1948දී ආසියාවේ ප්‍රබලම ආර්ථිකයකට හිමිකම් කියපු ලංකාව අද ආසියාවේ බංකොලොත් රටක් බවට පත්වී ඇති බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසයි.
හෙතෙම මේ අදහස් පළ කළේ ආර්ථික කවුන්සිලයේ රැස්වීමකට සහභාගි වෙමිනි.
එහිදී මහාචාර්යවරයා මෙසේද කීය.
1948 ඉඳලා මේ වෙනකල් ඉදිරිපත් කළ අය-වැය ඔබ කියවලා බැලුවොත් ඔබ ලංකාව ගැන හරි හැටි නොදන්න කෙනෙක් නම් ඔබ හිතන්නේ මේක කේතුමතී රාජ්‍යයක් කියලා. එතරම් ලස්සන යෝජනා අදහස් අය-වැය වාර්තාවල තිබුණා. ඒ නිසා මම කියන්න කැමැතියි අපිට අද ඕනෑ ලස්සන අදහස් පිරිච්ච අය-වැය පොත් පිංචක් නෙවෙයි. මේක ඉතාමත් තීරණාත්මක මොහොතක්. අනාගතේ ඉපදෙන දරුවටත් තීරණාත්මකයි. අපේ තාත්තලා පුංචි කාලේ කියපු මේ රට දියුණු වෙමින් පවතින රටක් කියන කාරණය අපි අද අපේ දරුවන්ටත් කියනවා.
අය-වැයක ප්‍රධාන අරමුණ තමයි ලබන වසරේදී සංවර්ධනයේ අරමුණු සහ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් අපේ වගේ රටවල්වල මහජන මුදල් රැස් කරන්නේ කොහොමද සහ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සේවා සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ යම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම. නමුත් අද අපේ රටේ තත්ත්වය අනුව අය-වැය ලේඛනයෙන් ඊට එහා ගිය පරමාර්ථයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි නිෂ්පාදනය බිඳවැටෙමින් යෑම. අනෙක් කාරණය ඩොලර් හිඟකම. ඒ ඔස්සේ උද්ධමනය වැඩිවෙමින් යනවා. තවත් කරුණු ගණනාවක් සිදුවෙමින් යනවා. අපේ විදේශ සංචිත ඝෘණ වෙලා. මේ අය-වැයෙන් මේවට උත්තර තියෙනවාද? එහෙම කිසිම උත්සාහයක් දකින්න නැහැ. ඒවා කළමනාකරණය කරනවා නම් අය-වැයක දකින්න පුළුවන් ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. අනෙක ආදායම් වියදම් (පිස්කල්) ප්‍රතිපත්තිය. බදු ආදායම් ලබාගෙන ඒවා අවශ්‍ය තැන්වලට යොදා ගැනීම පැහැදිලිව සඳහන් කළ යුතුයි. එහෙම දේවල් මෙවර අය-වැයේ නැහැ. අපිට පේන්න තියෙන්නේ සාම්ප්‍රදායිකව ආපු ගමනම ඉදිරියට යෑමක්. තවත් වසරක් ඉදිරියට යන්න මුදල් ටිකක් හොයාගන්න මොනවා හරි කිරීමක් විතරයි දකින්න තියෙන්නේ. ඒකට තමයි රාජ්‍ය ආයතන ටිකත් විකුණන්න හදන්නේ වෙන වෙන වචන දාලා.
ඔබ මේ වනවිටත් දන්නවා අපේ රට පාලනය කරන්නේ, අය-වැය හදන්නේ ඉතාම දූෂිත කණ්ඩායමක් කියලා. දූෂිත කණ්ඩායමක් විසින් සකස් කරන අය-වැයක තාක්ෂණික කාරණා අය-වැයට ඵලදායි වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කිරීම ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඔවුන් මේ අය-වැය සකස් කරන්නේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්න මිසක් ආර්ථිකය දියුණු කරන්න නෙවෙයි. නමුත් අපි හිතමු දූෂිත නොවන ඇත්ත වුවමනාව තියෙන කණ්ඩායමක් හදන අය-වැයක් කියලා. ඒකෙත් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් එවැනි අය-වැයක් ගැන සාකච්ඡා කිරීම වැදගත් දෙයක් වෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනෑ.
අපේ මහාචාර්යතුමා කිව්වා අය-වැයෙන් මැච් එක ගහන්න පුළුවන් විධියට පිටිය හදාගන්න ඕනෑ කියලා. නමුත් පිටිය හදාගත්තත් මැච් එක ගහන්න කට්ටිය ඉන්නවද? රනිල් එක්ක, මහින්ද එක්ක, සජිත් එක්ක මේ මැච් එක ගහන්න බෑ. ඒ නිසා අපේ රටේ ජනතාවට කියනවා මැච් එක ගහන්න පුළුවන් හොඳම කණ්ඩායම තෝරගන්න කියලා.
අපි ආවාම අපිට කරන්න පුළුවන් දේ මාස 06න් කරලා පෙන්වනවා. නමුත් අවුරුදු 75ක් කාලා විනාශ කරපු රට මාස 06න් හදන්න පුළුවන්ද කියලා අපෙන් අහන්න එපා. නමුත් ඒ මාස 06 ඇතුළේ වංචාව, දූෂණය, නාස්තිය නතර කරලා පෙන්වනවා. නිවැරදි තීරණ ගන්න කියන රනිල් ජනාධිපති වැය ශීර්ෂය අඩු කළාද? එහෙම කළේ නැහැ. ජනාධිපති වැය ශීර්ෂය 50%කින් අඩු කරලා පෙන්නුවා නම් ඔන්න ඒක නිවැරදි තීරණයක්. ඇමැති මණ්ඩලේ වියදම් අඩු කරලා පෙන්නනවා. නිල නිවාස වියදම් අඩු කරනවා. මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. එහෙම කිව්ව නම් අහසට ගිය අය-වැය පොඩ්ඩක් පොළවට බර වෙන්න තිබුණා. ආරක්ෂක වියදම් වැඩි කරගෙන තියෙනවා. නමුත් වියදම් කරන්න සල්ලි තියෙනවාද දන්නේ නැහැ.
– අනුරාධා හේරත් (මව්බිම)