(-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.09.07-)
ජාතික ජන බලවේගයට එරෙහිව මඩ, අවලාද සහ ද්වේශසහගත කුමන්ත්‍රණ රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජාතික ජන බලවේගයට සම්බන්ධ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට එරෙහිව සැලසුම් කර තිබෙන කුමන්ත්‍රණවල කොටස් දිනපතා සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහරිමින් තිබෙනවා. ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ආරම්භ කළ අවස්ථාවේ සිටම මෙම විවිධ මඩ, අවලාද දියත් කිරීම ආරම්භ කෙරුණා. ඒ වාගේම ආණ්ඩුව රාජ්‍ය බලය යොදවමින්, මෙම සාමූහිකයේ ප්‍රධානීන් සම්බන්ධයෙන් අසාදු ලේඛනගත කිරීම වැනි විවිධ ක්‍රියාමාර්ග ගත්තා. නමුත්, ඒ කිසිදු ක්‍රියාමාර්ගයකින් මේ සංවිධානයේ කටයුතු අඩපණ කරන්න ඔවුන්ට හැකි වූයේ නැහැ. මේ වන විට 50,000ක පමණ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මේ ව්‍යාපාරය වටා එක් වී ජාතික ජන බලවේගයට ශක්තියක් වෙමින් සිටිනවා. තමන්ගේ අත්දැකීම්, දැනුම මේ බිමේ තහවුරු කළ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරමින් සිටීම දරාගත නොහැකි වී සිටින ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම් සහ සමගි ජන බලවේගයේ කණ්ඩායම් ද්වේෂසහගත මඩ ප්‍රචාර දියත් කරමින් සිටිනවා. එය බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව මුල සිටම අස්ථාවරත්වය, සැකය ඇති කළා සේ ම ජනාධිපතිවරණය අවසාන අදියරේ දීත් විවිධ සැකයන් සහ භීතීන් ඇති කිරීම සඳහා මඩ ප්‍රචාර උපයෝගී කර ගැනීම බරපතළ තත්වයක්. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අගතීන් කිරීමේ අරමුණින් මෙම අසත්‍ය සහ මඩ, අවලාද ප්‍රචාරය කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියා කරන ආණ්ඩුව සහ ඔවුන් වැනිම අනෙකුත් කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාර සියල්ල බැහැර කරනවා. අප ප්‍රතිපත්තිගරුකව දේශපාලනය කරමින් යන ආකාරය ප්‍රායෝගිකව තහවුරු කර තිබෙනවා. බලය ගිලිහී යාමේ නියත තත්වය හමුවේ ගෙන යන බියගුලු, කුමන්ත්‍රණාකාරී ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වාගේම ඔවුන්ගේ කුමන්ත්‍රණ හමුවේ ජනතාවගේ ස්වාධීන දේශපාලන මතයට බලපෑම් කළ නොහැකි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණ පරාජය කරන බවත් අපි අවධාරණය කරනවා. නීත්‍යනුකූලව අපට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අපේ නීතිඥ කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගය සහ එහි ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටිනවා.
“කුමන්ත්‍රණකාරී ප්‍රචාරවලින් ජනමතය වෙනස් කළ නොහැකි බව අවධාරණය කරනවා”
-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර-
ඉතාමත් දරුණු සහ බරපතළ ලෙස ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය සම්බන්ධ කරමින්, ගෙන යන කුමන්ත්‍රණකාරී ප්‍රචාරවලින් ජාතික ජන බලවේගය කෙරෙහි පවතින ජනමතය දශමයකින් හෝ වෙනස් කළ නොහැකි බව අවධාරණය කරනවා. ඒ වාගේම අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ක්‍රියාකාරීත්වය අඩපණ කළ නොහැකි බවත් අවධාරණය කරනවා. විශේෂයෙන්ම ව්‍යාජ ලෙස සකස් කර අපේ අත්සන් යොදමින්, දරුණු ගණයේ ව්‍යාජ ලිපි සමාජ මාධ්‍යවලට මුදාහැර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂය, මගේ නම සහ අත්සන යොදා ගනිමින්, ප්‍රචාරය කර තිබෙනවා. ජාතික ජන බලවේගයට එරෙහිව මඩ, අවලාද ප්‍රචාරය කරන අය පිළිබඳව තොරතුරු දන්වන ලෙස දුරකථන අංක ඒ ලිපියේ පළ කර තිබුණා. අප ප්‍රතිපත්තිගරුකව, ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යනුකූලව, බුද්ධිමත්ව සහ අවබෝධයකින් ක්‍රියා කරන බව සමස්ත ජනතාවම දන්නවා. ජාතික ජන බලවේගයේ මැතිවරණ ක්‍රියාවලිය සඳහා ආරක්‍ෂක කමිටුවක් පත් කර ගන්නා බව ලිපි ශීර්ෂය සහ අනුර දිසානායක මහතාගේ අත්සන යොදා ගත් ව්‍යාජ ලිපියක්ද දින කිහිපයකට පෙර මුදාහැර තිබුණා. ශානි අබේසේකර සහ මගේ නම අතරට ත්‍රස්තවාදී කණ්ඩායමක පුද්ගලයකුගේ නමක් මෙන්ම අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වී සිටි සන්නද්ධ නායකයකුගේ නමත් පළ කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයකුගේ නමකුත්, සිවිල් ක්‍රියාකාරිකයකුගේ නමකුත් ඇතුළත් කර තිබුණා. ඒ වාගේම සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට එරෙහිව න්‍යාය පත්‍රයක් සකස් කර තිබූ අතර, ඔවුන්ගේ වේදිකාවල ප්‍රහාර එල්ල කළ යුතු ප්‍රමුඛතා ලේඛනයක් සකස් කර තිබුණා. මාධ්‍ය හමුවලදී මෙන්ම වෙනත් මත පළ කිරීම්වලදී ප්‍රහාර එල්ල කළ යුතු ආකාරය සවිස්තරව දක්වා තිබුණා.
අනෙකුත් ජනාධිපති අපේක්‍ෂකයන්ගේ වේදිකා මත ඔවුන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරනවා වෙනුවට ජාතික ජන බලවේගයට එරෙහිව අවලාද නැඟීම විශාල වශයෙන් සිදු කරනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ‘අදිටන’ ටී ෂර්ට් එකක් නිර්මාණය කර අගෝස්තු 04 වැනිදා සමුළුවට යොදා ගත්තා. මේ ටී ෂර්ට් එක භාවිත කරමින්, ‘අදිටන’ට සම්බන්ධ නැති විශ්‍රාමික හමුදා සාමාජිකයන් යොදාගෙන ද්වේෂසහගත, අසත්‍ය ප්‍රකාශ එල්ල කරන බව සමාජ මාධ්‍යවලින් පැහැදිලි වෙනවා. අපි අදිටන සමුළුවට සහභාගී වන ලෙසට මාසයකට පමණ පෙර සිට පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. එසේ එක් වූ විශ්‍රාමික හමුදා සාමාජිකයකුගේ ප්‍රකාශයක් ‘ඒ.අයි.’ තාක්‍ෂණය යොදා ගනිමින්, හඬ කවා සම්පූර්ණයෙන්ම විකෘති කර සමාජ මාධ්‍යවලට මුදාහැර තිබුණා. අපේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අගෝස්තු මාසයේ 04 වැනිදා ලිඛිතව සහ වාචිකව වගකීමෙන් ඉදිරිපත් කර තිබෙනවා. විකෘති කර හඬකැවූ ඒ වීඩියෝව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට සහ මැතිවරණ කටයුතු වෙනුවෙන් පත් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළා. අගෝස්තු 04 වැනිදා පැවැති ජාතික සමුළුවේ රූපරාමු යොදා ගනිමින් කළ මේ ක්‍රියාව සම්බන්ධයෙන් අපි සම්පූර්ණ විමර්ශනයක් සිදු කළා. ඉදිරියේ දීත් මීට වඩා අසත්‍ය සහ දරුණු ප්‍රචාර පෞද්ගලිකව අපටත්, ත්‍රිවිධ හමුදා සාමුහිකයටත්, ජාතික ජන බලවේගයටත් සමාජ මාධ්‍ය යොදා ගනිමින් ඉදිරියේ දී කළ හැකියි. මේ සම්බන්ධයෙන් ඉතාමත් බුද්ධිමත්ව අපගෙන් විමසීම් කර නිවැරදි අවබෝධයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ම 18 වැනිදායින් පසුව අපේ ටී ෂර්ට් එක කිසිසේත්ම භාවිත කරන්නේ නැති බවත් අවධාරණය කරනවා.
“‘අදිටන’ සාමාජිකයන් කටයුතු කරන්නේ විනයකින් සහ පරිණත දේශපාලන දැනුමකින්”
-‘අදිටන’ සාමූහිකයේ ප්‍රධාන මෙහෙයුම් කමිටු සාමාජික, නාවික හමුදා විශ්‍රාමික කොමදෝරු සේනක හංවැල්ල-
‘අදිටන’ කියන්නේ විනයගරුක සහ හොඳ සංවිධාන ශක්තියක් තිබෙන ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්ක දක්වා දිස්ත්‍රික්ක 20ක් පුරා ක්‍රියාත්මක වෙන සංවිධානයක්. දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාන කමිටුව, ආසන සංවිධායකවරු මෙන්ම සහාය සංවිධායකවරයෙක් සහිතව මනා පරිපාලනයකින් මෙන්ම අවබෝධයකින් යුතුව ක්‍රියා කරමින් සිටිනවා. අපේ සාමාජිකයන් ඉතාමත් විනයකින්, සංයමයකින් සහ පරිණත දේශපාලන දැනුමකින් යුතුව කටයුතු කරනවා. ඒ වාගේම අප සාමාජිකයන්ගේ දේශපාලන සාක්‍ෂරතාව දවසින් දවස වැඩි කරන්න වාගේම අපි අපේක්‍ෂා කරන සමාජ පරිවර්තනය සිදු කරන්න කරුණු අවබෝධ කර දීම සඳහා වසර දෙකක් කැප වී ක්‍රියා කළා. ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ පසුගිය අගෝස්තු 04 වැනිදා ජාතික මට්ටමින් සමුළුවත් පැවැත්වූවා. ඒ අතරේ රැස්වීම් දහස් ගණනක් පවත්වා තිබෙනවා. ආසන සමුළුවලදී අපේ සාමාජිකයන් අවම වශයෙන් හතර පස් දෙනකුවත් කතා කරනවා. ‘ස්මාට් පොලිටික්ස්’ කියන සංකල්පය අනුව වෙනත් අයට මඩ නොගහා අපේ මතවාද පැහැදිලි කරමින්, අනෙක් අයගේ නම් නොකියා ඒ වාගේම වෙනත් දේශපාලන ධාරාවලට සම්බන්ධ වී සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ චරිත අපකීර්තියට පත් නොවන අයුරින් කටයුතු කරනවා. ‘ස්මාට් පොලිටික්ස්’ සංකල්පය ජාතික ජන බලවේගයේ වාගේම ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ අපි ඉතා හොඳින් ක්‍රියාත්මක කරමින් සිටිනවා.
වෙනත් වේදිකාවලදී අපට නඟන අවලාද සහ චෝදනා පිළිබඳව මහජනතාව අසනවා, දකිනවා ඇති. නමුත්, ඉතාමත් පහත් ගණයේ දේශපාලනයක් කිරීමේ අදහසක් අපට නැහැ. අපට විශ්‍රාමිකයන් හැටියට දේශපාලනය කිරීමේ සම්පූර්ණ අයිතියක් නීත්‍යනුකූලව තිබෙනවා. ඒ වාගේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම අපට අලුත් දෙයක් නොවෙයි. අපේ රාජකාරීමය ලෙස හමුදා ජීවිතය පුරාම කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමයි. ඒ තුළින් ජාතික ජන බලවේගයට විශාල ශක්තියක් ලබා දෙන්න අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය සමත් වී සිටිනවා. වෛද්‍යරුන්, නීතිඥවරුන්, ගුරුවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවල රැකියා කරන විශ්‍රාමික කණ්ඩායම් බහුතරයක් ජාතික ජන බලවේගයට එක් වී ක්‍රියා කරනවා.
අපේ ප්‍රචාරණ කටයුතු ප්‍රවර්ධනය කර ගැනීම සඳහා භාවිත කරන එක මෙවලමක් තමයි, අපේ ටී ෂර්ට් එක. ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙන ටී ෂර්ට් එකත් ඒ වාගේ ආකර්ෂණීයයි. අදිටන ටී ෂර්ට් එක ප්‍රචාරක කටයුතුවලට යොදා ගත්තා මිස එය කිසිදු ආකාරයක නිල ඇඳුමක් නොවෙයි. ඒ වාගේම අපි අවධාරණය කරනවා ලබන 18 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසුව අපේ කිසිම සාමාජිකයෙක් මේ ටී ෂර්ට් එක අඳින්නේ නැහැ. අදිටන සහ ජාතික ජන බලවේගයේ ටී ෂර්ට් ඇඳගෙන අපේ දේශපාලන ව්‍යාපාරය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් අපට සතුරු දේශපාලන ප්‍රවාහ විවිධ සැලැසුම් කර ඇති බවට තොරතුරු ලැබී පවතිනවා.
අවසාන වශයෙන් රටේ ආදරණීය ජනතාවගෙන් අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකය ලෙස අප අවුරුදු හැත්තෑහයකට පසු ජනතාවාදී පාලනයක් වෙනුවෙන් මහත් අපේක්‍ෂාවෙන් පෙළගැසී සිටින ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට පණිවුඩයක් සහ සහතිකයක් ලබා දෙනවා. අදිටන සාමාජිකයන් සියලුම දෙනා කටයුතු කරන්නේ විධිමත් නායකත්ව මණ්ඩලයක් තුළින් වන බවත්, 22 වැනි දින උදෑසන ජනතාව අසන සමාජ පරිවර්තනය ආරම්භයේ සුබදායක පණිවුඩය සමඟ සාමකාමීව කටයුතු කරන බව ජනතාවටත්, රටටත් සහතික වෙනවා.