(-රට අනුරට | පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් | ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව 2024 අගෝස්තු 19-)
ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් ව්‍යාපාරයක්. ඒ සංවිධානවල සංහෝදරවරු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අමාත්‍ය ධුර දරමින් මේ රට ප්‍රපාතයට හෙළපු කැත දේශපාලන සංස්කෘතියක් ඇති කළ පිරිස් එහාට මෙහාට පනිමින් ඉන්නවා. කොටසක් රනිල් වික්‍රමසිංහ බෙදා ගන්න උත්සාහ කරනවා. තව කොටසක් සජිත් ප්‍රේමදාස ළඟ. තවත් කොටසක් නාමල් රාජපක්‍ෂ ළඟ. ඒක තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය. ජාතික ජන බලවේගය හැටියට අපි දිගු කාලයක් මේ මැතිවරණයට සූදානම් වෙමින්, නීතිඥවරුන්, ඉංජිනේරුවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, විශ්‍රාමික පොලිස් සාමාජිකයන්, ආබාධිත වූවන් සහ විවිධ වෘත්තීන් අනුව පිහිටුවා ගත් සංවිධාන පෙළගැසෙමින් ඉදිරියට පැමිණියා. අපේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ මහජන බලවේගයයි. ඔවුන්ගේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින අයයි. දේශපාලන පොරපිටියේ ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අනෙක් කඳවුරේ විවිධ කණ්ඩායම් ප්‍රතිපත්ති හෝ පක්‍ෂ හෝ සොයාගන්න බැරි තත්වයකට පත්වී සිටිනවා. පසුගිය 17වැනිදා රුහුණෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. ඊට පසු කිරිබත්ගොඩ සහ කොළොන්නාවේ ජනතාව හමු උනා.
මේ අය ඉතිහාසයේ කළේ මොනවද? තිබෙන තත්වය මොකක්ද? මේ රට මුදා ගැනීමේ මාවත මොකක්ද? ආදී කරුණු ගැන අපි කතා කරනවා. පවතින තත්වයෙන් රට මුදාගැනීමට ජනතාවගේ මැදිහත්වීම අවශ්‍ය වන්නේ ඇයි කියන දේ අපි ජනතාවට පැහැදිලි කර දෙනවා. දේශපාලන බලය පොදු ජනතාවගේ අතට මාරු වෙයි කියා දූෂිත කල්ලිය කවදාවත් කල්පනා කළේ නැහැ. දීර්ඝ කාලයක් ආණ්ඩු කළ ඇමැති ධුර දැරූ අය පිල්වලට බෙදී ඉන්න අතරේ මේ දේශපාලන සූදුව නිමා කිරීමට ප්‍රතිපත්තිගරුකව, සැලැසුම්සහගතව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අපිට එරෙහිව සතුරන් අසත්‍ය සහ අවලාද නඟමින් යනවා. කුරුණෑගල වේදිකාවක එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. අපි කවදාවත් ඒ මන්ත්‍රීවරුන් ගැන කියන්න නොසිතූ දේවල් දැන් කියන්න සිදුවෙලා තිබෙනවා. ඔහු අප සමඟ එක්වීමට තිස්හතළිස් වතාවක් ආවා. අපට පක්‍ෂපාතී කරුණු එළියේදී ඉදිරිපත් කර ඒ බව වට්ස්ඇප්වලින් අපට එවා තිබුණා. ඔහු අද වෙන වේදිකාවල ඉතාමත් බාල අවලාද නඟනවා. මේ රටේ ශිෂ්ටාචාරය, සමාජය ගොඩනැඟී තිබෙන ආකාරය ගැන ඉතා හොඳ අවබෝදයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් අපි. සෑම ජන ප්‍රජාවකටම තමන්ට අනන්‍ය වූ සංස්කෘතීන් තිබෙනවා. ඒ අනන්‍ය වූ සංස්කෘතික උත්සව, ආගමික උත්සව මෙන්ම අනන්‍ය වූ ආගමික සම්ප්‍රදායන් ආරක්‍ෂා කරමින්, රැකබලාගෙන අනාගතයට පවරා දීම අපගේ අපේක්‍ෂාවයි.
තව පිරිසක් රත්නපුරයට ගිහින් කියනවා, අපේ පාලනයක් යටතේ පතල් කැණීම් සම්පූර්ණයෙන් නතර කරනවා කියලා. ඇත්තටම අපේ අපේක්‍ෂාව හොංකොං නගරයට කේන්ද්‍රගත වී තිබෙන ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ මධ්‍යස්ථානය අප වෙත ලබා ගැනීමයි. අපේ අපේක්‍ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරනවා. අපේ පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදනවා. එක්දහස්නවසිය හැත්තෑහතේ බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන පොලිසියට නිවාඩු දුන්නා. විරුද්ධවාදීන් ඝාතනය කිරීම, ගෙවල් ගිනි තැබීම වැනි ක්‍රියාවලට අනුබල දී ඔවුන් මැතිවරණ ජය සැමරුවා. ඉන් පසු රාජ්‍ය ආයතනවල සේවකයන් රාජකාරීවලට පැමිණීමට නොහැකි ලෙස මර්දනය දියත් කරමින් දේශපාලන ජය සැමරුවා. නමුත්, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව අනෙක් පක්‍ෂවලට ඡන්දය දුන් සහ ක්‍රියාකාරී වූ කිසිවකුට නිය පිටින් හිංසාවක්, පීඩාවක් නොවෙන්නට වගබලා ගැනීම අප තහවුරු කරනවා. එය අපේ වගකීමක්. නමුත්, ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම අවලාදවලින් පවත්වාගෙන යනවා.
අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා ආණ්ඩුව බාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. අපි ඔහුට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා ජනාධිපති. රනිල්ගේ තරමට ඔය වාගේ ප්‍රකාශ කළාට කමක් නැහැ. හැබැයි, ජනාධිපති ධුරයේ තරමට ඔය වාගේ කතා කියන්න එපා” රාජපක්‍ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ. දෙදහස්විසිදෙකේ මැයි දොළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ. ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ. අප කිසිසේත්ම අභියෝග හමුවේ කවදාවත් පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විදියට කටයුතු කරන්න එපා” කියලයි. අපට අවලාද එල්ල කරමින්, ඉතිහාසයේ සමහර ඝාතන පිළිබඳව ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. ඒ ප්‍රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවිඬේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අප අපේක්‍ෂා කරනවා.
“ස්වාධීනයි කියන රනිල් කිසිවෙකුට වග නොකියන අපේක්ෂකයෙක්. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක-
මම එක කරුණක් ගැන පමණයි මෙතැන දී අදහස් දක්වන්නේ. නොයෙකුත් අවස්ථාවල අභියෝග එල්ල වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ අඩුපාඩුකම් තිබුණත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකරන බවට එකඟවෙලා තියෙනවා. නමුත් මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදයට යම් අනතුරක් එල්ල වී තිබෙනවා. නොයෙකුත් මත තිබෙන දේශපාලන පක්‍ෂ ඔවුන්ගේ පක්‍ෂවලට අනන්‍ය විනයක් සහ ව්‍යවස්ථා අනුව ක්‍රියාත්මක වෙනවා. නමුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන අපේක්‍ෂකයකු හැටියටයි. එහෙම නම්, ඔහුව පාලනය කරන්න පක්‍ෂයක් හෝ පිළිගත් ව්‍යවස්ථාවක් වාගේම විනය පද්ධතියක් නැහැ. එවැනි පුද්ගලයකු මැතිවරණයට ඉදිරිපත්වී ඡන්දය ඉල්ලා සිටීමේදී ඒ සම්බන්ධයෙන් ඡන්දදායකයන් ක්‍රියා කිරීම සුදුසුයිද? මොනවා කරාවි දැයි නොදන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක්. මෙවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරණයෙන් ඉදිරිපත්වී සිටීම භයානකයි. ඔහු කාටද වගකියන්නේ. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
“නීතිය යුක්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී හිටපු අපි රට ගොඩනැගීම වෙනුවෙන් දායක වෙන්න සූදානම්”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර-
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය අපි හමුදා නිලධාරීන් වශයෙන් රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්‍ෂාව, නීතිමය තත්වය තහවුරු කිරීම ආදී කටයුතු වෙනුවෙන් පසුගිය දෙදහස්නවය දක්වා විශේෂ ක්‍රියාන්විතයක සිටියා. නමුත්, මේ වන විට රටේ නිදහස සහ යුක්තිය බිඳවැටී තිබෙන්නේ. ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමුහිකය ඉදිරිපත් වී සිටින්නේ රට ගොඩනැඟීමේ කාර්යභාරයටයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස්දහසකට වැඩි පිරිසක් මේ වන විට සංවිධානගත කර සිටිනවා. දිස්ත්‍රික් මට්ටමෙන් ගොඩනඟාගෙන තිබෙන අපේ සංවිධානය ජනාධිපතිවරණයේ දී ජනතාවට කරුණු අවබෝධ කරදීම සඳහා ක්‍රියාකාරීව මේ මැතිවරණයේදී මැදිහත් වෙනවා. රටේ පුරවැසියාට ආරක්‍ෂාව පිළිබඳව ඇති වී තිබෙන සාමුහිකය වෙත ලොකු වගකීමක් පැවරී තිබෙනවා, අපේ රට අපකීර්තියෙන් මුදාගෙන ඉදිරියට ගෙන යාම සඳහා. රට මේ වන විට පත් කර තිබෙන තත්වය පිළිබඳව බුද්ධියන් කල්පනා කර රට ගොඩනැඟීමේ එකම ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
“අපේ දැක්ම සරලයි විවෘතයි”
-‘ජනෝදානය’ සංවිධානයේ අරුණ ශාන්ත නෝනිස්-
සමාජ සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයන් එක් එක් අවස්ථාවල එක් එක් දේශපාලන පක්‍ෂවලට අනුග්‍රහය දැක්වූවා. ඒ අනුග්‍රහයෙන් ආණ්ඩු වෙනස් කළත්, ඒ කිසිදු අවස්ථාවක සමාජය වෙනස් කිරීමේ දේශපාලන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකත්වය ගත්තේ නැහැ. නමුත් අපි තීරණය කළා මේ සමාජ වෙනස සිදුකරන්න දේශපාලනයට මැදිහත් වෙන්න ඕනෑ කියලා. මුළු රටම නියෝජනය කරන ‘ජනෝදානය’ සංවිධානයේ අපි ජාතික ජන බලවේගය සමඟ එක් වී ක්‍රියා කරමින් සිටින්නේ ඒ තීරණය අනුවයි. ඔබ කවුරුත් දන්න ඉද්දමල්ගොඩ පියතුමාත් මේ ගමනට විශාල සහයෝගයක් ලබාදුන්නා. අපට තිබෙන්නේ සරල සහ විවෘත දැක්මක්. ධර්මයේ පවතින විමුක්තිකාමී හරයන් මතුකරන ප්‍රතිපත්තිවලට එකඟවී සිටින්නේ ජාතික ජන බලවේගය පමණයි. ධර්මය කිව්වාම සියලුම ආගම් නියෝජනය වෙනවා. එහි කොටස්කාරයන් වීම ගැන අප සතුටට පත් වෙනවා. අපි ලොකු ගමනක් ඇවිත් තිබෙනවා. සැප්තැම්බර් විසිඑක් වැනිදා දක්වා යන්න තිබෙන්නේ තව පොඩි ගමනයි. නමුත්, එම කාලය තුළ සිවිල් වැසියන් වෙනස වෙනුවෙන් තව දුරටත් පෙළගැස්වීම සිදු කළ යුතුයි. අවුරුදු ගණනාවක් පුරා සමාජය වෙනස් කරන්න පෙළගැසී සිටින අතර තව පුංචි හෝ සැකයක් කවරකුට හෝ තිබෙනවා නම්, එය වෙනස් කරගෙන මේ ගමනට එක් වන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
‘ජන නියමු කලාකරුවෝ’ සංවිධානයේ කීර්ති වැලිසරගේ
විවිධ කලා ක්‍ෂේත්‍ර විශාල සංඛ්‍යාවක ‘ජන නියමු කලාකරුවෝ’ සංවිධානය නියෝජනය කරන කලාකරුවන් සිටිනවා. අප හැම දෙනාම පුනරුද යුගයක් ආරම්භ කිරීමේ තීරණාත්මක කඩඉමකට සැප්තැම්බර් මස විසිඑක් වැනි දින අවතීර්ණ වෙනවා. මේ දක්වා ගෙන ගිය අශීලාචාර දේශපාලන සූදුව නිමා කර ජනතාව රැවටීම නවත්වා, දේශපාලන විපතින් රට ගොඩ ගැනීමේ ක්‍රියාවලියට තව දුරටත් ශක්තිමත්ව එක් වෙන්න ඕනෑ. මෙතෙක් කල් ජනතාව තමන්ගේ ඉරණම භාර දුන්නේ, පුද්ගලයන්ට මිස දේශපාලන ව්‍යාපාරයකට නොවෙයි. ඒ නිසා ජනතාව මේ වන විට පුද්ගලයන් වෙනුවට මහජන ව්‍යාපාරයක් ලෙස නිර්මාණශීලී මිනිසුන් සිටින ජාතික ජන බලවේගය තෝරාගෙන සිටිනවා. මේ වන විට මිනිසාගේ මනස වෙනස් කරන්න සාහසික බොරු ප්‍රචාර ගෙන යාම පරදා ප්‍රඥාසම්පන්න බුද්ධිමත් ජනතාවක් රොද බැඳගෙන සිටින බව පැහැදිලියි. ලබන විසිඑක් වැනිදා යහපත් දේශයක මූලාරම්භය සනිටුහන් කරන්න සුබ මුහුර්තිය වටා සියලු දෙනා ඒකරාශී වෙමු.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් (අනුර කුමාර දිසානායක)
■ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපතිවරයා හෙළිකොප්ටර්, රජයේ නිල වාහන ආදිය යොදා ගනිමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් දරන අදහස මොකක් ද?
මැතිවරණ කොමිසමෙන් ඉතා පැහැදිලි නිර්ණායක ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිර්ණායක කිසිවක් සැලැකිල්ලට භාජනය නොකරමින් රනිල් වික්‍රමසිංහ මහජන මුදල් සහ රාජ්‍ය දේපොළ යොදා ගනිමින් සිටිනවා. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වුණා. රනිල් වික්‍රමසිංහ ඔවුන් දැරූ අමාත්‍යාංශවලම උපදේශක තනතුරු ලබාදී ඒ අමාත්‍යාංශවලම වාහන, මුදල් ඇතුළු සියලු වරප්‍රසාද ලබාදී තිබෙනවා. නව පත් කිරීම් වැළැක්වීම සඳහා මැතිවරණ කොමිසමෙන් චක්‍රලේඛ නිකුත් කර තිබියදී, එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම රජයෙන් යැපෙන අතර, මැතිවරණයට ඒ සියලු දෙනා යොදවා සිටිනවා. රුවන් විජේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ්, ආශු මාරසිංහ, මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු සියලුදෙනා උපදේශකයන්. නවීන් දිසානායක ආණ්ඩුකාරවරයෙක්. එජාප නායකයෝ සියලුදෙනා රාජ්‍ය දේපොළ, රාජ්‍ය වාහන විශාල ලෙස මෙම මැතිවරණය ව්‍යාපාරයට යොදවා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඉන්නවා. ඒ වගේම විපක්‍ෂ නායකවරයා මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ විපක්‍ෂ නායක කාර්යාලයේ. විපක්‍ෂ නායක කාර්යාලය කියන්නේ රජයේ ස්ථානයක්. එය සමඟි ජන බලවේගයේ පක්‍ෂ කාර්යාලයක් බවට පත් කර ගන්නේ කොහොමද? ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ කීවා වාගේ ලෝකයා හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නීතිය රැකීම ගැන කතා කරන ඔවුන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නේ මහජන ධනය සහ දේපොළ අවභාවිත කරමින්. අපේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයෙනුත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබෙනවා.
■ පොහොසත් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගෙන යන අනිසි බිය පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද?
ආණ්ඩුව මුදල් උපයන්නේ නැහැ. මුදල් උපයන්නේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ගොවියා, ධීවරයා ඇතුළු පිරිසයි. ආණ්ඩුව කරන්නේ ඔවුන් උපයන දෙයින් පංගුවක් බදු හැටියට ගැනීමයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි සේවාවන් වෙනුවෙන් මුදල් යොදවන්න නම්, භාණ්ඩාගාරයට මුදල් එන්න ඕනෑ. ජාතික ජන බලවේගය කරන්නේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ වනවිට දරාගෙන සිටින බරෙන් නිදහස් කිරීමයි. අපි ඔවුන්ගේ ආයෝජන පුළුල් කරමින්, ලෝක වෙළෙඳපොළ දිනා ගැනීම වෙනුවෙන් පුළුල් සැලැස්මක් සකස් කර තිබෙනවා. ව්‍යාපාරිකයන්ගේ දේපොළ පවරා ගැනීම වාගේ අවලාදවලට අහසු වන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
■ ඔබතුමාලාට වගේම අනෙකුත් රැළිවලටත් සෙනඟ ඉන්නවා. ඉතින්, මොන වාගේ අභියෝගයක්ද තියෙන්නේ?
අපට අභියෝගය තිබෙන්නේ අප ගාවමයි. අප ගැන විශ්වාස කරන ජනතාව මුණගැසී ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අභියෝගයයි අපට තිබෙන්නේ. අනෙක් පාර්ශ්වය එල්ල කරන අසත්‍ය, අපහාස, මිථ්‍යා මත නිවැරැදි කිරීමේ අභියෝගය ජය ගනිමින්, ජනතාව අතරට තව තවත් යන්න අපට තිබෙනවා. වෙන දේශපාලන පක්‍ෂ අපට අභියෝගයක් නොවෙයි. අපට අභියෝගය තිබෙන්නේ අප සමඟම පමණයි. අපේ පණිවුඩය රැගෙන සෑම නිවසකටම යන්න සැලැසුම්සහගත ව්‍යාපාරයක් අප දියත් කර තිබෙනවා.
■ ලක්‍ෂ හැත්තෑවක ඡන්ද ඉලක්කයකට යන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් සමහර අය අහනවා?
පක්‍ෂවලට සාම්ප්‍රදායිකව ගොනුවී සිටි ඡන්ද හිමියන්ගේ කාලය දැන් ඉවරයි. ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ලක්‍ෂ හැටනවයක ඡන්දවලින් ලක්‍ෂ පණහකට වඩා වැඩිපුර තිබුණේ සාම්ප්‍රදායික පාක්‍ෂිකයන්ගේ ඡන්ද නොවෙයි. පොහොට්ටුවටම තිබුණේ ඉතා කුඩා ඡන්ද ප්‍රමාණයක්. සජිත් ප්‍රේමදාසට ලැබුණු ලක්‍ෂ පණස්පහක ඡන්ද කියන්නේ ඔහුට ලැබුණු ඡන්ද නොවෙයි, ගෝඨාභයට එරෙහි ඡන්දයි. ගෝඨාභය ආවොත්, ඒකාධිපතියකු ගොඩනැඟෙයි කියන මතයට, මර්දනය දියත් වෙයි කියන සැකයට වාගේම ජාතිවාදය වපුරාවි යන බියට එරෙහිව සජිත් ප්‍රේමදාසට ඡන්දය පාවිච්චි කළා. ඔහුට ලබාදුන් ඡන්ද ලක්‍ෂ පණස්පහෙන් ලක්‍ෂ තිහකට වැඩියෙන් තිබෙන්නේ ගෝඨාට එරෙහි ඡන්ද මිස සජිත්ට පක්‍ෂ ඡන්ද නොවෙයි. එහෙම ගත්තාම පක්‍ෂවලට ලියැවී නැති ලක්‍ෂ අසූවක පමණ ඡන්ද ප්‍රමාණයක් වාගේම අලුත් ඡන්ද ලක්‍ෂ දොළහකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. සාම්ප්‍රදායික පක්‍ෂවලින් ක්‍රමානුකූලව ගැලවුණු ඡන්ද විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. මෙවර තිබෙන ලක්‍ෂ එකසියහැත්තෑවක ඡන්දවලින් පක්‍ෂවලට ලියැවී තිබෙන්නේ ලක්‍ෂ තිහ-හතළිහ අතර ඡන්ද ප්‍රමාණයක්. ලක්‍ෂ එකසියතිහක් පමණ පක්‍ෂවලට නොලියැවුණු ඡන්දවලින් සාතිශය බහුතරය ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ඊට අමතරව සාම්ප්‍රදායිකව පක්‍ෂවලට සිටි අයත් ගැලවෙන්න පටන්ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මකව ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්‍ෂ හැත්තෑවකට වැඩියෙන් තිබෙනවා.
ඊට අමතරව දේශපාලනික වශයෙන් බැලුවත්, ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ කැත දේශපාලන සංස්කෘතියට විරුද්ධ ජනමතයත් තිබෙනවා. පොහොට්ටුවට තිබුණු ඡන්ද දේශපාලනිකව ගත්තා ම කොටස් තුනකට බෙදී නැහැ. ඔවුන් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්‍ෂ වශයෙන් බෙදී සිටියත්, ඡන්දදායකයන් ඒ ආකාරයෙන් බෙදී නැහැ. පසුගිය මැතිවරණවලදී සජිත්ට එරෙහිව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම දැන් සජිත්ව වර්ණනා කරන්නේ ඊළඟ වරටත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නයි. උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ, එක් අයෙක් දහඅට වරක් පැන ඇති බවයි. ප්‍රතිපත්තිගරුක, ඉලක්කයක් සහිත වැඩපිළිවෙළකින් මේ දේශපාලනය වෙනස් කිරීමට තිබෙන කඳවුර අප පමණයි. ගණිතය ලෙස බැලුවත්, ජාතික ජන බලවේගයට සියයට පණස්එක ඉක්මැවිය හැකියි. දේශපාලනිකව බැලුවත්, සියයට හැට, හැත්තෑවකට වුණත් යන්න පුළුවන්.
■ නාමයෝජනා බාරදුන් අවස්ථාවේදී නාමල් රාජපක්‍ෂ සමඟ සුහද කතාබහක යෙදුණේ මොනවාද කියලා කියන්න පුළුවන්ද?
විශේෂ කතාවක් නම් කළේ නැහැ. නමුත්, මට ඕනෑ නම්, එයා ඉදිරියේම එයාගේ තාත්තා සහ පවුලේ අය මහජන දේපොළ හොරකම් කළා කියලා කියන්න පුළුවන්. මට ඕනෑ නම්, එයාට අතට අත දීලා හිනා වෙන්නත් පුළුවන්. ජාතික ජන බලවේගයේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ කඳවුරේ දේශපාලන ප්‍රතිපත්ති අතර තිබෙන වෙනසට ඒ සාකච්ඡා කිරීම්වලින් බාධාවක් නැහැ.