-Colombo, January 27, 2024-
(ජාතික ජන බලවේගයට අනුබද්ධ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාතර දිස්ත්‍රික් අදිටන සමුළුව)
දේශපාලනය උණුසුම් වෙමින් තිබෙනවා. ඡන්දයක් ආසන්නයේ නැතිව මේ තරම් දේශපාලන උණුසුම් වීමක් ලංකාවේ කවරදාවත් තිබ්බේ නැහැ. මෑත කාලයේ ලංකාවේ ජනතාව දේශපාලනිකව වඩාත් වැඩියෙන් අවදිවෙමින් සිටිනවා. දැනුවත් දේශපාලන සක්‍රීයතාවයට එළඹ තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට අපේ රටේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක්. ඒ අලුත් ආණ්ඩුව, අලුත් පාලනය ජාතික ජන බලවේගයේ බවට පත්කරන්න අපි හැමදෙනාම සක්‍රීයව දායක වී සිටිනවා. අපේ රට භයානක යුද්ධයක තිබුණු අවස්ථාවේ තමන්ගේ ජීවිතය ඇතුළු හැමදේම කැපකර යුද ගැටුම අවසන් කළත් එදා ඔබ අපේක්ෂා කළ, යහපත් රාජ්‍යයක හොඳින් ජීවත් වන ජනතාවක් පිළිබඳ අපේක්ෂාව මුළුමනින්ම බිඳ වට්ටලා. යුද්ධය පැවති කාලයටත් වඩා කඩාවැටුණු, ජීවත්වීම අතිශය අසීරු සහ ලෝකය ඉදිරියේ අපකීර්තිමත් රාජ්‍යයක් පවතිනවා. එයින් රට මුදා ගැනීම අපට අත්හැරිය නොහැකි වගකීමක්. බොහෝ අය කැමතියි මේ අර්බුදය සීමිත කරුණුවලට ලඝු කරන්න. ආර්ථික වශයෙන් බංකොලොත් බව ඇත්ත. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගහන බව, රැකියාවක් සොයාගත නොහැකි බව, ලැබෙන වැටුපෙන් ජීවත්වීම අසීරු බව, රට අත්හැර යාමට බලකෙරෙන බව, ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබෙන බව ආදී කරුණු ඇත්ත. නමුත් අනෙක් පැත්තෙන් නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳ වැටී අපරාධවලින් ගහන වී තිබෙනවා.
මෑතකදී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් වැලිගම පොලිස් බල ප්‍රදේශයට පැමිණි පිරිසක් වෙඩි තැබුවා. ඒ වෙඩි තබන අයට වැලිගම පොලිසියෙන් වෙඩි තැබුවා. එක් පොලිස් නිලධාරියෙකු මිය ගිහින් අනෙක් පොලිස් නිලධාරියා අසාධ්‍ය තත්වයේ සිටිනවා. අන්තිමේදී කොළඹ පොලීසියත්, වැලිගම පොලීසියත් වෙඩි තබාගෙන. මංකොල්ලකාරයෙක් වගේ පාරෙ වාහනය නතර කරන්න කීවාම නතර නොකළා කියලා නාරම්මල රියදුරෙකුට වෙඩිතබා ඝාතනය කරනවා. දානය වළඳමින් සිටි හාමුදුරුවන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කළා. බෙලිඅත්තේ පස්දෙනෙක් ඝාතනය කළ ඝාතකයන් කවුද කියා, තාමත් දන්නේ නැහැ. සෑම කෙනාගේම ජීවිතය අනාරක්ෂිතභාවයට පත් කළ අරාජිකත්වයක් නිර්මාණය වී තිබෙනවා. 1993 වගේ කාලයේත් මේ වගේ තිබී ජනාධිපති ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු ටිකක් දුරට සමනය වුණා. ඔබද මමද, අපි හැමකෙනාගේම ජීවිත ආරක්ෂාකාරී නැහැ. ආර්ථිකය කඩා වැටීම පමණක් නොවෙයි, ජනතාවගේ ජීවිත පිළිබඳ අනාරක්ෂිත තත්වයක් මත සමහර විට බලයට එන්න සැලසුම් කරනවා වෙන්න පුළුවන්. මේක බලය වෙනුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල කළ රටක් බව අමතක නොකළ යුතුයි.
කිසි පුරවැසියෙකුට රජයේ කාර්යාලයකින් කටයුතු කරගත නොහැකි මුළුමනින්ම බිඳ වැටුණු රාජ්‍ය සේවයක් තිබෙන්නේ. පොලිස්පති කෙනෙක් පත්කර ගන්න බැරිව වැඩබලන්න පත් කළ කැරට් අලයක් පෙන්ව පෙන්වා, තමන්ට ඕනෙ කටයුතු ඉටුකර ගන්නවා. නීතිය පසිඳලන තැන් පිළිබඳව අවිශ්වාසය ගොඩනැගී තිබෙනවා. අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන් ඒකරාශී වූ පවුල්වල කැත, පිළුණු දේශපාලනයක් තිබෙන්නේ. යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් අනික් දේවල් ගැන කතා කරන්න දෙයක් නැහැ. ලෝකයේ සමහර රටවල ආර්ථිකය කඩා වැටුණත් අනික් පද්ධති සාමාන්‍ය පරිදි පවතිනවා. අපේ රටේ කඩා වැටුණු මේ පද්ධතිය වෙනුවට නව පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම මිස ආණ්ඩු මාරුවක් හෝ නායක මාරුවක් වැඩක් නැහැ. මිනිසුන් හිතන මතන ආකාරය පවා වෙනස් කරන පද්ධතියක් ඕනෑ. මේ සමාජයත් එක්ක අපට ඉස්සරහට යන්න බැහැ. ආර්ථික, දේශපාලන, සමාජීය සියල්ල නව පරිවර්තනයකට ලක්කරන දේශපාලනයක් අවශ්‍යයි. අවස්ථා කිහිපයක් මෑත කාලයේ උදාවුණත් රට නඟා සිටුවීමේ දැක්මක් පාලකයන්ට තිබුණේ නැහැ. බටහිර ආධිපත්‍යයට අවුරුදු 133ක් ගොදුරු වී තිබුණු රට ස්වදේශිකයන් අතට පත්වුණාම සුද්දාට නොදෙවෙනිව රට ගොඩනගනා බවට මොනතරම් ගැඹුරු හැඟීමක් ඇත්වෙන්න ඕනෑද? අපට නොතිබුණු මේ දැක්ම ඉන්දියාවේ ගාන්ධි, නේරු, පතෙල්, සුභාෂ් චන්ද්‍රබෝස් වැනි ජාතික ව්‍යාපාරයේ නායකයන්ට තිබුණා. ඒ දැක්ම විසින් අද හඳට යන ඉන්දියාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ දැක්මෙන් අබ්දුල් කලාම් වැනි කෙනෙක් ජනාධිපති බවට පත්කළා. කුලහීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති බවට පත් කළා. ඉන්දියානු ජාතිය කියන කොඩිය යටතට සියලුම දෙනා ඒකරාශී කළා.
පුරවැසි පනත ගෙනත් කඳුකරයේ ජනතාව රටක් නැති තත්වයට පත් කළාම දෙමළ රාජ්‍ය පක්ෂය නිර්මාණය කරන්න චෙල්වනායගම් මහත්තයා ඉදිරිපත් වුණා. 1956 සිට භාෂා ප්‍රශ්නයක් ඇද ගැනීමෙන් 58 වෙනකොට සිංහල, දෙමළ කෝළාහලයක් ආවා. ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගත්තා. 1970 මැද වෙනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. 2009 යුද්ධය ඉවර කළත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කරනවා. අපේ පාලකයෝ නිර්මාණය කළේ ගැටුම් ඉතිහාසයක් වුණත් ඉන්දියාවේ පාලකයෝ නිර්මාණය කළේ ඒකාග්‍රතාවයක්. ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ඔවුන් ලියන කොට, ගැටුම්කාරී ඉතිහාසයක් අපිට ලියන්න සිදුවී තිබෙනවා.
ලෝකයේ රාජ්‍යයන් විසිවැනි සියවසේ දැවැන්ත දියුණුවක් කරා යන අතර, අපි ඒ සියවස අත්හැර දැමුවා. ලෝකයේ ඇතිවී තිබෙන නූතනත්වයට ගලපන ශ්‍රී ලංකාවක් අපට ඕනෑ. ඒ නිසා අප ඉදිරියේ තිබෙන්නේ හුදු ආණ්ඩු මාරුවක් වෙනුවට නව පරිවර්තනීය යුගයකට රට ගෙනයන නව පාලනයක්. ඒ වෙනුවෙන් ජාතිය යළි අවදි කර ජාතිය ඒකාබද්ධතාවයකට ගෙන එන්න ඕනෑ. අපි උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ 13 දෙන්නම් කියලා නොවෙයි, ෆෙඩරල් දෙන්නම් කියලා නොවෙයි. මේ ව්‍යසනයෙන් මිදීම සඳහා අපි එකතු වී සටන් කරමු කියලයි. කප්පම් දී ඡන්ද ගන්න සංස්කෘතිය වෙනුවට නව පුනරුද යුගයකට එකතු වෙන්න කියලා බලයේ සුක්කානම ජන බලවේගය අතට ගන්න ඕනෑ. අපි බලය ගන්නවා කියන්නේ ප්‍රශ්න විසඳීමේ ආරම්භය මිස අවසානය නොවෙයි. අපට විරුද්ධව එකතු විය හැකි සියලු බලවේග එක වේදිකාවකට එනවා. හදිසි අනතුරකින් කෙනෙකු මිය ගියත් එන්පීපී එක අල්ලගෙන තිබෙනවා. ඔවුන් ඒ තරමටම තැතිගැන්මට ලක්වී තිබෙනවා. ඔවුන්ගේ කැත, ත්‍රාඩ, මජර දේශපාලනය හැමදාම ගෙනියන්න පුළුවන් වෙයි කියලා ඔවුන් සිතුවා. දශක ගණනාවක් ඔවුන්ගේ අපරාධ, දූෂණ එළියට එන්න නොදී ප්‍රධාන මාධ්‍යවලින් වාරණය කර තිබුණා. දැන් සමාජ මාධ්‍ය වාරණය කරන්න හදන මහත්වරුන්ට අපි කියන්නේ “දැන් අශ්වයා ගිහින් ඉවරයි, ඉස්තාලය වහලා වැඩක් නැහැ” කියලයි. දැන් අවලාද, අපහාස, බිය ගැන්වීම්, තර්ජන එල්ලකරමින් තිබෙනවා. ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙන්නේ අවලාද, අපහාස, තර්ජන, බියගැන්වීම්වලට යටත් වෙන්න නොවෙයි කියන එක අපි අවධාරණය කරනවා. දශක ගණනාවක් බැරිකේඩ් එකේ දෙපැත්තේ තියන්න සමත්වුණු ආරක්ෂක අංශ විශ්‍රාමිකයන් සහ අපි ඔක්කෝම මෙහා පැත්තේ එකට එකතු වී සිටිනවා. බැරිකේඩ් එකෙන් එහා පැත්තේ ඔවුන් තනිවී සිටිනවා. ජනරාල්වරු, අද්මිරාල්වරු, එයාර් මාෂල්ලා, මේජර් ජනරාල්ලා, අපි එකතු වී මෙහෙම එකට හිටියාට ඔවුන් හිතුවේ හැමදාමත් ඔවුන්ගේ මල්ලේ සියල්ල තබාගන්නයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට බය වුණු අය සිඟිති ඒවා හදන්න උත්සාහ කරනවා. හැබැයි අපි හැමදාමත් කියනවා වගේ කොපිකරන්න පුළුවන් වෙයි, සමකරන්න බැහැ. මේ හැම කෙනෙක්ම ජනතාවට හොඳ ජීවිතයක්, හොඳ රටක් අපේක්ෂාවෙන් ආපු පිරිසක් මිස ඔවුන්ට පෞද්ගලික වුවමනාවන් නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, බුද්ධි අංශයේ ප්‍රධානියා, වගේ අය කලබල වෙලා ඉන්නේ. නමුත් අපි කලබල වෙන්නේ නැහැ.
තමන් මේ ව්‍යසනයෙන් මුදා ගනීවි යැයි ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් අපි කෙරෙහි තිබෙනවා. කලබල වී, බොරු වළවල්වල වැටී ඒ ජනතාවගේ බලාපොරොත්තුව අපි සුන්කරන්නේ නැහැ. කුණාටුවකට හසුවී තිබෙන මේ යාත්‍රාව හොඳම උපක්‍රම තෝරමින් ජයග්‍රහණය කරා ගෙන යන බව සහතික කරනවා. අපි අතිශයින් ප්‍රවේසම් වෙන්න ඕනෑ. වචනයක් මිස් වෙන්න බැහැ. අයි.ටී.එන්. සභාපති සුදර්ශන ගුණවර්ධන ‘සමබිම’ කියලා මාර ලිබරල් පෙනී සිටීමක් කළා. ක්‍රියමාර්ග ගත්තාම ගං කබරයෙක්. ඒ නිසා වචනයක්වත් මිස් වෙන්න අයිතියක් අපට නැහැ. අපි හැම මොහොතකදීම පපුවෙන් නොවෙයි, ඔළුවෙන් තීරණ ගන්න ඕනෑ. ඒ නිසා අපි ඉවසීමෙන් ප්‍රවේශම්කාරී ලෙස මේ ගමන යන්න ඕනෑ. ඒ සඳහා කැත, පිළුණු, ගඳ ගහන දේශපාලනය පිරිසිදු කරන්න ඕනෑ. පොදු ජනයාට එක නීතියකුත් දේශපාලකයාට තව නීතියකුත් තිබෙන තත්වය අපි වෙනස් කරන්න ඕනෑ.
සියලු බලය එක වළල්ලක් අතේ තිබෙන්නේ. ඒ සියල්ල වෙනස් කර, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕනෑ. අපේ අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් කරන්න ඕනෑ. සෑම පුරවැසියෙකුටම ආහාර වේල ලබාදෙන ක්‍රියාමාර්ග සහතික කරන්න ඕනෑ. අපි ආරම්භයේදීම පුරවැසියන්ට ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සහතික කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්වී සිටින්නේ අර්බුදය කළමනාකරණය කරන්න. අපේ පාලනයක් යටතේ අර්බුදය කළමනාකරණය කර ගනිමින් යළි මෙවැනි තත්වයක් ඇති නොවීම සඳහා නව ප්‍රවේශයකට රට ගෙනයනවා. අපරාධ සහ මත්ද්‍රව්‍යවලින් මේ රට ගලවා ගැනීමේ සැලැස්මක් අපි ක්‍රියාත්මක කරනවා. ගම්වල සිටි අය දේශපාලනඥයන්ගේ අපරාධවලට යොදා ගැනීමෙන් අපේ රටේ පාතාලය විශාල වශයෙන් වර්ධනය කළා. ජේ.ආර්. ජයවර්ධන, ගෝනවල සුනිල්ට සමාව දුන්නා. ආර්. ප්‍රේමදාස සොත්ති උපාලිව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගත්තා. චන්ද්‍රිකා කුමරතුංග බැද්දගානේ සංජීව තමාගේ ආරක්ෂක අංශයේ ප්‍රධානියාට ගත්තා. නාමල් රාජපක්ෂට ආරක්ෂාව දෙන්නේ ජුලම්පිටිය අමරේ. ඒ පාලකයන්ට ආරක්ෂක අංශවල ජෙනරාල්වරුන්ගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවී පාතාලයට බාර දුන්නා. මේ තත්වය වෙනස් කරන්න නව ජනතා නැගිටීමක්, ඒකමතියක්, නව පිබිදීමක් අපේ රටට අවශ්‍යයි. ඒ නව පුනරුදය ඇතිකිරමේ විශාලතම කාර්යභාරයක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට පැවරී තිබෙනවා. බලය ලබාගැනීමේදී මෙන්ම එයින් පසුව රට ගොඩගැනීමේදී විශාලතම කාර්යභාරයක් ඔබට පැවරී තිබෙනවා. එය හොඳින් ඉටුකරනු ඇති බව අපි හැමදෙනාටම සහතිකයි.
“පවතින දේශපාලන සංස්කෘතිය සහ ආණ්ඩු ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි” -විශ්‍රාමික අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-
ඉස්සර වගේ නොවෙයි මම දැන් කන බොන දේවල් ගැන කතා කරනවා. මගේ යාළුවෙක් ඇහුවා උඹට ලැජ්ජා නැද්ද කනබොන දේවල් ගැන කතා කරන්න. මම කිව්වා බඩට දැනෙන කොට ලැජ්ජාව කොහෙන් යනවාද දන්නේ නැහැ. මට බඩකට පුරවා ගන්න පුළුවන්. නමුත් අපි නියෝජනය කරන මේ සමාජයේ මිනිස්සු කී වේලක් බඩගින්නේ ඉන්නවාද? ඒව අපිට දැනෙනවා. ඒ නිසයි මම ඒ ගැන කතා කරන්නේ. වගකිව යුතු පුරවැසියෙක් හැටියට අපිට නිහඬව ඉන්න බැහැ. සාමාන්‍ය මිනිස්සු කන ප්‍රමාණයත් කන වේල් ප්‍රමාණයත් අඩු කරලා. මස්, මාළු, බිත්තර ගැන සාමාන්‍ය මිනිසුන්ට හිතන්නවත් බැහැ. අපි දරුවන් ඉදිරියේ, පවුල ඉදිරියේ කොතරම් අසරණ වෙලා තිබෙනවාද? මේ හා බැඳුණු තව කොතරම් ගැටලු මතුවෙනවාද? දරුවෙක් කෑමක් ඉල්ලන වෙලාවකදී ඒක ලබාදිය නොහැකි නම්, එයා හොරකමට යොමුවෙනවා. මේකත් එක්ක අපට සමාජීය ගැටලු ගොඩකට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ සමාජය මන්දපෝෂණයෙන් පෙළෙන තත්වයට පත්වෙලා. රෝගීන්ට අවශ්‍ය පරීක්ෂණයක් කර ගැනීමට, බෙහෙත් ටිකක් ගැනීමට නොහැකිව මොනතරම් අසරණ වෙලා තිබෙනවාද? සමහරු හිඟමනේ ඇවිත් බෙහෙත් තුණ්ඩුව දීල, බෙහෙත් ටික අරගෙන දෙන්න කියන තරමට අසරණ වෙලා. වැඩිහිටි පරපුර දරුවන්ට අවශ්‍ය බෙහෙත් අරගෙන දෙන්න, තමන් බෙහෙත් නොගෙන ඉන්න තැනට පත්වෙලා. තම දරුවාට අවශ්‍ය පොත්පත්, උපකරණ අරගෙන දෙන්න, ටියුෂන් පංතියකට යවා ගන්න නොහැකිව දෙමව්පියෝ දරුවන් ඉදිරියේ අසරණ වෙලා. දරුවො අධ්‍යාපනයෙන් විසිවෙලා. මේ විදිහට ගියොත්, අපට ඉදිරියේදි දකින්න ලැබෙන්නේ නූගත් පරම්පරාවක්. අපේ රටේ ඉදිරියේදි අපට ඉතිරි වෙන්නේ, මන්දපෝෂණයෙන් පෙළුණු, රෝගී වූ, නූගත් පරපුරක්. ඇයි අපට මෙහෙම වුණේ? අපේ පාලකයන්ගේ දූෂණය, වංචාව, සොරකම නිසා.
ඒ වගේම අපට දැරිය නොහැකි රාජ්‍ය වියදමක් කරන්න සිදුවී තිබෙනවා. මේ රටට නොගැලපෙන ආණ්ඩු ක්‍රමයක් නිසා, විශාල රාජ්‍ය තන්ත්‍රයක් ජනාධිපති, ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, සහ ඊටම බද්ධ වුණු විශාල රාජ්‍ය නිලධාරීන් මඬුල්ලක් පවත්වාගෙන යන්න සිදුවෙලා. මේ නිලධාරී මඬුල්ල ඔවුන් හඳුන්වා ගන්නවා ඔවුන් ප්‍රභූන් කියලා. මෙම නිල මඬුල්ල සඳහා නිල නිවාස, ඒ සඳහා විදුලි බිල්පත්, දුරකථන බිල්පත්, සහ අනෙකුත් සියලුම වියදම් රජයෙන් කරගෙන යනවා. ඔවුන්ගේ ගමන් බිමන් සඳහා අති සුඛෝපභෝගී යාන වාහන, වී 8, ලෑන්ඩ් රෝවර් වගේ වාහන. ඒ වගේම ආරක්ෂකයින් ලෙස හමුදාවෙන් පොලීසියෙන් යන පුරුදු පුහුණූ වූ නිලධාරීන් තමන්ගේ සියලුම දේවල් නැතිකරගෙන පහත් රාජකාරිවලට යොදා ගන්නවා. ඒ වගේම පාලක තන්ත්‍රයට රාජකාරි සඳහා ලොකු නිලධාරීන් මණ්ඩලයක් පත්කර ගන්නවා. මේ නිලධාරීන් තමන්ගේම නෑදෑ හිතවතුන් තමයි බඳවා ගන්නේ. 2001 මුදල් අමාත්‍යාංශ දත්තයන්ට අනුව අතිරේක අමාත්‍යවරුන් 30 දෙනෙක් සඳහා රුපියල් බිලියන 1426ක් වියදම් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් සඳහා රුපියල් බිලියන 1164ක් වැය කර තිබෙනවා. එක් අයෙකු වෙනුවෙන් දළ වියදම රුපියල් බිලියන 35යි. මේ අය නීත්‍යානුකූලව ගන්න දේවල් ලබාගෙන වංචාව, දූෂණය, හොරකමත් කරනවා.
මේ දේශපාලන සංස්කෘතිය සහ ආණ්ඩු ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි. එය වෙනස් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ඒක නිසා තමයි මේ ජාතික ව්‍යාපාරය වටා එක්රැස් වී ඉන්නේ. ඔවුන්ගේ දේශපාලන භාවිතයන් සහ ප්‍රතිපත්ති අනුව ජාතික ජන බලවේගයේ අමාත්‍යවරු සංඛ්‍යාව 25ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු අඩු ගණනක් වේවි. රාජ්‍ය ඇමති තනතුරු අනිවාර්යයෙන් නොමැති වෙනවා. මිල අධික වාහන, නිල නිවාස භාවිතා නොකරනවා ඇති. ජනතාවාදී පාලනයක් ගෙනයන බව ස්ථිරයි. ඒ නිසා අපි ඔවුන්ව බලයට පත් කිරීමට කටයුතු කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!
“ජාතික ජන බලවේගය සමග දියුණු සමාජයකට යා හැකි යැයි දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා” -විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත-
මේ වසර මැතිවරණ වසරක්. ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ ඉහළම හැකියාවක් ජාතික ජන බලවේගයට තිබෙනවා. අපේ රටේ ජාතික පිබිදීමක අවශ්‍යතාවය ගැන හැම වේදිකාවකදීම ප්‍රකාශ වුණා. මැතිවරණයක් ජයග්‍රහණය කර, රජයක් පිහිටුවන කොට ජාතික පුනර්ජීවනයක් ඇති කිරීම ඉතාමත්ම අවශ්‍යයි. අපි එවැනි දෙයක් ඉතිහාසයේ අත්විඳ නැහැ. ජාතික පිබිදීමක් ඇති කිරීමට නම් සමබර හා සාමකාමී පරිසරයක් තිබෙන්න ඕනෑ. සාමකාමී වටපිටාවක් කියන්නේ රටවල් අතර යුද්ධ හෝ ත්‍රස්තවාදී උවදුරු නොපැවතීම විතරක් නොවෙයි.
අපේ රටේ දැනට පවතින තත්වය විග්‍රහ කළහොත් දේශපාලනය සමබර නැහැ. අපේ පාර්ලිමේන්තුව සැබෑ ජනමතය නියෝජනය කරන්නේ නැහැ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් බලයට පත්වෙලා, ජනතාවට අහිතකර අණපනත් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනතාව මර්දනය කිරීමට යොදාගෙන පාලනය කිරීමක් සිදුවනවා. අපේ බහුතර ජනතාවගේ චින්තනය සාමකාමීද? පීඩනයකින් නොවයිද ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ නැතිනම්, රටේ තිබෙන්නේ මොන වගේ පරිසරයක්ද කියා ඔබ සැමට සිතා ගත හැකියි. නීතියේ ආධිපත්‍යය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්, ඒ රටේ ජනතාව තෘප්තිමත්ද? සමාජ සාධාරණත්වය කෝ? අපි සියලු දෙනාම පීඩා විඳිමින් ඉන්නවා. නමුත් බලවත් ජාවාරම්කාරයන් බදුවලින් මිදී තිබෙනවා. ඒ අයට වෙනම සැලකිල්ලක්. ජීවන වියදම ඉතාම ඉහළ තත්වයක පවතින්නේ. ණය ගැනීම හා විකිණීම හැරෙන්න වෙනම ක්‍රියාමාර්ගයක් අපට පෙනෙන්න නැහැ. එවැනි සමාජයක ජනතාව කිසිසේත් තෘප්තිමත් වන්නේ නැහැ. එවැනි අතෘප්තිමත් සමාජයකට ජාතික පුනර්ජීවනයකට අවතීරණ වෙන්න හැකියාවක් නැහැ.
ඒ සඳහා පළමුවෙන්ම ඉහත ප්‍රකාශ කළ සියල්ල සමතුළිත විය යුතුයි. පුරවැසියන්ගේ මනසේ සාමය ඇතිවන්නේ එවිටයි. පවතින රජයත් එක්ක ඉස්සරට ගිහින් අපේ සමාජය යහමගට දියුණුවේ මාවතට ළඟාවෙන්න හැකි වෙන්නේ එවිටයි. එය දවසින් දෙකකින් කළ හැක්කක් නොවෙයි. කිසියම් කාලයක් ඒ සඳහා ගත වෙනවා. චීනය 1970 දශකයේ ශ්‍රේෂ්ඨ නායක ඩෙන් ෂියාඕපිං මගින් සමාජ පුනර්ජීවනය සහ නවීකරණය කියන සංකල්පය මත ඒ මාවතට අවතීරණ වුණු රටක්. ඒ හරහා ඔවුන්ගේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත, විද්‍යාව හා තාක්ෂණය, ආරක්ෂක අංශ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට අලුත් මුහුණුවරක් දුන්නා. ඒ හරහා විකල්ප විසඳුම් සහ අදහස් සංකල්ප මගින් මුළු චීන ජාතියම නවීකරණයට ලක්කළා. ඒ අනුසාරයෙන් චීනය අද වන විට ලෝකයේ බලවත් රාජ්‍යයක් හැටියට පෙනී සිටිනවා. චීනය ලෝකයේ විශාලතම ආර්ථිකයක් තිබෙන රටක්. විශාලම අපනයන භාණ්ඩ වෙළඳපොළක් තිබෙන රටක්. එක් තීරයක්, එක් මාවතක් වැනි ජාත්‍යන්තර ව්‍යාපෘති මගින් ලෝකය කරා ගමන් කරන රටක්. ඒ පුනර්ජීවන ක්‍රියාවලිය හරහා අද වෙන විට චීනය අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය, ජනතාවගේ කැපවීම, ජනතාවගේ උද්යෝගික සම්බන්ධතාවය ලබාගත්තේ එයාලගේ දායකත්වය ලබාගත්තේ ඒ ආකාරයෙනුයි.
අපිටත් එවැනි ගමනක් යන්න අවස්ථාවක් මේ අවුරුද්දේම උදාවෙන ලකුණු පහළ වී තිබෙනවා. කලින් සඳහන් කළ ඒ ප්‍රතිපත්ති ගරුක, දැක්මකට වැඩකරන විශ්වාසවන්ත නායකත්වය සමගින් වැඩකළ හැකියි. ජාතික ජන බලවේගයේ සමස්ත රටට අවශ්‍ය කරන තත්වය ඇතිකරලා මේ ගමන යා හැකියි කියන විශ්වාසය හා අධිෂ්ඨානය සමගයි අපි මෙතනට රැස්වී සිටින්නේ. ඒ අනුව දියුණු රටක තිබෙන ශිෂ්ට සම්පන්න, දියුණු සමාජ වටපිටාවට අපට ළඟාවීමට හැකිවෙයි කියන දැඩි අධිෂ්ඨානය අපි හැමෝටම තිබෙනවා. ඒ සඳහා අධිෂ්ඨානය ඇති කර ගැනීමට වේදිකාවක් දුන්නු ජාතික ජන බලවේගයට අපි ස්තුතිවන්ත විය යුතුයි. නව චින්තනයක් හරහා මේ රට ගොඩනඟන්න, මේ ජාතික පිබිදීම තුළින් රට ගොඩනැගීමට සියලු දෙනාටම බොහෝ දේ, කැපකිරීම් කරන්න සිදුවෙනවා.
අපිට ස්වභාවික සම්පත් තිබෙනවා. ගිනිකඳු පිපිරීම් වැනි ස්වභාවික ව්‍යසන නැහැ. නමුත් අපට නිවැරදි දේශපාලන නායකත්වයක් නැති වුණා. රටේ ජනතාවට වුවමනාව තිබුණා ජාතික පිබිදීම තුළින් රට සංවර්ධන මාවතට යොමුකිරීමට. ඒ පිබිදීම තුළින් තමයි අපේ තරුණ තරුණියෝ තාප්පවල චිත්‍ර ඇන්දේ. අපේ පාලකයෝ අද රට ණය කන්දරාවක හිරකරලා, බංකොලොත් තත්වයට පත්කර තිබෙනවා. අපේ වාසනාවකට දැන් අපට සහනයක් ඉදිරියේදී ලැබෙන්න තිබෙනවා. ජාතික පිබිදීමක් සහිතව රට සංවර්ධන මාවතට යොමු කිරීමට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවමු.
“මේ දුෂ්ට දේශපාලනය නිමාකර, නව යුගයක් නිර්මාණය කරන බලවේගයක් ගොඩනැගී අවසන්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-
ජාතික ජන බලවේගයත්, එය නියෝජනය කරන අපත් තත්වයන් හඳුනාගෙන තත්වයන්ට අනුව සංවර්ධන වෙන ව්‍යාපාරයක්. අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස කටයුතු කරන අවස්ථාවේදී, සටන් විරාම ගිවිසුම් ගහන වෙලාවෙදි, සුනාමි සහන මණ්ඩලය ගෙන එන වෙලාවෙදි ඔබලා සටන් පෙරමුණුවල සිටියා. අපි දේශපාලන පෙරමුණ ලෙස සිටිමින් කටයුතු කළා. අපි යුද්ධය අවස්ථාවේදී ඒ තත්වයට අනුව වෙනස් වුණා. අපේ වෙනස්වීම තේරුම් ගන්න නොහැකි වුණු අය අර්බුදයට ගියා. සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමට සැරසුණු මොහොතේ අපිට එය තේරුම් ගත හැකි සවිඥානයක් තිබුණා. සටන් විරාම ගිවිසුම මගින් රනිල් වික්‍රමසිංහ හරහා ප්‍රභාකරන්ට තමන්ගේ ගමන යාමට හැකි තත්වයක් වර්ධනය විය හැකිව තිබුණා. ඒකට නෝර්වේ, යසුසි අකාසිලා වැනි ජාත්‍යන්තර දේශපාලනයත් පෙළ ගැසී තිබුණා. ඒක වළක්වන්න අලුත් දේශපාලනයට අනුව අලුත් වෙන්න අපිටත් සිදුවුණා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස අපි සන්ධානයකට එකතු වුණා. ඒ වගේම සුනාමි සහන මණ්ඩලය ඇවිත් තත්වයන් වෙනස් වෙනකොට ඒ අලුත් තත්වය තේරුම් අරගෙන ආණ්ඩුවේ ඇමතිකම් දාලා එළියට එන්න සිදුවුණා. ඇමතිකම් ගත්තේත් ඇමතිකම් දාලා ආවේත් දේශපාලන හේතූන් නිසා. ඒ පවතින තත්වයන්ට අනුව වෙනස් විය හැකි දේශපාලනයක් නිසා. එක තැන පල්වෙන දේශපාලනය අලුත් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔබලා සටන් පෙරමුණේ සිට කාර්යභාරයක් කරන විට සටන් පෙරමුණේදි කරන්න බැරි කාර්යයක් එදා දේශපාලන පෙරමුණේදි ජනතා විමුක්ති පෙරමුණ කළා.
යල් පැන ගිය පක්ෂ අපට වඩා අපි ගැන විග්‍රහ කරනවා. ඒගොල්ලන්ට කියන විදිහට අපි දේශපාලනය කරන්න ඕනෙ. ඒගොල්ලන්ට අනුව අපිට ව්‍යාපාරිකයන් සමග, වෙන පක්ෂ සමග, සංවිධාන සමග ගනුදෙනු කරන්න බැහැ. හමුදා, පොලීසි සමග ගනුදෙනු කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවීම කරන්න ඕනෙ එයාලා කියන විදිහට. එයාලගේ දේශපාලන ව්‍යාපාර දියාරු වී යනවා. හර්ෂ ද සිල්වාට අනුව අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ කාර්යාලයට පැමිණ අපිව හම්බ වෙනකොට ඒක වැරදියි. ජාතික ජන බලවේගයේ අපි ඉන්න ඕන විදිහ කියලා ඒ ගොල්ලෝ හදාගත් ලෝකයක් තිබෙනවා. දේශපාලනයේ ඉදිරියට යන්නේ නැති යල්පැන ගිය අය හිතන්නේ එහෙම. අපි අලුත් වෙමින් ඉදිරියට යන නිසයි ලක්ෂ ගණනින් ජනතාව එකතු වෙන්නේ. අපි මේ පටන් ගත්තා විතරයි. විශේෂයෙන්ම ආගමික නායකයින් හමුවෙන කොට ඒක ප්‍රශ්න කරනවා. අපි පන්සල් ගියත් වැරදියි, නොගියත් වැරදියි. අලුත් වෙන්න දන්නේ නැති හැමදාම ආපස්සට යන දේශපාලන පක්ෂ එහෙම බව අපි දන්නවා.
අනික් හැමෝම පොදු අරමුණක් වෙනුවෙන් එකතු වෙනවා වගේ ආරක්ෂක අංශවල විශ්‍රාමිකයන් එකතු වෙන්න ඕනෑ නැද්ද? සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සමාජ වෙනස වෙනුවෙන්, පුනර්ජීවනයක් වෙනුවෙන් ඒගොල්ලන්ගේ රෙදි ගලවන කොට පාර්ලිමේන්තුවේ අණපනත් ගෙනත් මර්දනය කරන්න උත්සාහ කරනවා. පොලීසිය බලා ඉන්දදී කොල්ලුපිටියේ සාමකාමී උද්ඝෝෂකයන් දස දෙනෙකුට විතර ගැහුව මුහුණු බැඳගත්ත කට්ටිය කවුද? ඔය මුහුණු බැඳගෙන ආවේ පොලීසියේ වැඩකරන අය නම්, ඉතාමත් සහොදරත්වයෙන් ඉල්ලන්නේ කරුණාකර ඔය වැඩේ නවත්වන්න කියලයි. සමාජයේ මුළු අනාගතයක් බලාපොරොත්තු වෙන හීන නැතිකරන්න දායක වෙන්න එපා. මේ දුෂ්ට දේශපාලනය නිමාකර, නව යුගයක් නිර්මාණය කරන බලවේගයක් ගොඩනැගී අවසන්. බයවුණු නායකයෝ පාර්ලිමේන්තුවෙන් නීති හදාගත්තාට මහපොළොවේ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ යුගය අවසන්.
හැම පවුලකම සාමාජිකයෙක් ජාතික ජන බලවේගයේ කුමන හෝ සංවිධානයක සාමාජිකයෙක් වී අවසන්. කාන්තාවන්, තරුණයන්, ශිෂ්‍යයන්, සහ ගොවියන්, ධීවරයන් වශයෙන් වගේම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය වගේම සංවිධානය වී අවසන්. ඒ නිසා අලුත් යුගයක් වෙනුවෙන් පක්ෂ පාට පැත්තකින් තියලා එකතු වෙන්න කියලා බොහොම සහෝදරත්වයෙන් ඉල්ලනවා. ජයග්‍රහණය තෙක් මේ ගමන අධිෂ්ඨානයෙන් ඉදිරියට යන්න තවදුරටත් සංවිධානය වෙමු.
“මනුෂ්‍යත්වය අගය කරන හොඳ හදවත් ඇති මිනිසුන් අප වටා ඒකරාශී වී සිටිනවා” -විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-
අපි අපේ රාජකාරිය පටන් ගත්තේ ගමනාන්තයක්, විශ්වාසයක්, කවදා ඉවර කරන්න පුළුවන් වෙයිද, වගේ කිසිම දෙයක් දන්නේ නැතිව. රටේ දේශපාලන තත්වය ශ්‍රී ලංකාවාසීන්ට පැහැදිලි කර දෙන්න ජාතික ජන බලවේගයෙන් දැන් අවුරුදු පහකට ආසන්න කාලයක් උත්සාහ ගත්තා. දේශපාලකයන් බව කියාගත් විශ්‍රාමිකයන් කොටසක් රටේ මහජනතාව තමන්ගේ ආධිපත්‍යය යට තබාගනිමින් රට බංකොලොත් කළා. අපිට මිලිටරි සයන්ස් කියනවා වගේ පොලිටිකල් සයන්ස් එකක් තිබෙනවා. නමුත් අපි පසුගිය කාලය පුරාම කොල, නිල් වශයෙන් තෝරා යවා තිබෙන්නේ දේශපාලකයන් නොව, කප්පම්කාරයෝ, හෙැරු, අපරාධකාරයෝ, බහුතරයක්. ඔවුන් පාර්ලිමේන්තු ගිහින් අපිවත් විනාශ කර, මුළු රටම විනාශ කළා. එදත් කොන්දක් තිබුණු අදත් කොන්දක් තිබෙන මේ විශ්‍රාමිකයන් ජාතික ජන බලවේගය කියන කොන්දක් තිබෙන දේශපාලන ව්‍යාපාරය වටා එකතු වී සිටිනවා. හරි දේ වැරදි දේ මොකක්ද කියලා ජාතික ජන බලවේගය කෙලින් කියා දෙනවා. ඒ වගේම විද්වත්, ගුණවත්, හරවත් පුද්ගලයින් සිටින එකම දේශපාලන ව්‍යාපාරයත් ජාතික ජන බලවේගය පමණයි. ඔවුන් ආබාධිත සොල්දාදුවන්වන්, සොල්දාදුවන් මාකට් කළේ නැහැ. රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ ආරක්ෂක අංශ පැති දෙකකට දාලා ප්‍රභූ පෙළැන්තියේ දේශපාලනයේ පැවැත්මට යොදා ගත්තා. නැවත ඒ වෙන්කිරීම කරන්න ලැබෙන්නේ නැහැ. අදිටනෙන් හොඳ අඩිතාලමක් දමා තිබෙනවා.
අවුරුදු 25කට කලින් අපි කොහෙද යන්නේ කියා දැනෙගන සිටියේ නැහැ. නමුත් අපි දැන් දන්නවා යන්නේ කොහෙටද කියලා. පාර්ලිමේන්තුවේ, වේදිකාවේ, මහපාරේ උද්ඝෝෂණවලදී නැත්නම් සාකච්ඡාවලදී බොරු ප්‍රචාර බිඳගෙන ඇත්ත අවබෝධ කරදෙන්න උත්සාහ කළා. අපි උපායමාර්ගික සැලසුම් සකස් කරනවා වගේ බොරු තාප්පවලින් ඉදිරියට ගිහින් මහා ජන කොටසක් වශයෙන් ඉදිරියට යමින් සිටිනවා. අදත් ජනතාව මුලා කරන්න පාලකයන් බොරු කියනවා. හෙටත් ඒකමයි කරන්නේ ඔවුන්ට ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයයි. හොඳ දැක්මක් හොඳ විශ්වාසයක්, අධිෂ්ඨානයත් එක්ක අපි මේ එකතු වී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න පෙරටම යන්නේ. යුද්ධය අවසන් කර, අවුරුදු 15ක් සම්පූර්ණ වෙන්න ආසන්නයි. මේ කාලය තුළ පස් අවුරුදු සැලසුම් තුනක් ක්‍රියාත්මක කළ හැකිව තිබුණා. හැමදාම අපිව භේද කර, ඔවුන් එකතු වී රටේ අනාගතය විනාශ කළා. මේ වසරේ පවත්වන ඡන්දයෙන් රජයක් පිහිටුවලා රටේ පිබිදීම ඇති කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ඉදිරි ඡන්ද ව්‍යාපාරයේදිත් ඔවුන් කැමති භීෂණය පෙන්වයි. නාඳුනන තුවක්කුකරුවන් පෙන්වයි. ඒ වගේම දිව්‍ය ලෝක පෙන්වයි. අපි ඒවාට කලබල වෙන්න, බය වෙන්න කිසිම අවශයතාවයක් නැහැ. ඉදිරි මාස හය ඇතුළත හැමතැනම බිල්ලොත් මවන්න උත්සාහ කරනවා.
ඔය කාටවත් අපිට බොරු කරන්න බැහැ. ඔවුන් මොනවාද කරන්නේ කියලත් අපි මොනවා ද කරන්නේ කියලත් අපි හොඳින්ම දන්නවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට හැමෝම එන ලෙස ආරාධනා කරනවා. ජාතික ජන බලවේගයේ මහජන රජයක් ගොඩනැගූ පසු අපි වගකියන්නේ මහජනතාවට. මනුෂ්‍යත්වය අගය කරන කොන්ද කෙලින් තියාගෙන වැඩකරන, හොඳ හදවත් තිබෙන මිනිසුන් අප වටා ඒකරාශී වී සිටිනවා. මිනිස් වටිනාකම තෝරාගත්තාම ස්වාභාවික සම්පත්වලින් දියුණුව කරා යන්න පුළුවන්. සතර දිග්භාගයේ හැම තැනින්ම තව තවත් එකතුවෙමින් සිටිනවා. එළඹෙන ඡන්දයෙන් ඉතාම දීප්තිමත් අනාගතයක් මගේ දරුවන්ටත් ඔබේ දරුවන්ටත් ගොඩනඟා දෙමු.