Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ආණ්ඩුව රටේ ජනතාවට සෞන්දර්යය රසවිඳීම එපා කරවලා

රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අයවැය අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ හිස් එකක්. මේ අයවැය මතු පරපුර වනසා දමන අයවැයක්. ගොවි කම්කරු ප්‍රජාවට කිසිදු සහනයක් නොලැබුණු අයවැයක්. ගොවීන්ට පොහොර හෝ කම්කරුවන්ට වැටුප් වැඩිවීමක්, ධීවරයන්ට ඉන්ධන සහනයක් නොමැති අයවැයක්. ජනතාව කබලෙන් ලිපට ඇද දමා තිබෙනවා. මේ නිසා අපි මෙම අයවැය ප්‍රතික්ෂේප කරනවා. ඊට එරෙහි වෙනවා.

ප්‍රවීණ සාහිත්‍යවේදී කමල් පෙරේරා

ඒ වගේම මෙය දූෂිතයින් රකින අයවැයක් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කිසිදු ලැජ්ජාවකින් තොරව ‘හොරු අල්ලා හිරේ දමා රටේ ප්‍රශ්න විසඳිය නොහැකිය’යි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙහි කිසිදු සත්‍යතාවක් නැහැ. බදු වංචාවන්, දූෂණ මගින් මුදල් සෙවූ වංචා සහගත ආර්ථිකයක් අපේ රටේ ක්‍රියාත්මක වී තිබෙනවා. දූෂණය සහ දූෂිතයන් විසින් පැහැර ගත් මුදල් රටේ ආර්ථිකයේ විශාල පංගුවක් වී තිබෙනවා. මේ ප්‍රමාණය නැවත රටට පවරා ගැනීමෙන් තොරව රට සංවර්ධනය කිරීම ගැන හිතන්න බැහැ. මේ වෙනුවට රනිල් රට ගොඩනගන්න හදන්නේ ත්‍රලෝක විජයපත්‍රවලින්. ඒ කියන්නේ ගංජා ව්‍යාපාරය මගින් රට ගොඩගැනීමට ඔහු කල්පනා කරනවා. අවුරුදු 74ක් තුළ අයවැය 77ක් ඉදිරිපත් කරමින් ගොඩගැනීමට නොහැකි වූ රට ගොඩගන්නට යන්නේ මෙමගින්දැයි අපි ජනනියමු කලාකරුවන් ලෙස ආණ්ඩුවෙන් අහනවා.

ඒ වගේම මෙය ජනතාවට මර්දනය කැඳවන අයවැයක්. ආරක්ෂක අංශවලට පමණක් රුපියල් බිලියන 539ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍ර සියල්ලම ඉක්මවා ගිය මුදල් ප්‍රමාණයක් ආරක්ෂක අංශවලට  වෙන් කර තිබෙනවා. මේ ආරක්ෂාව සලසන්නට හදන්නේ කාටද? ජනතාවටද? ජනතාවට ආරක්ෂාව දෙන්න රජයක් මේ තරම් මහන්සි විය යුතු නැහැ. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වෙන ජනතාව ඉදිරියේදී වීදි බහින බව ඔවුන් දන්නවා. ඒ ජනතාව මර්දනය කරන්නයි මේ අයවැයේ විශාල කොටසක් වෙන් කර තිබෙන්නේ. දැනටත් වසන්ත මුදලිගේ ඇතුළු තරුණ කණ්ඩායම් ත්‍රස්ත පනත යටතේ හිර ගෙවල්වල දාලා පීඩාවන් එල්ල කරමින් තිබෙනවා. අපි මෙම තත්වය හෙළා දකිනවා. ජාතිකත්වය, ආගම නොසලකා ආණ්ඩුවට එරෙහිව තරුණ කෙටස් මර්දනයට ආණ්ඩුව මේ පනත් යොදා ගනිමින් සිටිනවා. සෑම පුරවැසියෙකටම මේ තර්ජනය එල්ල වී තිබෙනවා.

මේ අයවැය මේ රට සංස්කෘතික කාන්තාරයක් කරා ගෙනයාමට සැලසුම් කළ අයවැයක්. 2021 වසර අවසන් වන විට රු. 4200ට තිබුණු කඩදාසි රීම් එකක් මේ වන විට රු. 13,500ක් වී තිබෙනවා. 2021 වසරේ මුද්‍රණයට අවශ්‍ය ප්ලේට් රු. 600ක මුදලකට තිබුණා. මේ වන විට ඒවා රු. 2000 දක්වා වැඩි වී තිබෙනවා. ඒ අනුව මේ රටේ කලාව, සංස්කෘතිය කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන ලද අයවැයක් බව පැහැදිලියි. මුද්‍රිත පොත් මිල විශාල ලෙස වැඩි වෙලා. ආණ්ඩුව මේ රටේ ජනතාවට කියවීම, චිත්‍රපටයක්-නාට්‍යයක් බැලීම, සෞන්දර්යය රසවිඳීම එපා කරවලා.

මෙවර අයවැය අසාර්ථක ආර්ථික දර්ශනයේම දිගුවක්

ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන

අද රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක ජනතාව බලාපොරොත්තු තබාගෙන බලා සිටින්නේ ඊළඟට ඉදිරිපත් කරන අයවැය ගැන. පාලකයන්ගේ වගකීමක් තිබෙනවා මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකි අයවැයක් නිර්මාණය කිරීමට. පාලකයන් ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් රට ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ කවර දිසාවටද, ඔවුන්ගේ උපාය මාර්ග, ඔවුන්ගේ දැක්ම මොකක්ද යන්න අපට පෙනී යනවා.

ජනතාව දේශපාලන, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලමින් වීදියට පැමිණියා. මේ යන ගමන වැරදියි, විනාශයේ පතුළටම වැටී තිබෙන බවත්, ඉතා ඉක්මනින් දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඔවුන් එක හඬින් ඉල්ලා සිටියා. මේ ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් අපට පෙනී යන්නේ ඔවුන්ගේ අසමත්, අසාර්ථක ආර්ථික දර්ශනයේම දිගුවක් ලෙසයි. පීඩාවට පත්වී ඇද වැටුණු ආර්ථිකයකට විසඳුම් මෙම අයවැයෙන් බලාපොරොත්තු වුණා. රට යළි ගොඩනැගීමේ දෙසට විකල්ප ආර්ථික දර්ශනයක් සහිතව කෙටි කාලීන සහ දිගුකාලීන විසඳුම් ඇති වැඩපිළිවෙළක් සහිත අයවැයක් බලාපොරොත්තුවෙන් ජනතාව දෑස් දල්වාගෙන සිටියා.
ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේදී, ආර්ථික දර්ශනයේ ප්‍රමුඛ වන්නේ ඩොලර් උපයන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන්නේ කොහොමද කියන එකයි. ඒ සඳහා ආයෝජකයන් වැඩිකර ගන්නේ කෙසේද? දේශීය නිෂ්පාදනය වැඩි කොට ජාත්‍යන්තර වෙළඳපොළේ අපේ ඉඩකඩ වැඩිකර ගැනීම, සාර්ථක ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් ගොඩනඟා ගැනීම වැනි ප්‍රතිසංස්කරණ ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් මේ සඳහා ගත් පියවර කිසිවක් අපට මේ අයවැය තුළින් දකින්න ලැබෙන්නේ නැහැ.

කලින් පාසල් දරුවෙකුගේ පොත් ලැයිස්තුව රුපියල් 3500ක වියදමකින් සපුරා ගත හැකි වුණා. අද ඒ වෙනුවෙන් රුපියල් 12,000ක් පමණ වියදමක් යනවා. ඉතාම අඩු ආදායම් ලබන පුරවැසියන්ට පොත් ලයිස්තුව සඳහා මෙපමණ මුදලක් වැය කිරීම දරාගැනීමට හැකියාවක් නැහැ. මෙය ඉදිරි සමාජයේ ලාංකික අධ්‍යාපනය ගමන් කරන දිසාව පිළිබඳ බියක් පැන නගිනවා. ඒ වගේම රෝගී අනාගත පරම්පරාවක් ගොඩනැගෙමින් තිබෙනවා. නිරෝගී තරුණයෙක් ගොඩනඟන්න අවශ්‍ය මූලික පෝෂණ අවශ්‍යතා ටික  ලබාගන්න බැරි වී තිබෙනවා. රටේ අනාගතය නිර්මාණය කරන්න උරදෙන, එහි වගකීම් දරන්න රට බාර ගන්න සිටින මේ දරුවන් ළමා කාලයේදී අවශ්‍ය නිසි පෝෂණය නොමැති නම් එය ඉතාම ඛේදජනකයි. ආරක්ෂක වියදම් වැඩි කරමින්  අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා සැලකිල්ලක් නොදක්වමින් මේ පාලකයන් කටයුතු කරමින් සිටිනවා. තමන්ගේ අසමත් පාලනයට එරෙහිව නැගෙමින් තිබෙන විරෝධයට මුහුණ දීමට හා බලය රැක ගැනීමේ අපේක්ෂාවෙන්  ආණ්ඩුව ආරක්ෂක වියදම් වැඩිකර ගෙන තිබෙනවා. මේ අයවැය සමාජය මුහුණ පා තිබෙන අර්බුදයට විසඳුම් ලැබෙන අයවැයක් නොවයි.

රටේ මුදල්වලට කුමක් සිදු වූයේදැයි ජනතාව දැනගත යුතුයි

ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා

රටේ ජනතාව රට විශාල අර්බුදයක ඇති බව තේරුම් ගත යුතුව තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාරපාන, ගමනාගමනය වැනි අවශ්‍යතා ගණනාවක් කඩාවැටී තිබෙනවා. මේ අමන පාලකයින් බලාපොරොත්තු කඩවී ගිය ජනතාව මත තව තවත් බර පටවමින් තිබෙනවා. මේ ආර්ථික අර්බුදයත් ඔවුන් පටවන්නේ ජනතාව මතයි. මේ අයවැයෙන් යම් සහනයක් ලැබේවියැයි පීඩාවට පත් ජනතාව බලාගෙන හිටියා. නමුත් කිසිවක්ම ඔවුනට ලැබුණේ නැහැ.

සාමාන්‍ය ජනතාව ලෙස අපි අසීරුවෙන් උපයා ගන්නා දේවල් ආණ්ඩුව බදු විදිහට අයකර ගන්නවා. මේ පාලකයන්ගේ බලය තහවුරු කරගැනීමටත් සුඛ විහරණය වෙනුවෙනුත් ඔවුන් ඒවා වියදම් කරනවා. මේ අයවැය තුළ පෙනෙන්ට තිබෙන්නේ එයයි.

වසර ගණනාවක් අගමැතිකම්, ඇමතිකම් කර රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට නොහැකිව, රට අර්බුදයට ඇද දැමූ තවත් එක් අයෙක් තමයි මේ අටවන ජනාධිපති රනිල්. ඉතින් ඔහුගේ අයවැය ගැන කුමන කතාද? අපේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නිර්මාතෘ ආචාර්ය ගාමිණී හත්තොටුවගමගේ විසින් 70 දශකයේ අවසන් වසරේදී පමණ රටේ ආර්ථිකය පදනම් කරගනිමින් නාට්‍යයක් නිර්මාණය කළා. එහි මෙවැනි ගීත කොටසක් තිබෙනවා. “මිලයට ගන්නේ… මිලයට දෙන්නේ… ඒක නිසයි මේ හැම දේ පවතින්නේ… ඒක නිසයි අපි ඔක්කොම කැරකෙන්නේ…” රනිල්ගේ අභිප්‍රාය රටේ තිබෙන වටිනා සම්පත් සියල්ල විකුණා දමන්නයි.

මේ අයවැය කතාවේදී රනිල් ඔහුට කීමට අවශ්‍ය දෙයක් තවත් කෙනෙක් කියූ දෙයක් ලෙස කියනවා. රටේ සිදු වෙන හොරකම් නතර කිරීමට නොහැකියැයිද ඒ හොරුන් හිරේ විලංගුවේ දැමිය නොහැකි යැයිද ඔහු කියනවා. හොරකම් කළ දේවල් නැවත ලබා ගත නොහැකියැයිද ඔහු කියනවා. මෙයින් ඔහු කියන්නේ නිදහස තියෙනවා, ඕනෑ තරම් හොරකම් කරපල්ලා කියන එකද?  
පහුගිය කාලයේ ජනතාව අරගල කළේ පාලකයින්ගේ හොරකම්වලටත් එරෙහිවයි. අපේ රටේ මුදල්වලට කුමක් සිදු වූයේදැයි ජනතාව දැනගත යුතුයි. ජනතාව තමන්ගේ පැත්තෙන් කළ යුතු වගකීම් හරියට කළා. ඔවුන් විදුලි බිල්, ජල බිල් ගෙව්වා. බදු ගෙව්වා. මෙවැනි ලෙසට රට කඩා වැටුණේ ඒවා නිසි ලෙස පරිපාලනය නොවූ නිසා නේද? ජනතාව පාරට බැස්සේ මේ ප්‍රශ්න නොවිසඳුණු නිසා නේද? දැන් අයවැයක් ගෙනාවත් ජනතාවගේ මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නැහැ. දැන් ඔවුන් අපට කියන්නේ, පටි තදකරගන්නා ලෙසයි; ලෙඩ නොවී සිටින ලෙසයි; අවශ්‍යතාවන් සීමා කරගන්නා ලෙසයි. රටින් පිටවී ඩොලර් සොයන ලෙසයි. බදු ගෙවන ලෙසයි. අන්තිමට ආණ්ඩුව බහිශ්‍රාවීය දේවලටත් බද්දක් අයකරන්න ඉඩ තියෙනවා.

පීඩාවට හුරු වෙන්න එපා

ප්‍රවීණ නාට්‍යවේදී, කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය

ඉතිහාසයේ කවර හෝ කාලයකටත් වඩා රට බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින කාල පරිච්ඡේදයක්. මේ අයවැයෙන් තත්වය තව තවත් තීව්‍ර කර තිබෙනවා. ජන මතයක් නොමැතිව බලයට පත්වී සිටින ජනාධිපතිගේ පළවැනි අයවැයෙන් ජනතාව ඉල්ලා සිටි ප්‍රාර්ථනා පාවා දී තිබෙනවා.

රට මුහුණ දී සිටින අභියෝගයන් ජයගත යුත්තේ කෙසේද? ජනතාවගේ සුබසිද්ධිය සඳහා ගන්නා තීරණ මොනවාද? ජනතා බලාපොරොත්තු වෙනුවෙන් ගන්නා තීරණ මොනවාද? මේ මුහුණදී තිබෙන අතිශය භයානක තත්වයන්ගෙන් මුදා ගැනීමට ඉදිරිපත් කොට ඇති සැලසුම් මොනවාද? තිබෙන දේ විකුණමින්, ජනතාව මත බදුබර පටවමින්, පාලකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැයෙන්, ජනතාව තවදුරටත් පීඩනයට පත්කර තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඉදිරිය ඉතා භයානක තත්වයක් ඇතිවීම වළක්වාලිය නොහැකියි.
වඩා යහපත් රටක් බලාපොරොත්තුවෙන් රටේ සියලුම ජන කොටස් පක්ෂ, පාට, ආගම්, ජාති, වයස්  භේදයක් නැතිව ජනතාව ඒකරාශී වුණා. ඒ එකතු වුණේ මේ ඇතිවී තිබෙන ප්‍රශ්නවලට විසඳුමක්, දූෂිත දේශපාලනයේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ අරගලයේ බලාපොරොත්තු සියල්ලම මේ වත්මන් ජනාධිපතිවරයා විසින් පාවාදී තිබෙනවා. ඒ විතරක් නොවෙයි ජනතාව තවදුරටත් පීඩාවට පත්කර තිබෙනවා. ජනතා වුවමනාවන් වන අධ්‍යාපනය, සෞඛ්‍ය ගැන හෝ ජනතා සුබසාධනය ගැන කිසිදු තැකීමක් නැතිව ආරක්ෂක අංශ වෙනුවෙන් මුදල් වැඩිපුර වෙන්කරගෙන තිබෙනවා. ජනතාව මත පැටවෙන පීඩනය වැඩිවෙන කොට ඒ පාලකයන්ට එරෙහිව පැන නැගෙන ජනතා නැගිටීම් මර්දනය කරන්න. අරගලවල යෙදුනු සහෝදරවරු සහෝදරියන් සිරගෙවල්වල දමා තිබෙනවා. ජනතාව මත මර්දනය යොදවන ගමන් බදු ගහමින් දැඩි ලෙස පීඩාවට පත්කරමින් තිබෙනවා.

ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පීඩාවට හුරු වෙන්න එපා. මේ පවතින තත්වය තවදුරටත් අපි විඳදරාගෙන ඉන්නවාද? රටේ අනාගත පරම්පරාවට රටක් ඉතිරි වේද?. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් නිහඬව සිටිය යුතු නැහැ. අනාගත දරුවන්ටත් මේ පීඩාවන් ඉතිරි කර දිය යුතු නැහැ. නිහඬව සිටීම පාලකයන් සතුටු කරවීමක්. පාලකයන් දැනුවත් කරවන්න ඕනෙ අරගල කිරීමෙන්. මේ විනාශකාරී තත්වයෙන් රට මුදා ගන්න දේශපාලන විසඳුමක් අවශ්‍යමයි. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ විසඳුම ලබාගන්න සටන් කළ යුතුයි. අරගල කළ යුතුයි. ඒ සටනට එකතුවෙන්න කියන ඉල්ලීම කරනවා.

ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් එකතු වෙන්න

කථිකාචාර්ය සංජීව ගුණරත්න

රනිල් රාජපක්ෂ පාලනය විසින් ඉදිරිපත් කරන ලද අයවැය පිළිබඳව කතා කිරීම තේරුමක් නැති වැඩක්. මේ පාලක පංතිය අපි පිළිගන්න සූදානම් නැහැ. පහුගිය කාලයේ රටේ මිනිස්සු පාරට ඇවිත් ඉල්ලුවේ මේ දූෂිත පාලකයින්ට ගෙදර යන ලෙසයි. ඔවුන් පිළිනොගන්නා බවයි. රට හදන වැඩපිළිවෙළක් සහිතව බලයට පැමිණ එසේ කරන පාලක කොටසක් අපට හමු වී නැහැ. ඔවුන් ආ ගමනේම දිගුවක් විදිහට හිටපු ජනාධිපතිට රට දමා යාමට සිදු වූ විට ඔවුන් අතරින්ම පත්කරනු ලැබූ රනිල් 2023 වසරේ වැඩකරන්න යන විදිහ අපට පෙන්වා තිබෙනවා.
රටේ අර්බුදය ස්වභාවිකව ඇති වූවක් නෙමෙයි. එසේ වූවානම් අපිට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට දායක විය හැකිව තිබුණා. නමුත් අර්බුදය පාලකයින්ගේ වංචාව, දූෂණය, නාස්තිය ඇතුළු මේ සියල්ලේම ප්‍රතිඵලයක්. රනිල් රාජපක්ෂ පාලනය මේ අයවැයෙන් කරන්නේ අපෙන් අය කර ගෙන ඔවුන්ට වැය කරන්න අවශ්‍ය විදිහට සැලසුම් හදන එකයි. දැන් අප කළ යුත්තේ මේ පාලකයින් ප්‍රතික්ෂේප කරමින් රට ගොඩනැගිය හැකි නව පිරිසක්, නව වැඩපිළිවෙළක් තෝරා ගැනීමයි.

පහුගිය අයවැය යෝජනා බොහොමයක් වචනවලට සීමා වුණා. ඒවා ක්‍රියාත්මක වූවානම් රට තිබිය යුත්තේ මෙතන නෙමෙයි. ඒ අනුව මේ අයවැයේ තිබෙන යෝජනාත් ක්‍රියාත්මක නොවන බව අපට පැහැදිලියි. සිදුවන එකම කරුණ බදු ගෙන ජනතාව තව තවත් පීඩාවට පත්වීම පමණයි. මේ තත්වය තුළ දවසින් දවස බඩගින්න, මන්දපෝෂණය වැඩිවෙමින් තිබෙනවා. ජනතාව මෙවැනි තත්වයක සිටියෙදී අපට නිර්මාණකරුවන් ලෙස ජනතාවගේ රසවින්දනයක් ගැන සිතිය නොහැකියි.
මේ අයවැයෙන් රටටත් ජනතාවත් සුගතියක් නැහැ. මේ වසරට වඩා වැඩි ජවයකින් ඉදිරියේදී මිනිස්සු මේ පාලකයින් විරුද්ධව පාරට ඒවි. මේ තත්වය තුළ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් එකතු වෙන ලෙසයි; සැබෑ ලෙසම රට ගොඩගත හැකි පිරිසක් හා වැඩපිළිවෙළක් තෝරා ගැනීමට කටයුතු කරන ලෙසයි