-Colombo, November 23, 2023-
2024 අයවැයට අදාළව අංක 1: 1: 3 වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් සඳහා මිලියන 110ක් වෙන්කර තිබෙනවා. පසුගිය අයවැයේ දී මෙම මුදල මිලියන 84ක් විය. එය සම්මත කර ගන්නා අවස්ථාවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා එම වැය ශීර්ෂය පිළිබඳව ඡන්ද විමසීමක් ඉල්ලා සිටිමින් කියා සිටියේ රට තුළ ඇති කළ ආර්ථික අර්බුදය සඳහා අධිකරණයෙන් වැරදිකරුවන් කළ පිරිසට ඇතුලත් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නඩත්තු කිරීමට තමන් එකඟ නොවන බවයි.
“ගරු කතානායකතුමණි ඔබතුමා දන්නවා මේ පළමු වැනි වැය ශීර්ෂයේ 1 : 1 : 3 කියන වැය ශීර්ෂයේ හිටපු ජනාධිපතිවරුන් සඳහා ගිය අවුරුද්දේ මිලියන 84ක් වගේම මේ අවුරුද්දේ මිලියන 110ක් වෙන්කරලා තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිවරුන් අතර දැනට අධිකරණයෙන් ආර්ථිකය කඩා වැට්ටීමට හවුල් වුවේ යැයි කියලා චෝදනා ලබා තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් නියෝජනය කරනවා. ඔවුන් ආර්ථිකය කඩාවැටීමට හවුල් වූවායයි කියා තීන්දුවක් කරලා තිබියදී මේ පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා මුදල් වෙන්නොකළ යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ඒ සඳහා ඡන්දයක් අවශ්‍යයි” අනුර කුමාර දිසානායක සහෝදරයා පවසන ලදී.
ඒ අනුව පළමු වැනි වැය ශීර්ෂය වූ ජනාධිපති වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා. එහිදී අදාළ වැය ශීර්ෂ අංක එක ගැන ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 62ක් ලබාදුන් අතර ඊට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද තුනක් පමණයි. ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය යි.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනා සහ සෙසු පිරිස පිළිබඳව විවිධ ආකාරයේ කරුණු පැවසූ විරුද්ධ පක්ෂයේ අන් කිසිවෙකුත් මෙම යෝජනාවට විරුද්ධව හෝ පක්ෂව චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ