සාමාන්‍යයෙන් අපිට මේ වගේ වේදිකාවලට නගිද්දී විශාල ප්‍රීතියක් ජවයක් ලැබෙනවා. නමුත් අද කියන්න කණගාටුයි එහෙම සතුටකවත් ජවයක්වත් නැහැ. අද මට දැනෙන්නේ උපන් බිමේ අසරණ වූ පුද්ගලයෙක් විදියටයි. ඒ කාරණයම තමයි මම වේදිකාවට ගොඩවීමට හේතුවත්.
1948 ආසියාවේ ප්‍රබලම ආර්ථිකයකට හිමිකම් කියපු අපි ඒක පුද්ගල ආදායම ජපානයට වඩා එක ඩොලරයක් පිටුපසින් හිටපු අපි අද ආසියාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම ප්‍රශ්නයක් වුණු ආර්ථිකයක් බවට පත්වෙලා. 1948 ඉඳලා මේ වෙනකල් ඉදිරිපත් කළ අයවැය ඔබ කියවලා බැලුවොත් ඔබ ලංකාව ගැන හරි හැටි නොදන්න කෙනෙක් නම් ඔබ හිතන්නේ මේක කේතුමතී රාජ්‍යයක් කියලා. එතරම් ලස්සන යෝජනා අදහස් අයවැය වාර්තාවල තිබුණා. ඒ නිසා මම කියන්න කැමතියි අපිට අද ඕනෑ ලස්සන අදහස් පිරිච්ච අයවැය පොත් පිංචක් නෙවෙයි. මේක ඉතාමත් තීරණාත්මක මොහොතක්. අනාගතේ ඉපදෙන දරුවටත් තීරණාත්මකයි. අපේ තාත්තලා පුංචි කාලේ කියපු මේ රට දියුණු වෙමින් පවතින රටක් කියන කාරණය අපි අද අපේ දරුවන්ටත් කියනවා.
මේ අයවැය ඉදිරිපත් වෙන වටපිටාව දිහා බැලුවොත් ගොඩක් අතීතයට යන්නේ නැතුව 2019 ආර්ථික වර්ධන වේගය 2.3යි. 2021 වාර්ෂයේදී ආර්ථික වර්ධන වේගය 3.7යි. 2022දී ඝෘණ 7.8යි. නමුත් ලස්සනම වැඬේ මේ අයවැය වාර්තාවෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂයේදී ආ.ව.වේ. සියයට 03ක් 04ක් දක්වා ඉහළ දමාගන්න. නමුත් ලෝක බැංකුව, අයිඑම්එෆ් වගේ සංවිධාන දරණ මතය වෙන්නේ මේ යන ආර්ථික ගමනට අනුව ලබන වර්ෂයේ ආර්ථික වර්ධන වේගය ඝෘණ 3.7යි කියලා.
අයවැයක ප්‍රධාන අරමුණ තමයි ලබන වසරේදී සංවර්ධනයේ අරමුණු සහ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් අපේ වගේ රටවල්වල මහජන මුදල් රැස් කරන්නේ කොහොමද සහ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සේවා සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ යම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම. නමුත් අද අපේ රටේ තත්වය අනුව අයවැය ලේඛනයෙන් ඊට එහා ගිය පරමාර්ථයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි නිෂ්පාදනය බිඳවැටෙමින් යෑම. අනෙක් කාර්ණය ඩොලර් හිඟකම. ඒ ඔස්සේ උද්ධමනය වැඩිවෙමින් යනවා. තවත් කරුණු ගණනාවක් සිදුවෙමින් යනවා. අපේ විදේශ සංචිත ඝෘණ වෙලා. මේ අයවැයෙන් මේවට උත්තර තියෙනවද? එහෙම කිසිම උත්සහයක් දකින්න නැහැ. ඒවා කළමනාකරණය කරනවා නම් අයවැයක දකින්න පුළුවන් ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. අනෙක් ආදායම් වියදම් (පිස්කල්) ප්‍රතිපත්තිය. බදු ආදායම් ලබාගෙන ඒවා අවශ්‍ය තැන්වලට යොදා ගැනීම පැහැදිලිව සඳහන් කළ යුතුයි. එහෙම දේවල් මේ අයවැයේ නැහැ. අපිට පේන්න තියෙන්නේ සාම්ප්‍රදායිකව ආපු ගමනම ඉදිරියට යෑමක්. තවත් වසරක් ඉදිරියට යන්න මුදල් ටිකක් හොයාගන්න මොනවා හරි කිරීමක් විතරයි දකින්න තියෙන්නේ. ඒකට තමයි රාජ්‍ය ආයතන ටිකක් විකුණන්න හදන්නේ වෙන වෙන වචන දාලා.
2020 ජනාධිපතිගේ වැය මිලියන 2292යි. 2021දී මිලියන 2598යි. 2022දී මිලියන 2315යි. 2023දී අපේක්ෂිත වියදම 2610යි. වෙනසක් තියෙනවද? ඒ නිසා තමයි අපි කියන්නේ පෙර ගමන්මඟයි මේ කියලා. කිසිදු වෙනසක් නැහැ. මේ ආර්ථිකය කඩා වැටුණට වඩා කඩා වට්ටපු එකක්. ලෝකයේ කිසිම රටක් ආර්ථික විනාශ කරපු අයම ඒ රට ගොඩ නඟලා නැහැ. දෙවන ලෝක යුද්ධයට ජපානය ඇදගෙන යන්නේ අධිරාජ්‍යවරයා. 1948 වන විට ජපානය සම්පූර්ණයෙන්ම විනාශයි. නමුත් ජපානය ගොඩගන්නේ ඒ අධිරාජ්‍යවරයා පැත්තකින් තියලා උගත් බුද්ධිමත් රටට ආදරය කරන පිරිසක්. පාලන බලයට අත තියන්න අධිරාජ්‍යයාට ඉඩ දෙන්නේ නැහැ. අද සමහරු තවදුරටත් විශ්වාස කරනවා විනාශ කරපු අයටම ගොඩගන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මේ වේදිකාවට ගොඩ වෙද්දී මට සතුටක් නැත්තේ.
මහ බැංකුවෙන් බලාපොරොත්තු වෙනවා අවශ්‍ය බිම සකස් කරලා දීම. ස්ථාවර මිලක්. ස්ථාවර උද්ධමනයක් සහිත ආයෝජකයෙකුට විශ්වාසයක් තැබිය හැකි බිමක් විය යුතුයි. අද පොලී අනුපාතික තියෙන්නේ සියයට විසිගණන්, තිස්ගණන්වල. ඔබ රුපියල් සියයක් බැංකුවකින් ණයක් ගත්තොත් රු.25ක 26ක පොළියක් ගෙවිය යුතුයි. මම හිතන්නේ නැහැ කිසිම රටක එහෙම තියෙනවා කියලා. නමුත් සමහර ණයවලට වෙනසක් කළ යුතුයි. ජපානයේ නිෂ්පාදන සඳහා ගන්නා ණය සඳහා පොළී අනුපාතිකය 0.1%යි. නමුත් ලංකාවේ ණයක් ගත්තොත් මොකද වෙන්නේ. ඒ නිසා මහ බැංකු ලස්සන පිටියක් හදල දෙන්න ඕනෑ මැච් එක ගහන්න. අයවැයකින් කරන්න ඕනෑ එහෙම දැක්මක් සහිතව රට සංවර්ධනය කිරීම. එහෙම දැක්මක් මේ අයවැයේ තියෙනවද? උදාහරණයකට ගන්න මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කරන්න රුපියල් මිලියන 100ක් වැය කරනවාලු. නිකන් ඔබ හිතල බලන්න අපේ රටේ වැව් කීයක් තිබෙනවාද? වැව් ගණනින් බෙදල බැලුවම ඔබට තේරෙයි මේ යෝජනාවල තරම. බෙල්ල මරිකලා හරි බදු ටික ගන්න මිසක් ආර්ථිකය හැරවුමකට ගන්න යෝජනා නැහැ. හුස්ම ගනිමින් ලෙඩ ඇඳේ ඉන්න ආයෝජකයෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවනම් ඒ අයත් පන්නල දාලා ඉදිරි වසර ගෙවන්නද යන්නේ. උණක් හැදුනම පත්තියන් ආහාර කෑවට උණෙන් ගොඩ එන්න ශක්තිමත් ආහාර ලෙඩාට දෙන්න වෙනවා. එහෙම එකක් මේ අයවැයේ නැහැ. අපිට සතුටක් නැහැ අපේ දැනුමෙන් මේ රටට වැඩක් කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මේ වගේ වේදිකාවක අපේ දැනුම බෙදාගන්න ලැබීම එක්තරා දුරකට සතුටක්.
ඔබ මේ වනවිටත් දන්නවා අපේ රට පාලනය කරන්නේ අයවැය හදන්නේ ඉතාම දූෂිත කණ්ඩායමක් කියලා. දූෂිත කණ්ඩායමක් විසින් සකස් කරන අයවැයක තාක්ෂණික කාරණා අයවැයට පලදායි වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කිරීම ඒ තරම් සාර්ථික වෙන්නේ නැහැ. මොකද ඔවුන් මේ අයවැය සකස් කරන්නේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්න මිසක් ආර්ථිකය දියුණු කරන්න නෙවෙයි. නමුත් අපි හිතමු දූෂිත නොවන ඇත්ත වුවමනාව තියෙන කණ්ඩායමක් හදන් අයවැයක් කියලා. ඒකෙත් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් එවැනි අයවැයක් ගැන සාකච්ඡා කිරීම වැදගත් දෙයක් වෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනෑ.
මේ අයවැය කාටද? කෝටි දෙකක් වෙනුවෙන් මේ අයවැය යෝජනා හදන්නේ ඉතාම සුළු කණ්ඩායමක්. ඒ නිසා ලැබැඳියාවන්ගේ ගැටුමක් එනවා. දූෂිත කණ්ඩායමක් ඒ තීන්දු තීරණ ගන්න විට මේ ලබැඳියාවේ ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙනවා. ඒ නිසා මේ අයවැය ගත්තොත් හුදෙක් ජනතාව වෙනුවෙන් නොව ආණ්ඩු බලය පවත්වාගෙන යෑම අරමුණෙන්ම සක්ස කරන ලද අයවැයක්. ඒක හොඳටම පැහැදිලියි. මොකද මේ අයවැය යෝජනා අයිඑම්එෆ් යෝජනා අනුවම තමයි සකස් කරලා තියෙන්නේ. 2025 වන විට ආණ්ඩුව පෙන්වන්න ඕනෑ අයවැය ශේෂය ධන 2.3ක් කියලා. ප්‍රාථමික ශේෂය ඝෘණ 5.4 සිට ධන 2.3ක් දක්වා ගේන එක පහසු කාර්යයක් නෙවෙයි. ආදායම් වැඩි කරගන්න ඕනෑ. පොළි හැර අනෙක් වියදම් අඩු කරගන්න ඕනෑ. ඒ වගේම දළ දේශීය නිෂ්පාදනයත් මේකට බලපානවා. ඒ නිසා මේ සංඛ්‍යා ලේඛන වල තිබෙන දේවල් යථාර්ථයක් වෙන්නේ නැහැ. ආර්ථිකය එන්න එන්නම හැකිළෙනවා.
සමස්ථ අයැවය හිගය බිලියන 2400 ගණනක් වෙනවා. ඒ නිසා ණය ගන්නට වෙනවා. මේ තියෙන තත්වය අනුව විදේශීය අංශයෙන් ණය ගන් අපහසුයි. නමුත් ආණ්ඩුව කියනවා ණය ගන්නවා කියලා. නමුත් ඒ ගන්න ණය පිළිබඳවත් කිසිදු පැහැදිලිතාවයක් නැහැ. නමුත් දේශීය ණය ගන්න පෙළඹුම වැඩියි. එහෙම උනොත් පොළී අනුපාතය විශාල ලෙස ඉහළ යනවා. ඒ මගින් මහජනතාවට දැනෙන බර මේ අය සාකච්ඡා කරන්නේ නැහැ.
ගත්ත ණය ගෙවීම සම්බන්ධයෙන් ණය ගැනීමට සිදුවෙනවා. ඒ අනුව රුපියල් ටි්‍රලියන 5කට ආසන්න ප්‍රමාණයක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් තවදුරටත් සිදුවෙන්නේ ණය උගුලේ හිරවීමයි. ඒ නිසා බදු වැඩි කිරීම අනිවාර්යයක්. අනෙක් තමයි දිගුකාලීන සැලැස්මක් නැති ආණ්ඩුව කෙටිකාලීනව කරන එකම දේ විකිණීම. ඒ නිසා තමයි ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර පවා විකුණන්න හදන්නේ. විකුණලා ගන්න සල්ලි වලින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූගතකරනවා කරලා ආර්ථිකය දියුණු කරන බවක් කියනවද නැහැ. කරන්න යන්නේ විදෙස් සංචිත වැඩිකිරීමයි. ඒක අයිඑම්එෆ් කොන්දේසියක්.
අයවැයේ පදනම් විරහිත නමුත් ලස්සන ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. හැම අවුරුද්දකම අපනය ආදායම ඩොලර් බිලියන 03කින් වර්දනය කරනවලු. නමුත් කරන්නේ කොහොමද කියලා නැහැ. මේ ගණන ඩොලර් බිලියන 4කියන්නත් තිබුණා. 05ක් කියන්නත් තිබුණා. ඒ නිසා බුද්ධිමත් කණ්ඩායම් මේවා ප්‍රශ්න කළ යුතුයි. ලංකාවේ මූල්‍ය පිළිබඳ දැනුම ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ. ඒක ආණ්ඩුව හොඳට දන්නවා. ඒ නිසා තමයි මේ ජනතාව නොමඟ යවන සුළු යෝජනා ඉදිරිපත් කරන්නේ. තව කරුණක් කියනවා ඉදිරි වසර 10 ඇතුළත විදේශ ආයෝජන වසරකට බිලියන 03 ගණනේ වැඩි කරනවලු. එහෙම බැලුවම වසර 10ට බිලියන 30ක් වෙනවා. නමුත් පැරණි සංඛ්‍යා ලේඛන බැලුවම වසර 40කට විදේශ ආයෝජන තිබෙන්නේ ඩොලර් බිලියන 13යි. ඒ නිසා පැහැදිලියි කොයිතරම් විකෘති සංඛ්‍යා ලේඛන මේ තියෙන්නේ කියලා. නමුත් මේවා කියලා අයිඑම්එෆ් රවට්ටන්න බැහැ. ඒ නිසා ජනතාව රවට්ටන ඒවා එක පැත්තක තියෙනවා. අයිඑම්එෆ් එකට අවශ්‍ය සංඛ්‍යා ලේඛන වෙනම තියෙනවා. නමුත් හොඳට මතක තබාගන්න අයිඑම්එෆ් එකෙන් ඩොලර් බිලියන 2.9 දුන්නත් මේ වැඬේ ගොඩ දාන්න බැහැ.
ඊට පස්සේ කියනවා පරිසර හිතකාමී ආර්ථිකයක් හදනවා කියලා. ඉතිං හොඳයිනේ. ඩිජිටල් ආර්ථිකයක් ගැන කියනවා. නමුත් 2019 ආණ්ඩුව මීටත් වඩා ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කළා. නමුත් මේවා හරයෙන් තොර කතන්දර පමණයි. තව කියනවා 2025 වෙනකොට ආර්ථික වර්ධන වේගය 7ට 8ට ගේනවා කියලා. මේ තියෙන තත්වය අනුව කොහොමද ඒක කරන්නේ. මේ නිකන් කතා විතරයි. මෙහෙම තත්වයක් තුළ මේකට ප්‍රශස්ථි ගායනවා කරන තවත් පිරිසක් ඉන්නවා. එහෙම කරන විද්වතුන් කණ්ඩායමක් ඉන්නවා. නමහරු දැනුවත්ව කරනවා. සමහරු නොදැනුවත්ව කරනවා. ඒ නිසා මම ඒ අයගෙන් ඉල්ලනවා ජනතාව පීඩාවට පත්කරමින් දූෂිත කණ්ඩායමක් තමන්ගේ බලය තහවුරු කරගන්න උත්සහයට උදව් කරන්න එපා කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අයවැය ජනතාව වෙනුවෙන් නෙවෙයි ඉතාමත් දූෂිත කල්ලියක් වෙනුවෙන් කියලා. ඒ නිසා අපි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි ජනතාව දැනුවත් කරන්න ඉදිරිපත් වුනේ. මේ අය අපිට පෙන්වනවා මේ ලෙඩා ගොඩගන්න යන්නේ රටම ශල්‍යාගාරයක් වගේ කියලා. නමුත් අපි කියනවා මේ ඉන්නේ හොර දොස්තරලා කණ්ඩායමක් ජනතාවගේ අතපය ගලවන වදකාගාරයක් මේක. ලෙඩා බේරෙන්නේ නැහැ. ලෙඩා මැරෙනවා. ඒකෙන් බේරගන්න අපි මැදිහත් වෙනවා.
අපේ මාතෘකාව බදුබර අහසට අයවැය කාටද? කියලා තිබුණට අයවැය අහසට බදුබර කාටද? කිව්වත් ලොකු වෙනසක් නැහැ කියලා මට හිතෙනවා. මේ මහපොළවේ අයවැයක් නෙවෙයි. නමුත් මහපොළවේ ඉන්න ජනතාවට ලැබුණේ බදුබරක්. රනිල්ගේ කතාව සම්පූර්ණයෙන් තියෙන්නේ අහසේ. මහපොළවේ තිබෙන යථාර්තය, ප්‍රශ්නය අතගාලාවත් නැති අයවැයක් මේක. 74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් තමයි 77වැනි අයවැය. එක්තරා දේශපාලන සරදමක් තිබෙනවා. මොකද 74 වසරක සාපයට වගකිය යුත්තෙක් වන රනිල් වික්‍රමසිංහ විසින්ම මේ අයවැය ඉදිරිපත් කිරීම එක්තරා ආකාරයක සරදමක්. රනිල් අයවැය කතාවේ මුල් පිටුවේ කියනවා නිදහසින් පසු 75වැනි වසර ගෙවන අපේ රට පත්ව ඇති තත්වය ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? අපට වැරදුනේ කොතනද අප වරද්දාගත්තේ කොතනද? මේ කියන්නේ කවුද? මුලින්ම යෞවන කටයුතු ඇමති, තරුණ ඇමති, කර්මාන්ත ඇමති, හයපාරක් අගමැති, දැන් පිනට ජනාධිපති. රනිල් ජනතාවගෙන් අහනවා මොකද වුනේ කියලා. රනිල් ජීවිත කාලයේ වැඩිපුරම කාලා ඇත්තේ පාර්ලිමේන්තුවෙන්. ජීවත් වෙලා තියෙන්නේ ජනතා මුදල්වලින්. ඒ තරම් පාර්ලිමේන්තුවේ හිටියා. ඔය පාර්ලිමේන්තුවේ බහුතරයක් එහෙමයි. උන් අපෙන් අහනවා කාටද වැරදුනේ කියලා.
ඊට පස්සේ කියනවා ජනප්‍රිය තීරණ නෙවෙයි හරි තීරණ ගන්න ඕනලු. කවුද එපා කිව්වේ. ජනප්‍රිය තීරණ නෙවෙයි නිවැරදි තීරණ ගන්න කියන රනිල් නෙවෙයිද බ්‍රේස්ලට් දෙන්න කතා කළේ. අගමැති විදියට වොක්ෂ්වැගන් කර්මාන්ත ශාලාවක් ගේනවා කියලා පොල් ගස් කපලා දැම්මා. වොක්ෂ්වැගනුත් නෑ පොල් ගසුත් නෑ. කුඬේ යටින් යන අයට වාහනයක් දෙනවා කිව්වා. එහෙම කරපු අය දැන් කියනවා නිවැරදි තීරණ ගන්න ඕනෑලු. අනුන්ට ණය වෙමින් ගිහින් වැඩක් නෑලු. මෙහෙම කියන්නේ රට ප්‍රපාතයකට ඇදල දාලා. පළිඟු මැණිකේ සූරසේන ගෙනාපු ආර්ථිකය තමයි මේ තියෙන්නේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට තමන්ට අනිත් එකාට වැඩියෙන් ණය ලැබෙනවා කියලා පාරම්බෑවේ නැද්ද? ණය ගැනීම අභිමානයක් විදියට හිතපු අය අද තමයි මේ කතාව කියන්නේ. රනිල් ඕවා කිව්වට වැඩක් නෑ මොකද රනිල්වයි රනිල්ගේ ප්‍රතිපත්තියි එලවලා දාන්න ජනතාව තීරණය කරලා ඉවරයි. රනිල් ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ. ජනතාව තීරණය අරන් ඉවරයි අවස්ථාවක් එනකල් ඉන්නේ.
අයවැය කතාව මුල ඉඳල අගට කියවල බලන්න ජනප්‍රිය තීරණ නැතුව නිවැරදි තීරණ තියෙන්නේ මොනවද කියලා. මේ අයවැය පුරාවට තියෙනවද මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන නිවැරදී තීරණයක්. මේකේ තියෙන්නෙත් පරණ වට්ටෝරුවම තමයි. මේ අයවැයෙන් කියනන් පුළුවන් එක දෙයක් තියෙනවා. ඉදිරි මාස 04ක් ඇතුළත ඡන්දයක් එයි කියලා. මොකද සමෘද්ධි දීමනාව, වැඩි හිටි දීමනාව වෙනුවෙන් බිලියන 20ක් වෙන් කරලා තියෙනවා. ඒවා ආපහු අය කරගන්නේ ජනතාවගෙන්ම තමයි. මේ ඊයේ පෙරේදා නැවත රුපියල් බිලියන 130ක් මුදල් අච්චු ගහලා තියෙනවා. බදු ගැහුව්වා. යම් වැටුපක් ලබන සියලු දෙනාට මේ බදුබර දරාගන්න බැහැ. දැන් යම් ඉහළ රැකියාවක් කරපු අය රට දාලා යන්න පටන් අරන්. රටේ ඉන්න උගත්තු පලවා හරින ආර්ථිකයක් මේක.
මේ අයවැය තමයි මේ තරම් ආදායම් වියදම් ප්‍රසාරණය කරපු අයවැයක් බවට පත්වෙලා තිබෙන්නේ. ටි්‍රලියන 7.5ක් දක්වා වියදම් ප්‍රසාරණය කරලා. ඒ ණය ගන්න උවමනාව නිසා. ණය සීමාව වැඩිකරන්න කරපු වැඩක්. නමුත් අයවැය හිගය පියවන්න ණය ගන්නේ කොහොමද ආණ්ඩුව. මොකද දැන් ණය ගෙවන්නේ නැහැ. නමුත් ඩොලර් බිලියන 2.3ක් විදේශ ණය ගන්න බලාපොරොත්තු වෙනවා. රනිල් අයවැය ඉවර වෙන්න කලින් කියන්න ඕනෑ මොන රටවල්වලින්ද ණය ගන්නේ කියලා. අයවැය කියන්නේ උපකල්පනයක්. ඒක යථාර්තවාදී වෙන්න ඕනෑ. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් වෙන්න ඕනෑ. දැන් මේ අයවැය හිගය පියවන්න බැරි වුනොත් මොකද වෙන්නේ. ණය ගන්න බැරි වුනොත් ජනතාවගෙන් අය කර ගන්න වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය බැංකු පද්ධතියෙන්. මීට කලිනුත් දේශපාලන තීරණ වෙනුවෙන් දේශීය බැංකු පද්ධතියෙන් ණය අරන් බැංකු පද්ධතිය විනාශ කළා. දැනුත් කරන්න යන්නේ ඒක. මේ විදියට ගියොත් 2008 ඇමරිකාවට වෙච්ච දේත් ග්‍රීසියට වෙච්ච දේත් ලංකාවට සිදුවෙන එක වළක්වාගන්න බැරිවෙන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි කියල තියන්න ඕනෑ. ඒ නිසා අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගන්න ඕනෑ. මොකද ආර්ථිකයේ කොඳු නාරටිය කියන්නේ බැංකු පද්ධතිය. ඒ නිසා අපේ මහාචාර්ය තුමා කිව්වා අයවැයෙන් මැච් එක ගහන්න පුළුවන් විදියට පිටිය හදාගන්න ඕනෑ කියලා. නමුත් පිටිය හදාගත්තත් මැච් එක ගහන්න කට්ටිය ඉන්නවද? රනිල් එක්ක, මහින්ද එක්ක, සජිත් එක්ක මේ මැච්එක ගහන්න බෑ. ඒ නිසා අපේ රටේ ජනතාවට කියනවා මැච් එක ගහන්න පුළුවන් හොඳම කණ්ඩායම තෝරගන්න කියලා.
අපි ආවාම අපිට කරන්න පුළුවන් දේ මාස 06න් කරලා පෙන්වනවා. නමුත් අවුරුදු 74ක් කාලා විනාශ කරපු රට මාස 06න් හදන්න පුළුවන්ද කියලා අපෙන් අහන්න එපා. නමුත් ඒ මාස 06 ඇතුළේ වංචාව දූෂණය නාස්තිය නතර කරලා පෙන්වනවා. නිවැරදි තීරණ ගන්න කියන රනිල් ජනාධිපති වැය ශීර්ෂය අඩු කළාද? එහෙම කළේ නැහැ. ජනාධිපති වැය ශීර්ණය 50%කින් අඩු කරලා පෙන්නුවා නම් ඔන්න ඒක නිවැරදි තීරණයක්. ඇමති මණ්ඩලේ වියදම් අඩු කරලා පෙන්නවා. නිල නිවාස වියදම් අඩු කරනවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. එහෙම කිව්ව නම් අහසට ගිය අයවැය පොඞ්ඩක් පොළවට බර වෙන්න තිබුණා. ආරක්ෂක වියදම් වැඩි කරගෙන තියෙනවා. නමුත් වියදම් කරන්න සල්ලි තියෙනවද දන්නේ නැහැ.
ඊට පස්සේ රනිල් කියනවා දූෂිතයින් හිරේ දානවා කියන එක ප්‍රවාදයක්ලු. රනිල් එහෙම කියන්නේ නැතුව ඒක යථාර්ථයක් කියන්නද? මහ බැංකුව කඩල විනාශ කරපු කෙනා වෙන මොනවා කියන්නද? දූෂිතයෙක් තවත් දූෂිතයෙක්ට දඩුවම් දෙන්නේ නැහැ කියලා අනුර සහෝදරයා නිතර කියනවා. ඒක දැන් රනිල් කියනවා දූෂිතයෝ ගැන මාත් එක්ක කතා කරන්න එපා කියලා. අපි රනිල්ගෙන් හොරුන්ට දඩුවම් දීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ ආර්ථික ක්‍රමය වෙනසක් ගැන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නැත්නම් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් හදනවලු. මොනවද මේ කියන්නේ. මඤ්ඤං වෙලා ඉන්නේ. වැරදුනා කියලා තේරුම් ගනිල්ලා. ඒක පිළිගන්නේ නැතුව බයිලා කියනවා. මේ රටේ ජනතාව රවට්ටන්න බෑ තවදුරටත්. පරාජය බාරගනිල්ලා. මේ ආර්ථිකය යටතේ කාටද ආරක්ෂාව සැලසුනේ. තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න අම්මලා තාත්තලා ඉස්කෝල ළඟ. කුඩුවලින් අයිස්වලින් තමන්ගේ දරුවන් බේරගන්න බෑ. දැන් ත්‍රෛයිලෝක විජය පත්‍ර ගැන කතා කරනවා. ඕක ආවොත් දේශපාලකයෝ බිස්නස් එක පටන් ගන්නවා. හොඳම උදාහරණය මේ රටේ වැඩිම බාර් පර්මිට් තියෙන්නේ දේශපාලකයින්ට.
තව පැත්තකින් විකුණන්න කතා කරනවා. එක වෙලාවක කිව්වා පාඩු ලබන ආයතන විකුණලා ලාබ ලබන්න පුළුවන් කියලා. දැන් කියනවා ලාබ ලබන ඒවා විකුණන්න ඕනලු සංචිතය වැඩි කර ගන්න. ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් කියනවා හෘදසාක්ෂිට අනුව එකඟ නෑලු නමුත් අයවැයට ඡන්දේ දෙන්න වෙනවලු. උන්ගේ අයවැය වැඩ කරන්නේ හරහට වෙන්න ඇති. මේ වගේ උන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. රනිල් ලබන අවුරුද්දට ඉදිරිපත් කරන අයවැයෙන් කියන්නේ 2048 කියන දේවල්. ලබන අවුරුද්දේ කරන දේවල් ගැන මොකුත් කතාවක් නැහැ. කරන්න තියෙන්නේ ණය ගන්නවා. නැත්තන් සල්ලි අච්චු ගහනවා. ඒත් නැත්නම් දේශීය බැංකුවල සල්ලි ටික ගන්නවා. ලෙඩා මලත් බඩ සුද්දයි කියලා ඉන්නවා.
ඒ නිසා මේක වෙනස් කරන්න ඕනෑ. මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි කතා කරන්නේ මේ අයවැය ගැන විතරක් නෙවෙයි. ජනතාව සමඟ මේ ආර්ථික කතා බහ අපි පටන් ගන්නවා. ජනතාව සමඟ මේ ගමන වෙනස් කරන ජවයට අපි එකතු වෙනවා.