Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අප නිදහස ලබා ගන්නේ කෙසේදැයි කතා කරන විට ඔවුන් ඔවුන්ගේ නිදහස සමරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, February 03, 2024-

(‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය – මොනරාගල දිස්ත්‍රික් සමුළුව)

නිදහස ලබා හැත්තෑහය වැනි වසර අපි සමරනවා. ජනතාවට තහනම් භූමියක් කර හමුදා පෙළපාළි පවත්වා ගුවන් කරණම් සංදර්ශන පවත්වා, පැරිෂුට් සංදර්ශන පෙන්වා නිදහස් සමරුවක් පවත්වනවා. අපේ රටේ නිදහස වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන ලද ත්‍රිවිධ හමුදාවේ සාමාජික, සාමාජිකාවන් එක් කර නිදහස ලබා ගන්නේ කොහොමද කියලා අද අපි මොනරාගලදී කතා කරනවා. ඔවුන් නිදහස ලබා ගත්තා කියලා භුක්ති විඳිනවා. අපි නිදහස ලබා ගන්නේ කොහොමද කියලා කතා කරනවා.

අපට අවුරුද්දකට කලින් ඉන්දියාවට නිදහස ලැබුණා. ඉන්දියාව ඔවුන්ගේ නිදහස සමරන්නේ සඳ තරණය කළ පස්වැනි රාජ්‍යය ලෙසයි. ඒ වාගේම ලෝකයේ විශාලතම ආර්ථිකයක් නිර්මාණය කර ගත් රාජ්‍යයක් ලෙසයි. ඒ වාගේම ලෝක ඉතිහාසයේ ගුවන් යානා පන්සියයක් එකවර ඇණවුම් කළ රාජ්‍යයක් ලෙසයි. ලෝක ඉතිහාසයේ එකවිට ඉදිරිපත් කරන ලද වැඩිම ගුවන් යානා ඇණවුම ඉන්දියාව ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියාව ආර්ථිකයේත්, විද්‍යාවේත්, ජාතික සමඟියේත් ඉදිරියට ඇවිත් තිබෙනවා. අප ණය ගෙවා ගන්න බැරි වුණු ජාතියක්. දෙදහස්තිහ වන විට ඉන්දියාවේ සියලුම දුම්රිය විදුලියට පරිවර්තනය කරන්න සැලැසුම් කර මේ වෙන කොටත් ඩීසල් එන්ජින් ඉවත් කරමින් යනවා. ඒ එන්ජින් අපට නිකම් ලබා දෙනවා. ඒ එන්ජින් ගේන්න බලන්නත්, හැටපහක් ගියා. අපට වඩා අවුරුද්දකට කලින් නිදහස ලබා ගත් ඉන්දියාව එහෙම වෙන්නත්, අපට මෙහෙම වෙන්නත් හේතුව මොකක්ද? අප ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න ඕනෑ.

නිදහස සමරන කොට කොතරම් ජාතික අභිමානයක් දැනෙන්න ඕනෑද? 1505 සිට ආසන්න වශයෙන් අවුරුදු හාරසියපණහක් කවර හෝ බටහිර ජාතියකගේ බලපෑම්වලට අප යටත්ව සිටියා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බටහිර රාජ්‍යයන්ගේ බලපෑමට යටත්ව සිට 1796 දී තීරණාත්මකව ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක් බවට පත් වීම ආරම්භ වුණා. 1815දී අපේ මාතෘභූමිය මුළුමනින් ම ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක් බවට පත්ව අවුරුදු 133ක් සෘජු යටත්විජිතයක්ව පැවැතියා. ඉන් පසුව නිදහස ලබන දිනයේදී අපට කොතරම් ජාතික අභිමානයක්, ආඩම්බරයක්, නව ජාතික පිබිදීමක් ඇති වෙන්න ඕනෑද? නමුත්, ඒ දිනය සාඩම්බරයෙන් සැමරිය යුතු දිනයක් ලෙස කාගේ හෝ හදවතකට දැනෙනවාද? චක්‍රලේඛය නිසා රජයේ කාර්යාලවල කොඩියක් එසවෙනවා. නිදහස පිළිබඳ ආත්ම අභිමානය, ජාතික හැඟීම දීලා තියෙන්නේ චක්‍රලේඛයෙන්. කෙහෙළිය රඹුක්වැල්ල ගෙන යන බන්ධනාගාර බස් රථයේ චක්‍රලේඛයෙන් ජාතික කොඩියක් දමා තිබුණා. බස් එකේ ජාතික කොඩියක් දාගෙන, ඇතුළේ හොරාකාපු ඇමැති ගෙන යනවා. ජාතික නිදහස පිළිබඳ ආඩම්බරයක්, අභිමානයක්, ජාතික පිබිදීමක් අපේ හදවත්වලට දැනෙන්නේ නැත්තේ ඇයි ? ගෙවී ගිය හැත්තෑහය වසර පුරා අපේ ජාතික අභිලාෂ සහ අරමුණු සාක්‍ෂාත් කර ගන්න සමත් වී නැහැ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු ආධිපත්‍යය දරන රටවල් අපට එල්ල කොට තිබෙන ආර්ථික සහ දේශපාලන වට්ටෝරුවෙන් ඇත්තටම නිදහස ලබා ගන්න තාමත් බැරි වුණා.

අපේ රට පාලනය කිරීම සඳහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉතා සූක්‍ෂ්මව යොදා ගත්තේ බෙදා වෙන් කොට පාලනය කිරීමයි. ඔවුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදී බෙදීමෙන්. ලාංකේය ජාතිය ලෙස තෝරන්නේ නැහැ. තවදුරටත් උඩරට සිංහල, පහතරට සිංහල, යාපනයේ දෙමළ, වතු දෙමළ වශයෙන් බෙදා වෙන් කළා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් යොදා ගත් මේ බෙදීම නිදහස ලබා ගත් පසුව ආපසු හැරවිය යුතුව තිබුණා. ඉන්දියාව ඒ දේ කළා. ප්‍රාදේශීය බෙදීම්, ආගමික බෙදීම්, කුල බෙදීම් විශාල වශයෙන් තිබුණු ඉන්දියාව එක කොඩියක් යටට ගෙන ආවා. ඔවුන් නිදහස ලබා ගන්නේම එක්සත්භාවය මත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයකු වූ අබ්දුල් කලාම්ට ඉන්දියාවේ ජනාධිපති වෙන්න හැකි වුණා. ඒ වාගේම කුලහීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති වී සිටිනවා. ජාතික ඒකමතිය, ජාතික ඒකාග්‍රතාව මුලට ගෙන බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් එල්ල කොට තිබූ හෙණයෙන් ඔවුන් නිදහස් වුණා. ඉන්දියානු ජයග්‍රහණය පතුලේ තිබෙන්නේ ඉන්දියානු ජාතිය ගොඩනැඟීමයි. අප 1948 නිදහස ලබාගෙන පුරවැසි පනත ගෙනැවිත්, වතුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසිභාවය අහෝසි කළා. 1947් මැතිවරණයේ දී වතු ජනතාව නියෝජනය කළ ආසන වාගේම ඒ ජනතාවගේ සහයෝගය ලැබුණු ආසනවලත් වමේ ව්‍යාපාර ජයග්‍රහණය කළා. මේ නිසා 1947 දෙමළ ජනතාව නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂය පැරැදුණු ආසන සියල්ලම 1952 මැතිවරණයේදී ඔවුන් දිනුවා. නිදහසින් පසුව පටන් ගත්තේ ම ජාතිය බෙදා වෙන් කිරීමෙන්. චෙල්වනායගම් මහත්මයාගේ ෆෙඩරල් පක්‍ෂය ගොඩනැඟුණේ මේ නිසයි. 1956 භාෂා ප්‍රශ්නයත්, 1958 දෙමළ – සිංහල කෝලාහලයත්, ‘ශ්‍රී’ අකුර සම්බන්ධ කෝලාහලයත් පටන්ගෙන 1970 මැද වෙන කොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වී 2009දී එය අවසන් කළා. 2015දී මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් පටන්ගෙන 2019දී පාස්කු ප්‍රහාරය එල්ල කළා. සුදු අධිරාජ්‍යවාදීන් අපේ විනාශය කරා එළන ලද බෙදා වෙන් කිරීමෙන් නිදහස් වෙන්න තවමත් අපට බැරි වී තිබෙනවා. අප මුහුණ දී සිටින ව්‍යසනයේ එක තැනක් එතැනයි.

අපට අපේම වූ ආර්ථික උපායමාර්ගයක් සපුරා ගන්න බැරි වුණා. ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන බව කියමින්, අනාගතයක් පිළිබඳ දැක්මක් ඉදිරිපත් කළේ නැහැ. අපේ රටත්, ජාතියත්, දේශපාලකයාත් අතීතකාමීත්වයේ හිරවුණා. නූතන ලෝකයට අපේ රට විවෘත කරන්න පාලකයන් අසමත් වුණා. අතීතය මත විරාජමාන වන පාලක කණ්ඩායමක් අපට හිටියා. 2009 යුද්ධය අවසන් කළ පසු ලෝකයටම අධ්‍යයනය කළ හැකි හමුදා ඇකඩමියක් අපේ රටේ පිහිටුවන්න නූතන දැක්මක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ.

අවුරුදු 450ක් බටහිරට යටත් වෙලා අවුරුදු 133ක් මුළුමනින් ම සුද්දාට යටත් වෙලා නිදහස ලබන කොට මොන තරම් අමන්දානන්දයක් හදවත්වලට දැනෙන්න ඕනෑද? නමුත්, අපට ඇති වෙන්නේ නිදහස සමරන්න මුදල් නාස්ති කිරීම අපරාධයක් කියන හැඟීමයි. මේ විකාර මඟුල් නිසා පැරෂුට් පුහුණුව ලබන තරුණයන් වැටිලා ආබාධිත වනවා යන හැඟීමක් අපට දැනෙන්නේ. නිදහස සමරන්නේ පොදු ජනතාවට තහනම් කලාපයක් තුළයි. ඒක ජනතාවට අයිති නිදහසක් නොවෙයි, ඒ ගොල්ලන්ට අයිති නිදහසක්. අදටත් අපේ අයවැය ලේඛනය හදන්නේ අපේ මුදල් ඇමැති හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නොවෙයි. අපට ආර්ථික ස්වාධීනත්වයක් නැහැ. අපට තිබුණු විශාල ජෛව විවිධත්වය සහ බීජ විවිධත්වය අහෝසි කරගෙන තුඹ කරවිල ඇටත් පිටරටින් ගෙනෙනවා.

76 වසරක නිදහස සමරන කොට අපේ බීජ ස්වාධීනත්වය, මූල්‍ය ස්වාධීනත්වය වාගේම අපට අපව අහිමි වී තිබෙනවා. දැන් අපට අවශ්‍ය වී තිබෙන්නේ හුදු ආණ්ඩු මාරුවක්, හුදු පුද්ගල මාරුවක් නොවේ. නව ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමේ දිශාවට අපේ රට පරිවර්තනය කිරීමේ පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. හොරු ඇල්ලීම, නීතිය ස්ථාපනය කිරීම, අපරාධ නතර කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම ලොකු වැඩ නොවෙයි. ලොකු වැඩේ අපේ රට ගෙන යන දිශාව පිළිබඳ දැක්ම හදන එකයි. ඉන්දියාව, චීනය, වියට්නාමය, ජපානය, දකුණු කොරියාව වාගේ හැම රටක්ම විසිවැනි සියවසේදී තමන්ගේ දැක්ම අනුව පාර සොයා ගත්තා. දැන් විසිඑක් වැනි සියවසේ දී ජයකෙහෙළි නංවමින් සිටිනවා. බටහිරට තිබුණු ආර්ථික බලය ආසියාව කේන්ද්‍රගත කර ගනිමින්, ලෝක ගෝලය ආසියාව දිහාට කරකවා තිබෙනවා. නමුත්, අප විසිවැනි සියවස අහිමි කර ගත් ජාතියක්. අනෙකුත් ශතවර්ෂ හා සසඳන විට විසිවැනි සියවස කියන්නේ ලෝකයේ සුවිසල් ජයග්‍රහණ අත් කර ගත් සියවසක්. නිසි ආර්ථික දැක්මක්, චින්තනයක් අනුව රට මෙහෙයවීම නොකළ වැරැද්දට අද අප වන්දි ගෙවමින් සිටිනවා.

අප යෝජනා කරන්නේ මේ තත්වයෙන් මිදීමටයි. පටන් ගැනීමේ දීම අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සියලු පුරවැසියන්ට සහතික කරනවා. මේ පදනම මත අප ආර්ථිකය ඉදිරියට ගෙන යන ආකාරය අලුතින්ම සැලැසුම් කරනවා. දැන් අපට තිබෙන්නේ සංචාරක කර්මාන්තයක් නොවෙයි, හෝටල් කර්මාන්තයක්. අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගැන මනින්නේ හෝටල්වල කාමර කොතරම් පිරි තිබෙනවාද වැනි දත්තවලින් මිස සීගිරියට විදේශ සංචාරකයන් කොපමණ ගියාද වැනි දත්තවලින් නොවෙයි. ඒ නිසා සංචාරක කර්මාන්තය හෝටල් කර්මාන්තයක සිට සංචාරක කර්මාන්තය දක්වා පරිවර්තනය කරන්න ඕනෑ. මේ ආදී තෝරා ගත් ප්‍රමුඛ ක්‍ෂේත්‍ර මත ආර්ථිකය ගොඩනැඟීම ආරම්භ කරනවා. නමුත්, මේ ගමනට එරෙහිව මහජනයාගේ ධනය ඒකරාශී කර ගත් චෞර කණ්ඩායම අවසානය දක්වාම විවිධ මෙහෙයුම් දියත් කරනවා. ඔවුන් සතු මාධ්‍ය බලය මෙහෙයවනවා. ඔවුන්ට අහිමි වෙන්න ගොඩක් දේවල් තිබෙනවා වාගේම අපට දිනාගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණය ඉලක්ක කොටගෙන මේ මෙහෙයුම දියත් කර ජයග්‍රහණය කරන්න ඕනෑ. අපි ඔක්කොම එකතු වී අපේ රටට නව ජයග්‍රහණ ලබා දෙන පුනරුද යුගයකට රට ගෙන යමු. ඒ වෙනුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට විශාල කාර්යභාරයක් කළ හැකියි. ඒ සම්බන්ධයෙන් වඩාත් කැප වීමෙන් ක්‍රියා කරන්න සියලු දෙනාටම ආරාධනා කරනවා.