Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“කඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, January 21, 2024-

අපේ රටේ විශාලතම කාන්තා නැගිටීමක් අද බදුල්ලෙන් සිදුකර තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපිට එරෙහිව මේ දවස්වල නගන අවලාද ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. කළුතර පැත්තේ රත්තරංවලට සම්බන්ධ කෙනෙක්, ගම්පහ පැත්තේ කප්පම් ගත්ත කෙනෙක්, මීගමුව පැත්තේ කුඩුවලට සම්බන්ධ කෙනෙක්, කුරුණෑගල පැත්තේ බදු පොලු තැබූ කෙනෙක්, ඒ වගේම ඇලෝසියස් සාධාරණීයකරණය කරන්න පොත් ලියලා සල්ලි ගත්ත කෙනෙක් තව පැත්තකින් ආදී වශයෙන් අවලාද විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. මෙහෙම වැඩිවෙන්න හේතුව අපේ රටේ සහෝදරියන්, අම්මලා, තාත්තලා, රවටන්න පුළුවන් කියලා ඔවුන් හිතාගෙන හිටිය තත්වය අවසන් කරමින් මාතරින් පටන් ගත් ගැහැනු සුනාමිය සතුරන් කලබලයට පත්කරමින් රට පුරා හඹාගෙන යනවා. අද බදුල්ල දැක්කාම තවත් කලබල වෙනවා. ගම්වල තිබෙන විවිධ තිබෙන සමිති සමාගම්වල සක්‍රියවම කාන්තාවන් සිටියත් දේශපාලනයේදී එය මහත්තයාට බාරදී මුළු ගන්වා තිබුණා. අද ඒ පවුරු, මිථ්‍යා මත බිඳ දමා ජාතික ජන බලවේගය යටතේ ලංකාවේ ප්‍රබලම කාන්තා නැගිටීම සිදුවෙමින් තිබෙනවා. සහෝදරියන්, කාන්තාවන් අවදි වුණා කියන්නේ ඔවුන්ගේ දේශපාලන මළගම අවසන් කරන බව පැහැදිලියි.

ගැහැනු පරපුර ලංකාවේ ඉදිරියටම එන්න ඕන බව අපිත් හිතනවා. අපේ රටේ තිබෙන්නේ ආර්ථික වශයෙන් කඩා වැටුණු, අපරාධවලින් ගහණය වුණු, මත්ද්‍රව්‍ය පැතිරුණු, සෞඛ්‍යය සහ අධ්‍යාපනය කඩා වැටුණු, ග්‍රාමීය ජනතාව විශාල ණය උගුලක හිරවුණු දුක්බර කතාවක්. ලෝකයේ රටකට වීසා නොදෙන තත්වයට පත්වී තිබෙනවා. පුහුණුවකට එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන් පිරිසකුත් පැනලා ගිහිල්ලා. ඉතිං වීසා දෙන්නේ නැහැ. ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වී තිබෙනවා. රටේ කතාව පමණක් නොවෙයි, ජනතාවගේ කතාවත් දුක්බරයි. රටේ කතාවටත් ජනතාවගේ පොදු කතාවටත් වඩා වැඩියෙන්ම දුක්බර වී තිබෙන්නේ අපේ රටේ කාන්තාවගේ කතාව. ගැබිණි මව්වරුන්ගෙන් 20%කට ආසන්න පිරිසක් ලේ හිඟකමින් පෙළෙනවා. හරිහමන් ආහාර වේලක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණාම වැඩියෙන්ම දුක් විඳින්නේ අම්මලා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ කල්පනා කරන්නේ අම්මලා. නමුත් ඒ දරුවන්ගෙන් 54%කට අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම අඩුකර හෝ නවත්වා දමා තිබෙනවා. දරුවන්ගෙන් 19%ක් අමතර පංති යෑම නතර කරලා. ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිවිපාක හෙණයක් වගේ දරුවන් මත කඩා වැටීමෙන් වැඩිම ප්‍රතිවිපාක විඳින්නේ අම්මලා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැඩිම වේදනා විඳින්නෙත් අම්මලා. සිරගෙවල් ආසන්නයේ උසුළු විසුළුවලට ලක්වෙමින් වේදනා විඳින්නෙත් අම්මලා. අපරාධවලින් පිරුණු රටක ගැහැනියට නිදහසක් නැහැ. අපේ රටේ දැරිවියන්ගෙන් විශාල පිරිසක් කවර වර්ගයක හෝ ලිංගික අඩම්තෙට්ටම්වලට ලක්වීමෙනුත් වේදනා විඳින්නේ අම්මලා.

රැකවරණයක් නැති මේ රට හොඳද? මේ විදිහට ගැහැනුන් ජීවත් වෙන්න ඕනෑද? නගරවල ආරක්ෂිතව යන්න පුළුවන් කාන්තා වැසිකිලි නැහැ. මේ නිසා විශාල වශයෙන් රෝග පීඩාවන්ට ලක්වී සිටිනවා. මේ විදිහට වේදනා විඳින සතුටක් නැති, විනෝදයක් නැති, අපේ අම්මලා, අක්කලා මියැදෙනවා. අපේ ගම්වල අම්මලා, අක්කලාට සතුටක් නැති, වියලි දර කැබලි වගේ ජීවිත අත්කර දුන්නත් ඒ ගොල්ලන්ට එහෙම නැහැ. ශිරන්ති නෝනා ඇවිදින කොට හත්අට දෙනෙක් වටෙන් යනවා. පාලකයන් ඇති කරන ලද ව්‍යසනයේ ප්‍රධානම ගොදුර බවට පත්වී සිටින්නේ කාන්තාවන්. මෙය වෙනස් කිරීමට ධෛර්යය සම්පන්නව නැගිටින්න ඕනෙ අපේ රටේ කාන්තාවන්. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6ක පමණ වැඩිම විදේශ විනිමය ප්‍රමාණය උපයා දී තිබෙන්නේ කාන්තාවන්. ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින්නෙත් අපේ සහෝදරියන්. ඊළඟට වැඩිම විදේශ විනිමය උපයන තේ කර්මාන්තයේ වැඩිම පිරිසක් සිටින්නෙත් අම්මලා සහ සහොදරියන්. මේ රටේ ආර්ථිකය තිබෙන්නේ ගැහැනුන් අතේ. අනෙක් පැත්තෙන් පාසල්වල වැඩිියෙන්ම සිටින්නෙත් ගුරුවරියන්. මේ විදිහට වැඩිම කාර්යයන් ප්‍රමාණයක් සිදුකරමින් ක්‍රියා කළත් වැඩියම දුක්විඳින කානාතාවන්ගේ තත්වය වෙනස් කළ යුතුයි. මෙතනට ඒකරාශීවී සිටින ඔබ සියලු දෙනාම අන්කවරදාටත් වඩා වැඩියෙන්, වේගයෙන් ඉදිරියට එමින් මේ තත්වය වෙනස් කළ යුතුයි.

වෙනදා ජනාධිපතිවරණය පැවැත්වූවොත් ඔවුන් දිනනවා. මහා මැතිවරණය පැවැත්වූවත් ඔවුන් දිනනවා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ ජනාධිපතිවරණය මුලින් පවත්වනවාද, මහා මැතිවරණය මුලින් පවත්වනවාද, යනුවෙන් ඔවුන් දෙලොවක් අතර අතරමං වෙන තරමට එන්පීපී එක බලවත් වෙලා ඉන්නේ. බඹරා වැල්ලෙත් කැරකෙන කාලේ අඛණ්ඩව මැතිවරණ තිබ්බා. අද බඹරට වැල්ලට බහින්නවත් බැරිවෙලා තිබෙන්නේ. මෙය වෙනස් කිරීම සඳහා හොඳම අවස්ථාව උදාවී තිබෙනවා. එළාර – දුටුගැමුණු දෙපැත්තේ සිටි රනිල් සහ මහින්ද වේදිකාවේ කඩදාසි කඩුවලින් යුද්ධකර ගන්නකොට ගම්වල අපේ අය පොලුවලින් ගහගත්තා. නමුත් අද වෙනකොට මේ දෙගොල්ලෝම එකම පිරිසක් බව හොඳින්ම ඔප්පු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ රට සවාරි යනකොට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මහජන මුදල්වලින් ගෙන්නාගෙන යනවා. උගන්ඩාවට යනකොට පොළොන්රුවේ ස.ජ.බෙ. කිංස් නෙල්සන්. බදුල්ලේ චාමර සම්පතුත් එක්කගෙන ගිහිල්ලා. එහෙ නතර කරලාම එයිද දන්නේ නැහැ. 75 වසරකට වඩා රට පාලනය කරමින් ආර්ථිකය කඩා වට්ටා හිඟන රටක් බවට පත් කළේ මේ දෙපිරිසම එකතු වෙලා. රටේ කර්මාන්ත කඩා වැට්ටුවා. ගම්වල අපි සතෙක් කන බොන දේවල්වලටවත් වස දෙන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්ජෙක්ෂන් කියලා අරගෙන තිබෙන්නේ දිලීර තිබුණු වතුර. දිලීරවලින් පිරුණු වතුර ඉන්ජෙක්ෂන් කියලා රෝගීන්ට ලබාදුන් සෞඛ්‍ය ඇමති අදටත් නිදැල්ලේ ඉන්නවා. හැම අතින්ම කඩා වට්ටන ලද රටක් අපට තිබෙන්නේ. ලංකාවේ රාජ්‍ය සේවය කඩා වට්ටලා, ස්ථිර පොලිස්පතිවරයෙක් නැති තරමට බංකොලොත් කරලා.

අපේ රටේ සියලු සමාජ සංස්ථා කඩා වට්ටලා. එහෙම රටක පන්සල විතරක් බේරෙන්නේ නැහැ. එක එක වර්ගයේ නාඩගම්කාර බෝධි සත්වයෝ ඇවිත් බහිනවා. සියල්ල කඩා වැටුණු තැනක මිනිස් සමාජයක් කඩා වැටිලා. රත්නපුරයේ ප්‍රේමලාල් ජයසේකර කියන පුද්ගලයා මිනිස් ඝාතන වරදකට මහාධිකරණයෙන් එල්ලුම් ගහට නියම කළා. ඒ ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප දුන්නේ ජනතාව. නුවර පොලී මුදලාලි කෙනෙකුගෙන් ණයට සල්ලි ගත්ත කෙනෙක්ගේ සල්ලි දෙන්න ප්‍රමාද වීම නිසා අර මුදලාලිගේ අත්දෙක කපාගෙන මෝටර් සයිකලයෙන් පොලීසියට ගියා. ජනතාව එයාව මහනුවර නගර සභාවට යැව්වා. කළුතරෙන් රෝහිත, මහනුවරින් මහින්දානන්ද, කුරුණෑගලින් ජොන්ස්ටන් පාර්ලිමේන්තු යවන තරමට මිනිස් සමාජය වැටිලා තිබෙන්නේ. මොනවා හරි දෙයක් ලබාගන්න තමන්ගේ මුළු ජීවිතයම උගස් තියන මිනිස්සු ඉන්නේ. මේ රටේ කිසි තැනක් ඉතිරිවෙලා නැහැ. පාරේ විකුණන අඹගෙඩියක් ගත්තත් විශ්වාසයෙන් ආහාරයට ගන්න බැහැ. මුළු මිනිස් ශිෂ්ටාචාරයම කඩා වැටිලා තිබෙන්නේ. කඩා වැට්ටූ මේ රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන්න නැවුම් දේශපාලන පරිවර්තනයක් රටට අවශ්‍යයි. සහකම්පනයක් සහිත මිනිස් සමාජයක් අවශ්‍යයි. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා රන් ගෙල බැඳි කන්‍යාවකට ආරක්ෂිතව යන්න පුළුවන් තත්වයක් එදා තිබුණා. අද කඩා වැටී තිබෙන මුළු සමාජ පද්ධතියම ගොඩගන්නා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. සාහිත්‍යය, ගීත, රසවිඳින, චිත්‍රපට බලන, නාට්‍ය බලන, පවුල් වගේම එක මේසයේ වාඩිවෙලා පවුලේ සියලු දෙනා කෑම කන සමාජයක් අපට අවශ්‍යයි.

ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ හුදු නායකයන් මාරුවක්, ආණ්ඩු මාරුවක් වෙනුවට මුළු සමාජ පද්ධතියම යළි නඟා සිටුවීමේ නව ජාතික පිබිදීමක් අවශ්‍ය බවයි. නව ජාතික නැගිටීමක් අවශ්‍යයි. නව ජාතික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. නව ජාතික ඒකමතියක් අවශ්‍යයි. නව ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. අපට අවශ්‍ය වෙන්නේ හුදු දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි; සියලු දෙනා ඒකාබද්ධ කරගෙන රාජ්‍යය ගොඩනැගීමේ දැක්මක් සහිත ව්‍යාපාරයක්. ඉන්දියාවේ නේරු, පාතෙල්, ගාන්ධි, සුභාෂ් චන්ද්‍රබෝස් වගේ සියලු දෙනා ඉන්දියාව එක්සත් කර, ජාතික අභිමානයකින් නැගිට්ටවා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළා. ඒ ජයග්‍රහණවල පිම්ම ජාතික න්‍යාය පත්‍රයක් අනුව හසුරුවන ඉන්දියාව අද හඳට යනවා. නමුත් අපේ රටේ සවස හයෙන් පස්සේ රිදීමාලියැද්දට යන්න බස් එකක් නැහැ. පාරේ යනකොට අලි ගහනවා. ඉන්දියාවේ අබ්දුල් කලාම් වගේම කුලහීන කාන්තාවක් ජනාධිපති වුණා. ලෝකයේ රටවල් නැගිට්ටේ ජයග්‍රහණවලදී විතරක් නොවෙයි. පරාජයන්හිදිත් නැගිට්ටා. පරමාණු බෝම්බවලින් විනාශ වුණු ජපානය ආසියාවේ දැවැන්තම තාක්ෂණික රාජ්‍ය බවට පත්වී නැගී සිටියා.

අපේ රටේ නායකයන් 1948 නිදහස ලැබුණු වහාම පුරවැසි පනත ගෙනැත් වතුකරයේ දෙමළ ජනතාව පළවා හැරියා. 1956 භාෂා පනත ගෙනැත් කෝලාහල පටන් ගත්තා. 2019 පාස්කු ප්‍රහාරය දක්වා මේ විදිහට ගමන් කළා. වෙනත් රටවල් පිබිදීමේ ඉතිහාසයක් තිබෙන කොට, අපේ රටේ කුලල් කා ගැනීමේ ඉතිහාසයක් තිබෙනවා. නායකයන්ට ජාතික දැක්මක් තිබුණේ නැහැ. විමලසුරේන්ද්‍ර වැනි ඉංජිනේරුවන්, විශාල දැක්මක් සහිතව 1917දී පමණ ජල විදුලි බලාගාර සැලසුම් කළා. නමුත් අපේ නායකයෝ ඒ දියුණු චින්තනයට ඉඩක් දුන්නේ නැහැ. අතීතයේ තිබුණු දේවල් ගැන පුරාජේරු දොඩවන නායකයන් හිටියා. මෙයින් රට මුදා ගන්නා නව පිබිදීමක් අපට අවශ්‍යයි. මේ විනාශකාරී, චෞර කණ්ඩායම දෙපැත්තට පැන පැන භූත වළල්ලක් වගේ මේ දක්වා ඇවිත් තිබෙනවා. ඒ භූත වළල්ලෙන් මිදීම සඳහා ධෛර්ය සම්පන්නව කැපවීමෙන් අපි වැඩකරනවා කියන හැඟීමක් ඇතිවීමම විශාල තෘප්තියක් නොවෙයිද? මේ සාපයෙන් ගැලවුනහම කොතරම් සැනසීමක් අතිවෙයිද? අන්න එවැනි නැගිටීමක් අවශ්‍යයි. ගමේ පක්ෂ භේද තියාගන්න එපා. උඩ ඉන්න නායකයෝ එක්ක ඒ භේද තියාගන්න. එක්සත් ජාතික පාක්ෂිකයා, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා වගේ බෙදීම් පැත්තකින් තියලා ජාති, කුල භේද පැත්තකින් තියලා මේ භූත පාලකයන්ගෙන් මේ රටත් සමාජයත් බේරා ගන්න නව පිබිදීමකින් ඉදිරියට එන්න.

මේ වසරේ එන කවර හෝ මැතිවරණයකදී ඒ නව පිබිදීම වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වී වැඩ කරමු. අපේ දරුවන්ට නව අධ්‍යාපනයක් ලබාදී, කර්මාන්තකරුවන්, ධීවරයන්, ගොවීන් නඟාසිටුවා රට ගොඩනඟන්න එක්වෙමු. පුරවැසියන්ට සෞඛ්‍ය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න ඕනෑ. රටේ සියලුම ජනතාවට පෝෂ්‍යදායී ආහර වේලක් ලබාදීම තහවුරු කරන්න ඕනෑ. අපරාධකරුවන්ගෙන් තොර රටක් හදන්න ඕනෑ. වංචාවේ, දූෂණයේ යෙදුණු අයට දඬුවම් දෙන්න ඕනෑ. මෙතෙක් මේ රටේ ජනතාව විඳි දුක් සුසුම් නිමාකර, මේ රට හොඳ රාජ්‍යයක් බවට පත්කිරීමේ පොදු සිහිනයේ කොටස්කරුවන් වෙන්න ඕනෑ. ඒ රට ගොඩනැගීමේ නව පුනරුද යුගයක ක්‍රියාකාරී කොටස්කරුවන් වෙන්න ඕනෑ. අපි ආරම්භය ගනිමු. ඉතා හොඳ ප්‍රතිඵල අපේ දරුවන් භුක්ති විඳීවි. අපි ඡන්දය දිනනවා කියන්නේ මේ වැඩේ අවසානය නොවෙයි, ආරම්භයයි. අපි හැමදෙනාම ධෛර්යයෙන් මේ කාර්යයට මැදිහත් වෙමු කියලා ආරාධනා කරනවා.

“අපි මේ ගමන යන්නේ අපේ අනාගත දරුවන්ට යහපත් ලෝකයක් තනන්නයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-

බදුලු දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ බලවේගය දකින විට, මේ එකමුතුව ගොඩනගන්න කැපවුණු සහෝදරියන්ගේ විඩාව, නැතිවෙලා යනවා. ප්‍රශ්න මතින්, කඳුළු මතින් ගොඩනැගුණු මේ බලවේගය නවත්වන්න කිසිවෙකුට බැහැ. බදුලු පුරවරයෙන් ආරම්භ කළ මේ ගමන ජයග්‍රහණය තෙක් අපි යනවා. අපි මේ ගමන දැඩි අධිෂ්ඨානයෙන් යන්නේ අපේ අනාගත දරුවන්ට යහපත් ලෝකයක් තනන්න.

ලංකාව තුළ ඔබ කොතරම් හුදකලා වෙලාද?, නිවස තුළ ඔබ කොයිතරම් පීඩාවට පත්වෙලාද? ගැහැනියට තිබෙනවා ඕනෙම අභියෝගයකට මුහුණ දීමේ හැකියාවත්, දරාගැනීමේ ශක්තියත්. ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමේ හැකියාව ඇයට තිබෙනවා. වසර 75ක් තුළ නිවසේ ඔබ විශාල පීඩාවක් වින්දා. දරුවන්ගේ සිහිනවලට පණ දෙන්න බැරිවුණාට පස්සේ කොතරම් පසුතැවෙන්න ඇත්ද? අපි පසුතැවිය යුතු නැහැ. අපට තිබෙනවා අරමුණක්, මාවතක්, හෙටක් තිබෙන තැන තමයි ජාතික ජන බලවේගය. එතැනදි අපි ධෛර්යයෙන් එකතු වෙමු.

අද කැරට් මිල අහස උසට ගිහින් තියෙනවා. බදුල්ලේ ගොවියන්, ගෙවිලියන්ගේ අපි ඇහුවා කැරට් මිල ඉහළ ගිය නිසා අතමිට සරු ඇති නේද කියලා. කොළඹ එවැනි මිලක් වුණාට ඔවුන්ට ඒවායේ ලාභය ලැබෙන්නේ නැහැ. ඉදිරියේ එන්නේ බඩ ඉරිඟු නෙළන කාලය. මේ අවස්ථාව වෙනවිට පිටරටින් බඩ ඉරිඟු මෙට්්‍රක් ටොන් 15,000ක් ගෙන්නවන්න ඇමතිවරයා සූදානම් වෙනවා. කණකර උගස් තියලා බඩඉරිඟු වගාකළ ගොවියාට තමන්ගේ අස්වැන්නට හොඳ මිලක් ලබාගන්න නොහැකි වෙනවා. පාලකයන් හිතන්නේ කොමිස් මුදල ගැන. අපේ දුක, පීඩාව ගැන හිතන්නේ නැහැ. අපට ඕනෙ හොඳ නිෂ්පාදන හා සේවා ආර්ථිකයක්. මාලිමාවේ අපි හදන්නේ එවැනි ආර්ථිකයක්. අපිට වගකීමක් තිබෙනවා. අද මේ අපේ පටන් ගත් ගමන ජයග්‍රහණය දක්වා යා යුතුයි. ඔබ වඩ වඩාත් දැනුවත් වෙන්න. ගේ තුළ ප්‍රශ්න සමාජයට ගෙනයන්න. තවත් කාන්තාවන් හමුවෙන්න, ඔවුන් දැනුවත් කරන්න. අලුත් අනාගතයක් ගොඩනැගීම සඳහා මාලිමාව දිනවන්න.

“නිධන්ගත ශක්තියක්, ජවයක්, හැකියාවක් කාන්තා ඔබට තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්න-

මෙතනට සිටින දහස් ගණනක් වන මෙම කාන්තාවන් යමක් බලාපොරොත්තුව පැමිණි අය නොවෙයි. මේ දුෂ්ට දේශපාලනය මේ රටින් තුරන් කළ හැකි එකම බලය තිබෙන ව්‍යාපාරය ජාතික ජන බලවේගය නිසයි. මේක ඓතිහාසික තත්වයක්. ස්වාමියා මිය ගියාම බිරිඳට, තාත්තා මිය ගියාම දුවට, සහොදරයා මිය ගියවිට සහෝදරියට නායකත්වය ලැබිලා තිබෙනවා. සිරිමාට, චන්ද්‍රිකාට, හේමාට, පවිත්‍රාට නායක්තවය ලැබුණේ එහෙම. 2024 මේ මහපොළොවේ කාන්තා නායිකාවන් බිහිවෙන තිඹිරිගෙය බවට පත්වෙලා තිබෙන්නේ ජාතික ජන බලවේගය බව මේ වේදිකාවේ සපථ කර තිබෙනවා. සමහරු අහනවා නායකයෝ නැතිව මේ රට හදන්න පුළුවන්ද කියලා. නායකයෝ ඉන්න ඕනෙ හොරකම් කරන්න, ගණිකා මඩම් දාන්න, ඉස්කාගාර දාගන්න, නම්, මේ රට වනසන්න නම්, කුමකටද ඒ නායකත්වය. නම ගිය නායකයෝ මේ රටේ මතුවෙලා නෑ වගේ පෙනුනට ජනතාවට නායකත්වය දෙන්න මේ ආදරණීය සහෝදරියන් සූදානම් කියා පෙන්වලා තිබෙනවා. රට ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ අවංකකම, ධෛර්යමත්භාවය, නායකත්වය. ඒ නායකත්වය තිබෙන එකම දේශපාලන ජාතික ජන බලවේගය පමණයි, කියා ඔප්පුකර තිබෙනවා.

ලෙන්දොර ඇරගෙන එළියට පැන්නාය
හැත්තෑ හය වසරක් රටට නුඹලා දුක් දුන්නාය
උන්ගේ වේදිකා උන්ගේ බලකොටු අද දින සින්දාය
අද දින බදුල්ලෙත් ජයකොඩි නැංගාය

අද කාන්තාවන්ගෙ හැටි පෙන්නලා තිබෙනවා. මේ පාලකයෝ කාන්තාවන් පැත්තකට දාලා තිබුණේ. තමන් තේරුම් ගත්තේ නැති නිධන්ගත ශක්තියක්, ජවයක්, හැකියාවක් කාන්තා ඔබට තිබෙනවා. මේ රටේ ලොකුම වැඩ බිම කර්මාන්ත ශාලා නොවෙයි. ලොකුම වැඩ බිම ගෙවල්. ඒ ගෙවල්වල, වැඩිම ශ්‍රමය වගුරන කෙනා කාන්තාව. එයාලා වැඩ කරන්නේ පැය අටක් නොවෙයි. අතිකාල, අමතර දීමනා, උසස්වීම් නෑ. අපේ රටේ දෙකෝටි විසිලක්ෂයක් වන ජනතාව රැක්කා. බිහි කළා, ඇතිදැඩි කළා. කාන්තාවට මේ රට ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා කියන එක 2024 ගොඩනැගෙන පාර්ලිමේන්තුවේදිත් පෙන්වන්න සූදානම්.

කාන්තාවන්ට සටන තිබෙන්නේ පිරිමින්ට එරෙහිව නොවෙයි. හිංසනය තිබෙන්නේ ගෘහස්ත හිංසනය පමණක් නොවෙයි. මේ රටේ ගැහැනු, පිරිමි හැමෝටම හිංසනය උපද්දවන්නේ ජනාධිපති, පාර්ලිමේන්තුව. හිංසනය උපද්දන තැන නැතිකරලා, අතුගා දමන වර්ෂය 2024 බවට සනිටුහන් කරගන්න. ජනතා බලයට පත්වෙන අයගේ ප්‍රධාන කාර්යභාරය තමයි ජනතාවට හොඳ ආහාර වේලක් දෙන එක. මේ පාලකයෝ තෙල් මිල, පිටිකිරි මිල, පොහොර නැති කළා, බී ළුෑණු මිල, සීනි මිල, වැඩිකළා. මිල වැඩිකිරීමට සමානව අපි අකුළා ගන්න ඕනැද? අකුලන්න ඕන නැහැ. මේ රටේ සමස්ත ජනතාව එකතු වෙලා, වැඩිකරන එවුන් ගෙදර යවලා ජනතාවට ජීවිතයක් දෙන්න පුළුවන්, දරුවන්ට රටක් හදන්න පුළුවන් මාලිමාවත් එක්ක එකතු වෙලා විශාල කාර්යභාරයක් කරන්න ඕනෙ. මේ රටේ වටිනාම සංචිතය තමයි ඔබ. මේ රට ගොඩනගන්න ඔබට පුළුවන්. මේ රට හදන්න ජාතික සැලැස්මක් තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. ඔබත් අපත් එකතු වුණාම මේ විනාශ කරපු රට හදන්න පුළුවන්. ලොකුම වේදනාව ප්‍රසූත වේදනාව කිවුවට, ඒ බිහි කළ දරුවාට කන්න ටික දෙන්න නැතිවෙනකොට ඇති වෙන වේදනාව, දරුවට අධ්‍යාපනය දෙන්න බැරිවෙන කොට, බෙහෙත් හේත් ටික දෙන්න බැරිවෙන කොට ඇතිවෙන වේදනාව බරපතළ නැද්ද? මේ නිල්, කොළ, පාලකයෝ ඔබට දීල තිබෙන වේදනාව ප්‍රසූත වේදනාවට වඩා වැඩි බව ඔබට තේරම් ගන්න පුළුවන්. මේ වේදනාව නිම කරලා, අලුත් බිහිකිරීමක් කරන්න ඕනෑ. ජනතා බලයක් වන ජාතික ජන බලවේගයේ අලුත් දේශපාලන පොතක්, අලුත් ආණ්ඩුවක්, අලුත් ජනාධිපති කෙනෙක් බිහිකරන්න කවුරුත් කටයුතු කරන්න. ඔබට අයිතියක් තිබෙනවා, දරුවන් බිහි කළා වගේ දරුවන්ට හොඳ ආණ්ඩුවක් බිහිකරන්න.

අද කැරට් අධි සුඛෝපභෝගී ආහාරයක් වෙලා. ජනතාව කන්න නැතිව අපා දුක් විඳිනකොට රනිල් වික්‍රමසිංහ පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් රට සවාරි යන්න ලක්ෂ 2000ක් වෙන්කර ගත්තා. පසුගිය දිනෙක සුඛෝපභෝගී නෞකාවක නැගලා මධුවිත තොලගාමින් රස බොජුන් වැළඳුවා. ගහන්න පුළුවන් සියලුම බදු ගහලා මිරිකලා අරගෙන උන් රට සවාරි යනවා. රනිල් පත්වෙලා කෙටි කාලෙට රට සවාරි, එංගලන්තෙට හතර වතාවක්, ජපානෙට දෙපාරක්, මේ දිනවල දින 11ක සවාරියක් යනවා. උඹලගේ කාලෙ ඉවරයි. ජනතාවට වද දුන් කාලෙ ඉවරයි. ඔබෙන් ලබාගන්න බදු මුදලෙන්, 2024 අයවැයෙන් පස්දෙනෙකුට වෙන් කළා ලක්ෂ එක්දහස් එකසියයක්, පස්දෙනෙකුට පඩිනඩි ගෙවන්න. ඒ කවුද? චන්ද්‍රිකා, සජිත්ගේ අම්මා හේමා, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය, මහින්ද රාජපක්ෂ. අපි අද බලය ගත්තොත් ඔය ලක්ෂ එක්දහස් එකසියයම ඉතිරියි. ඔය ජනතාව මිරිකලා ගන්න බදු මුදල්වලින් කනබොන කෑම 2024 වසරෙන් මකලා දානවා. අපි ශක්තිය ගනිමු. ඔබට ගරුත්වයක් තිබෙන රටක් හදන්න, රට නිදහස් කර ගන්න, කාන්තාවට බයක් සැකක් නැතිව යන්න එන්න හැකි රටක් හදන්න සිතට ගනිමු. ඒ වෙනුවෙන් ගමට යන්න. ගමේ බිමේ වැඩ කරන්න. අනෙක් අයට කතා කරන්න. තව තවත් දැනුවත් කරන්න.

හෙට මේ රටට නව හිරු පායා ඒවී
ඒ සුබ පෙරනිමිති දැන් මතුවී ඒවී
ගැහැනුන්ගේ වෙනස ජය මඟුලක් වේවී
සත්තයි දරුවනේ ලක්මව් හිනැ හේවී

“කාන්තාවන් ජාතික ජන බලවේගයට රොද බඳින්නේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයීතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ්-

මේ අද පවත්වන්නේ පස්වෙනි කාන්තා සමුළුව. ඉතා ආඩම්බරයෙන් කියනවා අපි ජයග්‍රහණය කරලා ඉවරයි. අද වතුකරයේ, ඇඟලුම් ක්ෂේත්‍රයේ, මැදපෙරදිග ගෘහ සේවය, රාජ්‍ය ආයතනවල වැඩිම ශ්‍රම දායකත්වයක් සපයන්නේ කාන්තාවන්. මේ ශ්‍රම බලකාය ඇතුලේ විශාල දායකත්වයක් දක්වන්නට කාන්තාවන්ට හැකියාව තිබියදීත් ඔවුන් ගෙවල් ඇතුලේ ගාල් කර තිබෙනවා. අපේ කාන්තාවගේ ශ්‍රමය, නුවණ, ආකල්ප, දැනුම එකතු කරලා මේ රට ගොඩනඟන ඉදිරි ගමන් මාර්ගයට ගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි.

අද මේ රට කාන්තාවන්ට, දරුවන්ට යහපත් රටක් නොවෙයි. පාසල් පොත් බෑගයක මිල රු:4500ක් පමණ වෙනවා. සපත්තු දෙකට රු:4000ක්. එක දරුවෙකුට අවශ්‍ය පාසල් පොත්පත්, උපකරණ, නිල ඇඳුම්, පොත් බෑගය, සපත්තු සූදානම් කරන්න රුපියල් 20,000ක් අවශ්‍ය වෙනවා. ග්‍රාමීය ආර්ථිකය කඩා වැටිලා, එදිනෙදා ආදායම් මාර්ග සියල්ල නැතිවෙලා, තුන්වේල කන්න නැතිව ඉන්න මිනිසුන්ට, දරු පැටව් දෙතුන් දෙනෙක් ඉන්න පවුල්වල දරුපැටව් පාසල් යවන්නෙ කොහොමද? එය විශාල වේදනාවක් දෙන ප්‍රශ්නයක්. දරුවා ප්‍රසූත කිරීමේදී දැරුවාට වඩා වේදනාවක් තමන්ගේ දරුවාගේ අනාගතය අඳුරුවෙනවා පෙනි පෙනී විඳදරා ගැනීමට සිදුවෙනවා නම් එය මොනතරම් වේදනාවක්ද? අපේ වටිනාම සම්පත අපේ දරුවෝ. රටේ ජනගහනයෙන් 70%ක් සාපේක්ෂ දරිද්‍රතාවයට කඩා වැටිලා. ඒ ඇතුලේ ඔබ අපි හැමදෙනාම ඉන්නවා. බිත්තරයක්, මස්-මාළු කෑල්ලක්, චීස් ටිකක්, බිත්තරයක් තමන්ගේ පොඩි එකාට දෙන්න බැරිව තැවෙන අම්මලාගේ වේදනා බර මුහුණු අපිට පේනවා. අපි මේ දුක විඳින්නේ අපි ගහපු කතිරයේ ප්‍රතිඵල නිසා බව අපි හැමෝම තේරුම් ගෙන ඉවරයි.

මෙතෙක් වැට් බදු අය නොකරපු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 97කට, ආහාර වර්ගවලට, පොත්පත්වලට, ඉන්ධනවලට වැට් බදු ගැහීම නිසා අපි කබලෙන් ලිපට වැටී තිබෙනවා. මේ නිසා එක පවුලකට ජනවාරි මාසයේ සිට රු:20,000ක මුදලක් වැට් බදු ගෙවන්න සිදුවෙන බව රජයේ සංඛ්‍යා ලේඛනවලින්ම කියනවා. 2024 අධ්‍යයන වර්ෂයට පෙළපොත් මුද්‍රණය සඳහා ගෙවිය යුතු මුදල් භාණ්ඩාගාරය සතුව නැති බව පුවත්පත්වල වාර්තා වුණා. ඔබේ පාසල් දරුවාට පෙළපොත් ලැබීම අභියෝගයක් නම්, අපි ගෙවන වැට් බදුවලට සිදුවන්නේ කුමක්ද? පිළිකා රෝගීන්ට එන්නත් ගෙනල්ලා රුපියල් කෝටියක් ගසාකාලා තිබෙනවා. ඉමිනොග්ලොබින් නමැති එන්නත වෙනුවට පාටකරපු වතුර විදින පාලකයෝ. මේ විදිහේ පාලකයන්ටද අපි කතිර ගසා පත්කර ගත්තේ කියලා හිතන කොට හැබෑම කනගාටුවක් ඇති වෙන්නේ.

අපි කොහොමද දරුවන්ට අනාගතයක් ගොඩනගන්නේ. ජාතික ජන බලවේගයට එකතු වෙන්නේ අන් කිසිවක් සඳහා නොවෙයි මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. ඒ වගේම දුක්විඳින ජනතාවගෙන් සූරාකන ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ. ලක්ෂ දහයකට ආසන්න කාන්තාවන් සහ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා. ඒ වගේම 56,000ක් දරුවෝ බඩගින්නට බඩඉරිඟු කනවා කියල පුවත්පත්වල පළවී තිබුණා. මේ දුක්විඳින ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ඕනෑ. පීඩාවට පත් ජනතාවට තවත් බදු ගහලා ජනතාව අසරණ කරන ආණ්ඩුවක් තවදුරටත් ඕන නැහැ කියලා 56%ක් වුණු කාන්තාවන් තීරණය කරලා ඉවරයි. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න, මේ පාලකයන් පලවා හරින්න ඕනෑ. ඒ සඳහා නායකත්වය දිය හැකි, ජනතාව සමග අත්වැල් බැඳගන්න පුළුවන්, පරමාදර්ශී නායකත්වයක් දිය හැකි බලවේගය තමයි ජාතික ජන බලවේගය. අපි අපේ දරුවන්ට කෙලින් හිටගෙන තමන්ගේ අභිමානවත් අනාගතය කරා පිය නගන්න, අනාගතයක් ගොඩනගන්න නම්, අම්මාවරු, සහෝදරියන් ලෙස, මේ රටට වගකියන පුරවැසියන් හැටියට මේ බලවේගය අපි අතට ගන්න ඕනෑ. “ගැහැනු අපි එක මිටට” කියන මාතෘකාව තේරුවේ ඒ නිසයි. මොකද, තවදුරටත් දූෂිත පාලකයෙකුට මේ රටේ ජනතාව සූරා කන්න ඉඩ තියන්නේ නැහැ කියන එක ජාතික ජන බලවේගය හැටියට අපි කියනවා. 56%ක් වූ කාන්තා බලය සුළුපටු බලයක් නොවෙයි.

අපේ ආර්ථික ක්ෂේත්‍රය ඇතුලේ, කර්මාන්ත ක්ෂේත්‍රය, ගොවිතැන, සුළු කර්මාන්ත හා ව්‍යාපාර තුළ කාන්තාවන්ට විශාල දායකත්වයක් ලබාදෙන්න ඕනෑ. නිෂ්පාදන ආර්ථියකක් ඒ ආර්ථිකයට ජන සහභාගිත්වයත් එහි ප්‍රතිලාභ ගැහැනුන් වන ඔබ සියලු දෙනාටම සාධාරණව බෙදී යන විදිහේ සක්‍රීයව දායක විය හැකි ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. එක ඇතුලේ තමයි ඔබේ අතමිට සරුවෙන්නේ. ඔබේ අපේ දරුවාට හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවයක්, අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි අනාගතය ගොඩනගා ගන්න පුළුන් වෙන්නේ. පසුගිය අවුරුදු දෙක ඇතුලේ ලක්ෂ 15කට ආසන්න පිරිසක් රැකියාවක් නැතිව කුමක් හෝ රැකියාවක් සොයමින් ඉබාගාතේ යන තත්වයට පත්වී තිබෙනවා. මේ හැම එකකට උත්තර සපයන්න හැකි, අනාගතය අහිමි වුණු, අපේක්ෂාභංගත්වයට පත්වුණු අපේ පරපුරට වගකියන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. ඒ වෙනුවෙන් අපි අත්වැල් බැඳ ගනිමු. ජාතික ජන බලවේගය වටා රොද බඳිමු.

ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් පීඩා විඳින ජනතාව බදු නිසා තවත් පීඩා විඳිනවා, ණය ගෙවා ගත නොහැකි මිනිසුන් සියදිවි නසා ගන්නවා. ඒවට උත්තර ලබාදී නැහැ. මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ. මේ පීඩනය, සූරාකෑම කර මත පටවන ගමන් ගැහැනු අපව දේශපාලනයෙන් නෙරපා හැර තිබෙනවා. කතිරය ගැසීමෙන් පමණක් දේශපාලනයට දායක වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළත් කාන්තා නියෝජනය තිබෙන්නේ 5%කට පමණයි. තීන්දු තීරණ ගන්නා තැන්වලින් අපව ඉවත්කොට තිබෙනවා. අපි තීන්දුව ගන්න ඕනෙ මහපොළොවේදී. අපට මේ තීන්දුව ගන්න තිබෙන්නේ තව මාස 08ක් පමණයි. මහපොළොවේදි අප ගන්නා තීන්දුවෙන් මේ දේශපාලන බලකොටු සුණුවිසුනු කරලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි පිහිටුවන බවට පොරොන්දු වෙනවා. ඒක අපේ ඉලක්කය. අපේ දරුවන්ගේ සිනහව ගේන තැන. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අම්මලා හැටියට අපි කළ යුතු මහඟු යුතුකම එයයි. මේ පණිවිඩය ගෙන් ගෙට අරගෙන යන්න. ඒ පුරවැසි වගකීම ඉටුකිරීමට අපි සියලු දෙනාම එකතු වෙමු.