් පවුලෙන් හොයා ගන්න බැරි නිසා මහා මැතිවරණයක් තිබ්බොත් හොඳයි කියලා. සජබ වාගේ පක්‍ෂයක් ගම්වල ඉතිරි වෙලා තිබෙන ඡන්ද ටික රැකගන්න කල්පනා කරනවා. කණ්ඩායම් තුනකට බෙදිලා හිටියත්, එකම පිරිසක් වන මේ අයට ජූලි මස 22 වැනිදා වන තුරු ජනාධිපතිවරණය තියනවාද, මහා මැතිවරණය තියනවාද කියලා කල්පනා කර කර ඉන්න වෙනවා. ඒ වාගේම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල උදේ නවයේ සිට සවස පහ දක්වා සාමාන්‍යයෙන් විවාද පවත්වනවා. මේ කාලය තුළ අපට ලැබෙන්නේ විනාඩි දහයයි. ඒ අයට පැය හතයි විනාඩි පණහක් ලැබෙනවා. ඒ මුළු කාලය තුළම අපව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. සමහර රූපවාහිනී විවාදවල නිවේදකයෝ හතර දෙනකුත්, දේශපාලකයකුත් ඉන්නවා. ඒ පස්දෙනාම අප ගැන කතා කරමින්, ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් හැම දෙනාම ලංකාවේ කවදාවත් නොතිබුණු දේශපාලන මානසික ආතතියකට ගොදුරු වී ඉන්නවා.
අද හෝමාගම මේ රැස්වීමට සහභාගි වී සිටින අම්මලා, සහෝදරියන් සහ දියණියන් දැක්කාම ඔවුන්ගේ ඒ මානසික ආතතිය තවත් වේගයෙන් ඉහළ යනවා. අප මුහුණ දී සිටින්නේ හුදු ආණ්ඩු මාරු කිරීමකට නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම දේශපාලන, ආර්ථික, සමාජ පරිවර්තනයක් සිදු කරන්න සූදානම් වෙනවා. මේ නිසා මෙතෙක් රට පාලනය කළ කණ්ඩායම් අවසානය දක්වා ඔවුන්ගේ බලය රැකගන්න උත්සාහ කරනවා. තමන්ගේ දේශපාලන බලය ආරක්‍ෂා කර ගන්නත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර තවත් මාධ්‍යවේදීන්ට පහර දුන්නා. තමන්ගේ ස්වාමියා අහිමි වුණු දුක දරාගෙන ඉන්න සන්ධ්‍යා එක්නැලිගොඩලාටත් සාධාරණය ඉටු විය යුතු නැද්ද? පෑන හසුරුවමින්, තමන්ගේ මතය හැසිරවීම නිසා ඔවුන් කිසිවකුත් ඝාතනය විය යුතු නැහැ. ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතේ පිටු ගණනක් ලසන්ත වික්‍රමතුංග පිරවූයේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වී ඉන්නවා. ලසන්ත වික්‍රමතුංග ගැන පරීක්‍ෂණ නැහැ. මේ රටේ ජනතාවගේ මූල්‍ය අපරාධයන් සිදු කිරීමේ කඩඉමක් මහ බැංකු කොල්ලයෙන් සිදු කළා. ඔවුන් කළ මූල්‍ය අපරාධ ගැන සොයා දඬුවම් දෙන බව කී පිරිස් අද රනිල් වික්‍රමසිංහ වටා වාගේම සමගි ජන බලවේගයට එකතු වී ඉන්නවා. ඔවුන් දඬුවම් ලැබිය යුතු මේ අපරාධවලින් ආරක්‍ෂා වීමට විවිධ උපක්‍රම යොදනවා. පරම්පරාව කේන්ද්‍රගත කරගෙන පැමිණි මේ වංචාකාරී, දූෂිත පාලනය පොදු ජනයා අතට මාරු වීමේ කඩඉමට පැමිණ තිබෙනවා.
දේශපාලනය සඳහා පිවිසීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු අපේ පාලනයක් යටතේ විවෘත කරනවා. ඔවුන්ගේ පෙළපතින් පැමිණි දේශපාලනය, සාමාන්‍ය ජනතාවගේ දූ-පුතුන් වෙත මාරු වීම වැළැක්වීම සඳහා කළ හැකි සියලු කුමන්ත්‍රණ සිදු කරනවා. මැද කොළඹ පිට්ටනියක් පුරවලා සහල් ගෙනැත් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මේ මැතිවරණයේදී ඔවුන් පොම්ප කරනවා. නමුත්, 2022 මැයි මාසේ 09වැනිදාට පෙර සිටි ජනතාව රැවටිය හැකි වුවත්, දැන් ඉන්නේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වාගේම හැටනවලක්‍ෂයක් ඡන්දවලින් පත් වුණු ජනාධිපතිවරයෙක් පලවාහැරිය ජනතාවක්. ඉරාකයේ සදාම් හුසේන් පලවාහරින්න ඇමෙරිකානු හමුදාව ගොඩබැස්සා. ලිබියාවෙත් ඒ වාගෙයි. නමුත්, ගල් කැටයක්වත් අතට නොගත් ජනතාව ඡන්දය ලක්‍ෂ 69ක් ලබා ගත් පාලකයාව පලවාහැරියා. ඒ නිසා ඔවුන් සෙල්ලම් කරන්න හදන්නේ අපි දේශපාලනය කරන අලුත් ජනතාවත් එක්කයි. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්‍ෂලා, සජිත් ප්‍රේමදාසලා දේශපාලනය කරන්න ලෑස්ති වෙන්නේ පැරැණි ජනතාවත් එක්ක. අපි දේශපාලනය කරන්නේ 2022 මැයි 09වැනිදායින් පසු වෙනස් වූ නව ජනතාවත් එක්ක. ඔවුන්ගේ එක රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් අපේ ප්‍රචාරක කටවල් දසදහස් ගණනක් තිබෙනවා. ඔබ කොතැනකට ගියත්, ඔවුන්ගේ අවලාද, මඩ, විකෘති කියුම්වලට එරෙහිව නිවැරැදි දේ පහදා දෙන්න.
රනිල්ගේ ඡන්ද කැම්පේන් එක ගෙනියන්න ආයතන තුනකට භාර දී තිබෙනවා. එක ආයතනයක් සකස් කර තිබෙන කැම්පේන් එකේ රනිල් ගැන හතරෙන් එකක් කියන කොට අප ගැන හතරෙන් තුනක් කියනවා. අප ගැන හදන්න භාර දීලා තියෙන්නෙත්, අපේ කෙනකුට. අසූඅට, අසූනවය කාලය ගැන බයක් හදන්න එක කැම්පේන් එකක් නිර්මාණය කරනවා. දෙවැනි එකේදී අපත් ටික කාලයක් ආණ්ඩුවල හිටි බව කියන්න උත්සාහ කරනවා. තුන්වැනි එක මේ වෙලාවේ අත්හදා බලන්න සුදුසු වෙලාවක් නොවෙයි කියන්න යොදා ගන්නවා. සල්ලි පොම්ප කරලා, දැන්වීම් හදන, පත්තර ගහන ප්‍රචාර සැලසුම් කර තිබෙනවා. අපේ රටේ ජනතාවගේ ධනය කොල්ලකා ජනතාව මේ ප්‍රපාතයට හෙළන ලද පාලකයන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණ පවත්වා, දඬුවම් පැමිණවීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. මෙතැනට පැමිණ සිටින කිසිවකුත් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පැමිණි අය නොවෙයි. අප අතර තිබෙන්නේ මේ රටත්, මේ රටේ ජනතාවටත් මෙයට වඩා යහපත් ජීවිතයක් ගොඩනැඟීම පිළිබඳ පොදු අරමුණ පමණයි. ඒ අරමුණ වෙන කිසිවකුටවත් කොපි කරන්න බැහැ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන වටුවන් දඩයම් කරන්න වැද්දා හෙළුෑ දැලෙන් සාමූහිකව ගැලවී යාමේ නායකත්වය බෝධිසත්ව වටුවා විසින් ලබා දුන්නා. ගැහැනු අපි එකමිටට තේමාව වටා එක්වී සිටින්නේ මේ රට පරිවර්තනය කිරීම සඳහායි. අපි ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර වේදිකාවේ කතා කළත්, ඒ ක්‍රියාමාර්ගවල වැඩිම බරක් දරන්නේ, ක්‍රියාකාරී වන්නේ වේදිකාව ඉදිරිපිට සිටින ඔබ සියලු දෙනායි. මෙය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ශක්තිය, ධෛර්යය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.
මැතිවරණ ජයග්‍රහණය කියන්නේ අවසානය නොවෙයි, රට ගොඩනැඟීමේ ආරම්භයයි. එහි පළමු කාර්යය ජනතාවගේ ආහාර වේල ලබා දීම සහතික කිරීමයි. අපේ රටේ මහා පරිමාණ හාල්මෝල් හිමියන් කිහිප දෙනකුගේ ඒකාධිකාරී වෙළෙඳපොළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බිඳදමා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සහල් ලබා දීමටත් ගොවියාට සාධාරණ මිලක් ලබා දීමටත් යාන්ත්‍රණයක් සකස් කරනවා. එළවළු, පලතුරු සම්බන්ධ වෙළෙඳපොළත් ඒ වාගේම නැවත සකස් කිරීමට පස්අස්වනු නාස්තිය අවම කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පළමුකොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනවා. වස-විෂවලින් තොර ආහාර වේලක් ලබා දීමත් සහතික කරනවා. දෙවනුව පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමේ කෙටිකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. පරීක්‍ෂණ පහසුකම්, ඖෂධ ප්‍රමාණවත් තරම් ලබා දීම මාස දෙක තුනක් තුළ තහවුරු කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය තුන්වැනි හදිසි අවශ්‍යතාව ලෙස ප්‍රමුඛත්වය ලබා දෙනවා. තමන් විඳින දුක තමන්ගේ දරුවාට ලබා නොදීමේ චේතනාවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැප කිරීමක් දෙමාපියන් කරනවා. මේ වන විට මුළු පාසල් පද්ධතියම කඩාවැටී තිබෙන තත්වය වෙනස් කර ඒ ගැන නැවත විශ්වාසයක් ඇති කරනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරමින්, සියලුම වෘත්තීන්වලට ගැළපෙන අධ්‍යාපනයක් ලබා දීමේ දිගුකාලීන සැලැසුම් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් වූ සමාජ ආකල්ප පරිවර්තනයකුත් අපි ඇති කරනවා. අද ගෙදරට බරක් වී තිබෙන දරුවාගේ අධ්‍යාපනය එයින් මුදාගෙන රජයේ වගකීමක් බවට පත් කර ගන්නවා. අපේ රටට ඕනෑ දැනුමෙන්, නිපුණතාවෙන් යුක්ත පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයක්. ලෝකයත් එක්ක තරග කළ හැකි දරුවන් නිර්මාණය කරන අධ්‍යාපනයක් අපට ඕනෑ. ඔවුන්ට ඕනෑ කරන්නේ ඡන්ද කාලයට ෆෝම් කොළ පුරවන, අරක්කු වීදුරුවට යට වෙන, නාමල්ලාගේ පිටිපස්සෙන් යන දරුවන්. ලෝකයේ නව දැනුම උකහාගෙන ඉදිරියට යන සමාජ විනයක් සහිත දරුවන් බිහි කරන අධ්‍යාපනයක් අපි නිර්මාණය කරනවා. ඒ වාගේම විනයක් සහිත නීතිගරුක සමාජයක් බිහි කිරීමට මෙතෙක් පැමිණි මාවතෙන් අනාගතයේ රට ගොඩනඟන පරිවර්තනීය වෙනසක් කළ හැකි ආණ්ඩුවක් බලයට පත් කරගත යුතුයි. එයින් පසුව කාන්තාවන්ටත්, ඇකයේ නැළවෙන දරුවන්ටත් සුරක්‍ෂිතභාවය තහවුරු වන රටක් ගොඩනැඟීමේ පරිවර්තනය වෙනුවෙන් ජයග්‍රහණය කරා ධෛර්යයෙන් ගමන් කරන ලෙස ආරාධනා කරනවා.
“එකමිටට එකතු වුණු ගැහැනුන් නොනැවැතී පෙරට ගමන් කරමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ-
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය අප සැමරුවේ මහපාරේ අරගල කරමිනුයි. රට පුරාම ඉන්න අධිෂ්ඨානශීලී ගැහැනුන් එකමිටට එකතු කරගෙන යන ගමනේදී කාන්තා දින සැමරුමෙන් දින දෙකකට පසුව අප කොළඹදී හමුවී තිබෙනවා. කොළඹ දිහා හැමෝම ඇස් ඇරගෙන බලාගෙන සිටියා. රතු කැකුළු, සුදු කැකුළු හාල් කිලෝ දහය බැගින් බෙදන සමුළු ඒ පැත්තෙන් තරගෙට පටන්ගෙන තිබෙනවා. ඒ වෙනුවට ජාතික ජන බලවේගයේ අපි අභිමානවත් ලෙස ජීවත් වෙන්න කැමැති කොන්ද තිබෙන ගැහැනුන් ලෙස රට ගොඩනැඟීමේ වගකීම වෙනුවෙන් එකතු වී සිටිනවා. ඔවුන් බෙදා දෙන සහල්වලින් කුස පුරවා ගන්නවා වෙනුවට අපේ පුංචි දරුවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි රටක් බිහි කිරීමට මෙසේ ඒකරාශී වී සිටිනවා.
හැමදාමත් පරාධීනව සිටින දේශපාලන සංස්කෘතිය වෙනුවට දැක්මක් සහිතව ප්‍රගතිශීලී කොටස් සමඟ එකමිටට එකතු වන ගැහැනුන් ජීවිතය විඳිමින්, ජීවිතය අවබෝධ කර ගනිමින්, දේශපාලනයේ යෙදීමට පෙරමුණ ගෙන සිටිනවා. මොනිකා රුවන්පතිරණ කිවිඳිය මේ විදියට කියා තිබෙනවා. “එක් පරම්පරාවක සොහොන් බිම පා තබා, නව පරම්පරාවේ කළල රුව දුටිමි ඇය” අවුරුදු හැත්තෑහයක පාලනය අවසන් කර සොහොන් ගෙට යවා අලුත් පරම්පරාවක් බිහි කරන කළල රුව දරාගෙන, අලුත් සමාජය බිහි කරන, නොනිඳා කටයුතු කරන මේ එකමිටට එකතු වුණු ගැහැනුන් නොනැවැතී පෙරට ගමන් කරමින් සිටිනවා. අභියෝගයට මුහුණ දෙන ශක්තිවන්ත ගැහැනුන් හැටියට ජයග්‍රහණය කරා පා නඟමින් සිටිනවා.
-පොදු අරගලයේ අවසන් ජය සතුටින් ජීවත් විය හැකි රටක් සහ සමාජයක් දිනාගැනීමයි-
“ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා ව්‍රායි කැලී බල්තසාර්”
ජාතික ජන බලවේගයේ වේදිකාව තුළ කාන්තා අපට කතා කරන්න විශේෂ අවස්ථාවක් තිබෙන බව 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී ඉතා හොඳින් තහවුරු වුණා. ඒ වාගේම 2020 මහා මැතිවරණයෙන් ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කළ පසු අවශ්‍ය සෑම අවස්ථාවකදීම අරගල බිමේදීත්, පාර්ලිමේන්තුවේදීත් හඬනැඟීමට කටයුතු කර තිබෙනවා. දුක්, කරදර තුරුලු කරගෙන, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින්, සමහර විට තනියෙන් වුවත්, දරුවන් තුරුලු කරගෙන රැකබලා ගන්නා ගැහැනුන් අපි. මත්ද්‍රව්‍යවලින් දරුවන් බේරා ගන්න පොරබදන ගැහැනුන් අපි. දවසකට රුපියල් එක්දහස් පන්සීයක්වත් හොයා ගන්න වැඩ කිහිපයක් කරමින්. සෑම තැනදීම පීඩාවට පත් වන ගැහැනුන් අපි. හැඟීම් නැති තෙතමනයක් නැති පාලකයන්ගේ වංචාවට, දූෂණයට වන්දි ගෙවන උගුලකත් අපව හිර කර තිබෙනවා.
මේ එළැඹී තිබෙන්නේ මේ පාලනය නිමා කරන යුගයයි. අපේ ඉතිහාසයේ යම්කිසි හෝ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා නම්, ඒ හැම දෙයක්ම ලබාගෙන තිබෙන්නේ සාමුහික අරගල තුළිනුයි. 1931දී අපේ රටේ ගැහැනුන්ට ඡන්ද අයිතිය ලබා ගන්නත් ලොකු අරගලයක් කළ බව ඉතිහාස සටහන්වල තිබෙනවා. දැන් අප ඡන්දයටත් වඩා ලොකු දෙයක් ඉල්ලන්නේ. අපි සංවිධානය වී, ශක්තිමත් වී මේ රට වෙනස් කරන ඓතිහාසික කාර්යභාරයේ කොටස්කරුවන් වන්නයි, මේ සියලු දෙනාම රැස්වී සිටින්නේ. අපි මේ කරන කාන්තා විප්ලවය ගැන තව ටික දවසකින් ලියන්න ගනීවි. අප සියලු දෙනාගේම පොදු අරගලයේ අවසාන ජයග්‍රහණය සතුටින් ජීවත් විය හැකි රටක් සහ සමාජයක් දිනාගැනීමයි.
“නිර්මාණය කරන අලුත් ලෝකය සුරකින්න ගැහැනු අපි ශක්තිමත්ව එකතු වෙමු”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය-
ගැහැනු අපි එකමිටට මාලිමාවට සමුළුවට බාධා කරන්න කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ උපක්‍රම පාවිච්චි කර තිබෙනවා. දිස්ත්‍රික්කය පුරාම විවිධ බඩු බෙදනවා. සමෘද්ධි තිබෙන අය රැස්වීම්වලට කැඳවා තිබෙනවා. ඒ හැම දේම මැද්දේ අපේ සමුළුව සාර්ථක කර ගැනීම තමයි, ලංකාවේ දේශපාලනය වෙනස් වී තිබෙන බවට හොඳම සාක්‍ෂිය. නිකම්ම නිකම් ගැහැනු ටිකක් එකතු කර ගත් ව්‍යාපාරයක් නොවෙයි, මේක. සාකච්ඡා කරමින්, අධ්‍යයනය කරමින් ගැහැනුන්ගේ නායකත්වය වෙනුවෙන් විශේෂ වේදිකාවක් සියලුම දෙනා එකතු කර ගනිමින් නිර්මාණය කරනවා. මෙය ප්‍රධාන ධාරාවන් වෙනස් කරමින්, සියලු දෙනා සමඟ සාමුහිකව යන ගමනක්. පාර්ලිමේන්තුව ඇතුළු මහජන ආයතනවල කාන්තා නියෝජනය අංකවලින් වැඩි කරන එක අපේ මූලික අරමුණ නොවෙයි. බැරෑරුම් සමාජ පරිවර්තනයක් සිදු කර සියලුම ක්‍ෂේත්‍රවල පීඩනය අවසන් කිරීම අපේ මූලිකම අරමුණයි. පීඩාව නඩත්තු කරමින් පවත්වාගෙන යන ව්‍යුහයන් වෙනස් කිරීම අපේ දේශපාලනයයි. පීඩාවේ ප්‍රධාන වින්දිතයන් වන ගැහැනු අපි දැනුවත්ව මැදිහත් වී මේ ක්‍රමය වෙනස් කිරීමේ අයිතිය තිබෙනවා.
අපේ ස්ත්‍රී ප්‍රතිඥාවේ සඳහන් වන්නේ සියලු ක්‍ෂේත්‍රයන් සලකා බලමින්, පුළුල් සහ ගැඹුරු පරිවර්තනයක් සිදු කිරීමටයි. ඒ පරිවර්තනය සිදු කරන්න අපට බලය අවශ්‍යයි. 2024 තීරණාත්මක වන්නේ මේ ගැඹුරු පරිවර්තනය වෙනුවෙන් ක්‍රියා කරන අපට විරුද්ධව සිටින සියලු දෙනා පරාජය කිරීමේ වසර වන නිසයි. තවදුරටත් ගැහැනු අපි රැවටෙන්න සූදානම් නැහැ. අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා අනෙක් දේශපාලන පක්‍ෂත් ගැහැනුන් ගැන සිතන්නට පටන් ගන්නවා නම්, ඒ ගැන අප සතුටු වනවා. අපට මෙය මැතිවරණ උපායමාර්ගයක් පමණක් නොවෙයි. පීඩනයට එරෙහි වෙමින්, පවතින ක්‍රමය වෙනස් කිරීම ඉදිරියට ගෙන යන විට අද සමස්ත ගැහැනුන්ම ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. මෙයට කලින් නායිකාවන් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාර සහ අවලාද විවිධ ක්‍රම මඟින් දියත් කර තිබෙනවා. ගැහැනු අපි තමයි, හැමදාමත් මේ ලෝකයට අලුත් ජීවීන් බිහි කරන්නේ. ඒ අලුත් ජීවීන් රැකගනිමින්, ආරක්‍ෂා කරන්නේත් අපි. ඒ අලුත් ලෝකය නිර්මාණය කරන්න වාගේම ඒ අලුත් ලෝකය සුරකින්න ගැහැනු අපි තව තවත් ශක්තිමත් වෙමින් එකතු වෙමු.
“වියට්නාම් කාන්තාවන් උමංවලින් එළියට ආවා වාගේ අපේ කාන්තාවනුත් නොකඩවා එළියට එමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ලක්‍ෂ්මන් නිපුණආරච්චි-
දේශපාලනයෙන් තොරව ජීවත් වන්න බැහැ කියලා ඔප්පු වුණු තැන අපේ රටේ කාන්තාවන් වියට්නාමයේ කාන්තාවන් උමංවලින් එළියට ඇවිත්, ඇමෙරිකානු හමුදාව සමඟ සටන් කළා වාගේ නොකඩවා එළියට එමින් සිටිනවා. මෙයට පෙර අපි ගෙවල්වලට ගිහින්, දේශපාලනය කතා කරන කොට කාන්තාවන් ඒ කතාවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත්, දැන් ඔවුන් පෙරටම ඇවිත්, වියට්නාම් කාන්තාවන් ඇමෙරිකානු හමුදාව පලවාහැරියා වාගේ ධෛර්යයකින් අරගල කරමින් සිටිනවා. ඔක්තෝබර් 17වැනිදාට පෙර කිසියම් දවසක එළැඹෙන ඕනෑම මැතිවරණයකදී ඇමෙරිකානු හමුදාව එළවන්න උමංවලින් එළියට ආ වියට්නාම් ගැහැනුන් වාගේ මේ කාන්තාවන් ඡන්දපොළට ඇදී යනවා. ඒ අවස්ථාව ආවාම කලිසම හැළෙද්දිත්, එල්ලිලා ඉන්න මේ පාලකයන් ඇතුළු සියලු දෙනාටම තනතුරු දාලා යන්න සිදු වනවා.
ජනතාවගෙන් සූරාගත් මුදල්වලින් කොළඹ දිස්ත්‍රික්කය පුරා බෙදන බඩු ලබා ගත්තාට කමක් නැහැ. බොහොම අමාරුවෙන් ජීවත් වන ගැහැනුන් විශාල කැප කිරීමක් කරමින්, මෙතැනට ඇවිත් සිටිනවා. වියට්නාමයේ කාන්තාවන් අතිශය කැප කිරීම් කරමින්, තමන්ගේ මවුබිම බේරා ගන්න සටන් කළ ආකාරයෙන් මේ මාස කිහිපයේ කැප කිරීම් කරමින්, කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ඉහළින්ම ඔසොවා තබන ලෙස ඉල්ලා සිටිනවා.
“සමස්ත කාන්තාවන්ටම නායකත්වය දෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-
මෙතෙක් රට පාලනය කළ අය ලංකාවට අත් කර දී තිබෙන සමාජ, ආර්ථික, දේශපාලනික පරිහානිය නිසා අපි හැමෝම දැකපු සිහින බොඳ කර තිබෙනවා. අපි මෙතෙක් කොටු වී සිටි දේශපාලන පක්‍ෂ අමතක කර අපේ දරුවන් වෙනුවෙන් නිදහසේ හුස්ම ගත හැකි රටක් සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම වෙනුවෙන් බිහි කරන්න අධිෂ්ඨානශීලීව පෙළගැසී සිටිනවා. ලෝකයේ සෙසු රටවල් අත්පත් කරගෙන තිබෙන සංස්කෘතික සහ සමාජයීය නිදහස අහිමි කර තිබෙන්නේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය විසිනුයි. මේ කොල්ලකාරී ආර්ථිකය සහ දූෂිත දේශපාලනය අවසන් කර ඉදිරියට යන්න අප සියලු දෙනා ප්‍රායෝගිකව පෙළගැසී සිටිනවා. නමුත්, මෙතෙක් රට පාලනය කළ පිරිස් අපව බෙදා වෙන් කර ඔවුන්ගේ පරම්පරාවල් වෙනුවෙන් සියලු කටයුතු සිදු කර ගත්තා. සාම්ප්‍රදායිකව වැඩිහිටි උරුමයෙන් දේශපාලනය කරනවා වෙනුවට කාන්තාවන්ට සැබෑ ලෙසම ජයග්‍රහණ අත්පත් කරගත හැකි ගැහැනු අපි එකමිටට ජාතික ජන බලවේගය වටා පෙළගැසෙමින් සිටිනවා.
සමස්ත කාන්තා පරපුරට ම ඉදිරියට එන්න ධෛර්යය දුන්, ශක්තිය දුන්, මඟපෙන්වූ සහ නායකත්වය දුන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණක් බව අපි ඉතා අවධාරණයෙන් කියනවා. මෙයින් ඉදිරියට අපි නිර්මාණය කරගත යුත්තේ මොන වාගේ රටක්ද? සාමකාමී, සහජීවනයෙන් යුක්ත, නිදහස් සංස්කෘතියක් බිහි කරන පාලනයක් අපට ඕනෑ කරනවා. ඒ තුළ ගැහැනුන් හැටියට අපි අසාධාරණයට, අයුක්තියට සහ අසමානත්වයට ඇදදමන සියලු කොන්දේසි ඉවත් කරමින්, ආර්ථික සාධාරණත්වය සහිත සංස්කෘතික නිදහසක් නිර්මාණය කරගත යුතුයි. එවැනි පාලනයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අපි රොදබඳිමින් සිටිනවා. එම පාලනය නිර්මාණය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. මේ දක්වා අප ගමන් කළ මාවතේ හෙළා තිබූ අභියෝග ජයගත හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකමිටට එකතු වීමෙන් පමණයි. අපේ දරුවන් වෙනුවෙන් බාධාවකින් තොරව ඉදිරියට යා හැකි රටක් නිර්මාණය කිරීමේ වගකීම අප අපේ දෙඋර මත පටවාගෙන තිබෙනවා. මෙතෙක් එකතු නොවූ සියලු දෙනාටත් අප සමඟ එකතු වන ලෙස ආරාධනා කරනවා.