Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් ජාතික ජනතා ශක්ති සංවිධානයේ යාපනය මැයි දින රැස්වීම අතරතුර… “1886 චිකාගෝ කම්කරු සටන අදටත් වලංගුයි…” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති, සරෝජා පෝල් රාජ්- “ජාතික ජන බලවේගය අද ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්න සූදානමින් සිටිනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- “ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව එකහඬින් කියාසිටින්නේ මේ දුෂ්ට පාලනය අවසන් කළ යුතු බවයි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-
X

ජාතික ජන බලවේගයේ මැයි දින පණිවිඩය

(-Sri Lanka, May 01, 2024-)

May-Day-Si

2024 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ ලොව පුරා වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව සමග ජාතික ජන බලවේගයද සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනී.

ජාත්‍යන්තර කම්කරු දිනය යනු 1886 චිකාගෝ නුවර කම්කරුවන් පැය 8ක වැඩ දිනයක් ඉල්ලා කළ අරගලයත්, එම අරගලය පාලක පංතිය විසින් මර්දනය කිරීමේදී කම්කරු අයිතීන් වෙනුවෙන් දිවිපිදූ කම්කරු නායකයන් සිහිපත් කිරීමක් කරන හා වැඩකරන ජනයාගේ ශක්තිය, සටන්කාමිත්වය හා අනාගත අරමුණු හඬගා කියන එකකි.

ලොව පුරා වැඩකරන ජනයා ඇතුළු පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ ඉතිහාසයේ විශාලතම අර්බුදයන් හා පීඩනයන් හමුවේය. අධිරාජ්‍යවාදී පාලනයත් ඔවුන් විසින් ලොව මත පටවා ඇති බංකොලොත්, අසාධාරණ නව ලිබරල් පාලනය ක්‍රමයත් වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව වෙත උරුමකර දී ඇත්තේ ඉතාමත් පීඩාකාරී, ව්‍යසනකාරී තත්වයකි.

21වන සියවසට ලොව ගමන්කර තිබියදීත් ලෝක ජනගහනයෙන් සාතිශය බහුතරයක් දිළින්දන් බවට පත්කර තිබේ. ලොව පුරා කුසගින්නේ සිටින, ඉන් මියැදෙන ජනගහනය විශාලය. ලොව පුරා දරුවන් අධ්‍යාපනයෙන් පිටමංකර තිබේ. තරුණයන්ට රැකියා අහිමිකර තිබේ. වැඩකරන ජනයා සිය ඉතිහාසය තුළ අරගලකොට උරුමකර ගත් අයිතීන්ද යළිත් උදුරා ගනිමින් තිබේ. පැය 8ක වැඩ දිනයක් ඉල්ල සටන්කර එය දිනාගත්තද නැවත පැය 8 ඉක්මවා වැඩ කිරීමට පවතින අර්බුදය වැඩ කරන ජනතාවට බලකර තිබේ. ජීවත්වීමට සරිලන වැටුපක් යනු තවමත් සිහිනයක් පමණක් වී තිබේ. කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කර්මාන්ත නිතිපතා බිඳවැටෙමින් තිබේ. වැටුප් ශ්‍රමිකයන් ලෙස වැඩකරන කාන්තාවන් හා ගෙදර දොර සුරැකුම් ආර්ථිකයට වෙහෙසෙන කාන්තාවන් මත පැටවෙන පීඩනය වැඩිවී තිබේ. ඔවුන් අනාරක්ෂිතභාවයට පත්කර තිබේ.

එසේම පරිසරය විනාශ කිරීම, ගැටුම්, යුද්ධ, වසංගත, මත්ද්‍රව්‍ය වැනි සමාජ ව්‍යසන වත්මන් ක්‍රමයේ නිෂ්පාදනයන් වන අතර, මිනිසාට ජීවත් වීමට නොහැකි තත්වයට ලෝකය පත්කර තිබේ. මේ තත්වය වෙනස් කිරීම සඳහා සටන් වැදීමට අප සැමට බල කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර මැයි දිනය සමරන්නේද අර්බුද, අභියෝග රැසක් හමුවේය. මේ වන විට ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කොට, වට්ටවන ලද රටකි. පරම්පරා ගණනකට ගෙවීමට නොහැකි ණය බරක් රට මත පටවා තිබේ. බදුබර දරාගැනීමට ජනතාවට නොහැකි වී තිබේ. දිනෙන් දින ඉහළ යන බඩු මිල, කඩා වැටෙන ජීවන තත්වය ජනතාව අර්බුදයෙන් අර්බුදයට පත්කිරීමට හේතු වී තිබේ.

මේ බිහිසුණු අර්බුදය තුළ වැඩකරන සමස්ත ජනතාවද තරුණයෝද, දරුවෝද, කාන්තාවෝද, කලාකරුවෝද, වෘත්තිකයෝද, සුළු පරිමාණ කර්මාන්ත ව්‍යවසායයෝ හා නිෂ්පාදකයෝද පීඩාවට පත්ව සිටිති. පවතින පාලනය යටතේ ඔවුන් අනුගමනය කරන වංචා දූෂණවලින් පිරුණු කොල්ලකාරී ආර්ථිකය යටතේ රටේ ඉදිරි ගමනක් ඇත්තේම නැත. රට අරාජික වී තිබේ. ඒ නිසා මෙම දුෂ්ට පාලනයත්, වැරදි සමාජ ආර්ථික ක්‍රමයත් වහාම පරාජය කළ යුතුය. අප ජාතික ජන බලවේගය ලෙස මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ ඉහත අභියෝගය දරාගෙනය.

අප මෙවර මැයි දිනය පවත්වන්නේ බලය මාරු කළ හැකි ජනාධිපතිවරණයක් අභිමුව සිටය. මෙම වසර හුදු මැතිවරණ වසරක් පමණක් නොව, අපේ රටේ සාතිශය බහුතර ජනතාව අධිෂ්ඨානයෙන් එක්ව, ඉතිහාසය අලුතින් ලියන වසර බවටද පත්ව තිබේ. වසර 76ක වැරදි දූෂිත පාලනය අවසන් කර, රට නව ආර්ථික ක්‍රමයක් කරා, ජාතික පුනරුදයක් කරා, ගෙනයන සැබෑ ජාතික නිදහස දිනාගන්නා වසර බවටද පත්ව තිබේ. මෙවර මැයි දිනයේ ජාතික ජන බලවේගයේ අරමුණත්, අධිෂ්ඨානයත් එයය.

අපේ රටේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජන බලවේග වෙත දැන් ඇත්තේ එකම මාවතක් පමණි. තවදුරටත් පවතින පාලනය තුළින් අයිතීන් ඉල්ලීමෙන් ඵලක් නැත. මේ පාලක කල්ලි ජනතාවට අයිතීන් නොදෙනවා පමණක් නොව වැඩකරන ජනයා දිනාගත් අයිතීන් පවා දිනපතා උදුරා ගනිමින් සිටී. එබැවින් වැඩකරන ජනතාව ඇතුළු මෙරට ප්‍රගතිශීලී, වාමවාදී ජනතා බලවේගයන්ගේ වගකීම වන්නේ මේ දුෂ්ට පාලනය වහාම අවසන් කොට, ඒ වෙනුවට නව ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමය.

වර්තමාන පාලනයට රට ගොඩනැගීමේ වුවමනාවක් හෝ හැකියාවක් නැත. ඔවුන් තවදුරටත් රටත්, ආර්ථිකයත් විනාශ කරමින් සිටී. ණය බර වැඩිකරමින් සිටී. බදු බර වැඩිකරමින් සිටී. රටේ වටිනා සම්පත් විකුණා දැමීමත්, මහජන මුදල් වංචා කිරීමත්, හොරකමින් නාස්ති කරමින් සිටී. අප නව ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුත්තේ එම තත්වය පරාජය කර, රට නව ආර්ථික දේශපාලන මගකට ගෙනයාමටය.

නිෂ්පාදනය මත පදනම් වූ ස්ථාවර, ශක්තිමත්, ආර්ථිකයක් ගොඩනැගීමත් ආර්ථිකය ගොඩනැගීමට සියලු ජනයා සහභාගි කර ගැනීමත්, ආර්ථික නිෂ්පාදනයේ ප්‍රතිලාභ සියලු දෙනාට සාධාරණ ලෙස බෙදී යන ක්‍රමයත් සකස් කිරීමත් නව පාලනයක මූලික ක්‍රියාමාර්ගය වේ. එසේම වංචාව, දූෂණය, හොරකම නවත්වා නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමද විනය, සාමූහිකත්වය, මනුෂ්‍යත්වය සහිත සමාජයක් නිර්මාණය කිරීමද අපේ වගකීම වේ. ඒ සඳහා ජනතාව බලය ලබාගත යුතුය. මෙවර මැයි දිනයේ අපේ අදිටන වන්නේ එයයි.

එබැවින් මෙවර සියලු වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනයා සහ වාමවාදී, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, දේශප්‍රේමී සියලු බලවේගයන් ඉහත අරමුණ වෙනුවෙන් සංවිධානය විය යුතු යැයිද, එක්ව ඇත්වැල් බැඳගත යුතු යැයිද, දැඩිව විශ්වාස කරන අපි සමාජයේත්, ආර්ථිකයේත්, දේශපාලනයේත් ගැඹුරු සාධනීය වෙනසක් වෙනුවෙන් පෙරට එන ලෙස මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී ඉල්ලා සිටිමු.

2024 මැයි 01