Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජපානයේ Tsukuba ශ්‍රී ලාංකික ජනහමුව – 2024.07.21-)

AKD-JApan-Meeting

සතියේ වෙහෙසකර වැඩවලින් පසුව විවේකී දිනයේ අපට සවන් දෙන්න පැමිණීම අපට ශක්තියක්, ධෛර්යයක්, විශ්වාසයක් ගෙන දෙනවා. ජපානයේදී අපි පවත්වමින් ඉන්නේ මැතිවරණයට පෙර පවත්වන අවසන් විදෙස්ගත ශ්‍රී ලාංකික හමුවයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇමතීමේ අවසන් රැස්වීම ජපානයට යොදා ගත්තේ අපේ රටේ ආර්ථිකයට හවුල්විය හැකි විශාල කණ්ඩායමක් ජපානයේ සිටින නිසයි. ඒ වගේම දැනුම, අත්දැකීම්, නිපුණතා සහිත පිරිසක් මෙන්ම විශාල තරුණ ප්‍රජාවක් ජපානයේ සිටිනවා. ඔබගේ ඒ ජවය සහ ශක්තිය අපේ රටේ පරිවර්තනය සඳහා ශක්තිමත්ව එක්කර ගැනීමේ අරමුණෙන් අවසන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ හමුව ජපානයට යොදා ගත්තා. මගේ විදෙස් සංචාර සඳහා ලක්ෂ 700ක් වැය වූ බව අයෙක් ප්‍රකාශ කර තිබුණා. ආපසු ශ්‍රී ලංකාවට ගොස් දවස් කිහිපයකින් සියලු විදේශ සංචාර සඳහා වියදම් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන කාලය තුළ විදෙස් සංචාර සඳහා දැරූ වියදම්, සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු, විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාරත් ඒ වියදම් කළ යුතු බව කල්පනා කරනවා. අපි වැයකර තිබෙන්නේ රජයේ මුදල් නොවන බවටත් සහතිකයක් දෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සමහර අය විශාල චෝදනාවක් කරමින් මෙවර ඡන්දය දීමට නොයන ලෙස කතා කියනවා.

බොහෝ දෙනාට රට අත්හැර ඒමට සිදුවී තිබෙන්නේ අපේ රටේ දේශපාලනය සහ ආර්ථිකය හේතුකොට ගෙනයි. ඒ වගේම අපේ රටේ දේශපාලන පරිවර්තනයක් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අයිතියක් තිබෙනවා. මන්ද අදත් අපේ රට දුවන්නේ විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් එවන මුදල්වලින්. ගිය අවුරුද්දේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 5900ක් එවා තිබෙනවා. ගිය වසරේ මේ වන විට ඩොලර් මිලියන 3000 ඉක්මවා තිබුණා. මේ අවුරුදු දෙක තුළ එවූ මුදල මිලියන 10,000 ඉක්මවනවා. රජය සතු විදෙස් සංචිත ප්‍රමාණය එයින් බාගයයි. අපේ රටේ දේශපාලනය විසින් පිටස්තරයින් වීමට බලකර සිටින ඔබට අපේ රටේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මැදිහත් වීමේ ශුද්ධ වූ අයිතියත් තිබෙනවා. ඒ අයිතිය පිළිගන්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ මාසය ඉක්මවා යන්න පෙර මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා කැඳවන දිනය සහ මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කරාවි යැයි අපි සිතනවා. එසේ තිබියෙදී රනිල් වික්‍රමසිංහ ඡන්දයට ඉදිරිපත් වීම පිළිබඳව තමන්ට තිබෙන දෙගෙඩියාව සමාජයට මුදා හරිමින් සිටිනවා. ඔහු ඡන්දයට ඉදිරිපත් වෙනවා නම් ඉල්ලන පක්ෂය මොකක්ද, ඡන්ද ලකුණ මොකක්ද, රනිල්ට මහින්ද සහයෝගය දෙයිද ආදී ප්‍රශ්න නිසා ඔහු දෙගිඩියාවක ඉන්නවා. අධිකරණය හරහා කල්දාන්න ගත් උත්සාහයන් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත දැමුවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ගැසට් කර, ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරනවා. මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එහි සති දෙකක් ගතවීමට ඉඩ හැර, ඊළඟ සති තුන අධිකරණ කටයුතුවලට වෙන්කර ඒ සති තුනට පසුව අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දන්වා පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියැවීමේ විවාදයට යොදන්න පාර්ලිමේන්තුවෙන් 2/3ක අනුමැතිය ලබා ගත යුතුයි. ඉන් පසුව ජනමත විචාරණයක් කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දිය යුතුයි. මේ ක්‍රියාවලිය සිදුවන අතර, රනිල් වික්‍රමසිංහ ගෙදර යාමට සිදුවී තිබෙනවා.

AKD-JApan-Meeting

ජනමත විචාරණය පවත්වනවා නම්, රුපියල් කෝටි 1000ක් වැය වෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති ධුර කාලය අවුරුදු පහක් බව නිරවුල් කර අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා තුනකදී ලබාදුන් තීන්දු මගින් ධුර කාලය අවුරුදු පහක් බව තීන්දු කර අවසන්. ජාතික ජන බලවේගයේ අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වෙනවා. රනිල්ට ගෙදර යන්න සිදු වෙනවා. ඔහු සාමකාමී ලෙස ගෙදර යනවා. නායකයන් ගෙදර යවන පළමු අවස්ථාව මෙය නොවෙයි. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් පාලකයන් ගෙදර යවා අලුත් නායකයන් ගෙනත් තිබෙනවා. නමුත් මේ දක්වා ඉතා හොඳින් නීතිය ක්‍රියාත්මක වෙන, විනයක් පවතින, ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට ගුණාත්මක ආහාර වේලාවක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන වගේම මූලික යටිතල පහසුකම් සම්පූර්ණ වූ රටක් නිර්මාණය කර නැහැ. අද තිබෙන්නේ අපි අපේක්ෂා කරන මූලික කරුණුවලින් බොහෝ දුප්පත් රටක්. ආර්ථිකයෙන් පමණක් නොව ආකල්පවලින්, නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් දුප්පත් වී සිටින අතර, අපරාධවලින් පොහොසත්, මත්ද්‍රව්‍යවලින් පොහොසත්, වංචාව, දූෂණයෙන්, නාස්තියෙන් පොහොසත් රටක් නිර්මාණය වී තිබෙනවා. ලෝකයට ණය ගෙවා ගන්න බැරි තරම රට සහ පුරවැසියන් දුප්පත් වුණු ඉතාමත් අයහපත් කටුක ජීවිත උරුම වූ ජනතාවක් සිටින රාජ්‍යයක් බවට ලංකාව පත්වුණේ ඇයි?

එස්.බී. දිසානායක මහනුවරදී කියා තිබුණේ හැටේ දශකයේ කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය අපට වඩා යටින් තිබුණත් අද වෙනකොට ඒ රාජ්‍යයන් අපට වඩා විශාල වශයෙන් ඉහළින් සිටින බවයි. මේ කාලය තුළදී රට පාලනය කළේ කවුද? 1970දී පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂ දැන් අවුරුදු 54ක් කල්ගත කර තිබෙනවා. මෙතනට රැස්වී සිටන බොහෝ දෙනාගේ වයසත් 54ටත් වඩා අඩුයි. මන්ත්‍රී ධුරය, අමාත්‍ය ධුරය, විපක්ෂ නායක ධුරය, අගමැති ධුරය සහ අවුරුදු 10ක් ජනාධිපති ධුරය දරලා නැවත මන්ත්‍රී ධුරයක් ලබාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආව 1977 ඉඳලා දැන් අවුරුදු 47ක් ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවට ආවේ 1983 දී. දැන් අවුරුදු 41ක් වෙනවා. මම මේ කීවේ ප්‍රධාන තුන්දෙනාගේ විස්තරය. ඔවුන් පාලනය කළ දශක පහකට ආසන්න කාලය තුළ වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව අපට වඩා උඩට ඇවිත් අපි තිබුණු තැනිනුත් බංකොලොත්භාවයට පත්වී සිටිනවා. 1950දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 316යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ ඩොලර් බිලියන 688යි. වියට්නාමය 1980දී අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. එදා ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. රනිල් වික්‍රමසිංහලා ආණ්ඩුව පිහිටුවා ආසන්න කාලයේදී ඒ තත්වයේ තිබුණු ලංකාව දැන් අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වන විට වියට්නාමයේ ඩොලර් බිලියන 452යි. ලෝකයේ ඇති වූ නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අපේ රටේ ආර්ථිකය වෙනස් කර ගනිමින් ඉදිරියට ගියේ නැහැ. ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක විනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපරාධවලින් තොර රටක් නිර්මාණය වෙන්නේත් නැහැ. යහපත් සමාජයක් නිර්මාණය වෙන්නේත් නැහැ. අනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය වෙන්නේත් නැහැ. යහපත් පරිසර පද්ධතියක් පවතින්නේත් නැහැ. ඔබ ජපානයේ බොහෝ ගුණාංග ගැන කතා කරන අතර, ලංකාව ව්‍යසනයකට පත්වී තිබෙන්නේ මේ දේශපාලනය නිසයි. පරණ පන්නයේ දේශපාලන සංස්කෘතිය නිසා පොදු ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටී නැවත දවල් වැටුණු වලේ රෑත් වැටෙන මට්ටමකට අවුරුදු 76ක් පුරා ගමන්කර තිබෙනවා. අපි ඔබව හමුවෙන්න ආවේ, අවුරුදු 76ක මේ ගමන් මාර්ගය අපි සියලු දෙනාම එක්වී වෙනස් කරමු කියන පණිවිඩය දෙන්නයි.

AKD-JApan-Meeting

ඒ විනාශකාරී ගමන වෙනස් කරන්න ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා. මෙයට පෙර ජාතික ජන බලවේගයේ අපි බලය ඉල්ලුවත් සමාජය බලය ලබාදීමට සූදානමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ රිමෝට් එක දෙන්න, තව විටෙක පාර්ලමේන්තුවේ යතුර දෙන්න ආදී වශයෙන් ඉල්ලීම් කරමින් මේ දුර පැමිණියා. පසුගිය දශක කිහිපය තුළ ජනතාවගේ සිතුවිල්ල වෙලා තිබුණේ හොරු ගොඩක් පාර්ලිමේන්තුවට යවා ඒ හොරු අල්ලන්න ජේ.වී.පී. එකෙන් තුන් හතර දෙනෙක් යැවීමටයි. ආණ්ඩුව නරක වැඩ කරන කොට හෙළිදරව් කරන්න ඒ ගොල්ලොත් හිටියොත් හොඳයි, කියන සංකල්පයක් තිබුණේ. නමුත් අද ජනතාවගේ මනස තුළ ජාතික ජන බලවේගය ස්ථාපිත වී තිබෙන්නේ ආණ්ඩුවක් පිහිටවන්න ඕනෑ බවයි. අපේ වුවමනාව තිබුණු පමණින්ම බලය ගන්න බැහැ. ඒ හා සමානම වුවමනාවක් ජනතාවගේ පැත්තෙනුත් ඇති විය යුතු වෙනවා. අපි එතෙක් කළේ අල්ලා ගෙන සිටීමයි. 3%ට වැටුණත් අපි අල්ලාගෙන සිටි වෙලාවේ සමහර අය අපට කීවේ ජනතාවට ඕනෑ නැත්නම් ඔය ගොල්ලොත් අතහැර දාලා ගෙදර යන්න කියලයි. ඒත් අපි අල්ලාගෙන සිටියා. අද උතුර දකුණ බේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව, දේශීය විදේශීය ලෙස ජීවත් වෙන ශ්‍රී ලාංකික බේදයකින් තොරවම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි කියන ස්ථාවරයට පැමිණ සිටිනවා. එය ජයග්‍රහණය කරා මෙහෙයවීමයි, අපට ඔබට පැවරී තිබෙන කාර්යභාරය. නමුත් මේ ඡන්දය ලංකා ඉතිහාසයේ ඉතාමත් කැතම සිදුවීම් සිදුවෙන ඡන්දය විය හැකියි. මෙය හුදු සරල ඡන්දයක් නොවෙයි.

ජනාධිපතිවරණය 1982 සිට පවත්වා තිබෙනවා. නමුත් ඒ කිසි අවස්ථාවක පවත්වයිද නැද්ද කියලා සැකයක් තිබුණේ නැහැ. නමුත් තවමත් 19 ව්‍යවස්ථා සංශෝධනය මුල්කරගෙන දෙගිඩියාවක් ඇති කරමින් තිබෙනවා. මේ ඡන්දය එතරම්ම සුවිශේෂී නිසයි දෙගිඩියාවක් පවත්වාගෙන යන්නේ. මේ ඡන්දයට රාජ්‍ය බලය විශාල වශයෙන් මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ අමතරව රුපියල් කෝටි 875ක් වෙන්කර ගත්තා. උරුමය ව්‍යාපෘතිය මුළුමනින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරයක්. රාජ්‍ය සේවක වැටුපත් රුපියල් 5000කින් වැඩිකරන්න යනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ධනය රට පුරා නාස්ති කරමින් මනුෂ නානායක්කාරලා ක්‍රියාකරනවා. තරුණ සේවා සභාවට අමතර මිලියන 400ක් ළඟදි ඡන්ද වැඩ සඳහා වෙන් කළා. ලංකා ඉතිහාසයේ කවදාවත් නැතිව ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණ නිලධාරීන් පත්කරනවා. ලක්ෂමන් යාපාගේ සියලු පත්කිරීම් අවලංගු කිරීමට ක්‍රියාකළ මැතිවරණ කොමිසමට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නොවෙයි, පුළුල් මාධ්‍ය මෙහෙයුමක් යනවා. සමහර මාධ්‍ය අපිව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්න පටන්ගෙන තිබෙනවා. සියල්ලට උඩින් ඉන්න බව කීවාට බොහෝ අයට යටින් ඉඳන් ක්‍රියාකරන බව පේනවා. මේ පරිවර්තනය වැළැක්වීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට නියමිතව තිබෙනවා. ජාතික ජන බලවේගය සතු එකම ශක්තිය සහ අපේක්ෂාව මහජනතාව අපට ලබාදෙන ධෛර්යය සහ විශ්වාසයයි. ඒ මත ජයග්‍රහණය කරා අපට මෙහෙය විය හැකියි. සහතික වශයෙන්ම අපට දිනන්න පුළුවන්.

AKD-JApan-Meeting

අපේ හිතවතුන් සහ සුබපතන්නන් අපේ ජීවිත ආරක්ෂාව ගැන විශේෂයෙන් කතා කරනවා. එවැනි සැකයක් ඇති වෙන්න මේක මොන සමාජයක්ද? කවුරුන් හෝ අපේක්ෂකයෙක් දරා ගන්න බැරිව ඝාතනය කරනවායැයි සැකයක් ඇති වෙනවා නම්, අපි ජීවත් වෙන්නේ කවර රටකද? පෞද්ගලිකව අපේ ආරක්ෂාව නොවෙයි ප්‍රශ්නය, එහෙම සිතිවිල්ලක් ඇති වෙන සමාජයක් තිබීම මොන තරම් බියක්ද? එවැනි හැඟීමක් ඇති වෙන පසුබිමම ඇති මේ පාලකයන් පලවා හරින්න. තමන්ට එකඟ නොවෙන නායකයෙකු බලයට පත්වීම වැළැක්වීමට ඔහුව ඝාතනය කරනවා යැයි සිතුවිල්ලක් ඇති වෙනවා නම් එය පිටුපස තිබෙන අපේ රටේ දේශපාලනය මොනතරම් බිහිසුණුද? අපි ජයග්‍රහණය කළ යුත්තේ සෑම අතින්ම පොහොසත් රටක් නිර්මාණය කරන්නයි. ආර්ථික වශයෙන්, ආකල්පමය වශයෙන්, නීතියේ විධානයේ ආධිපත්‍යයෙන් පොහොසත් රටක්, එකිනෙකාට ගෞරව කිරීම අතින් පොහොසත් රටක්, ස්වභාවික පරිසරයෙන් පොහොසත් රටක් ලෝකයේ නවීනතම විද්‍යාව සහ තාක්ෂණයෙන් උකහා ගැනීමෙන් පොහොසත් රටක් අපි නිර්මාණය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් එක්ක කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි.

අපි පටන් ගන්න ඕනෑ කොතනින්ද? එකිනෙකා අතර සැකය, අවිශ්වාසය, වෛරය, ක්‍රෝධය වර්ධනය කරමින් ලෝකයේ දියුණු වුණු රටක් නැහැ. ඒවායෙන් නිර්මාණය වන්නේ දුප්පත් රටවල් විතරයි. අපේ රටේ ජාතික සමගිය නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රධානම කාර්යයන්ගෙන් එකක්. ප්‍රධාන වශයෙන් කතා කරන භාෂා දෙකක් සහ ආගම් හතරක් අදහන ජනතාවක් අපේ රටේ ඉන්නවා. දෙමළ, හින්දු ජනයාගේ සංස්කෘතිය සිංහල බෞද්ධ ජනයාගේ සංස්කෘතිය, මුස්ලිම් ඉස්ලාම් ජනයාගේ සංස්කෘතිය යන විවිධත්වයෙන් පිරුණු රටක් සංස්කෘතික ක්ෂේත්‍රයේ පවතිනවා. විවිධත්වය පිළිගනිමින් එකිනෙකාට ගෞරව කරමින් ඉදිරියට යන රාජ්‍යයක් නිර්මාණය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා දරන වෙහෙස තුළ ඒ සමගිය නිර්මාණය වී තිබෙනවා. පසුගිය කාලයේ ආණ්ඩු නිර්මාණය කළේ අනෙකාට එරෙහිව දේශපාලනය කිරීමෙනුයි. 2019 මැතිවරණය කියන්නේ මුස්ලිම් ජනයාට එරෙහිව ගොඩනැඟූ මහා රළ ප්‍රවාහයක්. ගෝඨාභය බලයට ගේන්නේ ඒ රළ ප්‍රවාහයෙන්. බේරුවල, අලුත්ගම ප්‍රදේශවල විශාල මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වුවත් පොහොට්ටු නාමයෝජනා ලැයිස්තුවේ එක් මුස්ලිම් අපේක්ෂකයෙකුවත් හිටියේ නැහැ. ජාතික ජන බලවේගය කෙරෙහි සිංහල ජනතාවගෙන් සාතිශය බහුතරයක් විශ්වාසය තබා ඇතත් එහෙම ආණ්ඩුවක් අපට හදලා වැඩක් නැහැ. දෙමළ ජනතාවගේ විශ්වාසය, මුස්ලිම් ජනතාවගේ විශ්වාසය ඇතුළුව බහුතර ජනතාවකගේ විශ්වාසය සහිතව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිට විය යුතුව තිබෙනවා. සමගිය ඇතිවන්නේ ගොඩනැගෙන පාලනය තුළම තමයි. මේ ව්‍යායාමය තුළින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ විශ්වාසයෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර බේදයකින් තොර සැමගේ ආණ්ඩුවක් නිර්මාණය වෙනවා. අපි ආණ්ඩුවක් ගොඩනැගීම ඇතුලේම සමගිය නිර්මාණය වනවා. අපේ පරම්පරාව මහපොළොව ඇතිවෙනකම් තෙත්වෙන තරමට ලේ කඳුළු ගලායන යුද්ධ කරගෙන තිබෙනවා. අපේ දරුවන්ගේ පරම්පරාවට සමගියෙන් යුතු රටක් ගොඩනැගීම ජාතික ජන බලවේගයේ ප්‍රධානම කාර්යයක් වෙනවා.

AKD-JApan-Meeting

නීතිය ඉදිරියේ හැමදෙනාම සමානයි කියන සංකල්පය තිබුණත් ධනය බලය තිබෙන කෙනාව නීතියෙන් ආරක්ෂා කෙරෙනවා. දුප්පත් දුබල කෙනාට දඬුවම් දෙනවා. නීතිය ඉදිරියේ හැමදෙනාම සමානාත්මතාවයට පත්කෙරෙන පාලනයක් ජාතික ජන බලවේගයෙන් ගෙන යනවා. එය කළ හැක්කේ අපට පමණයි. නීතියෙන් බේරා ගන්න අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අයථා ලෙස ධනය උපයා ගත්තවුන් අපිත් එක්ක නැහැ. ශක්තිමත් රටක් ගොඩනැගීමේදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍ය වෙනවා. අද රාජ්‍ය සේවයෙන් වැඩක් කර ගන්න යන කෙනාත් රාජ්‍ය සේවකයාත් දෙදෙනාම තෘප්තිමත් නැහැ. උසස්වීම්, මාරුකිරීම්, බඳවා ගැනීම්, මුළුමනින්ම දේශපාලන හස්තයට යටත් කර තිබෙනවා. දේශපාලන අධිකාරියේ ගොදුරක් බවට පත්කර තිබෙන රාජ්‍ය සේවය නව තාක්ෂණය යොදා ගනිමින් කාර්යක්ෂම, පොහොසත් රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කරනවා.

ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග සමාන්තර ලෙස පිළිගන්නා රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. අද අපේ රටේ පාස්පෝට් එක හයිටිය වැනි තත්වයකට ඇද දමා තිබෙනවා. ලෝකය ඉදිරියේ බාල්දුකර තිබෙන මේ රටේ හැම පුරවැසියාම කල්පනා කරන්නේ තමන්ට ලැබෙන කුමන හෝ අවස්ථාවකදී රටෙන් පැන යන්නයි. ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කර තිබීමෙන් මුදාගෙන ගෞරවයට පාත්‍රවන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම ජාතික ජන බලවේගයේ පාලනයක ප්‍රමුඛතම කාර්යයක්. ලෝකය ඉදිරියේ අපේ රට අපකීර්තියට පත්කරන්න දායක වූ බැසිල් රාජපක්ෂගේ පාස්පෝට් එක ඇමෙරිකන් එකක්. අප විසින් විසඳිය යුතු සමාජීය ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී පළමුවෙන්ම ආර්ථික පරිවර්තනයක් අවශ්‍යයි. මම හෝ අපේ පක්ෂයේ ඉහළම මණ්ඩලවල සිටින කිසිවෙකු ව්‍යාපාර කරන්නේ නැහැ. හෝටල් දාන්න, බාර් විවෘත කරන්න, වැලි ගොඩදාන්න, ගල් කඩන්න, සංචාරක හෝටල් ඉදිකරන්න, පෙට්‍රල් ෂෙඩ් දාන්න අපි කිසිවෙකුත් එන්නේ නැහැ. ආර්ථිකයේ සමහර ක්‍රියාමාර්ග දේශපාලකයන්ට සමීපතම කණ්ඩායම් අතේ හිරකර ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර තිබෙනවා. ලංකාවේ ආර්ථිකය නව නිෂ්පාදන ආර්ථිකයකට යොමු කිරීම සඳහා පවතින සියලු විභවයන් තක්සේරු කරමින් නිසි ආකාරයෙන් යොදා ගන්නවා. විදුලිය, ජලය, නාවික කර්මාන්තය, අයි.ටී. තාක්ෂණය වැනි සේවාවන් සැපයීමේ විභවතාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නවා. අපේ මානව සම්පත නිසි ලෙස මෙහෙය විය හැකි නව අධ්‍යාපන පරිවර්තනයක් ඇති කරනවා. ක්ෂේත්‍ර ගණනාවක ඒකාබද්ධ කළමනාකරණ හැකියාවන් උකහා ගනිමින් ජාතික සැලැස්මක් මත ඉලක්ක සහිතව මෙහෙයවනවා. මේ ආකාරයෙන් රට ගොඩනඟන්න ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සඳහා ඔබේ ඥාතීන්, මිතුරන්, දිරිමත් කර ඡන්දය වෙනුවෙන් පෙළගස්වන්න. ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් ඔවුන්ව දැනුවත් කරන්න. එතනින් නතර නොවී ඡන්දය කිට්ටුවෙලා ලංකාවට එන්න. අපි හැමෝම එකතු වෙලා මේ විනාශය පරාජය කිරීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් වෙමු.
……………………………………………….

AKD-JApan-Meeting

සභාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය: පාලකයන් මේ දක්වා කළ වැරදිවලට ඔබේ පාලනයක් යටතේ ක්‍රියාකරන්නේ කොහොමද?

පිළිතුර:
අපට කිසිදු පුද්ගලයෙකුගෙන් පලිගැනීමේ චේතනාවක් නැහැ. ඒ කිසිවෙකු සම්බ්නධයෙන් අපිට පෞද්ගලික ආරෝවක් නැහැ. අපේ රට මේතරම් දුප්පත්භාවයට පත් වුණේ ජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණන් කොල්ල කෑ නිසයි. ඉස්පිරිතාලයක බෙහෙත් නැතිව අම්මා කෙනෙක් මැරෙනවා නම්, ආහාර නැතිව දරුවෙක් මැරෙනවා නම්, තමන්ගේ ළදරුවා දාලා විදෙස්ගත වෙන්න සිදුවෙනවා නම්, ඒ සියල්ල සිදුවී තිබෙන්නේ මහජන ධනය ඔවුන් කොල්ලකෑ නිසයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට නියත වශයෙන්ම දඬුවම් ලබාදෙනවා. රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක කීවා ඔහුගේ ළඟ තොරතුරු සියල්ල තිබෙන බවත්, මගේ ළඟ හිස් ෆයිල් තිබෙන බවත්. දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ආවා. පැරණි පැමිණිලි වෙනුවෙන් ක්‍රියාකිරීමට පටන් ගත් අවස්ථාවේ අලුත් පැමිණිලි ආවා. ඒ අතර රවි කරුණානායක සම්බන්ධ ප්‍රාඩෝ රථ වංචාවක් ගැන පැමිණිල්ලක් ආවා. විදේශයෙන් කිරි හරක් මිලදී ගැනීම සහ වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන පී. හැරිසන්ට විරුද්ධව පැමිණිලි ආවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් වංචා පිළිබඳවත් පැමිණිලි ආවා.

පැරණි පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අතර, අලුත් පැමිණිලි ලැබීම නිසා රනිල් වික්‍රමසිංහ මේ කාර්යාලය වසා දැම්මා. ඒ විතරක් නොවෙයි, රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙනුත් පැමිණිලි ආවා. රනිල් වික්‍රමසිංහගේ ෆයිල් දෙකක් ඇතුළුව සියලු පැමිණිලි පිළිබඳ තොරතුරු මා සතුව තිබෙනවා. නිතිය හමුවට ඔවුන් ගෙන යන අතර, පවරා ගත හැකි හැම දේපළක්ම පවරා ගන්නවා. වංචා දූෂණ පමණක් නොවෙයි, කාලයේ වැලි තලාවෙන් යට කරන්න උත්සාහ කරන අපරාධ රැසකුත් තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, එක්නැලිගොඩ වැනි ඝාතන වගේම දේශපාලන කුමන්ත්‍රණ වෙනුවෙන් පාස්කු ප්‍රහාර එල්ල කිරීම වැනි අපරාධ සම්බන්ධයෙන්ද නිසි පරිදි පරීක්ෂණ සිදුකොට අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා. ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ පරීක්ෂණ සිදුකළ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න මහත්වරුන් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලීස් සාමූහිකයේ ප්‍රධානීන් වී සිටිනවා. ඔවුන් පළිගැනීම්වලට පවා ලක් කළා. අපේ රටේ පාතාලය මෙහෙය වන්නේත් දේශපාලකයන්. ඒ සියල්ල සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන යනවා.

ප්‍රශ්නය: ආයෝජන ලංකාවට ගෙන යන අවස්ථාවලදී මේ දක්වා සිදුවන අති විශාල කොමිස් මුදල් ඉල්ලීම නතර කළ හැකිද?

පිළිතුර:
ඕනෑම ව්‍යවසායක් නිසි ශක්‍යතාවයෙන් යුක්තද කියලා පරීක්ෂා කරන්න ඕනෑ. ඒ අනුව ප්‍රතිඵලදායක ඕනෑම ව්‍යාපෘතියකට ඇල්වතුර වීදුරුවක්වත් නොගෙන ආයෝජකයන් යොදවනවා. අපට අවශ්‍ය වන්නේ කොතරම් රැකියා උත්පාදනය වෙනවාද? අපනයන ආදායම කොතරම් උපයාගත හැකිද, අපේ සම්පත් උපයෝජනය කර ගන්න කොතරම් සමත් වෙනවාද යන කරුණු තහවුරු කර ගැනීම පමණයි. ලංකාවේ එක් සීනි සමාගමක් අපතේ යන උක් රොඩුවලින් විදුලිය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ විදුලි නිෂ්පාදනය ඔහුගේ කර්මාන්ත ශාලාවේ අවශ්‍යතාවයට වඩා වැඩියි. ඒ වැඩි විදුලිය ජාතික පද්ධතියට එක්කරන්න අවස්ථාව ලබා ගැනීම සඳහා ඇමතිවරයා සමග සාකච්ඡා කළා. ඇමතිවරයාගේ යෝජනාව වූයේ ඇමතිගේ බෑනාගේ සමාගමක් පිහිටුවා ඒ සමාගමට ලබාදී ඒ මගින් ජාතික පද්ධයට ලබාදීමටයි. ඒ වගේම ඔබ කියු පරිදි කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පැමිණි ව්‍යවසායකයාට ඇමතිවරයා පවසා තිබුණේ ව්‍යාපාරයෙන් 50%ක් ඔහුට ලබාදෙන ලෙසයි. ඒ නිසා ජනතාවගේ වුවමනාව සහ පාලකයාගේ වුවමනාව එකම ඉලක්කයක් වන පාලනයක් අපි පිහිටුවා ගනිමු. බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බලය ලබා ගත්තේ ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ විභාග වූ නඩු ඉවත් කර ගැනීමටයි. අපි ජනතාවගේ අරමුණු සහ පාලකයන්ගේ අරමුණු ඒකාත්මික වූ පාලනයක් පිහිටුවා ගනිමු.

ප්‍රශ්නය: පාස්කු දවසේ බෝම්බ ප්‍රහාරයෙන් මගේ මහත්තයා හා දුවලා දෙන්නාත් මිය ගියා. මම තුවාල ලබා ඉතිරි වුණා. අදට ඒ ප්‍රහාරය එල්ල කර අවුරුදු පහකුත් මාස තුනක් ගෙවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මුදල් වන්දියක් නොවෙයි. ඒ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්නේ කොහොමද?

පිළිතුර:
අසා සිටිය නොහැකි හැඟීමක් ඒ සම්බන්ධයෙන් දැනෙනවා. පාස්කු ප්‍රහාරයෙන් ටික දවසකට පසු මම ප්‍රකාශයක් කළා. දඩයම කර ගහගෙන යන්නේ කවුද කියලා බැලුවහම තුවක්කුව බැන්දෙ කවුද කියලා හිතා ගන්න පුළුවන් කියලා. ප්‍රහාරය එල්ල කළ අවස්ථාවෙත් අපට ඒ සැකය තිබුණා. පසුව පාර්ලිමේන්තු තේරීම් කාර සභාවක්, ජනාධිපති කොමිෂන් සභාවක්, ඒ වගේම තවත් පරීක්ෂණ ආයතන යොදවා තිබුණා. පරීක්ෂණ සිදු කළත් නිරාකරණය කර ගත යුතු තැන් ටිකක් ඉතිරි වී තිබෙනවා වවුනතිව්වල ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා පිළිබඳව පරීක්ෂණ නිසි පරිදි සිදු කළා නම් සහරාන්ලාගේ බෝම්බ පිපිරීම සිදුවන්නේ නැහැ. නමුත් එම පරීක්ෂණ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු දෙසට හැරෙව්වා. තව පැත්තකින් අප්‍රේල් 04වැනිදා ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳ තොරතුරු ආවා. අප්‍රෙල් 09 වැනිදා ප්‍රහාරය එල්ල කරන්නේ කවුද කියලා තොරතුරු ආවා. අප්‍රේල් 20 වැනිදා තොරතුරු ආවා හෙට ගහනවා කියලා. අප්‍රේල් 21දා උදේ හතට ප්‍රහාර එල්ල කරන ස්ථාන පිළිබඳ තොරතුරු ආවා. මේ තොරතුරු හොඳින් විමර්ශනය කළ විට පැහැදිලි වෙන්නේ එය වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය තොරතුරු කිහිපයක් නොලැබුණු බවයි. සමීපතම කෙනෙකු තොරතුරු දුන්නත් පානදුර ප්‍රදේශයේ නිවසක සිට ප්‍රහාරයට සැලසුම් කරන බවට වූ තොරතුර ලැබී තිබුණේ නැහැ. ප්‍රහාරයට අවශ්‍ය භාණ්ඩ බත්තරමුල්ල ප්‍රදේශයෙන් මිලදී ගැනීම පිළිබඳ තොරතුරු ලැබෙන්නේත් නැහැ. එහෙම නම් ප්‍රහාරය පිළිබඳ තොරතුරු දුන්නේ කවුද කියලා හොයා ගන්න ඕනෑ. තුන්වෙනුව තාජ් සමූද්‍රා හෝටලයේ සිට පැමිණි ජමීල් බෝම්බයක් පුපුරවා නොගෙන ආපසු ගියා. ඔහු දෙහිවල ප්‍රදේශයේදී බෝම්බය පුපුරවා ගන්න කලින් හමුදා බුද්ධි අංශය ජමීල්ගේ ගෙදරට ගියා. එය සිදුවුණේ කොහොමද කියලා සොයා ගන්න ඕනෑ. ප්‍රහාරයෙන් පසුව අයි.එස්.අයි.එස්. සංවිධානයට එහි වගකීම භාර ගන්න කතා කළේ කවුද කියලා සොයා ගන්න ඕනෑ. මාතලේ සිටි පොඩි සහරාන් මෙහෙයවූ පුද්ගලයෙක් ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානයට බාර ගන්නා ලෙස බලකරන්නැයි නියෝග කර තිබුණා. ඒ කතා කරපු කෙනා සොයා ගන්න ඕනෑ. කටුවාපිටියේ බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ බිරිඳ මියගොස් නැති බව ඩී.එන්.ඒ. පරීක්ෂණ දෙකකදී හෙළි වුණා. තුන්වැනි පරීක්ෂණයෙන් ඇය මිය ගිය බවට ප්‍රකාශ වුණා. මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් හෙළි වූ මෙන්න මේ කරුණු ටික නිරාකරණය කර ගත යුතුයි.

පුපුරන ද්‍රව්‍ය අධිවේගී මාර්ගයෙන් ප්‍රවාහනය කරන්න ගෙන එන අතර, වාහනය පරීක්ෂා නොකරන ලෙස නියෝග කළේ කවුද කියලා සොයන්න ඕනෑ. දීර්ඝ පරීක්ෂණ නොවෙයි, මේ ගැටලු ටික නිරාකරණය කරගෙන ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරනවා. ඒ වගේම ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් සමාජය කෙරෙහි සැකයෙන් හා වෛරයෙන් බලන තත්වයක් ඇති කළා. කාදිනල් වහන්සේගේ මැදිහත් වීම සිදු නොවෙන්න අපේ රට විශාල ගිනි ජාලාවක් බවට පත්විය හැකිව තිබුණා. වේදනාවට පත්වූවන්ගේ වගකීම කාදිනල් වහන්සේ බාරගෙන ක්‍රියාකිරීම සම්බන්ධයෙන් අදත් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ වගකීම බාරගැනීම සම්බන්ධයෙන් අද උන්වහන්සේට විශාල චෝදනා එල්ල වෙනවා.

මේ සහෝදරියට මේ ප්‍රශ්නය ඉතාමත්ම තදින් දැනෙනවා වගේම සමාජයටත් ඒ ආකරයෙන්ම දැනෙනවා. දේශපාලන බලය වෙනුවෙන් මෙවැනි සැලසුම් සහගත ප්‍රහරයන් එල්ල කිරීම අතිශය බරපතළයි. ඒ වගේම ප්‍රහාරය වළක්වා ගත යුතු අංශ ප්‍රහාරයේ සැලසුම්කරුවන් වෙනවා නම් හෙටත් අපි අනාරක්ෂිතයි. ඒ නිසා මේ ප්‍රහාරය කාලයෙන් හෝ ඉතිහාසයෙන් හෝ කඳුළුවලින් කෙළවර වීමට ඉඩ නොදිය යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ සියලු තොරතුරු අපි හෙළිකර ගන්නවා. මෙවැනි ව්‍යසනයක් යළි සිදු නොවීමට මේ සඳහා වගකිව යුතු කවර හෝ තරාතිරම්වල අය නීතියට ඉදිරියට ගෙන යාමේ වගකීම අපි බාර ගන්නවා.

ප්‍රශ්නය: ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කළ හැකි පිරිසක් ජපානයේ ඉන්නවා. දැන් තිබෙන වැල් පාලම නොවෙයි, ඔවුන් අපේ රටට ගෙන්වා ගත හැකි ශක්තිමත් පාලමක් හදාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

පිළිතුර:
සමහර ක්ෂේත්‍රවලට අවශ්‍ය ප්‍රාග්ධනය අපට නැහැ. සමහර ක්ෂේත්‍රවලට අවශ්‍ය තාක්ෂණය අපට නැහැ. ප්‍රාග්ධනය සහ තාක්ෂණය රට තුළට ගෙනත් ආයෝජනය කිරීමෙන් ලබා ගන්නා ලාභයෙන් සාධාරණ පංගුවක් ලංකාවේ රජයට දෙන්න. අපේ බදු ප්‍රතිපත්තිවල සහ පෞද්ගලික අංශය සහභාගි කර ගැනීමේ මූලධර්මය ඒකයි.

ප්‍රශ්නය: මම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරීව හිඳිමින් ආබාධිත වූ සොල්දාදුවෙක්. මට දැන් ජපානයේ පුරවැසිභාවය තිබෙනවා. නමුත් යුද්ධයෙන් ආබාධිත වූ දොළොස් දහසකට අධික වූ පිරිසක් සොච්චම් විශ්‍රාම වැටුපකින් ජීවත් වෙනවා. ඒ අබාධිතයන් වෙනුවෙන් ඔබගේ පාලනයක් යටතේ අනගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද?

පිළිතුර:
අගෝස්තු 04වැනිදා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව සූදානම් කර තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍රවල අය මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රතිපත්ති සකස් කරමින් තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ගන්න තීන්දු තීරණ පිළිබඳව 04වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අගෝස්තු 04වැනිදා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව සූදානම් කර තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍රවල අය මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රතිපත්ති සකස් කරමින් තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ගන්න තීන්දු තීරණ පිළිබඳව 04වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
……………………………………………….

මෙම ජන හමුව සඳහා ව්‍යාපාරිකයන්, වෘත්තියවේදීන් මෙන්ම විද්වතුන් රැසක් සහභාගි වූ අතර එම පිරිස නියෝජනය කරමින් මහාචාර්ය ශ්‍රී කාන්ත හේරත්, මහාචාර්ය කීර්ති එච්. ගුරුගේ, ජපන් ජාතික සඳවා මෙහෙරුමසා, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ජාතික ශිෂ්‍ය සංගමයේ ජපාන නියෝජිත යෝනික් හාන්ස්, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක, සෞරු එක්ස්පෝර්ට් ආයතනයේ සභාපති ජයන්ත හෙට්ටිආරච්චි, සෝවියට් රුසියාවේ ලුමුම්බා මිත්‍රත්ව සංගමයේ සභාපති විශ්‍රාමික යුද හමුදා බි්‍රගේඩියර් මොහොමඩ් සනුයි ඉස්රුප්, මීඩියා ස්ක්‍රීන් ඉංජිනේරු ආයතනයේ කළමනාකාර ආචාර්ය ධම්මික මාන්නක්කාර, ජපන්-ශ්‍රී ලංකා ජාතික සභාවේ සභාපති රුක්මන් ශ්‍රී ලාල් වඩුතන්ත්‍රි, පී.එච්. ග්ලෝබල් ට්‍රේඩින් ආයතනයේ සභාපති හර්ෂ ගුණසේන, නයොසා රුචිරන් ට්‍රේඩර්ස් සභාපති නෙවිල් හෙන්දා විතාරණ, ඇරිස්ට්‍රා ජපන් ආයතනයේ සභාපති විස්මි ඉස්මයිල්, චිගා සිංහරාජ ව්‍යාපාරයේ අධිපති කමල් කාරියවසම්, ජාතික ජන බලවේගයේ කියෝටෝ ශාඛාවේ ලක්මිණී කළුආරච්චි, බෙස්බෝන් ආයතනයේ අධ්‍යක්ෂ අජුවට්, ජාතික ජන බලවේගයේ නගොයා ශාඛාවේ චානක සම්පත්, ජාතික ජන බලවේගයේ කියොටෝ ශාඛාවේ ආනන්ද, එන්.කේ.ආර් එක්ස්පෝර්ට් ආයතනයේ සභාපති කුමාර ගුණතිලක යන මහත්ම මහත්මීහු පහන් දැල්වීම සඳහා සම්බන්ධ වූහ.