(-‘රට අනුරට’ – ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම රැලිය – 2024.08.22-)
රට පුරාම මේ ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවක්, මතයක් වාගේම අරමුණක් තිබෙනවා. මෙතෙක් නොතිබුණු අවස්ථාවක් මේ ක්‍රමය වෙනස් කරන්න උදා වී තිබෙනවා. ඒ සඳහා මෙතෙක් බලා සිටි අයට සැප්තැම්බර් 21වැනිදා ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා වෙනස් කිරීමේ ආරම්භය ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ අපි වෙනස් කිරීම පටන් ගන්න ලෑස්තියි. 22වැනිදා ඉඳලාම අපි ඒ වැඩේට බහිනවා. වංචාවේ, දූෂණයේ ගිලී තිබෙන ආණ්ඩුකරණය වෙනුවට එයින් මුදා ගන්නා ආණ්ඩුකරණයක් ඕනෑ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරමයි. මහජනයාට වඩා උඩින් සඳලුතලයේ ඉන්න දේශපාලනඥයන් සහ පතුලේ ඉන්න ජනතාවක් වෙනුවට හැමෝම සම තත්වයේ හිඳිමින් කටයුතු කෙරෙන වෙනසක් ජාතික ජන බලවේගයෙන් සිදු කරනවා. මේ දක්වා පාලකයාට නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රෝහිත පාර්ලිමේන්තුවේ ඉන්නවා. මිලියන හතළිහක වත්කම් උපයා ගත්තේ කොහොම ද කියලා අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණයක් පැවැත්වූවා. හරියටම පරීක්‍ෂණය පවත්වන දවසේ නයා කෑවා. සාමාන්‍ය පුරවැසියෙක් මෙහෙම කළා නම්, පොලිසියට නයාවත් ගේන්න කියනවා. පොදු ජනයාටත්, පාලකයාටත් සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටක් ජාතික ජන බලවේගයෙන් බිහි කරනවා.
පොලිසියේ මහත්වරුන්ටත් තමන්ගේ යුනිෆෝම් එකේ, තමන්ගේ සහ රැකියාවේ ගෞරවය තබාගෙන කිසිම දේශපාලනඥයකුට යටත් නොවී නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා රටක් හදන්න ඕනෑ. ඒ වෙනස කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින්. මුළුමනින්ම කඩාවැටී, සාමාන්‍ය පුරවැසියකුට ඉක්මනින්ම තමන්ගේ කටයුතු කරගත නොහැකි මට්ටමේ පවතින රාජ්‍ය යාන්ත්‍රණය ගොඩනඟන්නේ ජාතික ජන බලවේගයෙන්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනයත් මුළුමනින්ම වෙනස් කරන්න ඕනෑ. විෂයයන් නවීකරණය කරන්න ඕනෑ. ලෝකයේ අලුත් විද්‍යාව හා තාක්‍ෂණය උරා ගන්නා, දෙමාපියන්ට බරක් නොවන අධ්‍යාපනයක් අපි හඳුන්වා දෙනවා. ඒ අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක්. ක්‍රමානුකූලව මෙම කටයුතු සිදු කරන තෙක් ජනතාව ජීවත් කරවන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ 2048 දී එයා රට හදන තෙක් ඉවසන්න කියලයි. මරු මෑන් ! 2048 වෙන කොට එයාට අවුරුදු අනූනවයයි. එයා 2030 දී රට හදන බව කීවේ නැහැ. එහෙම කීවා නම්, මාධ්‍යවේදියො ප්‍රශ්න කරයි. නමුත්, 2048 වන තුරු එයාවත් ඉඳී ද? අපි පියවරෙන් පියවර රට ඉදිරියට ගෙන යන අතර, දිළිඳු ජනතාව ආණ්ඩුව විසින් බලා ගන්නවා. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය ලබාගත නොහැකි පුරවැසියන්ට මාසයකට රුපියල් 10,000කට වැඩි දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කර තිබෙනවා. ජීවිතාන්තය දක්වා නොවෙයි; මේ ආධාරය ලබා දෙන්නේ, රට ගොඩනඟමින්, ප්‍රතිලාභ ලැබෙන තුරු සෞඛ්‍යාරක්‍ෂිතව, දරුවාට අධ්‍යාපනය ලබා දෙමින් ජීවත් වෙන්නයි.
රැකියාවක් කරන කෙනාටත් බඩු මිල, සෞඛ්‍ය වියදම් වාගේම දරුවන්ගේ අධ්‍යාපන වියදම් දරා ගන්න බැහැ. ඒ නිසා ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධ බදු ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මුළුමනින්ම ඉවත් කරනවා. ජාතික ජන බලවේගයට ඒ වෙනුවෙන් සල්ලි කොහෙන් ද කියලා කට්ටියක් අහනවා. රනිල් වික්‍රමසිංහ අද කියලා තියෙනවා හෙක්ටයාර් එකකට රුපියල් 15,000 බැගින් පොහොර සහනාධාරයක් දෙනවාලු. අවුරුද්දකට දළ වශයෙන් හෙක්ටයාර් ලක්‍ෂ 14ක් වගා කරනවා. ආසන්න වශයෙන් රුපියල් මිලියන 22,000ක් විතර අවශ්‍ය වෙනවා. ඒ වාගේම ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000.00 ගාණේ වැඩි කරනවාලු. ආසන්න වශයෙන් අවුරුද්දකට රුපියල් කෝටි 40,000ක් විතර ඕනෑ වෙනවා. ඒ ගැන ප්‍රශ්න නොකරන අය ජාතික ජන බලවේගයෙන් දිළිඳු ජනතාවට ලබා දෙන සහනාධාර ගැන ප්‍රශ්න කරනවා. අපි ඒ සහනාධාර ලබා දෙන්නේ හොඳින් තෝරා බලා සකස් කර ගත් නිර්ණායක අනුව අවශ්‍යම ජනතාවට. එක කන්නයක් පොහොර සහනාධාරය ලබා දෙයි. ඔය කියන පඩි වැඩි වීම කරන්නේ නැහැ. එයා ජනවාරි වෙන කොට ගෙදර බව දන්නවා. ජාතික ජන බලවේගය රට ගොඩනඟමින් යන අතර, ජනතාව රැකබලා ගැනීම ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් මේ වන විටත් අය කර ගත හැකිව තිබෙන නමුත්, අය කරගෙන නොමැති බදු රුපියල් කෝටි 110,000ක් තිබෙනවා. ජනතාවගෙන් අය කර ගත් සමහර බදු වර්ග ඒ ජාවාරම්කාරයන් ආණ්ඩුවට ගෙවා නැහැ. ආණ්ඩුවට සම්බන්ධ අයගේ අරක්කු පැක්ටරි තුනකින් විතරක් රුපියල් කෝටි හයසිය ගණනක් එකතු කර ගන්න තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, අර්ජුන් ඇලෝසියස්, සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැග්ග ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මේ විදියට බදු පොලු තියලා තිබෙනවා.
ජනාධිපතිවරු, ඇමැතිවරු නඩත්තු කරන්න කොච්චර වියදමක් මහජනතාවගේ ධනයෙන් දරනවා ද? අවුරුද්දක දී විදේශගත වෙන්න අවශ්‍ය මුදල් තක්සේරු කරලා වෙන් කරනවා. නමුත්, රනිල් වික්‍රමසිංහට අවුරුද්දටම වෙන් කළ මුදල් මාස කිහිපයක දී ඉවර කරලා. ඒ ගොල්ලන්ගේ දේශපාලනය කරන්න මහජනයාගේ ධනය වියදම් කරනවා. මේ විදියට වෙන් කර ගත් සල්ලි මදි වෙලා අලුතින් ලක්‍ෂ දෙදාහක් රට යන්න විතරක් වෙන් කර ගත්තා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ නාස්තිය නතර වෙනවා. ඇමැතිවරුන්ට නිවාස, ලයිට් බිල්, වතුර බිල්, වාහන හත අටක්, ඉන්ධන, ටෙලිෆෝන් බිල් ගෙවන්නෙත් මහජනතාව. කෙහෙළිය රඹුක්වැල්ලගේ ගෙදරට 121,000ක මාසික ලයිට් බිලක් ආවා. භාණ්ඩාගාරයට ලැබෙන සල්ලි හොරකම් කරනවා විතරක් නොවෙයි, අත දිගහැර නාස්ති කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හොරකම නතර කර වංචාව දූෂණය නතර කර අය කරගත යුතු බදු අය කරගෙන අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවනවා. ඒ නිසා කාට සල්ලි හොයා ගන්න අමාරු වුණත්, ජනතාවට ලබා දිය යුතු සහන ලබා දීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට සල්ලි හොයා ගන්න වැඩපිළිවෙළක් තිබෙනවා.
පියවරෙන් පියවර රට ගොඩනඟන අතර, එක දරුවකුවත් අධ්‍යාපනයෙන් පිටමං වී පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. දුප්පත්භාවයෙන් මිදෙන්න තිබෙන ප්‍රධාන අවස්ථාව අධ්‍යාපනයයි. අපේ සැලැසුම්වල වැඩිම අවධානය යොමු කර තිබෙන්නේ නැණවත්, ගුණවත්, නිරෝගීසම්පන්න දරු පරම්පරාවක් ගොඩනැඟීමේ අධ්‍යාපනය වෙනුවෙන්. ලෝකයේ වටිනාම සම්පත් හැටියට වෙනත් භෞතික දේවල් හඳුනාගෙන තිබුණත්, අද වෙන කොට දැනුම මූලිකම සම්පතක් හැටියට ඉදිරියට පැමිණ තිබෙනවා. අපේ තරුණ, තරුණියන් මෘදුකාංග ඉංජිනේරුවරුන් හැටියට අඩුම තරමින්, ලක්‍ෂ දෙකක්වත් බිහි කරන්න සැලැසුම් සකස් කර තිබෙනවා. ඒ වාගේම ඉදිරි කාලයේ දී ක්‍රියාත්මක කරන සමස්ත වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. ලබන 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය කියන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඔබ අපට බලය ලබා දෙන දවසයි. ඒ නිසා ඉදිරි ටික දින තුළ අපි හැම දෙනාම ඉතා හොඳින් සැලැසුම් කරලා තවත් අය හමු වී දැනුවත් කර ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට ලබා දෙන්න ක්‍රියා කරන්න. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම ක්‍රියා කර රට ගොඩනැඟීමට එකතු වෙමු කියලා ආරාධනා කරනවා.
“හොරු රැලෙන් රට බේරාගෙන ශක්තිමත් ආර්ථිකයක් හදමු”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-
සැප්තැම්බර් මාසෙ 22 වැනිදා වෙනකොට ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙන බවට සහතිකය අද ඔබ දීලා තිබෙනවා. මේ මැතිවරණය ජනතාව පුල පුලා බලා සිටි මැතිවරණයක්. වෙනදා ඡන්දවලට කැමති වුණේ පාලකයන්, ජනතාව කැමති වුණේ නැහැ. මේ පාර ජනතාව ඡන්දෙ එනකම් බලාගෙන හිටියා. රනිල් වික්‍රමසිංහ මේ ඡන්දෙ කල්දමා ගන්න පුළුවන් තරම් උත්සා කළා. වසර 76ක සාපකාරී පාලනය නිමා කරලා, ජනතාවට සතුටෙන් ඉන්න පුළුවන් ජනතාවාදී පාලනයක් හදන්න මේ ඡන්දෙ ජනතාවට ඕනෑ. ලංකාවේ දේශපාලන ඉතිහාසය බැලුවොත් දේශපාලන කඳවුරු දෙකක් තිබ්බා. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන කඳවුරු දෙක අතර බලය හුවමාරු වුණා. ගම්වල ජනතාව ඔය පක්ෂ දෙකට බෙදිලා හිටියා. එහෙම වෙන්න තර්කානුකූල හේතුවක් තිබුණා. මේ දෙක අතර ලොකු වෙනසක් දැනුණා. දැනට අවුරුදු පහකට හයකට කලින් මේ තත්වය වෙනස් වුණා. අද අපිට එරෙහිව තිබෙනවා ගොඩවල් දෙකක්. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් එක ගොඩකුත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සජිත් තව ගොඩකුත් ගහගෙන ඉන්නවා. ඒ දෙකට පොහොට්ටුවේ තිබුණු කුණු ගොඩවල් ටික හේත්තු වෙලා ඉන්නවා.
රනිල් කියනවා, රට වට්ටපු අයත් එක්ක එකතුවෙලා රට හදන්න, හොරු අල්ලන්න එන්නලු. සජිත්ට එකතුවෙලා ඉන්න හොරුත් එක්ක පුළුවන්ද හොරු අල්ලන්න පුළුවන්ද? සජිත් මහත්තයා කොහොම කෙනෙක්ද කියලා තලතා අතුකෝරල නෝනා පාර්ලිමේන්තුවේදි කිවුවා. රනිල්ගේ උද්දච්චකමට පක්ෂේ දෙකට කඩා ගත්තා කියලා බැන්නා. එයා කිව්වා මාලිමාවේ ආණ්ඩුවක් එනවා ඒ ආවාම එයාලට දේශපාලනයෙන් දිවි නසා ගන්න වෙනවා කියලා. ඒගොල්ලන් පිළිඅරගෙන තිබෙනවා 22 දා වෙනකොට මාලිමාවේ ආණ්ඩුවක් එනවා කියලා. රනිල්, සජිත් හොරු එකතු කර ගන්නවා. ජනතාව මාලිමාවට එකතු වෙනවා.
මේ වට්ටපු රට ගොඩගන්න මේ ජනාධිපතිවරණය අපි දිනන්න ඕනෑ. මේ මාසේ 26 වැනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමාව තමයි “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” දැන් අපට තියෙන්නේ බංකොලොත් කරපු, දිළිඳුකමින් පිරුණු රටක්. අපරාධ වැඩිවුණු, මත්ද්‍රව්‍ය ගලාගෙන එන, දරුවන්ට කන්න දෙන්න බැරි රටක්, ලෝකෙට ණය වෙලා, ණය ගෙවා ගන්න බැරිව ලෝකයට පොලු තිබ්බ රටක් තමයි අපට ඉතිරි වෙලා තිබෙන්නේ.
අපේ රට ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක්. මානව සම්පතින් පොහොසත්. අවුරුදු 76ක් මේ රට පාලනය කළ පාලකයන් රට බංකොලොත් කළා. 1948 ලංකාවට නිදහස ලැබෙන කොට අපි ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයට හිමිකම් කීවා. අද ආසියාවේ දුප්පත්ම රට බවට පත්කර තිබෙනවා. මේ අපරාදෙට මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා, සජිත් පේමදාස, අජිත් පෙරේරා වගකියන්න ඕනෑ. දැන් අපි මේ වට්ටපු රට ගොඩගන්න ඕනෑ. ඒක අමාරු වැඩක්. ඒක කරන්න හැකියාව තිබෙන්නේ දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනගපු, දැවැන්ත මහජන සහායක් ලබන, අවංක එඩිතර නායකත්වයක් සහිත දේශපාලන නායකයෙකුට සහ දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එහෙම ව්‍යාපාරයකට තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.
අපට ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවයක් අවශ්‍යයි. ආර්ථිකයේ, දේශපාලනයේ, අධ්‍යාපනයේ පුනර්ජීවනයක් අවශ්‍යයි. අපට ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක්, ජනතා විශ්වාසයක් අවශ්‍යයි. හොරු රකින ආණ්ඩුවක් වෙනුවට රට හදන ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි ලබන මාසෙ 18 මධ්‍යම රාත්‍රියෙන් ප්‍රචාරක කටයුතු නවත්වන්න ඕනෑ. ඊට පස්සේ අපිට රැස්වීම් තියන්න, මාධ්‍ය සාකච්ඡා තියන්න බැහැ. ඒ දවස් දෙකේ ඒ ගොල්ලන් ආණ්ඩුව පාවිච්චි කරලා ලොකු බොරුවක් කියන්න පුළුවන්. ඒ අවස්ථාවේ මාලිමාව සම්බන්ධයෙන් කියන කුමන විදිහේ බොරුවකට රැවටෙන්න එපා. අපි ඒ ගොල්ලන්ට වඩා සබුද්ධික ජනතාවක් බව අපි පෙන්වන්න ඕනෑ. මේ ආර්ථිකයේ සාධාරණත්වය හදන්න ඕනෑ. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට එන ආර්ථිකයක් හදන්න ඕනෑ. ඒ ආර්ථිකය ඇතුලේ අපට ලස්සන ජීවිතයක් හැදෙන්න ඕනෑ. අපට වෙනසක් ඕනෑ. ඒ වෙනස අපේ දෑතින් නිර්මාණය කරන්න ඕනෑ. මේ හොරු රැලෙන් රට බේරාගෙන ශක්තිමත් ආර්ථිකයක් හදමු.
“රටේ මුළු මහත් ජනතාවම මාලිමාව වටා එකතු වෙමින් ඉන්නවා”
-ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ-
මේ රටේ ජනතාව දිගු කාලයක් තිස්සේ ප්‍රගතිශීලී ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සිටියා. අන්න ඒ බලාපොරොත්තුව ඉටුවන දිනය ළඟටම අපි දැන් අවිල්ලා. මීට වසර 06කට පමණ පෙර තමයි අපි මේ රටේ ප්‍රගතිශීලී සංවිධාන නායකයන් එකතු කරලා ජාතික ජන බලවේගය ගොඩ නැගුවේ. ඒකට මේ රටේ ප්‍රගතිශීලී වගේම දූෂණයට, වංචාවට හා රට ගොඩනැගීමට දායකත්වය දෙන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. අද රටේ මුළු මහත් ජනතාවම මාලිමාව වටා එකතු වෙමින් ඉන්නවා. මෙතෙක් මේ රට පාලනය කළ පාලක පංතිය දැන් හොඳටම බය වෙලා. ඒ බය නිසා තමයි 2023 පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. ඒ පළාත් පාලන මැතිවරණය තිබ්බා නම් ජාතික ජන බලවේගය නියත ලෙසම ජය ගන්නා බව රනිල් වික්‍රමසිංහලා දැන ගෙන හිටියා. ඒ නිසා තමයි ඒක කල් දැම්මේ. රනිල්ලා, පොහොට්ටුවේ නායකයොත්, සජිත්ලත් මේ ඔක්කෝම කලබල වෙලා තමයි ඒ පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට රනිල්ලා පයින් ගහපු නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා රනිල් රාජපක්ෂලා ඒ පළාත් පාලන මැතිවරණය කල් දැමීම විසින්, මේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතියක් උල්ලංඝනය කළා කියලා. ඒ නිසා මැතිවරණය කොමිෂමට නියෝග කරලා තියෙනවා, එම මැතිවරණය පවත්වන්න කියලා. ඒක අපි මේ රටේ ජනතාවට ලබා දුන්න තවත් ජයග්‍රහණයක්.
දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ එකම අභිලාෂය ඊළඟ මැතිවරණයෙන් නැවත අසුනක් දිනාගෙන පාර්ලිමේන්තුවට යන්නේ කොහොමද කියන එක. ඒ නිසා තමයි ඒ ගොල්ල මේ එහෙට මෙහෙට පනින්නේ. මේ පැනිලි තවත් ඉවර නැහැ. අපිට ඉදිරියටත් ඒව බලන්න පුළුවන්. එදා නාම යෝජනා දුන්න දිනයේ ලංකාව පුරා ජනතාව පාරවල්වලට, නගරවලට ඇවිල්ලා ජාතික ජන බලවේගයට, එහි නායක අනුර කුමාර සහෝදරයාට සුබ පැතුව හැටි ඔබ දකින්න ඇති. තලතා අතුකෝරාල මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවෙන් අයින්වෙනකොට ඇය මොනවාද කිව්වේ කියලා ඔබ දකින්න ඇති. ජාතික ජන බලවේගය ප්‍රබලම දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට එනවා. දැන් ඒගොල්ලන්ට තිබෙන එකම විකල්පය රනිල්, සජිත් කණ්ඩායම් එකතු වෙලා ඊට මුහුණ දෙන එක කියලා එයාගෙ කතාවේදී එයා කිවුව, ඒක මුළු රටම දැක්කා. ඒ විතරක් නොවෙයි, අනුර කුමාර සහෝදරයා මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන බවද ඇය හැන්සාඩ් ගත කළා. ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේත් ජාතික ජන බලවේගය කියලා ඇය කිවුවා. අපි කියනවා ඒක ස්ථිරයි. සහතිකයි කියලා. අපේ ජය නියතයි. සැප්තැම්බර් 21 ජයග්‍රහණය පංගුකරුවන් වෙන්න කියලා ඔබට අපි ආරාධනා කරනවා.
“ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් බලන්නට අවශ්‍ය නම් මාලිමාවට එන්න”
-ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි-
අද බණ්ඩාරගමට එකතු වී සිටින මේ තරුණ තරුණියන් ඇතුළු සියලු දෙනාම අනාගතය ගැන එකම එක හීනයක් දකිනවා. අනාගත සිහින දකින ඔබට අපගේ ඉතිහාස වංශ කතාව අලුතින් ලියැවෙන දිනය ලබන සැප්තැම්බර් 22 උදේ වෙන කොට උදාවෙනවා. ඒ අන් කවරක් නිසාවත් නොවෙයි. ඔබෙත්, අපෙත් අපේක්ෂා, ප්‍රාර්ථනා ඉටුකරන, රටේ අනාගත බලාපොරොත්තුව, රටේ අනාගත නායකත්වය නියත වශයෙන්ම බාර ගන්න අපේ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා වන නිසාමයි. ඒ පරිච්ඡේදය කතා දෙකක් ලියනවා. ඒ අවුරුදු 76ක් රටේ පාලනය ගෙනගිය මේ කසිකබල් වංචනික දේශපාලන පැළැන්තියේ අවසානය ලියැවෙන දිනය සැප්තැම්බර් 22 වන එක එකක්. අනෙක් එක තමයි ලාංකේය පුනරුද යුගයේ ආරම්භයත් සැප්තැම්බර් 22 ලාංකේය ඉතිහාසයේ වංශ කතාවට එකතු වෙන එක. මෙතෙක් කාලයක් මේ රට පාලනය කළ පාලකයන් ඇතුළු මේ ජනාධිපතිවරණයේදී අනුර සහෝදරයා සමග තරග වදින අනෙක් සියලු අපේක්ෂකයන් දන්නේ හොරකමයි, විකුණන එකයි ප්‍රතිපත්ති විරහිතව වැඩ කිරීමයි, බොරුවයි, වංචාවයි පමණයි. ඔබට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් බලන්නට අවශ්‍ය නම් එන්න මාලිමාවට. අපි ඔබට දොරටු ඇර තිබෙනවා. අපිත් එක්ක අත්වැල් බැඳගන්න, කියලා අපි කියනවා. තව දින කිහිපයක් තියෙනවා හිතන්න. ඡන්දෙ දෙන්න තත්පරයකට කලින් හරි හිතන්න. ප්‍රතිපත්ති ගරුක දේශපාලනය කියන්නේ මොකෙක්ද කියලා. කා ළඟද ඒක තිබෙන්නේ කියලා බලන්න අපිත් සමග එකතු වෙන්න.
අවුරුදු පහක් මට රටක් බාර දෙන්න කියා ඉල්ලන නායකයෝ කවුද කියලා බලන්න. විල්පත්තු කැලේ කපපු කෙනාත්, ඊට දඬුවම් දෙන ලෙස ඉල්ලා කෑ ගැසූ සජිත් ප්‍රේමදාසත් අද එකම වේදිකාවේ. මොනතරම් නිර්ලජ්ජිත වැඩක්ද? මේ වගේ අයත් රටේ නායකත්වය ඉල්ලනවා. හැබැයි මාලිමාව වේදිකාවේ එහෙම අය නැහැ. ඒ දේශපාලන විගඩම් මාලිමා වේදිකාවේ නැහැ. හෘදය සාක්ෂියට එකඟ දේශපාලනය දැකගන්න ඕන නම් මාලිමාවේ වේදිකාව ළඟට එන්න. ජාතික ජන බලවේගය නමැති යෝධ ව්‍යාපාරය සමග අනුර දිසානායක සමග එකතු වෙන්න කියන ආරාධනය තමයි අපි ඔබට කරන්නේ. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ඉස්ලාම්පල්ලි දෙකක් ඉලක්ක කරගෙන මුස්ලිම් බැතිමතුන් ආගමික මෙහෙවරක ඉන්න කොට 51 දෙනෙකුට මරු කැඳවූ ඒ ප්‍රහාරය සිද්ධ වෙද්දි අගමැතිනි ජසින්ඩා හැඟීම්බරව කියනවා නවසීලන්තයේ අඳුරුම දිනය එහි ඉතිහාසයට එකතු වුණා කියලා. ලංකාවේ දේශපාලන නායකත්වයක් වෙනුවෙන් අමු අමුවේ මහා ජනසංහාරයක් කළා. කතෝලික පල්ලිවල යාතිකා කරමින් හිටපු විශාල ජනතාවක් සංහාරය කිරීම ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දී හිනාවෙවවී වෙච්ච දේ වුණා වගේ හිටියා. එවැනි හිරිකිත දේශපාලනයක නිරත වූ අය අද ඇවිත් ජනවරමක් ඉල්ලනවා නම් ඒ ගැන නැවත හිතා බලන්න. එක පාරක් රැවටුණා ඇති. දෙපාරක් රැවටුණා ඇති. මේ පාර අපි ඔක්කොම එකතු වෙලා මේ නිර්ලජ්ජිත අමානුෂික දේශපාලනය මේ රටින් සදහටම තුරන් කර දමමු.
“ජනතාවගේ ජනාධිපතිවරයෙක් බිහි වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස-
අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත්වන බව දැන්නම් ස්ථිරවම පැහැදිලියි. ඒ බව තහවුරු කරන්නේ අද මෙතනට රැස්වෙලා ඉන්න ඔබ විතරක් නොවෙයි. අද උදේ තිබ්බලු පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවකිනුත් ඒ බව තහවුරු වෙනවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ පක්ෂයේ දැනට ඉතුරුවෙලා ඉන්න මන්ත්‍රීවරු කිහිප දෙනාගෙන් මධුර විතානගේ කියලා තිබෙනවා සැප්තැම්බර් 21 ජනාපධිතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළාම ඒ අයට ජීවිත තර්ජනයක් එනවා කියලා බයයිලු. ඒකට හේතුව හැටියට කියලා තියෙන්නේ දැන් පොලීසියෙ ත්‍රිවිධ හමුදාවේ අති විශාල පිරිසක් මේවන විට මාලිමාවට එකතු වෙලා ඉන්නවලු. විශාල ජනතාවක් ජාතික ජන බලවේගය වටා පෙළගැසෙන විට මධුර විතානලා බියෙන් සලිත වෙනවා.
1977 එජපය දිනුවට පස්සේ එජාප මැරයෝ ගිහිල්ලා ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැහුවා. ගෙවල් ගිනි තිබ්බා. දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවට පැනලා ඉන්න ප්‍රසන්න රණතුංගලගෙ ගෙටත් එජාප මැරයො ගහලා තිබෙනවා. කතාවට කියනවා අර්ජුනගෙ බැට් එක විතරයි බේරා ගත්තේ කියලා. ඒ දේම 94 ත් වුණා. ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදූ ගමන්ම ඒ දේම එජාප පාක්ෂිකයන්ටත් කළා. මතක තබා ගන්න 2024 සැප්තැම්ර් 22ට එළිවෙන්න මෙරට ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් වගේම සාමකාමීම මැතිවරණ සහ සාමකාමීම පශ්චාත් මැතිවරණය ලෙස ඉතිහාසයට එක්වෙනවා. අනුර කුමාර සහෝදරයාට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රට භාර දෙන්නේ ඇයි? සියලුදෙනාගෙම ජීවිත ආරක්ෂා කරන්න. හැමදෙනාටම සාමය ආරක්ෂා කරන්න තමයි අනුර සහෝදරයා ජනාධිපති වෙන්නේ. ඒ නිසා මධුර විතාන ඔයාලා ඒවට බය වෙන්න එපා. 22 මොකවත් ඔයාලට වෙන්නේ නැහැ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදාගෙන අමාත්‍යාංශ 25ක් නම්කරගෙන ඉතිහාසයේ පළමු වතාවට මහජන ආණ්ඩුවක් හැදිලා අපි කරන ප්‍රධාන වැඩ ටිකකුත් තිබෙනවා. මේ රටේ ජනතාවගේ ධනය කොල්ලකාපු, දූෂණය කරපු, හොරකම් කරපු, කප්පම් ගත්තු, දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි කරපු අයට එරෙහිව ජනතාවගේ පරමාධිපත්‍යය ඉදිරියේ නඩු පවරනවා. ඒ සඳහා පොලීසියට, නීතිපති දෙපාර්තමේන්තුව නිසි විධියට වැඩ කරලා අපි ඒ සියලු නඩු අධිරණයට බාර දෙනවා විසඳන්න කියලා අපි කිසිම අතපෙවීමක් කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස පස්සෙන් ගිහිල්ලා සුභ දිසාව බලලා නාම යෝජනා දෙන්න ගිහිල්ලා සවුත්තු වෙලා ඊළඟට 17 වැනිදා මෙතන රැස්වීමක් තිබ්බා. අද 22 අපේ රැස්වීම. එදා සජිත්ගේ කොහොමද? අද අපේ එක කොහොමද? මේ ජනතාව දැක්කම සජිත්ට අපේක්ෂකකමෙන් ඉල්ලා අස්වෙන්න හිතේවි. මේක තමයි රට පුරාම රැල්ල. 17දා තංගල්ලෙන් අපි පටන් ගත්තා රුහුණු රැල්ල. දැන් සුනාමියක් වගේ රට පුරාම හඹාගෙන යනවා. මේකට තමයි ප්‍රතිවාදියෝ බය. ඒ නිසා තමයි දැන් ඔය එක එක නරක හීන පේන්නේ. මෙතනට එන්න ජනතාව බොහෝ කාලයක් බලාගෙන හිටියා. ඇත්ත ඇති සැටියෙන් දකින්න බොහෝ කාලයක් ගියා. තමන්ගේ අත්දැකීම් ජාතික ජන බලවේගය වටා රොද බැඳගෙන එකතු වෙන්න පටන් අරගෙන තිබෙන්නේ. දැන් ජනතාව තීන්දු කරලා ඉවරයි. අපේ ජනාධිපතිවරයෙක් අපි තෝරා ගන්නවා කියලා.
අපි බලයට එන්නේ පොහොසත් රටක් හදන්න. ලස්සන ජීවිතයක් ඔබට ලබා දෙන්න. මේ දුක් විඳින ජනතාවට ඕනෑ එහෙම රටක්. අපේ රට ස්වභාවික සම්පතින්, මානව සම්පතින් පොහොසත් තමයි. හැබැයි පාලකයෝ මේ රට දුප්පත් කළා. අපි යන්නේ මහජන ආණ්ඩුවක් හදන්න. ඒකේ පළමු කාර්ය තමයි ඔබේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳන එක. ඒක සැලසුම් සහගතව කරන්න ඕනෑ. ඔබව පීඩාවට පත් නොකර හොඳ ජීවිතයක් ඔබට අත් විඳින්න අවස්ථාව සලසා දෙන එක අපි අපේ වගකීම කරගෙන ඉන්නවා. ඔබේ ප්‍රශ්නය විසඳන සැලසුම් හදන අද්විතීය විද්වත් මණ්ඩලයක් අපි සතුයි. සමහර විද්වතුන් බලාගෙන ඉන්නවා ඔවුන්ගේ පිටරට රැකියා අතහැරලා අපේ රටට ඇවිල්ලා තම සේවය ලබා දෙන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට එනකල් නොබෙල් තැග්ග දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ශ්‍රී ලාංකික විද්‍යාඥයාත් ඉන් කෙනෙක්. ඒ අය රටට සැබෑ ලෙසම ආදරය කරන මිනසුන්. ඔබගේ මහන්සියේ ප්‍රතිඵල අපතේ නොයවන මේ රටේ බිහිවෙන ඇත්ත ජනතාවාදී පාලනය අපි ගොඩනඟනවා. මේ ජනතා ආණ්ඩුවක් ජනතා ජනාධිපතිවරයෙක් බිහි වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.