Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ඇමතිවරුන්ගේ බිල්පත් සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් ගෙවන්නේ පාර්ලිමේන්තු අනුමැතියක් පවා නොමැතිවයි” -ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා-

(-2024.04.04 – ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ මාධ්‍ය හමුව-)

විගණකාධිපතිවරයා විසින් රජයේ මූල්‍ය අවභාවිතාව පිළිබඳ කරුණු විශාල ප්‍රමාණයක් හෙළි කර තිබෙනවා. රට අගාධයට වැටී මහජනතාවට ජීවිත පවත්වාගෙන යා නොහැකි වී තිබෙන කාලයකත් මහජනතාව නොදත් තොරතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම් ප්‍රමාණයක් මේ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිකරනවා. ලංකාවේ විශාලතම වියදම් සිදුකරන්නේ රජයේ දෙපාර්තමේන්තු ඇතුළු මහා භාණ්ඩාගාරයේ යැපෙන ආයතනවලින්. රජයේ මහා භාණ්ඩාගාරය ජනතාවගෙන් බදු මුදල් එකතු කළ පළියට හිතුමතේ වියදම් කරන්න අයිතියක් නැහැ. අදාළ වියදම් සිදුකළ යුත්තේ අයවැය සම්බන්ධයෙන් පවතින විධිමත් ක්‍රියාවලියට අනුවයි. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරන වියදම් ඇස්තමේන්තුවලින් සමස්ත රජයේ අයවැය ලේඛනය සකස් කර, පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවා. මුදල් ලබාදෙන්නේ අයවැය මගින් අනුමත වියදම් ඇස්තමේන්තුවක් සඳහා පමණයි.

ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම් පත්කර සිටින්නේ අනුමත වියදම් ශීර්ෂවලට අදාළව කටයුතු කරනවාද යන්න තහවුරු කිරීමටයි. නමුත් ලංකාවේ අනුමත කළ අයවැයට අනුව වියදම් ක්‍රියාවලිය සිදුනොකළ බව දිගටම දකින්න ලැබෙනවා. මේ ක්‍රියාවලිය එක පැත්තකින් රාජ්‍ය දේපළ අවභාවිතයක් වන අතර, පොදු දේපළ පනත ඇතුළු නීතිමය විධිවිධානවලට එරෙහිව කටයුතු කිරීමක්. මේ ආකාරයෙන් නීති විරෝධීව අමාත්‍යවරුන් සහ අමාත්‍ය ලේකම්වරුන් කාලයක් පුරා සිදුකරන මූල්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රමාණයක් හෙළිකරනවා. අමාත්‍යවරයාගේ නිල වාහන, පෞද්ගලික කාර්ය මණ්ඩලය, ඉන්ධන සහ දුරකථන වියදම් දීමනා ඇතුළු වරප්‍රසාද වියදම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත් කරන චක්‍රලේඛයක් මගින් පාලනය කෙරෙනවා. මේ ආකාරයෙන් කැප්පෙටිපොළ මාවතේ තිබෙන අමාත්‍යාංශ නිල නිවාසවල පාවිච්චි කරන විදුලිය, ජලය ඇතුළු බිල්පත් අදාළ ඇමතිවරයා විසින්ම මුලදී ගෙවීම් සිදුකළත් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් මගින් ඇමතිවරයාගෙන් රුපියල් දහසක මුදලක් අයකරගෙන ඉතිරිය අමාත්‍යාංශයෙන් ගෙවන්න අනුමැති ලබා ගත්තා. ඒ කැබිනට් සංදේශයේම ආරක්ෂක තත්වය යහපත් වූ පසු මුළු බිල්පතම ඇමතිවරයා විසින් ගෙවිය යුතු බවත් සඳහන් කර තිබුණා. නමුත් 2010දී රාජ්‍ය පරිපාලන ඇමතිවරයා නැවත කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර, නිල නිවාස ලබාගෙන නොමැති ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ නිවාසවල ජලය සහ විදුලිය බිල්පත් අමාත්‍යාංශයෙන්ම ගෙවීමට අනුමැතිය ලබා ගත්තා.

ඊට අමතරව ඇමතිවරුන්ගේ මේ බිල්පත් ඔවුන්ගේ මුදලින් ගෙවා එය ආවරණය කර ගැනීමට විශේෂ දීමනාවක් ලබා දීමේ කැබිනට් සංදේශයක් මුදල් ඇමතිගේ අනුමැතියෙන් ඉදිරිපත් කළා. ඒ අනුව ජල සහ විදුලි බිල්පත් අමාත්‍ය කාර්යාලයට යවා අමාත්‍යාංශ වියදම්වලින් එම සියලු බිල්පත් ගෙවීමට අවස්ථාව සලසාගෙන තිබෙනවා. අද වෙනකොට ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු යන සියලු දෙනාගේ විදුලිය, ජලය සහ වෙනත් සනීපාරක්ෂක සේවා බිල්පත් නීති විරෝධී ලෙස මහජන මුදලින් ගෙවමින් සිටිනවා. මේ බිල් ගෙවීම පිළිබඳ තොරතුරු, තොරතුරු පනත යටතේ අපි ලබාගෙන තිබෙනවා. නිදර්ශනයක් වශයෙන් නාගරික සහ නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ බිල් ගෙවීම පිළිබඳ විස්තර ඉදිරිපත් කළ හැකියි. ජල බිල, විදුලි බිල, නිවාසයේ ආරක්ෂක සහ සනීපාරක්ෂක සේවා සඳහා වියදම් ලබාගෙන තිබෙනවා. ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශයෙන් රජයේ ආරක්ෂක අංශ යොදවා ආරක්ෂාව ලබාදී තිබියෙදී පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය ලබාගැනීම වෙනුවෙන් මේ ඇමතිවරයා මාසිකව රුපියල් 94,054ක් වැය කරමින් සිටිනවා. ඊට අමතරව ඔහුගේ සනීපාරක්ෂක සේවා සඳහා රුපියල් 80,000කට වැඩි මුදලක් අමාත්‍යාංශයෙන් ගෙවනවා. ඔහුගේ සියලු පෞද්ගලික වියදම් ලෙස මාසයක් සඳහා අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ගෙවා දමනවා.
ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහින්ද අමරවීර ඇමතිවරයාගේ ජල සහ විදුලි බිල රුපියල් ලක්ෂය ඉක්මවා මාසිකව ගෙවනවා. ටී.බී. හේරත් රාජ්‍ය ඇමති සහ මොහාන්ද සිල්වා යන රාජ්‍ය ඇමතිවරු දෙදෙනාගේ බිල්පත් මහජන මුදලින් ගෙවනවා. ක්‍රීඩා රාජ්‍ය ඇමති, රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමති ආදී වශයෙන් මහජන මුදලින් බිල්පත් ගෙවා දමමින් සිටිනවා. මියගිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා ඒ ආකාරයෙන්ම ගෙවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ ඍජුව වගකීම් බාරගන්නේ නැහැ. පසුගිය කාලයේ පැවැති ආණ්ඩු සියල්ලකම ඇමතිවරුන් මේ ආකාරයෙන් ක්‍රියාකර තිබෙනවා.

ජනතාව ඉතා අසීරුවෙන් ජීවත් වෙන නිසා හාල් කිලෝ 10ක් ලබාදීමේ ව්‍යාපෘතියක් පටන්ගෙන තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ට මාසයකට සහල් කිලෝ 10ක් ලබාදෙන අතර, ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ සනීපාරක්ෂක බිල ලෙස රුපියල් 80,000 ඉක්මවා ගෙවනවා. ඒ වගේම පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීම සඳහා දවසකට රුපියල් 110ක් බැගින් මාසයකට රුපියල් 2420ක් වැය කරමින් සිටියෙදී පාර්ලිමේන්තු අනුමැතියක් පවා නොමැතිව ඇමතිවරුන්ගේ බිල්පත් සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් ගෙවනවා. මෙයින් විශාල වශයෙන් අවදාමට පත්වන්නේ ගෙවීම් අනුමත කරන රජයේ නිලධාරීනුයි. අමාත්‍යාංශ ලේකම්වරයාට වගකීම පැවරෙන්නෙත් නැහැ.

ගණකාධිකාරීවරුන් වැනි නිලධාරීන් තමන්ගේ රැකියා පවා අනතුරට ලක්කර ගනිමින් ඉහළ නියෝග අනුව මෙම බිල්පත් ගෙවීමට ක්‍රියාකරමින් සිටිනවා. තොරතුරු පනත යටතේ අප ලබාගන්නා මේ තොරතුරු හෙළිදරව් කිරීම් නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තොරතුරු ලබාදීම අතපසු කරමින් සිටිනවා. පැරණි බිල්පත් සියල්ල ගෙවා දැමීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කරමින් සිටින බවද වාර්තා වෙනවා.

“බලතල ඉක්මවා කටයුතු කිරීමට සිදු වීමෙන් නිලධාරීන් අසරණ වෙනවා”
-විශ්‍රාමික සහකාර විගණකාධිපති කේ.ජී.පී.ඩබ්. ගමගේ-

රාජ්‍ය මුදල් සම්බන්ධ සියලු වගකීම් පාර්ලිමේන්තුවට පවතින බැවින් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට වියදම් කිරීම සඳහා මුදල් ලැබෙන්නේ එම අනුමැතිය ඇතිවයි. මේ මූල්‍ය බලතල ඉක්මවා කටයුතු කරන්න බැහැ. නමුත් මේ වන විට එවැනි කටයුතු සිදුකරමින් සිටිනවා.

රාජ්‍ය මූල්‍ය පිළිබඳව විගණනය කිරීම විගණකාධිපතිතුමාගේ කාර්යභාරය වී තිබෙනවා. එක් එක් ආයතනවලට වාර්ෂිකව වෙන්කරන මුදල් පිළිබඳව විගණනයක් සිදුකිරීම විගණකාධිපතිවරයාගේ මූලික කාර්යභාරයක්. ඒ ආයතනවලින් වාර්ෂික ගිණුම් වාර්තා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. එම ගිණුම් වාර්තා පිළිබඳව විගණකාධිපතිවරයා විමර්ශන සිදුකර අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කාරක සභා දෙක මගින් මෙම ගිණුම් වාර්තා පිළිබඳව විශ්ලේෂණයන් සිදුකරනවා. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, අදාළ චක්‍රලේඛ සහ විධිවිධානයලට පටහැණිව ගෙවීම් සිදුකර තිබෙනවා නම්, එම ගෙවීම් අවිධිමත් ගෙවීම් ලෙස සටහන් කරනවා. 2018/2019 විගණන පනත අනුව අවිධිමත් ගෙවීම් සම්බන්ධයෙන් අධිභාර පැනවීමේ හැකියාව විගණකාධිපතිවරයාට ලබාදී තිබෙනවා. ඒ අනුව එම අවිධිමත් ගෙවීම් අයකර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම මෙම මූල්‍ය පරිහරණය පිළිබඳව විගණකාධිපතිවරයා ලබාදෙන වාර්තාව අනුව ක්‍රියාකිරීමේ බලය අදාළ ආයතනවලට පැවරෙනවා. ඒ අනුව නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලතල නොඉක්මවා කටයුතු කිරීමට වගබලාගත යුතු වෙනවා. නමුත් සිදු වන බලපෑම් හමුවේ බලතල ඉක්මවා කටයුතු කිරීමට සිදු වීමෙන් නිලධාරීන් අසරණ වෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා වරලත් ගණකාධිකාරී රංජිත් දිසානායක, විගණන සේවා සංගමයේ හිටපු සභාපති ටී. සුරවීර සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විගණන අධිකාරී ඩබ්.ඩී.සී. රංජිත් යන අයවලුන්ද සහභාගි වී සිටියහ.