Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අපේ රටට තවම කරවල ටික උම්මලකඩ ටික හදාගන්න බැහැ” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න සහෝදරයා-

(මාතර දිස්ත්‍රික් ධීවර සමුළුව – 2024.02.25)

දැන් පාලකයෝ කියනවා, මේ රට දැවැන්ත අර්බුද ගණනාවකට ගොදුරු වුණාලු ඒ අර්බුදයෙන් ගොඩගත්තේ රනිල් රාජපක්ෂලු. පෝලිම් නැහැලු. තෙල් ඕනෑ තරම් තිබෙනවාලු. 2019 ආණ්ඩුව පිහිටුවන කොට ඩීසල් ලීටරය තිබුණේ රු:104/-ට. දැන් ඩීසල් ලීටරය රු:363/-යි. පෙට්්‍රල් ලීටරය රු:136/-යි. දැන් පෙට්්‍රල් ලීටරය රු:371/-යි. හැබැයි ඒ කාලෙත්, දැනුත් බලයා කිලෝ එකකින් ධීවරයට ලැබෙන මිල එකම මට්ටමක තිබෙන්නේ. ඒකේ වෙනසක් වෙලා නැහැ. ඒ කාලේ තිබුණු හාල්, සීනි මිල දැන් වැඩි වෙලා. ප්‍රශ්නේ විසඳුවා නම් ඉස්පිරිතාලේ බෙහෙත් තියෙන්න ඕනෑ. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් රට අතහැර නොයා ඉන්න ඕනෑ. ව්‍යාපාර, කර්මාන්ත වැහෙන්නේ නැතුව තියෙන්න ඕනෑ. නිවාස දසලක්ෂ හැටනව දහස් පන්සිය හැටතුනකගේ නිවාසවල විදුලිය, විදුලි බල මණ්ඩලය විසින් කපා දමා තිබෙනවා. පාලකයෝ කියන විදිහට ප්‍රශ්නෙ විසඳලාද? ආර්ථික අර්බුදය ඉහළටම නැගලා ඉන් එහාට ගිහින් සමාජ අර්බුදයන් ඇති වෙලා.

ඒ අර්බුදවලට පිළිතුරු සොයන්න එක් එක් ඒකක හදාගෙන තිබෙනවා. ‘යුක්තියේ මෙහෙයුම’ නමින් කුඩු අල්ලන මෙහෙයුමක් දියත් කර තිබෙනවා. දවස් හතළිහක් තුළ 59000ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවට පම්පෝරි ගහනවා. මේ පාලකයෝ අවුරුදු 76ක් තුළ හදපු රට තිබෙන තැන. තව ඒකකයක් හැදුවා බස්වල, කෝච්චිවල යන කාන්තාවන්ට අතවර කරන අය අල්ලන්න. මේ ඒකක හදන්න වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයෙන් එහාට ගිය සමාජ, සංස්කෘතික අර්බුදයන් බවට පත්වුනාම. දරුවන්ට ඉගෙන ගන්න බැරිවෙන, තුන්වේල කන්න නැති, සෞඛ්‍ය වශයෙන් පිරිහෙන තත්වයකට පත්වෙලා. අර්බුද ඉවර නැහැ. අර්බුදය වචන අස්සේ හංගන්න හදනවා. මේ පාලකයෝ ඉන්නකම් අර්බුද ඉවර වෙන්නේ නැහැ.

මේ රටේ තුන්ලක්ෂ පහළොස්දහසක් ධීවර ජනතාව කරදිය, මිරිදිය රස්සාවේ යෙදෙනවා. මේ ජොබ් ආණ්ඩුවෙන් දුන්න ඒවා නොවෙයි. මුහුදෙන් දීපු ජොබ්. මුහුදෙන් දීපු රස්සාවලට ආණ්ඩුව නිසා ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ධීවර රැකියාවට අනුබද්ධව අයිස් හැදීම, මාළු විකුණන අය, වාහන ගෙනියන අය, දැල් සපයන අය වශයෙන් විසිඑක්ලක්ෂ පනස් දහසක් පමණ ජනතාවක් ධීවර ක්ෂේත්‍රයේ නඩත්තු වෙනවා. ධීවර ක්ෂේත්‍රය සුවිශේෂී ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න නිරාකරණය කිරීමට පාලකයෝ කටයුතු කරන්න උවමනා නැත්ද? ලංකාවේ ප්‍රධාන ප්‍රෝටීන් සැපයුම්කරුවා ධීවරයා. මේ රටේ දරුවාට, අපට අවශ්‍ය ප්‍රෝටීන් ටික දෙන්නේ ඔබ. අවුරුදු දහස් ගණනක සිට ආ කර්මාන්තයක් මේක. දියුණු රටවල අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ස්මාර්ට් කර දියුණු කර්මාන්තයක් බවට පත්කර තිබෙනවා. හැබැයි අපේ ධීවර කර්මාන්තයට තාක්ෂණයෙන්, බුද්ධියෙන් පළක් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. නෝර්වේ, ජපානය, මැලේසියා, චීනය දියුණු කර්මාන්තයක් බවට පත්කර තිබෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් ඔබට ආර්ථික නිදහස, අධ්‍යාපන නිදහස ඇතුළු සැබෑ නිදහස ලැබිලා නැහැ. ඔබට සැබෑ නිදහස ලැබෙන්නේ මාලිමාව පෙරමුණු කරගත් ජාතික ජන බලවේගයේ ජාතික ආණ්ඩුවක් බිහිවුණු දාට පමණමයි. එදාට ලංකාව සැබෑ නිදහස දිනා ගන්නවා. එය අපි ලබාගත යුතු නිදහසක්. ඒ වෙනුවෙන් අපි ජාතික ව්‍යාපාරයක් හදන්න ඕනේ. ජාතික ව්‍යාපාරය බලය ගත්තාට පස්සේ, මහා ජාතික පුනරුදයකට රට තල්ලු කරන්න ඕනේ.

මේ රටේ බලය ගන්න පංච මහා බලවේග එකතු කළා ඔබට මතක ඇති. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ඒ බලවේග පහ දැන් ඉන්නවාද? දැන් එයාලා ළඟ ඉන්න බලවේගය දන්නවාද? පාතාල බලවේගය, කුඩු බලවේගය, හොරු ඇතුළු දූෂිත බලවේග, ජාතිවාදී-ආගම්වාදී බලවේගය. හැට නව ලක්ෂයක් ඡන්දය ගත්තේ පාස්කු ප්‍රහාරයක් ඇති කරලා බව හැමෝම දන්නවා. මේ නිල්, කොළ පාලකයන් තුරුලේ පාතාලය හුරතල් වෙන නිසා පාතාලය විනාශ කරන්න බැහැ. මත්ද්‍රව්‍ය ගේන ලොක්කෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් අල්ලන්නේ නැහැ.

පංච මහා බලවේගයට තවත් බලවේග එකතු කරලා, ලෝකයේ අභිමානවත් රටක් හැදීම උදෙසා සකල විධ බලවේග එක මිටකට ගෙන ආ බලවේගය තමයි ජාතික ජන බලවේගය. රටට ආදරය කරන මහා සංඝ රත්නය අපිත් එක්ක එකතු වෙලා තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සමුළු අපි ආරම්භ කළා. ගුරු සංගම් රට පුරා පවත්වමින් ජාතික ජන බලවේගය වටා එකතු කොට තිබෙනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රටපුරාම ගොවියන් එක කඳවුරකට ගෙනැත් තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික සේවයේ විවිධ ක්ෂේත්‍රවල සිටින සියලුම කම්කරුවන් එකතු කොට දැවැන්තම වෘත්තිය සමිති ගොඩනගා ජාතික ජන බලවේගයට එකතු කොට තිබෙනවා. පංච මහා බලවේගය ඉක්මවා, තවත් දැවැන්ත බලවේගයක් ලෙස සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයත් අපි එකතු කොට තිබෙනවා. මෙතෙක් මේ රට ගොඩනගන්න පාවිච්චි නොකරපු බලවේගයක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා බලවේගයක් ලෙස අපි වටා එකතු වී සිටිනවා. 56%ක් වූ ඡන්ද බලයක් හිමි දේශපාලනයෙන් අයින්කොට දමා සිටි කාන්තාවන් අපි බලවේගයක් ලෙස එකතුකොට තිබනවා. රට ගොඩනැගීමට රටට ආදරය කරන ඉංජිනේරු සංසද, මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් එකතු කරමින් ඉන්නවා. දාහතර හැටලක්ෂයක් වන ත්‍රී විලර් රියදුරන් බලවේගයක්. ලංකාවේ පළමුවෙනි ත්‍රී විලර් සමුළුව ඇඹිලිපිටියේදී තිබ්බා. නීතිඥ සංගම් අපි හැදුවා. ඒ සෑම බලවේගයක්ම අපි ජාතික ජන බලවේගය වටා එකතු කරනවා.

ලංකාවේ සමුපකාර 29කට ඡන්දෙට මාලිමාවෙන් ඉල්ලුවා. 29ක්ම දිනුවා. අපිට එකක බලය ගන්න බැරිවුණා. සජිත්ලාගේ කට්ටියයි රාජපක්ෂලාගේ කට්ටියයි එකතුවෙලා බලය පහිටුවා ගත්තා. අනික් සියල්ලගේම බලය පිහිටෙව්වේ මාලිමාව. මේවා එයාලට දැනෙනවා. පෙනෙනවා. පසුගිය දිනවල ඉන්දියාව රාජ තාන්ත්‍රික ආරාධනාවක් කළා. ඉන්දියාවේ බුද්ධි අංශයේ වාර්තා අනුව ලංකාවේ ඉදිරි නායකත්වය හඳුනාගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය ගැන දින සහ වේලාවන් කල් ඇතිව දැන්වුවේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය. එවැනි සූක්ෂම ඔත්තු සේවයක වාර්තා අනුව ලංකාවේ මැතිවරණය ගැන කියන්න බැරිද? ඒ අනුව තමයි ආරාධනා ලැබෙන්නේ. ආඩම්බරයෙන් හා අභිමානයෙන් කියන්නේ මේ රටේ ඊළඟ බලය ජාතික ජල බලවේගයේ බලයක් බවට පරිවර්තනය වෙනවා නියතයි.

පසුගිය නොවැම්බර් මාසයේ ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක් දුන්නා. මේ රට බංකොලොත් වීමට, ආර්ථික අර්බුදයට වැටීමට, හේතුවූ වගඋත්තරකරුවන් නම් කළා, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකු හිටපු අධිපතිවරු, අජිත් නිවාඞ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරු, ටී.බී. ජයසුන්දර, ආටිගල ඇතුළු කට්ටිය වරදකරුවන් කියා තීන්දුවක් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවවත් පිළි නොගන්නා අය.
පෝලිම්වල මැරුණා, ත්‍රී විලර් එකේ මැරුණා, ගොවිතැන් විනාශ කළා, ධීවර රස්සාව විනාශ කළා, දරුවාගේ අධ්‍යාපනය නැති බංගස්ථාන කළා, බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මැරුවා, උන්ට දඬුවම් දෙන්න ඕනෑ. මේ ඔබ විඳින්නේ අනවශ්‍ය දුකක්. මහ බැංකු වංචාව නොකෙරුණා නම්, රටට බෙහෙත් ටික අවුරුදු හතරකට ගේන සල්ලි, මිලියන දාහත් දහසක සීනි බදු වංචාව නොවුණා නම්, කන්න තුනහතරකට පොහොර ගෙනත් දෙන්න තිබුණා.

ගුත්තිලයේ අන්තිම කවියක තිබෙනවා “මූසිල මෙපුර තට – නුවරක් නොවේ ඉඳිනට – ඉන් තෝ මෙහි නොසිට – යවයි නෙරපූයෙ යම පුරයට” කියලා. අපට මෙහෙම කියන්න වෙනවා “මහ බැංකු මහ වංචාවට – රනිලෝ රාජපක්ෂ මෙපර තට – නිවරක් නොවෙයි ඉඳිනට – ඉන් තෝ මෙහි නොසිට – යවයි නෙරපූයේ අඟුණුකොළපැලැස්සට”.

පසුගිය 2021 අවුරුද්දේ උම්බලකඩ ගෙනැත් තිබෙනවා මෙට්්‍රක් ටොන් 2188ක්. වැය වෙලා තිබෙනවා රුපියල් මිලියන 1453ක්. මේ ටික මෙහේ හදන්න බැරිද? කරවල ගෙනත් තිබෙනවා මෙට්්‍රක් ටොන් 32585ක්. වියදම් කර තිබෙනවා රුපියල් මිලියන 13990ක්. ටින් මාළු ගෙනත් තිබෙනවා මෙට්්‍රක් ටොන් 8758ක්. වැය කර තිබෙනවා රුපියල් මිලියන 4891ක්. ඒවට ගියේ ඩොලර්. මේ රටේ ධීවරයෝ ගොඩගන්නේ කොහොමද? ධීවරයාට වැට් ගහනවා. උන්ගේ හිතවත්තු, කූඨ ව්‍යාපාරික පෙළැන්තිය පිටරටින් සැමන් ටික, කරවල ටික, උම්බලකඩ ටික ගේනවා. අපි සපථකර කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක අවුරුදු පහකදී, රටේ ධීවර කර්මාන්තය ප්‍රධාන කර්මාන්තයක් බවට ඔසවා ගන්නවා. ධීවරයා අල්ලන මාළු අගය එකතුකරමින් එහි වටිනාකමක් උත්පාදනය කරනවා. ධීවරයාට අවශ්‍ය ආම්පන්න මෙහේ හදන්න පුළුවන්. කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ ටික ලංකාවේ හදනවා. ගොවියාට අවශ්‍ය කර්මාන්ත ටික ඇති කරන්න පුළුවන්. ව්‍යාපාරිකයාට, කාන්තාවන්ට අලුත් කර්මාන්ත, අලුත් අවස්ථා නිර්මාණය වෙනවා. මුහුදෙන් මාළු අස්වැන්න පමණක් නොවෙයි, ගත හැකි උපරිම ප්‍රයෝජන ගන්නවා. මුහුදු ශාක පැළෑටි අද ලෝකයේ ජනප්‍රියයි. ඒවාට අපි අත ගහලා නැහැ. මහ පොළොවයි, මුහුදු බිමයි එකට අරගෙන නිෂ්පාදන ආර්ථිකයක් හදලා මේ රටේ ජනතාවගේ ආර්ථිකය සරු කරන්න, වැඩ පිළිවෙළක්, ප්‍රතිපත්තියක් තිබෙන පක්ෂයක් තිබෙනවා නම් එය ජාතික ජන බලවේගය පමණයි.

2004 සුනාමි අවස්ථාවේ ලෝකයෙන්ම ආධාර ගලාගෙන ආවා. ඒ වෙලාවේ පාලකයන්ට කියන්න තිබුණා, “මේ මහා විපතේදී අපි සමගි වෙමු. ලෝකයෙන් ගලාගෙන ආ ආධාර පාවිච්චි කරලා රට හදමු.” කියලා. නමුත් පාලකයෝ මළකඳන් මතින් ආපු සුනාමි සහනාධාර ගිණුම්වලට පොම්ප කළා. සිරිලිය ගිණුමට ගියා. එහෙම කළ දුෂ්ට පාලකයන් ඉන්න රටක්. තිස් අවුරුදු යුද්ධය මළකඳන් මතින් අවසන් කළා. රටේම ජනතාව එකතු කරළා රට හදන්න තිබුණා. නමුත් යුද්ධය අවසන් කරලා සුද්දය පටන් ගත්තා. පවුලට බලය ගන්න පටන් ගත්තා. රට ගොඩනගන්න කෙල්ලෝ කොල්ලෝ පුරන් කුඹුරු කොටන්න පටන් ගත්තා. තාප්පවල චිත්‍ර අඳින්න පටන් ගත්තා. ජාතික පුනරුදයකට යන්න ජනතාව පාරට ආවා. පාලකයෝ ජනතාවට වද දෙන්න පටන් ගත්තා. අවස්ථා ගණනාවක් මග හැරියා. රට බංකොලොත් කළා. ලාංකීය භූමියට අවසාන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව පැහැර හරින්න එපා. “මෙතරම් විපතක් වෙලත් අවස්ථාව මග හැරියේ ඇයි? අපේ රට නැති කළේ ඇයි?” කියා දරුවන් දවසක අසාවි. සකලවිධ බලවේග එකතු කර, පුනරුද යුගයක් ගොඩනගන්න සූදානම් වෙන අනගි අවස්ථාව, මාලිමාව ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න ශක්තිය, ධෛර්යයෙන් කටයුතු කරන්න. ජනතාව “හෙළනා සුසුම් සැඩ සුළඟක් වී ඒවා – හෙළනා කඳුළු ගං වතුරක් වී ඒවා – කුසයේ ගින්න මහ ගින්නක් වී ඒවා – රට කෑ එවුන් තොලොංචිම වී යාවා.”