(-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය – 2024.08.04-)
වේදිකාවේ ඉන්න සියලු දෙනා පසුගිය කාලයේ දරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා. හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මේ අවස්ථාවට සහභාගි වීම අපට විශාල ශක්තියක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නිසා දඩයමට ලක්වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීම වගේම මේ සියලු දෙනාටම සාධාරණය ඉටුකිරීම අපගේ වගකීමක්. සාමාන්‍යයෙන් හමුදා බැටෑලියන් එකක 600ක් 700ක් විතර පිරිසක් ඉන්නවා. එහෙම බැලුවොත් මෙතන බැටෑලියන් 30ක 40ක විතර පිරිසක් එකතු වී සිටිනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දී ජයග්‍රහණය ලබා හැකි පිරිසක් මෙතනට එකතු වී සිටිනවා. මේක සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ට ගර්ජනයන් තවදුරටත් ඉදිරියේදී වැඩිකරන සමුළුවක්. මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත් උනන්දුවෙන් ජාතික ජන බලවේගය වටා එක්වීමත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයට අනුබද්ධව ප්‍රබල ලෙස සංවිධාන ගතවීමත් නිසා ජාතික ජන බලවේගය ජයග්‍රාහී ලෙස ඉදිරියට යමින් සිටින බව දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා තිබුණා. මේ නැගීගෙන එන බලවේගය සැප්තැම්බර් 21දා නියත ජයග්‍රහණය කරා ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු ජගතෙකුටවත් බැහැ.
පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව අපට ඉතා හොඳින් දැනෙනවා. හදවතේ තෙතමනයක් තිබෙනවා නම්, අපේ මාතෘභූමියට අත්කර දී තිබෙන ඛේදවාචකය ගැන කම්පනයක් තිබෙනවා. අවුරුදු 75ක ඉතිහාසය පැත්තකින් තබා මේ සති දෙකක කාලය තුළ සිදුවීම් ගත්තත් ඛේදවාචකයේ තරම තේරුම් ගන්න පුළුවන්. මේ තරම් අප්‍රසන්න දේශපාලන සිදුවීම් තවත් දකින්න පුළුවන්ද? ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම, මහින්දානන්ද මූල්‍ය අපරාධ සිදුකිරීම, පිළිබඳ චෝදනා ගොනු කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති. රත්වත්තේලා බන්ධනාගාරවලට පැනලා සිරකරුවන්ට පිස්තෝලය එල්ල කළ බව ඔවුන් දන්නවා. අනික් පැත්තෙන් ස.ජ.බ. ගොඩනඟන විට සභාපති ලෙස තෝරා ගත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් එළියේ, පොහොට්ටුවේ සභාපති ජී.ඇල්. පීරිස් ඇතුලේ. මේක මොනතරම් කැත පන්නයේ දේශපාලනයක්ද? එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ගැනීමට බාධා කළ නාලක ගොඩහේවා, සජිත් ප්‍රේමදාසගේ දකුණු අත. මහින්ද රාජපක්ෂට අප්පච්චී කියූ එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන දැන් රනිල්ට අප්පච්චි කියනවා. මේ දේශපාලනය ලැජ්ජා නැද්ද? රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන හිරේ දාන තුරු නින්ද යන්නේ නැහැ කියූ මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි. මහ බැංකුවේ මහ දවල් මහා බැංකු බැඳුම්කර කොල්ලය හෙළිදරව් කළා කියන බන්දුල ගුණවර්ධනත් ඒ කියූ හොරාගේ තැන ඉන්නේ. මේක කැත නැද්ද? මේ කැත දේශපාලනය අපි අවසන් කළ යුතුයි. පුරවැසියන් ගැන, මාතෘ භූමිය ගැන වග නොකියන, මේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි. අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.
හමුදාවේ සොල්දාදුවන් හැටියට ඔබ දිවුරුම් දී ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතය පවා කැපකරනවා. රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබ ආසන්නයේම සිටි සගයා මියගොස් සිටියදී, සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටියෙදී, දිවුරුම අත්හැරියේ නැහැ. ඔබේ ශරීරය තුළ මූනිස්සම් වැදී, ඇස් අන්ධ වී, අතපය අහිමි වී, අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළත් පාලකයා හැකි හැම අවස්ථාවකදීම ව්‍යවස්ථාව කඩනවා. චන්ද්‍රිකා තමන්ගේ හිතවතුන්ට ජනාධිපති සමයේදී ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වැරදිකාරියක් වූවා. ආර්ථිකය කඩා වැට්ටවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මහින්ද රාජපක්ෂව වැරදිකරුවෙකු කළා. මෛත්‍රීපාල සිරිසේන හඳපානේ දේශපාලන කුමන්ත්‍රයක් දියත් කිරීම, පාර්ලිමේන්තු විසුරුවා හැරීම, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම, රෝයල් පාර්ක් එකේ තරුණිය ඝාතනය කළ අපරාධකරු ජනාධිපති බලතල යටතේ නිදහස් කිරීම වැනි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් රැසකට වැරදිකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පැවැති නඩු ගණනාවක් ජනාධිපති වූ වහාම මුක්තියට යටත් කර ඉල්ලා අස්කර ගත්තා. ආර්ථිකය කඩා වැටීම පිළිබඳවත් ඔහු වැරදිකරුවෙකු බවටත් පත් කළා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වීම නිසා, පොලිස්පති ලෙස පත් කළ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අගමැති දිනේෂ් ගුණවර්ධන ඒ නියෝගයට අභියෝග කරන අතර, රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කථානායකත් අගවිනිසුරුවරයාත් සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්න කියලයි. චූදිතයෙකුත්, අධිකරණ විනිසුරුවරයෙකුත් සාකච්ඡා කර, නඩු තීන්දු දෙන්නේ ලෝකයේ කොයි රටේද? තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය කථානායක සමග සාකච්ඡා නොකිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. නඩු තීන්දුව පිළිගන්නේ නැතිනම්, පොලිස්පති හැටියට එක අත්සනක් ගහන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට අපි අභියෝග කරනවා. පොලීසියට පැවරී තිබෙන කාර්යභාරය ඉටුකිරීම සඳහා දේශබන්දුම ඕනෑද? එහෙම නම් ඒ ආයතනවලින් වැඩක් නැහැ. පොලීසියට ඕනෑ වැඩකරන්න නම්, ඊළඟ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පති ලෙස පත්කළ හැකියි. නමුත් රනිල් වික්‍රමසිංහට ඕනෑ වැඩකර ගන්න නම්, දේශබන්දු තෙන්නකෝන්ම ඕනෑ. මහ දවල් අධිකරණයත් එක්ක ජනාධිපති ගැටෙනවා නම්, මහ දවල් ජනාධිපති නීතිය කඩනවා නම්, ඔබගේ වෘත්තියෙන් කරන ලද ඓතිහාසික කාර්යභාරයේ ප්‍රතිඵලයක් තිබෙනවාද? එහෙම නම් නිීතියේ විධානය, ආධිපත්‍යය සුරක්ෂිත කරන රටක් නිර්මාණය කරන්න බාධා කරන පාලක කණ්ඩායම් පලවා හැරිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට අත්හැරිය නොහැකි අයිතියක් සහ යුතුකමක් තිබෙන බව අපි විශ්වාස කරනවා.
ඔබ අපේ මව්බිම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ආරක්ෂා කරන්න කොපමණ කැපකිරීම් කළත් ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක එය කළ නොහැකියි. අපේ රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අයවැය හදන්නේ ආණ්ඩු කියලා අපි හිතනවා. අපේ රටේ බදු තීරණය කරන්නේ, අයවැය ලේඛනය හදන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ආර්ථිකය කඩා වැටුණු රටක ස්වාධිපත්‍යය, ස්වෛරීභාවය යනු හුදු මිරිඟුවක් විතරයි. අදානි සමාගමට මන්නාරම් ද්‍රෝණියේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවස්ථාව දී විදුලි ඒකකයක් ඩොලර් ශත 8.22 බැගින් මෙගාවොට් 450ක උත්පාදනයට අවස්ථාව ලබාදී තිබෙනවා. ලංකාවේ දේශීය සමාගමක් මන්නාරම් ද්‍රෝණියේ විදුලි ඒකකයක් ලබාදෙන්නේ ඩොලර් ශත 4.8කට. අදානි සමාගම විසින්ම, ඉන්දියාවේ සුළං බල විදුලිය ලබාදෙන්නේ ඩොලර් ශත 3.5කටයි. කොළඹ වරාය ආසන්නයෙන් වසරකට නැව් 36,000ක් ගමන් කරනවා. ලෝකයේ 24වන තැන කොළඹ වරායට හිමිවී තිබෙන අතර, ඉන්දියාවේ ජවහල්ලාල් නේරු වරායට හිමිවී තිබෙන්නේ 34වන තැනයි. ඒ වරායේ එක ජැටියක් චීනයට දුන්නාම ඊළඟ ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවා. නොරොච්චෝලයේ බලාගාරය, හම්බන්තොට වරාය, රේල් පාරවල් ඉදිකිරීම වගේ ව්‍යාපෘතිවලදී ඉන්දියාවත්, චීනයත් අතර තරගයකට ගොදුරු කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජාතික ආරක්ෂාවත් ස්වාධිපත්‍යයත් ආරක්ෂා කෙරෙන වැඩපිළිවෙළක් වසර කිහිපයක් තුළ ක්‍රියාත්මක කරනවා. අපට වඩා කුඩා සිංගප්පූරුව රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගෙන තිබෙන්නේ ආර්ථික වශයෙන් බලවත් නිසයි. ඒ තත්වයට රට පරිවර්තනය කිරීමේ මූලික වගකීම අපි නිසි ලෙස ඉටුකරනවා.
දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ හැටියට රටේ තිබුණු ඇත්ත ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන ජනතාවට කරුණු කීවා. නමුත් ඔවුන් නිර්මාණය කළ ජාතිවාදී දේශපාලනය විසින් ඇත්ත ප්‍රශ්නය යට ගහමින් රටේම අවධානය යුද්ධය කෙරෙහි යොමු කර තිබුණා. 1948 වතු ජනතාවගේ පුරවැසිභාවය අහිමි කළා. 1956 භාෂා ප්‍රශ්නයක් පටලවා ගැනීම, 1958 ‘ශ්‍රී’ අකුරේ කළු තෙල් ගෑම, 1965 ‘ඩඩ්ලිගේ බඩේ මසල වඩේ’ කියලා පෙළපාලි යාම, 1972 දෙමළ එක්සත් පෙරමුණ බිහිකරගෙන 1976 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්කරගෙන වඩුක්කොඩෙයි සම්මේලනයේදී වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීම දක්වා යෝජනා සම්මත කර ගත්තා. 1977 මැතිවරණයේදී ඒ යෝජනාවට ජන වරමක් ලබාගැනීම සඳහා සූර්යයා ලකුණට ඡන්දය ඉල්ලා සිටියා. ජේ.ආර්. ජයවර්ධනගේ බල වියරුව තුළ 1981 සංවර්ධන සභා ඡන්ද කොල්ලයේදී යාපනය පුස්තකාලය ගිනි තබා ඒ ජනතාවගේ අයිතිය කොල්ලකෑවා. යාපනයේ ජනතාවගේ අධ්‍යාත්මික බැඳීමක් තිබුණු පුස්තකාලය ගිනි තැබීමෙන් ඒ හදවත් පුපුරා යන්නේ නැද්ද? 1983 කළු ජූලිය නිර්මාණය කළා. 1982 පැවැත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය නියමිත පරිදි පැවැත්වූවා නම්, උතුරේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ 5/6ක බලය ඒ ලෙසම පවත්වාගෙන යාමට ක්‍රියාකිරීම නිසා උතුරේ සන්නද්ධ ව්‍යාපාරයට ඉඩකඩ නිර්මාණය කර 1983 කළු ජූලියෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව සලසා දුන්නා. 1999 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා දිනන්නේ ටවුන්හෝල් බෝම්බය නිසා. 2005 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය. 2010 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්දට අත්කර ගැනීමයි. ෆොන්සේකා මහතා අපේක්ෂකයෙක් වෙන්නේත් යුද්ධයට නායකත්වය දුන් නිසයි. 2019 ගෝඨාභය අපේක්ෂකයෙක් බවට පත්කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති කළ යුද්ධ භීතිය නිසයි. ඒ ගොල්ලෝ යුද්ධ නිර්මාණය කර, දීර්ඝ කාලයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තත් දැන් රනිල්ලාට, මහින්දලාට යුද්ධ නැතිව පාළුයි. නැවත නැවත ආගමික ගැටුම් ඇතිකර ගැනීම සඳහා උතුරේත් දකුණේත් උත්සාහ කරන බව අපි දන්නනවා. ඒ අයට දේශබන්ධු ඕනෑ කරන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් යුද්ධයේ වින්දිතයන් නොවී තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් එය යොදා ගත්තා.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම වෙනුවෙන් එතෙක් පැවැති බඳවා ගැනීමේ අවම සුදුසුකම, විශාල වශයෙන් පහත හෙළුවා. එතනින් නතර නොවී මහා බි්‍රතාන්‍යයේ පාඨමාලා සඳහා මහජන ධනය රුපියල් එක්කෝටි 80 ලක්ෂයක් වැය කළා. ඊට පස්සේ යුක්රේනයේ පාඨමාලාවකට යවා රුපියල් 36 ලක්ෂයකට ආසන්න මුදලක් මහජන ධනයෙන් වැය කළා. ඊට පසුව ජනාධිපති ආරක්ෂක සේවාවට අනුයුක්ත කර, වාර 27ක් විදේශගත වීමට අවස්ථාව ලබාදී තිබුණා. මේ රටේ සාමාන්‍ය අම්මා, තාත්තාගේ දරුවන් යුද්ධයේ වින්දිතයන් වන විට ඔවුන්ගේ දරුවන් යුද්ධයේ ප්‍රතිලාභීන් බවට පත් වුණා. උතුරේත් අපේත් සාමාන්‍ය අම්මා තාත්තාගේ දරුවන් සම්බන්ධයෙන් ඒ අම්මලා තාත්තලා තවමත් වේදනාවෙන් ඉකිබිඳිනවා. යළි යුද්ධයක් ඇතිකර නොගන්නා රටක් අපි ගොඩනැගිය යුතු වෙනවා. හමුදාවල සේවයට එක්වී විනය සහ දැනුම වර්ධනය කර ගෙන, වෙනත් රැකියාවලට වඩා කලින් විශ්‍රාම යාමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඔවුන්ගේ ශ්‍රම සම්පත අපතේ යැමට ඉඩ නොදී විශේෂයෙන්ම පෞද්ගලික ආරක්ෂක සේවා සඳහා ගෞරවාන්විතව යෙදවීමට සැලසුම් සකස් කරනවා. ආරක්ෂක හමුදාවල බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් නියමිත ස්වාධීන ක්‍රියාපටිපාටියකට අනුව සිදුකිරීමේ ප්‍රස්ථා අපි නිර්මාණය කර දෙනවා. සතුරා මේ වන විට ඔවුන්ගේ ප්‍රචාරක සැලසුම් මුළුමනින්ම සකස් කර තිබෙන්නේ අප පිළිබඳව ජනතාව තුළ බියක් ඇති කරන්නයි. සමෘද්ධිලාභීන් හමුවීමට යන ඔවුන් ජාතික ජන බලවේගය යටතේ සහනාධාර කපා හරින බවට බියක් ඇති කරනවා. රැකබලා ගත යුතු ජනතාව රැකබලා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම කාර්යභාරයක්.
මේ වන විට විදේශ ආයෝජනයන්ට නිසි පරිදි ගලා ඒමට ඉඩ නොදෙන ජනතාවගේ සතුරන් පෞද්ගලික ආයෝජන සම්බන්ධයෙන් විවිධ අවලාද අසත්‍ය ප්‍රචාර ගෙනයනවා. සියල්ලන්ට ඉහළින් බව කියන මාධ්‍යය සජිත්ගේ පිටුපසින් සිට ගෙනයන ප්‍රචාරයන් ගැන අප දන්නවා. සියලු කළු ධනය අපට එරෙහිව මේ ඡන්දයට යොදවනවා. සියලුම අනීතික ක්‍රියාවන් ඉහළින්ම යොදා ගැනීමට උත්සාහ කරන ඡන්දය මේක. ඒ ඕනෑම දෙයකට ඉහළින්ම මුහුණ දිය හැකි මහා ජන බලකායක් අප වටා එකතු වී සිටිනවා. සතුරා ඉදිරියේ පලා නොගිය, සතුරා ඉදිරියේ දණින් නොවැටුණු, දුෂ්කරතා නොතකා ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට ගිය ඔබගේ ධෛර්යය හෝ විශ්වාසය කුඩා සෙප්පඩ විජ්ජාවලින් බිඳ වට්ටන්න බැහැ. රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, සජිත් ප්‍රේමදාසලා පොම්ප කරන්නේ කළු ධනය, මාධ්‍ය බලය නම්, ඒ සියල්ල අභිබවා යා හැකි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සාමූහිකය ජාතික ජන බලවේගය වටා පෙළගැසී සිටිනවා. තමන්ට ලැබෙන කුඩා සොච්චම් විශ්‍රාම වැටුප යොදවමින් ඈත ප්‍රදේශවල සිට මේ පැමිණ සිටින්නේ නිශ්චිත එක් අරමුණක් වෙනුවෙන්. කිසිදු කෝප ගැනීමකට හසු නොවී, උපරිම ප්‍රජාතන්ත්‍රවාදයෙන්, උපරිම සාමකාමිත්වයෙන්, කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවකට හසු නොවී, වගකීමකින් යුතුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට කැපවීම අවශ්‍යයි. මෙතනට පැමිණ සිටින හැමදෙනාම ගමට ගොස් නඟන හඬ, පච රූපවාහිනී නාලිකාවලට යට කරන්න බැහැ. මේ එකතු වී ඉන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම විශ්වාසයෙන් කැපවීමෙන් ක්‍රියාකරන කණ්ඩායමයි. ආහාර වේලක් නැති, වහල වහගන්න තහඩුවක් නැති, සිමෙන්ති කොට්ටයක් නැති ගමේ ඉන්න අහිංසකම ජනතාව සතුරාගේ කුමන්ත්‍රණ මගින් යළි යළිත් රැවටීමට භාජනය කළ හැකියි. ඔවුන් ඒ රැවටීමෙන් මුදා ගැනීමේ කාර්යභාරය අධිෂ්ඨානශීලීව, ශක්තිමත්ව ඔබ ඉටුකරන්න. ඔබ හමුදාවලදී ඉටුකළේ යුද්ධයේ කාර්යභාරයක්. දැන් ඉතිරිව තිබෙන්නේ ඡන්දයේ කාර්යභාරය ඉටුකරන්නයි. එය ඉතා හොඳින් ඉටුකළ හැකි බව ඒකාන්තයි.
“මේ දැවැන්ත සමුළුව අනුර රටේ ජනාධිපති වීමේ පෙරනිමිත්තක්”
-ශ්‍රී ලංකා නාවුක හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-
අපේ ගුරුවරු, අපට අණ දුන්නු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අපත් සමග එකට මෙහෙයුම් කළ අය මෙතන ඉන්නවා. සමහරු අපේ ගෝලයෝ. ඔබත් මමත් සක්‍රීය සේවා කාලයේදී දේශපාලනය කළ අය නොවෙයි. අපි අපට පැවරුණු රාජකාරිය හරියටම ඉටුකළ හා අභිමානවත් ලෙස විශ්‍රාම ලැබූ අය. අප අතර ඉන්න අතළොස්සක් හැර, විශාල පිරිසක් ජීවත් වීම සඳහා මහා අරගලයක ඉන්නවා. සමාජයේ තත්වය ඉතාම අසරණභාවයට පත්වෙලා. මේ රට සෑම ක්ෂේත්‍රයකින්ම කඩා වැටිලා. දරුවන්ගේ අනාගතය රටේ අනාගතය ගැන අවිනිශ්චිතභාවයට පත්වෙලා. මෙවන් පසුබිමක තමයි විශ්‍රාමික හමුදා සාමූහිකය ගොඩනැගෙන්නේ. දූෂිත පාලකයන් පලවා හැර, ජනතාවාදී පාලනයක් බිහි කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදීම තමයි එදා අරමුණ වුණේ. එහි ප්‍රථම පියවර ලෙස මීට අවුරුදු එක හමාරකට පමණ පෙර, මේජර් ජනරාල් අරුණ ජයතිලක මහතා ප්‍රධාන පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සාකච්ඡාවක යෙදෙනවා. අවුරුදු එකහමාරකට පස්සේ, අද මේ සමුළුව පැවැත්වෙන දිනයේදී ක්‍රියාකාරී සාමාජිකයන් 40,000කට වඩා අප සමග ඉන්නවා. මේ දෙන පණිවිඩය මොකක්ද?
මෙතෙක් මේ රට පාලනය කළ පාලකයන් අපේ රට විනාශ කළා. ප්‍රභූන් යැයි කියා ගන්නා ඔවුන්ට මේ රට පාලනය කරන්න බැහැයි කියා මහජනතාව ඉදිරියේ ඔප්පු කර තිබෙනවා. පාලකයන් පලවා හැර මේ රට යළි ගොඩනැගීම සඳහා සාමූහික ප්‍රයත්නයක ජාතික ජන බලවේගය පෙරමුණ ගෙන සිටිනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපති වෙනවා කියන එකේ පෙරනිමිති තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ජාතික ජන බලවේගයට දැවැන්ත දේශපාලන පිම්මක් පැනීම සඳහා ගැම්මක් ලබා දුන්නේ ඔබ සැමයි. ඉදිරි මැතිවරණ කටයුතුවලදී ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනියන්නේ ඔබයි. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ මේ රට ගොඩනැංවීමේ ක්‍රියාවලියට දායක වන්නේ ඔබයි. ඔබ මෙතනට පැමිණියේ කිසිදු පුද්ගලික ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවෙයි.
අපිට උදාර අරමුණක් තිබෙනවා. ජාතික පුනරුදයක් සඳහා ශ්‍රී ලංකා මාතාව කැඳවාගෙන යාමේ අරමුණ කරගත් ජාතික ජන බලවේගයේ රජයක් බිහි කිරීමේ භාරදූර කටයුත්තට ඔබත් මමත් අත ගසා සිටිනවා. මේ රටේ බහුතරයක් ජනතාවගේ බලාපොරොත්තු සමග සමපාත වෙන උගත්, පුළුල් දැක්මක් සහ දියුණු වැඩපිළිවෙළක් සහිත පොදු ජනතාව තුළින් බිහිවුණු, චරිතයක් වන අනුර කුමාර සහෝදරයා මේ රටේ නායකත්වයට පත් කිරීමයි. මාගේ දේශපාලන කියවීමට අනුව එය ජාතික වගකීමක්. කාලීන අවශ්‍යතාවයක්. ඒ සඳහා ඔබ හා මා හමුදා සේවය තුළින් ලැබූ පන්නරය සහ ප්‍රගුණ කළ යහපත් ගුණාංගයන් භාවිතා කිරීමට අවස්ථාව දැන් උදාවෙලා තිබෙනවා. එසේ නොකළහොත් එම ගුණාංගයන් අපගේ මරණයත් සමග භාවිතයකින් තොරව වැළලිලා යාවි. අපේ වගකීම් ඉටුකරමින්, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන රටක් ගොඩනඟමු. අප ගත් තීරණය, ක්‍රියා කළ ආකාරය අනාගත පරම්පරාව පැසසුමට ලක්කරාවි. වගකිව යුතු පුරවැසියන් වශයෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට සම්බන්ධව ක්‍රියාකිරීම අගය කරන අතර, මෙතෙක් අප සමග එක් නොවුණු විශ්‍රාමික සාමාජිකයන් හට අප සමග එක්වෙන ලෙස සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කරනවා.
“අපි ආසයි අපේ රටත් දියුණු රටක් වෙනවා දකින්න”
-පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ රන් පදක්කම්ලාභිනී, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරිනී පුෂ්පමාලී රාමනායක-
විදේශ තරග රැසකට සහභාගි වෙමින් අපේ ජාතික කොඩිය ඉහළට ඔසවා අභිමානයක්, කීර්තියක් අපේ රටට ගෙනාවා. රන් පදක්කම්, රිදී පදක්කම්, ලෝකඩ පදක්කම් රැසක් දිනා ගත්තා. නමුත් ඒ අභිමානය අද අපේ රට තුළ තිබෙනවාද කියන එක ගැන කනගාටු වෙනවා. මගේ ක්‍රීඩා හැකියාව නිසා රටවල් විශාල ප්‍රමාණයකට යන්න අවස්ථාව උදා වුණා. ඒ රටවල් කොතරම් දියුණුද, ඒ ජනතාව කොයිතරම් පහසුකම් භුක්ති විඳිනවාද යන්න මට අත්විඳින්න ලැබුණා. අපේ රට අපි ඉපදුණු දවසේ සිට සංවර්ධනය වෙමින් පවතින රටක්. අද ඊටත් වඩා පහත් තැනකට වැටිලා තිබෙනවා. ඒ ගැන අපි ඉතාම කණගාටු වෙනවා. අපි ආසයි අපේ රටත් දියුණු රටක් වෙනවා දකින්න. ඒ රටවල ජනතාවට පොඩි වෙළඳසලකට ගියත් ලොකු වෙළඳසලකට ගියත් එක හා සමාන පහසුකම් විඳින්න පුළුවන්. ඒ රටවල පාලකයන් ඒ රටේ වැසියන්ට උසස් ජීවිතයකට අවස්ථාව සලසා දී තිබෙනවා. අපි හැමදාම හිතනවා අපේ රට ඒ වගේ තත්වයකට පත්වෙන්නේ කවද්ද කියලා.
විශ්‍රාම ලැබුවාට පස්සේ කල්පනා කළා, අපටත් හොඳ විදිහට ජීවත් වෙන්න ඕනෑ, ඒ සඳහා මාවත කොතනද තියෙන්නේ කියලා. ඒ අනුව තමයි මම ජාතික ජන බලවේගය තෝරා ගත්තේ. අපි “ගැහැනු එක මිටට” කියන තේමාව යටතේ ඓතිහාසික රැලි මාලාවක් මාතරින් ආරම්භ කර ලංකාව පුරාම පැවැත් වුවා. ඒ වගේම කොට්ඨාස සභා පිහිටුවමින් ජනතාව දැනුවත් කරමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරනවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය ලබාදෙන්නැයි ඉල්ලනවා.
“පුනරුදයේ යුගයට එකදු පුරවැසියෙකු හෝ අත්නොහැර රැගෙන යා යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර-
මීට අවුරුදු එකහමාරකට පෙර මහරගම තරුණ සේවා ශාලාවේදී අදිටන රැස්වීමේදී මම එක ඉල්ලීමක් කළා. ඔබලාගේ ජීවිත පරි්‍යාගයෙන් මේ රටෙන් ත්‍රස්තවාදය ඉවර කිරීමට කටයුතු කළා. ඒකට ස්තුති කරනවා. ඒ වගේම මේ රට දූෂිත, වංචනිකයන්ගෙන් බේරාගෙන, රට ගොඩදැමීමේ මෙහෙයුමක් තිබෙනවා ඒකට එකතු වෙන්න කියලා ආරාධනාවක් කළා. එදා එතන දහසක් හිටියා. අද ඉන්නවා දස දහසක්. ක්‍රියාකාරී හතළිස් දහසක්. ඒ වගේම අරුණ ජයසේකර මහතාගේ ඇතුළු කණ්ඩායමේ නායකත්වයෙන් මෙහෙයවීමත්, මගේ ඉල්ලීමත් පිළිගෙන මෙතනට පැමිණි ඔබට මගේ ආචාරය පිරිනමනවා. ජාතික ජන බලවේගය විසින් ගොවියන්, කම්කරුවන්, ධීවරයන්, ගුරුවරුන් ආදී විවිධ වෘත්තීන් සම්බන්ධ කර ගනිමින් සමූහ රාශියක් එකතු කොට තිබෙනවා. නමුත් මිනිසුන්ට ඒ පිළිබඳ විශාල හැඟීමක් තිබුණේ නැහැ. හැබැයි අදිටන විශ්‍රාමික සමුහය හදලා “වක්කඩේ ගලන්න වගේ” ගලන්න ගත්තාම තමයි ජනතාව විශ්වාස කළේ ජාතික ජන බලවේගයට සෙනග ඉන්නවා, දිනන්න පුළුවනි කියලා. අනෙක් වෘත්තිය සංවිධාන හදන්න මාසයක් ගතවෙන කොට, විශ්‍රාමික අදිටන සාමූහිකය සතියට සමුළු පහ ගාණෙ තියන්න ගත්තා. අද දිවයිනේ ඉන්න ප්‍රබලම සංවිධානය විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අදිටන සංවිධානයයි. අපේ සාමූහිකයට අඩුවෙලා හිටියේ හමුදාපති කෙනෙක් පමණයි. අද නාවුක හමුදාපති අද්මිරාල් සිරිමෙවන් මහතා සහභාගීවීමෙන් අපට ඒ ගෞරවණීය අවස්ථාව උදාකර තිබෙනවා.
මෙතනින් එහාට අපට ගමනක් තිබෙනවා. රට බරපතළ ලෙස ආර්ථික කඩාවැටීමට ලක්වෙලා. ජනතාව සෑම අතින්ම පීඩාවට පත්වෙලා. අද රනිල් කියනවා තෙල් පෝලිම් නැහැ කියලා. මිනිසුන්ට තෙල් ගහන්න සල්ලි නැහැ. ගෑස් ගන්න සල්ලි නැහැ. ලයිට් කපන්නේ නැහැ. අපිම අපේ ලයිට් කපා ගන්නවා. දරුවන්ට ඉස්කෝලේ යන්න බැරිවෙලා තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්න අපි හැමෝම එකතු විය යුතුයි. මේ තියෙන්නේ අවසන් ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුම. මේ රට ගලවා ගන්න ඔබලා එහි පෙරමුණ ගත යුතුයි. ඔබලා කවදාවත් තුවාල වුණු සොල්දාදුවෙක් දාලා එන්නේ නැහැ. මැරුණත් කරේ තියාගෙන එනවා. ඒක තමයි ප්‍රතිඥාව. ඒ දේම මේ රටට කරන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. දැන් ඒ දේම මේ රටට කරන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. මේ රට දැන් යුද පිටියක්. ආර්ථික වශයෙන්, සමාජීය පීඩනයන්ගෙන්, සංස්කෘතික වශයෙන්, යුද පිටියක්. නීතියේ විධානයේ ආධිපත්‍යය නැහැ. මේක අපේ අදහස්වලින්, අපේ කැපවීමෙන් කරන යුද්ධයක්. සැප්තැම්බර් 21 වන විට පුනරුද යුගයේ ආරම්භය වෙන්න ඕනෑ. මේ ජවයක් නැතිව වැටී ඉන්න මිනිස්සු, ජීවිතය අතහැර ඉන්න මිනිස්සු අවදි කරන්න ඕනෑ. ඔබට වැඩකරලා මහන්සි ඇති; අමාරු ඇති. ඒත් තව පොඩ්ඩක් අපි වැඩ කරමු. සැප්තැම්බර් 21ට අපේ ජයග්‍රහණය ස්ථිරයි. මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක බව ස්ථිරයි. සංවිධායක සහෝදරවරුන් එක්ක කතා කරන්න. කැන්වසින් යන්න. සැප්තැම්බර් 21දායින් පසු එන අලුත් රටට, පුනරුදයේ පරිවර්තන යුගයට එක පුරවැසියෙක් හෝ මඟ නොහැර අතින් අල්ලාගෙන යන්න ඕනෑ. දුකට, වේදනාවට, අසාධාරණයට ලක්වුණු සෑම පුරවැසියෙක්ම පුනරුදයට ගෙන යාමේ මූලික පෙරමුණ ගන්න කියා ඉල්ලා සිටිනවා.
“මේ රටක් ලෙස අප ජයගත යුතු දෙවැනි මෙහෙයුමයි”
-ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් මාෂල් සම්පත් තුයියකොන්ත-
අද මේ රටට, රටේ දේශපාලනයට අමතක නොවෙන දවසක්. මෙතරම් විශ්‍රාමිකයන් හමුදා සාමාජිකයන් පිරිසක් එක තැනක රැස්වෙනවා දැක නැහැ. ගිය අවුරුද්දේ පෙබරවාරි අපි පළමු සමුළුව තිබ්බා. එදා එක්දහස් පන්සියයක් පමණ රැස්වුණා. අද වන විට කාටවත් සමකළ නොහැකි, කවුරුත් පුදුමයට පත්කරවන සමූහයක් බවට විශ්‍රාමික හමුදා සාමූහිකය පත්වී අවසන්.
අපේ රටේ සාමාන්‍ය ජනතාවට දේශපාලනය ගැන කතා කළොත් බොහෝ දෙනෙක් කියන්නේ “දේශපාලනය කතා කරන්න එපා” කියලා. ඇයි එහෙම කියන්නේ. දේශපාලනය නරක එකක්ද? දේශපාලනය, මිනිසා විසින් මිනිසාට කරනු ලබන විශාල සේවයක්. දියුණු රටවල්වල දේශපාලනය ඉතාමත් ගෞරවාන්විතයි. නමුත් ලංකාවේ දේශපාලනය කතා කරන්නවත් අකමැති මාතෘකාවක් වෙලා. මේ සියලු දෙනාම දේශපාලනයට අද ඇවිත් තිබෙනවා. මේ කැත වෙලා තිබෙන දේශපාලනයට හොඳ නමක් දෙන්න නේද මේ ඇවිත් තිබෙන්නේ. මේ කැත දේශපාලනය දශක ගණනාවක් ක්‍රියාත්මක වුණු නිසා තමයි 2022දී අරගලයක් මතු වුණේ. මිනිසුන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා නැතිවුණාම පාරට බැහැලා අරගල කරනවා.
ගැතිකම්වලට මූලිකත්වය දුන්නු, පක්ෂ දේශපාලනය, නිසා නොවෙයිද මේ රට මෙතරම් පහතට වැටී තිබෙන්නේ. අපි වසර ගණනාවක් නායකයන් මාරු කළා. අපි මෙතෙක් මාරු කර තිබෙන්නේ එකම කණ්ඩායමක් විතරයි. බලයක් මාරු කර නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස අද අපේ ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජය හැමදේම නැති වෙලා. ජනතාවට අවශ්‍ය කරන මූලික දේවත් නොලැබෙන විට ජනතාව පාරට බැහැලා අරගල කළා. ඒ නිසාම පාලකයන්ට යන්න සිදුවුණා. පාලකයන්ගේ නික්ම යාමෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්වුණා. එහෙම පත්වුණාට පස්සේ ඔළුවට තුවක්කුව තියලා අරගලය නැතිකර දැම්මා. දැන් කියනවා රට අරාජික නැහැ කියා. මහපාරේ අරගලය නැති වුණාට ගෙවල්වල අරගලය තිබෙනවා. වංචා දූෂණය තියෙනවා. මිනිස්සු අරගලයේ යෙදෙනවා. මිනිස්සුන්ට හරිහමන් ආහාර වේල නැති අරගලය තිබෙනවා. රටේ පාතාලය ක්‍රියාත්මක වෙනවා. මහදවල් මිනිස්සු මරලා යනවා. ණය කන්ද වැඩිවෙලා. ණය ගෙවන ක්‍රමයක් නැහැ. රටේ සම්පත්, මර්මස්ථාන විකුණනවා. රට ගොඩදාලා තියෙනවා කියලා කියනවා. මිනිස්සුන්ගේ ගෙවල් ඇතුළේ තිබෙන අරගලයට විසඳුමක් පෙන්න නැහැ. මේ රට වලපල්ලට ඇද දැමූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණෙන්, පොදු අරමුණක් සඳහා කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නැතිව ඔබ, මෙතනට එක් රැස්වී සිටිනවා. ජාතික පුනරුදයක් වෙනුවෙන් අපේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියනවා. ඒ ගොල්ලන් දේශපාලනය කරන්නේ ඒ ගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න, බලය පවත්වාගෙන යන්න, ධනය උත්පාදනය කරගෙන යන්න. රටට හොඳක් කරන්න නොවෙයි. තමන් දෙවියන් වගේ සලකපු පක්ෂයේ නායකයා දාලා වෙන පක්ෂයකට යනවා. හිටපු පක්ෂය මතක නැහැ. මේ දේශපාලනය ගැන ජනතාව දන්නවා. ඒ නිසා තමයි අපි වටා, ජාතික ජන බලවේගය වටා විශාල වශයෙන් එකතු වෙමින් සිටින්නේ. අපේ ජයග්‍රහණය කරා යන්නට එය ප්‍රමාණවත්.
අපේ රටට සෑම අංශයකම වෙනසක් අවශ්‍යයි. සිතුම් පැතුම් පවා වෙනස් විය යුතුයි. චීනය, ජපානය එහෙම වෙනස් වුණු රටවල්. ජපානය දෙවන ලෝක යුද්ධයේදී ආක්‍රමණශීලී රටක්. ජර්මනිය, ඉතාලිය, ජපානය එක කඳවුරක ඉඳගෙන තමන්ගේ බලය පතුරුවන්න උත්සාහ කළා. ජපානය ගුවන් යානා පාවිච්චි කරමින් ඇමෙරිකාවේ පර්ල් වරායට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළා. චීනයේ සමූල ඝාතන කළා. හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජපානය ඒ ගොල්ලන්ගේ සියලුම දේවල් වෙනස් කළා. ඇමෙරිකාවත් එක්ක ගිවිසුම් ගැහුවා. ලංකාවේ නායකයන් ජපානයට ගිහින් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිවුවා. එහෙම කියපු නායකයන් ලංකාවේ වෛරය වැපිරෙව්වා. යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බා. කළු ජූලිය ඇති කළා. ප්‍රජාතන්ත්‍රීයව දේශපාලන කළ තමන්ගේ විරුද්ධවාදියාගේ දේශපාලන අයිතිය නැති කළා. ජනතා විමුක්ති පෙරමුණ වැනි තරුණ දේශපාලන කඳවුරු සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම තහනම් කළා. එහෙම වෛරය වැපිරෙව්ව අය ජපානයට ගිහින් බණ කිවුවා. ජපානය තමන්ගේ වෙනස් වෙන්න ඕන පාර තේරුම් ගත්තා. මෝටර් රථ නිෂ්පාදන ආයතන ගණනාවක් ඇති කර, ලෝකයේ මෝටර් රථ වෙළඳපොළ අල්ලා ගත්තා. ජපානයේ ආක්‍රමණශීලී හමුදාව දැන් ඉන්නේ ආක්‍රමණය කරන්න නොවෙයි, සාමය ආරක්ෂා කරන්න. රට ආරක්ෂා කරන්න. ඒවැනි ආකල්පමය වෙනස්කම් කරමින් ලෝකයේ දියුණුම රටක් බවට ජපානය පත්වෙලා තිබෙනවා. චීනයත් සුබවාදීව සහ උපායශීලීව නව නිපැයුම් මගින් කාර්මික රටක් බවට පත්කර ගත්තා. එහෙම තමයි රටවල් දියුණු වෙලා තිබෙන්නේ. ඩෙං ෂියා ඕ පින් කිවුවා “බළලා මීයෝ අල්ලනවා නම්, ඒ බළලා කළුද, සුදුද කියන එක මට අදාළ නැහැ” කියලා. චීනය අද ලෝකයේ විශාල ආර්ථිකයක් හිමි රටක් බවට පත්කරගෙන තිබෙනවා. ලෝකයේ එහෙම තමයි.
අපේ රටේ මේ දේශපාලකයොත් එක්ක ඒ වෙනස කරන්න අමාරුයි. මේ වැටුණු රට තුළත් මොරාල් එකක් තියෙනවා. ඒ මොරාල් එක තමයි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව තිබෙන ජනතාවගේ උත්තේජනය. මොන අමාරුකම් තිබුණත් ජනතාව තුළ උත්තේජනයක් තිබෙන්න හේතුව තමයි ජාතික ජන බලවේගය වැනි දේශපාලන පක්ෂයක් හා ඒකට නායකත්වය දෙන අනුර කුමාර දිසානායක වැනි පිරිපුන් නායකත්වය. කැත දේශපාලන සංස්කෘතියෙන් මිදී, ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු කරන්න ලැබීම ගැන අපි සියලු දෙනාම ආඩම්බර විය යුතුයි. ජාතික පුනරුදය හරහා රටේ ඉදිරි අනාගතයට අවශ්‍ය කරන, දියුණුවේ මාවතට පෙළ ගස්වන්න පුළුවන් දේශපාලන පක්ෂයක් අපට තිබෙනවා. අපි විශ්‍රාමික සාමාජිකයන් හැටියට එකතු වුණා වගේම මේ ජයග්‍රහණය සඳහා අපි පෙළගැසෙමු. මේ අපේ දෙවැනි මෙහෙයුමයි.
“අපි රැස්වෙලා ඉන්නේ අපේ දූ දරුවන් වෙනුවෙන් හෙට හොඳ රටක් හදලා දෙන්න”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, නැගෙනහිර හිටපු ආඥාපති, යුද හමුදා විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-
මේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් එක තැනකට එකතු වුණු පළමුවැනි ඓතිහාසික අවස්ථාවක්. මෙතන සිටින සියලුම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එදා මේ රටේ වැසියන් වෙනුවෙන් තමන්ගේ සියලුම දේවල් කැප කළා. මේ සියලුම දෙනා ලේ, දහදිය, අපේ කිරි දරුවන්, ආදරණීය බිරින්දෑවරුන්, අම්මා තාත්තා, අපේ සහෝදරියන් සියලුම දේවල් දාලා ගිහින් අපේ පුරවැසියන්ගේ අද දවස වෙනුවෙන්, එදා ඔවුන්ගේ තරුණ වයස කැප කළා. අපි කැපකිරීම් කළත් අපට ලැබුණු රට කුමක්ද? එතෙර සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒ වෙසෙන රටේ වැසියන්ට මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න ලැජ්ජයි. පිළිගැනීමක් නැහැ. අපේ දරුවන්ට වීසා එකක් දෙන්න, කොයිතරම් තොරතුරු සොයනවාද?
අපට උරුමව තිබුණේ යුද පිටිය, වෙඩි පිටිය, සරඹ පිටිය. ක්‍රීඩා පිටිය. අපි කවරදාවත් දේශපාලන පිටියට එන්න සිතුවේ නැහැ. මේ රට වෙනුවෙන් දෙවන මෙහෙවරක් හැටියට, අපේ දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් හඬ නඟන්න, උත්තරීතර විශ්වාසවන්ත මිනිස්සු ජීවත් වෙන හොඳ දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය.
අද උත්තරීතර කියන තැන නවාතැන් ගෙන තිබෙන්නේ නීතිය බිඳ වැටීමයි. ඒක ඇති කළේ කවුද? අපිමයි මේ වරද කළේ. ඒ නිසා මේ වරද හදාගන්න අපිමයි ඉදිරිපත් විය යුත්තේ. ඒ වරද හදාගන්න තිබෙන පළමුවැනි දවස තමයි, එළඹෙන සැප්තැම්බර් 21 දා. මේ කඩා වැටීම ආර්ථික අර්බුදයක් පමණක් නොවෙයි. මේක දේශපාලන අර්බුදයක්, සාරධර්මවල කඩා වැටීමක්, හැම පැත්තකම කඩා වැටීමක්. 2009 යුද්ධය අවසන් කරලා, දැනට අවුරුදු 15ක් වෙනවා. පස් අවුරුදු සැලසුම් තුනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලයක්. මේ රටේ සම්පත් ගැන හිතලා, රටේ අවශ්‍යතාවයන් ගැන හිතලා, පස් අවුරුදු සැලසුම් තුනක් හදලා මේ නායකයන් වැඩ කළා නම්, පොල් පටවපු ප්‍රවාහන සේවයක්වත්, කෝච්චිවල උඩ නැගල ගිහින් මැරිලා වැටෙන ප්‍රවාහන සේවයක්වත්, ඇඳන් උඩයි, යටයි ලෙඩ්ඩු ඉන්න රෝහල්වත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඔය කියපු උත්තරීතර තැනින් ජාතික මට්ටමේ ගන්නා ලද නොමනා තීරණ ජාතික ආරක්ෂාවට විශාල ලෙස තර්ජනයක් එදා සිටම ඇති කළා. 83 ජූලි කලබල ඇති කළෙත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කියල ගත්ත බුද්ධිමත් නොවන තීරණ. 87, 88, 89 භීෂණය පැතිරුවෙත්, වැපිරුවෙත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ගත්ත තීරණවලින්. 83 ජූලි කලබල ඇති වෙන්න මූලික පසුබිම ඇති කළේ රටේ හදවතක් වගේ තිබුණු, උතුරේ ජනතාව වඳින පුදන පුස්තකාලයට ගිනි තියලා. ආයෙමත් ඊයේ පෙරේදා, රටේ නායකත්වය උතුරට ගිහින් සියලුම දේවල් දෙනවා කියලා කියනවා. මොනතරම් ප්‍රෝඩාවක්ද? වැරැද්දක්ද?
ආර්ථික වශයෙන් අපි දුබල වුණොත් අපේ ස්වෛරීභාවය දුබල වෙනවා. ජාතික ආරක්ෂාවට ඉඳුරාම තර්ජනයක් එල්ල වෙනවා. රටක නිදහස, ආර්ථික ශක්තිය බැඳිලා තිබෙන්නේ ගහට පොත්ත වගේ. ජාතික ආරක්ෂාව අනතුරට දැම්මෙත් මේ පාලකයොයි. අපේ රටට දේශපාලන නායකත්වයක් නැතිකම තිබෙන්නේ. අපි මේ සියලු දෙනාම එකතු කරලා විශේෂ අධ්‍යයන රාශියක් කරලා, ජාතික ආරක්ෂාව සම්බන්ධව අපේ ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා. ඒකෙ පළමුවැනි එක තමයි නීතියේ විධානයේ ආධිපත්‍යයේ තහවුරු කෙරෙන ‘සැමට සාධාරණ එකම නීතියක්.’ අපි සෑම ක්ෂේත්‍රයක්ම සැලකිල්ලට ගෙන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය විශිෂ්ට ලෙස සකස් කොට තිබෙනවා. මූලිකම දේ තමයි, පුරවැසියාගේ ආරක්ෂාව.
හෙට දවසේ අපේ දරුවන්ට අපි බාර දෙන රට අනාරක්ෂිත වී තිබෙනවා. මේ තත්වයට උත්තර සපයන්න ඉන්න එකම නායකත්වය, එසේ කළ හැකි එකම තැන ජාතික ජන බලවේගයයි. අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 5%ක් මන්දපෝෂණයෙන් පෙළනවා. දැඩි සත්කාර ඒකකවල ඇඳන් 500යි. නමුත් වී.අයි.පී. වාහන 5000යි. අපි හඬක් නඟන්න ඕන නැද්ද? අපි මේ රැස්වෙලා ඉන්නේ අපේ හඬ නගලා අපේ දූ දරුවන් වෙනුවෙන් හෙට හොඳ රටක් හදලා දෙන්න. සමාජයට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අවශ්‍යයි. මේ අපි වීරවරියෝ, විරවරයෝ. බුද්ධිමත්තු, වීරවරයන් නිහඬව ඉන්නකොට නිවටයන් පැටව් ගහනවා.
අපට අදියර පහකින් යුද සාස්තරය උගන්වනවා. සැලසුම් කිරීම, ඉදිරියට යෑම, ප්‍රහාර එල්ල කිරීම, ස්ථානගත වීම, ආපස්සට පැමිණීම. තමයි ඒ අදියර පහ. මේ නිවටයෝ, දේශපාලුවෝ අදියර පහකින් ඉදිරියට ගෙන ආ හැටි පෙන්නනම්. පළමු පියවර වුණේ වසර ගණනක් තිස්සේ රට වැට්ටීමයි. දෙවන අදියර ලෙස මේ රට වැටී ඇති බව ඔබට සහ මට ඒත්තු ගැන්වීම. තුන්වැනි අදියර, රට වැටී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම. හතරවැනි එක මේ වැටී ඇති රට ගොඩගන්න උත්සාහ කරන බව අපට දැන්වීම. පස්වැනි අදියර තමයි, සම්පූර්ණයෙන්ම රට ගොඩඅරගෙන දෙන්න නැවත බලය ලබා දෙන්න කීම. මේ ජාතික ජන බලවේගය රජයක් කර නැහැ. රටක් කර නැහැ. දශක ගණනක් තිස්සේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලම රටට වෙන විපත කිවුවා. අද ඒක සත්‍ය වෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය එදා කියපු දේ, අද අපිට පිළිගන්න වෙලා තිබෙනවා. මුළු රටටම පිළිගන්න වෙලා තිබෙනවා.
අපේ අරමුණ ඉතාමත් සාමකාමී මැතිවරණයක් පවත්වන්න. අපි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය, පොලිස් සමූහය එක්ව ජාතික ජන බලවේගයේ අනෙකුත් සියලුම වෘත්තියවේදීන් සමග රටේ සියලුම පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු වෙන විදිහට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට සාමකාමී මැතිවරණයක් සඳහා ප්‍රජාතාන්ත්‍රික ලෙස මේ මැතිවරණය කිරීමට ඉදිරිපත් වෙනවා. ජාතික ජන බලවේගයට පැමිණෙන ඕනෑම අභියෝගයකට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය පෙනී සිටිනවා කියන එක මම ප්‍රකාශ කරනවා. මේ රටේ සිටින සියලු දෙනාටම ආරක්ෂාව අවශ්‍යයි. ඔබලාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවට අපි සහතික වෙනවා. ඒ වගේම දේශපාලනයෙන් තොර, වෘත්තිය මට්ටමෙන් උසස් ත්‍රිවිධ හමුදාවකට අපි මාර්ගය සකස් කරනවා. විශ්‍රාමිකයන් වන ඔබලාටත් හිමි විය යුතුව තිබෙන දේ ලබාදීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. අපේ ප්‍රතිපත්ති ඉදිරියේදී පොත් පිංචක් හැටියට ඔබලාට ලබාදෙනවා. එළඹෙන සැප්තැම්බර් 21දා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරලා මහජන ආණ්ඩුවක් හදන බව අපට විශ්වාසයි.