Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා අපි ඔබට ආදර්ශයෙන් ඔප්පු කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ මහරගම ව්‍යාපාරික හමුව – 2024.08.11 – Ariyana Reach උත්සව ශාලාව-)

Business-Forum-Maharagama-Anura

ඔබ, සැප්තැම්බර් 21 මැතිවරණයකට මුහුණ දෙනවා. මේ ඔබ මුහුණ දෙන පළමු මැතිවරණය නොවෙයි. ඔබ මෙතෙක් ආණ්ඩු හැදුවත්, නායකයන් ගෙනාවත් ඉතා කෙටි කාලයකින් එම විශ්වාසය බිඳ වැටීමට පටන් ගන්නවා. මම ඔබට එක පොරොන්දුවක් දෙන්නම්, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනකින් තරම්වත් හානියක් වෙන්න ඉඩ තබන්නේ නැති බවට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු ඔබගේ වුවමනාවත්, ආණ්ඩුවේ වුවමනාවත් එකට සමපාත වෙන ආණ්ඩුවක්. ඔබ සහ අප යන එක අරමුණකට වැඩ කරන, එක ඉලක්කයක් ජයග්‍රහණය කිරීම සඳහා වැඩකරන පොදු මෙහෙයුමක් අපට තිබෙනවා. මීට පෙර හැදුණු ආණ්ඩු ජනතාවගේ අපේක්ෂාවත්, පාලකයාගේ අපේක්ෂාවත් දෙකක්.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයෙන් අයින් වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. එහිදී ඔහු “මගේ අරමුණු ඉටු වුණා, තිබුණු නඩු ටික අයින් කර ගත්තා” කිවුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන අවස්ථාවේ ඔහුට වංචා, දූෂණ, අපරාධ පිළිබඳ නඩු ගණනාවක් තිබුණා. ඔහු ජනාධිපති වුණු විගසම ඔහුගේ නීතිඥවරු අධිකරණයට ගොස් ඔහුට විරුද්ධව තිබූ නඩු ටික අයින් කර ගත්තා. ගෝඨාභයට ජනාධිපති වීම නිසා තිබුණු ලාභය නඩු ඉවත්කර ගැනීමයි. ඒ නිසා අපේ රටේ හැමදාම ජනතාවගේ අරමුණත්, පාලකයාගේ අරමුණත් දෙකක් වුණා. රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාලලා 2015 බලය ගන්නේ වංචාව නතර කරන්නත්, වංචා කළ අයට දඬුවම් දෙන්නත්. බලය පිහිටුවන්නේ ජනවාරි 08. මහ බැංකුවට ගහන්නේ පෙබරවාරි 28. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අපේක්ෂාවයි, ජනතාවගේ අපේක්ෂාවයි එකක් නොවෙයි, දෙකක්.

Business-Forum-Maharagama-Crowd

අපේ රට ආර්ථික වශයෙන් ප්‍රධාන ගැටලු දෙකක හිරවෙලා තිබෙනවා. එකක් තමයි, වසරකට අපට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න අපි සමත් නැහැ. අපේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වෙන විට අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20ක්. ණය ගෙවීම සඳහා අතිරේක වශයෙන් ඩොලර් බිලියන 06ක් අවශ්‍ය වෙනවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 03කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6.8ක් ලැබී තිබෙනවා. අපට වසරකට ඩොලර් බිලියන 05 – 6ක හිඟයක් තිබෙනවා. ඒ කියන්නේ වසරකට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න සමත් නැහැ. ඒ නිසා අපට ණය ගන්න සිදුවෙනවා. එසේ නැතිනම් විකුණා සොයාගත යුතු වෙනවා. මේ අර්බුදය එන්නේ 1980 සිට. මේ නිසා මෙතෙක් අප කළේ, එක්කෝ ණයක් ගැනීම හෝ විකුණා මුදල් සොයා ගැනීමක්. මුලින්ම පේෂකර්මාන්ත ශාලා විකිණුවා. ඊළඟට තේ වතු, ඇඹිලිපිටියේ කඩදාසි, කන්තලේ සීනි, ඔරුවල වානේ, තුල්හිරියේ තුනී ලෑලි, දංකොටුවේ පිඟන්, මාතලේ පිඟන්, කර්මාන්ත ශාලා විකිණුවා. ඊළඟට අප සතුව තිබූ මූල්‍ය සමාගම් විකුණන්න පටන් ගත්තා. දැන් ටෙලිකොම් එක, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්, හිල්ටන් හෝටලය විකුණන්න සූදානම් වෙනවා. ඒවා ලාභ ලබන ආයතන. බන්ධනාගාරය අසල ඉඩම විකුණන්න සූදානම් වෙනවා. හිඟ ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ එක සැලැස්මක් තමයි මේ විකිණීම. 1980 සිට අපට හිඟ ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට ගත් අනෙක් පියවර තමයි, ණය ගැනීම. 2021 වෙන කොට අපට කවුරුත් ණය නොදෙන තත්වයක් උදාවුණා. ආර්ථිකය වැටුණා. ලෝකයේ රටවල් ශ්‍රේණිගත කරන සමාගම් කිවුවා ලංකාවට ණය දෙන එක අවදානම් කියලා. නැවත කිවුවා ශ්‍රී ලංකාවට ණය දෙන්න එපා කියලා. අවසානයේ මහ බැංකුව ප්‍රකාශයක් කළා ණය ගෙවන්න නොහැකි බව. රටට අවශ්‍ය දේවල් ගෙන්නවන්න නොහැකි වුණා. ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණා. අපට දැන් පොඩි සහනයක් දැනෙනවා. එහෙම දැනෙන්නේ අපි ගත් ණය ගෙවන්නේ නැති නිසා.අතේ ගණක් ඉතිරිවෙන නිසා. රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේදී ණය ගෙවීම සඳහා කිසිවක් කළේ නැහැ. වසරකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීම සඳහා අපට ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙනවා.

දෙවෙනි අර්බුදය තමයි, වසරකට වියදම් සඳහා අවශ්‍ය වෙන රුපියල් උපයා ගැනීම. ණය වාරික හා පොලී ගෙවීමටත්, රජයේ අනෙකුත් වියදම් සඳහා අපට රුපියල් බිලියන 11,277 අවශ්‍ය වෙනවා. බදු ගැසීම් ආදියෙන් භාණ්ඩාගාරයට එන්නේ වසරකට රුපියල් බිලියන 4168යි. එහෙම නම් අපට අපේ භාණ්ඩාගාරයට එන රුපියල් ප්‍රමාණය වැඩිකර ගැනීමට සහ වියදම් ප්‍රමාණය අඩුකර ගැනීමට සැලැස්මක් අවශ්‍යයි. අපිට අද මේ භුක්ති විඳීමට සිදුව තිබෙන්නේ දශක ගණනාවක ගෙන ගිය ආර්ථික ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයි. රනිල්ගේ උපායමාර්ගය තව තව බදු ගැසීමයි.

Business-Forum-Maharagama

අනාගත ලෝකය පාලනය කරන්නේ තාක්ෂණික මෙවලම් සහ සේවාවලින් නිෂ්පාදනය කළ හැකි රාජ්‍යයන්. ඌබර් සමාගම එක මෘදුකාංග පද්ධතියක් පාවිච්චි කරමින් ලෝකයම මෙහෙයවනවා. නමුත් ඔවුන්ට එක වාහනයක්වත් ලෝකයේ නැහැ. ඇපල් සමාගමට නවීන ස්මාර්ට් ෆෝන් එකක් නිෂ්පාදනය සහ එකලස් කිරීම වෙනුවෙන් ඩොලර් 20ත් 30ත් අතර මුදලක් වැය වෙනවා. නමුත් මේ ෆෝන් එක නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීම මෙන්ම අලෙවිකරණය වෙනුවෙන් විකුණුම් මිලෙන් 54%ක් ඒ කියන්නේ ඩොලර් 600ක ආදායමක් ලැබෙනවා. තාක්ෂණයෙන් ආදායම් උපයන්නේ මේ විදිහට. අපේ අයි.ටී. කර්මාන්තයෙන් දැන් උපයන්නේ ඩොලර් බිලියන 1.3යි. එය ඩොලර් බිලියන 05ක් කරන්න සැලසුම් සකස් කර වසර ගණනාවක් වෙනවා. නමුත් ක්‍රියාත්මක කළේ නැහැ. ඉන්දියාවේ එම ආදායම ඩොලර් බිලියන 253යි. මතුපිට තලයේදී පාලකයන් වංචා කිරීම, අනවශ්‍ය ඉදිකිරීම් වගේ දේවල් සිදුකළාට වඩා අපරාධයක් ඒ යුගයේදී අත්පත් කර ගත යුතු ජයග්‍රහණ අත්පත් කර නොගැනීමෙන් සිදුකර තිබෙනවා. විශාලම අපරාධය ඒකයි. අපි අඛණ්ඩවම පැහැදිලි කරන ආකාරයටම මේ රට ගොඩනඟන්න නම්, වංචාව, දූෂණ, නාස්තිය නතර කළ යුතුමයි. කිසිදු පිරිසිදු ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැහැ. ඇමතිවරුන්ට පගා ගෙවන්න පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ.

අපි දේශීය හා විදේශීය ආයෝජකයන් කියන්නේ එක කතාවයි. “ඔබගෙන් අපට ඇල්වතුර වීදුරවක්වත් එපා. ඔබ ගෙනෙන ව්‍යාපෘතිය රටට හොඳද, නරකද” කියලා විතරයි අපි බලන්නේ. වංචාව, දූෂණය නතර කර, නීතියක් සහිත රටක් ගොඩනඟන්න ඕනෑ. පොලිස්පතිවරයාගෙ වැඩ තහනම් කර, වැඩබලන පොලිස්පති වරයෙක් පත්කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දුන්නා. ජනාධිපතිවරයා අධිකරණ තීන්දුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. කැලෑ නීතිය තිබෙන රටකට මොන ආයෝජකයන්ද එන්නේ. රනිල්ට ඕනදේ කරන්න පොලිස්පති පුටුවේ දේශබන්දු තෙන්නකෝන් ඉන්න ඕනෑ. නමුත් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ තව ඕනෑ තරම් පිරිස් ඉන්නවා. විදෙස් ආයෝජන කියන්නේ රටක කීර්තිය පිළිබඳවත් ප්‍රශ්නයක්. රටක් මොනතරම් සදාචාරසම්පන්නද කියන ප්‍රශ්නයක්. අපට බේරා ගන්න වංචාකාරයන්, අපරාධකාරයන් නැහැ. අපේ පාලනයක් යටතේ නීතිය, විධානය, ආධිපත්‍යය තහවුරු කරනවා.

Business-Forum-Maharagama-Meeting

සිංගප්පූරුවේ අගමැතිතුමා මෑතකදී කළ ප්‍රකාශයක් අනුව ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි වත්කම් දෙකක් තිබෙන බව හඳුන්වාදී තිබුණා. එනම් එරට සතුව තිබෙන විදෙස් සංචිත සහ එරට රාජ්‍ය සේවයයි. රාජ්‍ය සේවය කියන්නේ අපරාධයක් නොවෙයි. දේශපාලන පත්කිරීම්, දේශපාලන මාරුකිරීම් සහ දේශපාලන උසස් කිරීම් තුළින් මේ රටේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම තත්වයට පත්වී තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පත්කරනවා. ඒ වගේම අපේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින් ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. දැන් තිබෙන්නේ රටේ විවිධ සම්පත් සහ භෞතික පිහිටීම්වලට අදාළ වටිනාකම් එක් එක් රටට කප්පම් දෙන ප්‍රතිපත්තියක්. ලෝකයේ කිසිදු බලවත් රාජ්‍යයකට අපිව සල්ලි දීලා ගන්න බැහැ. ඉන්දියාවේ විදේශ ඇමතිතුමා හමුවූ අවස්ථාවේ අපි පැහැදිලිව කියා සිටියේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපාන කිසිදු ක්‍රියාමාර්ගයක් අපි නොගන්නා බවයි. රුසියානු රාජ්‍යයට තර්ජනයක් වන ආකාරයට යුක්රේනය හැසිරුණා. ඒ නිසා යුක්රේනයට ඇති වී තිබෙන ප්‍රතිවිපාක අපි දකිනවා. නමුත් ආර්ථික කරුණුවලදී ලෝකය හමුවේ අපි අනුගමනය කරන්නේ අපේ රටේ ජාතික ආර්ථිකයට කෙතරම් දුරට අදාළද යන්න මූලික කරුණ පමණයි.

මේ අත්තිවාරම මත රට ගොඩනැගීම අපි ආරම්භ කරනවා. අපේ පාලනයක් ආරම්භයේදී සහනාධාර ලැබිය යුතු ජනතාව වෙනුවෙන් ආධාර තහවුරු කරනවා. සහනාධාර කියන්නේ ලෝකයේ දියුණු රටවල් පවා අවශ්‍ය කරන ජනතාවට ලබාදෙන දෙයක් මිස අපරාධයක් නොවෙයි. ඒ වගේම සෞඛ්‍යයත් මූලිකයි. ආර්ථිකය සමග ක්‍රමානුකූලව ඒ ජනතාව බද්ධ කිරීමෙන් සහනාධාර ඉවත් කිරීමේ සැලසුම් දියත් කරනවා. අද සිදුකරන්නේ පෞද්ගලික ව්‍යවසායකයන් උපයන දෙයින් බදු ගහලා ආණ්ඩුවට අරගෙන තමන්ගේ කටයුතු වෙනුවෙන් වියදම් කිරීමයි. ඡන්දය ආසන්නයේදී පවා රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් අමතරව වෙන්කර ගත්තා. පෞද්ගලික ව්‍යවසායකයා, කර්මාන්තකරුවා උපයන ආදායම් වැඩිකරගෙන ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසීම, මඟ පෙන්වීම් සිදුකිරීම රාජ්‍යය සතු මූලික වගකීමයි. ඔවුන් වෙත විද්‍යාව හා තාක්ෂණයේ නවීනතම උපකරණ හා දැනුම ලබා දෙනවා. ආයුර්වේදය අද ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. නමුත් දැනට පවතින ලී පතුරු තබා පත්තු බැඳීමේ ක්‍රමවේදයෙන් එය ලෝකයට ගෙන යන්න බැහැ. ඒ වෙනුවෙන් පර්යේෂණ අවශ්‍යයි. විදෙස් තාක්ෂණය අවශ්‍යයි නම්, එය අත්පත් කර දෙනවා. පෙට්්‍රල් ෂෙඩ්වලින් තෙල් ගහන්න ආයෝජකයන් ගෙන්වන්න ඕනෑද? සයිනොෆැක් ආයතනයට පෙට්්‍රල් ෂෙඩ් 200ක් දුන්නා කියලා අලුතින් ලැබෙන තාක්ෂණය මොකක්ද? ඒ වගේම සමහර ආයෝජකයන් අපට ප්‍රාග්ධනය ගෙන්වා ගන්නත් අවශ්‍ය වෙනවා. විදෙස් ආයෝජන කැඳවන්න අවශ්‍ය වෙන්නේ තාක්ෂණය, ප්‍රාග්ධනය සහ මාර්කට් එකේ සුවිශේෂි හැකියාවන් තිබෙන අංශවලින්.

Business-Forum-Maharagama-AKD-Speech

ඒ වගේම අලුතින් ගොඩනැඟෙන ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවන් ලබාගෙන අධ්‍යයනය කර බලා දේපළ ඇපකර නැතිව ණය මුදල් ලබාදෙන සංවර්ධන බැංකුවක් පිහිටුවනවා. ව්‍යවසායකයන්ට අඩු පොලියට ණය ලබාදෙනවා. ඒ වගේම ආණ්ඩුව මැදිහත් වී තෝරා ගත් ක්ෂේත්‍ර සඳහා, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර වෙනුවෙන් කෙටි කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. විදේශ සංචාර සඳහා චීන ජාතිකයන් මිලියන 120ක් වසරකට රටින් පිටවී යනවා. එයින් 5%ක් අපේ රටට ගෙන්වා ගත හැකි නම්, මිලියන 06ක සංචාරකයන් පැමිණෙනවා. ඔවුන් බෞද්ධාගම සමග සංස්කෘතික බැඳීමක් ඇති අයයි. කර්මාන්තකරුවා සහ ආණ්ඩුව එකම ඉලක්කයකට පොර බදනවා. ව්‍යාපාරිකයා වැටුණොත් ඔහු නැවත ගොඩගන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. නමුත් අපේ සතුරන් ප්‍රචාරය කරමින් සිටින්නේ ඔවුන්ගේ දේපළ අත්පත් කර ගන්නා බවයි. මේ මොහොතේ ඔවුන් සිදුකරමින් සිටින්නේ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් ඇතුළු රාජ්‍ය සම්පත් ඔවුන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් පරිහරණය කිරීමයි. අපගේ සැලැස්ම පෞද්ගලික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උන්මාදයක් ඇතිකර කර්මාන්ත නඟා සිටුවමින් මහා භාණ්ඩාගාරයට මුදල් රැස්කිරීමයි. මේ රටේ ශ්‍රමිකයන්ට රැකියා ලබාදෙන්නේ පෞද්ගලික අංශයෙන්. ශ්‍රී ලාංකිකයන් 13,500ක් පමණ මාලදිවයිනේ සංචාරක සහ ධීවර රැකියාවල නිරතව සිටිනවා. එරටට පවතින්නේ මේ ක්ෂේත්‍ර දෙක පමණයි. අපේ රටේ ශ්‍රමිකයන් වෙත විදේශ පුහුණු වෘත්තීන් අත්පත් කර දීමට මේ පාලකයන් කටයුතු කළේ නැහැ. ඒ වගේම ජාතික ජන බලවේගයේ පාලනයකින් කිසි කෙනෙකුගෙන් පළි ගන්නේ නැහැ. නමුත් අපේ රට මේ විපතට ඇද දැමීම සඳහා ඔවුන් කරන ලද වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, මහජන දේපළ යළි පවරා ගැනීමත් වැරදිවලට දඬුවම් ලබාදීමත් සිදුකළ යුතුයි. එය කිසිසේත්ම පළි ගැනීමක් නොවෙයි. සමාජීය අවශ්‍යතාවයක්.

අපි ඉතාමත් සාමකාමීව නීති පද්ධතිය මගින් කටයුතු කරනවා. ඇතැම් නීති ප්‍රමාණවත් නැත්නම් අවශ්‍ය නීති සම්පාදනය කරනවා. ඒක ජාතික ජන බලවේගයේ පළිගැනීමක් ලෙස සතුරන් අර්ථකථනය කරමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය ආයතන මුහුණ දෙන අවශ්‍ය නිලධාරීන් පත්කිරීමේදී ඔවුන්ගේ දේශපාලනය අපට කිසිසේත්ම අදාළ නැහැ. අදාළ ක්ෂේත්‍රයේ හැකියාවන් සහ නිපුණතාවයන් තිබෙනවාද යන්න පමණක් සලකා බලනවා. ආරියශීල වික්‍රමනායක මහතා මිල්කෝ ආයතනයට පත් කිරීමේ උදාහරණය දෙන්න පුළුවන්. රට කියන්නේ, ආණ්ඩුව කියන්නේ, අපේ පෞද්ගලික දේපළක් නොවෙයි. අපි හැමදෙනාම එක්වී රට ගොඩනැගිය යුතුයි. අපේ ඇමති මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25 දෙනා පමණයි, රාජ්‍ය ඇමතිවරුන් නැහැ. ඔවුන්ගේ නිල නිවාස, ජල සහ විදුලි බිල් ගෙවීම් අනවශ්‍ය වාහන ලබාදීම් සියල්ල නතර කරනවා. දේශපාලකයන් වංචා, දූෂණ සිදුකරමින් සාමාන්‍ය ජනතාවට රට හදන්න කියලා හරියනවාද? පසුගිය ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාසයකට රුපියල් ලක්ෂයකින් වැඩි කළා. අපේ මන්ත්‍රීවරුන් තිදෙනා එය අනවශ්‍ය බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නා. සමහර රෝහල් තිබෙනවා, ඇමිබියුලන්ස් එකක් නැති. නමුත් රනිල් වික්‍රමසිංහ පිටුපස්සෙන්, මහින්ද රාජපක්ෂ පිටුපස්සෙන් වගේම ශිරන්ති රාජපක්ෂ පිටුපස්සෙන් ඇම්බියුලන්ස් ගමන් කරනවා. දේශපාලනය මොකක්ද කියලා අපි ඔබට ආදර්ශයෙන් ඔප්පු කරනවා.

මහජනයාට වඩා උඩින්, සඳලු තලයේ ඉන්න දේශපාලනය අපි අවසන් කරනවා. අපි අපේ වගකීමට දේශපාලනය තෝරා ගෙන තිබෙනවා. ඔබ ඔබේ වගකීම යටතේ වෘත්තියක් තෝරාගෙන තිබෙනවා. අපි දෙගොල්ල අතරේ පරතරයක් තිබිය යුතුද? රට විශාල අගාධයක තිබෙන්නේ. සැප්තැම්බර් 21දායින් පසුව මෙය විසඳීමේ ආරම්භය ගන්නවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම එක්වී ධෛර්යයෙන් ක්‍රියාකරමු කියලා ආරාධනා කරනවා.