Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us contact@npp.lk
X

“සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනා සමගි වී ආණ්ඩුවක් හදමු” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-‘පුනරුදයට රටම එකට’ ජාතික ජන බලවේගයේ බේරුවල ජන හමුව – 2024.07.15-)

Beruwal-Public-Rally

ඔබ මෙතෙක් ඡන්දය දුන්නේ, ආණ්ඩු හදාගත්තේ යහපත් අරමුණකින්. බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි, යහපත් රටක් බලාපොරොත්තුවෙන්. හැබැයි ජනතාවගේ යහපත් අරමුණු තිබුණාට හදාගත්තේ අයහපත් ආණ්ඩු. නීති කඩන, මහජන දේපළ සොරකම් කරන, නාස්ති කරන, ජාතික සම්පත් විකුණන, රට අපකීර්තියට පත් කළ, ණය ගෙවා ගන්න බැරි රටක්, අධ්‍යාපනය, සෞඛ්‍යය, කඩා වට්ටපු ආණ්ඩු හැදුවේ. ඡන්දය දීමෙන් පත්වුණු ආණ්ඩු ගැන කාටවත් සතුටු වෙන්න පුළුවන්ද?

ඔබට මතක ඇති මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගැන. ඒ අවුරුදු හතර හමාරක කාලයේ අපේ රට ඩොලර් බිලියන 12.5ක ණය ප්‍රමාණයක් ගත්තා. අපේ රට වැඩියෙන්ම ණය අරගෙන ණය උගුලක හිරකළේ මෛත්‍රී-රනිල් පාලන කාලයේදීයි. අද අපට ගෙවන්න තිබෙන සියලුම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලෙ ගත්ත ඒවායි. රනිල්-මෛත්‍රී ආණ්ඩුව හදාගෙන දින 50ක් යන කොට මහ බැංකුවට ගැහුවා. ඊට මාස කිහිපයකට පස්සේ හම්බන්තොට වරාය වික්කා. ක්‍රමානුකූලව ජාතිවාදය වර්ධනය වුණා. රනිල් වික්‍රමසිංහ එය වර්ධනය වෙන්න ඉඩ හැරියා. වඳ ඇඳුම්, වඳ කොත්තු, වඳ දොස්තරලා ගැන කතා කරන කොට ඒ මතයන්ට එරෙහිව රනිල්ගේ ආණ්ඩුව ගත්ත තීරණ මොනවාද? සජිත් ප්‍රේමදාස ඒවාට එරෙහිව කතා කළාද? රටේ ආරක්ෂාව බින්දුවට වැට්ටුවා. තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී තිබියෙදී, ගහන බව, ගහන්නේ කවුද, ගහන්නෙ කවදාද, කොතැනටද, වෙලාව සියල්ලම තොරතුරු තිබියදී රට රැක්කාද? ප්‍රහාරයන් සිදුවෙන්න ඉඩ හැර ජාතිවාදී ගැටුමක් නිර්මාණය කළා. හිතන්න පාලකයන් ඔබලාගේ බලාපොරොත්තු ඉටු කළාද? බොහෝ දෙනා 2019 ගෝඨාභය ගේන්න විශාල කතිර ප්‍රමාණයක් ගැහුවා. නමුත් ඔහු ආර්ථිකය බිඳ වැට්ටුවා. ගජ මිතුරන්ට සීනි බදු වංචාව සිදු කරන්න ඉඩ හැරියා. කෝටි 1500ක් රජයට අහිමි වුණා. පොල්තෙල් බදු බංචාවෙන් කෝටි 350ක් රජයට අහිමි වුණා. පොහොර නතර කළා. ගොවි බිම් මුඩු බිම් බවට පත් වුණා. මුළු පවුලම ඇමතිකම් දැරුවා. රටේ මුළු බලයම පවුලක් අතට ගියා.

Beruwal-Public-Rally

අපේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. ලෝකෙට පොලු තියපු ජාතිකයක් බවට පත්වුණා. මේ රට මේ තරම් විනාශයට පත්කර, තමන්ගේ දරුවන්ගේ අනාගතය විනාශ කර තිබියෙදී තවදුරටත් පැරණි, අසාර්ථක පක්ෂ කෙරෙහි විශ්වාසය තබන්නේ ඇයි? ඒවා පක්ෂ දෙකක් නොවෙයි. එක කල්ලියක්. ඒ ගොල්ලන්ගේ දේශපාලන වේදිකා දිහා බලන්න. රනිල්ගේ වේදිකාවේ පොහොට්ටු නායකයෝ ඉන්නවා. පොහොට්ටු වේදිකාවේ යූ.එන්.පී. නායකයෝ ඉන්නවා. සජිත්ගේ වේදිකාවේ පොහොට්ටුවේ නායකයෝ ඉන්නවා. කොහොමද මේ අය එක් එක් පාක්ෂිකයන් ලෙස හඳුනා ගන්නේ. මේ ගොල්ලන් පක්ෂ දෙකක් නොවෙයි. මේ දේශපාලනය විකාරයක්. ඔය ගොඩක් අය ස.ජ.බ. පොහොට්ටුවට නගින්න කලින් අපේ වටේ කැරකුණා. අපි කිවුවා “මේ රට විනාශ කරන්න හවුල් වුණු, පසුගිය කාලයේ ආණ්ඩුවල අමාත්‍ය ධුර දරපු, රාජපක්ෂලාට ආවැඩූ කිසිකෙනෙක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ගන්නෙ නැහැ” කියලා. එහෙට මෙහෙට පනින දේශපාලනය නතර වෙන්න ඕනෑ නැත්ද? මේ එහෙට මෙහෙට පනින්නේ රටට ආදරේටද? අපේ පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙන එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. අද අපිට අවශ්‍ය ප්‍රතිපත්තිමය දේශපාලනයක්.

මේ ගොල්ලන් එහාට මෙහාට පැන්නා. ඇමතිකම් බෙදා ගත්තා. රටට සිදුවුණේ මොකක්ද? අපේ දරුවෝ කල්පනා කරනවා පාසලට යන්න බයිසිකලයක් ගන්නේ කොහොමද කියලා. රෝහිතගේ දරුවෝ වෙඩින් එකට හෙලිකොප්ටර්වලින් යනවා. අපේ දරුවෙක් පොඩි කාර් එකක් ගන්න කල්පනා කරනවා. ජනාධිපතිගේ දරුවෝ අභ්‍යවකාශයට රොකට් යවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. පුරවැසියෙක් ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ටිකක් ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ ගොල්ලෝ සිංගප්පූරුවට ගිහින් බෙහෙත් ගන්නවා. පුරවැසියෙක් තමන්ගේ පාස්පෝට් එකට වීසා එකක් ගහගන්න කල්පනා කරනකොට, ඒ ගොල්ලෝ ඇමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ පාස්පෝර්ට් ගන්නවා. ඒගොල්ලන්ගේ ගොඩක් දරුවෝ ඇමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ පාස්පෝර්ට් හිමියන්. ඒ ගොල්ලෝ හැදුණා. අපේ අය වැටුණා. ඒ නිසා අපි එක සැරයක් සාධාරණ, යුක්තිගරුක, යහපත් ආණ්ඩුවක් හදමු. ඒ සඳහා මේ එළඹෙන ජනාධිපතිවරණයේදී තීන්දුවක් ගනිමු. අපේ දරුවන්ට ආදරේ නම්, මේ රටට ආදරේ නම්, මේ තීන්දුව ගන්න ඕනෑ.

Beruwal-Public-Rally

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. අද හැම කෙනාම නීතිය ඉදිරියේ සමානද? එහෙම නම් රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න විදිහක් නැහැ. නීතිය ඉදිරියේ හැමෝම සමාන නම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන්න විදිහක් නැහැ. පුරවැසිභාවය නැතිව අවුරුදු 04ක් පාර්ලිමේන්තුවේ ඉඳලා අමාත්‍ය ධුර දරලා ඩයනා එළියේ ඉන්න විදිහක් නැහැ. අපේ රටේ නීතිය දුප්පත් දුබල අයට එක නීතියක්, ධනවත් ප්‍රබල අයට තව නීතියක්. අපි මේ රටේ ධනය, බලය බේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව, දුප්පත්, පොහොසත් බේදයකින් තොරව සැම දෙනාම නීතිය ඉදිරියේ සමාන වන රටක් හදනවා. ඒ වගේම අපරාධ, මත්ද්‍රව්‍ය, පාතාල ගැටුම් අද මේ රටේ වර්ධනය වෙලා. මේ සියල්ලටම දේශපාලන රැකවරණය තිබෙනවා. අද මත්ද්‍රව්‍ය මෙහෙයුම් යනවා. ඒත් කුඩු හිඟ වෙන්නෙ නැහැ. මේ රට අපරාධවලින් තොර, මත්ද්‍රව්‍යවලින් තොර රාජ්‍යයක් අවශ්‍ය නම් ඒ වැඩේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් කරනවා.

අපේ රට ආර්ථික වශයෙන් ගොඩගන්න ඕනෑ. ඒ සඳහා ආණ්ඩුව ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික සපයන්න ඕනෑ. ඔබ තමන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කර ගන්න ඕනෑ. ආණ්ඩුව ධනය උපයන්නේ නැහැ. ධනය උපද්දන්නේ ව්‍යවසායකයා, කර්මාන්තකරුවා. ඒගොල්ලන් උපයන ධනයෙන් ආණ්ඩුව කීයක් හරි ගන්නවා. ව්‍යාපාරවලට අපි හොඳ පරිසරයක් හදනවා. පළමුවෙන් අපි ශක්තිමත් රාජ්‍ය සේවයක් හදනවා. ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය ආයතනයට ගිහිල්ලා තමන්ගේ කාර්යයක් නිසි පරිදි කරගන්න පහසුකම් අපි හදන්න ඕනෑ. මේ පාලකයෝ අපේ ශක්තිමත්ව තිබූ රාජ්‍ය සේවය බිඳ වැට්ටුවා. දේශපාලනයෙන් මුදා ගත්ත, ඩිජිටල්කරණය කර, හැකියාවෙන්, දක්ෂතාවයෙන් ඉදිරියට යා හැකි, ශක්තිමත් රාජ්‍ය සේවයක් අපි හදනවා. ඒක ව්‍යාපාර වර්ධනයට අවශ්‍යයි. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ටාගට් එක හදන්න ඕනෙ ආණ්ඩුව. මැණික් කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට, අවශ්‍ය ටාගට් එක අපි හදනවා. සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් හදමින් තිබෙනවා. අපි පෞද්ගලික ව්‍යවසායකයා සම්බන්ධ කර ගනිමින් ආර්ථික සැලස්ම හදනවා. ව්‍යාපාර කරන අයට අපි ආරාධනා කරනවා. ඉලක්ක පෙන්වනවා.

Beruwal-Public-Rally

ව්‍යාපාර දියුණු කිරීම තමයි අපේ අපේක්ෂාව. ව්‍යාපාර, කර්මාන්ත දියුණු වෙන්න ඕනෑ. ව්‍යාපාර දියුණු නොවී රටක් දියුණු වෙන්නේ නැහැ. භාණ්ඩාගාරයට සල්ලි එන්නේ නැහැ. අපේ කර්මාන්තවලට මේ ලයිට් බිල වැඩිවීම බලපා තිබෙනවා. අපේ අවසාන ඉලක්කය ලෙස, අපි අවුරුදු දෙක තුනක් ඇතුළත විදුලි බිල විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. ලංකාවේ විදුලිය නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය අගය ඩොලර් ශත 7.5කට ගේන්න පුළුවන්. රුපියල් 21ක් වැනි ප්‍රමාණයකට විදුලිය අඩු කළ හැකියාව තිබෙනවා. මේ විදුලි බිලත් එක්ක කර්මාන්තවලට ඉස්සරහට යන්න බැහැ. මේ රට දකුණු ආසියාවේ අධිකම විදුලි බිලක් තිබෙන රටක්. විදුලි බිල මේ විදිහට තියෙද්දී, ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න බැහැ. අඩු මිලට භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැහැ. සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉතා හොඳ හැකියාවක් තිබෙන කණ්ඩායමක් හමුවෙලා ආවේ. දැනටමත් සුළං බලයෙන් සහ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තිබෙනවා. ප්‍රධාන සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කොට තිබෙනවා. මේ ළඟදි ටෙන්ඩරයක් විවෘත කළා, සුළං බලයෙන් විදුලිය නිපදවන බලාගාරයක් විවෘත කළා, ඒකකයක් ඩොලර් ශත 4.8ක් වෙනවා. හැබැයි ආණ්ඩුව අදානිට දෙන්න යනවා ඒකකයක් ඩොලර් ශත 8.26ක්. 40%කින් විතර වැඩිවීමක්. අවුරුදු 20කට ගිවිසුම ගහන්නේ. ඉන්න කාලේ හම්බකර ගන්න එක තමයි ඔවුන්ගේ එකම වැඩේ වෙලා තිබෙන්නේ. අපේ රටේ අනාගතයක් ගැන, අපේ දරුවන්ගේ අනාගතයක් ගැන, අපේ ව්‍යාපාර දියණු කිරීමක් ගැන ඔවුන් හිතන්නෙ නැහැ. රටට බලශක්ති අර්බුදය කෙතෙක් බලපා තිබෙනවාද? පාලකයින් මේ කිසිවක් ගැන හිතන්නේ නැහැ. අපි අපේ ආණ්ඩුවක් හදමු. අපේ ආර්ථිකය දියුණු කරන්න ඕගොල්ලන් හරියට ව්‍යාපාර කරන්න. ධනය උපද්දන්න. ඒකෙන් සාධාරණ බද්දක් ආණ්ඩුවට දෙන්න.

අපේ පුරවැසියන් බදු ගෙවන්න කැමතියි. හැබැයි ගෙවන බද්ද සොරකම් කරනවා නම් බදු ගෙවන්නේ මොකටද කියා පුරවැසියන් හිතනවා. ආණ්ඩුවට එන්න තිබෙන බද්දක් විල්මාගේ ගෙදරට යනවා. බදු ගෙවන කෙනා අකර්මණ්‍ය වෙනවා. ඒ වගේම ගෙවන බද්ද නාස්ති කරනවා. රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන්කර ගත්තා. මේ රට හදන්න වියදම් කරන්න නෙවෙයි, ඡන්දෙට බෙදන්න ගත්තේ. රනිල් රට යන්න අතිරේක මුදලක් කෝටි 20ක් වෙන්කර ගත්තා. මේ ඔබගේ බදු සල්ලි. රට යනකොට ස.ජ.බ. මන්ත්‍රීවරුත් එක්ක යනවා. ඒ, එම මන්ත්‍රීවරු ආණ්ඩුවට ගන්න. රනිල් විමධ්‍යගත අරමුදල්වලින් ස.ජ.බ. මන්ත්‍රිවරු 19 දෙනෙකුට කෝටි 120ක් දුන්නා. මේ ඔබගේ බදු මුදල්. ජනාධිපති ගෝල්ෆේස් ඉඳන් පාර්ලිමේන්තුවට එනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා. මේ ලෙඩ කඳන්ද? ඔබගේ ධනය මේ පාලකයන් සිතු සිතු සේ වියදම් කරනවා. රට සංවර්ධනය කිරීම සඳහා ගෙවන බදු නාස්ති කරනවා නම් කිසිවෙක් බදු ගෙවන්න කැමති වෙන්නේ නැහැ. රටේ පාරවල් ටික හදන්න, ඉස්පිරිතාලවල බෙහෙත් ටිකක් දෙන්න, අධ්‍යාපනය දියුණු කරන්න දෙන බදු නාස්ති කරනවා නම්, කවුරුත් බදු ගෙවන්න කැමති වෙන්නේ නැහැ. අපි කියනවා, ඕගොල්ලන් ව්‍යාපාර කරන්න, ධනය උපයන්න, ආණ්ඩුවට සාධාරණ බද්දක් ගෙවන්න. ඒ ආණ්ඩුවට දෙන සෑම බදු සතයක්ම නාස්ති නොකර, හොරකම් නොකර පෙරළා රට වෙනුවෙන් වියදම් කරන ආණ්ඩුවක් අපි හදනවා.

Beruwal-Public-Rally

අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් ශක්තියක් අද තිබෙනවා. සිංහල ජනතාගේ කැමැත්තෙන් විතරක් ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ දායකත්වය සපයලා, සියලු දෙනාගේ විශ්වාසය, ආශීර්වාදය සහිතව, බලාපොරොත්තුව සහිත මාලිමාවේ ආණ්ඩුව හැදෙන්න ඕනෑ. අපි මෙච්චර කල් ආණ්ඩු හැදුවේ අනෙකාට එරෙහිව. අපි සියලු දෙනා සමගි වෙලා ආණ්ඩුවක් හදමු. අපි ඉස්සරහට යන්න නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය හදන්න ඕනෑ. සමගිවෙලා ආණ්ඩුවක් හැදුවොත් අපිට පියවර තුළින් රටේ ජාතික සමගිය හදන්න පුළුවන්. සියලු ආගම්වල සාධාරණ අයිතිය, තමන්ගේ භාෂාවෙන් කතා කිරීමේ සහ රාජ්‍යයත් සමග ගනුදෙනු කිරීමේ අයිතිය, තමන්ගේ සංස්කෘතිය පිළිබඳ තිබෙන අයිතිය, සියලු දෙනාට සාධාරණ ලෙස ආර්ථිකයට මැදිහත්වීමට තිබෙන අයිතිය මේවා හදන්න සමගි වෙලා ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි ආණ්ඩුව හදනවා. සැකයක් තබා ගන්න එපා. හැබැයි අපට මුස්ලිම් ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි. අපි ඔක්කෝම එකතු වෙලා මේ වෙනස ඇති කරමු.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇවිත් අවුරුදු 54ක් වෙනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඇවිත් අවුරුදු 47ක් වෙනවා. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 41යි. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් ඊට වඩා බාලයි. මේ ඇති. මේ රට දැන් වෙනස් කරන්න ඕනෑ. මේ පැරණි, මළකඩ කාපු නායකයන්. මේ විදිහට රටකට ඉස්සරහට යන්න බැහැ. අපි ඔබට ආරාධනා කරනවා, අපි අලුත් ආණ්ඩුවක් හදමු. බේරුවල ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතිර ගහලා පුරවන්න. හැම දෙනාම වැඩ කරන්න, හැම දෙනාම කතා කරන්න. මේ වෙනස අපි ඔක්කෝම එකතු වෙලා කරන්න ඕනෑ වෙනසක්. අපි ඡන්දෙට එකක් කියලා, ඡන්දෙන් පස්සේ කියන වෙන කතාවක් නැහැ. අපි ඡන්දයේදී ජනතාවට දෙන විශ්වාසයම, ඡන්දෙන් පස්සෙත් අපි ආරක්ෂා කරනවා. පසුගිය 2020 මැතිවරණයේදි රෝහිත පාර්ලිමේන්තුවට ගියා. නලින්ද පාර්ලිමේන්තුවට ගියේ නැහැ. දැන් නලින්ද ගියානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? රෝහිත යැව්වේ මොකටද කියලා හිතෙන්නේ නැද්ද? වැරදුණු තැන්, මඟ හැරුණු තැන් ගොඩක් තිබෙනවා. නැවතත් වරද්දගන්නත් බැහැ. මඟ හරින්නත් බැහැ. මේක තමයි දිනන්න තිබෙන, වෙනස් කරන්න තිබෙන අවස්ථාව. අපි ඔක්කෝම එකතු වෙලා මේ වෙනස කරන්න මැදිහත් වෙමු.

Beruwal-Public-Rally