Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අප මේ අත්විඳිමින් සිටින්නේ දීර්ඝ කාලයක් මේ රටේ පාලකයින් අත්කර දුන් විනාශකාරී පාලනයේ ප්‍රතිඵලයයි“

ආර්ථිකයේ නරකම ප්‍රතිඵල විඳදරා ගන්නවා වෙනුවට මෙතෙක් කල් ක්‍රියාත්මකකළ විනාශකාරී ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ පාලනයක් වහාම පිහිටුවා ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක – අනුර දිසානායක කුරුණෑගල විරෝධතා රැලියේදි(23) පැවසීය.

ඔහු මෙසේද පැවසීය.

“අද අපි හැමදෙනාම අත්විඳිමින් සිටින්නේ ස්වභාවික ව්‍යසනයකට නොව, මේ රටේ පාලකයා දීර්ඝ කාලයක් අත්කර දුන් විනාශකාරී පාලනයේ ප්‍රතිඵලවලටයි. ඒ නිසා අපි කවුරුත් ඒ ප්‍රතිඵල විඳදරා ගන්නවා වෙනුවට මෙතෙක් කල් ක්‍රියාත්මකකළ විනාශකාරී ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ පාලනයක් පිහිටුවා ගත යුතුව තිබෙනවා. ජනතාවගේ වේදනාව, ඔවුන්ගේ සුසුම් අපේ හදවත්වලට දැනෙනවා නම්, අපි හැමෝටම පැවරී තිබෙන වගකීම වන්නේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට කැපවීමයි. ආර්ථිකයේ සියලු දත්තවලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ රට විශාල අගාධයකට හෙළා ඇති බවයි. එක පැත්තකින් ආණ්ඩුවට රුපියල් නැහැ. අනික් පැත්තෙන් රටට අවශ්‍ය ඩොලර් නැහැ.

විශේෂයෙන්ම දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මේ තත්වයට පිළියම් ලෙෂ යෙදුවේ නව ආර්ථික ක්‍රියාමාර්ග තුළින් ආර්ථික වර්ධනයක් සිදුකර එයින් යම් පංගුවක් භාණ්ඩාගාරයට ලබාගැනීම නොව, ණය ගැනීමත්, රටේ සම්පත් විකුණාගෙන කෑමත් විතරයි. ආණ්ඩුවක් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කර, පුළුල් කෙරෙන ප්‍රමාණයට භාණ්ඩාගාරයට ආදායම් උපයා ගැනීමයි. මේ රටේ ජනතාව ආණ්ඩු හදන්නේ ජනතාවගේ සුරක්ෂිතභාවයත් අභිවෘද්ධියත් සලසා ගැනීමටයි. නමුත් මේ දක්වා රට පාලනය කළ පාලකයන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. අද අපි අත්විඳිමින් සිටින්නේ ඒ ප්‍රතිවිපාක.

ව්‍යාපෘතිවලට ගත් ණය ආපසු ගෙවාගත නොහැකි උගුලක හිරවුණා. එයින් ජනතාවගේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා; රැකියා පවා අහිමිවෙමින් යනවා. තරුණ පරම්පරාව ආසන්න වශයෙන් තුන්ලක්ෂයක් වසරකට රැකියා වෙළඳපොළට එනවා. ඔවුන් වෙනුවෙන් රැකියා නිර්මාණය කෙරෙන ආර්ථිකයක් ගොඩනඟා නැහැ. මේ නිසා සියලු දෙනාම බලන්නේ මොකක් හෝ රැකියාවක් සොයාගෙන රට අතහැර යන්නයි. පසුගිය අගෝස්තු අවසන් වන විට අලුතින් හයලක්ෂ විසිපන්දාහක් පාස්පෝට් ලබාගෙන තිබුණා.

රට අත්හැර යාම හැර වෙනත් විකල්පයක් නැති බව කල්පනා කරමින් යන්න සූදානම් වුණත් පසුගිය කාලයේ විදේශ රැකියාවලට ගොස් තිබෙන්නේ එක්ලක්ෂ පනස්දාහයි. විසිට් වීසාවලින් ඩුබායිවලට ගිය හතළිස් දාහකට වැඩි ප්‍රමාණයක් කිසිදු රැකියාවක් නැතිව, අසරණ වී සිටිනවා. ඒ අතර ඉන්න අපේම සහෝදරියන්, අපේම දියණියන්, ගණිකා වෘත්තියට වෙන්දේසි කරන බව පසුගිය කාලයේ වාර්තා වුණා. අපි කවුරුත් මේ ආර්ථිකයේ රැකියා නිර්මාණය නොවීමේ අර්බුදයට මුහුණදී සිටිනවා.

ඒ වගේම විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබෙනවා. ආහාර උද්ධමනය 95%ක් වී තිබෙන බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලින්ම ප්‍රකාශ වෙනවා. ආණ්ඩුවේ දත්ත කියන්නේ සැබෑ තත්වය වසන් කිරීමක් බව අපි කවුරුත් දන්නවා. ඇත්ත වසන් කරන්න හදන දත්තවලත් උද්ධමනය 95%යි. ඒ කියන්නේ මෙයට පෙර ආහාර මිල වගේ දෙගුණයකින් වැඩිවී තිබෙනවා. නමුත් කෘෂිකර්මාන්තයෙහි යෙදී සිටින අයගේ ආදායම් වැඩිවී නැහැ. ධීවර ක්ෂේත්‍රයේ ආදායම් වැඩිවී නැහැ. ස්වයං රැකියා කරන්නන්ගේ ආදායම් වැඩිවී නැහැ. මාසික වැටුප් ලබන්නන්ගේ පඩිපත වැඩිවී නැහැ. වැඩිවෙනවා වෙනුවට ඒ ආදායම් සියල්ල හැකිළී තිබෙනවා. මේ නිසා තමන්ගේ දරුවන්ට අවශ්‍ය ආහාර ලබාදීමට නොහැකි වීමෙන් විශාල අහේනියකට මුහුණ දී සිටිනවා.

ඒ වගේම රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නැහැ. රටේ පුරවැසියන් ඖෂධ නැතිව මිය යන තත්වයක් ඇතිවී තිබෙනවා. පාසල් දරුවන්ගේ පොත් පත් ඇතුළුව උපකරණ ලබාදීමට නොහැකි වී අපි සෑමදෙනාගේම ජීවිත කුඩුපට්ටම් වී තිබෙනවා. මේ එකක්වත් ස්වභාවික තත්වයක් නොවේ.

මේ විනාශකාරී මාවතේම ඉදිරියට යනවා වෙනුවට මෙය වෙනස් කිරීමේ වගකීම අපි භාරගන්නවා. මේ තත්වය යටතේ ජනතාව ජාතික ජන බලවේගය වටා ඒකරාශී වීම වැළැක්වීමට පාලකයන් විවිධ ප්‍රශ්න නිර්මාණය කරනවා. ඇත්ත ප්‍රශ්නය යට ගහනවා. 2019යේ චන්ද්‍රිකා ජනාධිපති හැටියට තේරෙන්නේ ආර්ථික ප්‍රශ්න අනුව නොවෙයි, මහනගර සභා බෝම්බයේ අනුකම්පාවෙන්. 2005 තීරණාත්මක වුණේ රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබූ පාවාදීමේ ගිවිසුමට එක්ව බැඳුනු යුද්ධය. 2010දී යුද්ධය අවසන් කළේ ෆොන්සේකාද මහින්දද කියන ප්‍රශ්නය ඉස්සරහට ගෙනාවා. ආර්ථිකය ගැන කතා කළේ නැහැ. 2015දී සුදුවෑන්, මාධ්‍යවේදීන්ට පහරදීම්, ඝාතනයන්, නැවැත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය තීරණාත්මක කර ගත්තා. 2019දී තීරණාත්මක බව කීවේ ජාතික ආරක්ෂාව, රට බේරා ගැනීමයි. වඳ කොත්තුවලින්, වඳ ඇඳුම්වලින්, වඳ දොස්තරලාගෙන් සිංහල ජනතාව වඳ කරන බව කිව්වා. සිංහල ජාතිය වඳකිරීම සඳහා දැවැන්ත කුමන්ත්‍රණයක් තිබෙන බව කිව්වා. 2019 මුස්ලිම් ජනතාව ගැන සැකයෙන් බලන තත්වයක් නිර්මාණය කර, ඔවුන්ට එරෙහිව සිංහල ජනතාවගේ බලයක් ගොඩනැගීම ගැන කිව්වා. “කන්ට නැතත් කමක් නෑ, ඉන්ඩ රටක් ඕනෑ” කියලා කිවා. ඒ වගේම ජාතික බේරාගන්න ඕන බව කීවා.

පසුගිය දවස්වල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා තමන්ම හදාගත්ත ආණ්ඩුව පළවා හැරියේ ආර්ථික ප්‍රශ්න නිසා. නමුත් මේ දක්වා ආණ්ඩු හැදුවේ යුද්ධය, ජාතික ආරක්ෂාව, රට බේරා ගැනීම වගේ මාතෘකාවලින්. ඒගෝල්ලෝ හැමදාමත් රටේ ජනතාව දෙපිළ බෙදන්න විවිධ ප්‍රශ්න හැදුවා. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය හොඳින් පිටපත ලියලා රඟ දක්වන ලද නාටකයක්. 21 පාස්කු ප්‍රහාරය සිද්ධ කළාට පසු 25වැනිදා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපති වෙන බව ඝෝඨාභය රාජපක්ෂ කිව්වා. මේවා සැලසුම් නොවේ නම්, පාස්කු ප්‍රහාරයට දඬුවම් දුන්නේ නැත්තේ ඇයි? තමන්ගේ බලය වෙනුවෙන් ඔවුන් ලේ වැකි කුමන්ත්‍රණ සිදුකරනවා. ඕන ගමක රෑට රෑට හොරෙන් අයිස් පැකට් බෙදලා උදේට අල්ලන්නත් පුළුවන්. එහෙම බඩු තමයි ඔවුන්.

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක ස්වෛරීභාවය රැකෙන්නේ නැහැ. අපේ රටේ අවුරුදු 2500ක ඉතිහාසයේ අභිමානය කෝ? ලෝකය ඉදිරියේ අභිමානය වැට්ටූ රටක් නිර්මාණය කරලා රනිල් වික්‍රමසිංහ රට ගොඩනැඟීම ගැන කතා කරනවා. ඒ වෙනුවෙන් බව කියමින් බදු ගහනවා. විදුලි බිල වැඩිකරනවා. තෙල් මිල සිය ගණනකින් වැඩිකරලා රුපියල් දහයකින් අඩු කළා. ගෑස් ටැංකිය රුපියල් 5000/-කට වැඩි කරලා රුපියල් 250/කින් අඩු කළා. රට ආර්ථික වශයෙන් වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට දැක්මක් හෝ සැලැස්මක් රනිල්ලාට නැහැ. ජනවාරි මාසයේ සිට නැවත වරක් විදුලි බිල වැඩි කරන්න සූදානම් වෙනවා. විදුලි බිල වැඩිකරනවා කියන්නේ සෑම භාණ්ඩ හා සේවාවකම මිල වැඩිවීමයි. ඒ වගේම ඉතාමත් වටිනා ජාතික සම්පත් විකුණන්න දාලා තිබෙනවා. රක්ෂණ සංස්ථාවේ ගිය වසරේ ලාභය බිලියන එකොළොස් දාහයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගිය වසරේ ලාභය මිලියන දහතුන්දහස් එකසිය හතළිස් හතරයි. ඒකත් විකුණන්න දාලා. ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ මාසික ලාභය මිලියන එකසිය තිස්පහයි. ඒකත් විකුණන්න දාලා. වෝටර්ස් ඒජ් හෝටලයේ ගිය වසරේ ලාභය මිලියන 360යි. මේවෙග් සියලු ජාතික සම්පත් විකුණන අතර, බලාගාර ටික විකුණන්න දැන් සැලසුම් කර තිබෙනවා. මේ වගේ පාලකයෝ මහජන විරෝධය හමුවේ හොර රහසේ රටින් පළා ගිහින් දැන් රනිල් වික්‍රමසිංහ යටතේ ප්‍රසිද්ධියේ ආපසු ආවා. ඒගොල්ලන්ගේ පංතිය බේරා ගන්න අවස්ථාවක සූදානම්. ඒ නිසා අපි හමුවේ තිබෙන්නේ මේ ආර්ථිකයත් මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන නව සටනක් දියත් කර, ජයග්‍රහණය කරා ගෙනයාමයි. ලංකාවේ මෑත කාලයේ මතුවී තිබෙන විශේෂිතම දේශපාලන, තත්වය යොදා ගනිමින් ජාතික ජන බලවේගය ජනතාව ජයග්‍රහණය කරා, ගෙනයාමේ පාලනයක් පිහිටුවනවා.

ප්‍රවීණ රංගන ශිල්පී, කථිකාචාර්ය – ප්‍රසන්නජීත් අබේසූරිය

මෙතෙක් රට පාලනය කළ සියලු දෙනාම මේ වනවිට අපේ රට ඇද දමා ඇති ඛේධනීය තත්වය කෙතරම්ද කියනවානම් කොන්ද කෙලින් තබාගෙන හිතට එකඟව ජාතික ගීය ගායනා කිරීමටවත් අවස්ථාවක් ඉතිරි කර නෑ.

අපේ දරුවන්ට සැබෑ ලෙසම ආදරේ කරන්නේනම් මේ දක්වා රට පාලනය කළ පිරිසි ඉදිරියේදී ඇදීමට සූදානම් වන අවසන් තුරුම්පු පරාජය කර මිනිසුන්ට ගෞරවයෙන් සහ මනුෂ්‍යත්වයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතුයි. අපේ ජාතික ගීතයේ ධ්‍යාන්‍ය ධනය නෙක මල පලතුරු පිරි ජය භූමිය රම්‍යා යනුවෙන් සඳහන්ව තිබුණද මේ වනවිට කංකුං මිටියත් පිටරටින් ගේන බවත් එක මවකගෙ දරුවෝ ලෙස ජීවත්විය යුතු බව කීවත් පාලකයන්ගේ දේශපාලන වාසි කතා බෙදා වෙන් කර සිටිනවා.

නමුත් මේ යුගය අවසන් කළ සැබෑ ලෙසම ජනතාවට ආදරය කරන ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට ජාතික ජන බලවේගය වටා සියලුදෙනාම ඒකරාශී වෙමින් ජනතාව දැනුවත් කරමින් ජයග්‍රහණය කරා යායුතුයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක – නාමල් කරුණාරත්න

මෙම විරෝධතා රැලිය වැලැක්වීමට විවිධ බලපෑම් පොලිසිය හරහා සිදු කළත් එය වැලැක්වීමට තක්කඩි ආණ්ඩුවට නොහැකි වූ බවත් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ අති බහුතරය මේ වනවිට ජාතික ජන බලවේගය සමග එක් වී සිටිනවා.

පැවැත්වීමට නියමිත ඡන්දය කල් දමන්න විවිධ ආකාරයෙන් සූදානම් වීම නතර කරන ලෙස අනතුරු අඟවන බව පැවසූ ඔහු මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස සභා 650ක් පිහිටුවා අවසන් බවද සිංහල, දෙමළ, මුස්ලිම් සයලු දෙනා ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් නව පාලනයක් පිහිටුවා ගැනීමට සූදානම් වෙමින් සිටින බව කීය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි බහුතය අප සමග එක්වී සිටින අතර පොහොට්ටුවේ සියලුම දෙනා පාහේ අදවනවිට එක් වෙමින් සිටින්නේ , සජිත්ගේ කණ්ඩායම, ෆොන්සේකා, චම්පික රණවක වශයෙන් කොටස් තුනකට බෙදී ඉන්නවා.

චිත්‍රපට අධ්‍ය, ප්‍රවීන රංගන ශිල්පී, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික- ජගත් මණුවර්ණ

මෙයට පෙර 2015දී රාජපක්ෂලා පලවා හැරියද ජනතාවාදී පාලනයක් පිහිටුවීමට නොහැකි වූ බවත් ජූලි 09 වෙනිදා රාජපක්ෂ පවුල් බලය පලවා හැරීමෙන් පසුවද බිහිකළ නොහැකි වූ ජනතාවාදී පාලනය ගොඩනැගීමට මේ වනවිට ජාතික ජන බලවේගය වටා රටේ බහුතර ජනතාව රෝද බඳිමින් සිටිනවා.

රට් ජනාධිපති යැයි හිතාගෙන ඉන්න පුද්ගලයා බුදු හාමුදුරුවන්ට අංගුලිමාල යොදවා ගල් පෙරළන කතා කියමින් පොලිසියේ හා හමුදාවේ ආරක්ෂාව ලබා ගනිමින් ජනතාව මර්ධනය කළ හැකි බව කල්පනා කළත් ආරක්ෂක අංශවල බහුතරය නියමිත වෙලාව පැමිණෙනතුරු කල් බලමින් ජනතාව සමග එක් වීමට සූදානමින් සිටිනවා. එවැනි බහුතර ජනතාව මේ වනවිට මාලිමාව වටා එක්වෙමින් නිවැරදි දිශාව තීරණය කර අවසන්.

2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයට ගිය අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ කලාකරු ලක්ෂ්මන් විජේසේකර ඇතුළු පිරිසට රාජපක්ෂ මැරයන් ප්‍රහාර එල්ල කළා. එදත් ජනතාව වෙනුවෙන් තම යුතුකම් කොටස කලාකරුවන් වශයෙන් ඉටු කළා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා

අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පෙළගැසෙන ජනතාව පළමු වතාවට ජනතාවාදී පාලනයක් පිහිටුවන්න පෙළගැසෙමින් සිටින අතර රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂ පාලට තිබුණු බලය අවසන් වී ඇති බවත් දැනට කුඩා බලයක් පාලර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ පමණක් ඉතිරි වී තිබුණද මහජන බලය හමුවේ එයද අවසන් වෙනවා.

තම බලය අවසන්වෙමින් එන බව දැන දැනත් පොලිසිය යොදවා මහජන පෙළගැස්මට කුඩා අවහිරකම්, බාධා එල්ල කළද එවැනි දේට සූදානම් වෙන්න එපා. මෙයට පෙර එවැනි බාධා කිරීම් කළ හැකි වූ ආරක්ෂක අංශ පවා මේ වනවිට මහජන බලවේග සමග එකතු වී තිබෙනවා.

ඇත්ත බලය මහ පාරේ ජනතාව තුළ තිබෙන්නේ. මේ වනවිට රට විනාශ කළ කල්ලිය එක පැත්තකට දමා රට ගොඩනැගීමට සූදානම් ජනතාව ජාතික ජන බලවේගය වටා එක් වී මේ රටේ ඉතිහාසය අලුතින් ලිවීමේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමින් මේ වනවිට පවතින ආර්ථික පීඩනයන් ඇතුළු සියලු පීඩාවන්ට එරෙහිව අරගල කරමින් පෙරට යන බවත් එය කිසිවෙකුට නවත්වන්න බෑ.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික– ව්‍රායි බල්තසාර්

අපි කොච්චර මහින්සි වී වැඩ කළත් දරුවන්ගේ කෑම පෙට්ටි පුරවන්න හැකියාවක් මේ රටේ පාලකයන් ඉතිරි කර නැති බවත් මත් ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට බව කියමින් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ මාධ්‍ය සංදර්ශන නවත්වා ඒ දරුවන්ගේ හිස් කෑම පෙට්ටි කෙරෙහි අවධානය යොමු කරන ලෙස බල කරනවා.

මේ නත්තල් සමයේ දරුවන් කැමති, දරුවන් ආසා කරන කිසිදු දෙයක් ලබා දීමට හැකියාවක් දෙමව්පියන්ට ජන පීඩක ආණ්ඩු විසින් ඉතිරි කර නැති බවත් නිවසේ සියලු දෙනාම පීඩනයට පත් කරලා. මේ වනවිට නිකුත් කර තිබෙන අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව අපේ රටේ ජනගහණයෙන් 36%ක් ආහාර අහේනියකට ලක් වී ජනගහනයෙන් 80%ක් කුමන හෝ ආහාර අර්බුදයකට පත් කොට ඇති බවත් මේ තත්වයෙන් මිදීමට අපේ කාන්තාවෝ කුමන හෝ විදේශ රැකියාවක් සඳහා පිටත්කර යැවීමට සලස්වා තියනවා . මේ නිසා නැවත වටයකින් දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වෙනවා. එසේ නොවන ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමට පෙළගැසෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

– අනුරාධා හේරත් (මව්බිම)