-Colombo, October 24, 2023-
අපිට ප්‍රධාන කරුණු දෙකක් පැහැදිලියි. එක බලය ලබාගැනීම. දෙක මේ රට හැදීම. අපි හමුවේ තිබෙන්නේ ඔය අභියෝග දෙක. ලබන අවුරුද්දේ ඔක්තෝබර් වෙන කොට අපේ රටේ තිබෙන්නේ අලුත් පාලනයක්. ආණ්ඩු පෙරළියක් සිදුවන මැතිවරණ වළක්වන්න ඒ ගොල්ලෝ විශාල උත්සාහයක් දරමින් ඉන්නවා. ඒ උත්සාහය සාර්ථක කර ගන්න රනිල් වික්‍රමසිංහට ඉඩ නොදෙන බවත් අපි සහතික කරනවා. අද ජනතාව ඉවසිය නොහැකි තරමට පීඩාවට පත්වී සිටිනවා. නමුත් ඉවසන්නේ ලබන අවුරුද්දේ එන ජාතික මැතිවරණයේදී බලය පෙන්වීමේ අදහසින්. නමුත් රනිල් වික්‍රමසිංහ ඡන්දය නොතියා බලෙන් ඉන්න හදනවා නම්, ව්‍යවස්ථානුකූලව ඔහුට ඉන්න තිබෙන කාලයටවත් ඉන්න හම්බවෙන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරිත්වයෙන් ඡන්දය නැති බව පැහැදිලි වෙනවා නම්, ගෝඨාභය දෙක සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තිබෙනවා “යූ.එන්.පී.කාරයෝ ආඩම්බරයි, යූ.එන්.පී.කාරයෝ ණය නැහැ කියලා” ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සිට සියලු දෙනා ණය නැද්ද? රත්රං බඩු උගස් කරලා. ගොවියෝ වතුර මෝටරේ උකස් කරලා. ගේ හදාගන්න ණය වෙලා. හැබැයි ණය නැති කණ්ඩායමක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහලාගේ කණ්ඩායම බැංකුවට ණය නෑ, හැබැයි රටට ණයයි. රවි කරුණානායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, සාගල රත්නායක වගේ උඩ ඉන්න අය බැංකුවලට ණය නැති බව ඇත්ත. හැබැයි ඒගොල්ලෝ රට ණය උගුලක හිරකළා. 1948 ඉඳලා 2015 දක්වා අවුරුදු 67ක් ණය ලබාගෙන තිබුණේ රුපියල් ට්‍රිලියන 8.5යි. නමුත් 2019 අවසන් වන විට ට්‍රිලියන 15ක් ණය කර තිබුණා. රනිල්ගේ අවුරුදු 05ට ආසන්න වශයෙන් රුපියල් කෝටි හයලක්ෂ පනස් දහසකින් රටම ණයකරුවෙක් බවට පත් කළා. 2022 දෙසැම්බර් 31ට අපෙ රටේ ණය ට්‍රිලියන 30යි. රට හිඟන රටක් බවට පත්කර ඒගොල්ලෝ ආඩම්බර වෙනවාලු. දැන් සියලු සම්පත් විකුණමින් සිටිනවා. අපිට තිබෙන්නේ එක පාරයි. පැරණි ගතානුගතික පිළුණු දේශපාලන ව්‍යාපාර වෙනුවට ශ්‍රී ලංකාව ලෝකයත් සමග අනාගතයට කැඳවාගෙන යන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනඟන ජාතික ජන බලවේගයේ පාලනයයි.
ඒ ගොල්ලෝ ජනාධිපතිවරණය වෙනුවෙන් වංචනිකයන්ගෙන් දූෂිතයන්ගෙන් සල්ලි එකතු කරමින් ලැහැස්ති වෙනවා. රටේ සම්පත් විකුණමින් යටිමඩි ගහන සල්ලි මැතිවරණයට ගන්න සූදානම් වෙනවා. මහින්දට බැසිල් වගේ රනිල්ට සාගල රත්නායක ඉන්නවා. සල්ලි එකතු කරන්නේ ඔහු. සමාජ මාධ්‍ය දඩයම් කර, ඔවුන් ඡන්දයට ලැහැස්ති වෙනවා. ඒ වගේම ජනතාවගේ විරෝධතා මැඩපවත්වන්න ත්‍රස්ත විරෝධී පනත් ගේන්න උත්සාහ කරනවා. ඒ ගොල්ලෝ ඡන්දයට ලැහැස්ති වෙන්නේ ඔය ආකාරයටයි. ජාතික ජන බලවේගය ඡන්දයට සූදානම් වෙන්නේ එහෙම නොවෙයි. අපේ ව්‍යාපාරයට විනාශකාරීන්ගෙන් අරමුදල් ලැබෙන්නේ නැහැ. මාධ්‍ය බලය, රාජ්‍ය බලය වගේ දේවල්වලිනුත් ඔවුන් අපිට වඩා උඩින් ඉන්නේ. නමුත් ඒ සියලු දෙනාට වඩා උඩින් මහජන බලය අපිට තිබෙනවා.
මහජන බලය සංවිධානය කිරීමේ ප්‍රධානම වැඩ කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ගොඩනැගීමෙන් සිදුකර තිබෙනවා. සමාජ ගරුත්වය, සමාජ පිළිගැනීම, වෘත්තීයක නියැලී සිටීම, ඒ නිසාම සමාජ වගකීමක් තිබීම වැනි ගුණාංග නිසා මේ සාමූහිකය විශේෂයක්.
රාජ්‍ය බුද්ධි අංශයෙන් ළඟදී සමීක්ෂණයක් කර තිබුණා. 2009ට පෙර විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා පවුල් 14,000ක් මෙයට යොදාගෙන තිබුණා. සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් කියැවුණේ ඒ පවුල්වලින් 90%ක් එන්.පී.පී. බවයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමජිකයින් පමණක් නොවෙයි ගමේ ජනතාව සංවිධානය කරන්න බොහෝ වැඩකටයුතු අවුරුදු දෙකක් පුරා අඛණ්ඩව අප සිදුකර තිබෙනවා. ඡන්ද කල් දමමින් අපිට මේ තත්වය අල්ලාගෙන ඉන්න බැරිවෙයි කියලා ඒ ගොල්ලෝ හිතුවා. නමුත් තිබෙන තත්වය එන්න එන්න වර්ධනය කරමින් අපි ඉදිරියට යනවා. පසුගිය පෙබරවාරි මාසයේ මාතලේදී එකතු කර ගත හැකි වුණු ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සාමාජික සංඛ්‍යාව අටයි. අද මේ ශාලාව උතුරා යන්න තරම් පිරිසක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනතාව හමුනොවී ජනාධිපති බලතල උපයෝගී කරගෙන විවිධ පිරිස් එකතු කරනවා. ඒ හැර ජනතාව ආමන්ත්‍රණය කරන්න ඒ ගොල්ලන්ට හිතන්නවත් බැහැ. තව කෙනෙක් ජනතාව ආමන්ත්‍රණය කරන්නේ පන්සලක ආධාරයක් දීලා, ඉස්කෝලෙට බස් එකක් දීලා. නමුත් අපි අවුරුදු දෙකක් අඛණ්ඩව සියලු ක්ෂේත්‍රවල ජනතාව ඒකරාශී කරමින් නායකයන් ගොඩනඟමින් ඉදිරියට යනවා. අපට වඩා හැකියාව තිබෙන, දැනුම තිබෙන, අත්දැකීම් තිබෙන එළියෙ ඉන්න සියලුදෙනා එකතු කරමින් ඉදිරියට යනවා. තව අවුරුද්දකට ආසන්න කාලයක් අඛණ්ඩව මෙහෙම ගිහින් ජාතික ජන බලවේගයේ පාලනයක් සහතික වශයෙන්ම පිහිටුවනවා.
බලය ගත්තාට පසු මේ රට ගොඩනඟවා. ඒ වෙනුවෙන් වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් කර වංචාව දූෂණය නතර කර, වංචා කළ මුදල්, දේපළ නැවත අත්පත් කර ගන්නවා. මේ දක්වා වංචනිකයන්ට, දූෂිතයන්ට රැවටුනු ජනතාව අප කෙරෙහි විශ්වාසය තබන්නේ කොහොමදැයි සමහර අය අහනවා. අපි මාස 14ක්ම ඇමතිකම් දැරුවා. අපි කැබිනට් මණ්ඩලයෙන් එළියට ආව වහාම චන්ද්‍රිකා ජනාධිපතිවරිය අප අමාත්‍යාංශ වගකීම් දැරූ කාලයේ වංචා දූෂණ සොයන්න විශේෂ ජනාධිපති ඒකකයක් පත් කළා. ඔවුන් අවසානයේ වාර්තාව ලබාදුන්නේ කිසිදු වංචාවක් දූෂණයක් සිදුවී නැහැ කියලයි. ඒ වගේම අපිට නිල වශයෙන් ලබාදෙන පොලිස් ආරක්ෂාව ලබාගෙන නැහැ. අමාත්‍ය ධුර දරන කාලයෙත් එහෙමයි. අනෙක් මන්ත්‍රීවරුන් ඒ දවස්වල ලැබුණු ලක්ෂ 480ක වාහන පර්මිට් එක ගත්තා. අපි ඒ වෙලාවේ ගත්තේ ටොයොටා ඩබල් කැබ් රථයක්. මිල අවම වාහනය අරගෙන ආදර්ශ දී තිබෙනවා. පළාත් සභාවේ අපේ මන්ත්‍රීවරුන් 82ක් සිටි වෙලාවේ ඒ 82දෙදෙනාටම වාහන පර්මිට් ලැබුණා. අපි ඒවා ආපසු යැව්වා. තමන්ට ලැබුණු වාහන පර්මිට් විකුණපු නැති දේශපාලන ව්‍යාපාරයක් තිබෙනවා නම්, ඒ ජාතික ජන බලවේගය තුළ සිටින ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අපි අමාත්‍ය ධුර දැරූ කාලයේ ඇමතිකම්වලට වඩා රට ඉදිරියෙන් තබා දේශපාලනය කළ ව්‍යාපාරයක්. නමුත් අනික් අය එහෙම වෙන්නේ නැහැ. එක උදාහරණයක් කියන්නම්. මන්ත්‍රීවරු එක්ක ප්‍රශ්න ඇතිකර ගත්ත නෝනට මන්ත්‍රී ධුරය දුන්නේ සජිත් ප්‍රේමදාස. නමුත් එයාට ඇමති ධුරය දුන්නේ රනිල් වික්‍රමසිංහ. එයා අපේ පක්ෂයේ නම් පසුවදාම එළියේ.
අපි අපේ භාවිතය ගැන විශ්වාසය තබනවා. මෙතනට රැස්වී සිටින ඔබ අපව ඒ තරම් දන්නේ නැහැ. නමුත් ඔබ සැමදෙනා සම්පත් තුයියකොන්තා මහත්මයා, අරුණ මහත්මයා, රෝහණ මහත්මයා ගැන හොඳින් දන්නවා. ඒ අය ගැන අවිශ්වාසයක් තිබෙනවා නම් ඔබ මෙතනට එන්නේ නැහැ. අපව අවිශ්වාස නම් ඒ මහත්වරු මේ වේදිකාවට එන්නේ නැහැ. අනෙක් පැත්තෙන් අපට එක සැරයක් දීලා බලන්න. අවුරුදු 75ක්ම වැරදුණු එකේ පහකට දීලා බලන්න, ඔබට වරදින්නේ නැහැ. මේ රට ගොඩනඟන්න ඔබට තිබෙන වුවමනාව හා සමානවම හෝ සමහර විට ඊටත් වඩා වැඩි වුවමනාවක් අපට තිබෙනවා. මා මේ දේශපාලනයට ඇතුල් වෙන්නේ උසස්පෙළ ශිෂ්‍යයෙක් හැටියට. ආසන්න වශයෙන් දැන් අවුරුදු 35ක් පමණ මේ දේශපාලනයේ නියැලෙනවා. අපේ ව්‍යාපාරය විශාල කැළඹිලිවලට, අභියෝගවලට මුහුණ දුන්නා. ජනතාව අපව ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබුණා. 2019දී අපට 3% කියන ලේබල් එක ගැහුවා. ජනතාව අපට විහිළු කරන තත්වයකට මුහුණ දුන්නා. එහෙත් මොකක් වෙනුවෙන්ද අපි මේ දේශපාලනය කරන්නේ. මුදල් ඕනෑ නම්, තනතුරු ඕනෑ නම් ඉතා වේගයෙන් අලෙවි වෙන්න පුළුවන් මිනිස්සු අපි. නමුත් ඉතාම අසීරු තත්වයන්ගේදී වුවත් අපි මේ ව්‍යාපාරය පවත්වාගෙන ආවේ මේ රටට ඔබ අප එකතු වී අලුත් මාවතක් ලබාදිය යුතු නිසයි. අපි සියල්ල දරාගෙන හිටියේ කවර හෝ මොහොතක මේ රටේ ජනතාව අපව විශ්වාස කරන බව අවබෝධ කරගෙනයි. මේ රට වෙනස් කරනවා කියන සුබ සිහිනය අත් නොහැර සිටි නිසයි. මේ හමුවට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ මේ රට වෙනස් කිරීමට ඔබ සූදානම් බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟන කොට සමාජයේ සිටි යම් ගුණයක් තිබෙන පිරිස එයට එකතු වුණා. නමුත් ඒ මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම මහින්ද රාජපක්ෂ විශේෂයෙන් පාදඩකරණයට ලක් කළා. මහා ජාවාරම්කාර ව්‍යාපාර පෙළැන්තියක්, පාතාලය එයට උඩින් එකතු වුණා. දැන් මේ රට වෙනස් කළ යුතුයැයි සිතන හැමදෙනාම ඒ වෙනස කෙරෙහි විශ්වාසය තැබිය යුතු වන්නේ ජාතික ජන බලවේගය ගැන පමණයි. විනයක්, නීතියක්, රීතියක්, සම්ප්‍රදායක් නැති සියල්ල කඩා බිඳ දැමූ රටක් තිබෙන්නේ. ආගමික ස්ථාන ඇතුළු සියලු ආයතනත් මෙයට ගොදුරු වී තිබෙනවා. පොලිස්පතිවරයෙක් පත්කර ගන්න බැරි තත්වයකට පොලීසිය කඩා වැටී තිබෙනවා. එනිසා මේ සමාජය ගොඩනැගීමේදී ධනය, බලය, දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සැමදෙනාටම නීතිය එකසේ ක්‍රියාත්මක වන පාලනයක් අපි ගොඩනඟනවා. පොදු සමාජයේ මිනිසුන් අතින් වැරදි විය හැකියි. ජාතික ජන බලවේගයේ අය අතිනුත් වැරදි විය හැකියි. නමුත් ජාතික ජන බලවේගය ගොඩනඟන්නේ තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණවීමේ ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ ඇති වුණු සිදුවීමේ නෝනා හෝ මහත්වරු දෙන්නා අපේ පක්ෂයේ නම් පසුවදා ගෙදර යවනවා. රටට විනය ගේන, නීතිය හදන, ආදර්ශය දෙන තැනක් මෙහෙම වෙන්න දෙන්න බැහැ.
මත්ද්‍රව්‍ය ප්‍රශ්නය මෙතනදීත් කතා කළා. අදත් කෝටි 400ක කුඩු අසුවී තිබෙනවා. කෝටි 400ක කුඩු ගේන්න පුළුවන්නේ කාටද? මේ ජාවාරම නතර කරන්න බැරි නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක නොවන නිසයි. අපි එය කරනවා. දේශපාලකයා හරි සරල ඇවතුම් පැවතුම් තිබෙන පුද්ගලයෙක් කරන්න ඕනෑ. ඉතිහාසයේ කෝච්චියෙන් ආව මන්ත්‍රීවරු ගැන, මැරෙණ කොට බැංකු ගිණුමේ රුපියල් සියයක් තිබුණු මන්ත්‍රීවරුන් ගැන අපි අහලා තිබුණා. නමුත් අද වේගයෙන් සල්ලි සොයන මාධ්‍යයක් බවට දේශපාලනය පත්කර ගෙන තිබෙනවා. කැත, මජර, ත්‍රාඩ දේශපාලන සංස්කෘතියක් ගොඩනඟා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිත සාම්ප්‍රදායික, මජර කැත ජීවිත බවට පත්වී තිබෙනවා. මේ තත්වය වෙනස් කර, අනෙකාට ඇහුම්කන් දෙන, වගකියන, මහජනයාගේ දුක වේදනාව දැනෙන නව දේශපාලන සංස්කෘතියක් සහිත ආණ්ඩුවක් ජාතික ජන බලවේගයෙන් ගොඩනඟනවා. ගුණාත්මකව මේ වෙනස්කම් කරන අතර, ආර්ථික ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් කරමින් රට ගොඩනඟන්නත් ඕනෑ.
එහිදී කෘෂිකර්මාන්තය මූලිකයි. විවිධත්වයක් සහිත බීජ සම්පතක් අපේ රටේ තිබුණා. අපේ රටේ ජෛව විවිධත්වයට ගැලපෙන බීජ තිබුණා. නමුත් අපේ රටේ ඒ බීජ සියල්ල අහිමි කර බීජ පර්යේෂණායතන සියල්ල විනාශ කර දැම්මා. නමුත් අපේ පාලනයක් යටතේ ගුණත්වයෙන් ඉහළ නවීන බීජ වර්ග නිෂ්පාදනය කර බෙදා හරිනවා. ඒ සම්බන්ධයෙන් කෘෂිවිද්‍යාඥයෝ විශාල පිරිසක් ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන සිටිනවා. ජලය සහ ඉඩම් හොඳින් කළමනාකරණය කර, කෘෂිකර්මාන්තයටත් යොදා ගන්නවා. අලුත් තරුණ පරම්පරාව නවීන තාක්ෂණයත් සමග කෘෂිකර්මාන්තයට බද්ධ කරනවා. එළවළු ප්‍රවාහනයේදී අපතේ යාම වළක්වා ගන්න කටයුතු කරනවා. ඒ වගේම ගොවියාට සාධාරණ ආදායමකුත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබාගැනීමේ හැකියාවත් අපි තහවුරු කරනවා. මේ වගේම රැස්වී ගොවි ජනතාව දැනුවත් කරමින් ඒ වෙනුවෙන් යොදා ගන්නවා.
ඒ වගේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිශ්චිත පනතකින් ආරක්ෂක කවුන්සිලය තහවුරු කරනවා. නමුත් දැන් ආරක්ෂක කවුන්සිලය රැස්වී මොනවාද කරන්නේ? මම උදාහරණයක් කියන්නම්. ඒ.එස්.පී. ලියනගේට අයිති නිවාසය මහින්ද රාජපක්ෂට දෙන්න සූදානම් වුණා. ‘පීකොක් මන්දිරය’ කියලා නම් කර තිබුණු ඒ ගෙදර පිහිනුම් තටාකය නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් මත වැලිදමා පිරවූවා. සී.අයි.ඩී. එකේ මහත්තුරු එතනැට යවා බය කළ මෛත්‍රීපාල සිරිසේන ඒ ගනුදෙනුව නැවැත්තුවා. රාජ්‍ය බුද්ධි සේවය යොදා ගත්තේ ඔය වගේ වැඩවලට. මේ ඔක්කොම යොදා ගන්නේ දේශපාලන බලය සඳහා. අපි මේ තත්වය නවත්වනවා. ලෝකයේ අයි.ටී. ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 15ක වාර්ෂික ආදායමක් රටට උපයා ගත හැකි බව අපේ විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. දැන් අපි ජනතාව දැනුවත් කරනවා හා සමාන ආකාරටම විද්වත් කණ්ඩායම් එකතු කරමින් සමස්ත රට ගොඩනැගීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ගොඩනඟනවා.
රට මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ පරිවර්තනීය යුගයක්. මේ විදිහට තව අඟලක්වත් ඉදිරියට යන්න බැහැ. මේ රටේ වෘත්තිකයන් අද රට දාලා යන්නේ තමන් කෙසේ හෝ මේ තත්වයට මුහුණ දීගෙන සිටියත් දරුවන්ට මොකද වෙන්නේ කියලා හිතලා. නමුත් ඒ දරුවන් වෙනුවෙන් රට පරිවර්තනීය යුගයකට ගෙන යාමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නවා. ඔබ යුද බිමේ යුද්ධය අවසන් කිරීමේ කාලයක් නොදැන කෙතරම් අසීරුවෙන් වැඩ කළාද? දේශපාලකයන් හැටියට අපි කොතරම් පරාජයක් හමුවේ වුවත් අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා අල්ලා ගෙන අධිෂ්ඨානයෙන් වැඩ කළා. ඒ කාලයකටත් වඩා ඉදිරි මාස 10 ඉතාමත්ම වැදගත්. මේ මාස 10යේදී අපි හැමදෙනාම හැකි උපරිමයෙන් වැඩ කරමු. මේ ව්‍යායාමය ගැන බලාපොරොත්තු තබාගෙන විශාල පිරිසක් රට හැර නොයා සිටිනවා. අද මේ සමාජයට රටේ ඉන්න බලාපොරොත්තුවක් හදලා තිබෙන්නේ ජාතික ජන බලවේගය විතරයි. ඒ ජනතාවගේ බලාපොරොත්තු බොඳ වෙන්න අපි කිසිකෙනෙක් ඉඩ දෙන්නේ නැහැ.
ඒ තුළ විශාල වැඩ කොටසක් ත්‍රිවිධ හමුදා සාමූහිකයට තිබෙනවා. ආණ්ඩුව මේ සංවිධානය ගැන විශාල වශයෙන් බිය වී සිටිනවා. කමල් ගුණරත්න උදේ හවා ඒ ගැන කල්පනා කරනවා. හමුදාපතිවරයාත්, කමල් ගුණරත්නත් නයිජීරියාවට ගෙන ගියේ නැද්ද කියලා පාර්ලිමේන්තුවේදි මම ප්‍රශ්න කරනවා. ඒ ගොල්ලෝ පොත ලීවාම සමස්ත හමුදාවම ඔවුන් සමග ඇති කියලා හිතුවා. නමුත් ඒ අය ලියපු පොත්වලට වඩා පෙරළු පොත් ප්‍රමාණය වැඩි බව ඔබ සැම දන්නවා. ඔවුන් ඒ බය නිසාම විවිධ තාලයේ අඩම්තේට්ටම් කරන්න උත්සාහ කරනවා. නමුත් ජාතික ජන බලවේගය එක්ක එකතු වී ඉන්නේ කමල් ගුණරත්නලාගේ, ආරක්ෂක ඇමතිලාගේ කුඩා කුඩා කෙනෙත්තිලිවලට පසුබසින ව්‍යාපාරයක් නොවෙයි. ජාතික ජන බලවේගය ඉතාමත්ම ශක්තිමත්, නිර්භයම සහ තමන් හමුවේ තිබෙන අභියෝග ජයග්‍රාහීව කෙළවර කළ හැකි කඳවුරක් ලෙස සියලු දෙනාම පිළිගෙන තිබෙනවා. ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සියලුදෙනා එක්වී සිටින්නේ ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් හැටියටයි. අපි සියලු දෙනාම එක්වී මේ අභියෝගය සාර්ථකව ජයග්‍රහණය කරමු කියලා ආරාධනා කරනවා.
“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුවක් දැක ගන්න හැකි වේවි”
-එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා-
අද වන විට අදිටන විශ්‍රාමික සාමූහිකයට විශාල පිරිසක් එක්වෙමින් දිස්ත්‍රික් ගණනාවක සමුළු පවත්වමින් යනවා. විවිධ බාධකයන් පැමිණුනත් ඒවා යටපත් කරමින් අපට සාර්ථකව ඉදිරියට යාමට හැකිවීම ගැන සතුටු වෙනවා.
අද අපේ රටේ අපට සෑහිමකට පත්විය හැකි එකම ක්ෂේත්‍රයක්වත් ඉතිරි වී නැහැ. උත්තරීතර පාර්ලිමේන්තුවේ එකිනෙකාට දොස් පවරමින්, ජනතාව මුලා කරමින් පැමිණි අය එකට එකතු වී දේශපාලනය කරනවා. ආර්ථිකය පැත්තෙන් ගත්තත්, බඩු මිල, ඉන්ධන මිල ඉතාම ඉහළයි. ලයිට් බිල නැවතත් වැඩි වුණා. ඉදිරියටත් වැඩිවීමට නියමිතයි. මේව පාලනය කරලා ජනතාවට සහනයක් සැලැසීමට මූල්‍ය උපායක් පාලකයන්ට නැහැ. සෞඛ්‍ය මුළුමනින්ම කඩා වැටිලා. අධ්‍යාපනයත් එහෙමයි. නගරයේ පාසල්වලට තිබුණු පහසුකම් ටික වැඩිවෙලා නැහැ. ගම්බද පාසල් ඉතාමත් අඩු පහසුකම් යටතේ පවතින්නේ. නගරයේ හා ගම්බද පාසල් අතර විශාල පරතරයක් තිබෙන්නේ. මේවා නගා සිටුවන්න පාලකයන්ට වුවමනාවක් නැහැ. තරුෂි දරුවා ගොල්ඩ් මෙඩ්ල් එකක් ලංකාවට අරගෙන දුන්නා. ඇයගේ උත්සාහය, කැපවීම අපි අගය කරනවා. නමුත් සමස්තයක් ලෙස ගත්විට ක්‍රීඩා ක්ෂේත්‍රයේත් කිසියම් හෝ ප්‍රගතියක් නැහැ. සෑම ක්ෂේත්‍රයක්ම පිරිහිලා. එයට ප්‍රධානම හේතුව ලෙස අපි දකින්නේ පාලකයෝ විනය අතින් ඉතාමත්ම පිරිහිලා. උත්තරීතර පාර්ලිමේන්තුවේ හැසිරීම් රටාව අපි දුටුවා. පාර්ලිමේන්තුවේ උත්තරීතර වෙන්නේ පාර්ලිමේන්තුවෙ පුටු, මේස නොවෙයි. පාර්ලිමේන්තුවේ සිටින සභිකයන්ගෙන් තමයි පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නේ. අද පාර්ලිමේන්තුව තුළ සිටින 225 එපා කියා සටන් පාඨයක් තිබෙනවා. නමුත් මම ආඩම්බරයෙන් කියනවා, අපව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින ජාතික ජන බලවේගයේ මන්ත්‍රී තුන්දෙනා ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුවක් අපිට දැක ගන්න හැකි වේවි. ඒ විශ්වාසය ඇති නිසා තමයි අපි ජාතික ජන බලවේගය දිනවන්න කැපවීමෙන් වැඩ කරන්නේ.
අපි විනය කියන්නේ මොකක්ද කියා ඔප්පු කරපු අය. තිස් වසරක යුද්ධයක් සාර්ථකව නිමා කරන්න හැකි වූ ප්‍රධානම සාධකය තමයි විනයගරුක බව. හමුදාව තුළ එයට ආවේණික නීතියක් තිබෙනවා. ඒ නීතිය අනුව ගොස් අපේ කර්තව්‍යය ඉටුකළා. හමුදාව තුළ නීතිය කඩ කරලා කිසිම ගමනක් ඉස්සරහට යන්න බැහැ. උසස්වීම් ලැබෙන්නේ ඒ අනුව කටයුතු කිරීමෙන් තමයි. ඒ නීති කඩකරපු අය අය පහළට දමා හෝ නෙරපා දමා තිබෙනවා. අපි සියලු දෙනා ඒ විනයගරුක බව රැකගෙන නියම නායකත්වයන් යටතේ කටයුතු කිරීම නිසා අපට හැකි වුණා අපේ අරමුණු ජයග්‍රහණය කරන්න. යුද්ධය ජයග්‍රාහී ලෙස නිමා කරන්න. සුනාමි අවස්ථාවේ, කොවිඩ් වසංගතය අවස්ථාවේ, ගංවතුර අවස්ථාවල අපි මැදිහත් වෙලා සාර්ථකව ඒ කාර්යයන් ඉටුකළා. අපි කණ්ඩායමක් සමග සාමූහිකත්වයෙන් තමයි ඒ කාර්යයන් ඉෂ්ට කළේ. විනයගරුක නම්, අරමුණ පැහැදිලි නම් ඕනෑම අමාරු කාර්යයක් ඉතා සාර්ථකව නිමා කරන්න පුළුවන් කියලා අපි ඔප්පු කර තිබෙනවා. අපේ දේශපාලකයාගේ ඒ විනයගරුක බව නැති නිසාම තමයි පළමුවෙන් පැවසූ දේවල් පවතින්නේ සහ ඉදිරියටත් පවතින්නේ.
“අපි සම්බන්ධ වී සිටින්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගත් පාලනයක් බිහිකිරීමේ චේතනාවෙන්”
-විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-
මම මේ විශ්‍රාමික නිලධාරියෙක් ලෙස මේ කාර්යයේ යෙදෙන්නේ බොහෝම ආඩම්බරයෙන්, වුවමනාවෙන් හා ආශාවෙන්. ඒක ජාතික වගකීමක්, කාලීන අවශ්‍යතාවයක්. මම සමාජයේ විවිධ අය සමග සංවාදයේ යෙදී තිබෙනවා. ඔවුන් මේ වැඩපිළිවෙළ ගැන බොහෝම දෙනෙක් ප්‍රශංසා කරනවා. කිහිප දෙනෙක් ඉන්නවා කටු අනිනවා වගේ කොටසක්. එයාලා කියනවා, හමුදා සේවය තුළ සිටින විට අපිට නොලැබුණු යම් යම් නිලතල නිසා තෘප්තිමත් වෙලා නැති නිසා ඊර්ෂ්‍යාවට මේ දේශපාලනයේ යෙදෙනවා කියලා. මේ දේශපාලනය තුළින් තාන්නමාන්න බලාපොරොත්තුවෙන් වැඩ කරන බවට ඔවුන් චෝදනා කරනවා. අපේ ප්‍රධානී ලෙස වැඩකරන මේජර් අරුණ ජයසේකර මහත්මා, මම වසර ගණනාවක සිට දන්න, එකට වැඩ කර තිබෙන කෙනෙක්. ඔහු තෘප්තිමත්ව සේවය කර, වැදගත් හමුදා නිලධාරියෙක් විදිහට, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට සමාජයට ආවා. ඒ වගේම එයාර් වයිස් මාෂල් තුයියකොන්ත මහත්මා කීර්තිමත් හමුදා නිලධාරියෙක්. එයාර් ෆෝස් පයිලට් කෙනෙක්. තමන්ට යා හැකි ඉහළම නිලයට ගොස් බොහෝම සතුටින් එළියට ආ කෙනෙක්. මමත් නාවුක හමුදාවෙන් එනකොට බොහෝම සතුටින් ආවේ. මට යා හැකි ඉහළම නිලයට ගියා. මම බොහෝම සතුටින් එළියට ආවා. අපිට කා සමගවත් කිසිම වෛරයක්, තරහක් නැහැ.
අපි මේ දේශපාලන ව්‍යාපාරය තුළින් හරි හම්බ කර ගන්න ඇවිත් නැහැ. පසුගිය කාලය තුළ මේ රටේ තුළ සිදුවුණු ආර්ථික කඩා වැටීමත් සමග යම් යම් පීඩනයන්ට පත්වෙලා තිබෙනවා. මේ රට වසර ගණනාවක් ප්‍රධාන පක්ෂ දෙකකින් තට්ටු මාරු ක්‍රමයට පාලනය කළා. අපි ඔවුන් කළ වැරදි දැන දැන, අන්ධයන් විදිහට ඔවුන්ව බලයට පත්කළා. ඔවුන් ඔප්පු කර තිබෙනවා ඔවුන් දන්න එකම දේශපාලන සංස්කෘතිය වන හොරකම, දූෂණය, වංචාව තුළින් මේ රට බංකොලොත් කරලා, ඔප්පු කර තිබෙනවා, ඔවුන්ට මේ රට පාලනය කරන්න බැරි බව. මේ දූෂිතයන් පාලනයෙන් පළවා හැර, ජනතා හිතවාදී, මනුෂ්‍යත්වය ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගත්, ජනතාවගේ විශ්වාසය දිනා ගත් ජාතික ජන බලවේගයේ පාලනයක් බිහිකිරීමේ එකම චේතනාවෙන් තමයි අපි මේ කාර්යයට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඒක ඔබෙත් මගෙත් යුතුකමක්, වගකීමක්, කාලීන අවශ්‍යතාවයක්.
අපිට චෝදනා කරන අය කියන එක දෙයක් තමයි, මේ දේශපාලනය කිරීම තුළ අපි රාජකාරි කළ හමුදාවට අපි අගෞරවයක්, නිලතලවලට අගෞරවයක් කරනවා කියන එක. මම එයාලගෙන් මේ ප්‍රශ්නය අහනවා. මෙතෙක් මේ රට පාලනය කළ පාලකයන්ව බලයට ගේන්න, වංචාකාරයෝ, දූෂිතයන් බව දැන දැනම, ඔවුන්ට උදව් උපකාර කර, ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය සේවයේ සිටිමින්, යුනිෆෝම් ඇඳගෙන, හමුදා නීතියට විරුද්ධව ඔවුන්ට උදව් උපකාර කළ අය ඉන්නවා. එහෙම බලයට ආව අය මේ රට විනාශ කරලා, අහිංසක මිනිසුන්ව හිඟමනයට ඇදලා දාලා යාචක සමාජයක් බිහිකර තිබෙනවා. එහෙම නම් හමුදාවට අගෞරව කරන්නේ අපිද, එයාලද?
අපේ දේශපාලනය ඒ වගේ එකක් නොවෙයි. මෙතන සිටින අපි කිසිවෙක් සක්‍රීය සේවයේ සිටියදී දේශපාලනය කළ අය නොවෙයි. ඒ වෙලාවේ දේශපාලන මතවාදයක් තිබ්බෙත් නැහැ. මෙතන කවුරුත් දූෂිතයොත් නැහැ. අපි අභිමානවත්ව සේවය කර, ගෞරවාන්විතව එළියට ආ අය. අපිට ගෞරවක් සමාජය තුළ තිබෙනවා. මිනිසුන්ගේ දුක අපට දැනෙනවා. සමාජය තුළ තිබෙන පිළිගැනීම තුළ, මේ රට ගොඩගැනීමට තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේග රජයක් බිහිකිරීම සඳහා ඔවුන්ගේ ප්‍රතිපත්තීන්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපිව පිළිගන්නා සමාජ තලය වෙත සම්ප්‍රේෂණය කිරීමයි අපි මේ සිදුකරමින් ඉන්නේ.
මේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රමාණය මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් වගේ. පෙනෙන්නේ පොඩි කොටසක් නොපෙනෙන කොටස යට. අපිට පේනවාට වඩා විශාල පිරිසක් අපි පසුපස එනවා. අපේ නෙට්වර්ක් එක හොඳයි. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ඒ ඒ ක්ෂේත්‍රයන් ක්‍රියාකරන්නේ කොහොමද කියන එක ප්‍රතිපත්ති හදා තිබෙනවා. සමහර ඒවා හදමින් තිබෙනවා. අපි ආරක්ෂක ප්‍රතිපත්ති හදන්න ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ සිට ප්‍රතිපත්ති මාලාවක් සැකසුම් කර තිබෙනවා. එහි සැලසුම මහරගම සමුළුවේදී අනුර ජයසේකර මහතා විසින් දැනුම් දුන්නා. එවැනි ආරක්ෂක ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි? මම උදාහරණ දෙකක් දෙන්නම්.
යුද්ධය සාර්ථකව නිමා වුණු වෙලාවේ රටවල් බොහොමයක් පුදුම වුණා කොහොමද මෙය ජයග්‍රහණය කළේ කියලා. සම්ප්‍රදායික යුධ උපක්‍රමයන්ට අමතරව, ඒ ඒ හමුදාවන් තමනට ආවේණික වුණු උපක්‍රම සහ නොයෙකුත් උපකරණ භාවිතා කරමින් අපි සටන නිමා කළා. ඒ තුළින් ලෝකය ඉදිරියේ අපට ලොකු අභිමානයක් ඇති වුණා. හමුදාවන් ලෙස ලොකු පිළිගැනීමක් ඇති වුණා. යුද නිමාවත් සමග රට තුළ ඇතිවුණු දේශපාලන මතවාදයන් නිසා, ඇනකොටා ගැනීම් නිසා අපිව ලෝකය ඉදිරියේ සමච්චලයට පත්වුණා. අපේ හමුදා නිලධාරියෙකුට යුරෝපයේ රටකට යන්න බැරි තත්වයට පාර කැපුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පසු නොයෙකුත් පරීක්ෂණ මණ්ඩල තිබ්බා. ඒ මණ්ඩලවලදි වගකිවයුතු දේශපාලන නායකයින්, සහ හමුදා නායකයින්, පොලිස් නිලධාරීන් ඒ පරීක්ෂණ මණ්ඩලවලදි දෙන උත්තර දැක්කාම මේ මිනිසුන්ටද අපි මේ පඩි ගෙවන්නේ කියලා හිතෙනවා. එයාලගේ වගකීම මොකක්ද කියා හිතෙනවා. ඔබ හොඳින් මතක තබා ගන්න අපි හදන ආරක්ෂක ප්‍රතිපත්තිය තුළ සෑම දෙනාටම වගකීමක් තිබෙනවා මොකක්ද කරන්නේ කියලා. එවැනි අවස්ථාවක මම දන්නේ නැහැ. මට මතක නැහැ. කියන්න බැහැ. මේ විශ්‍රාමික සාමූහිකය කියන්නේ බොහොම වැදගත් ව්‍යාපාරයක්. මේ රට ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රටට හොඳ වැඩකොටසක් කර සතුටින් මිය යා හැකි, වැඩ කොටසක් කළ හැකි සංවිධානයක් බව ප්‍රකාශ කරනවා.
“අපි ඉදිරිපත් වී සිටින්නේ හෙට හොඳ රටකට පාරක් හදා දෙන්නයි”
-විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර–
අපි අපේ තාරුණ්‍යය කැපකරලා, අපේ පවුල්, ළමයි සියලුම දේවල් අමතක කරලා, අපි බලාපොරොත්තු වුණේ මොකක්ද?, අපිට ලැබී තිබෙන්නේ මොකක්ද? බොහෝ දෙනෙක් මේ ආර්ථික කළමනාකාරිත්වයේ අදක්ෂකම ගැන කතා කරනවා. ඊට එහා ගිය එකක් තමයි අපේ සාරධර්ම කඩා වැටීම, රාජ්‍යකරණයේ අර්බුදය. අපිට ජාතික විද්‍යා පීඨවල උගන්වනවා හදිසි අවස්ථාවකදී, රටක කැළඹීමක්, මහා වැඩ වර්ජනයක්, අර්බුදයක්, ස්වභාවික විපතක්, සෞඛ්‍ය අතින් පිරිහීමකට පත්වු කැළඹීමකදි එයට මුහුණ දීලා ජනතාවට සහාය දෙන්නේ කොහොමද කියලා. වසර ගණනාවකට සිට පැමිණ තිබෙන දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මේ ආර්ථිකයේ, සාරධර්මවල කඩා වැටීම. කෝ විනය?
අපි සුවිශේෂී විනයක් දරපු, සුවිශේෂී කොටසක්. අපි විශ්‍රාම ගොස් විනයක් සහිත සුවිශේෂී තැනක් තිබුණා. ඒ ඔබ, අපි සොයාගත් තැන තමයි ජාතික ජන බලවේගය යටතේ ගොඩනැගුණු ‘අදිටන’ සාමුහිකය. එතනත් විනය, අපෙත් විනය, අපි දෙගොල්ලෝම එකට බද්ධ වෙනවා. එකට කැපනෙවා. නායකයාට, පක්ෂයට, ප්‍රතිපත්තියට විනයක් නැතිනම් වැඩක් නැහැ. ආමි, එයාර්, නේවි ඇක්ට් එක තුළ තිබෙන්නේ හමුදා විනය. අපි ළඟ තිබෙන්නේ ඒ විනය. ඒ වගේම තමයි මේ පක්ෂය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් විනය මාලාවක් තිබෙනවා. ඒ ප්‍රතිපත්තිවලින් එහාට යන්න බැහැ. ඒ විනය නිසා තමයි වසර ගණනාවක් ගියත් රබර් බෝලය කොතරම් වතුර යට දැමුවත් උඩට එනවා වගේ ජන මතයක් හැටියට උඩට එනවා. අපි හරි තැන හිටගෙන ඉන්නේ.
පසුගියදා පාර්ලිමේන්තුවේ හැසිරීම, හරිම අශෝභනයි. අපි දෙන පණිවිඩය මොකක්ද? පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළේ හැසිරීම. අපිට හිතාගත හැකියි එයාලත් සමග ඉන්න අනෙක් අයගේ හැසිරීම. ඔබ සහ මම ඒක අනුමත කරනවාද? එහෙම හැසිරෙන පුද්ගලයන් රටක තීරණ ගන්නවා. මේ අය තීරණ ගන්නෙ ඔබ සහ අප වෙනුවෙන්. ඒක තමයි පිරිහීම. ඒක තමයි අපි ජාත්‍යන්තරයට දෙන පණිවිඩය. අපේ ජාතික ආරක්ෂාවේ තිබෙන එක තමයි ශ්‍රී ලංකන් අයිඩින්ටිටි එක. රටක් තවත් රටක ජීවත් වන මිනිසුන්ගේ පැවැත්ම. ඒ රටේ රාජ්‍යකරණයේ පැවැත්ම. ජාත්‍යන්තරය පිළිගන්නේ ඒ රටේ මිනිසුන්ගේ හැදියාව. අපි සෑහෙන කාලයක් කැපවෙලා, උරදීලා පැතූ දේද අපට ලැබුණේ කියන ප්‍රශ්නය අපි අහනවා. අපි මෙහෙම ඉන්න ඕන කොටසක් නොවෙයි.
අපි මේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ හෙට හොඳ රටකට පාරක් හදලා දෙන්න. ජාතික ජන බලවේගය පක්ෂය ගොඩනැගෙන්නේ ඒ අරමුණු මුල්කරගෙනයි. අධිෂ්ඨානශීලී නායකත්වය, විනය, හොඳ දැක්මක් එක්ක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ විශාල කණ්ඩායමක්. සමජයෙන් දෙයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් තොරව, රට ගොඩගන්න අපි ඉන්නේ මහා ප්‍රපාතයක් ඉදිරියේ. මම සහ ඔබ, ඔබගේ දරුවොත්, ඒ දරුවන්ගේ දරුවොත් එක්ක ඒ ප්‍රපාතයට වැටෙනවාද? එහෙම නැතිනම් අපි සියලු දෙනාම එකතු වෙලා නව මාවතක් සොයාගෙන යනවාද? අපි දැක්කේ කළු රටක්. දුප්පත් රටක්. බංකොලොත් වුණු රටක්. අපි බලාපොරොත්තු එවන් රටක්ද? අපි දරුවන්ට දෙන්නේ එහෙම රටක්ද?
අද අහිංසක මිනිස්සු ජීවත් වෙන ප්‍රාදේශීය රෝහල් පවා වැහෙන්න යනවා. දූෂිත පාලකයන්ගෙන් පිරුණු සංස්කෘතියක් තමයි හැදිලා තිබෙන්නේ. පසුගිය දිනවල රෝහල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය කන්ටේනර්වලින් විශාල තොගයක් ගෙනවා. ඒ අය කවුද කියලා සොයලා බලන්න. ඒ ගෙනාපු අය පාර්ලිමේන්තුවටත් ගේන්න හදනවා. ඒ සල්ලිවල බලයෙන්. බලය ආවොත් මොනවා කරයිද? අපි එවැනි දේ දරුවන්ට, මිතුරන්ට, අනෙකුත් අයට දැනුවත් කළ යුතුයි. අද අවුරුදු පහේ ළමයා මේ අපි කතා කරන හැමදෙයක්ම ෆෝන් එකෙන් බලනවා. තව අවුරුදු 12කින් තරුණ වියට පා තබනවා. ඒ වෙනකොට අද තත්වයට වඩා පිරිහුණු සමාජයකට මුහුණ දෙන්න සිදුවෙනවා. තාක්ෂණය තවත් දියුණු වෙනකොට මීට වඩා සංකීර්ණ වෙනවා. අපි එවැනි සමාජයක් දරුවන්ට ලබාදිය යුතුද? මේ ගැන හොඳින් කල්පනා කර බලන්න.
අපට අවුරුදු ගණනකට කලින් හොඳ අධිෂ්ඨානයක් තිබුණා. ඒ වගේම අපි අධිෂ්ඨානයෙන් මහජනයාට වගවෙන, වගකියන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් සහිත රජයක් ගොඩනගන්න කැපවෙමු. අද ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා තමයි අද මේ සොරකම්, මිනීමැරුම්, දූෂණ, වංචා සිදුවෙන්නේ. 2022දී දරිද්‍රතාවය 7.2% සිට 9.2% දක්වා වැඩිවෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ගැනීම් අඩුකළ ප්‍රතිශතය සියයට අනූ ගණනක් වැඩිවී තිබෙනවා. පාසල් අතහැර යාම, උසස් පෙළ නොකරන දරුවන් මේ සමාජයට තල්ලු වෙනවා. ඒක ජාතික ආරක්ෂාවට බලපෑමක් කරනවා. ඒ දරුවන්ට මත්ද්‍රව්‍ය දෙන්න හරිම පහසුයි. එතකොට ලෝකයට යන අපේ ප්‍රතිරූපය බලන්න. අපේ ජාතික අභිමානය කෝ? පාතාලය රජ කරන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරන. මැරකම්වලට හුරු කරන පාලකයන්ට මේ රට බාරදී ඉන්නද අපට කියන්නේ.
මේ අවසාන අවස්ථාව. මේ රට වලපල්ලට වැටෙනවා. හොඳ සිහිබුද්ධියෙන් ඉදිරියේ වැඩකටයුතු කරන්න. අනාගත දරු පරපුර වෙනුවෙන් අපි කටයුතු කරමු. යාළුවන්, හිතවතුන් හමුවෙන්න. ඒ අයව දැනුවත් කරන්න.