(ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව-කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී – 2024.02.25)
අපි ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක බලය ලබා ගත්තාට පසුව රට ගොඩනැගීම. මේ අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිව. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.
අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා. ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්, නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා. මේ පතුලේම සිටින ජනතාව මේ කාර්යයට යොදවා ගන්නේ කෙසේද කියන අභියෝගය අපට තිබෙනවා. සමාජයේ යම් උඩ තලයක සිටින අය අපට සමීප නැහැ. ඔවුන්ට අපේ කතා දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි සිය වතාවකට වඩා පිළිතුරු දී ඇති ප්‍රශ්න තවත් ඔවුන්ගේ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. අපට ගැටෙන්නේ නැති අවධානය නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම වෙත අපේ මතය ගෙන යන්නේ කොහොමද කියන එක අපේ අවධානය යොමු විය යුතු වෙනවා. එය අපේ දෙවැනි අභියෝගයයි. ඒ කණ්ඩායම වෙත මගේ අවධානය යොමු කිරීමට මම උත්සාහ ගන්නවා.
අපි ආර්ථික ක්ෂේත්‍රය, නීතියේ විධානයේ ආධිපත්‍යය, අකාර්යක්ෂම රාජ්‍ය පාලනය, අපරාධ වැඩිවීම ආදී රාජ්‍යයේ සියල්ලම පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙන රාජ්‍යයක්. අපට සමීප ක්ෂේත්‍ර අපට වැඩියෙන් දැනෙනවා. අපට සමස්ත පද්ධතියේම පරිවර්තනයක් අවශ්‍යයි. පසුගිය සියවස ලෝකයට විශාල ජයග්‍රහණ ගෙනත් දීපු සියවසක්. ලෝකයේ බොහෝ රටවල් වර්තමාන සංවර්ධන මට්ටම අත්පත් කර ගැනීම සඳහා අත්තිවාරම සකස් කළේ විසිවැනි සියවසේ. අපි විසිවැනි සියවස අත්හැරපු මිනිස්සු. අපි අවුරුදු 450කට ආසන්න කාලයක් කවර හෝ ආධිපත්‍යයකට යටත් වී සිටි ජාතියක්. අවුරුදු 133ක් මුළුමනින්ම සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අපි 1948 නිදහස ලබනවා. විවිධ භාෂාවන්, කුල බෙදීම්, ග්‍රාමීය දුප්පත්භාවය විවිධාකාරයෙන් පැතිරී තිබුණු ඉන්දියාව 1947 නිදහස ලබන විට, නේරු, ගාන්ධි, පාතෙල්, සුභාෂ් චන්ද්‍රබෝස්ලට ඉන්දියානු ජාතික කොඩිය යටතට සියලුම ජනතාව කැඳවන්න හැකියාව ලැබුණා. නිදහස ලබා ගන්නා විට තිබූ දෘෂ්ටිවාදය අද හඳට යන ඉන්දියාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ දැක්ම තමයි අබ්දුල් කලාම් වැනි කෙනෙක් ජනාධිපති වීම, සික් ජාතිකයෙක් අග්‍රාමාත්‍යවරයෙක් වීම, කුල හීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වන්නේ. ඒ දැක්ම තමයි අද දැවැන්ත සංවර්ධනයේ පිම්මක් පැන තිබෙන්නේ. වියට්නාමය, චීනය, දකුණු කොරියාව වැනි රටවල්වලට ඒ දැක්ම තිබුණා.
අවුරුදු 133ක් සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අපට 1948 නිදහස ලබන විට ජාතිය නැගිටීමේ විශාල උද්දීපනයක් හදන්න තිබුණා. අද අපි නිදහස සමරන විට ජාතික කොඩිය ඔසවන්න සිදුවෙන්නේ චක්‍රලේඛනයක් නිකුත් කරලා. අපි ලබාගන්නා නිදහස ජනතාවගේ අධ්‍යාත්මය පුබුදුවන්න හෝ රටට, ජාතියට නව අවදිකිරීමක් දක්වා ගෙනයන ගමනක් බව කිසිවෙකුටත් ඒත්තු ගැන්වී නැහැ. අපි නිදහස ලබන විට අපේ රට ගෙනයා යුතු දිසාව පිළිබඳ ආර්ථික දැක්මක්, සැලැස්මක් තිබුණේ නැහැ. අපේ ප්‍රතිපත්තිය වුණේ අනෙකාට එරෙහිව කෙටවීම. ඉන්දියාවේ ගමන් මග එකතු කිරීමේ ඉතිහාසයක් ගොඩ නැගෙන විට අපි එකිනෙකා කුළල් කා ගත්තා.
අපේ රටේ දිසානතිය පිළිබඳ එළියේ වෙනම සාකච්ඡාවක් තිබුණා. එහි ප්‍රබලයෙක් ඉංජිනේරු විමල සුරේන්ද්‍ර මහත්මා. ඉංග්‍රීසි ඉංජිනේරුවන්ගේ ආධිපත්‍යයට එරෙහිව විමල සුරේන්ද්‍ර මහතා කියනවා “ලංකාව විද්‍යුත්කරණයට යා යුතුයි” කියා. ඔහු 1919 දී ලක්ෂපාන බලාගාරය යෝජනා කරනවා. ඔහු කියනවා “ලක්ෂපාන බලාගාරයෙන් නිපදවන විදුලි අතිරික්තයෙන් විදුලි කෝච්චි දුවන්න ඕනෑ.” කියලා. අද ඉන්දියාව ජාතික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා, 2030 වෙන විට තමන්ගේ සියලුම දුම්රිය විදුලියෙන් දුවන දුම්රිය බවට පත්කරන්න. අපි මොකද කරන්නේ. ඉන්දියාවෙන් ඉවත් කරන කෝච්චි පෙට්ටි මෙහෙ ගේනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතා අපේ ඖෂධ ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද යන්න ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබුණා. ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයෙක් ප්‍රකාශ කර තිබුණා “ලංකාව යනු තැනිතලාවක පිහිටා තිබෙන කඳු මුදුනක්ය. ඒ කඳු මුදුනේ දැල්වෙන පහන සේනක බිබිලේය” කියලා. බොහෝ රටවල්වල ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ නිර්නායකයන්ට මඟ පෙන්නුවේ සේනක බිබිලේයි. අපේ රටේ ඖෂධ සංස්ථාව ගොඩනගා අවුරුදු තුනයි හිටියේ. ඔහුව ඇදලා එළියට දැම්මා. මාටින් වික්‍රමසිංහ, සරත්චන්ද්‍රලාගේ සාකච්ඡාවක් එළියේ තිබුණා. ඒ සියල්ලම යටපත් කරගත් දේශපාලන අධිකාරියක් ගොඩනැගුණා. දේශපාලන අධිකාරිය ලෝකයේ ඇතිවෙන නව වෙනස්කම් පිළිබඳ කල්පනා කළේ නැහැ. ඔවුන් අතීතයේ තිබූ ශ්‍රී විභූතිය නැවත නැවත පුනරුච්චාරණය කරමින් අපව ඒ තුළ හිරකරමින් ඒ මත ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය එළනු ලැබුවා.
මේ පාලකයන් අපේ දෘෂ්ටිවාදය අතීතකාමිත්වය තුළ හිර කළා. අතීතයේ තිබූ තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, සමාජ සංස්ථාවන් පිළිබඳ අපි අධ්‍යයනය කළ යුතුයි. ඉදිරි ගමනට ඒවා පාදක කර ගත යුතුයි. අතීත දෘෂ්ටිවාදය තුළ හිර වුණු අපේ දේශපාලකයන්ගේ ප්‍රධාන ඇඳුම බවට පත්වුණේ ‘කපටි සූට්’ එක. මෙය අතීත දෘෂ්ටිවාදය මත එළා තිබෙන ව්‍යාපෘතියේම එක් අවස්ථාවක්. මේ ව්‍යාපෘතිය තුළ අපේ රට හිරවුණා. මේ නිසාම ලෝකයේ සිදුවූ මහා පරිවර්තනයන් උකහා ගත හැකි ජාතියක්, රාජ්‍යයක් බවට අපේ ශ්‍රී ලංකාව පත්වුණේ නැහැ. ඉන්දියාව සංස්කෘතිය ශක්තිමක් කර ගන්නවා වගේම ලෝකයට මහා දැවැන්ත ආර්ථිකයක් නිර්මාණය කරමින් යනවා. ඒ නිසාම අයි.ටී. කර්මාන්තයේ ශක්තිමත්ම රාජ්‍යයක් බවට ඉන්දියාව පත්වී තිබෙනවා. මෝටර් රථ නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, බීජ නිෂ්පාදනය, කිරි නිෂ්පාදනය වැනි නිෂ්පාදනවලින් ඉදිරියෙන්ම සිටින රාජයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසාම හඳට යන ජාතියක් ලෙස ලෝකයට පිවිසී සිටිනවා. ගතානුගතික, වැඩවසම්වාදී, ගෝත්‍රිකවාදී කණ්ඩායමක් අත අපේ රට හිරවුණා.
මිනිස් අවශ්‍යතා යනු පංචේන්ද්‍රියයන් සන්තර්පනය කිරීමයි. මෙම අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලිය අතීතයේ ආකාරයට වඩා වෙනස්. එම මාදිලිය තමයි අලුත් වෙළඳපොළ හදන්නේ. උදාහරණයක් ලෙස රූපලාවණ්‍යය ගනිමු. අතීතයේත් රූපලාවණ්‍යය සඳහා කහ, සුදු හඳුන්, රත් හඳුන් එදා මාර්කට් එක වුණා. අද රූපලාවන්‍යය මාර්කට් එක කොස්මැටික් කර්මාන්තය බවට පත්වෙලා. ඒ වෙළඳපොළට අවශ්‍ය වන භාණ්ඩ නිෂ්පාදනය කරන්න පාලකයා සමත් විය යුතුයි. අද ලෝකයේ කොස්මැටික් කර්මාන්තයේ උඩින්ම ඉන්නේ දකුණු කොරියාව. ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනයේත් උඩින්ම ඉන්නේ දකුණු කොරියාව.
අපි බලය ලබා ගැනීම සඳහා ජනතාව කැඳවන්නේ කුමකටද? මේ ගමන් කරමින් තිබෙන දිශාව වෙනුවට නව දිශාවකට හරයාත්මකව නව දෘෂ්ටිවාදයකට අපේ රට පරිවර්තනය කරන්න ඕනෑ. එයයි නූතන ලෝකයත් සමග අපේ සහ සම්බන්ධතාවය ගොඩනඟන්නේ. මෙය ජාතික ව්‍යාපාරයක්. මේ රට ගොඩනැගීම සඳහා ජාතික පිබිදවීමක් අවශ්‍යයි. එළඹෙන මැතිවරණයේදී වසර 76ක් පාලනය කළ පාලකයන් පළවා හැරීමම, ජනතාව තුළ විශාල උද්දීපනයක්, පිබිදීමක්, අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සහිතව නැගිටීමක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපේ විදෙස්ගත පර්යේෂකයන්, වත්කම් හිමි අය, අධ්‍යාපන හැකියාවන්, අත්දැකීම් තිබෙන ශ්‍රී ලාංකිකයන් නැවත එන්න සූදානම්. ඒ විශ්වාසය අප තුළ තිබෙනවා. මේ රට ගොඩනැගීමේ පාදම වන්නේ, ජනතාව අවදි කර ගැනීමයි. ආර්ථික පැත්තෙන් පමණක් නොවෙයි අපි, වගකීම් සහිත පුරවැසියන්ගෙන් යුත් සමාජයක් නිර්මාණය කර ගන්න ඕනෑ. දේශපාලකයා වගකීමට වග වෙන්න ඕනෑ. නව ශිෂ්ටාචාරයක් අපට අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ, දේශපාලනයේ, ආර්ථිකයේ, සමාජයේ පරිවර්තනයක්. පද්ධතියේම වෙනසක්. එහිදී දේශපාලකයාටත් කොටසක් තිබෙනවා. අපි දේශපාලකයාගේ කොටස ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන බවට ඔබට සහතික වෙනවා.
ආයතන වර්ගීකරණය විය යුත්තේ ජනතාවට සේවා සපයන ආයතන හා සේවා සැපයීමේදී අඩු වුවමනාවක් තිබෙන ආයතන ලෙසයි. සමහර අවශ්‍යතා රජය විසින් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුයි. ආර්ථිකයේ ඉදිරි පිම්මක් ගත හැකි අයි.ටී. කර්මාන්තය සඳහා අපි සැලැස්මක් හදා තිබෙනවා. ටෙලිකොම් තමයි අයි.ටී. කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදා දෙන්නේ. ටෙලිකොම් වර්ධනය කළේ නැතිනම් අයි.ටී. කර්මාන්තයට ඉදිරියට යන්න බැහැ. ටෙලිකොම් ආයතනය දෙස බැලිය යුත්තේ එය අපේ ඉදිරි සංවර්ධනයත් එක්ක සම්බන්ධ කරමිනුයි. ටෙලිකොම් ආයතනය රජය සතුව තිබිය යුතුයි. හම්බන්තොට වරාය මිලදී ගෙන වසර හතකට වඩා වැඩියි. ඩොලර් බිලියන 1.1ක් දී මිලදී ගත්තේ. නමුත් එක නැවක් එන්න ව්‍යාපෘතියක් හදා නැහැ. වරායත් එක්ක ගොඩනැගෙන ආර්ථිකයක් කෝ?
1977ට පෙර අපි කිරි අවශ්‍යතාවයෙන් 50%ක් නිෂ්පාදනය කළා. අද නිෂ්පාදනය කරන්නේ 35%යි. අපට වසරකට කිරිපිටි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 225ක් වැය වෙනවා. අපට කිරිවලින් ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය සියලු පාරිසරික තත්වයන් තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය පිටුදැකීමත් එක්ක සම්බන්ධ වෙලා කිරිවලින් ස්වයංපෝෂිත විය හැකියි. අපේ සහල් මිල තීරණය කරන්නේ ප්‍රධාන මෝල් හිමියන් පස්දෙනෙක්. ඒ, ඒකාධිකාරිත්වය බිඳිය යුතුයි. ටයිල්වල ඒකාධිකාරිත්වයක් නිර්මාණය වෙනවා අපි දුටුවා. ටයිල් ආනයනය කරන විට අපේ රටේ තිබුණේ ටයිල් සමාගම් තුනයි. ටයිල් තහනම් කළා. ඒකාධිකාරිත්වයක් නිර්මාණය වුණා. රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳපොළ නියාමනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි දැක්මකින් කටයුතු කරනවා.
මේ ආර්ථිකයේ අර්බුදයේ තිබෙන්නේ භාණ්ඩාගාරයට රුපියල් නැතිවීම, රටට ඩොලර් නැතිවීම නිසයි. ජනතාවගේ අර්බුදය කරුණු තුනක් ලෙස දක්වන්න පුළුවන්. දරාගත නොහැකි බදුබර, තෙල් විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ගේ අධික මිල, අලුතින් ගොඩනැගෙන තරුණ පරම්පරාවට රැකියා නොමැති වීම. එසේ නම් අපේ ආර්ථික සැලසුම සකස් විය යුත්තේ කෙසේද? භාණ්ඩාගාරයේ ආදායම වැඩිකර ගන්නේ කොහොමද? ප්‍රධාන ආදායම් ප්‍රභවයන් හතරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව. මේ ආයතන කළමනාකරණය කර ආදායම වැඩිකර ගත හැකිය යන විශ්වාසය අපට තිබෙනවා. ඩොලර් උපයා ගැනීම සඳහා විදෙස් ප්‍රේෂණ ලබා ගැනීම සඳහා වෙහෙසවීම හා සංචාරක කර්මාන්තය දියුණු කිරීම, දිගුකාලීනව ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම, ආනයනය කරන සමහර භාණ්ඩ අපේ රට තුළ නිෂ්පාදනය කර ගැනීම වැනි ක්ෂේත්‍රවලින් එවිට අපට ඩොලර් ඉතිරිකර ගත හැකිවෙනවා.
අපේ රටේ බදු පැනවීම විසින් අපේ ආර්ථිකය හිරකර තිබෙනවා. ඒ නිසා ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. ලිහිල් බදුකරණයක් අපට අවශ්‍යයි. අපේ මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය සංකෝචනය කර තිබෙනවා. පොලී අනුපාතය ඉහළ දැමීම, විශාල ලෙස බදු පැනවීම, ආනයන සීමා කිරීම් වැනි දේ කළා. ඍණ අටකින් ආර්ථිකය හැකිළුවා. අපේ සැලසුම ආර්ථිකය ප්‍රසාරණය කිරීමයි. ආර්ථිකය වර්ධනය වෙන්න ඕනෑ. අපට තිබෙන්නේ කොළඹ කේන්ද්‍රකර ගත් ආර්ථිකයක්. අප එය ග්‍රාමීය ජනතාව වෙත ප්‍රසාරණය කළ යුතුයි. නව ආර්ථික ප්‍රභවයන් ගමට ගෙන යා යුතුයි. ඒ සඳහා බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. පුරවැසියන් මත පටවා තිබෙන උපයන විට ගෙවන බද්ද ආර්ථිකය හැකිළීමේ උපායමාර්ගයක්. භාණ්ඩ නිෂ්පාදනය වැඩිකොට උද්ධමනය අඩු කළ යුතුයි. නිෂ්පාදනය වැට්ටවීමත් නිෂ්පාදනය වට්ටවනවාට වඩා වැඩි වේගයකින් මිලදී ගැනීමේ හැකියාව වැට්ටවීමෙනුත් උද්ධමනය අඩු කළ හැකියි. භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව දුර්වල වූ විට භාණ්ඩ මිලදී ගැනීම සඳහා තෙරපුම අඩුවෙනවා. එවිට උද්ධමනය අඩු වෙනවා. මිනිසුන් ආර්ථික ක්‍රියාකාරකම්වල යොදවමින් තමයි ආර්ථිකය උඩට ගෙන ආ යුත්තේ. ආර්ථිකය කැරකැවිය යුතුයි. ඒ සඳහා ඇතිකර තිබෙන බදු ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කළ යුතුයි. විලංගු දමා තිබෙන ආර්ථිකය නිදහස් චලනයකට, ආර්ථිකය ගතිකත්වයකට ගෙන ආ යුතුයි.
“ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ලෝකය සමග ඉදිරියට යාම අපේ සැලසුමයි”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම-
රටේ ජනතාවගේ තැන්පත් එකතු කර, බැංකු පද්ධතිය තුළ රුපියල් ට්‍රිලියන 11ක පමණ වත්කම් ප්‍රමාණයක් පවතිනවා. බරපතළ ආර්ථික කඩා වැටීම නිසා බැංකු පද්ධතියේ අක්‍රීය ණය ට්‍රිලියන 1.1 දක්වා වැඩිවීමෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන්න හැකි වෙන්නේ නැහැ. පසුගිය අවුරුදු කිහිපය තුළ ඔබ සියලු දෙනාම මෙය අත්දැක තිබෙනවා. ජාතික ජන බලවේගයෙන් මේ සඳහා තිබෙන විසඳුම කුමක්ද, සැලැස්ම මොකක්ද යන්න පැහැදිලි කිරීමට මා යොමු වෙනවා.
අපේ ආර්ථික සැලැස්ම තිබෙන්නේ රටේ පුරවැසියන් එකතුකර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමයි. ඒ තුළින් දරාගත හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මෙන්ම අධ්‍යාපන පහසුකම් සහ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මූලිකම පදනමයි. දියුණුවේ යාන්ත්‍රණයේ පෙරගමන්කරුවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාය යන පදනමේ සිට හුදු ආර්ථිකය පමණක් හඹා යන සමාජයක් නොව මානව සබඳතා දියුණු කරන වැඩපිළිවෙළක්ද අපට තිබෙනවා. රටේ විසිරී තිබෙන සම්පත් ඒකරාශී කරගෙන උපරිම ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ලෝකය සමග ඉදිරියට යාම අපේ සැලසුමයි. ව්‍යවසායකයන්ගේ හැකියාව මත ව්‍යාපාර දිනාගෙන තාක්ෂණය සමග ඒකාබද්ධව අපනයන වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරනවා. ඒ තුළින් රාජ්‍ය ආදායම වර්ධනය කරගෙන තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම අරමුණයි. ව්‍යාපාරිකයන් සහ ජනතාව තලාපෙළනවා වෙනුවට තමන්ගේ හැකියාවේ ධාරිතාවය වර්ධනය කරගෙන ඉදිරියට යාමේ පුළුල් ඉඩකඩ ලබාදෙනවා. මේ වන විට බදු ගෙවීම් පැහැර හැරීම නිසා රජයට අහිමි වූ විශාල ආදායමේ අඩුව පුරවා ගන්න ඔබ, මම, මත බදු පටවා තිබෙනවා. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වගේම විශාල පරිමාණ ව්‍යාවසායකයන්ටත් විශාල බදු බරක් පැටවා තිබෙනවා. නොගෙවා සිටින බදු අයකර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. ඒ වගේම බදු පැහැර හැරීම වැළැක්වීමට සංකීර්ණ බදු ක්‍රමය වෙනුවට සරල සහ පහසු බදු ක්‍රමයක් තාක්ෂණය යොදාගෙන ක්‍රියාත්මක කරනවා.
වක්‍ර බදු මගින් ජනතාවට විශාල බරක් පටවනවා වෙනුවට ඍජු බදු මගින් තමන්ගේ හැකියාව සහ වත්කම් මත ආදායමට සරිලන ලෙස බදු අයකිරීමේ ක්‍රමයක් සකස් අප කරනවා. ඒ වගේම විෂය භාර ඇමතිවරයාට තම අත්තනෝමතික තීරණ මත ක්‍රියාකිරීමේ හැකියාව අවසන් කිරීමෙන් සීනි බදු වංචාව වැනි බදු වංචාවකට තිබෙන ඉඩකඩ අවසන් කරනවා. ඒ වගේම අවප්‍රමාණික තක්සේරු කිරීම් සහ මඟහැරීම් අවසන් කරමින් සෑම ආයතනයකම මුල් බැසගෙන තිබෙන දේශපාලන මැදිහත් කිරීම් අවසන් කර, ආයතනික ආචාරධර්ම පද්ධතියකින් නැවත නඟා සිටුවීමට කටයුතු කරනවා. රාජ්‍ය ආදායම නිවැරදිව කළමනාකරණය කිරීමේ මධ්‍යගත ආයතනයක් පිහිටුවනවා. රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන සහ පාඩු ලබන තත්වයට තල්ලු කළේ කොහොමද කියන එක නිවැරදිව සලකා බලා, ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන රාජ්‍ය ව්‍යාපාර හඳුනාගෙන කෙටිකාලීන, මැදි කාලීන සහ දිගු කාලීන සංවර්ධනයට අවශ්‍ය කාර්යභාරය පිළිබඳ වගකීම් හඳුනාගන්නවා. ටෙලිකොම් ආයතනය, ලංකා බැංකුව, මහජන බැංකුව වැනි ආයතන රටේ ඉතිරි අනාගතය වෙනුවෙන් ස්ථාවර කරමින් ලෝකය පිළිගත් ක්‍රමවේද අනුව ඉදිරියට ගෙන යනවා. විදේශ ආයෝජකයින් කැඳවා ගැනීමේදී විනිවිදභාවයකින් යුතුව ජාතික සැලැස්මට අනුගතව මෙහෙයවනවා. රටට අවශ්‍ය විදේශ සංචිත වැඩිකර ගැනීමට ආයෝජන විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් රඳවා ගන්නවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබෙනවා. දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මුල්‍ය අරමුදල සමග යන ක්‍රියාමාර්ග. ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමේදී ජනතාවට විශාල බරක් පටවමින් යන ක්‍රියාවලිය වෙනුවට පුරවැසියන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් අපේ ස්ථාවරයන් ගොඩනඟා ගැනීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා. ආර්ථිකය ප්‍රසාරණය කර, පුරවැසියන්ගේ ආදායම ඉහළ නැංවීමත් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමත් මූලික කරගත් සාකච්ඡා ආරම්භ කර, ණය නැවත ගෙවීමේ කොන්දේසි නැවත සමාලෝචනය කරනවා. මේ තුළින් රටේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත ඉහළ මට්ටමකට ගෙන එන්න අලුත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ හැකියාව සොයා බලනවා. උදාහරණයක් හැටියට විදේශ ආයෝජනයන් සමග රට තුළ රුපියල්වලින් ගනුදෙනු කර ලාභය ඩොලර්වලින් ගෙන යන ආයෝජන දිරි ගන්වනවා වෙනුවට ඩොලර් උපයන විදේශ ආයෝජන වර්ධනය කරමින් ලාභ ගෙනයාමේ අවස්ථාව සලසා දෙනවා.
ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සම්බන්ධයෙන් වෙනම සලකා බලන්න ඕනෑ. දළ ජාතික නිෂ්පාදිතයට සම්බන්ධ කර, පවත්වාගෙන යා යුතු අනුපාතයක් තීරණය කර, එම බැඳුම්කර යම් ප්‍රමාණයක් රුපියල්වලට පරිවර්තනය කරගෙන කටයුතු කිරීමේ උත්සාහයක් තිබෙනවා. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රතිප්‍රාග්ධනීකරණය වෙනුවෙන් ඒ ඩොලර් යෙදවීමේ හැකියාව සොයා බලනවා. රුපියල්වලට පරිවර්තනය කරන මුදල්වලට පවා ඒ වෙනුවෙන් යොදවා ගැනීමේ හැකියාව ප්‍රාථමික ගැනුම්කරුවන් මාර්ගයෙන් බැංකුවලට ලබාදීමේ හැකියාව සොයා බලනවා. ඒ තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන සලකා බලනවා. ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්ම තුළ තිබෙන්නේ මෙවැනි සංයුක්ත සමස්ත ආර්ථික වැඩපිළිවෙළක්. ආර්ථිකය සම්බන්ධ මහාචාර්යවරුන් විශාල පිරිසක් සම්බන්ධ කරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයෙන් සකස් කර තිබෙනවා. අප ඉදිරියේ තිබෙන්නේ ජාතික ජන බලවේගයද වෙනත් පක්ෂයක්ද යන ප්‍රශ්නයක් නොවෙයි. වංචාව, දූෂණය සමග තවදුරටත් විනාශය කරා යනවාද, එයින් රට මුදා ගෙන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට යනවාද යන්න තෝරා ගැනීමයි. බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් මේ එකතු වී සිටින්නේ ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩයාම සඳහා කැපවීමෙන් වැඩකරන පිරිසක්. ඉදිරියේදී තවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ගැටලු නිරාකරණය කරගෙන රට ගොඩනැගීමේ කාර්යයට සියලු දෙනාටම අවස්ථාව ලැබෙන ඇතැයි ප්‍රාර්ථනා කරනවා.