Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාලකයන් අදටත් උසුළු විසුළු කරන ස්වභාවයක් අපි දකිනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල-

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.17)

Easter-Attack-Press

ලබන 21වැනි දිනට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කර වසර 05ක් සම්පූර්ණ වෙනවා. මෙම කාලය තුළ අපි ඉතාමත් සැලකිල්ලෙන් මෙම ප්‍රහාරය පිළිබඳව අවධානය යොමු කරමින් සිටියා. ගෙවී ගිය වසර 05 පුරාම පැවැති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව විසින් වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කළේ නැහැ. මේ වන විට ජීවිත 273ක් අහිමි වී 500කට අධික පිරිසක් පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්වයට පත්වී සිටිනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාලකයන් අදටත් උසුළු විසුළු කරන ස්වභාවයක් අපි දකිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන් තමන් දන්නා බව ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එය හෙළිකරන බවත් කීවා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඔහුගේ නීතිඥයා අධිකරණයේදී ප්‍රකාශ කළේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයක් කිරීමේ අවශ්‍යතාවයක් මෛත්‍රීපාල සිරිසේනට නොමැති බවයි.

අදටත් සැහැල්ලුවෙන් ඉතාතමත්ම පටු, පෞද්ගලික වුවමනාවන් අනුව මෙම ප්‍රහාරයට වගකිවයුතු නායකයන් ක්‍රියාකරන බව පැහැදිලියි. මේ තත්වය තුළ ජාතික ජන බලවේගය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න කටයුතු කළා. එහි මූලික කරුණු කිහිපයක් ඇතුළත් කර තිබෙනවා. මෙම ප්‍රහාරයට අදාළව මූලික මිනිස් අයිතිවාසිකම් නඩු විභායකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස නම්කර වන්දි ගෙවීමට නියම කළ පිරිසට එරෙහිව තවමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ නඩුවක් ගොනු කිරීමේ සූදානමක් නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. මේ තත්වය තුළ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අදාළ චූදියන්ට අපරාධමය නඩු ගොනු කරන බව මේ ලියවිල්ලේ අවධරණය කර තිබෙනවා. ඊට අමතරම මේ වන විට හෙළි වී තිබෙන විශාල සාක්ෂි ප්‍රමාණයට අමතරව තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු නම් ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ විශේෂ පරීක්ෂණ කොමිෂමක් පත්කර, එම කොමිසමේ නිර්දේශ පදනම් කරගෙන අපරාධමය චෝදනා නැගිය යුතු තවත් පිරිසක් සිටිනවා නම්, ඔවුන් සම්බන්ධයෙන්ද ක්‍රියාකරන බව මේ ලියවිල්ලෙන් සහතික කර තිබෙනවා.

Easter-Attack-Press

“ආණ්ඩුවෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන-

පාස්කු ප්‍රහාරයෙන් මියගිය 273දෙනා අතරින් 45ක් පමණ විදේශිකයන් වන අතර, ළමුන් හතළිහක් පමණ ඒ අතර සිටිනවා. ආබාධිත තත්වයට පත්වී සිටින 500ක් පමණ පිරිස වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මානසික වශයෙන් දැඩි බියකින් පසුවෙනවා. අදටත් පල්ලියක් ඉදිරියෙන් ගමන් කරන්න විශාල බියක් දක්වන මානසික තත්වයකින් පසුවෙනවා. ඊට අමතරව අපේ රට සම්බන්ධයෙන් විදේශිකයන්ගේ බියක් ඇති කර රට තුළ ජාතීන් අතර වෛරය පැතිරුවා. මේ නිසා අපේ සමාජයට පාස්කු ප්‍රහාරය දරුණු ලෙස බලපෑවා. අනෙක් අතට මෙම ප්‍රහාරය එල්ල කෙරෙන බව දැන දැනත් එය වැළැක්වීම සඳහා කිසිදු සාධනීය පියවරක් ගත්තේ නැහැ. මේ ප්‍රහාරය අන්තවාදී කණ්ඩායමක වුවමනාව පමණක් නොවෙයි, බලය ලබාගැනීම සඳහා යොදා ගත් බවටත් සාක්ෂි තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන්න 2019 දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. ඒ නිර්දේශවලට කුමක් සිදුවූයේදැයි දන්නේ නැහැ. ඒ වගේම රුපියල් කෝටි ගණනක් වියදම් කර, පුද්ගලයින් 450කට අධික සංඛ්‍යාවක් සාක්ෂි විමසූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කුමක්දැයි ජනතාව දන්නේ නැහැ. ඉතා අමාරුවෙන් කාදිනල් හිමිපානන්ට වාර්තාවක් ලබාදුන්නත් එහි පිටු 1500ක් පමණ අඩුයි. මේ විදිහට තොරතුරු හංගන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලධාරීන් වැරදිකරුවන් ලෙස නම් කළත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති මුක්තිය යටතේ චූදිතයෙක් කළ නොහැකි වුණා. නමුත් වැරදිකරුවෙක් කළ මෛත්‍රීපාල සිරිසේන අදාළ වන්දි මුදල මේ දක්වා නොගෙවා විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා. කිතුනු සභාවත් ජාතික ජන බලවේගයත් මුල සිටම යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනවා. සෑම මසකම 21වැනි දින පල්ලිය හන්දියේදී ජාතික ජන බලවේගයේ විරෝධතාවක් දැක්වූවා. වසර පහක් පුරා මේ ක්‍රියාමාර්ග තුළින් යුක්තිය ඉටුකර ගත නොහැකි වුණා. අද විපක්ෂයේ සිටිමින් කෑ ගහන සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස එදා යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන්. රනිල් වික්‍රමසිංහ වගේම මේ සියලු දෙනාත් වගකියන්න ඕනෑ. මූලික අයිතිවාසිකම් නඩුවේදී අද විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස ඇතුළු එදා කැබිනට් මණ්ඩලයේ සිටි අයත් චූදිතයෝ බව මතක තියාගන්න ඕනෑ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දෙන්න ඕනෑ කියල කෑ ගහන බොහෝ දෙනෙක් සිංහල අන්තවාදය පෝෂණය කළ අය බව මතක් කර දෙන්න ඕනෑ. පවතින ආණ්ඩු පක්ෂයෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුවෙවි යැයි කවුරුන් හෝ බලාපොරොත්තු වෙනවා නම්, එය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.

බලය සඳහා කෑදරකමින් ක්‍රියාකරන කුහක දේශපාලනයක් අපේ රටේ තිබෙනවා. ඒ අතර කවුරුන් හෝ ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් අවංකව යුක්තිය බලාපොරොත්තු වෙනවා නම්, එය දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ජන බලවේගයේ පැහැදිලි ප්‍රතිපත්තිය සෑම ආගමකටම, සංස්කෘතියකටම ගරු කිරීමයි. අපේ පාලනයක් යටතේ මෙවැනි තත්වයක් ඇති නොවෙන ලෙස ජාතික සහ ආගමික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා. අද ලබාදෙන ප්‍රතිඥාව අනුව අපේ පාලනයක් යටතේ කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ශක්තියක් වෙන්න සියලුම දෙනා ඒකරාශී වෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

Easter-Attack-Press

“ස්වයං ඝාතක කණ්ඩායම් නිර්මාණය කිරීම යූ ටියුබ් බලලා කෑම උයන්න ඉගෙන ගන්නවා වගේ වැඩක් නොවෙයි”
-ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම-

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මම එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ශානි අබේසේකර යන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියා. එම කොමිසමේදී අනාවරණය වූ කරුණු අනුව විමර්ශන කටයුතු සිදුවුණේදැයි සහ මේ ප්‍රහාරය සිදුකරන්නේ මොන වගේ කුමන්ත්‍රණකාරී පසුබිමකදැයි මූලික වශයෙන් පැහැදිලි කරන්නම්. මේ කුමන්ත්‍රණය සිදුකරන්නේ දේශපාලන බලපෙරළියක් සඳහා වූ වුවමනාවකින්ද, 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වෙනවාත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ක්‍රියාවලිය ඒ දක්වා සිදුකළ නිලධාරීන් මාරුකර ඉන් පසුව සම්පූර්ණයෙන්ම අඩපණ කර දමනවා. මේ කරුණු පිළිබඳව අද දක්වාම කිසිදු විමර්ශනයක් සිදුකර නැහැ. සහරාන් ඇතුළු කණ්ඩායමට ඉහළින් සිටින අබුහිඩ් නම් පුද්ගලයෙක් ගැන ජනාධිපති කොමිෂමේදී හෙළි වුණා. නමුත් ඔහු පිළිබඳව මේ දක්වා ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයෙක්ද ඔහු විදේශිකයෙක්ද, ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද එහෙමත් නැතිනම් එය ඇත්ත නමක්ද බොරු නමක්ද එවැනි ආරූඪ නාමයකින් කෙනෙක් ජීවත් වෙනවාද වැනි කරුණු කිසිවක් ගැන පරීක්ෂණ පවත්වා නැහැ.

ප්‍රහාරය එල්ලවීමත් සමගම වාගේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩු පවරා ඒ නඩුවලින් ඔවුන් නිදහස් වූවා. ඊට අමතරව විශේෂ අපරාධ නඩුවක් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ තවමත් විභාග වෙමින් පවතිනවා. ඒ හැර වෙනත් කිසිම අපරාධ නඩුවක් අද වෙනතුරු අධිකරණයක් ඉදිරියේ පවරා නැහැ. ඒ වගේම තාජ් හෝටලයේ බෝම්බ පුපුරවා ගත් ජමීල්, දෙහිවල පල්ලියකදී ආරක්ෂක නිලධාරියාගේ ප්‍රශ්න කිරීමට ලක්ව ඔහුගේ පදිංචිය තහවුරු කර ගන්න කොලොන්නාවේ නිවසට දුරකථන ඇමතුමක් ගන්නවා. එයට උත්තර දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්. ඔවුන් ජමීල්ගේ ගෙදර ගිහින් හිටියේ ඇයි කියලා මේ දක්වා විමර්ශනයට ලක්කර තිබෙනවාද? ඒ වගේම සාරා ජෙස්මින් සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. 2023 දක්වා සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ. සාම්පල් පරීක්ෂා කර බැලුවත් අවස්ථා කිහිපයකදීම සමපාත වුණේ නැහැ. අවසන් වශයෙන් එම සාම්පල් තහවුරු වූ බව කීවත් ඒ සම්බන්ධයෙන් විශාල සැකයක් සමාජයේ පවතිනවා. ඩී.එන්.ඒ. සම්බන්ධයෙන් මේ කතාව ඇත්තක්ද? වෙනත් දෙයක් හංගන්න කරන උත්සාහයක්ද? ඒ වගේම සාරා ජෙස්මින් සත්‍ය වශයෙන්ම මරණයට පත්වූවාද? නැත්නම් ජීවත් වෙනවාද? මේ වැනි කරුණු ගණනාවක් විමර්ශන තුළින් නිරාකරණය වී නැහැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිය දිවි නසා ගන්නා ඝාතක කණ්ඩායම් නිර්මාණය කළේ සෑහෙන කාලයක් ගිය පසුවයි. යූ. ටියුබ් බලලා කෑම උයන්න ඉගෙන ගන්නවා වගේ වැඩක් නොවෙයි, මෙවැනි ස්වයං ඝාතක කණ්ඩායම් නිර්මාණය කිරීම. ඔවුන්ගේ මොළ සුද්ද කළේ කවුද? මෙවැනි කණ්ඩායම් පුහුණු කිරීමට අවුරුදු කීයක් ගතවෙනවාද? මේකත් හරියට ලංකාවේ කුඩු නෙට්වර්ක් එක වගෙයි. කුඩු අහුවෙනවා, උඩින් ඉන්න කෙනෙක් සොයා ගන්න බැහැ. සහරාන්ලට මේ පාඩම් ඉගැන්වූ පුද්ගලයන් කවුදැයි මේ දක්වා විමර්ශනවලින් හෙළිකර ගෙන නැහැ. මුලින් විමර්ශනය කළ නිලධාරීන් පන්නා දැමුවාට පස්සේ විමර්ශන කටයුතු නිසියාකාරව සිදුවුණාද? මෙවැනි ගැටලු නිරාකරණය කර ගන්න නම්, වින්දිතයන්ට සාධාරණයක් ඉටුකර ගන්න නම්, අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතුයි. අපි මේ ප්‍රඥප්තියෙන් තහවුරු කරන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රටේ ජනතාවට ඉටුකළ යුතු යුක්තිය ඉටුකරන බව අවධාරණය කරන්නයි.

Easter-Attack-Press

“ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අගමැති අද ජනාධිපති වුවත් වින්දිතයන්ට සාධාරණත්වය ඉටු වේ නම් ඒ ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ පමණයි”
-කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ආචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු-

මේ මාධ්‍ය සාකච්ඡාවට අපි සහභාගී වෙන්නේ ජාතික සමගිය සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් මුලසිටම ජාතික ජන බලවේගය සමග එක්ව ක්‍රියාකළ කණ්ඩායමක් වශයෙන්. 2020 මහා මැතිවරණයේදී අපි කළ යුත්තේ කුමක්ද සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන බව පත්‍රිකාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මේ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූයේ කතෝලික කිතුනු ජනතාව පමණක් නොවෙයි. ඒ වගේම ඉස්ලාම් භක්තික මුස්ලිම් ප්‍රජාවත් තවත් ආකාරයකින් වින්දිතයන් බවට පත්වුණා. තමන් කිසිසේත්ම නොදන්නා ම්ලේච්ඡ ප්‍රහාරයකට වගකියන්න ඔවුන්ට සිදුවූවා. කතෝලික කතුනු ජනතාවත් මුස්ලිම් ජනතාවත් භෞතිකව වින්දිතයන් බවට පත්වූ ඒ ප්‍රහාරය වෙනුවෙන් ජාතික සමගිය ගොඩනඟන්න අපි මුල සිටම ක්‍රියා කළා. මේ මැතිවරණ වර්ෂයේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටින්න ශුද්ධ වූ අයිතියක් වගේම විශ්වසනීය බවක් අපට තිබෙනවා. මෙය පැහැදිලිවම දේශපාලන බලය ලබා ගැනීම සඳහා එල්ල කළ ප්‍රහාරයක් නම්, ඒ වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය දේශපාලනිකවම විසඳා ගත යුතුයි.

මේ රටේ බහුතරයක් ජනතාව සිංහල බෞද්ධ. ඔවුන්ගෙන් ඉතාමත් සුළු පිරිසක් අන්තවාදී වී ක්‍රියාකළත් සාතිශය බහුතරයක් ජනතාව පක්ෂ දේශපාලනය නිසා අන්තවාදී වූයේ නැහැ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් බලයට පත්වූ අය වින්දිතයන් වෙනුවෙන් කිසිදු සාධාරණත්වයක් ඉටුකළේ නැහැ. එදා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිටි අගමැති අද ජනාධිපති වී වින්දිතයන්ට සාධාරණත්වය ඉටුකරන්න බැරි නම්, එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි. ඒ ශුද්ධ වූ අයිතිය ලබාගැනීම සඳහා අපි දිගටම ක්‍රියාකරනවා.

Easter-Attack-Press

“පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවට ජාතික ජන බලවේගය සහතික වෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර-

රෝමයේ සිටි දාර්ශනිකයෙක් සහ නීතිඥවරයෙක් වන මාකස් සිසිරෝ එක් අවස්ථාවක ප්‍රකාශ කර තිබෙනවා, “අධිරාජ්‍යයක් බිඳවැටෙන අවස්ථාවේ එහි නීතිය උන්මත්තක ස්වභාවයක් උසුලනවා” යනුවෙන්. අපේ රට කඩා වැටීමේදී නීතියේ උන්මත්තක ස්වභාවය ආරම්භ වී තිබුණා. අපේ රටේ මානව හිමිකම් කඩකළ බවට ඔප්පු වූ පුද්ගලයෙක් පොලිස්පති වී සිටිනවා. ඒ වගේම පුද්ගලයන්ට පොලීසියෙන් පහර දී, පොලීසි තුළදී පුද්ගලයන් මිය යෑම අලුත් දේවල් නොවෙයි. තරුණයෙකුට පොලීසියෙන් පහර දීම නිසා ඔහුගේ වෘෂණ කෝෂයක් පවා ශල්‍යකර්මයකින් ඉවත් කිරීමේ තත්වයක් උදාවුණා. යුක්තිය යනුවෙන් නම් කළ මෙහෙයුමක් දියත් කර, කන් හැන්දෙන් මැනිය හැකි කුඩු අල්ලනවා. ටොන් ගණන් ගේන ඒවා අල්ලන්නේ නැහැ. පවතින උම්මත්තක ස්වභාවය මේකයි. ආගමක් ගැන කවියක් හෝ පොතක් ලීවොත් ඒ කලාකරුවන්ව අත්අඩංගුවට ගෙන ආගම්වලට අපහාස කිරීමේ චෝදනා කරනවා. නමුත් රටේ සිදු කළ ම්ලේච්ඡම පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් සම්පූර්ණ වුවත් එහි වගඋත්තරකරුවන් අල්ලන්න හැකි වී නැහැ. ඒ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හතරවැනි විවාදයත් පවත්වන්න සූදානම් වෙනවා. කථානායක ප්‍රකාශ කරන ආකාරයට ඒ වෙනුවෙන් රුපියල් මිලියන 45ක් පමණ වැය වෙනවා. කලින් විවාදවලදී වින්දිතයන්ට ඉටුවී තිබෙන යුක්තිය මොකක්ද? පැවරූ නඩු මොනවාද?

ඉතාම හොඳින් රාජකාරිය ඉටුකළ රස පරීක්ෂකවරයෙක් වන මෙන්ඩිස් මහත්මයා මෑතකදී ප්‍රකාශ කළේ ඕනෑම අපරාධයක් විසඳන්න පොලීසියට සහ සී.අයි.ඩී. එකට හැකි වුවත් ආණ්ඩුව අපරාධයක් කර ඇත්නම් සොයාගත නොහැකි බවයි. අද මහජන මතය වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරය යම් දේශපාලන කණ්ඩායමක් බලයට පැමිණීම සඳහා කළ කුමන්ත්‍රණයක් හැටියටයි. දඩයම කළේ කවුද යන්න අපි නොදැක්කාට දඩයම කරේ තියාගෙන ගිය කෙනා අපි කවුරුත් දන්නවා. සජිත් ප්‍රේමදාස තමන්ගේ ආණ්ඩුවක් යටතේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බව ප්‍රකාශ කර තිබුණා. ප්‍රහාරය එල්ල වන විට පොලීසිය බාර ඇමති වී සිටියේ රංජිත් මද්දුම බණ්ඩාර බව සජිත් ප්‍රේමදාසට අමතකයි. අද සමගි ජන බලවේගයේ මහ ලේකම් හැටියට මද්දුම බණ්ඩාර පත්කරගෙන යුක්තිය ඉෂ්ට කර ගන්න පුළුවන්ද? ජාතික ජන බලවේගයටත්, පුරවැසියන්ටත් දැනට හැකියාව තිබෙන්නේ අදාළ කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටත් ජනතාව දැනුවත් කිරීමටත් පමණයි. පැමිණිලි සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකරන්නේ නැතිනම් පවතින රජයේ කැමැත්ත ඒකයි. කවදාවත් රනිල් වික්‍රමසිංහ යටතේ පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඔහු උත්සාහ කරන්නේ තවත් බොරු පාර්ලිමේන්තු විවාදයක් කිරීමට පමණයි. නමුත් අවශ්‍ය වන්නේ නීතිපතිවරයා විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමයි. ජාතික ජන බලවේගය යටතේ නිසි පරීක්ෂණ පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි ජනතාවට සපථ කර කියනවා.

ඒ සම්බන්ධව අපේ මේ ප්‍රඥප්තියෙන් විවෘතව සඳහන් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ මූලික හිමිකම් කඩකිරීමේ පෙත්සම්වලින් වරදකරුවන් වූ අයට දඩ මුදලක් පනවනවා මිස අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ හැකියාවක් මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිශ්චයකදී ලබාගන්න බැහැ. දඬුවම් ලබාදෙන්න නම්, අපරාධ චෝදනා ගොනුකරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපරාධ චෝදනා ගොනුකිරීම අපි සිදුකරනවා. ඒ වගේම දැනටමත් විභාග වෙමින් පවතින නමුදු ප්‍රමුඛතා පදනමක් යටතේ විභාග කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් මේ වන විට රටින් පැනගොස් සිටින මේ අපරාධයට සම්බන්ධ සියලුම අපරාධකරුවන් නැවත ගෙන්වා ගැනීමටත් ක්‍රියාකර, මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් මේ තුළින් හෙළිකර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට අපරාධ නඩු පවරා වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවට ජාතික ජන බලවේගය සහතික වෙනවා. අද දින මාධ්‍යයට නිකුත් කරන මේ ප්‍රඥප්තියේ පිටපතක් කාදිනල් හිමිපාණන්ට ලබාදෙනවා. මේ රටේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන්ට බියෙන්, සැකයෙන් තොරව ජීවත් වීමේ හැකියාව නිර්මාණය කර දෙන බවට අපි පොරොන්දු වෙනවා.