Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීමක් නැතිව, රැකියා ලබාදීමේ අරමුණෙන් පමණක් ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයට යැවීම ගැටලුවක්.” -එතෙර අපි සංවිධානයේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති-

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු කිහිපයක් සම්බන්ධව ජනතාව හා මාධ්‍ය දැනුවත් කිරීමට අපි අදහස් කළා. අද ජාත්‍යන්තරව මතුවි තිබෙන ප්‍රධාන කරුණක් තමයි ඊශ්‍රායල් හා පලස්තීන යුද ගැටුම. ඊශ්‍රායලයේ සේවය කරන 8000ක් පමණ වූ ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන ගැටලු ගණනාවක් තිබෙනවා. දැනට දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. අනුලා සහෝදරිය, ගැටවර බණ්ඩාර සහෝදරයා. පියංකර දැඩිලෙස තුවාල ලබලා පීඩාවට පත්වී සිටිනවා. මේ අයගේ පවුල්වල අයට අපි අපේ ශෝකය පළකර සිටිනවා. ශ්‍රී ලාංකිකයින් ලෙස දැඩි කම්පාවට පත්වෙනවා. මේ අපේ සහෝදරවරු යුද්ධයේ කොටස්කරුවන් නොවෙයි. ඔවුන් ශ්‍රී ලාංකිකයින් හැටියට මේ රටේ රැකියාවක් කරගෙන ජීවත් වීමේ අපහසුව නිසා ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කරන්න පෞද්ගලිකව ජීවිතේ ගැටගහගන්න විදෙස් ගත වුණු අය. විදෙස්ගතවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල යුද්ධය පවතින ප්‍රදේශවල රැකියාව කරන්න ඔවුන්ට සිදුවුනා. ඔවුන් නිරායුධ අය. ඊශ්‍රායලය හෝ පලස්තීනයේ කොටස්කරුවන් නොවෙයි. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.

අදටත් මේ දෙරට අතර යුද ගැටුම් සිදුවෙනවා. යුද්ධය පිළිබඳ ස්ථාවරයන් මොනවා වුණත් අපි ආණ්ඩුවෙන් හා විදෙස් කටයුතු අමාත්‍යවරයාගෙන්, අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙන්න කියා. හේතුව ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් දහසක් යැවීමට ආණ්ඩුව කටයුතු කරන බවට මාධ්‍යවල වාර්තා කර තිබුණා. මේ අවස්ථාවේ පළමුවෙන්ම කළ යුත්තේ ඊශ්‍රායලයේ රැකියා කරන අයගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. වර්තමාන තත්වය යටතේ ශ්‍රී ලාංකිකයන් යවනවා නම්, ඔවුන් රැකියා කරන ප්‍රදේශ ආරක්ෂිත කලාප ද යන්න පිළිබඳව සෙයා බලා ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීමක්, සහතිකයක් තිබිය යුතුයි. ඊශ්‍රායලයේ සිටින අපේ තානාපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය දැඩි කැපකිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීමක් නැතිව, රැකියා ලබාදීමේ අරමුණෙන් පමණක් අපේ ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයට යැවීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. රැකියාව ගැන පමණක් සිතා මෙවැනි තීරණයක් ගැනීම සුදුසුද යන්න යළිත් සලකා බැලිය යුතුව තිබෙනවා. මේ ඊශ්‍රායල් පලස්තීන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් මැදිහත් වී තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ට ජීවත් වීම සඳහා ඊශ්‍රායලයේ රැකියා කරන්න සිදුවුණු නිසා.

ලංකාවේ තිබෙන ආර්ථික පීඩනය නිසා අපේ ජනතාව ඊශ්‍රායලයට නොවෙයි අපායට හෝ ගොස් රැකියා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කුමන හෝ රැකියා අවස්ථාවක් යොදා ගත යුත්තේ, පළමුවෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමකින් මිස අනාරක්ෂිත තත්වය යටතේ නොවෙයි කියන එක අපි අවධාරණය කරනවා. ඊශ්‍රයලයේ රැකියා සඳහා යන අය සමහරු සංචාරක වීසා හැටියටත්, සමහරු කෘෂිකාර්මික කටයුතු සඳහාත්, සමහරු ඉගෙන ගැනීම් කටයුතු සඳහාත්, ජෝර්දානය හරහා ඊශ්‍රායලයට ගිය අය සිටිනවා. වීසා නැති විශාල පිරිසකුත් ඉන්නවා. මේ යුද තත්වය නිසා ඒ අයට පහසුකම් සැලසීමේ කටයුතු දුෂ්කරතා මධ්‍යයේ පවතින්නේ. අනාරක්ෂිත තත්වයන් මේ අයුරින් වාර්තාවී තිබියදීත් රැකියා සඳහා යාමට දිරි ගැන්වීම සිදුවෙනවා නම්, ඒ දිරිගන්වන පාර්ශ්වයන්ම ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව ඒ ආකාරයෙන්ම තහවුරුවක් ලබාදිය යුතුයි.

ඊශ්‍රායලයේ සිටින තානාපතිතුමා සහ කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරමින්, ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එකතු කර ගැනීම, වීසා නොමැති අය ලියාපදිංචි කරවා ගැනීමේ කටයුතුවලට මැදිහත් වී තිබෙනවා. ඔවුන්ගේ කාර්යභාරය ගැන අපේ ඇගයීමක් තිබෙනවා. ආණ්ඩුව පැත්තෙන් ඔවුන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව ගැන මීට වඩා සොයා බැලීමක් කළ යුතුව තිබෙනවා. සෞදි අරාබියේ රැකියාව කරන පහළොස් දෙනෙකු පමණ පිරිසක් විදේශ රැකියා නියෝජිත ආයතනය තුළ සිරකරගෙන සිටින බවත් වාර්තාවී තිබෙනවා. අපි මේ පිළිබඳව සෞදියේ සිටින නියෝජිතයින් මගින් කරුණු සොයා බැලුවා. ඔවුන් අපේ තානාපති කාර්යාලයටවත් ගෙනැවිත් නැහැ. ඔවුන් රැකියා නියෝජිත ආයතනයේම වෙනම කාමරයක රඳවා සිටින බවත්, ප්‍රමාණවත් ආහාරත්, ප්‍රමාණවත් පහසුකම් නොමැතිවත්, සිටින බවත් දැනගන්නට ලැබී තිබෙනවා. ටික දෙනෙක් නැවත ලංකාවට යවන ලෙස ඉල්ලීම් කළත්, එය නොසලකා වෙනත් ස්ථානවල රැකියාවලට යොමුකරන්න උත්සාහ ගනිමින් සිටින බවටත් තොරතුරු ලැබෙනවා. සෞදි අරාබියට යවන ලද අයට ප්‍රමාණවත් පුහුණු කිරීම් ලබානොදී, පුහුණුවක් ලබාදුන්නාය කියන සහතික කිරීම පමණක් කරලා, ප්‍රතිලාභ ලෙස ලැබෙන මුදල් ආයතනය ලබාගෙන සිදුකරන ලද ගනුදෙනුවකුත් මේ තුළ තිබෙනවා. රට රැකියාවලට යන අයට නවීන උපකරණ සමග ඒ රටවල වැඩ කිරීමට සිදුවෙනවා. පුහුණුවක් නොමැතිකම, ඒ උපකරණ පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා ඔවුන්ට හාම්පුතුන්ගේ තාඩන පීඩනවලට බරපතළ ලෙස මුහුණ දීමට සිදුවෙනවා.

අපි විදේශ කටයුතු අමාත්‍යාංශයේ සභාපතිවරයාටත්, අදාළ විෂය භාර අමාත්‍යවරයාටත් බලකරනවා කරනවා, මේ සෞදියේ සිරකර සිටින පිරිස සම්බන්ධව විශේෂ මැදිහත්වීමක් කරන ලෙස. ඔවුන්ගේ ඥාතීන් එතෙර අපි සංවිධානයටත් මේ සම්බන්ධව දැනුවත් කරමින් ඔවුන් මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලීමක් කළා.

මේ අතර කොරියාවට යන ලාංකිකයින්ගේ මුදල් අයථා ලෙස අයකරගන්නා අවස්ථාත් අපිට වාර්තා වෙලා තිබෙනවා. ඊ නයින් වීසා යටතේ කොරියාවට යවන ශ්‍රී ලාංකිකයින් එකම ගුවන් යානයක යැවීමේ අවශ්‍යතාවය පෙන්වා සාමාන්‍ය ගුවන් ටිකට්පත්වල මිලට වඩා රුපියල් තිස් හතළිස් දාහක් වැඩිපුර අයකළ අවස්ථා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියාවලට යන අයට විවිධ ගාස්තු අයකිරීම් සිදුවෙනවා. අමාත්‍යාංශයේ සිට එයාර් පෝර්ට් එකට යන්න බස් ගාස්තුව ලෙස රු. 2000/-ක් අය කරනවා. මෙම ක්‍රියාවන් සිදුවිය යුත්තේ විධිමත්ව කියන එක අපි විශ්වාස කරනවා.

‘ඊ 73’ කියන කැටගරිය යටතේ වෙල්ඩර්ස්, පෑස්සුම්කරුවන් වෙනුවෙන් ලැබුණු කෝටා එක මේ වන තෙක් සම්පූර්ණ කර නැහැ. සුදුසුකම් නැති, දේශපාලන හිතවත්කම් මත යවපු පිරිස් නිසා, එම කැටගරිය යටතේ අපට ලැබෙන අවස්ථාව නොලැබී යාමේ තත්වයක් ඇතිවී තිබෙනවා. දැනටමත් අපට වාර්තා වන ආකාරයට කොරියාවෙ ලොජී කියන ප්‍රාන්තයේ නැව් සමාගම්වල අපේ රැකියා අවස්ථාව අහිමි වෙලා. රැකියා ඇබෑර්තු තිබියදී පවා කැඳවීම් නවත්වා තිබෙනවා. 5000ක පමණ කෝටා එකක් තිබියදීත් අපට යැවිය හැකිව තිබෙන්නේ 600ක් පමණ පිරිසක් පමණයි. එසේ සිදුවී තිබෙන්නේ සුදුසුකම් තිබෙන අයව යවන්න කටයුතු නොකිරීමේ හේතුව නිසා.

ඒ වගේම කොරියාවේ තානාපති කාර්යාලයේ සුබසාධන නිලධාරීන් දොළොස් දෙනෙකු සිටිය යුතු වුවත් දැනට සේවය කරන්නේ 04ක් පමණයි. ඒ හතර දෙනාගෙනුත් දෙදෙනෙක් කොරියන් ජාතිකයන්. ශ්‍රී ලාංකිකයන් ඉන්නේ දෙදෙනයි. ඒ වගේම කොරියාවේ සිටින 35000කට 40000කට වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් සිදුකළ යුතු ජංගම සුබසාධන සියල්ලම වගේ නතර වෙලා. ඔවුන්ගේ අවශ්‍යතාවයන්, පහසුකම් ගැන සොයා බැලීමක් නැහැ. විශේෂයෙන් ධීවර කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන් බරපතළ ගැටලු ගණනාවකට මුහුණදී තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා වසරකට දෙතුන්දෙනෙක් පමණ මිය යන තත්වයක් උදාවී තිබෙනවා. පළපුරුද්ද නැතිකම, අධික සීතල, ඔවුන්ගේ මිය යාමට හේතුවී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට රැකියාවලට ගිහිල්ලා ඒ රටවල අසරණ වෙලා, කොරියාවේදි මිය යන තත්වයක් ඇති වී තිබෙනවා. එවැනි අයගේ මෘත දේහය පවා ලංකාවට ගේන්න බැරි තත්වයක් තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ලවෙන තවත් එක් ප්‍රධාන චෝදනාවක් තමයි තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ කාරණය. විශේෂයෙන් සුබසාධන නිලධාරීන් කොරියාවේ නිවාඩු දවසටත් නිවාඩුයි, ලංකාවේ නිවාඩු දවසටත් නිවාඩුයි. කොරියාවේ නිවාඩු දිනයක් කියන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කර තිබෙනවා නම්, තමන්ගේ ලියකියවිලි කටයුතු පාස්පෝට් කටයුතු කර ගැනීමට පහසු වෙනවා. මේ නිසා එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ගැටලු ගණනාවකට මුහුණ පෑමට සිදුවී තිබෙනවා. ඒ ඒ රටවල නිවාඩු දිනවලදීත්, ලංකාවේ නිවාඩු දිනවලදීත් නිවාඩු ගැනීම කොරියාවේ පමණක් නොවෙයි තවත් බොහෝ රටවල සිදුවෙනවා. විදේශවල සිටින අයට පහසුකම් ලබාගැනීමට තිබෙන එකම ස්ථානය තානාපති කාර්යාලය. නමුත් ඒ පහසුකම් ලබාගැනීමට අපහසු වී තිබෙනවා.

අපේ රටේ විදේශ නියුක්ති කාර්යාංශය, අමාත්‍යාංශය විශාල එකක්. නමුත් එයින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන පහසුකම ගතහොත් සම්බන්ධීකරණයක් නැහැ. විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් කොන්දේසි විරහිතව ලංකාවට මුදල් එවන්නේ ඔවුන්ගේ පවුල්වල කටයුතු වෙනුවෙන්, හා සුබසාධනය වෙනුවෙන්. නමුත් ඒ කටයුතුවලට අවශ්‍ය කරන තහවුරුවක්, විශ්වාසයක්, රැකියා සුරක්ෂිතභාවයක්, රැකියාවේ පහසුකම් ලබාදීමක් කිරීමට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැතිනම්, ඔවුන්ගේ අසරණභාවය වෙනුවෙන් කතා කරන්න කිසිවෙක් නැහැ. මේ කරුණු මාධ්‍යයට ඉදිරිපත් කිරීමට කලින් අවස්ථා ගණනාවකදීම කතා කර තිබෙනවා. ලිඛිතව ඉල්ලීම් කර තිබෙනවා. සාකච්ඡා සඳහා ඉල්ලීම් කර තිබෙනවා. ඒවා ඉටුනොවන අවස්ථාවලදි අපට මේ වගේ ජනමාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අපහසුතා දැන්වුවද ඇමති මට්ටමින් හෝ නිලධාරී මට්ටමින් පසුවිපරම් ක්‍රියාවලියක් සිදුවන්නේ නැහැ.

“ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහනසේවා සඳහා වෙන් කර තිබෙන්නේ සොච්චම් මුදලක්”
-එතෙර අපි සංවිධානයේ ලේකම් නීතිඥ ජානක අධිකාරී-

අටදාහක් පමණ ශ්‍රී ලාංකිකයෝ ඊශ්‍රායලයේ ඉන්නවා. ඒ අයට යම් තර්ජනයක් වුණොත් ඒ අයට සහන සේවා වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් තිස්දාහයි. එක්කෙනෙක් වෙනුවෙන් ඩොලර් පහක් වගේ ප්‍රමාණයක්. හැමදෙනාම තර්ජනයට ලක්වෙනවා කියලා අපි කියන්නේ නැහැ. නමුත් මෙවැනි වෙලාවක ලාංකිකයන් මුහුණ දිය හැකි විශාල අවදානමක් තිබියෙදී වෙන්කර තිබෙන්නේ ඉතාම සොච්චම් මුදලක්. මෙය ඉතාම කණගාටුදායක තත්වයක්. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා චීනයේ ඇතුළු රටවල් ගණනාවක ගියා. අනවශ්‍ය පුද්ගලයෝ විශාල පිරිසක් රැගෙන ගියා. තමන්ගේ කාර්යාලයේ ලංකාවේ ප්‍රධානියත් යන යන තැන එක්කරගෙන යනවා. ඒ ගමන්වලට ඩොලර් කීයක් වෙන්කරනවාද? එක ටිකට් එකකට කොයිතරම් වෙන් කරනවාද? පසුගිය කොරෝනා කාලයේ ලාංකිකයෝ පාරවල්වල දුක්වින්දා. විදේශ රටවල සිටි ලාංකිකයෝ විශාල ලෙස අපහසුතාවයට පත්වුණා. මේ පාලකයෝ ඒවා දිහා බැලුවේ නැහැ. රට විරුවෝ කියල කිව්වට ඔවුන්ට සලකන්නේ එහෙම. මේ නොසැලකිල්ලට අපි විරෝධය පළ කරනවා.

ඒ වගේම මේ දිනවල ලාංකිකයෝ විසිට් වීසාවලින් රට යනවා. අපි ඔවුන්ට කියනවා විසිට් වීසාවලින් රැකියා සොයා යාමෙන් පරිස්සම් වෙන්න කියලා. එහෙම ගෙනයාමේ ජවාරමක් සිදුවෙනවා. යුරෝපයට ගියත් හොඳින් කරුණු සොයලා යන්න. අපිට වාර්තා වෙන විදියට අවම වශයෙන් වැටුප ස්විස් ක්රෝන 27360ක් නැත්නම් ඒ රටේ විදේශිකයෙකුට ඉන්න දෙන්නේ නැහැ. එවැනි වැටුපක් ලැබෙන්නේ නැති නිසා දැනට ඒ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට ගැටලු මතුවෙලා තිබෙනවා. ඒ නිසා තමන් දුක්මහන්සියෙන් උපයාගත් මුදල් ජාවාරම්කාරයින්ට දෙන්න කලින් හොදින් හොයා බලන්න කියලා අපි ඉල්ලනවා.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු:-

අපි හැකි සෑම විදෙස් රටකම ජාතික ජන බලවේගය ලෙසටත්, එතෙර අපි සංවිධානය ලෙසටත් අපේ සංවිධාන ජාලයක් පවත්වාගෙන යනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ව සංවිධානය කිරීම අපේ එක් ප්‍රධාන කාර්යක්. ඔවුන් ලංකාවෙන් අයින් වුණු අය නෙවෙයි. අපට විදේශ විනිමය ගේන්නේ විදෙස්ගත ලාංකිකයෝ. වාර්ෂිකව බිලියන හතක, අටක මුදලක් ලංකාවට එවනවා. ඔවුන්ගේ සුරක්ෂිතතාවය, ඔවුන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට එකතු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව නිරන්තර සංවාදයක අපි ඉන්නවා. ශ්‍රී ලංකාව වැටී තිබෙන අභාග්‍යසම්පන්න තත්තවයෙන් ගොඩගන්න ලක්ෂ තිස්පහක, හතළිහක පමණ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අපි සංවිධානය කරනවා. රැකියාවලට ගිය, ඉගෙන ගන්න ගිය, පදිංචියට ගිය අය ඉන්නවා. ලංකාව සංවර්ධන ක්‍රියාවලියේදී ඔවුන්ව දායක කරගැනීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා. ඒ අය දැනුවත් කිරීමට තමයි සංවිධාන කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් තමයි ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික හමු කිහිපයක් ආමන්ත්‍රණය කරන්න ගියේ.

මේ කැබිනට් සංශෝධනයක් නොවෙයි. ඇමතිවරු එහෙට මෙහෙට මාරු කිරීමක්. මේක පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. ඒක රටේ ප්‍රශ්න විසඳන එකක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රටේ තිබෙන ප්‍රශ්න නිසා බොහෝ අය රට හැර යන තැනට පත්වී තිබෙනවා. වෛද්‍යවරයෙකුට, ඉංජිනේරුවෙකුට, පරිගණක තාක්ෂණය හදාරපු කෙනෙකුට පිටරටක ඉල්ලුමක් තිබෙනවා. ඔවුන්ට වීසා හදාගැනීමට පහසුකමක් තිබෙනවා. මේ රටේ ජීවත්වීමේ අපහසුවෙන් ඉන්න කම්කරුවන්ට, ධීවර ජනතාවට, ගොවි ජනතාවට එහෙම යාමේ අවස්ථාවක් නැහැ. දැන් කළ යුත්තේ වෘත්තිකයෝ රට දමා යන එක නොවෙයි. සෞඛ්‍ය සේවය අභාග්‍ය තත්වයට ඇද දමපු, රට අසරණ කළ මේ ඇමති මණ්ඩලය රට පටවලා, රට යන මිනිස්සු ලංකාවට එන්න ඕනෑ. මේ යන වෘත්තිකයෙක්ව නැවත හදන්න කොයිතරම් මහන්සි විය යුතුද? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර මේ රට හදන්න බැහැ කියන එක තමයි ඇමති මණ්ඩලය එහෙට මෙහෙට යවලා ඔප්පු කරන්නේ. ඔය කාඩ් කුට්ටම කොහෙට ඇනුවත් ප්‍රතිඵලය මොකක්ද? ජනතාවට ලයිට් බිල ගෙවා ගන්න බැරිව, බඩු මිල වැඩිවෙලා පීඩනයට පත්වෙන එක විතරයි. ඔය අය මොන ඇමති ධුරය දැරුවත් බදු බර දරන්නේ රටේ ජනතාව. පිටරටවල වැඩ කරන අපේ ශ්‍රමිකයන්ට. විදෙස් ගත ලාංකිකයන් කියන්නේ අපි රට වෙනුවෙන් සෑම දෙයක්ම කරන්න කැමතියි; නමුත් මේ රටේ පාලනය වෙනස් නොකර මොනවත් කරන්න බැහැ කියලා.