Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරනු ලබන අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපැතුම්!

-Colombo, December 25, 2023-

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිමිති කරගනිමින් දෙසැ. 25 දිනයේ ලොව පුරා කිතුනු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් සමරනු ලබන අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපතනු කැමැත්තෙමු.

ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ආ දිනය ලෙස පොදුවේ හඳුන්වනු ලබන නත්තලෙහි වැදගත්කම වනුයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ වැදගත් කොටසක් වන සහෝදරත්වය හා සහජීවනය මිනිස් සිත් තුළ වගා කර ගැනීම සඳහා වූ ප්‍රධානතම ආගමික නිමිත්ත එය වීමය. එසේම නත්තල් දිනය සාමයේ හා සහෝදරත්වයේ පණිවිඩය සමාජයට බෙදාහැරීමේ අවශ්‍යතාව අවධාරණය කර ගැනීමට අගනා අවස්ථාවකි.

ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට කුසගින්නේ නින්දට යාමට සිදු වී ඇති රටක නත්තල උත්සවාකාරයෙන් සැමරීමට හැකියාවක් නැත. එහෙත් නත්තල විසින් ප්‍රකට කරන ප්‍රේමය, සහෝදරත්වය, සහජීවනය වැනි මානව ගුණාංගවලින් යුතුව අසල්වැසියා දෙස බැලීමට එම තත්වය බාධාවක් නොවේ.

ජනතාව පීඩනයට පත් කරන පාලනයට එරෙහිව ජනතාවගේ පාර්ශ්වයේ සිට සටන් වැදුණු ආගමික නායකයෙක් වන ක්‍රිස්තුස් වහන්සේ විසින් ප්‍රකට කළ මානව ගුණයන්ගෙන් පිරිපුන්, පවතින අසාධාරණය ප්‍රශ්න කරන හා කැපකිරීම්වලට ඉදිරිපත් වන මිනිසුන් වඩ වඩාත් අපට අවැසිය; එවැනි මිනිසුන්ගෙන් සමන්විත සමාජයක්ද අපට අවැසිය. ඒ වෙනුවෙන් වූ අදිටන ශක්තිමත් කර ගන්නා දිනය බවටද නත්තල් දිනය පත් කර ගන්නා මෙන් සියලු ලාංකේය කිතුනු බැතිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

අනුර කුමාර දිසානායක

නායක

ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය