Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“නව නිදහස් අරගලය අපේ අතින් අවසන් කරන බවට වන අදිටන හදවතේ ගැඹුරින් සටහන් කරගනිමු” -ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි-

(ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර මහ සඟ සමුළුව – 2024.03.02)

කන්ද උඩරට මහ සඟ සමුළුව පවත්වන්නේ ඓතිහාසික දිනයකයි. එය වේදනාවෙන් පිරි දිනයක් වගේම අභිමානයෙන් හා අධිෂ්ඨානයෙන් නැගීසිටින දිනයක්. 1815 මාර්තු 02දා කන්ද උඩරට ගිවිසුම ගසා, අපේ රට ලියවිල්ලකින්ම ලියාදී පරාධීන කළා. අපේ නිදහස, අභිමානය සියල්ලම පාවා දුන්නා. විනාශ කළා. එනිසා අපි වහල්භාවයට පත්වුණා. බොහෝ විනාශයන්ට අපි ගොදුරු වුණා. එය අපට වේදනාවක්. ඇසට කඳුලක් ගෙනාවා. ඒ පරාධීනත්වය ළඟම වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ අධිෂ්ඨානය, නිදහස උදෙසා වන නැගී සිටීම, අභිමානවත් ලෙස සටහන් වී තිබෙනවා, අපි දළදා මාළිගාව ඉදිරිපස මහ මළුවේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දක්වමින් තමයි සඟ සමුළුව සඳහා පා ගමනින් වැඩම කළේ. ඒ පාවාදීමෙන් අවුරුදු 209ක් ගතවෙන තැන උන්වහන්සේගේ නැගීසිටීමේ හයිය එදාටත් වඩා වැඩියෙන් ඕන වුණු වෙලාවක තමයි මේ මහ මඟ සමුළුව පවත්වන්නේ.

අපි දේශපාලන, ආර්ථික, සමාජමය, සංස්කෘතික වශයෙන් අපේ රට වනසලා. ඒ වැනසීමේ වේදනාව ශ්‍රී ලංකාව පුරාම ජාති, ආගම්, කුල භේදයකින් තොරව අපට සෑම තැනින්ම ඇහෙනවා. හාමුදුරුවරු කියනවා අපේ අට පිරිකරටත් බදු ගහලා. පාත්තරේටත් වැට් ගහලා. පොඩි ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදෙන්න අමාරුයි කියනවා. අනුන්ගේ දානයෙන් යැපෙන අපටත් ජීවත් වීම අමාරුවෙලා තිබෙනවා. විදුලි බිල, ජල බිල, ගෙවන්න, බෙහෙත් ටික ගන්න, ඉස්ලාම්, කතෝලික, හින්දු ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන පල්ලි, කෝවිල් පවත්වාගෙන යන්න අමාරුයි. ඒ වගේම තමයි රටේ සියලුම දෙනාම වසර 133ක සුද්දාගේ පාලනයත්, වසර 76ක කළු සුද්දාගේ පාලනය යටතේත් කරන ලද විනාශය තමයි අපට හැම තැනින්ම ඇහෙන්න තිබෙන්නේ.

කාටද අපි බණ කියලා තිබෙන්නේ. කරඬුව ඔලුවෙ තියලා ගෙනාව පාලකයෝ රට හැදුවාද? මෙවැනි විනාශකාරී තත්වයකට ඇද දමා තිබෙන රට ගොඩනැගීමට වාරියපොල හිමියන්ගේ ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය, කැපකිරීම අපට නැගීසිටීමට උකහා ගැනීමට අපි මේ කන්ද උඩරට මහ සඟ සමුළුව පවත්වනවා. එදාට වඩා අද දහස් ගුණයකින් වැදගත්. “ජාතික පුනරුදයට මග කියන කන්ද උඩරට මහ සඟ සමුළුව” මේක තමයි අපේ තේමා පාඨය. මේ සැමට නායකත්වය දීම සඳහා මඟ පෙන්වීම සඳහා මේ සැම දෙනා පෙළගස්වා ගන්න මේ තේරී පත්වුණු සියලු දෙනා සුවිශාල මෙහෙයක් ඉටුකරාවි. දැල්වූ බලාපොරොත්තුවෙන් අපේක්ෂා සහගත චේතනාවෙන් මේ ඓතිහාසික දිනය නූතන තත්වයට යටතේ නැවත වතාවක් ඓතිහාසික දිනයක් බවට පත්කළා. ඒ වෙනුවෙන් අපි ශීර්ෂ ප්‍රණාමය ඔබ වහන්සේලාට පුද කරනවා. මේ සමුළුව සංවිධානය කරන්න අපි විශාල සාකච්ඡා ප්‍රමාණයක් මැතිවරණ ආසනවල කළා. පන්සලෙන් පන්සලට ගියා. 1100ක් වුණු පන්සල්වලින් 800කට ආසන්න පන්සල් ප්‍රමාණයකට ආරාධනා පත්‍ර අගෙන වැඩම කළා. ආරාම 60කින් මෙහෙණින්නාන්සේලා 219ක් මෙතන වැඩ සිටිනවා. මෙහෙණින් වහන්සේලාගේ ආරාමවලට ගොස් මුහුණට මුහුණ සාකච්ඡා කළා. සංවාදයක යෙදුණා. මල්වතු මහා විහාරයේ මහානායක හිමියන් බැහැ දකින්න පෙබරවාරි 14දා වැඩම කළා. අස්ගිරි මහා විහාරයේ මහානායක හාමුදුරුවන්, අනුනායක හාමුදුරුවන්, ලේඛකාධිකාරී හාමුදුරුවන් වහන්සේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී හාමුදුරුවන් වහන්සේ හතර නමම, කාරක සංඝ සභාව වෙනුවෙන් අපට අවස්ථාව ලබා දුන්නා. අපි මුණ ගැසී සාකච්ඡා කළා. අපි කරන්න සූදානම් වෙන්නේ මොකක්ද? අපේ සංඝ මූලස්ථාන ඇතුළු කොට ඇති “ජාතික පුනරුදයට පෙරමග කියන මහා සංඝ රත්නය කළ යුත්තේ කුමක්ද?” කියන එක ගැන අදහස් හුවමාරු කර ගත්තා. උන්වහන්සේලා ඉතාමත් ආශීර්වාදාත්මක සතුටු සහගත සිතින් සුබ පැතුවා. “ඔබ වහන්සේලා තමයි මේ වෙලාවේ මේ රට ජාතික පුනරුදයක් කරා ගෙන යන කාර්යයට නිසි නායකත්වය, අනුශාසකත්වය, මග පෙන්වීම කරන්න ඕනෙ” යනුවෙන් ආශීර්වාද කළා.

එකම ක්‍රියාත්මක භික්ෂු සංවිධානයයි රටේ තිබෙන්නේ. ඒ ‘ජාතික භික්ෂු පෙරමුණ’. අද එය මුළු භික්ෂූන් වහන්සේම බල ගන්වමින් රට පුරා යනවා. අපි පවත්වන පස්වෙනි සමුළුව. එළඹෙන 09වැනිදා බදුලු දිසා සමුළුව, 10දා කළුතර දිසා සමුළුව, මාර්තු 29 පොළොන්නරු දිසා සමුළුව, 30දා ගම්පහ දිසා සමුළුව 31 හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව, අප්‍රේල් මාසේ අනුරාධපුර සමුළුව, මැයි අම්පාර සමුළුව පවත්වනවා. මුළු රටේම ජාතික භික්ෂු පෙරමුණ යටතේ භික්ෂුන් වහන්සේලා එක පෙරමුණකට එක බලවේගයක් ලෙස බල ගන්වමින් යනවා. ඒ “ජාතික පුනරුදයකට පෙරමග කියන්න”. අද ගොවි ජනතාව, කම්කරු ජනතාව, කාන්තා බලවේගය, ව්‍යාපාරිකයන්, බැංකු ක්ෂේත්‍රයේ අය, බලවේගයන් ලෙස ගොඩනැගෙනවා. වාරියපොල සුමංගල හිමි ආරම්භ කළ නිදහස් අරගලය නිමා වුණේ නැහැ. මෙදා යුගයේ එය අපේ අතින් නිමා කරන්න සිදුවී තිබෙනවා.

නව පන්නයේ ජාතික නිදහස් අරගලයට අපි පෙරමග කියන්නේ ජාතික ජන බලවේගයටයි. මේ නිදහස් අරගලය ජයග්‍රහණය කළ හැක්කේ අනුර දිසානායක නායකත්වය දෙන ජාතික ජන බලවේගයට පමණයි. අපි හැමෝටම තිබෙන්නේ එකම අරමුණක්. 76 වසරක් හප කරපු මේ දේශය නව ජාතික නිදහස් අරගලයක් තුළින් ජයග්‍රහණය කොට සකලාකාරයෙන් විනාශ කළ දේශය පුනරුදයකට ගෙන යාම අපි හැමෝගෙම වගකීමක්. අපි අනාගතයේදී සියලුම ආගමික නායකයන්ගෙන් සමන්විත ආගමික සමුළු පවත්වමු. සියලු ඥානයන්ගෙන් පෝෂණය වෙලා තමයි ජාතික පුනරුදයට යන්න ඕනවෙලා තිබෙන්නේ. ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙලා තිබෙන සියලු බලවේගත්, අපි, ඔබ වහන්සේලාත් ඒකරාශී වෙලා මේ නිදහස් අරගලය අපේ අතින් අවසන් කරනවා කියන අධිෂ්ඨානය අපේ හදවතේ ගැඹුරින් සටහන් කරගනිමු. මේ සමාජයක් විළිරුදාවෙන් පෙළෙන්නේ. නව උපතකට තමයි මේ විළි ලාන්නේ. අපි කැමතියි ඒකට “භවතු සබ්බ මංගලම් ” කියා ආශීර්වාද කරන්න; ඒකට ශක්තියක් වෙන්න; පෙරමග කියන්න අපි සූදානම්.

“බිඳ වැටුණු සමාජය ගොඩනැගීමට මහා සංඝරත්නයෙන් මඟපෙන්වීමක් අපේක්ෂා කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත-

වර්තමානය වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික යන කරුනු හතරාකාරයෙන්ම බිඳ වැටිලා. 1815 දේශපාලනය බිඳ වැටුණා. එතැන් සිට ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙනුත් බිඳ වැටුණා. අපට පුනරුද යුගයක් බිහි කිරීමට සිදුවෙන්නේත් මේ කරුණු හතර මූලික කරගෙන. ජාතික ජන බලවේගයේ දැක්ම තමයි බිඳ වැටුණු දේශපාලනය නැවත ගොඩ නැගීම. 1815 බිඳ වැටුණු සමාජය ආරම්භක කළ හැකි වන්නේ දේශපාලන පුනරුදය ආරම්භ කිරීමෙන්. අපි තවමත් නිදහස ලබා නැහැ. අපට සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණයක් ලැබෙනවා. ඒ ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වන්නේ දේශපාලන පුනරුදයේ ආරම්භක ජයග්‍රහණය ගැනීමටයි. අද රටේ බහුතරයක් විවිධ සමාජ ස්ථරයන් ඔස්සේ පෙළගස්වමින් සිටිනවා. ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩනැගීමට තිබෙනවා. ඒ සඳහා අනුශාසනය කරන ලෙසට මේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා මඟ පෙන්වන්න. එය මහා සංඝරත්නයෙන් ලැබෙන විශාල ශක්තියක් හා ධෛර්යයක්. අපේ භික්ෂූන් වහන්සේලාගේ, මව්ලවිතුමන්ලාගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ මග පෙන්වීම, අනුශාසනය ලබන්න සූදානම්. ඔබ වහන්සේලාගේ මේ සමුළුවේ අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.

“පුනරුදයේ දේශපාලන ගමන මේ වසරේ ආරම්භ කළ හැකියි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති-

මේ සූදානම් වෙන්නේ, අපි ගමින් ගම බොහෝ පන්සල්වලට යමින් භික්ෂූන් වහන්සේලා ඇසුරෙන්, ගිහි බෞද්ධයන් ඇසුරෙන්, ලංකාවේ නොවන භික්ෂූන් වහන්සේලා සමගත් කළ ප්‍රගතිශීලි සංවාද ඇසුරෙන් මා දැනගත්, ජාතික විද්වත් සංවිධානයට, ජාතික ජන බලවේගයට වැදගත් යැයි මම සිතන දේ ඔබට ඉදිරිපත් කිරීමටයි

දේශපාලන, ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් බිඳ වැටුණු සමාජයක බොහෝ ගැමි පන්සල්වල තරුණ, මහලු භික්ෂුන් වහන්සේ අපට කියා සිටියේ මේ මේ කරුණු නිසා අපේ ගම් විනාශයි කියලා. ඒ සියලු කරුණුවල විනාශයට හේතුව උන්වහන්සේලා හඳුනාගනිමින් සිටින්නේ, 1815 අධිරාජ්‍යවාදීන්ට මේ රට භාරවීමත් ඉන් වසර සියයකට වැඩි කාලයකට පසුව තවත් පිරිසකට වසර 76ක් මේ රටේ පාලනය බාරවීමත් ඇතුළු ඒ දීර්ඝ කාලය තුළ සිදුවුණු හා සිදුවෙමින් ඇති දේශපාලනමය, සමාජමය, සංස්කෘතිකමය, ආර්ථිකමය ඛාදනය බවයි.

අපේ ගමනෙදි මුණ ගැසුණු භික්ෂූන් වහන්සේගේ ලක්ෂණ කිහිපයක් ඔබට පෙන්වා දෙන්නම්. එවැනි භික්ෂූන් වහන්සේලා පිරිසක් තමයි මෙහි වැඩ සිටින්නේ. ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ, ආගමික අනන්‍යතාවය සම්බන්ධයෙන්, ලංකාව ගොඩනැගීම සම්බන්ධයෙන්, අනෙකුත් ආගමික කණ්ඩායම් සමග වැඩ කිරීම සම්බන්ධයෙන් මධ්‍යස්ථයි. ජාතික විද්වත් සංවිධානය, ජාතික ජන බලවේගය අන්තර් වාර්ගික, අන්තර් ආගමික සංවාද සමුළු ගණනාවක් පවත්වා තිබෙනවා. පුනරුදයක් කරා යන ලංකාවකට භික්ෂූන් වහන්සේ වෙතින් දකින්නට තිබෙන ඉතා වැදගත් සුඛනම්‍ය මධ්‍යස්ථ ගුණයක්. උන්වහන්සේලා ජාතිවාද, කුලවාද, ඉස්කෝලවාද, ප්‍රාදේශීයවාදවලට විරුද්ධයි. ඒවා හැකි තරම් සමනය කරන්නට ජය ගන්නට ගම් මට්ටමෙන්, නගර මට්ටමෙන් සංවිධාන මට්ටමෙන් කටයුතු කරන අයයි. ඒ වගේම නූතන යුගයේ අප මුහුණ දී සිටින ගැටලුවලට සියලු විසඳුම් තමන් ළඟම තමන්ගේ ආගමේම තිබෙනවා යැයි විශ්වාස කරන අය නොවෙයි. බුදු දහමට, ලංකාවේ පුනරුදයට දායක වෙන්නට විශේෂ හැකියාවක් තිබෙන බව උන්වහන්සේලා විශ්වාස කරනවා. ඒත් උන්වහන්සේලා සමාජ විද්‍යාවෙන්, විද්‍යාවෙන්, නූතන ඥානයෙන් කෘෂිකර්මය පිළිබඳ අලුත් කෘෂි විද්‍යාවෙන් ඉගෙන ගන්නට අවශ්‍ය බවත් විශ්වාස කරනවා. මේ ක්‍රියාවන් සුඛනම්‍ය, මධ්‍යස්ථ ගුණයේ වැදගත් ලක්ෂණයක්. මනුෂ්‍යයා වැදගත් ඥානයක් ලෝකයේ කොහේ හෝ නිපදවා තිබේද? එය ලංකාව ගොඩනැගීම සඳහා උකහාගත යුතුයි. එය අප සතුකර ගත යුතුයි. එය අපේ දැනුමක් බවට පත්කර ගත හැකියි, යුතුයි කියන භික්ෂූන් වහන්සේලා තමයි අපට මුණගැසී තිබෙන්නේ. අනෙක් සංස්කෘතික, ඥාන පද්ධති තුළින්, ප්‍රඥා මූලාශ්‍රවලින් ඉගෙන ගන්නට ස්වාමීන් වහන්සේලා කැමතියි.

අපේ ගල්කන්දේ හාමුදුරුවෝ එක අවස්ථාවක කිවුවා “ඔබේ ගෙදර පුස්තකාල රාක්කයේ තිබෙන්නේ ජාතක පොත, ධම්ම පදය විතරක් නම් මදි. ඒවා විශිෂ්ට බව ඇත්ත. නමුත් ඔබේ පොත් රාක්කයේ ටොල්ස්ටෝයිගේ, දොස්තොව්ස්කිගේ ඇන්ටන් චෙකොෆ්ගේ පොතුත් තියෙනවා නම් තමයි ඔබේ සංස්කෘතික ජීවිතය වඩා පොහොසත් වෙන්නේ” කියා උන්වහස්සේ ප්‍රසිද්ධියේ කිවුවා. එවැනි භික්ෂුන් වහන්සේලා තමයි අපට හමුවෙන්නේ. උන්වහන්සේලා අතීතකාමී නැහැ. අතීතයෙන් ඉගෙන ගත හැකි වැදගත් පාඩම්, අපේ ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි වැදගත් පාඩම්, තිබෙන බව උන්වහන්සේලා දන්නවා. නූතන යුගයේ විතරක් ගත්තත් මාටින් වික්‍රමසිංහ මහතාගේ “අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ” කියන පොතෙහි සියලු පරිච්ඡේදවල විස්තර කරන අපේ නායක හිමිවරුන් සාහිත්‍යයට සංස්කෘතියට විසිවැනි සියවසට ආසන්නයේත් විසිවන සියවස තුළත් මේ කරන ලද දායකත්වය නොවුණා නම්, අපේ සංස්කෘතික හා සමාජ ජීවිතය සාහිත්‍ය ලෝකය කොතරම් නම් දුප්පත් වෙන්නට තිබුණාද? ජාතික ජන බලවේගය සමග කටයුතු කරන තරුණ භික්ෂූන් වහන්සේලා අතර එවැනි ගමනේදි ප්‍රඥා සම්පන්න භික්ෂූන්, විද්වත් භික්ෂුන් බවට පත්විය හැකි බොහෝ දෙනෙක් ඉන්නවා.

සොරකම් කිරීම වැරදි බව පන්සිල්වල එනවා. ඒක වැරදි බව කවුරුත් පිළිගන්නවා. සොරකම් නොකිරීම ඉතා වැදගත් ආචාර ධර්මයක්. අප සමග වැඩකරන ගිහි පැවිදි ප්‍රබුද්ධයන් විශ්වාස කරනවා සොරකමට තුඩු දෙන, සමාජ ව්‍යුහයන්, ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යයි. සොරකමට තුඩු දෙන, දිරිදෙන රාජ්‍ය පාලනය වගේම රාජ්‍ය සේවයත් වැරදියි. හුදෙක් ශික්ෂා පදවලින් පමණක් සොරකම වැළැක්විය නොහැකියි. සොරකමට දිරි දෙන බලවත් සොරුන් ඇති කරන, පවත්වාගෙන යන අසාධාරන, අයුක්ති සහගත ව්‍යුහමය සමාජ පරිවර්තනයක් පුනරුදයේ එක කොටසක් බව ගිහි පැවිිදි බෞද්ධයෝ විශ්වාස කරනවා. මුසාවාදය වැරදියි. එයින් වළකින්න ඕනි කියලා පන්සිල්වල සඳහන් වෙනවා. එය විතරක් මදි. අපි සත්‍ය වෙනුවෙන් පෙනීසිටින්නත් අවශ්‍යයි. අසාධාරණ, ව්‍යාජ, බොරුකාර දේශපාලනයේ බලකේන්ද්‍රවලට මුහුණට මුහුණ දී ඇත්ත කතා කිරීමත් වැදගත්. ඒක තමයි අපට වාරියපොල ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගන්න තිබෙන්නේ. ඒ විනාඩි ගණනට පවා බලය ඉදිරියේ ඇත්ත කතා කිරීම. මත්ද්‍රව්‍ය පවත්වාගෙන යන අන්තර්ජාතික ජාතික ව්‍යුහ තිබෙනවා. ඒ පිටුපස ඉතා විශාල ධනවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලතින් ඇමෙරිකාවේ දුප්පත් රටවල ගොවියේ ඉරිඟු වෙනුවට අබිං, පොපිමල් වවන්නේ ඇයි? ඉරිඟු වවලා ජීවත් වෙන්න බැරි ඇයි කියන බරපතළ ආර්ථික ප්‍රශ්නය ආමන්ත්‍රණය නොකර මත්ද්‍රව්‍ය පැතිරීමෙන් වළක්වන්නට බැහැ.

අපේ බෞද්ධ ආචාර ධර්මවලට දේශපාලන සමාජමය ස්වරූපයක් දීමේ අවශ්‍යතාව දැන් පැමිණ තිබෙනවා. 2024 වර්ෂය මේ රටේ බෞද්ධයන් වන අපට බෞද්ධ නොවන ප්‍රජාවන් සමග එකතු වී අනෙකුත් ආගම්වලින් ලැබෙන ආචාර ධර්මවල ආලෝකයත් උකහා ගෙන ඉතා දීර්ඝ කාලයක් මේ රටේ ශිෂ්ටාචාරමය කොඳු නාරටිය සපයපු, ශක්තිය සපයපු බුදුහමේ සියලු ආචාර ධර්මවල හරය උකහාගෙන මේ පුනරුදයට නායකත්වය දෙන්නට අවශ්‍යයි. ඒ සඳහා පුනරුදමය දේශපාලන ගමන ආරම්භ කරන්නට පුළුවන් මේ අවුරුද්දේ. අද ඓතිහාසික දිනයක්. අපේ මේ ස්වාමීන් වහන්සේලා, ගිහි සමාජ ක්‍රියාධරයන් වන අපට දෙන පණිවිඩය තමයි මේ පුනරුදය ඇති කරන්නට මේ සමාජ ප්‍රගමනය ආරම්භ කරන්නට ඔබ වහන්සේලා සූදානම් කියන පණිවිඩය. එය අපට පුදුමාකාර ආශීර්වාදයක්. සුබ ප්‍රාර්ථනයක්. අපි මේ වෙනස කරමු.