-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ ජන බල විරෝධය රැලිය – නුගේගොඩ-
අද අපි දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා දසදහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා පෙළපාලියකින් ආවේ ඇයි? ආණ්ඩුව අපේ රටේ වටිනා ජාතික සම්පත් විකිණීමට විරෝධය පාන්න; අසීමිත බදුබරක් පටවමින් ජනතාව මත පටවා තිබෙන පීඩනයට විරෝධය පාන්න; ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිතව ඉහළ දමා තිබීමට විරෝධය පාන්න. නමුත් මෙය විරෝධය පෑමෙන් පමණක් නතර වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසීමේ විරෝධතා ව්‍යාපාරයක්. මේ රටේ පාලකයන් මහජන ධනය කොල්ල කනකොට රටේ ජාතික සම්පත් විකුණන කොට ප්‍රජාතන්ත්‍රවාදය හකුළනකොට දශක ගණනාවක් අපි විරෝධය දක්වා තිබෙනවා. දැන් විරෝධතා නිශ්චිත කඩඉමකට පැමිණ දූෂිත පාලකයන් පළවා හැරීම දක්වාත්, ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම දක්වාත් පෙළගැසී තිබෙනවා. අපේ රටේ දේශපාලනය ඉතාමත් නිශ්චිත තීරණාත්මක කඩඉමකට ගමන් කරමින් තිබෙනවා. ලබන අවුරුද්දේ නොවැම්බර් වනවිට අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක පිහිටුවන බවට අපි ඔබට සහතික වෙනවා. රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මේ දුෂ්ට විනාශකාරී පාලනයේ අවසන් අයවැය බවට පත්කරන බවට සහතිකයි.
මේ අයවැය ඉදිරිපත් කරලා රනිල් වික්‍රමසිංහ කිව්වේ කොට්ටඋරයක සේ කනපිට හරවන බවයි. මීට මාස කිහිපයකට කලිනුත් රනිල් කොට්ටඋරය අනෙක් පැත්ත හැරවූ බව කිව්වා. දෙපාරක් කොට්ට උරය පැත්ත හැරෙව්වම දැන් තිබෙන්නේ තිබුණු පැත්තමයි. රටේ සම්පත් විකුණමින්, ණය ගනිමින් පැමිණි ගමනේ තවත් පියවරක් පමණයි. රටක සහ ලෝකයේ මිනිසුන්ගේ අවශ්‍යතාවලට අනුකූලවන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනස් කරමින් ඉදිරියට ගෙන යන සැලැස්මක් මේ පාලකයන්ට නැහැ. හැමදාමත් කතා කළේ තේ, රබර්, පොල් අපනයන ආර්ථිකයක් ගැන. තේ, රබර්, පොල් තරමටම මේ නායකයන් පැරණියි. ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූපී වන පරිදි තාක්ෂණය යොදාගෙන නව නිෂ්පාදන කිරීමට මේ පාලකයන් සමත් වුණේ නැහැ. ලෝකයේ ඇති වන වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අධ්‍යාපනය වෙනස් කිරීමට මේ පාලකයන් සමත් වූයේ නැහැ. ඒ නිසා ලෝකයෙන් කොන්වී, ආර්ථිකය කඩා වැටී, අපරාධවලින් ගහන වූ රටක් ශේෂ වී තිබෙනවා. පුරවැසියන්ට තමන්ගේ අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඇතුළු භාණ්ඩ සපයා ගැනීමට නොහැකි වූ රටක් බිහිකර තිබෙනවා. මුළුමනින්ම විනාශයට පත්වූ රටක් සහ සමාජයක් අප ඉදිරියේ තිබෙනවා. හැත්තෑ පස්වසරක සාපය මේක තමයි. රනිල් වික්‍රමසිංහ අයවැයෙන් ඉදිරිපත් කරන්නේ ඒ ශාපයේ දිගුවක්. රනිලගේ අයවැය ලේඛනයේ පළමු පරිච්ඡේදයේම හැත්තෑ පස්වසරකට සාපය නොකියා කියනවා. රනිල්ලාගේ දේශපාලන ප්‍රතිපත්තිය තමයි අයවැය ලේඛනවලින් ඉදිරිපත් කර තිබෙන්නේ. 75 වසරක විනාශය ගැන දැන් ඔවුන් අපට කියනවා. රනිල්ගෙන් හෝ මහින්දගෙන් හෝ ඒ පන්නයේම අනුප්‍රාප්තිකයෙකුගෙන් රට ගොඩනැගීම බලාපොරොත්තු වෙන්න බැහැ. සමගි ජන බලවේගයේ මහත්තුරු කියන්නේ “අපේ ප්‍රතිපත්තිම රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන” බවයි. රට ඉදිරියට ගෙන යා හැකි විකල්ප ආර්ථික උපාය මාර්ගය තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි.
දැන් රනිල් වික්‍රමසිංහ අත තියන්නේ පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවි පොළවල්වලට. අපේ රටේ කිරි කර්මාන්තයට නව තාක්ෂණය ගෙනැත් පරිවර්තනය කිරීම අත්හැර අක්කර විසිඅටදාහක ඉඩම් විකුණා දමන්න සූදානම් වෙනවා. ගොවි පොළවල් 31කට අයත් අක්කර 28000ක් ඉන්දියාවේ ‘අමූල්’ සමාගමට විකුණා දමන්න සැළසුම් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ විකිණීමේ ලැයිස්තුවේ තිබෙන්නේ පාඩු ලබන ආයතන පමණක් නොවේ. ලංකාවේ රාජ්‍ය ආයතන අතරින් විශාලතම ලාභයක් ලබන ආයතන විකුණනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගිය අවුරුද්දේ දසලක්ෂ දොළොස්දහස් හාරසිය අසූහයක ලාභයක් ලැබුවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් දක්වා දසලක්ෂ හාරදහස් නවසිය පනහක ලාභයක් තිබෙනවා. රක්ෂණ සංස්ථාවේ බදු ආදායම සහ ලාභාංශ කොටසක් මහා භාණ්ඩාගාරයට ආවා. ලංකා බැංකුවේ ගිය අවුරුද්දේ ලාභය දසලක්ෂ තිස්දහස් නවසිය හැත්තෑ හතයි. මහජන බැංකුවේ ගිය අවුරුද්දේ ලාභය දසලක්ෂ විසි එක්දාහයි. ගුවන් තොටුපළ අධිකාරිය මේ අවුරුද්දේ සැප්තැම්බර් දක්වා දසලක්ෂ විසිහයදාහක් ලාභයි. ජනතාවට අයිති විශාල ලාභ ලබන මේ ආයතන විකුණන්න රනිල් වික්‍රමසිංහට ඉඩ දෙනවාද? ජාතික ජන බලවේගය මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් එකක් එකතුවී මේ සම්පත් අනාගතපරපුරට ආරක්ෂා කර දෙන්න ක්‍රියා කරනවා.
මේ දවස්වල පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී නාටකයක් දියත් කර තිබෙනවා. ඒ තුළ තිබෙන්නේ දූෂිතයන් අතර ගැටුමක්. ජාතික ජන බලවේගයේ අපට අඩු දූෂිතයන් හෝ වැඩි දූෂිතයන් වශයෙන් තෝරා ගැනීමක් නැහැ. හොරා නම් හොරා, ජාතික ජන බලවේගයට තිබෙන්නේ දූෂණය නතර කිරීම සඳහා අඛණ්ඩ සටනක්. එය අපි කරනවා. මේ රට ප්‍රපාතයට වැටෙන්න බලපෑවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති පමණක් නොවෙයි; මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනක් කොල්ලකෑම ඍජුවම බලපෑවා. රනිල් වික්‍රමසිංහගේ පණ තිබෙන්නේ වංචා-දූෂණයේ කප්පිත්තන් වූ පොහොට්ටුව ළඟ. එය අවසන් කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි.
ඒ වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දෙදරලා තිබෙන්නේ. ලංකාවේ පොලිසිය කුඩු සම්බන්ධයෙන් සියලු විස්තර දන්නා බව බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියනවා. නමුත් තිහක් හතළිහක් විතර වන ප්‍රධාන කුඩු ජාවාරම්කරුවන් ගැන නොදන්නා බබෙක්ද පොලීසිය. රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලන බලයෙන් දෙපලු කිරීමේ ප්‍රතිඵල තමයි මේවා. කෝප් කමිටුව ඉදිරියට විමර්ශන සඳහා ගෙන්වන චූදිතයන් එක්ක කෝප් කමිටු සභාපතිවරයා ඉඟිබිඟි පානවා. මේ කිසි ආයතනයකට අද වගකීමක් හෝ වගවීමක් නැහැ. ක්‍රිකට් ආයතනය ගැන කැබිනට් මණ්ඩලයේ එකඟත්වයක් නැහැ. පොලිස්පතිවරයෙක් පත්කර ගන්න බැහැ. ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරු ගණනාවකට නඩු තිබෙනවා. රටකට මෙහෙම යන්න පුළුවන්ද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයේ නඩු ඉල්ලා අස්කර ගනිමින් යන්න පුළුවන්ද? කඩාදමා තිබෙන මුළු රාජ්‍ය දේහයම ඉහළ සිට පහළට යළි ශක්තිමත් කරන්න ඕනෑ. පොලීසිය අවටත් අපරාධ සිදුකරනවා, පාතාලයෙන් ඉඩම් අල්ලා ගන්නවා. නමුත් කිසිම වගවීමක් නැහැ. රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, පොලිස් ස්ථානාධිපතිවරයාට, කථානායකවරයාට කිසිදු වගවීමක් නැතිව රටක් ගෙනයන්න පුළුවන්ද?
රාජ්‍ය යාන්ත්‍රණය පමණක් නොවෙයි, දේශපාලන යාන්ත්‍රණයත් කඩා වැටී තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණත්, අනුන්ගේ කැබිනට්ටුවකින් රටට යන්න බැහැ. දේශපාලන දේහය විසින් රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන්න ඕනෑ. රනිල්ට දේශපාලන දේහයක් නැහැ. රනිල් වික්‍රමසිංහ කුමන කමිටුවක් පත් කළත්, ඒ කමිටුවේ සභාපති සාගල. වෙන දේශපාලන දේහයක් නැහැ. ඉස්සර තිබුණේ රාජපක්ෂලාගේ දේශපාලන දේහයක්. රාජ්‍ය දේහය නිසි පරිදි මෙහෙයවන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවා ඔප්පුවී ඉවරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව හිටපු ජනාධිපති ගෝඨාභය, හිටපු අගමැති මහින්ද, හිටපු මුදල් ඇමති බැසිල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආටිගල, මහ බැංකු හිටපු අධිපති කබ්රාල්, ඊට කලින් සිටි අධිපති ලක්ෂ්මන් වැරදිකරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. එදා අපරාධකරුවන් සම්බන්ධයෙන් තීරණය කරන්න ඒ ආකාරයෙන් හරි දේහයක් තිබුණත් අද තිබෙන්නේ රනිල් සහ සාගල පමණයි. රාජපක්ෂලාට අපරාධ කරන්න හරි රාජ්‍ය දේහයක් තිබුණා. හොඳට හෝ නරකට රට මෙහෙයවන්න දේහයක් නැහැ. සියල්ල ඉරිතලලා තිබෙන්නේ. තීරණාත්මක ඍජු තීරණ ගෙන මේ රට පරිවර්තනය කරන්න නම්, ශක්තිමත් රාජ්‍ය දේහයකට පණ පෙවිය හැකි දේශපාලන දේහයක් ඕනෑ. දස දහස් සංඛ්‍යාත ජනතාවක් නුගේගොඩට රැස්වී පෙන්නුම් කරන්නේ ඒ දේශපාලන දේහය තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණක් බවයි.
රාජපක්ෂලා ආණ්ඩුවක් හැදුවා. වැරදියට හෝ නායකත්වය දෙන්න දේශපාලන දේහයක් තිබුණා. අද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් හදා තිබුණත් දේශපාලන දේහයක් නැහැ. අපේ රටේ පිහිටුවිය යුත්තේ ආණ්ඩුවක් ගන්නා තීන්දු තීරණ ඈත ගම්දනව් දක්වා ගමන් කරන, ඈත ගම්දනව්වල අවශ්‍යතාවයන් කොළඹ කේන්ද්‍රීය ව්‍යුහය දක්වා ගමන් කරන නව රාජ්‍ය දේහයක්. ජාතික ජන බලවේගය පමණයි ඒ වෙනුවෙන් ක්‍රියාකරන එකම දේශපාලන දේහයක් තිබෙන ව්‍යාපාරය. අපි ආණ්ඩුවක් පිහිටුවන්නේ නිසි පරිදි දේශපාලන නායකත්වයක් සහිත ගම දක්වා නායකත්වය දියහැකි යාන්ත්‍රණයක් ගොඩනඟමින්. කඩා වැට්ටවූ රට ගොඩනැගිය හැකි වන්නේ ජාතික ජන බලවේගය ගම දක්වා ව්‍යාප්ත කිරීමෙන් පමණයි. අපි ග්‍රාම සේවා වසම් දක්වා කොට්ඨාස සභා පිහිටුවන්නේ ඡන්ද පෙට්ටියේ ඡන්ද පුරවා ගැනීම සඳහා පමණක් නොවෙයි. ගම ගොඩනැගීම දක්වා අවශ්‍යවන දේශපාලන නායකත්වය දෙන ව්‍යුහයක් හැටියටයි.
රාජ්‍ය ආදායම් ලබාදෙන ප්‍රධානතම ප්‍රභවයන් හතරක් තිබෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ හතරයි. මේ ආයතනවල සේවකයන් ගොඩනැගිය යුතු වන්නේ ඡන්දය දවසේදී ගිහින් කතිරය ගහන්න විතරක් නොවෙයි. භාණ්ඩාගාරයට ධනය කැඳවන කාර්යක්ෂම ආයතන හතරක ක්‍රියාකාරිකයින් හැටියටයි. ඉංජිනේරුවන්, අධ්‍යාපනඥයන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිපුණතාවයන් තිබෙන අය, කෘෂි විද්‍යාඥයන්, ඇතුළු පිරිස් බිහිකරන්න ඕනෑ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රට හැදිය හැකි ක්‍රියාකාරිකයින් ලෙසසි. ජාතික ජන බලවේගය හැර වෙන කිසිවෙකුට ජනතාව ඉදිරියට ගිහින් කියන්න කතාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂය ඉස්සර ගමට ගිහින් කීවේ 1977දී විවෘත ආර්ථිකය ගෙන ආ බවයි. මහින්දගේ ආණ්ඩුවේ අය කිව්වේ, මහින්ද රාජපක්ෂ සිංගප්පූරුවෙ ‘ලී ක්වාන් යූ’ සහ ගෝඨාභය රාජපක්ෂ මැලේසියාවේ ‘මහතීර් මොහොමඩ්’ වගේ කියලයි. ඒ දෙන්නාම එකතු වී හදන රටක් කොයිවගේ වෙයිද කියලා අපෙන් ඇහුව්වා. ජනතාව අත්පුඩි ගැහුවා. ඔවුන් ආසියාවේ ආශ්චර්ය ගොඩනගන බව කීවා. සජිත් ප්‍රේමදාසට තාත්තා නිවාස හැදුවා කියලා අද කියන්න පුළුවන්ද? අද ඒ කිසිකෙනෙකුට කියන්න කිසිම දෙයක් නැති ‘කම්බාහොරු’ බව ඔප්පු වී තිබෙනවා.
ලෝකය සමග ඉදිරියට යන නව කථිකාවක් සමාජය සමග ගොඩනැගිය හැක්කේත් එය ක්‍රියාත්මක කළ හැක්කේත් ජාතික ජන බලවේගයට පමණයි. මේ වෙනුවෙන් ක්‍රියාකරන කොට රනිල් වික්‍රමසිංහ ඡන්දයක් දෙයිද කියලා කතිකාවක් එක පැත්තක තිබෙනවා. රනිල් වික්‍රමසිංහ දැන් අදින්නේ ගෝඨාගේ කොටයක්. රනිල් වික්‍රමසිංහගේ ගෝඨා කොටය ලබන වසරේ ඔක්තෝබර් 17ට පෙර අනිවාර්යයෙන් පැවැත්විය යුතු ජනාධිපතිවරණයෙන් නිමාවට පත්වෙනවා. නියමිත පරිදි ජනාධිපතිවරණය නැති බව ජනතාවට තහවුරු වුවහොත් ලබන සැප්තැම්බර්වලටත් පෙර රනිල් වික්‍රමසිංහ ගෙදර යවනවා. අද ජනතාව ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමට පාරට බැස්ස ආකාරයෙන් ක්‍රියාත්මක නොවී ඉන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි. ගෝඨාභය පළවා හැරීමෙන් හිස්තැන පුරවන්න, සමත් ජනතාවාදී ආණ්ඩුවක් තිබුණේ නැහැ. කඳ පාර්ලිමේන්තුවේ ඉතිරි වුණා. පාර්ලිමේන්තුවෙන් රනිල්ගේ හිස හදාගත්තා. ඒ අත්දැකීමෙන් ජනතාව දැන් දන්නවා පළවා හැරීමෙන් වැඩක් නැති බවත් පළවා හැරිය යුත්තේ ජනතා අපේක්ෂා ඉටුකරන ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පමණක් බව. රනිල් වික්‍රමසිංහට වගේ පිනා චාන්ස් ගන්න අරගලයක් අපි කරන්නේ නැහැ. අපි ආණ්ඩුව පළවා හරින්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමේ සැලසුම සහිතවයි. එය ඉතාමත් වැදගත් සන්ධිසථානය ජනාධිපතිවරණයයි. විශාල ලෙස අපේක්ෂා භංගත්වයට පත්වූ ජනතාවක් අප කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඔවුන් සමබන්ධයෙන් අපට තිබෙන්නේ ඉතාමත් බැරෑරුම් වගකීමක්.
පාරම්පරිකව මහින්දලාට, රනිල් වික්‍රමසිංහලාට විශ්වාසය තබා කටයුතු කළ මහා ජනතාවක් අප කරා එන්නේ ඔවුන් කෙරෙහි විශ්වාසය තැබුවාට වඩා දහස් ගුණයක් විශ්වාසය තැබීමෙන්. මේ එන ජනතාවට ප්‍රධාන අපේක්ෂාවන් දෙකක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීම ගැන විශ්වාසය එකක්. මේ රටේ පමණක් නොවෙයි විදේශගතව සිටින හොඳ ජීවිතයක් ගතකරන ලාංකිකයින් පවා දහස් සංඛ්‍යාත පිරිසක් අප වටා ගොනුවී සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තහවුරු වුණා. එළඹෙන පළමු අවස්ථාවේදී අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ. ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු වැදගත්ම මාස දහයක පමණ කාලයක් එළඹී තිබෙනවා. ලංකා දේශපාලනයේත්, ලංකා ඉතිහාසයේත් අතිශය වැදගත්ම මාස දහයක පමණ කාලය ශක්තිමත්ව අත් නොහැර පොර බැදිය යුතු වෙනවා. ජාතික ජන බලවේගයේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවිය යුතු වෙනවා. බදුබරට එරෙහිව, විකිණීමට එරෙහිව, මර්දනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී හැකිළීමට එරෙහිව, ජාතික සම්පත් විකිණීමට එරෙහිව, ජනතාව පෙළ ගස්වමු. සාධාරණ, යුක්තිගරුක රටක් වෙනුවෙන් ජනතාව පෙළ ගස්වමු. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවක් ගොඩනඟමු. අපි පිහිටුවන ආණ්ඩුව වටා ලෝකයේ නව දැනුම පෙළ ගස්වා, ලෝකය සමග තරඟ කළ හැකි ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. සමාජ සාධාරණත්වය, යුක්තිය, කාර්යක්ෂමතාවය, සෑම පුරවැසියාගේම ගෞරවය සහතික වන රටක් අපි ගොඩනඟමු. අපි සෑම දෙනාගේම දෙවුර මත ජාතික ජන බලවේගයේ පාලනයක් ගොඩනැගීමේත් මේ රට ගොඩනැගීමේත් වගකීමක් පැටවී තිබෙනවා. සහතික වශයෙන්ම ඉදිරි කාලයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා බිඳ වට්ටවා තිබෙන රට ගොඩනඟනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකාවන්ව ක්‍රියාකරමු. ඔබ සියලු දෙනාටම ජයවේවා.