(-ජාතික ජන බලවේගයේ ගණකාධිකාරී හා විගණන වෘත්තිකයන්ගේ මාධ්‍ය හමුව-2024.08.14 – මාධ්‍ය හමුව-)
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණකයෙකු ලෙස කටයුතු කරන යෝගරාජා මහතාට මැර ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. වැලි කැණීම්වලට අදාළ විගණන විමසුමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා. මෙය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, වැරදිකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකර සිටිනවා. අඹේපිටිය මහතාට ඇසිඞ් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පසුව දිගින් දිගටම විගණකවරුන්ට එල්ල කරන විවිධ තර්ජනවල තවත් පියවරක් ලෙස මෙම ප්‍රහාරය සඳහන් කරන්න පුළුවන්.
රජයේ ආයතනවලට රුපියල් කෝටි 05ක භාණ්ඩ රජයේ වාණිජ හා විවිධ නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමට රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා නිකුත් කර තිබෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් මෙයට පෙර අපි කරුණු හෙළිකළා. ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමෙන් පසු භාණ්ඩ බෙදීමේ ක්‍රියාවලිය නවත්වා තිබෙනවා. ප්‍රසම්පාදන කොමිසමට මේ සම්බන්ධයෙන් තරගකාරී ලංසු ක්‍රමය අනුගමනය කරන ලෙස දන්වා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවත් ප්‍රසම්පාදන කමිටුවත් ක්ෂණික පියවර ගැනීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙනත් මැතිවරණ නීති විරෝධී කටයුතුවලට සූදානම් වෙනවා. ඉදිකිරීම් කර්මාන්තයට බලපාන ගැටලු ගැන සාකච්ඡා කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරයා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය හමුවීමට යොදාගෙන තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍රධානම අභියෝගය එල්ල වී තිබෙන අවස්ථාවක ප්‍රසන්න රණතුංගගේ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ හමුව යොදාගෙන තිබෙනවා. නිලධාරීන් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණ අපේක්ෂතයෙක් පවත්වන මේ හමුව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට අපි පැමිණිලි කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයෙන් ඉවත්වී සමගි ජන බලවේගය පක්ෂය ගොඩනඟා නායකයා වී සිටින සජිත් ප්‍රේමදාස කරගෙන යන කටයුතු පිළිබඳව විගණකාධිපති වාර්තා ඇසුරෙන් තොරතුරු ඉදිරිපත් කළ හැකියි.
ඊට අමතරව කුලියාපිටියේ ෆෝක්ස්වැගන් කාර් එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම පිළිබඳව නිතර කතාවෙනවා. නමුත් එම ව්‍යාපෘතිය නතර වුනේ ඇයි කියලා මයරිටම කවුරුත් දන්නේ නැහැ. මහාභාරකාර දෙපාර්තමේන්තුවට අයත් මහනුගලියැද්ද ඉඩමේ අක්කර 37ක් ආයෝජන මණ්ඩලයට පවරාගෙන තිබුණා. අදාළ සමාගමෙන් මේ සඳහා යම් මුදලක් කිසිදු සැලැස්මක් නැතිව වැයකර තිබුණා. නමුත් මේ වන විට භූමිය පිළිබඳව අයිතිය නිරවුල් කර නොගෙන කටයුතු කිරීම නිසා අධිකරණය හමුවේ නඩු විභාගයක් පවතිනවා. මේ ඉඩම ආයෝජන මණ්ඩලයට පවරාගෙන වෙස්ටර්න් ඔටෝ මොබයින් පුද්ගලික සමාගමට විකුණා තිබෙනවා. රුපියල් මිලියන 70ක් කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ඉඩමේ කටයුතු ආරම්භ කිරීමට උත්සාහ කළත් මේ වන විට මහාභාරකාර මණ්ඩලයේ තිබුණු ඉඩම අහිමිවී ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් නතරවී තිබෙනවා. මහා කළමනාකරුවෙකු බව කියන රනිල් වික්‍රමසිංහ මේ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබෙන්නේ මූලික නීතිමය කටයුතු පවා නිරවුල් කර ගැනීමෙන් තොරවයි. පසුගිය කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මෙම දෙදෙනා කටයුතු කර ඇති ආකාරය විගණන වාර්තාවලින් පැහැදිලිවී තිබෙනවා.
“සජිත් ප්‍රේමදාසගේ අයථා මුදල් ගනුදෙනු පිළිබඳ 2018/2019 විගණන වාර්තාවෙන් කරුණු රැසක් හෙළිදරව් වෙනවා”
-හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනී-
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු පිළිබඳව 2018/2019 විගණකාධිපති වාර්තාවෙන් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සභාපති ලෙස අගමැතිවරයාත්, විෂයභාර ඇමතිවරයාත්, මුදල් අමාත්‍යවරයාත්, එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සහ අධ්‍යාපනය සම්බන්ධ කටයුතු කරන විෂයභාර අමාත්‍යවරයා, හින්දු කටයුතු බාර අමාත්‍යවරයාත්, සංස්කෘතික කටයුතු බාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු 13දෙනෙකුගේ මණ්ඩලයක් පත්කරනවා. ඝන පූරණය ලෙස සිව්දෙනෙක් සහභාගීවීම දක්වා තිබෙනවා. සංස්කෘතික අරමුදලේ මුදල මෙහෙයවීම සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ මේ පාලක මණ්ඩලයෙන්. නමුත් 2015 සිට 2019 දක්වා වසර පහක් තුළ ඔවුන් රැස්වී ඇත්තේ අවස්ථා 13කදී පමණයි. සභාපති ලෙස අගමැති රැස්වීම් වාර තුනකට පමණක් සහභාගීවී තිබෙනවා. නමුත් සභාපති ලෙස මූලාසනය දරා ඇත්තේ එක් අවස්ථාවකදී පමණයි. පාලක මණ්ඩලයේ අනුමැතිය මත ප්‍රවේශ පත්‍ර අලෙවිකරුවන් 14දෙනෙකු 2018දී බඳවාගෙන තිබෙනවා. 2015 සිට අරමුදලේ ආදායම රුපියල් බිලියන 2.8 සිට, 2016 රුපියල් බිලියන 3.7ක් 2017දී රුපියල් බිලියන 4.4ක්, 2018 දී රුපියල් බිලියන 4.09ක් සහ 2019දී රුපියල් බිලියන 4.4ක් වශයෙන් උපයාගෙන තිබෙනවා. මේ අරමුදලෙන් 2015දී රුපියල් මිලියන 50ක්, 2016දී රුපියල් මිලියන 100ක් 2017දී මිලියන 362.07ක් 2018 දී මිලියන 126.6 සහ 2019දී රුපියල් මිලියන 2052.4ක් වශයෙන් පාලක මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව ලබාගෙන තිබෙනවා. මේ මුදල් ආපසු අයකර ගෙන නැහැ. නමුත් මේ මුදල් යෙදවූයේ කුමන කටයුතු වෙනුවෙන්ද යන්න හෙළිකර නැහැ.
රුපියල් මිලියන 1529ක් වූ මෙහෙයුම් ක්‍රියාකාරකම් 421ක් 2018 වසරේදී කළ යුතුව තිබුණා. එයින් ක්‍රියාවට නංවා ඇත්තේ 189ක් පමණයි. 55ක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වී තිබෙනවා. 2019දී රුපියල් මිලියන 348ක් යොදවා කැණීම් හා සංරක්ෂණ ක්‍රියාකාරකම් 53ක් සිදුකළ යුතුව තිබුණා. නමුත් 2019 දෙසැම්බර් 31 වන විට එම කටයුතු ආරම්භ කර හෝ තිබුණේ නැහැ. නමුත් 2018 වැඩ සැලැස්මට අනුව අභයගිරි ව්‍යාපෘතියට අදාළව කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 9.48ක් වන රථ ගාල් දෙකක් ඉදිකළ යුතුව තිබුණා. නමුත් 2019 ජූලි 31 වන විටත් එය ඉටුකර තිබුණේ නැහැ. සංචාරකයන්ගේ ප්‍රයෝජනය සඳහා වැසිකිළි පද්ධතියක් ඉදිකළ යුතුව තිබුණත් එය සිදුකර තිබුණේ නැහැ. සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට එය හේතුවි තිබුණා. ඒ වගේම කළමනාකරණ ක්‍රියාකාරකම් යටතේ සංචාරකයන් වෙනුවෙන් ආපනශාලාවක් ඉදිකිරීමට රුපියල් මිලියන 6.2ක් යෙදවිය යුතුව තිබුණා. එයින් රුපියල් මිලියන 6.27ක් වියදම් කර තිබුණත්, 2019 ඔක්තෝබර් අවසන් වන විට ඉදිකිරීම් අවසන්කර තිබුණේ නැහැ.
ඒ වගේම රුපියල් මිලියන 22.15ක චෙක්පත් අවලංගු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි අනුව ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. ඒ වගේම විදේශ සංචාරකයන් සඳහා මුද්‍රණය කර තිබූ ප්‍රවේශ පත්‍ර වංචනික ලෙස යොදාගැනිම වැළැක්වීමට ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබුණත් එය ක්‍රියාත්මක කර තිබුණෙත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලබාදිය යුතු මුදල් 2017 රුපියල් මිලියන 764ක් 2018දී රුපියල් මිලියන 571ක් සහ 2019 රුපියල් මිලියන 213ක් ලබාදි තිබුණේ නැහැ. සංස්කෘතික අමාත්‍යාංශයේ සේවකයන් බඳවා ගැනීම හැර වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමේ හැකියාවක් සංස්කෘතික අරමුදලේ නැහැ. එසේ තිබියදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පුරාවිද්‍යා සහායකයන්, කම්කරුවන් 713ක්, මුරකරුවන් 376ක් වශයෙන් 1089 දෙනෙකු බඳවාගෙන තිබුණා. ඔවුන් වෙනුවෙන් 2018දී රුපියල් මිලියන 479ක් වියදම් කර තිබුණා. 2019දී රුපියල් මිලියන 582ක් වියදම් ර තිබුණා. වෙනත් ආයතනයක් වෙනුවෙන් ඒ පිරිස බඳවාගෙන සංස්කෘතික අරමුදලෙන් වැටුප් ගෙවීමට මෙම මුදල් වියදම් කර තිබුණා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ විගණන වාර්තාවෙන් තවත් කරුණු හෙලිවෙනවා. 2015-2019 කාලයේ සමස්ත වියදමෙන් 38%ක් – 58%ක් අතර ප්‍රමාණයක් වියදම් කර ඇත්තේ කාර්යමණ්ඩල වැටුප් වෙනුවෙන්. ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමට අදාළ ප්‍රමාණවත් වියදම් දරා නැහැ. ඒ වගේම පුරාවිද්‍යා පනත අනුව සංස්කෘතික ත්‍රිකෝණයේ සමහර ආයතනවල ටිකට් පත් විකිණීමට තිබෙන සීමාවලින් පිට වෙනත් ස්ථානවල 2015-2019 කාලයේ ටිකට්පත් විකුණා රුපියල් මිලියන 13552ක් උපයාගෙන තිබෙනවා. ආගමික ස්ථානවල ටිකට්පත් කවුන්ටර් ආරම්භ කර නොමැතිව රුපියල් මිලියන 6.9ක් වැයකර තිබුණා. ආගමික ස්ථානවලින් ලබාගන්නා ටිකට්පත් මුදල් එම ආගමික ස්ථානයට හෝ එය පාලනය වන සමිතියකට බැර කළ යුතුව තිබියදී කුලියාපිටිය ආගමික ස්ථාන හතරකින් උපයාගත් රුපියල් මිලියන දෙකක් අවස්ථා හතරකදී සණස බැංකුවකට බැර කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා විෂයභාර ඇමතිවරයාව සිටි කාලයේ නීති විරෝධිව සිදුකර තිබුණු කටයුතු කිහිපයක් පිළිබඳවයි විගණන වාර්තා ඇසුරෙන් ඒ කරුණු ඉදිරිපත් කළේ.
නීතිකටයුතු අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා මහතා සහ වරලත් ගණකාධිකාරී රංජිත් දිසානායක මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.