Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“විශාල බදු බරක් පටවා එකතු කරගන්නා මහජන ධනය නාස්ති වෙන්නේ මෙහෙමද?” -ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක-

-Colombo, January 12, 2024-

විශේෂයෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුවක්. මූල්‍ය විනය පිළිබඳව, ආර්ථික අර්බුදයන් පිළිබඳ රීති ප්‍රශ්නයක් අහනවා. මේ සතියේ ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුවේ වෙන්කර තිබෙනවා රුපියල් මිලියන 1300ක් ඒ කියන්නේ ලක්ෂ දහතුන් දහසක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන්. මෙම රුපියල් දහතුන් දහස වියදම් වූ ආකාරය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියා මම ඉල්ලා සිටිනවා. ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුත්තට බිලියන1.3ක් වැය කරනවා නම්, මූල්‍ය විනයක් තිබෙනවාද?

එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයාගේ අතිරේක වියදම් සඳහා ලක්ෂ 2000ක් (මිලියන 200ක්) වෙන්කොට තිබෙනවා. විදේශ සංචාර, ඉන්ධන හා වාහන නඩත්තුවට අදාළ ප්‍රතිපාදන හිඟය පියවීම සඳහා. මෙම වියදම් සඳහා අයවැයෙන් සෑම වසරකම විශාල මුදලක් වෙන්කරනවා. ජනාධිපතිවරයාගේ මෙම වැය ශීර්ෂය රටට බරක් බව එදා අපි පෙන්වා දුන්නා. නමුත් සිදුවී තිබෙන්නේ තවත් මිලියන 200ක්. (ලක්ෂ 2000ක්). මෙතන මූල්‍ය විනයක් තිබෙනවාද?

මූල්‍ය විනය පළමුවෙන්ම රැකිය යුත්තේ ජනාධිපතිවරයා. එංගලන්තෙට හතර පාරක්, ජපානයට දෙපාරක්, දැන් ලංකාවෙ දීර්ඝම දවස් 12ක 13ක සංචාරයක්. මාස 14යි. සංචාර 14යි. මේ වගේ සංචාර ජනාධිපතිවරු ගිහින් තිබෙනවාද? මළ ගෙදරකට,මඟුල් උත්සවයකට, ලෝක නායකයන් නොඑන පරිසර සමුළුවකට ගිහින් කතා කරනවා. නැවතත් ගුවන් සංචාර සඳහා මිලියන 200ක් ඉල්ලනවා.

මූල්‍ය විනය ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. තවමත් පාසල් දරුවන්ට ආහාර වේලට අවශ්‍ය ඉතිරි මුදල් ටික තවම ලැබී නැහැ. පාසල් නිල ඇඳුම්වලට මුදල් තවමත් ලැබී නැහැ. ගුරුවරුන් ගමන් වියදම් තමන් දරාගෙන පේපර් මාකින් සඳහා යනවා. ඔවුන්ට දෙන සොච්චම් මුදල තවමත් ලබාදී නැහැ. දීමනාවෙත් කප්පාදුවක් සඳහා යෝජනාවක් කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයාට අයවැය ලේඛනයෙන් වෙන්කර තිබෙන විශාල මුදලට අමතරව, විදෙස් සංචාර, ඉන්ධන හා වාහන නඩත්තුවලට දසලක්ෂ 200ක් ඉල්ලනවා.

මේ මහජනතාවගේ ධනය. එතුමාත් මේ පාර්ලිමේන්තුවත් මේ ගැන සිතිය යුතුයි. රට තිබෙන්නේ අගාධයක. ආර්ථිකය කඩා වැටිලා. හාල්, කිරි වීදුරුවට, ඩීසල් ටිකට, පාසල් උපකරණවලට, පොත්වලට, සෞඛ්‍ය උපකරණවලට වැට් ගහනවා. එහෙම එකතු කරගන්න ධනය ජනාධිපතිවරයා රට සවාරි යනවා. පිරිසිදු ව්‍යාපාරිකයන් බදු ගෙවන්න සූදානම්. ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පාර්ලිමේන්තුවට කිලෝ මීටර් 15ක දුරකට එනවා නම්, පිටුපසින් ඇම්බියුලන්ස් එකක් එනවා. මේ ලෙඩ්ඩුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමේ සිට පාර්ලිමේන්තුවට එනවිට ඇම්බියුලන්ස් එකක් පස්සෙන් එනවා. සෞඛ්‍ය ඇමතිතුමා දන්නවා සමහර ඉස්පිරිතාලවලට ඇම්බියුලන්ස් එකක් නැහැ. මේව දකිනවා පාරේ යන ව්‍යාපාරිකයන්. ජනතාවට බදු පිළිබඳව විශාල බරක් දානවා. එහෙම ගන්න බදුවලට මොකක්ද වෙන්නේ කියල පාරේ යන අය දකිනවා. ඒනිසා මේ මූල්‍ය විනය ගැන කියන කතා, ආර්ථිකය කඩා වැටිලා කියල ජනතාවට කියන කතා සියල්ලම බොරු. තමුන්නාන්සේලාගේ සුඛ විහරණය වෙනුවෙන් මහජනතාවගේ ධනය වියදම් කරන්නේ.

මම දැන ගන්න කැමතියි. නාමල් රාජපක්ෂ ආණ්ඩුවේ ගෙදරක ඉන්නේ කොහොමද? පුතත්, තාත්තත්, බාප්පත්, පොඩි බාප්පත්, මහප්පත් ආණ්ඩුවේ ගෙදරක. මැදමුලනේ වලව් තිබෙනවාලු. හැබැයි ජීවත් වෙන්නේ ආණ්ඩුවේ ගෙවල්වල. කොහොමද නාමල් රාජපක්ෂට ආණ්ඩුවේ ගෙදරක් දෙන්නේ? මහජනතාව මේ විරෝධය තිබෙන්නේ මේ බදු ගහලා ගන්න මුදල්වලට කරන නාස්තියට එරෙහිව.

නිරීක්ෂණ චාරිකා යනවා රෑට. මීටර් 20කට වඩා ඈත පේන්නේ නැහැ. රෑට නිරීක්ෂණ චාරිකා යනවා. මොන බොරුද මේ? විශාල අර්බුදයකට රට පත්වී ඇති මොහොතක, විශාල බදු බරක් පටවලා, මහජනයාගේ ධනය නාස්ති කරනවා. මේ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න කියා මම ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයාගේ සංචාරකවලට, වාහන නඩත්තුවලට අයවැය ලේඛනයෙන් කොපමණ මුදලක් වෙන්කළාද? අතිරේක මිලියන 200ක් ඉල්ලන්නේ ඇයි? ඒ වියදම් මොනවාද? කියා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා මිලියන 1300ක මුදලක් වැය වෙන්නේ කොහොමද කියා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. හේතුව මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නිසා.