Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අපේ වගකීම ජනතාවගේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්කිරීමයි” – ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා-

-Colombo, November 13, 2023-

ඉල්මහ විරුවන් අහිමිව ගෙවී ගිය වසර 34 තුළ අපේ රට මුළුමනින්ම පාදඩකරණයේ ගොදුරක් බවට පත්වී තිබෙනවා. මහජනයාගේ දේපොළ තමන්ට සුවසේ භුක්ති විඳීමට අවශ්‍ය දේශපාලන පාදඩකරණයක් නිර්මාණය වී තිබෙනවා. මුළුමනින්ම විනාශ වූ සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මේ තත්වය ඕපපාතිකව නිර්මාණය වුණේ නැහැ. දේශපාලන පාදඩකරණයත්, අපරාධවලින් පිරුණු සමාජයක් නිර්මාණය වීමත් අර්ථික වශයෙන් රට මුළුමනින්ම කඩා වැටීමත් වෙනුවෙන් ප්‍රබලතම පියවර තැබූයේ 1977 බලයට පත්වුණු ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවයි. එතෙක් පැවති සියලු සමාජ සංස්ථාවන් මුළුමනින්ම බිඳ දමා, ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම හකුළා, සාහිත්‍යධරයන්ට පහරදී වෘත්තිය සමිති ව්‍යාපාරය මුළුමනින්ම මර්දනය කොට, ඡන්ද නොතබා, මැතිවරණ කල්දැමීමේ ප්‍රෝඩාවන් අනුගමනය කළා. ජේ.ආර්. ජයවර්ධනගේ උඩතලයේ එම ක්‍රියාමාර්ගත් එක්ක බිම් මට්ටමේ මුළු දේශපාලන අධිකාරිය පාදඩයන් අතට පත්කරන්න පටන් ගත්තා. ගම් අන්ත දූෂිත තක්කඩින්ගේ පාලනයට නතුකර ගන්න පටන් ගත්තා. පෙස්ටස් පෙරේරලා, අධිකාරීලා වගේ ත්‍රාඩයින්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්න පටන් ගත්තා. මිනිසුන්ගේ සමාජ ගරුත්වය, එකිනෙකා අතර තිබූ බැඳීම් තූ තූ කොට විනාශ කර දැම්මා. මිනිසෙකුට මිනිසෙක් හැටියට තිබෙන ගරුත්වය අහෝසි කර දැම්මා. බොහෝ අය ජේ.ආර්. ජයවර්ධනගේ මෙම වියරු පාලනයට, තක්කඩි වුවමනාවට යටත්ව ජීවත් වෙන්න පටන් ගත්තා. එය යථාර්ථයක් ලෙස පිළිගන්න බොහෝ අය පෙළඹුණා.

එහෙත් මෙම විනාශකාරී ගමනට එරෙහිව පොදු සමාජයේ ගරුත්වය වෙනුවෙන් පොදු ජනතාවගේ නිදහස වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ආවා. දුෂ්ටත්වය, අපරාධකාරිත්වය, නියෝජනය කරන ජේ.ආර්. ජයවර්ධනගේ පිලත් අනෙක් පැත්තේ සමාජ ගරුත්වය, සමාජ සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණත් වශයෙන් 1980 මැද භාගය වන විට සමාජය තීව්‍ර බෙදීමකට ගමන් කර තිබුණා. මහා පොදු ජනයා මිනිස් ගරුත්වය වෙනුවෙන්, තමන්ගේ නිදහස වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග මහා ජන සන්නිපාතයක් ලෙස ගොඩනැගෙමින් ආවා. මෙන්න මේ ගැටුම අවසානයේදී මතවාදී ගැටුම වෙනුවට, වේදිකාවේ ගැටුම වෙනුවට, සන්නද්ධ ගැටුමක් බවට පෙරළුණා. ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපති වියරුවේ ගොදුරක් බවට අපේ රටේ දහස් සංඛ්‍යාත ජනතාව පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනඟන ලද, එයට මඟ පෙන්වන ලද පොදු ජනයාගේ අධ්‍යාත්මය කැඳවාගෙන එන ලද අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සටන් සගයන් විශාල පිරිසක් 1989 නොවැම්බර් 13දා ඝාතනය කරනු ලැබුවා. අපේ රටත් සමාජයත්, ආර්ථිකයත් ඒ ඛේදවාචකය මගින් රැගෙන ගිය ගමනට එරෙහිව සමාජ සාධාරණත්වය, යුක්තිය, නිදහස වෙනුවෙන් දිවි පිදූ අපේම සහෝදර සහෝදරියන් අද අපි සමරමින් ඉන්නවා.

අද අපේ සමාජය විශාල පරිවර්තනයක් ඉල්ලා සිටිනවා. මේ පරිවර්තනය සිදුකළ හැකි වන්නේ ඒ සඳහා වුවමනාව තිබෙන, දැක්මක් තිබෙන, අවංකභාවය තිබෙන, දරාගැනීමේ හැකියාව තිබෙන, හික්මීම තිබෙන, සංවිධානයකට විතරයි. හුදු පුද්ගල මාරුවකින් හෝ ආණ්ඩු මාරුවකින් මේක කරන්න බැහැ. මේ ව්‍යාපාරයට අවංකත්වය, ධෛර්යය, අලුත් දේශපාලන දැක්මක්, අවශ්‍ය හික්මීම සමාජ සාධාරණත්වය පිළිබඳ මනස, මිනිසුන්ගේ හදවතට සමීප ආධ්‍යාත්මය මේ ව්‍යාපාරයට කැඳවාගෙන එන්නේ කොහොමද? පොත-පතෙන්, සාහිත්‍යයෙන්, පමණක් එවැනි ව්‍යාපාරයක් ගොඩනඟන්න බැහැ. එය සිදුකළ හැකි වන්නේ, ලංකාවේ පමණක් නොව, ලොව පුරා සමාජ පරිවර්තනය සඳහා කැප වූ මිනිසුන් පිළිබඳ නිසි පරිදි අධ්‍යයනයකින් පමණයි. මා මේ බව කියන්නේ සමාජ ව්‍යාපාරයක් විශාල වශයෙන් ගොඩනැගෙමින් තිබියෙදී, 88-89 ගැන සමරන්නේ ඇයි? යනුවෙන් සමහර අය අසන නිසයි. මේ සමාජ පරිවර්තනය කරන්න නම්, අර ආධ්‍යාත්මය සහිත මිනිසුන් අවශ්‍යයි. මේ වේදිකාවේ සිටින මා ඇතුළු පිරිසක් රූපවාහිනියේ දකින, ඒ නිසාම සමාජයේ පිළිගැනීමක් තිබෙන අය වුණත් මේ ව්‍යාපාරය පිටුපස විශාල පිරිසක් සිටිනවා. අදත් මේ වේදිකාවේ සාර්ථකත්වය පිටුපස සිටින්නේ මේ ව්‍යාපාරයේ සිටින සහෝදර සහෝදරියන්ගේ කැපකිරීමේ ප්‍රතිඵලයයි. කැපකිරීම්, පරිත්‍යාග තුළින් සමාජය පරිවර්තනය කිරීමට සූදානම් මිනිස්සු ගොඩනැගී සිටීම අහම්බයක් නොවෙයි. අපේ පක්ෂයේ නිර්මාතෘවරයා ඇතුළු දස දහස් ගණන් සහෝදර සහෝදරියන් අපිට ඒ ආදර්ශය ලබාදී තිබෙනවා. ඒ අතීතය නැවත නැවත ආවර්ජනය කරමින් මේ නිශ්චිත සමාජ පරිවර්තනයට සූදානම් මොහොතේ වෙනදාටත් වඩා වැඩියෙන් ඒ අධ්‍යාත්මය අපේ ව්‍යාපාරයට කැටුව ආ යුතුයි. එහෙම නැතිව සුන්බුන් ගොඩකින් හදන ආණ්ඩුවකින් හෝ ව්‍යාපාරයකින් මේ පරිවර්තනය කරන්න බැහැ.

ඉතිහාසය සමග බද්ධ වූ ආධ්‍යාත්මික හුයෙන් වෙන්වෙලා මේ මහා සමාජ පරිවර්තනය සිදුකරන්න බැහැ. අදාළ ගුණාත්මක පරිවර්තනය සිදුකළ හැකි වන්නේ ඒ ගලාගෙන එන ආධ්‍යාත්මය තව තවත් ශක්තිමත් කර, ඉදිරියට ගෙනයාමෙන් පමණයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ගොඩනඟන්නේ එවැනි ආධ්‍යාත්මයක් සහිත සමාජ ව්‍යාපාරයක්. ගැඹුරින්ම සමාජ පරිවර්තනය කරන්න අවශ්‍ය නම් එය කළ හැකි වන්නේ අතීතයේ ආධ්‍යාත්මය වසා ඛණ්ඩනය කිරීමෙන් නොවෙයි. අපි නොබියව අතීතයේ සිදුවූ අඩුපාඩුකම් පිළිගන්න ලැහැස්තියි. 88-89 සිදුවුණු අඩුපාඩුකම් අනේක වාරයක් අපි පිළිගෙන තිබෙනවා. ඒ වගේම දහස් වාරයක් එහි ගුණාංග උකහා ගන්න මැලිනොවෙන ව්‍යාපාරයක් හැටියටයි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට යන්නේ. මෑත දශක දෙකක පමණ කාලයේත් අපේ පක්ෂය දුෂ්කරම අවස්ථා ගත කළා. සමහර දේශපාලන උපක්‍රම අපට වැරදුණා. එම වැරදීම් දේශපාලනය තුළ පමණක් රඳා පවතින්නේ නැහැ. පක්ෂය තුළට කිඳා බහිනවා. 2004 කාලයේ සමහර දේශපාලන උපක්‍රම වැරදීම අපේ ව්‍යාපාරය තුළට කාන්දු වුණා. ඒ නිසා ව්‍යාපාරය තුළ ඛණ්ඩනයන් ඇති කළා. නැවත 2012 වන විට ඇති වුණු පරාජයන් තේරුම් ගන්න බැරිව, ඔරොත්තු නොදී, ජයග්‍රහණයන් පිළිබඳව විශ්වාසයක් නැතිව තවත් ඛණ්ඩනයක් ඇති වුණා. මේ විදිහට පක්ෂය ඇතුලේ විවිධ අර්බුද සහ ගැටුම් ඇති වී දශක දෙකක් ගෙවුණා. එකට සිටි සමහර සහෝදර සහොදරියන් උපක්‍රමවලට හසුවී අපව චූදිතයන් බවට පත් කළා. ඔවුන්ද හවුල් වී ගත් තීන්දු තීරණවල චූදිතයන් බවට අපව පත් කළා. සතුරා විසින් ගොඩනඟන ලද අවලාදවලට එකට උත්තර දුන් සමහර අය එළියට ගිහින් සතුරාගේම අවලාද අපට එල්ල කළා.

මේ තත්වයන් අභ්‍යන්තරයේ පමණක් නොව සමාජ තලයේ ප්‍රකාශයට පත්වෙන්න පටන් ගත්තා. පසුගිය මැතිවරණ ප්‍රතිඵලයෙන් 3%ක අඩුවීම, අවලාදවලට, සමච්චල්වලට හේතු වුණා. ඇතුලෙනුත් බාහිරවත් එල්ලවුණු විශාල පීඩනයන් විඳිමින් ලැබෙන කුඩා හෝ අවස්ථාවන් ජයග්‍රහණය සඳහා පෙරළා ගැනීමට ධෛර්යය ගෙන ආවේ කවුද? ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් මේ ව්‍යාපාරය ගොඩනඟන්න හේතු වුණේ මේ ව්‍යාපාරය තුළ තිබෙන ආධ්‍යාත්මයයි. තනි තනි පුද්ගලයන්ගේ විශේෂතා නොවෙයි, අඛණ්ඩව ගලාගෙන එන්න ව්‍යාපාරයේ අධ්‍යාත්මික ප්‍රතිඵල එයට හේතුවයි. වර්තමාන නායක කණ්ඩායමේ විශ්මකර්ම හැකියාවක් නිසා අද තිබෙන ප්‍රතිඵල ලැබුණේ නැහැ. අඛණ්ඩව ගලාගෙන එන ඉල්මහ විරුවන්ගේ සමාජ යුක්තිය, සමාජ සාධාරණත්වය පිළිබඳව වගකීම් අත්නොහැරීමේ ප්‍රතිඵලයක් අද නිර්මාණය වී තිබෙනවා. ඒවා සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දේවල් නොවෙයි. එවැනි ව්‍යාපාරයකින් සමන්විත මිනිසුන්ගෙන් පමණක් මෙවැනි දේවල් කළ හැකියි. කුඩා ජයග්‍රහණයක් නැති විට පැත්ත මාරු කරන, විලාප දෙන රට තුළ පුද්ගලික විශේෂතාවලට වඩා ව්‍යාපාරය තුළ තිබෙන සාරය ඉවහල්වී තිබෙනවා. ඒ සාරය ගොඩනැගුණේ මේ පක්ෂය නිර්මාණය කළ දවසේ සිටයි. සමාජ තලයේ ඇති වී තිබෙන මහා බලාපොරොත්තුවලින් මෝහනය වී සමාජ ව්‍යපාරයකට ඉස්සරහට යන්න බැහැ. සමාජයේ විශ්වාසය, ගෞරවය, එකතු වෙන්න එකතු වෙන්න නැවත නැවතත් අපට බලකරන්නේ මෙහි ගැබ්වී තිබෙන සාරය උකහා ගන්නයි. අපි ඒ සාරය උකහා ගන්නවා.

ඔවුන් සමාජය සංවිධානය කරන්නේ නායකයන් උඩින් ඉන්න සහ සමාජය වහල්භාවයට ලක්වූ තත්වයක් අනුවයි. ඔවුන්ගේ පැවැත්ම සමාජ අගතීන් සංවිධානය කිරීමයි, ඊට පටහැණිව සමාජ සාධනීය දේවල් සංවිධානය කිරීම, සියලු දෙනා එක්ව සාමූහිකව වැඩකරන ප්‍රජාවක් සංවිධානය කිරීම අපේ වගකීමයි. එකිනෙකාට පැවරී තිබෙන වගකීම් තේරුම්ගත් සාමූහිකත්වයක් ඕනෑ. ඔවුන් ජාතිවාදය සංවිධානය කරනවා. ඇති තරම් එහි වේදනාවන් බුක්ති විඳි රටක් වෙලත් අදත් ඔවුන් එයම සංවිධානය කරනවා. ඊට ප්‍රතිපක්ෂව අපි ජාතික සමගිය සංවිධානය කරනවා. සමාජ සාධනීය ගුණාංගවලින් සංවිධානය කිරීමෙන් අප යහපත් පරිවර්තනයක් සිදුකරනවා. ඒ වෙනුවෙන් සාධනීය ගුණාංග සහිත පාලනයක් ගොඩනඟන්න ඕනෑ. දකුණේ ජනතාව අප කෙරෙහි අවධානය යොමුකරගෙන තිබෙන ප්‍රමාණයට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවගේ අවධානය දිනාගන්න සමත් වී නැහැ. ඒ නිසා වේගවත්ව ජාතිවාදය ප්‍රතික්ෂේප කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමානාත්මතා අයිතීන් මත සංවිධානය කිරීම ප්‍රමුඛතම කාර්යභාරය ලෙස ඉටුකරන්න ඕනෑ. එසේ නොවී ආණ්ඩු පිහිටුවා වැඩකුත් නැහැ. ඔවුන් කුලවාදයෙන් සමාජය සංවිධානය කරනවා. ඒ වගේම ව්‍යාපාරික පෙළැන්තිය අන්ත දූෂිතයන්ගෙන් සංවිධානය කරනවා. ඇත්ත කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සංවිධානය කරන්න ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැහැ. සැබෑ කර්මාන්තකරුවා, ව්‍යවසායකයා අපි සංවිධනය කළ යුතුයි. අපි අරමුණු කරන සමාජ පරිවර්තනයේ න්‍යෂ්ටිය වෙන්නේ සාධනීය ගුණාංග සහිතව සමාජය සංවිධානය කිරීමයි.

සාමූහික සමාජ පරිවර්තනයක් සිදුකිරීමේ ගුණාංග එකතු කර ගත හැකි වන්නේ ඉල්මහ විරුවන්ගේ ගුණාංගවලිනුයි. ඒ විරුවන්ගේ ආදර්ශ අපේ අධ්‍යාත්මය ඇතුලේ තිබෙන සංකේතයි. මෙම සංකේත අමතක කරනවා කියන්නේ හුදු එක්සත් ජාතික පක්ෂයක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් වීමයි. අන් කවරදාටත් වැඩියෙන් ඒ ආධ්‍යාත්මය අපට අවශ්‍යයි. බලයට කිට්ටු වෙන්න, කිට්ටු වෙන්න වඩාත් සාධනීය ආධ්‍යාත්මයන් උකහා ගත් පුද්ගලයන් සහ ව්‍යාපාරයක් බවට පත්විය යුතුයි. මේ ඉල්මහ සමරුව අන්කවරදාටත් වඩා වැදගත් වන්නේ ඊළඟ ඉල්මහ සමරුව අපගේ පාලනයක් යටතේ සැමරීමට අපේක්ෂා කරන නිසයි. පොදු පාලනයක් යටතේ මේ ගුණාංග සමාජයට ගෙනයන්න අවශ්‍යයි. මේ සමාජය දශක ගණනාවක් ආණ්ඩු පිහිටුවා යහපත් සමාජ පරිවර්තනයක් අපේක්ෂා කළා. නමුත් ඒ දශක ගණනාවක් රැවටීමට ලක්වී අසරණභාවයට වැටී සිටිනවා. අපේක්ෂාභංගත්වයේ පතුළටම තල්ලු වී සිටිනවා. එවැනි ජනතාවක් යළි රවටන්න අයිතියක් අපට නැහැ. ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන පාලනයක් ගොඩනඟන්න නම් ඉල්මහ විරුවන්ගේ ආධ්‍යාත්මය අපට ඕනෑ. ඒ ජනතාවට අපි අවංකවම ආදරය කරන්න ඕනෑ. ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම සඳහා අපි අවංකවම වැඩ කරන්න ඕනෑ. ඒ හැර හුදු ඡන්ද ලබාගැනීමේ අපේක්ෂාවක් පමණක් අපට නැහැ. පතුලෙන්ම එන අවංකභාවයෙන් අපි පෝෂණය වෙන්න ඕනෑ.

සමාජ පරිවර්තනය කිරීම සඳහා සුදුසු ව්‍යාපාරයක් අපි ගොඩනඟා තිබෙනවා කියන විශ්වාසය අපට තිබෙන්න ඕනෑ. සමාජයකට අපි හුදු සිහින, හුදු වචන නොදිය යුතුයි. ‘ආසියාවේ ආශ්චර්යය’ වගේ දේවල් ඔවුන් කියා තිබෙනවා. ඔවුන් කියනවා පමණයි; අපි කියන දේ කරනවා. ඒ නිසා අන් කවරාදාටත් වඩා වැඩියෙන් මේ ව්‍යාපාරයට සාමූහිකත්වය අවශ්‍යයි. දේශපාලන ජයග්‍රහණයක් තුළ අපේ පංගුව අත්කර ගැනීම සඳහා ගොඩනැගිය හැකි මානසිකත්වය දැන් තබාම අත්හැරිය යුතුයි. ජයග්‍රහණයේ කොතැනකවත් තමන්ගේ පුද්ගලික පංගුවක් නැහැ. ඒ සෑම තැනකම තිබෙන්නේ අපි හැමෝගෙම සාමූහික කොටස්. ජයග්‍රහණ අත්කර ගත හැකි වන්නේ, අපි අපේ පුද්ගලික සීමාව සටහන් කර ගැනීමෙන් නොවෙයි මහා මිනිස් සමාජයට නායකත්වය දියහැකි හැකියාවන් සහ දක්ෂතාවයක් තිබෙන කොටස් උරා ගැනීමෙන්.

අපි මේ ඉල්මහ සමරුව සමරන්නේ ඉතාමත් වැදගත් ඓතිහාසික අවස්ථාවක. සමාජය පරිවර්තනය කිරීම සඳහා මහා හඬක් රට තුළ පමණක් නොවෙයි, එක්සත් ජනපදයේ සිටින ලාංකිකයින් තුළ පවා පවතින මොහොතක. ඒ ලාංකිකයන් වඩා උසස් ජීවිතයක් ගත කළත්. අප කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ බලාපොරොත්තු එක්ක සූදු කෙළින්න, ඒවා බල සූදුවට හිලව් කරන්න අයිතියක් අපට තිබෙනවාද? ඒ බලාපොරොත්තු, බල සූදුව සමග කේවල් කිරීමේ තැනකට ගේන්න අපට කිසිදු අයිතියක් නැහැ. අපේ වගකීම ඒ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්කිරීමයි. එය යථාර්ථයක් බවට පත්කළ හැකි වන්නේ ව්‍යාපාරය හරියට ගොඩනැගුවොත් පමණක් බව මම නැවත නැවත අවධාරණය කරනවා. මේ රට පරිවර්තනය කිරීමට සමත් ව්‍යාපාරයක් අපට තිබෙන බව අපි දන්නවා. ඒ ධෛර්යයෙන් සතුරා ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිය හැක්කේ දේශපාලන ව්‍යාපාරයේ තිබෙන බලයෙන්. මේකක තමයි පණ. ඒ බව මතක තබාගන්න.

ජාතික ජන බලවේගය හැටියට පොදු ජනයා සංවිධානය කිරීමට අපි විශාල වැඩකොටසක් කරගෙන යනවා. එම ව්‍යාපාරයට අධ්‍යාත්මය කැඳවීමේ බලය ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි භාරගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඉල්මහ විරුවන් අන් කවරදාටත් වඩා අපේ හදවත්වලට ඇතුල් කර ගනිමු. අන් කවරදාටත් වඩා වැඩියෙන් ඔවුන්ගේ සාරය අපි අපේ ආධ්‍යාත්මයට එකතු කර ගනිමු.